ඊළඟට එන්නේ වෙන පෙනුමකින්

ෙරෙනි චාරුකා ගුණතිලක
නොවැම්බර් 25, 2021

 

දැන් මිනිස්සු ලෝකෙට මූණ දෙන්නේ තනි තනිව

 

දැන් එළිදකින්නේ වසර දෙකක් තිස්සේ හිර වෙලා තිබුණු කලාත්මක වැඩ

 

අනාගතයේදි අලුත් පරපුරේ දක්ෂතා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ

 

අඩු පිරිවැයකින් හොඳ නිර්මාණයක් කිරීම හොඳ ප්‍රවණතාවක්

අලුත් ගීතයක් නොකරපු වසර හතට අලුත් ගීත හතක් කරනවා

 

දැනෙනවා නම්... ඉන්නවා නම්...

සුහද පිළිගන්න මේ ආදරේ

හිතනවා නම්... පෙනෙනවා නම්...

අපිට දුර යන්න හැකි ප්‍රේමයේ

 

මේ දිනවල නිරන්තරයෙන් මේ පදවැල් ඔබේ සවන් වැකෙනවා ඇති. මනුරංග විජේසේකර විසින් රචිත දිනේෂ් ගමගේ තනු නිර්මාණය කළ මේ ගීතය ගයන්නේ ෙරෙනි චාරුකා ගුණතිලක. වසර හතකට අධික කාලයක් නිහඬව සිට නැවත නව මුහුණුවරකින් නව ගීතයකින් ඔබ හමුවට ඇය ඇවිත්. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ තමන්ගේ අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් කලා ක්ෂේත්‍රය තුළ කැපීපෙනෙන ගමනක් යන ෙරෙනි චාරුකා ගුණතිලකට ඇගේ නවතම ගීතය ගැන සහ වර්තමාන ගායන ක්ෂේත්‍රය ගැන කතාබහකට අපි සම්මුඛ වුණා.

ෙරෙනි අලුත් වැඩකින් ආයෙමත් කරළියට ඇවිත්?

මම කාලෙකට පසුව අලුත් ගීතයක් කළා. ගීතයේ නම "කළුවරට බය හින්දා". ගීතය නිර්මාණය කරලා ඉවර වුණාට පසුව මට හිතුණා ඒකට දෙමළ වර්ෂන් එකක් තියෙන්න ඕනේ කියලා. මොකද ගීතයේ වැඩියෙන්ම ඇහෙන්නේ දකුණු ඉන්දියානු සංගීතය. මේ ගීතයේ තනුව නිර්මාණය කළේ දිනේෂ් ගමගේ. සංගීත සංයෝජයන අමිත් ගුරු. සිංහලෙන් ගීතය ලිව්වේ මනුරංග විජේසේකර, දෙමළ ගීතය ලිව්වේ පොතුවිල් අස්මින්. ගීත දෙකම මේ වෙද්දි එළිදක්වලා තියෙන්නේ.

 

මේ ගීතයේ රූපරචනාවත් විශේෂයි.

රූපරචනාව නිර්මාණය කරද්දි මට ඕනේ වුණා එය දෙමළ ආභාසය සහිතව නිර්මාණය කරන්න. ඒ වගේම මම හරිම ආසයි මාව වෙනස් ස්වරූපවලින් මිනිස්සු දකිනවට, පේනවාට. ඒ නිසා මට ඕන වුණා මේ රූපරචනාවට සම්පූර්ණයෙන්ම දෙමළ චරිතයක් වෙන්න. ටිකක් සිනමාත්මක විදිහට සතීෂ් රත්නරාජා අධ්‍යක්ෂණය කරලා ලස්සන රූපරචනාවක් නිර්මාණය කරලා දුන්නා.

 

ඒ රූපරචනාවේ ජනප්‍රිය ගීත රචකයෙක් සහ සම්මානනීය රංගන ශිල්පිනියක් රඟපානවා නේද?

ඒ මනුරංග විජේසේකර සහ නිරංජනී ෂන්මුගරාජා. මට ඉස්සර ඉඳන්ම ආසාවක් තිබුණා මනුරංග අයියාව වීඩියෝ එකකට සම්බන්ධ කරගන්න. ඔහුට තියෙන්නෙත් දෙමළ පෙනුමක්. ඔහු අඳීන්න පලඳීන්නෙත් ඒ විදිහට. මනුරංග අයියා තමයි අපි සින්දුවක් කරමු, අලුත් වැඩක් කරමු කියලා මාව නිතරම අලුත් නිර්මාණයක් කරන්න පෙළඹුවේ. නිරංජනී කියන්නේ මගේ හොඳම යාළුවෙක්. "කළුවරට බය හින්දා" ගීතයේ දෙමළ ගීතය ගායනා කරන්න මගේ භාෂාව, වචන උච්චාරණය ඔක්කොම සකස් කළෙත් ඇය. ගීත රූපරචනාවට අවශ්‍ය ඇඳුම් පැලඳුම් පවා සකස් කළේ ඇය. ඒ වගේම ඇය ජාතික සහ අන්තර් ජාතික වශයෙන් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇයට ගරු කිරීමක් වශයෙන් ඇයව ගීතයට මම සම්බන්ධ කරගත්තා. මේ දෙන්නාම මගේ හොඳම යාළුවො සහ දෙන්නාම හොඳ වැඩකාරයෝ දෙන්නෙක්. මේ දෙන්නාම මීට පෙර ගීත රූපරචනාවලට ඉඳලා නැහැ. ඔවුන් දෙදෙනාම රූපරචනාවට සම්බන්ධ වීම මගේ ගීතයටත් එළියක්.

 

ගීතයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමු?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතාම ධනාත්මක, ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඍණාත්මක ප්‍රතිචාර ලැබෙන්නේ නැති තරම්. හැමෝම අහන්නේ රූපරචනාවේ අවසානයට මොකද වුණේ කියලා. ඒක ප්‍රශ්නාර්ථයක් විදිහට අවසන් කරන්න අවශ්‍ය වුණෙත් ඒ වගේ ප්‍රේක්ෂකයන් අතර සාකච්ඡාවක් ඇති කරන්න බලාගෙනමයි. ගීතයට සහ රූපරචනාව යන දෙකටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම හොඳ විතරමයි කිව්වේ. ඒ ගැන ගොඩක් සන්තෝසයි.

 

ඔබ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. රංගන ක්ෂේත්‍රයට එන්න අදහසක් නැද්ද?

මට පසුගිය කාලේ රංගනයට ආරාධනා ආවා. විවිධ චරිතවලට. නමුත් මම නිතරම හිතනවා කලා කටයුතුවලින් සැබෑ ජීවිතයේ මගේ පෞරුෂයට හානි වනවා නම් ඒ දෙය කරන්නේ නැහැ කියලා. දැන් ආයෙමත් රංගනය ගැන පොඩි කතාබහක් තියෙනවා. ටිකක් දැවැන්ත චිත්‍රපටයකට ආරාධනා ආවා. ඒක කරනවාද නැද්ද කියලා අවිනිශ්චිත තැනක මම තවම ඉන්නේ.

 

මේ පශ්චාත් කොරෝනා සමයේ කලා ක්ෂේත්‍රයේ නතර වුණු විවිධ විචිත්‍ර වැඩ කටයුතු දැන් එළිදක්වනවා නේද?

විශේෂයෙන් ගීත ක්ෂේත්‍රයේ ඒක පේනවා. වසර දෙකකට ආසන්න කාලයක් අපි හැමෝම කොරෝනා වසංගතයත් එක්ක ගනුදෙනු කරනවා. කොරෝනා අවසන් වුණේ නැති වුණාට හැමෝම ඒකත් එක්ක ඉන්න පුරුදු වෙලා. කොරෝනා වසංගතය එක්ක වුණත් කලා ක්ෂේත්‍රයේ අලුත් අලුත් වැඩ දැන් එළියට එනවා. ඒක ඇත්තටම ලොකු දෙයක්. ගායක ගායිකාවන් හැටියට අපි ගොඩක්ම සාමාන්‍ය ජනතාව එක්ක ගනුදෙනු කරන්නේ. ප්‍රේක්ෂකාගාරයේ සබඳතාව නැති වුණාම අපිට අලුත් වැඩක් කරන්න අපහසුයි. ටිකෙන් ටික එදිනෙදා වැඩකටයුතු සාමාන්‍ය අතට හැරෙනවා. අලුත් නිර්මාණ එළිදකිනවා. ඒ අවුරුදු දෙකකට කිට්ටු වෙන්න හිර වෙලා තිබුණු කලාත්මක වැඩ. ඒක ඉතාම හොඳ දෙයක්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට හොඳ කාලයක් මේක. පසුගිය දින කීපයේ ගොඩක් ලස්සන ගීත රාශියක් අලුතෙන් ආවා. ඒවා එකිනෙකට වෙනස් ශෛලීන්ගෙන් නිර්මාණය වෙලා තියෙන නිසා තම තමන් කැමති විදිහට තොර බේරගෙන රසවිඳීන්න පුළුවන්. මේ වගේ ආර්ථික ප්‍රශ්න ගැටලු එක්ක හොඳ නිර්මාණ බිහි වෙන නිසා ප්‍රේක්ෂකයො සහ සංගීතඥයො යන දෙගොල්ලො ගොඩක් වාසනාවන්තයි. අඩු පිරිවැයකින් හොඳ නිර්මාණයක් කරන එක මෑත කාලයේ අපේ ක්ෂේත්‍රයේ මම දැකපු හොඳ ප්‍රවණතාවක්. ප්‍රේක්ෂකාගාරය තමා වෙත රඳවා ගන්න, ගායකයාව ජනප්‍රිය කරගන්න, ගීතයේ අර්ථය වැඩි කරන්න තමයි අපි ගීතයට රූප රචනාවක් නිර්මාණය කරන්නේ. අලුත් අදහස් එක්ක නිර්මාණශීලීත්වය වැඩි වෙලා අඩු පිරිවැයකින් නිර්මාණ කරන්න කලාකරුවො පෙලඹෙන එක ලොකු දෙයක්.

 

නවක ගායිකාවක් පසුගිය වකවානුවේ ජාත්‍යන්තරයට ගියා?

ලංකාවෙන් අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය වුණ එකම කලාකාරිනිය යොහානි විතරයි. ගායකයෙක් පිටරටකට ගිහින් ගීත ගායනා කරනවා අහන්න ඒ රටේ මිනිස්සු එනවා නම් විතරයි ඒකට ජාත්‍යන්තරයට ගියා කියන්න පුළුවන්. වෙනත් රටක ජීවත් වෙන ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ගීත ගායනා කරනවා කියන එකට ජාත්‍යන්තරයට ගියා කියන්න බැහැ. රටවල් සෑහෙන්න ප්‍රමාණයකට ගිහින් ඒක අපිත් කරනවා. යොහානි ඉන්දියාවට ගියාම එයාගේ සින්දු අහන්න ආවේ ඉන්දියානු ජාතිකයන්. "ජය ශ්‍රී" එකේ රොහාන් - රොහිත දෙන්නාට ඔස්ට්‍රියාවේ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. එයාලගේ ගීත අහන්නේ එන්නේ ඒ රටේ ප්‍රේක්ෂකයන්. ඒ වගේම චිත්‍රාල් සෝමපාල ජර්මනියේ සංගීත කණ්ඩායමක් කරනකොට ඔහුගේ ගීත අහන්න එන්නේ ජර්මන් ජාතිකයන්. යොහානිගේ වෙනස තියෙන්නේ යොහානි ජීවත් වුණේ ලංකාවේ. නමුත් ඇය ජනප්‍රිය වෙන්න ඉන්දියාවේ. දැන් ටිකෙන් ටික ඇමරිකාවේ සංගීතඥයන් යොහානි ගැන කතා කරනවා. ගොඩක් අය යොහානිට බැන්නා ඇගේ අඩුපාඩු කියලා. රසාස්වාදය කියන්නේ ඕනෙම කෙනෙක්ට විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක්. කලා නිර්මාණයක් මිනිස්සුන්ට දැනෙන විදිහ කාටවත් පාලනය කරන්න බැහැ. යොහානිගේ මැණිකේ ගීතය ලංකාවේ ජනප්‍රිය වුණා වගේම ඊටත් වඩා ඉන්දියාවේ ජනප්‍රිය වුණා. ඒක ඒ මිනිස්සුන් වැළඳගත්තා. ලංකාවේ ගොඩක් කලාකරුවෝ එයාට බැන්නා. නමුත් මම ඒක දකින්නේ සෑහෙන්න ධනාත්මක විදිහට. අපේ රටේ කලාකරුවන් කොහොමහරි අන්තර් ජාතික මට්ටමට යන්නයි ඕනේ. විශේෂයෙන්ම ඉන්දියාව වගේ සංගීතය දේවත්වයෙන් අදහන රටක ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වෙන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්.

ගායන ක්ෂේත්‍රයට අලුතෙන් එන අය ගැන මොකද හිතෙන්නේ?

එයාලා ගොඩක් දක්ෂයි. ඔවුන්ගේ හැංඟුණු දක්ෂතා ගොඩක් තියෙනවා. සමහර අය තමන්ගේ දක්ෂතා මොනවාද කියලා හරියට හඳුනාගෙනවත් නැහැ. කවුරුහරි ගායනා කරනවා ඇහුණාම මට කියන්න පුළුවන් අදාළ කෙනාට කොයිතරම් පරාසයක ගීත ගායනා කරන්න පුළුවන්ද කියලා. මම The Voice Teens  තරගාවලියේ කෝච් කෙනෙක් විදිහට හිටියා. ඒ වගේම මම දැන් හඬ පුහුණු වීම් කරනවා. ගොඩක් මවුපියන් මගෙන් අහනවා "ඔයා ඔක්කොම දේවල් ළමයින්ට කියලා දෙනවද?" කියලා. ඒකට හේතුව සාමාන්‍යයෙන් කලාකරුවන් දියුණු වීමේ සහ රඳාපැවැත්මේ රහස් හැමෝටම කියන්නේ නැති නිසා. නමුත් මම ගුරුවරයෙක් විදිහට කිසිම කෙනෙක්ට එහෙම කරන්නේ නැහැ. ඊඩඥ ඍධඪජඥ ඊඥඥද තරගයේදීත් මම වැඩ කරපු විදිහ මගේ දරුවන්ගේ දක්ෂතා වර්ධනය වෙන හැටි හැමෝම දැක්කා. දැන් ඉන්න අලුත් පරපුරේ දක්ෂතා එක්ක වැඩ කරන්න මම හරිම ආසයි. අලුත් පරපුරට විවිධ වේදිකා දැන් තියෙනවා. තාක්ෂණය දියුණු නිසා මුළු ලෝකෙම දකින්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අවුරුදු දහයේ ළමයා ගායනා කරන විදිහ සහ අපි අවුරුදු දහයෙදි ගායනා කරපු විදිහේ ලොකු වෙනසක් තියෙනවා. ඔවුන් ගැන හරිම ආඩම්බරයි. අනාගතයේදි අලුත් පරපුරේ දක්ෂතා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.

 

හඬ පුහුණුකරුවෙක් සහ ගුරුවරියක් විදිහට වැඩ කරන අත්දැකීම කොහොමද?

කවදාවත් හිතුවේ නැහැ මම ගුරුවරියක් වෙයි කියලා. The Voice Teens  තරගාවලියේ කෝච් කෙනෙක් විදිහට සම්බන්ධ වුණාට පසුව මට තේරුණා ඒ වැඩේ මට හොඳට කරන්න පුළුවන් කියලා. ඒත් මට ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. The Voice Teens  තරගය පවතින අතරවාරයේදීත් මට දවසකට දුරකතන ඇමතුම් සෑහෙන්න ආවා දරුවන්ට උගන්වන්න කියලා. ඊට වසරකට පසුව තීරණය කළා හඬ පුහුණුවීම් කරන්න සහ මම දන්න දේවල් අලුත් පරම්පරාවට කියලා දෙන්න. ඒක හොඳ අත්දැකීමක්. ගොඩක් ආසාවෙන් මම ඉගැන්වීම් කරනවා. මම දෙයක් උගන්වලා ළමයි තමන්ගෙ වැරදි හදාගෙන ඒක හරියටම කරනවා දකිනකොට දැනෙන සතුට විස්තර කරන්න නැහැ.

 

ඩිජිටල් යුගයේ අලුත් ගායක ගායිකාවන් ජ්‍යෙෂ්ඨයන්ව බැහැර කරනවා කියලා චෝදනාවක් තියෙනවා.

කොහොමත් පරපුරෙන් පරපුර වෙනස් වෙනවා. මිනිස්සු නිදහසේ, ස්වාධීනව ජීවත් වෙන්න උත්සාහ කරනවා. වෙනත් කෙනෙකුගෙන් යැපෙන එක අඩු කරලා තියෙනවා. මගේ තාත්තා (රූකාන්ත ගුණතිලක) මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාටත් ක්ලැරන්ස් විජයවර්ධන මහත්මයාටත් සින්දු හදලා දීලා තියෙනවා. ජෝතිපාල මහත්මයාටත් සින්දු හදලා දීලා තියෙනවා. ඒගොල්ලො හොඳ යාළුවො. ඒ අය ලොකු මිතුදමක් හදාගෙන ඒකත් එක්ක තමයි ක්ෂේත්‍රයේ හිටියේ. දැන් මිනිස්සු ලෝකෙට මූණදෙන්නේ තනි තනිව. කලාකරුවෝ ක්ෂේත්‍රයේ ඉන්නෙත් තනි තනිව. එතකොට නිරායාසයෙන් තමන් ගැන ආත්ම අභිමානයක්, අහංකාරයක් ඇතිවෙනවා. දැන් පරපුර අපිට ටීවී ඕනෙ නැහැ යූටියුබ් තියෙනවා කියනවා වගේ අලුත් ගායකයො කියනවා පරණ අය ඕන නැහැ කියලා. ඒක මම අනුමත කරන්නේ නැහැ. ඒක හරි දෙයක් නෙමෙයි. ඒ හැමෝම ක්ෂේත්‍රයට ආවේ හරිම අමාරුවෙන්. ඔවුන් ඔවුන්ගේ තැන හදාගන්න මහන්සි වුණා. මේකේ තව පැත්තක් තියෙනවා. ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කියනවා අපි දුක්විඳපු තරම් මහන්සි වුණ තරම් අලුත් අය මහන්සි වෙන්නේ නැහැ කියලා. අපි කාපු කට්ට අලුත් අය කන්නේ නැහැ කියලා එයාලා හිතනවා. ඒකත් වැරදියි. ඒක ඒ අයගේ කතාව, මේක මේ අයගේ කතාව. මිනිස්සු වැඩ කරන්න වෙන මහන්සිය කැපකිරීම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒත් තමන්ගේ තැන හදාගන්න හැමෝම මහන්සි වෙනවා. මමත් කියනවා මම මෙතැනට ආවේ අමාරුවෙන් මහන්සි වෙලා කියලා. එතකොට සමහර අය මගෙන් අහනවා ඔයාට මොකක්ද මහන්සි වෙන්න තියෙන්නෙ ඔයාගෙ අම්මයි තාත්තයි ජනප්‍රිය අයනේ කියලා. ඒ අය මුහුණදෙන ප්‍රශ්න, ගැටලු වෙනස්. මම මුහුණ දෙන ප්‍රශ්න ගැටලු වෙනස්. මම අවුරුදු 12ක කාලයක් ක්ෂේත්‍රයේ ඉන්නවා. කාලෙන් කාලෙට ගායක ගායිකාවෝ එන යන විදිහට එහෙම ඉන්න එකත් අමාරු වැඩක්.

 

ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ දරුවෝ ක්ෂේත්‍රයට එනවා යනවා. ඒත් ඔබ?

ඇත්තටම ඒ පැවැත්ම තමයි අමාරුම වැඩේ. මට ඉස්සර ඉඳලාම ඕනේ වුණේ තනියම වැඩ කරන්න. ස්වාධීන වෙන්න. නැත්නම් මට මගේ ඔක්කොම සින්දු ටික තාත්තාට කියලා හදවගන්න තිබුණා. අපි එහෙම කළේ නැහැ. නංගියි මමයි අපි දෙන්නාම ඒ වගේ. ස්වතන්ත්‍ර නිර්මාණවලින්ම පමණක් ප්‍රේක්ෂකයා අතරට යන්නයි අපිට ඕන. අපි අම්මා තාත්තාගේ ගීත ගායනා කළා නම් එහෙම කළේ වෙනත් ඉල්ලීමක් නිසා පමණයි. නාළිකාවක වැඩසටහනකදී හෝ වෙනත් අවස්ථාවකදී සංවිධායකයන්ගේ ඉල්ලීම මත විතරයි අම්මා තාත්තාගේ ගීත ගායනා කළේ.

 

රයිනිගේ ඊළඟ වෙනස් වැඩේ මොකක්ද?

මාව ප්‍රේක්ෂකයෝ දෙමළ විදිහට දැක්කා. ඊට කලින් සිංහල විදිහට දැකලා තියෙනවා. මම ඊළඟට එන්නේ වෙන පෙනුමකින් වෙන විදිහකට. මම වසර හතක් අලුත් ගීතයක් කරන්නේ නැතුව හිටියා. ඒ වසර හතට අලුත් ගීත හතක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

 
 
ඡායාරූප - ශාන් රූපස්සර