වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
බිම දියසෙවල, උරහිසේ ගෑනු ළමයෙක් එදා මං මර බයෙන් හිටියේ

ඇත්තටම මට සමස්තයක් විදිහට ඒ පිළිබඳ සැටිස් වෙන්න බැහැ
හමුදාවෙන් අනුයුක්ත කළ කැඩෙට් නිලධාරියකු ගමේ පාසලට පැමිණෙයි. ඔහුගේ නම නිශ්ශංක. ඒ තරුණ නිලධාරියාට මේ පාසලේ ක්‍රීඩාවට දක්ෂ ශිෂ්‍යයාවන් සිටින වග පෙනෙයි.
"අපරාදේ මේ දක්ෂයන්ගෙ දක්ෂතාවයන් අපතේ යනවා" නිශ්ශංකට එසේ සිතෙයි. ඒ සිතුවිල්ලේ දිගුවක් ලෙස ඔහු පාසලේ සිටිනා සරඹ විෂය භාරව සිටිනා යමුනා ටීචර් සමඟ එක්ව කාන්තා පාපන්දු කණ්ඩායමක් පාසලේ ශිෂ්‍යයාවෝ එක්කාසු කොට ගෙන නිර්මාණය කරති. නිශ්ශංක බොහොම ධනාත්මක ලෙස සිතන අයෙකි. එහෙයින් මේ පාපන්දු කණ්ඩායමට පැමිණෙන නොයෙක් අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට නිශ්ශංක මහත් පිටිවහලක්වේ. මේ නිශ්ශංක සිටින්නේ ස්වර්ණවාහිණියෙ විකාශය වන චලෝ ටෙලි සිතුවමේය. තරුණ රංගන ශිල්පියෙකු වන දිනිඳු ඒකනායක එම චරිතය නිරූපණය කරනු ලබයි. අද මේ කතාබහ ඔහු සමඟය.
මේ දිනවල ඔබ වඩාත් ජනප්‍රිය චලෝ නාට්‍යයේ ඔබේ චරිතය පිළිබඳ මම හඳුන්වාදීමක් කළා. වැඩිදුරටත් ඒ පිළිබඳ සඳහනක් කළොත්?
ඇත්තටම ඒ චරිතය මට අභියෝගාත්මක චරිතයක්. මම එහෙම චරිත නිරූපණය කරන්නටයි වඩාත් ප්‍රිය කරන්නේ. නිශ්ශංක කියලා කියන්නේ බොහොම ධනාත්මකව හිතන කෙනෙක්. ඒ වගේම පරමාදර්ශී චරිතයක් කිව්වත් වැරදි නැහැ. මං හිතනවා පාසල් වලට අනුයුක්ත කරන්න ඕනේ ඒ වගේ නිලධාරීන්. මොකද ඒ වගේ අය ලැබෙන වැටුපට එහා ගිය සේවයක් කරනවා. නිශ්ශංක කියන්නෙත් අන්න එහෙම කෙනෙක්. ඔහු කැඩෙට් නිලධාරියෙක් විදිහට තමයි පාසලට එවන්නේ. නමුත් ඔවුහු එතැනින් එහා ගිය සේවයක් පාසලට ඉටු කරනවා. රංගන ශිල්පියෙක් විදිහට මෑත කාලීනව මාව ගොඩක් මිනිස්සු අතරට ගිය නාට්‍ය දෙකෙන් එකක් තමයි සමීර හසුන්ගෙ චලෝ කියලා කියන්නේ. අනිත් නාට්‍යය සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ කකුළුවෝ සහ මකුළුවෝ. නිශ්ශංකගේ චරිතය අභියෝගයක් කියලා මම කලින් කිව්වනේ. ඇත්තටම අභියෝගාත්මක දර්ශන ඒ වෙනුවෙන් මට නිරූපණය කරන්නට සිද්ධ වුණා. මේ වෙලාවේ මට ඒ වගේ සිද්ධියක් මතක් වෙනවා. ගෑනු ළමයෙක් කරේ තියාගෙන යන්න එක්තරා අවස්ථාවකදි සිදුවුණා. එය රූපගත කිරීම් කළේ අයගම ප්‍රදේශයේ දිය ඇල්ලක් ගාව. ඒ අවට තිබුණු ගල් වල දියසෙවල බැඳීලා තිබුණෙ. හදිසියේවත් පොඩ්ඩ එහෙම වුණානම් එහෙම ලිස්සන්න ඉඩකඩ තිබුණා. මම කොහොම හරි බේරුණා කියලා හිතන්නකො. නමුත් මගේ කර උඩ ඉන්න ළමය.. මම ලිස්සුවොත් ඒ ළමයට අල්ලගන්නවත් තැනක් නැති වෙනවා. ඒ දර්ශනය බොහොම ප්‍රවේශමෙන් මම නිරූපණය කළේ.
ඔබ රංගන ශිල්පියෙක් පමණක් නොවේ?
ඔව්. මම නළුවෙක් විදිහට වැඩ කටයුතු කරනවා වගේම නිදහස් රචකයෙක් විදිහටත් වැඩ කටයුතු කරනවා. ඒ වගේම තිර රචකයෙකු විදිහටත් නිර්මාණයන්ට දායක වෙමින් සිටිනවා.
තිර රචකයකු විදිහට මොන වගේ නිර්මාණයන්ටද මේ දිනවල ඔබගේ දායකත්වය ලබා දෙන්නෙ?
සිරස නාළිකාවේ විකාශය වන පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යය සඳහා රචකයකු විදිහට මම මේ දවස්වල දායකත්වය දක්වනවා. එය රචනා කරන්නේ මම ඇතුළු හතර දෙනෙක්. අනූෂ, ටිෂාන්, රුසිරු අනිත් තුන්දෙනා. අපි හතර දෙනා එකතුවෙලා තමයි පියාඹන මූනිස්සම් නාට්‍යය රචනා කරන්නේ. මම හිතනවා ඒ වගේ කණ්ඩායමක් එකතු වෙලා තිර රචනයක් කරද්දී වඩා සාර්ථක නිර්මාණයක් බිහි වෙනවා කියලා.
වර්තමානයේ තිබෙන ටෙලි නාට්‍යය කලාව ගැන නළුවෙක් විදිහට සහ තිර රචකයෙක් විදිහට විදියට ඔබ තෘප්තිමත්ද?
ඇත්තටම මට සමස්තයක් විදිහට ඒ පිළිබඳ සැටිස් වෙන්න බැහැ. හැබැයි නළුවෙකු විදිහට අපට අවස්ථාවන් බිහිවීම පිළිබඳ නම් සතුටුයි. මම තෘප්තිමත් වෙන්න බෑ කියලා කිව්වේ ටෙලි නාට්‍යය කරන පිලිවෙළ. ඒකට කාටවත් දොස් කියන්න බැහැ. අපිට එක කොටසට ලැබෙන බජට් එක අඩු වීමත් එක්ක තමයි මේ වගේ තත්ත්වයන් එන්නේ. එතකොට නිෂ්පාදකවරයා බේරා ගැනීම සඳහා දවසක වැඩි දර්ශන ප්‍රමාණයක් රූපගත කිරීම් කරන්න සිද්ධ වෙනවා. එතකොට නළුවෝ නිළියන්ට ගෙවන ගාණද අඩු වෙනවා. නමුත් වැඩි මහන්සියක් අපි යොදවන්න ඕනේ. ඒ පැත්තෙන් ඒ විදිහට වුණාට නළුවකු විදිහට අපිට අවස්ථාවන් හුඟක් ලැබෙන්නේ ටෙලි නාට්‍යය විකාශය නිර්මාණය වීම නිසා. ඒ ගැන හිතලා සතුටු වෙන්න හිත හදා ගන්නට පුළුවන්.
පියාඹන මූනිස්සම් නාට්‍ය රචනය කරන ගමන් ඔබ ඔබ එහි චරිතයකුත් නිරූපණය කරනවා. ඔබට සිතැගි පරිදි ඒ චරිතය ලියා ගන්නට පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්?
තිර රචකයකු විදිහට ලියන්න වාඩි වුණ තැන ඉඳල මම හිතන්නේ මම මෙහි තිර රචකයා පමණයි කියලා. එතනින් එහාට මගේ චරිතය පිළිබඳ මම හිතන්නේ නැහැ. මොකද අපි හතර දෙනෙක් එකතු වෙලා තමා මේ නාට්‍යය ලියන්නේ. ඉතින් මගේ චරිතය කිසිසේත්ම ඉස්මතු වෙන්නට මම අවස්ථාව දෙන්නේ නැහැ. මම ඒ නාට්‍යයේ රඟපාන්නේ නැහැ කියලා උපකල්පනය කරමින් තමයි නාට්‍යය ලියන්නට මම පටන් ගන්නෙ.
ඔබ නළුවෙක් විදිහට අද යම් තැනක ඉන්නවා. ඔබේ ගමනේ මූලාරම්භය ගැන මතක් කරන්නට මා කැමැතියි?
නළුවෙකු විදිහට මගේ ටෙලිනාට්‍ය ජීවිතය ආරම්භ වන්නේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ සොඳුරු ගිම්හානය නාට්‍යයෙන්. එහි තමයි මම හා හා පුරා කියලා චරිතයක් රඟපාන්නේ. මම මිනිස්සු අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වන්නේ සල්සපුනා නාට්‍යයේ දහම් කියන චරිතයෙන්. ඊට පසුව ක්වීන් නාට්‍යයේ චාමික ලෙස චරිතයක් රඟපානව. මුතුලෙන්දොර නාට්‍යයේ මැනුවල් කියලා තවත් චරිතයක් නිරූපණය කරනවා. ඔන්න ඔය චරිත හරහා මම වඩා වැඩි ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට සමත් වෙනවා. වාසනාවට මට දිගටම ලැබුණේ එකිනෙකට වෙනස් චරිත. සල් සපු නා දහම් නෙමේ නෙමේ ක්වීන් නාට්‍යය චාමික. මුතුලෙන්දොර මැනුවෙල් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. යම් යම් සියුම් තැන් අධ්‍යයනය කරමින් ඒ චරිතවල වෙනස් ස්වරූපයන් ඉස්මතු කරන්නට මම උත්සාහ කළා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ රත්නා ලාලනී ජයකොඩි, සුගත් සමරකෝන් සහ සුරංග ලක්මාල් සෙනෙවිරත්න කියන මගේ නාට්‍ය ජීවිතයේ ගුරුවරුන්. ඒ අයවත් මතක් කරන්න ඕනේ..
ඔබේ පුද්ගලික ජීවිතය ගැන කතා කළොත්?
මම විවාහකයි. බිරිය තිලංකා ලක්මාලි. මගේ ගම නුවර උලපනේ. තාත්තගේ රස්සාවත් එක්ක වැඩිපුර ජීවත් වුණේ කුරුණෑගල. වයඹ රාජකීය විදුහලෙන් සහ කොළඹ රාජකීය විදුහලින් තමයි මම අධ්‍යාපනය හැදෑරූවේ. මං ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබඳ උපාධිධාරියෙක්.
සේයාරූ - නිශ්ශංක විජේරත්න