බුද්ධදාස විතානාරච්චි රට හැර යයි

නොවැම්බර් 25, 2021

- මගේ හදවත වයසට වඩා බොහොම තරුණයි 
- අධ්‍යක්ෂවරයාගේ මැටිපිඩක් වෙන්න නම් නළුවා මැට්ටෙක් වෙන්න ඕනෙ

මා ඔබට ඔහු හඳුන්වා දිය යුතුද? නැත. අඩසියවසක් පුරා ගුවන්විදුලිය, වේදිකාව, සිනමාව, රූපවාහිනිය ඔස්සේ ඔහුගේ ගැඹුරු, ගම්භිර හඬ ඔබගේ සවන්පත් තුළ රැන්දූ, මසැස පිනවමින් මනැස අවධි කළ චරිත මැවූ ඔහු බහුවිධ කුශලතාවන් ඔස්සේ ආනන්දෙයන් ප්‍රඥාවට ඔබ ගෙන ගිය බුද්ධදාස විතානාරච්චි නම් ප්‍රවීණ ශිල්පියා බව ඔබ පවසනු ඇත. මේ ඔහු පිළිබඳ අලුත් තොරතුරක් වෙසෙසින් සරසවියෙන් ඔබට ගෙන එන මොහොතයි...

කෝවිඩ් කාලේ ගෙවුණේ කොහොමද?

කොවිඩ් වසංගතය බරපතළ ලෙස පැවතුණු කාලයේ මහජනයා ගැවසෙන තැන් වලට වැඩිය නොගිහින් ගෙදරටම වී සිටියා. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම රට වැසියන් හැමෝගේම වගකීමක් නිසා. මේ විදිහෙ දේවල් හැම සියවසක ම වගේ සිදුවෙලා තියෙනවානේ. ඒ ගැන විවිධ අය විවිධ දේ කියනවා. සමහරු ගුප්ත මත පළ කරනවා. මීට අවුරුදු පනහකට හැටකට පෙර මම කුඩා කාලයේ මීට වඩා බොහෝ සරල ස්වභාවයක් තිබුණේ. ඕනෑ දියකඩිත්තකින් වතුර බොන්න පුළුවන්. ඒත් අද? අපේ ජීවිත කාලය තුළම පරිසරය දූෂණය සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙසත් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකියි. එය සිතුවිල්ලක් පමණයි. ඒත් එයින් සත්තු එළියට ඇවිත් මිනිස්සුන්ට නිවෙස්වල කොටුවෙන්න සිදුවුණා. සමහරවිට පරිසරයට වුණ හානියට ‍ප්‍රතික්‍රියාවක් දැක්වූවා වෙන්නත් පුළුවන්. මෙය මිනිස්සුන්ට එක්තරා පාඩමක් වගේ. 

ඒ අතරවාරයේ අපට අවසර ලැබුණා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ සකූගෙ ලෝකය නැමති ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට. කෝවිඩ් වසංගතයට පෙර ඉඳන්මත් මම කෑමෙන් බීමෙන් වගේම පැවැත්ම ගැන හරි සැලකිලිමත්. අපි අතපය හෝදන්න හුරු වුණේ පාසලේ ස්වස්ථතාවය පිළිබඳ අපට උගන්වා තිබෙන නිසා නේ. මම සාමාන්‍යයෙන් බොහොම නිරෝගි කෙනෙක්. ඒ නිසා, ඔය බෝ නොවන රෝග මුකුත් මට නැහැ. මම වාර්ෂිකව පරික්ෂා කර බලනවා. දොස්තර කියන්නේ මගේ හදවත වයසට වඩා බොහොම තරුණයි කියලා.

තිරයේ නොපෙන්වන කෙළිලොල් සිනහවකින් මුව සරසා ඔහු කියයි. මම උල්පන්දම් දෙමි. ‘ඒක තමයි කලාකරුවෙකුට වටින්නේ’

නැතුව, හදවත විතරක් නෙමෙයි අපේ සිත ගත දෙකම බොහොම ජවසම්පන්නයි. ‌භෞතික වයස නෙවෙයි පුද්ගලයකුට වැදගත් වෙන්නේ හදවතින් සහ මොළයෙන් යන වයසයි. මොකද තරුණ ආකල්ප හැදෙන්න නම් මොළය පරණ නොවී පරිණත වෙන්න ඕනේ. දැනුමට, ලෝකයේ තියෙන ප්‍රවණතාවලට, පරිසරයට යාවත්කාලීන වෙන්නත් ඕනේ. නැත්නම් යල්පැනපු කෙනෙක් බවට පත්වෙනවා.

අපි යාවත්කාලීන වෙමු ඔබේ කටයුතු ගැන?

මම අවසානයට කළේ සකුනිගේ ලෝකය. ඒ අතර තවත් කතා කීපයකටම ආරාධනා ලැබුණා. සමහර ඒවා අවසන් කරන්න බැරි වුණා මේ කොවිඩ් තත්ත්වය නිසා. තවත් ඒවා ආරම්භ කරන්නවත් බැරි වුණා. කොහොම වුණත් මට ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා අලුතින් පටන් ගත් 'නන්නත්තාර' ටෙලිනාට්‍යය සඳහා ආරාධනා ලැබුණා.

ඒ මොන වගේ චරිතයකටද?

මේ පාර නම් ලැබුණේ වෙනස්ම චරිතයක්. ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදාහරින ආයතනයක ‘ගෝඩ්ෆාදර්’ වගේ ඉන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඔහුගේ උපදේශක ඩොක්ටර් ගලප්පත්තිගේ චරිතයයි මම නිරූපණය කරන්නේ. මේ තාක් කළ චරිත වලට වඩා වෙනස්ම දේවල් ටිකක් කරන්න තිබෙනවා. රූපවාහිනි ප්‍රේක්ෂකයන්ටත් මෙය වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා.

(ඔහුට හදිසියේ යමක් මතක් වෙයි)

ලස්සනම වැඩේ 1996දි ශ්‍රියන්තයි මමයි රඟපෑවේ දෙමස්සිනාලා විදිහට. අවුරුදු විසිහතක් ගෙ වෙනකොට අපි දෙන්නා මත්ද්‍රව්‍ය කාර්ටලයක ප්‍රධානියා සහ උපදේශක බවට පත්වෙලා තියෙනවා එය බොහොම දෛවෝපගත සිද්ධියක්.

ආරංචියක් ආවා නන්නත්තාර ඔබේ අවසන් ටෙලි නාට්‍යය බවට ප්‍රකාශයක් කළා කියලා?

ඇත්තටම එහෙම ප්‍රකාශයක් ජයන්තට කළා. හේතුව, මේ දක්වා බොහෝ ටෙලි නාට්‍ය කළා. ඒ අධ්‍යක්ෂවරුන්ගෙත් කිසි වරදක් නැහැ. ඒත් අද වන විට ටෙලි නාට්‍යයක රඟපෑමෙන් ලැබෙන තෘප්තිය ලබන්න බැහැ. යම් චරිතයක් අප නිරූපණය කරද්දි එයින් ලැබෙන ආස්වාදයක් තිබෙනවා. මුදල්ම නෙවෙයි. යම් චරිතයක් නිරූපණයේදී අවශ්‍ය ප්‍රමිතිතීන්, ගුණයන්, යටිතල පහසුකම් බලපානවා. අද වන විට ටෙලි නාට්‍ය කර්මාන්තය තුළ විශාල අර්බුද තිබෙනවා. ඒකට කාටවත් දොස් කියන්න බැහැ. මොකද අවුරුදු දහයක් පහළොවක් ගත වන විට ක්‍රමයේ වෙනසක් ඇති වී තිබෙනවා. අද සෑම අංශයකින්ම නිෂ්පාදන පිරිවැය අඩු කරනවා. ප්‍රතිඵලය වෘත්තීයවේදීන් වෙනුවට ඇහින්දාස්ලා යොදාගෙන ඒවෙලාවට මොනව හරි කරන්න උත්සාහ කරන එක. එහෙම වුණාම වැඩ වෙලාවට, පිළිවෙළකට කෙරෙන්නේ නැහැ. මම එහෙම කැමැති නැහැ. කලාව එහෙම බාහිර ප්‍රශ්න තියාගෙන කරන්න පුළුවන් කම්මල් වැඩක් නෙවෙයි. රංගනය කියන්නේ බොහොම සියුම් දෙයක්. ඉතින් මම තීරණය කළා නොසන්සුන් වෙමින් රඟපානවට වඩා මෙය නවත්වා දමන එක හොඳයි කියලා. මොකද ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවකට ආමන්ත්‍රණය කරන කලාවක්නේ මෙය. ඒත් අද වන විට කලාවකුත් නෑ කර්මාන්තයකුත් නෑ ව්‍යාපාරයකුත් නෑ. නිකං එක එක්කෙනාගේ පසුම්බියට මුදල් බෙදී යන පාතාල ජාවාරමක් වගේ. මගේ ප්‍රතිපත්තිය මට නොගැළපෙන පරිසරයක් නම් එය හදන්නත් බැරිනම් ඒවායෙන් ඉවත් වීමයි. මොකද ස්වභාවයෙන්ම මගේ මානසික තත්ත්වය හැදී තියෙන්නේ නොකා බඩගින්නේ හිටියත් ඉඳුල් කන්නෙත් නෑ පිළුණු කන්නෙත් නෑ හොරා කන්නෙත් නෑ උදුරගෙන කන්නෙත් නෑ කිසිම දේකට සිල්ලර වෙන්නෙත් නෑ කියන තැනට. එහෙත් නන්නත්තාර බොහොම වෘත්තිමය ආකාරයට සිදුවන නිසා මම බොහොම කැමැත්තෙන් එයට සම්බන්ධ වුණා.

එත කොට ඉදිරියේදි?

නන්නත්තාර රූපගත කිරීමෙන් පසු මම විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සර මගේ පොඩි දුව නම් රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වුණා රඟපෑවා. ලොකු දුව නම් ඒවාට සම්බන්ධ වුණේ නැහැ. පුතා රූපවාහිනී නිෂ්පාදකවරයකු ලෙස හොඳම වාර්තා වැඩසටහනට සුමති සම්මාන පවා ලබා ගත්තා. දැන් ඒ තිදෙනාම ඕස්ට්‍රේලියාවේ යහපත් අයුරින් රැකියා කරගෙන අම්මාවත් බලාගෙන ඉන්නවා. මම අවුරුදු හතරක් පමණ මෙහෙ තනිව හිටියා. (සිනාසී) දැන් ඉතින් දරු මුණුපුරන් සමඟ ඉන්න ඕනෙ කාලෙනෙ. හැබැයි ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා යළිත් ටෙලි නාට්‍යයකට තෝරාගත්තොත් ආපසු එන්න වුණත් මම ලෑස්තියි.

එවැනිම අධ්‍යක්ෂවරයෙක් කතා කළොත්?

අධ්‍යක්ෂවරයා නොවේ එතැනදි නිෂ්පාදනයයි බලපාන්නේ. අද බොහෝ දක්ෂ අධ්‍යක්ෂවරුන් නිහඬව ඉන්නේ අගහිඟකම් මැද දුප්පත් ලෙස වැඩ කරන්න වන නිසා. ප්‍රතිලාභයක් නොලැබෙන නිසා විශාල ප්‍රාග්ධනයක් වැය කර නිර්මාණකරණයේ යෙදෙන ආයතන වගේම පුද්ගලයනුත් අද නැති තරම්.

හොඳ නිර්මාණ බිහි නොවන්න එකම හේතුව පිරිවැයද?

පිටපත්වලත් අඩුපාඩුවක් තිබෙනවා. ඒ වගේම හොඳ පළපුරුදු ශිල්පීන්ගේ අඩුවකුත් තිබෙනවා. එයින් මා අදහස් කරන්නේ නැහැ තරුණ පරපුරේ හොඳ ශිල්පීන් නැහැ කියලා. දක්ෂ අධ්‍යක්ෂවරුන් සහ හොඳ ශිල්පීන් ඉන්නවා. ඒ්ත් ව්‍යුහයේ ප්‍රශ්න තිබෙනවා. දැනටත් යම් ප්‍රමාණයකට හොඳ නිර්මාණ ඉඳහිට හෝ දකින්න ලැබෙනවනෙ. ඒත් ඒ නිර්මාණත් අදාළ රටට සාපේක්ෂව හොඳ වුණාට ලෝකයේ ප්‍රමිති මට්ටම්වලට එන්න අඩු වශයෙන් උත්සාහයක්වත් දරන්න ඕනේනේ.

ඇයි අපට බැරි වුණේ ලෝකයට යන්න?

පිටරට නිර්මාණ පෙන්වනවාට මම එතරම් විරුද්ධ නැත්තේ අපට එයින් යම් සන්සන්දනයක් කළ හැකි නිසා. ඒත් නාළිකාවලට තිබෙන්නේ කලාව හෝ ප්‍රේක්ෂක රසඥතාව දියුණු කිරීමේ අරමුණ නෙවෙයි. අඩු මුදලකට පිටරට පෙන්වූ 'සෙකන්ඩ් හෑන්ඩ්' නාට්‍ය ලබා ගැනීමයි. සමහර නාළිකා තමන්ගේ ආයතනයේ වැටුප් ගෙවන්න බැරි වුණාම පිටරට නාට්‍ය පෙන්නලා මුදල් සොයා ගන්නවා. රාජ්‍ය මාධ්‍ය ආයතනවල එවැනි තත්ත්වයන් ඇති වන්න දේශපාලනික හේතුත් බලපානවා. එවිට නිෂ්පාදනවල ගුණය, තත්ත්වය, ප්‍රමිතිය අඩු වෙනවා. එවන් අවස්ථාවලදී දියුණු ආයතනික ප්‍රධානීන් සිටිනවා නම් සමාජය සහ කලාව ගැන හිතනවා නම් දැඩි තීන්දු ගන්න අවස්ථාත් තිබෙනවා. දියුණු රසිකත්වයක්, රුචිකත්වයක් ඇති ප්‍රේක්ෂකයන්ට සිදුව තිබෙන්නේ රූපවාහිනියෙන් ඈත්වන්නටයි. මගේ සැබෑ තත්ත්වයත් එයයි. ඇත්තෙන්ම කොවිඩ් සමයේ ඔන්ලයින් උගන්වන ප්‍රශ්න එන්නේ නෑ අපේ රූපවාහිනී නාළිකා නිසි වෙලාවට අධ්‍යාපන වැඩසටහන් පටන් ගත්තා නම්. අපට මේ දේවල්වලින් තේරෙන්නේ අපේ ප්‍රතිපත්ති තීරකයන් කොයිතරම් පසුගාමීද කියන එකයි. කොවිඩ් වෙනුවෙන් පවා ගෝත්‍රික මිථ්‍යාවන්ට ගිය අවස්ථා තිබුණානේ. හරිම ගෝත්‍රික මනසකින් ඉන්න සමාජයක් අපට තිබෙන්නේ.

කලාව තිබෙන්නෙ ඒවායින් සමාජය ගොඩ ගන්න නොවේද?

ඒකට කලාව කරන මිනිස්සුන්ටත් එහෙම විඥ්ඥානයක් තියෙන්න එපැයි. සමහර නාට්‍යවල චිත්‍රපටිවල කතා කරන දේවල් බලන්න. ජනමාධ්‍යවල උදේ පාන්දරට රාහු කාලය කියනවා. ගුවන්තොටුපොළවල රාහු කාලය බලලා ගුවන් යානා පිටත් වෙන ගත්තොත්? මේවා ගෝත්‍රික සමාජවල බහුබූත අන්ධ විශ්වාස. හැමදාම උදේට අලුත් දැක්මක් අලුත් ප්‍රබෝධයක් ලබාදීලා සමාජය ඉදිරියට යවනවා වෙනුවට රක්ෂණකාරයෝ වගේ මිනිසුන් බය කරනවා. විශේෂයෙන් එෆ් එම් නාළිකා අහන්න බෑ. ඒවායේ විහිළු තහළු හරිම ළාමකයි, ඕලාරිකයි.

අඩසියවසකට අධික අත්දැකීම් සමඟ ඔබ කියන්නේ?

ඔබ හරි. මම 1970 ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වුණේ. ජාතික රූපවාහිනියට 1995 සම්බන්ධ වුණා. සියලු වර්ගවල වැඩසටහන් කර තිබෙනවා. මට දැනෙනවා ඒ කාලේ අප දැක්වූ ප්‍රමිතීන් අද වැහැරී ගොස් තිබෙන බව. නාළිකා ප්‍රධානීන් මෙය නොදන්නවා නෙවෙයි එහෙත් තමන්ගේ පැවැත්ම උදෙසා නිශ්ශබ්දව සිටින්නට සිදුව තිබෙනවා.

වගකීම යන්නේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ටද? නව පරපුරටද?

අලුත් පරම්පරාවේ සමහරු අපේ ආභාසය ගත්තා. අපි රූපවාහිනී වැඩමුළු කළා. සම්මාන ලබාගත් අයත් ඉන්නවා. වැඩමුළු මෙහෙයවද්දි ඇතැම් ශිෂ්‍යයන් පැවසුවේ අප කියන දේ ඔවුන්ට තේරුණත් ආයතන තුළ කටයුතු කරන විට ‍ප්‍රධානීන්ගේ අවශ්‍යතා අනුව වැඩසටහන් ඉදිරිපත් කිරීමට සිදුවන බවයි. ඒ නිසා ඔවුන්ට චෝදනා කරන්න අපට බැහැ. මේ ප්‍රශ්නයෙ සමාජය නොදකින පැත්ත එයයි. ජාතික ගුවන්විදුලියේ තවම ගුවන්විදුලිය කුමක්ද කියන ගුණය දකින්න ලැබෙනවා. පෞද්ගලික නාළිකාවලත් සමහර හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ඉන්නවා. ඒ කෙසේ වුවත් මට දැන් ඒ වැඩසටහන් කිරීමෙන් චමත්කාරයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා කිසිම සාකච්ඡාවකට යන්නෙ නැතිව ඉන්න තීරණය කළා. ආධුනිකයන්ට දැනෙන චමත්කාරය නෙවෙයි අත්දැකීම් බහුල වෙනකොට දැනෙන්නේ. ඒකත් හරියට විවාහය වගේ තමයි. 

එතකොට අපේ චිත්‍රපට?

පළමුවරට සිනමා කැමරාවක් ඉදිරියේ මම පෙනී හිටියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පුරන්අප්පු චිත්‍රපටයේ 'ජය අපටයි ලංකාවේ' ගීතයේ කැරලිකරුවෙක් ලෙසයි. පසුව චිත්‍රපට තිහක පමණ චරිත නිරූපණයට අවස්ථාව ලැබුණා. ඒ අතර ඓතිහාසික භික්ෂු චරිත තුනක් කරන්න ලැබීමත් සතුටක්. මෙතැනදි සිනමාවට සම්බන්ධ අයකුට වඩා පුරවැසියකු ලෙස දැනෙන දේ කීවොත්, සිනමාව කියන්නේ තනිපුද්ගල දෙයක් නොවේ. සාමූහික ප්‍රයත්නයක්. ඒවගේම රූපවාහිනීයේ වගේ නෙවෙයි සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය කරන්න ඕනෙ. අපේ සිනමා ශාලා රටේ තිබුණු කලබලකාරී තත්ත්වයන් සමඟ විනාශ වී ගොස් තිබෙනවා. ආර්ථික තත්ත්වය නිසා ශාලාහිමියන් ඒ ගොඩනැඟිලි ඇති භූමි වෙනත් දේවලට ආයෝජනය කරන්න පෙලඹී තිබෙනවා. මෙයට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි කියන්නේ, ප්‍රතිපත්ති සැකසීම පමණක් නොවේ, විශාල ප්‍රාග්ධනයක් යොදවලා සිනමාව නඟා සිටුවන්න දැනුම සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා කටයුතු කරන්න වෙනවා. බොහෝ වෙලාවට දේශපාලනික හේතු මත සිනමාව පිළිබඳ දැනුමක් නැති අය පත් වුණාම නිර්මාණාත්මක කටයුතු කෙරෙන්නේ නෑ. ඒ නිසා රාජ්‍ය පාලකයන් තීරණය කළ යුතුයි සිනමාව රටක ජනතාවගේ වින්දනය, විඥානය දියුණු කරන වැදගත් ප්‍රබල කලාවක්, එය අන්තර්ජාතික මට්ටමට ගෙන ආ යුතුයි කියන දේ. තරුණ පරපුරේ දක්ෂ අය ඉන්නවා ඒ අයට අත්වැලක් වන්න ක්‍රමවේදයක් නැති, නව පරපුරට සිනමාව අධ්‍යයනය කිරීමේ ආයතන ක්‍රියාත්මක නොවන, අයාලේ යන දෙයක් බවට පත්වෙලා මේ කර්මාන්තය.

ඔබ කියන්නේ ලයනල් වෙන්ඩ්ට් එකට ගිය අත්දැකීමෙන්?

ඇත්තටම ලයනල් වෙන්ඩ්ට් එකට ගිය පිරිස තමයි අදටත් වයෝවෘද්ධව හෝ ක්ෂේත්‍රයේ ඉන්නේ. 60 අගභාගේ එහිදි අප හැදෑරුවේ නාට්‍ය රංගනය පමණයි. සිනමාත්මක රූපණයයි, වේදිකාවක රූපණයයි වෙනස්. ඒවා පිළිබඳ දැනුම්වත් වීමක් අවශ්‍යයි. විධිමත් අධ්‍යාපනයක් ලද අය ටික දෙනෙක් ඉන්නවානෙ රටේ. අපට අලුත් පරම්පරාවලට දොස් කියන්න බෑ ඒ අයට අවශ්‍ය දැනුම, පරිචය, අත්දැකීම, අවබෝධය ලබා දෙන්න වැඩපිළිවෙළක් නැතිව. කවර ආණ්ඩුවක් ආවත් සිනමාව පිළිබඳ දක්වන ආකල්පය තමයි ප්‍රශ්නය වෙලා තිබෙන්නේ.

ඔබ රංගනය නිර්වචනය කරන්නේ?

රූපණය බොහොම සියුම් මානසික අභ්‍යාසයක්. රංගනය කියන්නේ තමා නොවන වෙනත් කෙනෙකු බවට පත් වෙලා එය ප්‍රතිනිර්මාණය කිරීමනෙ. එහිදී අපි මානසිකව වෙනත් කෙනකු බවට වෙනස් විය යුතුයි. වේදිකාවේදී ප්‍රේක්ෂාගාරයේ කෙළවරේම සිටින්නාටත් පෙනෙන අයුරින් හඬ සහ රූපණය ප්‍රක්ෂේපණය කළ යුතුයි. ඒත් සිනමාවේදි හෝ රූපවාහිනියේදී කැමරාවකින් ඒ සියල්ල කරන නිසා අපේ සියුම් හැඟීම්, භාවිතයන්, ඉංගිතයන් සියල්ල ග්‍රහණය කර ගන්නවා. එහිදී අපේ සිත් ඒකාග්‍ර කර ගන්න ඕනෙ. කැමරා චලනය පිළිබඳ වේගයන්, රිද්මයන් ඔළුවේ තිබෙන්න ඕනෙ. හොඳ නිර්මාණයක් කරන්න වුණ මහන්සිය, නිදිවැරීම්, මදුරුවන් කාපුවා, කාලයගත කිරීම් පිළිබඳ අමතක වන තරමේ තෘප්තියක් තිබෙන්නේ එය පරම්පරා ගාණක් පැවතීම, කතාකිරීම, අධ්‍යයනය කරන්න යොමු වීම තුළ මිස එයට ලැබුණු ගෙවීම මත නෙවෙයි.

සමහරු කියන්නේ නළුවා අධ්‍යක්ෂවරයාගේ මැටිපිඩක් වගේ කියලා?

(සිනාසී) එහෙම වෙන්න නම් නළුවා මැට්ටෙක් වෙන්න ඕනෙ. ඒවා නූගත් ප්‍රාථමික කතා. අධ්‍යක්ෂවරයා දක්ෂ වෙන්න ඕනෙ රංගන ශිල්පියාගේ කුසලතාව තමාගේ නිර්මාණයට අවශ්‍ය විදිහට මෙහෙයවා ගන්න. එය මැටි පිඩකින් රූපයක් අඹනවා වගේ නෙවෙයි දැඩි ආධ්‍යාත්මික ගනුදෙනුවක්. අධ්‍යක්ෂවරයාත් දියුණු මිනිසෙකු නම් පමණයි එය තේරෙන්නේ. දියුණු අධ්‍යක්ෂවරයෙක් කියා දෙන්නේ නෑ නළුනිළියන්ට රඟපාන්නෙ මෙහෙමයි කියලා. ඔහු තෝරාගන්නේ තමන්ට අවශ්‍ය විදිහේ ශිල්පීන්. ඉන්පසු පිටපතේ ආකාරයට පුහුණුවීම් කරලා රූපගත කිරීමට සූදානම් වුණාම ශිල්පියා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රංගනය දෙනවා.

රංගන පාසලක් ඕනෙ කියන්නේ විනය ශික්ෂණය හැදෙන්නත් එක්කයි. සමහරු දර්ශන තලයේ ජංගම දුරකථනය භාවිත කරනවා, ඇක්ෂන් කියද්දිත් 'පොඩ්ඩක් ඉන්න අයියා' කියලා දුරකථනයට පිළිතුරු දීලයි කැමරාවට මුහුණ දෙන්නේ. ඒ නිසා තමයි 'නන්නත්තාර' කරද්දි අධ්‍යක්ෂවරයා සිට සියලු දෙනා දුරකථන දර්ශන දර්ශනතලයට නොගෙනෙන්න තීරණය කළේ.

ඔබ වඩාත් කැමැති ක්ෂේත්‍රය?

මම වේදිකාව, සිනමාව, රූපවාහිනිය කියන ත්‍රිත්වයටම කැමැතියි. වේදිකාව බොහොම සජීවියි. ප්‍රතිචාර එසැණින් ලැබෙනවා, හරි ජීවමානයි. අනෙක්වා තාක්ෂණය සමඟ මුසුවෙලා ප්‍රදර්ශනය වන විට කල් ගියත් රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වෙග්ම අන්තර්ජාලය නිසා මුළු ලෝකයම අපේ නිර්මාණ නරඹන නිසා නිර්මාණයට ලබා දුන් දායකත්වය පිළිබඳ සතුටක් ලැබෙනවා. හැබැයි වේදිකාවේ ලැබෙන සජීවී ආස්වාදයට ඕනෑම රංග ශිල්පියෙක් වඩාත් කැමැතියි.

තරුණ නළු නිළියන් පිළිබඳ ඔබේ අදහස?

මට ලොකු අධ්‍යයනයක් නැතත් මෙහෙම කියන්න පුළුවන්. දක්ෂ අය ඉන්නවා හැබැයි තවත් ඔපමට්ටම් කර ගත්තොත් ලැබුණු මැණික්වල වටිනාකම වැඩි වෙනවා වගේ දෙයක් වෙයි. ඒත් මොන සමාජමය හෝ ජීවවිද්‍යාත්මක හේතුවක් නිසාද මන්දා ඉස්සර සිනමාවේ සිටි අය හරි දැවැන්තයි. අද පරපුරේ වැඩ ගින්දර වගේ අය ඉන්නවා. හැබැයි කෙසඟයි. එය සමාජයේම අභාග්‍යයක් මට හිතෙන්නේ. නවසිය පනස්ගණන් හැටගණන්වල විශ්වවිද්‍යාලයක් ඇරුණාම උපාධි අපේක්ෂකයන් වගේද අද තරුණයන් හරියට මධ්‍ය මහාවිද්‍යාලයක් ඇරුණා වගේ. ප්‍රභාෂ්වරගතිය අඩුයි. අනෙක සමහර උත්සවවලදි වෙනම හඳුනාගන්න බැරි තරමට හැමෝම එක විදිහයි. 

ඔබ රට හැර ගියාම ඔබේ දේශපාලනය?

දේශපාලනය කරගන්න අය දේශපාලනය කර ගත්තාවේ. දේශයට යහපතක් වන ආකාරයට, අප විශ්වාස කරන විදිහට සමාජය යහපත් කරන්න පසුගිය වසර පනහක් පුරා අපි කටයුතු කළා. ඒවා කළේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් හෝ කාටහරි කඩේ යන්න හෝ නෙවෙයි. ලෝකයට සාපේක්ෂව අපි ඉන්න තැන පාතයි. මේ රට, සමාජය මීට වඩා දියුණු තත්ත්වයකට ගේන්න ඕනෙ, සෑම පවුලකටම, රට වැසියකුටම මීට වඩා ජීවිතයක් අවශ්‍යයි කියන විශ්වාස යෙනුයි. සමානාත්මතාව, මානව අයිතීන්, මානව ගරුත්වය රැකෙන සමාජයක් බිහිවෙන්න ඕනෙ කියන හැඟීමෙන් යම් යම් දේවල් කරලා අවසානයේ හිරගෙවල්වලත් අවුරුදු ගණන් ඉන්න වුණානෙ. එහෙම කැප කිරීම් කරලත් අද අපට දකින්න තිබෙන්නේ එදාටත් වඩා ප්‍රශ්න තිබෙන සමාජයක් බව සමාජයටම දැනෙනවා. පුද්ගලයන්ට දොස් කියලා වැඩක් නැහැ. ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට හෝ පාර්ලිමේන්තුවට පත්වන දෙසියවිසිපස්දෙනාට බැණලා වැඩක් නෑ. ඒ අය මෙතැනට එන්නේ බලහත්කාරයෙන් නෙවෙයි. තෝරාපත් කරගත්තට පස්සේ කරන වැඩ තමන් විඳදරාගන්න ඕනේ. නැතිව තෝරගෙන ඉවරවෙලා 225ටම හෙණ ගහන්න ඕනේ මකබෑවෙන්න ඕනෙ කියන්නේ ගොබ්බ මෝඩ ප්‍රාථමික කතා. මුහුණු පොතත් මට හිරිකිත වෙලා තිබෙන්නේ. මේ සමාජයේ මුහුණුපොතක් ඇති අය අතරින් බහුතරයකගේ මානසික තත්ත්වය එයින් පිළිබිඹු වෙනවා. මේ වේදිකාව කොයිතරම් හොඳීන් භාවිත කරන්න පුළුවන්ද මිනිසුන්ගේ වින්දනය සහ දැනුම ලබා ගන්න. සමාජ මාධ්‍යයක් නිසා විවිධ අයගේ රුචිකත්වය තමයි එහි පෙන්වන්නේ. හැබැයි බහුතරයක් ගත්තාම ඔවුන් මේ රට, සමාජය, ජීවිතය, ආගම ගැන බහුබූත පළ කරන බොළඳ ඕලාරික මානසිකත්වයක ඉන්නේ. ඉතින් හෝඩිය දන්නේ නැති අයට ව්‍යාකරණ කියලා දෙනවාට වඩා හොඳයි මින් මතු ඒකේ මුකුත් නොදා ඉන්න එක.

රට යන්න පෙර අපේ සමාජයට දෙන පණිවිඩය?

මට දැන් සමාජයට පණිවිඩ කීමෙන් වැලකිලා ඉන්නේ. අවුරුදු පනහක් තිස්සේ මම නොයෙක් දේ මගේ අවබෝධයේ හැටියට ලියුවා කීවා කතාකළා. මේ වන විට ඒ කිසිදේකින් වැඩක් නැහැ. ආයෙ කියලා වැඩකුත් නෑ. මම සමාජයට ආදරය කළා ගරු කළා. ඒත් එන්න එන්නම සමාජය කනගාටුදායක තත්ත්වයට පත්වෙලා. එහෙම වෙන්න හේතුත් මම දන්න නිසා සමාජයට දොස් කියන්නෙත් නෑ. සමාජයේ බහුතරයක් ආර්ථික ප්‍රශ්න තිබෙන අය. හොඳ අධ්‍යාපනයක් ලබන්න පහසුකම් නෑ. අධ්‍යාපනයක් ලැබූ අයට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ, මට අවුරුදු හැත්තෑපහකට කිට්ටුයි අපේ ජීවිත කාලය තුළ කවද්ද විදුහල්පතිවරු ගුරුවරු පාරට බැස්සේ? පෙළපාළි ගියේ? ගොවියෝ පාරට බැස්සේ? මම එය දකින්නෙ සමාජ පරිහානියක් ලෙස. පරිහානිය තෝරාගන්නේත් ජනතාවමයි. එයට හේතුව ඔවුන් දේශපාලනික වශයෙන් අඩු සවිඥානක බවක් දැක්වීම. ඒ සවිඥානක බව ඇතිකරන්න තමයි අපි මතවාදීව සහ දේශපාලන වේදිකාවල යම් යම් දේ කීවෙ කළේ. හැබැයි මේවා කියන්නේ කලකිරීමෙන් නෙවෙයි. අවබෝධයෙන්. මට තවදුරටත් කාලය ශ්‍රමය වැය කරන්නත් ගැහැට දුෂ්කරතා විඳීන්නත් අවශ්‍ය නෑ, මේ කියන්නේ විඩාපත් වෙලා මහන්සිවෙලා කලකිරිලා නෙවෙයි. ඒ කිසිවක් මට නැහැ. යථා තත්ත්වය අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ආත්මාර්ථකාමී නොවී නිහඬව බලාගෙන නිරීක්ෂකයකු ලෙස ඉන්නවා. අපි කළ දේවලට මොකද වෙන්නේ කියලා. මේ සිදුවන දේවලට විසඳුම් වර්තමාන පරම්පරා විසින් සොයා ගැනීමට අවශ්‍යයි. (සිනාසී අවධාරණය කරයි) මේ කියන්නේ මම මේ මහලු වුණා ජරපත් වුණා කියලා එහෙම නෙවෙයි. අදත් මට අංගම් සටන් කරන්න පුළුවන්. ඒ ජවය ජීවය එහෙමම තිබෙනවා.

තව දෙයක් මේ මම ලබා දෙන අවසන් පුවත්පත් සාකච්ඡා දෙකෙන් එකක්. ඉන්පසු මම ගුවන්විදුලි රූපවාහිනීවල ගුවන්කාලය අපව පෙන්වා හම්බ කරගන්න අවස්ථාව දෙන්නෙත් නෑ. බොහෝ තැන්වල තිබෙන්නේ ව්‍යාජය සහ අවස්ථාවාදීකම, ආත්මාර්ථකාමිකම, කුහකකම. ඒ දේවල හේතුඵල අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නිරීක්ෂණය කර අවබෝධ කරගත්තාම ප්‍රඥාව පහළ වෙනවා. මම කිසිම ආගමික කටයුත්තකට සහභාගී වෙන්නේ නෑ, ප්‍රතිමා වන්දනා කරන්නේ නෑ. ජනප්‍රිය බුද්ධාගමේ දේවල් කරන්නේ නෑ. හැබැයි මම නමින් බුද්ධදාස වගේම බෞද්ධ දර්ශනය පිළිගන්නවා පිළිපදිනවා ඒ අනුව ජීවත් වෙනවා.