තාත්තා විතරක් නෙවෙයි මාත් සින්දු ලියනවා

- සඳලිඳු දුග්ගන්නාරාළ
සැප්තැම්බර් 23, 2021

“මල් මල් සාරිය බඳේ වදිනකොට

බඹර බඹර තාලෙට හිත ගැස්සෙන

සාරිපොට යට මාල දෙක තුන

බාර වෙනකොට ගල්ලා

මායම් සූසැට රඟේට පෙන්නා

සුහුඹුල් මා සිත රවට්ට ගල්ලා

බෝල උඩ දමහල්ලා”

- වසන්ත දුග්ගන්නාරාළ

 

 

හැමෝටම සින්දු ලියපු වසන්ත දුක්ගන්නාරාළ එයාගේ පුතාට ලියපු පළවෙනි සින්දුව "මල් මල් සාරිය"?

ඔව්. ඒක මගේ පළමුවෙනි සින්දුව. මේ සින්දුව මීට අවුරුද්දකට විතර කලින් හැදෙන්නේ. සහන් රන්වල අංකල්ගේ ගී තනුවකට අප්පච්චි (වසන්ත දුග්ගන්නාරාළ ) පදරචනය කරන්නේ. ඒක මට ලියන්නේ කියලා නොදැනයි අප්පච්චි සින්දුව ලියන්නේ. රන්වල බළකායේ ළමයෙක්ට කියලයි සහන් අංකල් අප්පච්චි ලව්වා මෙලඩි එකට මේ සින්දුව ලියන්නේ. ඒක අප්පච්චි දැනගන්නේ රූපවාහිනී සජීවි වැඩසටහනක් අතරතුරදි. ඒ සින්දුව ලිව්වේ මට කියලා දැනගත්තාම අප්පච්චි ගොඩක් සංවේදී වෙනවා. මේ ගීතය අවුරුද්දකට විතර කලින් එළිදක්වන්නේ. සෑහෙන්න ජනප්‍රිය වුණා. මීට සතියකට කලින් මේ ගීතයේ රූපරචනාව එළිදැක්වූවා. යූටියුබ්හී සෑහෙන්න පිරිසක් මේ වෙද්දී එක නරඹලා තියෙනවා.

 

ඒ රූපවාහිනී වැඩසටහනේදී තාත්තා අඬන්නේ පුතාට සින්දුවක් ලියලා දෙන්න බැරි වුණා කියලා. ඒකට හේතුව මොකක්ද?

මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක පසුගිය කාලේ කාර්යබහුල වෙලා හිටියේ. මම අන්තර්ජාතික ව්‍යාපාරකරණය පිළිබඳව උපාධිය හදාරනවා. ඒ නිසා අප්පච්චිට මටම කියලා සින්දුවක් ලියන්න ඕන කියන එක හිතෙන්නේ නැතුව ඇති. මම ඉගෙනීමට අවධානය යොමු කරපු නිසා "දුකාගේ පුතා" කියලා කලාව කරන්නම ඕනේ කියලා මාව සංගීතයට යොමු කරන්න අප්පච්චිට අවශ්‍ය වුණේ නැහැ. අප්පච්චි නිතරම කිව්වේ, තමන්ට කැමති දේ කරන්න ඕනේ කියලා.

 

ගීතය එළිදක්වලා වසරක් ගත වුණා. රූපරචනාවක් කරන්න ඇයි මෙච්චර පරක්කු වුණේ?

ඒකට හේතුව මේ මොහොතේ හැමෝම මූණ දෙන කොරෝනා ප්‍රශ්නය. ඒ වගේම මේ ගීතයට රසිකයන් දක්වන ප්‍රතිචාර ටිකක් බලමු කියලා අප්පච්චි වීඩියෝ එකක් හදන වැඩේ පමා කළා. කොහොමහරි අවසානටය අපි වීඩියෝ එක හැදුවා.

සඳලිඳුගේ නර්ථන හැකියාව මේ රූපරචනාවෙන් හොඳට නිරූපණය වෙනවා.

ඒ අදහස අප්පච්චිගේ. එයාට ඕනේ වුණා මම හදාරපු අනිත් ශිල්පය වන නර්ථනයත් මේ වැඩෙන් ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න. මේ ගීත රූපරචනාව ඒ සඳහා හොඳ අවස්ථාවක් වුණා. මේ මුළු වීඩියෝ එකටම රසික කොතලාවල සර් සාම්ප්‍රදායික, දෙමළ සහ බටහිර නර්ථන ශෛලීන් එකතු කරලා නර්ථන නිර්මාණය කළා. මුළු වීඩියෝ එකටම ඒ නර්ථන හැකියාවන් භාවිත කරන්න බැරි වුණු නිසා පසුව අපි "මල් මල් සාරිය" ගීතයටම "ඩාන්සිං කවර්" එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

මේ සඳහා දායක වුණු පිරිස ගැන කිව්වොත්?

මුලින්ම ස්තූති කරන්න ඕනේ සහන් රන්වල අංකල්ට. ඒ වගේම ඉරාජ් වීරරත්න අංකල් තමයි මේ වීඩියෝ එක හදන්න තාක්ෂණික වශයෙන් දායකත්වය ලබාදුන්නේ. ඉරාජ් ප්‍රඩක්ෂන් එකේ කාර්යමණ්ඩලයත් මතක් කරන්න ඕනේ. ප්‍රියංග රණසිංහ තමයි මේ වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම මේ වීඩියෝ එකට නර්ථන කණ්ඩායම ලබාදුන්න රසික කොතලාවල සහ නිෂා කොතලාවල යන ගුරුවරුන්ටත් මම ස්තූති කරනවා. අපි මාසයක් වගේ කාලයක් මේ වීඩියෝ එකට නර්ථන පුහුණුවීම් කළා. ඒ වගේම රළ ක්‍රියේෂන්හි සියලුදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මලිනි ජයවීර අක්කාව මතක් කරන්න ඕනේ. එයා තමයි මේ වීඩියෝ එකේ ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නේ. ඇය රසික කොතලාවල සර්ගේ නර්ථන කණ්ඩායමේ සාමාජිකාවක්. මලිනි අක්කාත් මේ වීඩියෝ එක සාර්ථක කරගන්න ලොකු දායකත්වයක් ලබාදුන්නා.

 

නළු නිළියන් කීපදෙනෙකුත් මේ සඳහා දායක වෙනවා?

ඔව්. ඒ සියලුදෙනාටම මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. සරත් කොතලාවල, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස් යන ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් මේ වීඩියෝ එකට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. කොයිතරම් කාර්යබහුල වුණත් ඔවුන්ගේ වටිනා කාලය ඒ සඳහා වෙන් කරපු එකට මේ හැමෝටම මම ගෞරවපූර්වකව ස්තූති කරනවා.

රඟපාන්න අදහසක් නැද්ද?

රඟපාන්නත් අදහසක් තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් රංගනය පැත්තෙනුත් යම් දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 

තාත්තා ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙක්. පුතාට එහෙම හැකියාවක් නැද්ද?

මටත් ගීත රචනා කරන්න පුළුවන්. ඒ ගැන මම තවමත් අධ්‍යයනය කරමින් පවතිනවා. අත්හදා බැලීමක් විදිහට මම ගීත දෙකක් මේ වෙනකොට රචනා කරලා තියෙනවා. මමයි හිමේන් ජයසේකරයි එකතු වෙලා ගීතයක් නිර්මාණය කළා "සිත් අහසේ" කියලා. හිමේන් අයියා තමයි ඒකට සංගීතය නිර්මාණය කළේ. අපි දෙන්නාම ඒ ගීතය ගායනා කරනවා. ඒ ගීතයටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. "හමු නොවේද ඔබ මා" කියලා තවත් ගීතයක් රචනා කළා මිනෝල් පිරිස් කියලා මල්ලි කෙනෙක්ට. ඒ ගීතයේත් තනුව හිමේන් අයියාගේ. ගෙවින් ප්‍රනාන්දු සහ හිමේෂ් තමයි ඒ ගීතයේ සංගීත සංයෝජනය කළේ.

 

ඔබේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පළමුවැනි ගීතය වෙන "මල් මල් සාරිය" ගීතයේ කටයුතුවලටත් මූලිකත්වය අරගෙන වැඩ කළේ අම්මා. ඒ වගේම අප්පච්චිගේ පැත්තෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ ක්ෂේත්‍රයේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා නිතරම මට පෙන්වන්නේ අප්පච්චි. එයා මාව කොහෙන්වත් හිර කළේ නැහැ. කිසිම දෙයක් කරන්න කියලා බල කරලා නැහැ. මට නිදහසේ මගේ වැඩ කරගන්න අවස්ථාව දුන්නා. අප්පච්චි හරිම කාර්යබහුල කෙනෙක්. කොච්චර වැඩ තිබුණත් මගේ වැඩවලටත් සහයෝගය ලබා දෙනවා. ඒ වගේම මගේ නංගි සඳපිනි දුග්ගන්නාරාළවත් මතක් කරන්න ඕනේ. එයා මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. නංගිත් මේ ගීත රූප රචනාවේ කටයුතුවලට දායකත්වය ලබාදුන්නා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

තව ගීත දෙකක වැඩකටයුතු කරන්න තියෙනවා. මගේ ඊළඟ ගීතය ටිකක් විශේෂයි. ඒක නදීක ගුරුගේ අංකල් එක්ක කරපු ගීතයක්. අප්පච්චිම තමයි ඒකෙත් පදරචනා කළේ. ඒක ටිකක් මන්ද්‍ර ස්වරයෙන් ගැයෙන ගීයක්. ඒ ගීතය අප්පච්චිගේ අප්පච්චි ගැන ලියපු ගීතයක්. ඒ කියන්නේ මගේ කිරිඅත්තා ගැන. ඒ ගීතය රසිකයන්ට වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.