හැල්මේ දුවන ජීවිත එක් කරන්න බෑ...

මම මේ රේස් එකට සුදුසු නැහැ
සැප්තැම්බර් 23, 2021

 

ජිතේන්ද්‍රිකා ජයකලණි ද අල්විස්

 

 

 

කලා ලොවේ උපතින්ම කිරුළ රැගෙන එන්නෝ සිය මාපියන්ගේ ආශීර්වාදයත්, කුසලතාවයත් එකතු පහදු කරගෙන කලාවට එකතු වන්නෝය. ඇයටද එම භාග්‍යය උපතින්ම තිබුණි. ඇගේ මව ලාංකේය රසිකයා ආදරයෙන් වැලඳගත් ගායන ශිල්පිනියකි. පියා සිනමාවේදියෙක් මෙන්ම මාධ්‍යවේදියෙකි. මේ සියලු දේ පැත්තකට දමා සිය වෘත්තිය ලෙස ගුරු වෘත්තිය තෝරාගත් ඇය අද දවසේ සරසවිය අපේ කතාබහට එකතු කරගන්නට සිතුවේ ඇය අතින් ලියැවුණු ගීතයක් මේ දිනවල රසික හදවත් ආදරයෙන් වැලඳගෙන ඇති බැවිණි. ප්‍රවීණ සිනමාවේදී, මාධ්‍යවේදී ඇන්ටන් ද අල්විස් ගේ හා ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධනයන්ගේ ආදරණීය දියණිය ජිතේන්ද්‍රිකා ජයකලණි ද අල්විස් අතින් ලියැවුණු 'සහස් සිහින' ගැන ඇය අප සමඟ කිව්වේ මේ අයුරිනි.

 

 

 

 

'සහස් සිහින' ඔබේ අතින් ලියැවුණ ගීතයට රසික ප්‍රතිචාර බොහොමයි?

ඔව්. ඉතාම සතුටුයි ඒ ගැන. අනෝජා වීරසිංහ ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසකගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතාම කෙටි කාලයකින් බොහෝ පිරිසක් ගීතය නරඹලා තියෙනවා.

 

 

මෙය ඔබට ලියාදෙන්නැයි කියා කළ ආරධනාවක්ද?

ඇත්තෙන්ම එය සිදුවුණේ අහම්බයකින්. මම මගේ හිතට දැනෙන විවිධ දේ පිළිබඳව කවියෙන් සටහන් කරනවා. මෙහි මුල් පද පේළි හතරත් මා එසේ සටහන් කළ කවියක්. මේ ගීතය ගායනා කරන ධනුෂ්ක මල්ලි මේ කවිය දැකලා ඉල්ලීමක් කළා මෙය ගීතයක් ලෙස ලියලා දෙන්න කියලා. ඔහුව මම මීට කළින් දැනගෙන හිටියේ නෑ. ඒත් ඔහුගේ ඉල්ලීම නිසාම ඒ කවියටම තවත් පද ගළපලා මා මේ පදවැල නිර්මාණය කළත් මං හිතුවේ නෑ මේ තරම් ලස්සනට එය ගීතයක් වෙයි කියලා. ගායනය සංගීත සංයෝජනය , තනුව, සියල්ලම ධනුෂ්ක ප්‍රභාත් විසින් කරන්නේ.

 

මොකද්ද මේ පදමාලාවට මුල්වෙන කාරණාව?

මට පෞද්ගලිකව පෙනුණ කාරණාවක් මෙය. මේ ජීවන සටනේ අපිට ජීවත් වෙනවා කියන දේත් අමතක වෙලා. අපි මුදල් හම්බකිරීමේ පරමාර්ථයෙන් හැල්මේ දිව්වට අද මුදලත් නොවේ මූලික වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම හිතන විට නිදහසේ මගේ ඔළුවට ගලාගෙන ආ වචන තමයි මේ තියෙන්නේ.

ඔබේ වචන ගීතයක් විදිහට ඇහෙන විට මොකද හිතුණේ?

ඇත්තටම මට ලොකු සතුටක් එය. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ ධනුෂ්ක මේ පදවලට සංගීතයෙන් දී තිබෙන අර්ථකථනය ඉතා ඉහළයි. එයටම ඔහුගේ හඩත් ගැළපෙනවා.

 

ගීතයක් රිලීස් වෙද්දි එයට මියුසික් වීඩීයෝවක් අනිවාර්යයෙන්ම නිර්මාණය වන කාලයක ඇයි මේ ගීතයේ මියුසික් වීඩීයෝවක් දකින්න ලැබෙන්නේ නැත්තේ?

ඔහු එය ලස්සන එඩිට් එකකින් නිම කරලා තිබුණා. එයට මම කැමැතියි. මගේ අම්මා කියන විදිහට ගීතයක් අහන්නයි ඕන බලනවට වඩා. අතීතයේ ගීත නිමැවුණේ අහන්න. අද තමයි එය බලන්න නිර්මාණය කරන්නේ. සමහර විට ගීතයේ අර්ථයට අතිශයින් හානිකර නොගැළපෙන රූප රචනා නිර්මාණය වනවා. මා සිතන්නේ නම් ගීතයක් නිමැවිය යුත්තේ අහන්නයි.

 

ඒ දවස්වල ඔබට ඉන්දියාවෙන් ලොකු ඉල්ලුමක් තිබුණලු?

ඇත්තෙන්ම මට පළමුවෙන් රංගනය සඳහා ආරාධනා ලැබෙන්නේ ටී. කේ. බාලචන්ද්‍රන් මහත්මයාගේ ගුණා කියන චිත්‍රපටයේ අභිරාමිගේ චරිතය කමල හසන් එක්ක රඟපාන්න. මට මතකයි අපි රාධිකා සරත්කුමාර්ගේ මංගල්‍යයට සහභගී වූ වෙලාවේ අම්මටයි තාත්තාටයි කරදර කරලා මාව ඉල්ලුවා මේ චරිතයට. ඊට පසුව ආර්. මාධවන් සමඟ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. මේ සියල්ලම මා ප්‍රතික්ෂේප කළා. මට කැමැත්තක් තිබුණේ නෑ රංගනයට. ඒත් අදටත් ඒ අයගේ ඇසුර සමීප බව තිබෙනවා.

 

ඔබට උප්පත්තියෙන්ම ලැබුණු වරමක් කලාව. ඔබේ සමකාලීනයන් එක්ක බැලූ කල ඔබ එතරම් කැමැත්තක් දක්වන්නේ නැති හැඩයි කලාවට?

ඇත්තටම එයට හේතුව නම් පොඩි කාලේ අම්මා සංගීතය උගන්වන්න කතා කළාම පොඩි කමට මගේ කම්මැළිකමක් තිබුණා. ඒත් මම ලොකු වන විට මට තේරුණ දෙයක් තමයි මම මේ රේස් එකට සුදුසු නැහැ කියන දේ. එසේ හැල්මේ දුවන්න ගත්තම එකිනෙකා අබිබවා යෑමේ වුවමනාව, තරගකාරීත්වය විශේෂයෙන්ම කලා පවුලක වීම නිසා සන්සන්දනය කිරීම වගේ දේවල්වලට මගේ ලොකු අකැමැත්තක් තියෙනවා. මම කැමැති සරලව සතුටින් නිදහසේ ජීවීතය ගෙවන්න. ඒත් අම්මා ඇතුළුව මගේ පවුලේ බොහෝ දෙනෙක් කලාවට සම්බන්ධ නිසා මට ලැබෙන ආදරයෙන් නම් අඩුවක් නෑ. තාත්තා නැතිවුණ දා සිට මම තිරයෙන් පිටුපස සිටගෙන අම්මගේ වැඩකටයුතුවලට සහයෝගය දෙනවා. එයට මම ඉතාම කැමැතියි. එය තමයි මගේ සතුට.

 

ඔබේ මවගෙන් ඔබට මැසිවිල්ලක් නැද්ද ඇය ආ මඟ ඔබ ඉදිරියට නොයන එක පිළිබඳව?

කවදාවත් නෑ. අම්මයි තාත්තායි මට කිසිම දවසක බලපෑමක් කරලා නෑ. අම්මගේ ගීත ගායනා කරනවා අම්මගේ මිනිබිරිය. මගේ අයියගේ දුව. කිරුළ උපතින් ලැබුණත් එය පරිස්සමට ගෞරවණීයව අරන් තියා ගැනීමයි මට වුවමනා වුණේ. එය සමඟ ඉදිරියට යෑමේ ආශාවක් නම් නැහැ.

 

ධනුෂ්ක ප්‍රභාත්

 

මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර සමඟ උද්‍යෝගයක් ඇතිවුණේ නැද්ද කලා කටයුතුවල දිගටම නියැළෙන්න?

ගීත මම දිගටම ලියයි. මේ ගීතය ධනුෂ්ක දැකලා එයාගේ අවශ්‍යතාව මත කවිය ගීතයක් වුණා. පදවැලක් නිර්මාණය කරලා කෙනෙක්ට මේක ගයන්න කියලා දෙන තැනදි එය සිදු වෙන්නේ නෑ. එය මම අත්විඳලා තියෙන දෙයක්. එය තරහකට වෙන දෙයක් නොවෙයි. මම ලියූ ගී අවස්ථා කිහිපයකදී ලංකාවේ අති දක්ෂ සංගීත ශිල්පීන් කිහිපදෙනෙකුටම ඉදිරිපත් කළා. ඔවුන් එය ආශාවෙන් වැලඳගත්තත් නිර්මාණයක් වන පාටක් පේන්න නෑ. එහිදී පස්සෙන් ගිහින් ඔවුන් සමඟ ගැටෙන්න මගේ කැමැත්තක් නෑ.