සෑම නිර්මාණයකටම මූණ දාන එක මගේ ඉලක්කය නොවේ

නොවැම්බර් 4, 2021

 

අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ මට්න් කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ මාලක මධුසංඛ

නළුවාගේ හොඳම වර්ක්ෂොප් එක තමයි සමාජය

 

කොහොමද ඔබ නළුවෙක් වෙන්නේ?

මම ඉපදුනේ අනුරාධපුරයේ. දකුණු බටගම ධර්මාශෝක විද්‍යාලයත් කරුණාරත්න බෞද්ධ විද්‍යාලයත් කියන පාසල් දෙකෙන් තමා මම අධ්‍යාපනය හැදෑරුවෙ. සුරංග ලක්මාල් සෙනවිරත්න මහත්මයා තමා මට රංගනයේ අයන්න කියලා දීපු ගුරුවරයා. එතුමා අපේ ඊඍ ඒජචඤඥථරයේ ශිෂ්‍යයන්ට තාත්තා කෙනෙක් වගේ. අපේ TV Academy එකට මම සම්බන්ධ වෙන්නේ 2018 පෙබරවාරිවල. එතන ඉදන් මම අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, දෙවන සහාය අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, තිර රචනය සහ රංගනය කියන අංශ කීපයක්ම යටතේ හැදෑරීම් කළා. නළුවෙක් වෙන්න නම් මේ හැමදෙයක්ම ඉගෙනගන්න එක වටිනවා. අපේ TV Academy එක ඒ හැමදෙයක්ම ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් තැනක්. අපි එකාංගික ටෙලිනාට්‍ය ,ළමා ටෙලිනාට්‍ය, වාර්ථා චිත්‍රපට, පෝය නාට්‍ය වගේ නිර්මාණය ඇකඩමිය ඇතුළේ කරලා අත්දැකීම ගත්තා. ඉතිං ස්තූතියිවන්ත වෙනවා අපේ TV Academyයටත් සුරංග ලක්මාල් සෙනවිරත්න ගුරුතුමාටත් ඇකඩමියේ සහෝදර සහෝදරියන්ටත්. අපිට තිරරචනයෙ සිට සංස්කරණය දක්වා නිර්මාණයක් ගොඩනැගෙන්නේ කොහොමද කියලා ඉගෙනගත්තාම නලුවාට ඒක කොයි තරම් වාසියක්ද කියන එක academy අපිට පෙන්නලා දුන්නා. මම අද ඒක ප්‍රායෝගිකව අත්විදිනවා.

ඔබ රඟපෑ කකුළුවො සහ මකුළුවෝ නාට්‍යයේ චරිතය ඉතාම ජනප්‍රිය වුණා?

නළුවාගේ හොඳම වර්ක්ෂොප් එක තමා සමාජය. ඒ සමාජය එක්ක හැප්පෙන චරිතයක් තමා කකුළුවෝ සහ මකුළුවෝ ටෙලිනාට්‍යයේ වීල් මාලක. වීල් මාලකට සමාජයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම රඟපාපු දර්ශන කීපයක්ම ෆේස්බුක් හරහා වයිරල් ගිහින් තිබුණා. සමහර වීඩියෝ මිලියනයක් ඉක්මවලා බලලා තිබුණා. ඒත් ඉක්මනින් ජනප්‍රිය වීම නළුවෙකුට පාඩුවක් විදියට මම දකින්නේ. මොකද ඔහුට අත්දැකීම් අඩු නිසා. මම අවුරුදු 4ක් ඉගෙනගත්තා. තාමත් ඉගෙනගන්නවා. ඒ නිසා මම සාර්ථක වෙන තැන් මට දරාගන්න පුළුවන් වෙලා තියෙනවා.

 

ඔබ රඟපෑ ප්‍රථම කෙටි චිත්‍රපටය අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වුණා. ඒ ගැන වචනයක් කතා කළොත්?

මට්න් කෙටි චිත්‍රපටයේ මම රගපෑවෙ සම්මාන ගැන හිතලා නෙමේ. හැබැයි කරන වැඩෙ හරියට කරලා කරපු වැඩෙ රසවිඳින්න ආස කෙනෙක් මම. මෙම කෙටි චිත්‍රපටයට මාව තෝරගන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ගෞරව උපාධිය අවසන් කරන අවසන් වසරේ ශිල්පියෙක් වන හසන්ත දිසානායක සහෝදරයායි. එහි පිරිමි ප්‍රධාන චරිතය මට කරන්න පුළුවන් කියලා හසන්තට මං ගැන විස්වාසයක් තිබුණා. ඒ විස්වාසයට වටිනාකමක් දෙන්න මමත් ඒ අභියෝගය බාරගත්තා. හසන්ත අධ්‍යක්ෂවරයෙක් විදියට ආධුනික මං වෙනුවෙන් ඒ අභියෝගය බාර ගත්තා. අපි හිතනවා සම්මානයත් එක්ක අපි දෙන්නම සාර්ථක වෙලා කියලා. රංගන ශිල්පිනී නදීශානි පේළිආරච්චී අක්කා තමයි මගෙත් එක්ක අනිත් චරිතය රඟපාන්නේ. ඇය හා හසන්තගෙ මට්න් නිෂ්පාදන කණ්ඩායම මට ලොකු සහයෝගයක් දුන්නා.මම සාර්ථක වෙන්න ඒ හැම කෙනෙක්ම ඒ මොහොතේ බලපෑවා. මං ගැන විස්වාස කළාට හසන්තටත් හසන්තගේ නිෂ්පාදන කණ්ඩායමටත් ස්තූතියි වන්ත වෙනවා. අන්තර්ජාතික ජයග්‍රහණය ගැන තියෙන්නේ නිහතමානි සතුටක්.

 

මොනවද ඔබේ ඉදිරි නිර්මාණ?

අලුත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. දෙකේම කලින් කරපු චරිත දෙකට වඩා වෙනස් පාරාසයක වෙනස් චරිත දෙකක්. ඒ වැඩ දෙක කරන්න ඉතාම සතුටින් සූදානම් වෙනවා. වෙනස්ම හැඩයක ගීත රූපරචනාවකට ආරාධනා ලැබිලා තියෙනවා. මාලක විතානගේ නමින් මගේ යූ ටියුබ් චැනලය ආරම්භ කරන්න මේ දවස්වල වැඩ කරගෙන යනවා. ඒ අතරතුර රංගන අභ්‍යාස කරමින් ඉගෙනගන්න වැඩ කරගෙන යනවා. මට අවශ්‍ය චරිතාංග නළුවෙක් වෙන්න. ඉතිං විවිධ හැඩවල විවිධ පාරාසයන්වල චරිත ලැබෙනවට තමා මම කැමති. කකුළුවෝ මකුළුවෝ වීල් මාලකගේ චරිතයත්, මට්න් රහස්පරීක්ෂක නෙවිල්ගේ චරිතයත් කියන්නේ ඒ වගෙ හැඩ දෙකක පරාසයන් දෙකක චරිත දෙකක්. ඉස්සරහටත් මං එහෙම වෙනස් වැඩ ලැබුණොත් රඟාපානවා. නැත්නම් ඉගෙන ගන්නවා.හැම වැඩකටම මූණ දාගන්න එක මගේ ඉලක්කය නෙමෙයි.