රන්දිකත් මමත් අතර වෙනසක් නෑ...

සැප්තැම්බර් 9, 2021

 

කොළඹ ඉඳලා ගමට ආ විහාරා ටීචර් ආයෙත් කොළඹ යනවා කියන ආරංචිය නිසා රන්දික මේ දවස්වල ඉන්නේ නම් දුකින්. කවුද මේ රන්දික? සතියේ දිනවල රාත්‍රි 7.30ට දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ විහාරාට තවමත් හිතින් පමණක් ආදරය කරන ආදරවන්තයා, ටෙලිනාට්‍යයට රන්දික වුණාට, ඔහු ධනුෂ්ක සම්පත්. හැමදාමත් වගේ කලා ලෝකයේ ආධුනිකයන්ට ඉඩ වෙන් කරන සරසවිය අපේ කතාබහ අද ධනුෂ්ක වෙනුවෙන් වෙන්කළා.

 

ධනුෂ්කට කොහොමද රන්දික වෙන්න ලැබෙන්නේ?

ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂ සුරංග අයියා මම කලින් ඉඳලම දන්නවා. ඔහු මට කිව්වා අලුත් ටෙලිනාට්‍යයකට ශිල්පීන් තෝරනවා ඡායාරූප එක්ක මගේ විස්තර එවන්න කියලා. පසුව මට කතා කළා තිර පරීක්ෂණයට. එහිදී මට සමන් එදිරිමුණි හා නිෂ්පාදක ධම්මික අලුත්ගෙදර මුණගැසෙනවා. තිර පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් මාව මේ චරිතය සඳහා යෝජනා කර තිබුණා.

 

ඒ වනවිටත් ධනුෂ්ක මියුසික් වීඩීයෝවල දකින්න ලැබෙනවා?

ඔව්. මගේ ගමේ බොහොම හිතවත් සහෝදරයෙක් නාලක දළුවත්ත අයියා. ඔහු තමයි මාව ඒ පැත්තට යොමු කරන්නේ. මියුසික් වීඩීයෝ බොහොමයක හිටියත් මගේ මුල්ම ටෙලිනාට්‍ය අත්දැකීමයි මේ. මෙය වෙනස්ම අත්දැකීමක්.

 

කතාවට අනුව ඔබේ අම්මා, තාත්තා, ආච්චි, ඇතුළු ඔබ වටා ඉන්න බොහෝ පිරිසක් ක්ෂේත්‍රයේ කාලයක් ඉන්න ප්‍රවීණ ශිල්පීන්. ඒ අත්දැකීම ගැනත් කියමු?

ඇත්තටම ඔවුන් සියලු දෙනාගෙන්ම විශාල සහයෝගයක් මට ලැබෙනවා එය මම විශේෂයෙන්ම කිව යුතුයි. ඒ වගේම මට මුල්ම රූගත කිරීම තිබුණේ මගේ ආච්චිට රඟපාන සුසිලා කෝට්ටගේ සමඟ. මම ඉතාම බයෙන් හිටියේ. ඒත් ඇය ළඟටවිත් මගේ චරිතයට අවශ්‍ය සියලු දේ මට කියා දුන්නා. පුතා හොඳට කරන්න කියලා මට ආශිර්වාද කළා. ඒ වගේම පෙර පුහුණුවීම්වලදී වුණත් දෙබස් කියන විදිහේ සිට හඬ හසුරවන ආකාරයේ සිට සියලු දේ ඔවුන් මට කියා දෙනවා. ඇත්තටම මට මෙය රංගන පාසලක් වගේ. මම හිතුවේවත් නැති විදිහට ඔවුන් මට උදව් කරනවා. හරිම ආසාවෙන් මම රූ ගත කිරීම්වලට සම්බන්ධ වෙන්නේ.

 

අනෙක් අතට ප්‍රවීණයන් හැරුණාම ඔබ දෙරණට හුරු පුරුදු දෙරණ බිහිකළ තරු සමඟයි රංගනයේ යෙදෙන්නේ. මේ අය සමඟ කටයුතු කරද්දි ඔබට ආගන්තුකබවක් දැණුනද?

පළවෙනි දවසේ ඉඳලා අදවෙනකන්ම මේ සියලුම දෙනාගෙන් ඉතාම හොඳ පිළිගැනීමක් තිබුණා. ඒ නිසා ආගන්තුක බවක් දැනුණේ නෑ. දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ ඇතුළු සියලු දෙනාගෙන්ම මුල සිටම ලැබුණ ආශීර්වාදය හා මඟපෙන්වීම මට ලොකු ශක්තියක් වුණා. රංගනයේදී පෙර පුහුණුවීම්වලදී අපි ඉතාම සහයෝගයෙන් ඒ කටයුතු කරනවා. ඔවුන්ගේ මිත්‍රත්වය නිසා දැන් මමත් ඔවුන්ගෙම කෙනෙක් වෙලා. වෙනසක් දැනෙන්නේ නෑ.

 

සැබෑ ජීවිතයේ ධනුෂ්කට, රන්දිකව ගොඩනඟන්න අලුතින් එකතුකරගන්න වුණේ මොනවද?

පොඩි පොඩි දේවල් ටිකක් හැරුණුකොට රන්දික මගේ චරිතයට බොහෝම සමානයි. රන්දිකට වගේම මටත් මුල් කාලයේ මුදල් තිබුණේ නෑ. මම මැණික් පතල් ව්‍යාපාරයක් කළාට රන්දික පොල් ඇතුළු කුළුබඩු ව්‍යාපාරයක් කරන්නේ. එය තමයි වෙනසකට තියෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යක්ෂ දිලූක ප්‍රසාද් මේ චරිතය මට පැහැදිලි කරදීම නිසා රන්දිකව මට මගේ කරගෙන මගේ දේවලුත් එකතු කරගෙන චරිතය ගොඩනඟන්න පුළුවන් වුණා. ඉරිදියේදී රන්දිකගේ ලස්සන ගීතයක් අහන්නත් ප්‍රේක්ෂකයන්ට පුළුවන්.

 

රන්දිකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ධනුෂ්කට වඩා රන්දික නමින් බොහෝ දෙනා දැන් මට කතා කරන්නේ. මගේ ප්‍රථම ටෙලිනාට්‍යය මෙය. හිතුවේ නෑ මෙවැනි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඉස්සර වගේ නෙවෙයි දැන් මාව හැමෝම අඳුනනවා. බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දන්න තේරෙන කාලයේ ඉඳලම ලොකු ආසාවක් තිබුණා මෙතැනට එන්න. එයට පාර හදලා දුන්න දෙරණට ස්තූතියි.

 

රූගත කිරීම් අතරතුර වුණ රසවත් අද්දැකීම් එහෙම ඇති?

පළවෙනි දවසේ විහාරා ගමට එන විට ඇගේ කාර් එක මගේ මෝටර් සයිකලයේ හැප්පෙන රූගත කිරීමක් තිබුණා. ඒ කාර් එක පැදවූ රියදුරු අලුත් කෙනෙක්. මට කියලා තිබුණ තැන මම මෝටර් සයිකලය නතර කරන්න හිතුවත් ඔහු එක පාරටම මගේ ඉදිරියට ආවා. ඒ වෙලාවේ මම බ්‍රේක් කළේ නැත්නම් ලොකු අනතුරක් වෙන්න තිබුණා. පළවෙනි දවසේ නිසා ඒ අවස්ථාව නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඉදිරියේදී වෙනත් නිර්මාණවලින් ධනුෂ්කව දකින්න ලැබෙයිද?

අනිවාර්යයෙන්ම ඔව්. ඉස්කෝලේට අමතරව ටෙලිනාට්‍ය කිහිපයකටම ආරධනා ලැබුණා. ඒත් මෙය මගේ ආරම්භය නිසා මම කැමතියි රන්දිකගේ චරිතය මට හැකි උපරිමය කරන්න කාලය වෙන් කරන්න. වෙනත් ටෙලිනාට්‍යවලට සම්බන්ධ නොවුණත් චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණා. එහි කටයුතු ආරම්භයට මේ මාසය යොදාගෙන තිබුණත් පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.

 

රන්දිකට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ ඔබගේ පෞද්ගලික තොරතුරුත් දැනගන්න කැමතිවෙයි?

මගේ ගම රත්නපුරය. පවුලේ අම්මා, තාත්තා, සහා මට මල්ලිලා දෙන්නෙක් වගේම නංගි කෙනෙක් ඉන්නවා. පවුලේ ව්‍යාපාරයක් විදිහට අපි පතල් කර්මාන්තය කරගෙන යනවා.