කලාකරුවාට තම නිර්මාණවලින් රසිකයන් දැනුම්වත් කළ හැකියි

-සංගීත ශිල්පී ආනන්ද වෛද්‍ය‍සේකර
නොවැම්බර් 18, 2021

 

ආනන්ද වෛද්‍යසේකර කියන්නෙ පරම්පරාවෙන් සංගීත උරුමය ලත් කලා ආභාසය ඉදිරියටම රැගෙන යන්නෙක්. ආනන්ද ප්‍රවීණ ගායක දේවානන්ද වෛද්‍යසේකරගේ බාල සොයුරාගේ පුතාය. මේ පිළිසඳර ඔහු සමඟයි.

 

මේ දවස්වල කොහොමද?

නිවසටම වෙලා තමයි මේ දවස්වල වැඩි කාලයක් ගත කරන්නේ. රටේ තියෙන තත්ත්වය තරමක් අයහපත් නිසා පවුලේ අයත් එක්ක, ඒ අය ආරක්ෂා කරගෙන මේ දුෂ්කර කාලය ගත කරනවා.

 

කලා කටයුතු ගැන කතා කළොත්?

ඒ ගැන නම් කියන්න කනගාටුයි. රටේ පවතින අයහපත් තත්ත්වය නිසා කලා කටයුතුවලත් යම්කිසි පසුබෑමක් තියෙනවා. කලා කටයුත්තක නියැළෙන්න තරම් මානසික නිදහසක් හිතේ නැහැ. ඒකට ප්‍රධාන වශ‍යෙන් මේ දවස්වල ආර්ථික තත්ත්වයත් බලපාලා තියෙනවා. අපි වැනි කලාකරුවන්ට ස්ථිර වැටුපක් නැහැ. ඉතින් ඒ හින්දා මේ දවස්වල අලුත් කලා නිර්මාණ බිහි වෙන්නට තියෙන ඉඩකඩ ඇහිරිලා තිබෙනවා.

 

වසංගතයෙන් ගොඩ එන්න කලාකරුවන්ට කරන්න පුළුවන් මෙහෙය ගැන කිව්වොත්?

ඇත්තටම මෙහිදී කලාකරුවන්ටත් සුවිශාල මෙහෙයක් ඉටු කරන්න පුලුවන්. කලාකරු‍වෙක්, සිදුකරන නිර්මාණයක් තුළින් යම්කිසි පණිවුඩයක් රටට ලබා දෙනවා. ඉතින් අපිට කලා නිර්මාණයක් තුළින් වසංගතයෙන් ගොඩ එන විදිහ ගැන සමාජයට පණිවුඩයක් ‍දෙන්න පුළුවන්. අද ති‍යෙන දියුණු තාක්ෂණය භාවිත කරලා අපිට පුළුවන් නිවෙසේ ඉඳන්ම කලා නිර්මාණයක් තුළින් ජනතාව අතරට පණිවිඩයක් ගෙන යන්නට.

 

ඔබගේ අනාගත සැලසුම් ගැන කිව්වොත්?

අලුත් වැඩ ගොඩක් සැලසුම් කරලා තියෙනවා. කොවිඩ් වසංගතය පැතිරෙන්නට පෙර සිටම, රටේ සැඟවුණු ගී තරු කරළියට ගෙන එන්නට වැඩසටහනක් ආරම්භ කළා. ඒ මඟින් ආධුනික ගී පද රචකයන්, ගායකයන් විශාල සංඛ්‍යාවක් සමාජයට දායාද කරන්නට හැකි වුණා. ඉතින් ඒ කටයුතුත් දැන් ටිිකක් ඇණහිටලයි තියෙන්නේ. ඒ කටයුත්ත යළිත් නවත්වපු තැනින් පටන්ගත යුතුයි. ඉදිරියේදී අලුත් වැඩ කිහිපයක්ම කරන්නට සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳව ආනන්ද වෛද්‍යසේකර කියන මගේ යූ ටියුබ් නාළිකාව ඔස්සේ ඉදිරියේදී තොරතුරු දැන ගත හැකියි.