ටෙනී වගේ රඟන ටොනිබෝයි හෙට්ටියකන්ද

ඔක්තෝබර් 28, 2021

 

 

 

 

ටෙනිසන් කුරේගේ රුව හා සමාන රුවක් ඔබට ඇති නිසා බොහෝ අය ඔබට රැවටෙනවා?

ඔව් ඒක ඇත්ත. මේ වෙලාවේ මට එක සිද්ධියක් මතක් වෙනවා. අපේ ගම් පරිශ්‍රයේ 'රැලිය' වේදිකා නාට්‍යය වේදිකා ගත කරන්නට සූදානම් වුණ වෙලාවක අසනීප තත්ත්වය නිසා ටෙනී අයියට ඒ දිනයකට එන්න බැරි වුණා. මම තමයි ඒ වෙනුවට රඟපෑවේ. මම වේදිකාවට එද්දී පුදුමාකාර විදිහට ප්‍රතිචාර ආවා. මිනිස්සු විසිල් ගහලා අත්පුඩි ගැහුවා. ඒත් ටිකක් වෙලාවකට පස්සෙ තමයි ඔවුන්ට හරියටම තේරුණේ මේ ඉන්නේ ටෙනිසන් කුරේ නෙවෙයි කියලා. විවේක කාලයෙන් පස්සේ ඒක හරියටම දැන ගත්තා. ඒත් ප්‍රතිචාර දිගටම ආවා. වේදිකා නාට්‍යය ඉවරවෙලා ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා සෑහෙන්න කිව්වේ අපි මුල් ටිකේ හරියට රැවටුණා ඔයා ටෙනිසන් කුරේ වගේ නිසා කියලා.

 

කොච්චර කල් වෙනවද ටෙනී අයියාව අනුකරණය කරන්න පටන් අරන්?

ඇත්තටම මම කවදාවත් හිතලා මතලා ටෙනි අයියව අනුකරණය කළේ නැහැ. දෙදහස් දාහතරේ විතර 'ඔබතුමා' කියලා වේදිකා නාට්‍යයකට මට කතා කළා. හැබැයි ඒ නාට්‍යයට කලින් කතා කරලා තිබුණේ ටෙනී අයියට. ඔහුගේ කාර්යබහුලත්වය නිසා ඔහුට ඒකට සහභාගි වෙන්න බැරි වෙලා. අන්තිමේ ඒ නාට්‍යයේ අධ්‍යක්ෂ මට කතා කළා. අන්න එතැන ඉඳලා තමයි මම ටෙනි අයියා විදිහට රඟපාන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඇතැම් නිර්මාණවලට ටෙනී අයියට යන්න බැරි වුණාම මම ඒ සඳහා දායකත්වය ලබා දුන්නා. ටෙනී අයියාම මට කතාකරලම එහෙම අවස්ථා ලබාදීලා තියෙනවා.

 

ඔබ ටෙනිසන් කුරේ විදිහට රඟපානවා දැකලා ටෙනිසන් කුරේ මොනවද කිව්වෙ?

ඇත්තටම මම මුලදී හිතුවේ ටෙනී අයියත් ඒකට විරුද්ධ වෙයි කියලා. ඒත් ඔහු කවදාවත් එහෙම රඟපාන්න එපා කියලා නැහැ. මමත් ටෙනී අයියලගෙ ගමේම තමයි. මම ඔහුව ළගින් ඇසුරු කළා. ටෙනි අයියා සමහර අවස්ථාවන්වලදී මට ආශිර්වාද කරලා තියෙනවා. සමහර අවස්ථාවන්වලදි ඔහුම නිර්දේශ කරලා තියෙනවා මාව ගන්නය කියලා. ටෙනි අයියා විදිහට සියයට සියයක්ම මට රඟපාන්න බැහැ. ඔහු කිට්ටුවටවත් එන්න බෑ. ඒ තරම් දක්ෂ නළුවෙක් ඔහු. 'සිකුරු යෝගය' සිනමාපටයේ අන්තිම ටිකට ඔහුට රූගත කිරීම්වලට දායකත්වය ලබා දෙන්න බැරි වුණා. අන්න ඒ වෙලාවේ එහි අධ්‍යක්ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දුට මාව සම්බන්ධ කර දුන්නේ ටෙනී අයියාම තමයි. ටෙනි අයියා වෙනුවට ඒ චිත්‍රපටයේ අන්තිම ටික රඟපෑවේ මම.

 

අද වන විට ටෙනිසන් කුරේ ජීවතුන් අතර නැහැ. මේ තත්ත්වය මත ඔබට ඔහු ලෙස යම් යම් චරිත රඟපාද්දි ටෙනිසන් කුරේගේ නිවසෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නෙ?

ඇත්තටම මේ වෙලාවේ ටෙනිසන් කුරේ මහත්මයාගේ නෝනා මල්සිරි කුරේ, ඒ වගේම දියණිය මධු මිහිරි කුරේ, බෑනණුවන් වන චතුරංග ප්‍රනාන්දු කියන සියලු දෙනාම මතක් කරන්න ඕනේ. ඔවුන් මට ටෙනි අයියා විදිහට රඟපාන්න අවසර ලබා දීලා තියෙන්නේ. ටෙනි අයියා වේදිකාගත කරමින් සිටි 'සිවම්මා ධනපාල' වේදිකා නාට්‍යය නැවත පටන් ගන්නට පෙර පොඩි උත්සවයක් තිබුණා. මාධ්‍යයෙනුත් එහෙම එදා ඇවිල්ලා හිටියා. අන්න ඒ දවසේදී ප්‍රසිද්ධියේ ටෙනී අයියාගේ දියණිය මට ඒ අවසරය ලබා දුන්නා.

 

ඔබේ රංගන ගමන ආරම්භ වුණු විදිහ ගැන සඳහන් කළොත්?

මගෙ ගම මොරටුව. ශාන්ත අන්තෝනි විදුහලෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. පාසලෙන් සහ ගමේ පල්ලිය සුවකිරීමේ ක්‍රිස්තු රජාණන්ගේ දෙව්මැදුරෙන් නාට්‍ය සඳහා ආභාසය ලැබුණා. 1981 දි තමයි මම රංගනයට යොමු වෙන්නෙ. ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ මායාකාරයෝ කියන වේදිකා නාට්‍යයෙන්. ඊට පස්සේ සොකරී, හාමු ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක මම රඟපෑවා. ඊට පස්සේ ටෙනී අයියාගේ කුරුල්ලා, කැප්ටන් කූල්, සිවම්මා ධනපාල වගේ නාට්‍යවලට සම්බන්ධ වෙලා දිගටම රංගන කටයුතුවල යෙදුණා.

 

මේ දවස්වල ඔබ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා ඒ ගැන විස්තර කිව්වොත්?

ටෙනි අයියා කරපු 'සිවම්මා ධනපාල' වේදිකා නාට්‍ය නිෂ්පාදනය නැවතත් වේදිකාවට ගෙන එන්නට අපි ලෑස්ති වෙලා ඉන්නවා. ක්‍රිෂාන්ත වීරමන් තමයි නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයා ලෙස දායකත්වය ලබාදෙන්නේ. හැබැයි මම මේකෙ රඟපාන්නෙ ටෙනී අයියා රඟපාපු ධනපාල කියන චරිතය නෙමෙයි. ධනපාල චරිතය කරන්නේ අපේ සහෘද රංගන ශිල්පී රජිත හිරාන් එහෙමත් නැත්තම් පිංපොං. මම ඒකෙ වෙනම චරිතයක් රඟපානවා. ඒක පසුගිය දිනයක වේදිකාගත කරන්නට සූදානමින් තිබුණත් කොරෝනා වසංගතයේ හේතුවෙන් අපිට ඒක කල් දාන්න සිද්ධ වුණා. ළඟදීම ඒක වේදිකා ගත වේවි.