නලීන්-කැලුම් කපුවන්ට හොරෙන් දිනේෂ් මනාලියක් හොයාගෙන

යුග දිවියට පිවිසුණු සම්මානනීය නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ දිනේෂ් සුබසිංහ
ඔක්තෝබර් 28, 2021

 

කාලයක් යනකම් නලියවත් දන්නෑ මම මෙහෙම කෙල්ලෙක් සෙට් කරගෙන කියලා

 

මේ දවස්වල මම පොතක් ලියනවා

පසුගිය වසරේ පෙබරවාරි 04 වැනිදා මීගමුව ආවේ මරියා පාස ලේ ප්‍රධාන ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණා. ඒ මේරියන්ස් කණ්ඩායමේ සංගීත ප්‍රසංගයක් එදින පැවැත්වූ නිසයි. එදා ඔවුන්ගේ ගැයුම් වැයුම් විඳීන්නට පැමිණි දහසකුත් දෙනා අතරේ සිටියා දුලානි පෙරේරා නැමැති යෞවනියක්. ඇය එදා මේරියන්ස්ලාගේ මේ ප්‍රසංගය බලන්න ආවේ තමන්ගේ ප්‍රියතම ගායකයා නලීන් පෙරේරා වූ නිසයි. ප්‍රසංගය පටන් ගත්තේ ඔහුගේ ගායනයකින්. දුලානි තම ජංගම දුරකථනයේ කැමරාව විවෘත කොට නලීන්ගේ ගැයුම පටිගත කරන්නට පටන් ගත්තා. ගීතයේ කෝරස් ගායනයෙන් අනතුරුව වයලීනයක් රැගෙන වේදිකාවට පැමිණියේ දිනේෂ් සුබසිංහ. දිනේෂ් කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වන්නේ නැහැනේ. ඔහු ඕනෑම වාද්‍ය භාණ්ඩයක් තමන්ගේ කරගෙන විස්මිත අන්දමින් වයන කලාකරුවෙක්. රූපවාහිනී බයිලා සාදය ඇතුළු වැඩසටහන් ගණනාවකදී දිනේෂ්ගේ හපන්කම් ඔබ අනිවාර්යයෙන්ම දැක ඇති. ඉතින් මේරියන්ස්ලා තමන්ගේ ප්‍රසංග තවත් රසවත් කරන්නට දිනේෂ් දායක කරගත්තේ බොහෝ කාලෙකට පෙර සිටයි. මෙදිනත් දිනේෂ් තමන්ගේ වයලීනයෙන් පෙළහර පාන්නට පටන් ගත්තා. මෙතෙක් වෙලා නලින්ව රූගත කරමින් සිටි දුලානිගෙ ෆෝන් එක හැරවුණේ දිනේෂ්ගේ පැත්තට. එතැන් පටන් නලින් සින්දු කියන්නට වරින් වර පැමිණියත් ඔහුගේ දෙස හැරීවත් නොබැලූ දුලානි දිගින් දිගටම බලා සිටියේ දිනේෂ්ගේ වාදනය දිහායි. මෙලෙස වයලීනය වයන්නේ තමන්ගේ අනාගත සහකරුවා බව ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. හැබැයි එදා ගෙදර ගියායින් පස්සෙ දිනේෂ් සුබසිංහට පණිවිඩයක් යවන්නට තීරණය කළේ නිකමට වගේ. එතැන් පටන් මේ ආදර කතාවේ ඉතිරිය අහමු දිනේෂ් සුබසිංහගේම වචනවලින්.

 

මේරියන්ස් නලියයි(නලීන් පෙරේරා) මමයි බොහොම හිතවත්. ඒ නිසා ඔහු නිතරම ඔවුන්ගේ ප්‍රසංගවලට මාව සම්බන්ධ කර ගත්තා. මේරියන්ස්ලා උපහාර ප්‍රසංගයක් පටන් ගත්තා සී.ටී. ප්‍රනාන්දු සහ වොලී බැස්ටියන්ගේ. ඒ ප්‍රසංගයටත් මට ඇරයුම් ලැබුණා. බී. එම්.අයි.සී.එච්.එකේදි එහි පළමු ප්‍රසංගය පවත්වද්දී නලියා මට නිකමට කිව්වා මේ කොන්සට් සීරීස් එක ඉවර වෙද්දි මම කොහොම හරි උඹව බන්දලා තමයි පස්ස බලන්නේ කියලා. ඊට පස්සේ ඔහු නිකම් හිටියෙ නෑ. ප්‍රසංගය මැදදි මාව පෙන්නලා නිතරම ඕඩියන්ස් එකට කිව්වා මෙන්න මෙයා තනිකඩයි කියලා. ප්‍රසංගයේ නිවේදකයා කැළුම් ශ්‍රීමාල්. ඔහුත් ඉතින් නලියට දෙවැනි නැහැ. නලීන්ගේ මේ වචනවලට සෑහෙන්න පෝර දැම්මා. ඔය ආවේ මරියා ප්‍රසංගය තියෙද්දිත් ඔය වචන ටික ඔහොම්මම ඕඩියන්ස් එකට කිව්වා. ඒවා අහලා සමහරවිට දුලානිට හිතෙන්නට ඇති මට කතා කරන්න. දුලානි එදා ඇවිත් තිබුණේ නලින් පෙරේරාට ඇති කැමැත්ත නිසා නලියගෙ හොඳ ෆෑන් කෙනෙක් ඇය. එදා දුලානි මාව ඇගේ ජංගම දුරකථනයෙන් පටිගත කරලා. මගේ වාදනය අගයලා තමයි ඇය මූණු පොත හරහා මට මුලින්ම පණිවුඩයක් එව්වේ. එතැන් පටන් අපි දෙන්නාගේ චැට් එක දිගටම ගියා. එහිදී එක්තරා තැනකදී අපි පෙම්වතුන් බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි අපි විවාහ වෙන්න තීරණය කරන්නේ. දුලානි වැඩ කරන්නෙ ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ. ඇය එහි ජ්‍යෙෂ්ඨ තනතුරක් දරනවා. මේ කසාදයේ නිල නොලත් කපුවෝ දෙන්න තමයි මේරියන්ස් නලීන් සහ කැළුම් ශ්‍රීමාල්.

හැබැයි කාලයක් යනකල් නලියවත් දන්නෑ මම මෙහෙම කෙල්ලෙක් සෙට් කරගෙන කියලා. ඔහු මේ සම්බන්ධය දැනගත්තට පස්සේ අපිට ආශිර්වාද කළා. ඒ වගේම 'එදා ප්‍රසංග මාලාව පටන් ගන්න කලින් දුන්නු පොරොන්දුව ඉෂ්ට වුණා නේද' කියලත් ඔහු කිව්වා.

 

මෙච්චර කල් තනිකඩව ඉඳලා ඇයි දුලානි වගේ කෙනෙක් ඔබේ ජීවිතයට සමීප කර ගත්තේ?

ඇත්තටම දුලානි කියලා කියන්නේ පොළොවෙ පය ගහලා ජීවත් වන චරිතයක්. ඇගේ ගති ගුණ හරිම අව්‍යාජයි. ඒ වගේම දැන් සහ අපි බඳීන්න පෙර සිටම ඇය කවදාවත් මම ගන්නා මගේ වෘත්තීයමය තීරණවලට බලපෑම් එල්ල කළේ නැහැ. ඇය දන්නවා මම ගන්නේ නිවැරැදිම තීරණය කියලා. සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට ඒ මානසික නිදහස සෑහෙන වැදගත්. අපේ සම්බන්ධය ගැන නලීන්ට කිව්වට පස්සේ ඔහු දැක්කා දුලානි සහ මම එකිනෙකාගේ විවිධත්වයට ගරු කරනවා කියන කාරණය. ඒ පිළිබඳ කීමෙන් තමයි ඔහු අපිට ආශිර්වාද කළේ.

මොනවද ඔබේ සංගීතමය පැත්තෙ අලුත් විස්තර තියෙන්නෙ?

ඇත්තටම මේ දවස්වල මම පොතක් ලියනවා. ඒකෙ ඇතුළත් වෙන්නෙ අපේ තත්වාද්‍ය භාණ්ඩවල පරිණාමය සිදු වුණේ කොහොමද කියලා. මම පොත අපේ නවකයන් වෙනුවෙන්ම රචනා කරන එකක්. ඒ වගේම වැඩසටහන්වලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායකත්වය නිතරම මම ලබා දෙනවා. මගෙන් අපේ නවකයෝ අහන එකක් තමයි සංගීතය උගන්වන්නේ නැද්ද කියන එක. මට ඒකට උත්තරයක් ලෙස මෙහෙම දෙයක් කියන්න පුළුවන්. තව අවුරුදු දහයකින් විතර මම ලොකු ඇකඩමි ඒකක් ආරම්භ කරන්න සූදානම් වෙනවා. උදාහරණයක් විදිහට පිටරටකට ගිහිල්ලා බොහෝ දෙනෙක් සංගීතය ඉගෙන ගන්නවානේ. අන්න ඒ පිරිසට පිටරට යන්නේ නැතුව ලංකාව තුළ ඒ හා සමාන පරිසරයක් තුළදී ඉගෙන ගන්න විදිහේ වැඩපිළිවෙළක් තමයි මම හදන්නට සූදානම් වෙන්නේ. මගේ වැඩසටහන්වලට නිතරම නවකයන් සම්බන්ධ කර ගන්නෙත් ඔවුන්ට තැනක් දෙන්න අවශ්‍ය නිසා. අපේ කාලයේ අපි බොහොම වැර වෑයමෙන් තමයි මේ ඉන්න තත්වෙට ආවෙ. සමහර අය කැමති වුණේ නැහැ අපි ඉස්සරහට එන එකට. ඒ ඔවුන්ගේ තැන නැති වෙයි කියන බයට. මට නම් අවංකවම එහෙම කිසිම බයක් නැහැ. නවකයන්ට තැනකට එන්න ලේසි කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඔබ වුණත් දැකලා ඇති ඇති රූපවාහිනී බයිලා සාදයට මම කොච්චර නම් දක්ෂයන් ගෙනාවාද කියලා සමහර අය ළමයි. ඒ වුණාට ඔවුන්ගේ දක්ෂතාවය ඉතා ඉහළයි.

 

 

සේයාරූ - ධනුෂ්ක සේනාධීර