මගේ නාමලී මතක් වෙද්දි තවම බයයි

ජීවරාණී කුරුකුලසූරිය
නොවැම්බර් 25, 2021

 

සරසවිය සම්මාන උලෙළේ ප්‍රථම ජනපි‍්‍රය සම්මානය හිමිකරගත් නිළිය

ලංකාවට එන්නේ කොයි වෙලේ ද කියලා බලන් ඉන්නේ

 

මම ගීත 50කට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා

ඒ 1959 වසරයි. එවක අගමැතිව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ ‘මහා හේනේ රිරීයකා’ ග්‍රන්ථය ඇසුරින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කෙරිණි. මෙම නාට්‍යය අධ්‍යක්ෂණය කළේ එවකට කරළියේ හපන්කම් පෑ ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වූ ඩීක් ඩයස්ය. පානදුර කලා සංගමය විසින් නාට්‍යය සංවිධානය කළ අතර පානදුර නගර සභාවේ වේදිකා ගත විණි. අගමැති බණ්ඩාරනායක මැතිතුමා සිය පවුල සමඟ ද එවකට පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය ද නාට්‍ය නරඹන්නට පැමිණ සිටියහ.

නාට්‍යයේ ප්‍රධාන නිළිය භූමිකාවට පණ පෙව්වේ ළාබාල යුවතියකි. වයස අවුරුදු 16 භද්‍ර යෞවනයේ සිටි ඇය රූමත් නාරි ලාලිත්‍යයෙන් හෙබිය. හිරිමල් යෞවනයේ හිටිය ද ඇයගේ රංග ප්‍රතිභාව තුළ දිස්වුයේ ප්‍රවීණත්වයකි.

අත්පොළසන් හඬ මැද්දේ නාට්‍යය නිමාවිය. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා වේදිකාවට නැග්ගේ ඇය ද බලාපොරොත්තු නොවු විලසිනි එතුමා ඇයට අතට අත දී

“රඟපෑම විශිෂ්ටයි. අනාගතයේ දක්ෂ රංගන ශිල්පිනියක් වේවා යැයි මම ඔබට සුබ පතනවා.”

 

‘ඔබේ නම?”

‘ජීවරාණී කුරුකුලසූරිය’

හෙළ සිනමාවට ජීවයක් බඳුන් වූ ජීවරාණි කුරුකුලසුරිය නමැති ප්‍රවීණ නිළිය කලා ලොවට පා තැබුවේ එලෙසිනි.

එදා ‘මහා හේනේ ඊරියකා’ නැරඹීමට අපේ සිනමාවේ දැවැන්තයෙක් ද පැමිණ සිටියේය. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ය. ජීවරාණි ගේ රංගන කෞශල්‍යය දුටු ලෙස්ටර් ජේම්ස් පිරීස් ශූරින් ඔහුගේ සිනමා නිර්මාණයකට ජීවරාණීව සම්බන්ධ කර ගැනීමට සිතුවේය. ඔහුගේ සන්දේශය චිත්‍රපටයට ලෙස්ටර් මහතාගෙන් ජීවරාණිට ආරාධනයක් ලැබුණි. ‘සන්දේශයේ රඟපාන්නට මම ඔබ තෝරා ගත්තා. ජීවරාණිගේ සතුට නිම්හිම් නැති විය. ඒ ඇය රංගනයට තිබූ අසීමිත ඇල්ම හේතුවෙනි. ඔහු සන්දේශය චිත්‍රපටයට ජීවරාණිට චරිතයක් නිර්මාණය කර දුන්නේය. ජීවරාණි කුරුකුලසුරිය නැමැති ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පිනයගේ සිනමා ආගමනය හෙළයේ මහා සිනමාකරු ලෙස්ටර් පීරිස්ගේ සන්දේශය විත්‍රපටය ලෙස ඉතිහාසයට එක් වී ඇත.

සරසවිය පාඨකයන්ට වර්තමානයේ ඇයගේ තොරතුරු පවසන්නට මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ජීවරාණි කුරුකුලසුරිය මා සම්බන්ධ කරගත්තේ Whatsapp තාක්ෂණය ඔස්සේය.

ඉතිං කොහොම ද ජීවා අක්කේ සැප සනීප ?

සතුටින් කල් ගෙවනවා. අපි 2020 ජනවාරි ඔස්ට්‍රේලියාවට ආවා. කොරෝනා නිසා නැවත ලංකාවට එන්නට බැරි වුණා. සාමාන්‍යයෙන් අවුරුද්දෙන් මාස 06ක් ලංකාවේ - මාස 06 ඔස්ට්‍රේලියාවේ අපි ගතකරන්නේ. එහෙත් මේ වතාවේ අවුරුදු 1 1/2ම ඕස්ටේ‍්‍රලියාවේ ඉන්න වුණා. ඔස්ට්‍රේලියාව අතිශයින්ම සැප පහසුකම් ඇති ලස්සන රටක්. නමුත් මම උපන්දා පටන් හැදුණු වැඩුණු මගේ මව් රට නොදැක ඉන්න බැහැ. මම ලංකාවට ආදරෙයි. ඕස්ට්‍රේලියාවේ ගත කරන කාලය වැඩි වෙද්දී ලංකාවේ වටිනාකමක් මට වැඩියෙන් දැනෙනවා.

 

ලංකාව අමතක කරන්න බැහැ. එසේ නම් ළමා කාලය පිළිබඳ ලස්සන සිද්ධීන් ඇති?

මම ඉපදුණේ අලුත්ගම, හැදී වැඩුණේ පානදුරේ... පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ සහ පසුව කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හැදැරුවා. පුංචි කාලේ ඉඳලා මම කලාවට හරිම කැමැතියි. සින්දු කියනවා. ඩාන්ස් කරනවා. මට අවුරුදු 3 - 4 දී මම ලස්සනට සින්දු කිව්වා. මගේ තාත්තා කුරුකුලසුරියගේ විින්සන්ට් ඇන්තනි ප්‍රනාන්දු. අපි කතෝලික තාත්තා සුද්දගේ කාලේ යුද හමුදාවේ කපිතාන්වරයකු ලෙස සේවය කළා. පසුව ඔහු වෙනත් ආයතනයක උසස් නිලධාරියකු ලෙස රැකියාව කළා. අම්මා ජුලියට්, ඇය ගෘහණියක්. ඇය බෞද්ධ. අපි පල්ලිත් ගියා. පන්සලුත් ගියා. පාසලේ කලා කටයුතුවලට ප්‍රථමයෙන්ම තෝරා ගත්තේ මාව. විවිධ ප්‍රසංග, නාට්‍ය ගීත ගායනයට මාව නැතිවම බැරි කෙනෙක් වුණා. මාව පාසලේ වේදිකා නාට්‍යකට තෝරා ගත්තා. එතකොට මට වයස අවුරුදු 6යි. රෙද්ද හැට්ටේ ඇඳලා ‘කොහෙද යන්නේ රුක්මණී’ ගීතය ගායනා කරමින් මට රඟපාන්නට තිබුණේ. මගේ රංගනයට මල් මල් චීත්ත රෙද්දක් තමයි පළමුවැනි ත්‍යාගය ලෙස ලැබුණේ.

රඟපෑම වෘත්තිය ලෙස තෝරා ගන්නට හේතුව?

ප්‍රධානතම හේතුව මගේ තාත්තා කලාකාමී හදවතක් තිබු කෙනෙක්. රඟපෑමට තාත්තා තුළ තිබුණේ විශාල කැමැත්තක්. එහෙත් තාත්තාගේ දෙමව්පියෝ එයට විරුද්ධව වෙලා තාත්තාට රඟපාන්නට ඉඩ දුන්නේ නැහැ. තාත්තා එදාම තීරණය කරලා තියෙනවා. කවදා හෝ දරුවෝ ලැබුණොත් ඒ දරුවන් සියලුදෙනාම කලාවට යොමු කරවනවා කියලා. තාත්තාට අහිමි ලොව අප රජ කරවන්නයි එයාගේ බලාපොරොත්තුව වුණේ. ඒ බලාපොරොත්තුව තාත්තා ඉෂ්ට කර ගත්තා. මාව ධෛර්යවන්ත කළා කලාවට පිවිසෙන්නට.

 

ඔබ හා පුරා කියා ප්‍රධාන චරිතය රඟපෑවේ ඉන්දියානු අධ්‍යක්ෂවරයකු වන සේතුමාධවන් අධ්‍යක්ෂණය කළ ‘වීර විජය’ චිත්‍රපටයේ ඒ පිළිබඳ කතා කළොත්?

ඔව්. සේතුමාධවන් නමැති සම්මානනීය අධ්‍යක්ෂකවරයකුගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමට ලැබීම මා භ්‍යාගයක් කොට සලකනවා. රූගත කිරීම් තිබුණේ ඉන්දියාවේ. මම ගියේ මගේ අමම්මාත් එක්ක. මට තවම මතකයි ක්ලැරිස් ද සිල්වා - විජිත මල්ලිකා අපි තුන් දෙනාම ඉන්දියාවට ගියා. රඟපාන්නට ‘වීර විජය’. මගේ රඟපෑම් දැකලා මාව ‘රන්මුතු දුව‘ චිත්‍රපටයට තෝරා ගත්තා.

ජීවරාණි කුරුකුලසුරිය 60 දශකයේ බිහි වූ සිනමා නිළියන් අතර සිය ප්‍රතිභාව තුළින් රිදී තිරය දික්විජය කළ රංගන ශිල්පිනියකි. ඇය සරසවිය සම්මාන උලෙළේ ජනපි‍්‍රය කිරුළ හිමිකර ගත්තාය. සරසවිය සම්මාන උලෙළේ 1964 ඇරඹුණ ද ජනපි‍්‍රය සම්මානය හඳුන්වාදෙනු ලැබුයේ 1966 දීය. එවකට ජනපි‍්‍රයත්වය හිණි පෙත්තේ සිටි ජීවරාණි කුරුකුලසුරිය 1966 වසරේ දී සරසවිය සම්මාන උලෙළේ ප්‍රථම ජනපි‍්‍රය සම්මානය හිමිකරගත් නිළිය ලෙස ඉතිහාසයට එක් වී ඇත. එපමණක් නොව 1967 වසරේ සරසවිය සම්මාන උලෙළේ ජනපි‍්‍රය නිළිය වුයේ ද ජීවරාණි කුරුකුලසුරියයි. ජනපි‍්‍රය නිළිය ලෙස ස්වර්ණ සංඛ සම්මානයට ද, සරසවිය රණ තිසර යවජීව සම්මානයට ද, යූ. ඩබ්ලිව්. සුමතිපාල යාවජීව සම්මානයට ද, ජනාධිපති පුරෝගාමී සම්මානයට ද ඇය පාත්‍ර වූවාය.

 

ඔබ නිළියක් පමණක් නොවෙයි. ගුවන් විදුලි ගායිකාවක්. ප්‍රවීණ ගායක තිලකසිරි ප්‍රනාන්දු සමඟ ‘ගම්මානේ කල එළි වූ දා’ ගීතය ගැයූවේ ඔබ. ගායන ජිවිතය ගැන කතා කරමු.

පුංචි සන්ධියේ පටන් මා තුළ තිබු ගායන හැකියාව නිසා තාත්තා මාව ගුවන් විදුලියේ ළමා පිටියට එක්කර ගෙන ගියා කරුණරත්න අබේසේකරයන් මාව ළමා පිටියට තෝරාගත්තා ගායන දිවියේ ඇරඹුමත් සමඟ මාව ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ඒ ග්‍රේණියේ ගායිකාවක් ලෙස සමත් වුණා. තිලකසිරි ප්‍රනාන්දුගේ සරල ගී වැඩසටහනකට යුග ගීයක් ගායන ලෙස මට ඔහුගෙන් ඇරයුම් ලැබුණා. ගම්මානේ කල එළ වූ දා ‘මාලා මනමාලිය වූ දා‘ ඔහු සමඟ මා ගැයූ ඒ ගීතය අතිශයින් ජනපි‍්‍රයත්වයට පත්වුණා.

මම ගීත 50 ආසන්න සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා.

ගුවන් විදුලියේ මාසික රැඟුම් වැඩසටහනට මට ගීත ගයන්නට අවස්ථාව උදාවුණා. එදා මම පුංචි කෙල්ලෙක්. එදා සංගීත ලෝකයේ ප්‍රවීණයන් වන අමරදේව මාස්ටර්, ලතා වල්පොල, ජෝතිපාල, මොහිදීන් බෙග්, රුක්මණී දේවි, චිත්‍රා සෝමපාල වැනි දැවැන්තයන් ගී ගැයූ වේදිකාවේ මේ පුංචි කෙල්ල වන මටත් ගීත ගායනා කිරීමට ලැබීම කොතරම් භාගයක් ද?

ඒ දවස්වල මම ඒවා අත්වින්දේ සුරංගනා ලෝකයක සිටිනවා වාගේ හැඟිමකින්. ගුවන් විදුලියේ කොරිඩෝව දිගේ මේ ප්‍රවීණ ගායන ශිල්පීන් යනකොට මම ආශාවෙන් ඔවුන් දිහා බලා සිටිනවා. ඒ මතකයන් අතිශයින් සුන්දරයි.

 

ඔබ සංයුක්ත තැටියක් එළි දැක්වුවා නේද?

ඔව් මම බොනී ප්‍රනාන්දු සමඟ එක් වී ‘නාමල් වසන්තේ’ නමින් සංයුක්ත තැටියක් ජනගත කළා. ගීත 16කින් යුත් ඒ සංයුක්ත තැටිය සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස්, සහ සරත් දසනායක යන සංගීතවේදීන් මගේ සංයුක්ත තැටියේ ගීත හරිම මිහිරියි. දෘශ්‍ය මාධ්‍යයෙනුත් එය පටිගත කෙරුණා.

ඔබ ගායිකාවක් ප්‍රසංග වේදිකාවේ ගී ගැයුවේ නැද්ද?

මම ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ප්‍රසංග කිහිපයකට වගේ ස්වතන්ත්‍ර ගීත ගායනා කළා. ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගී ගැයුවා පමණක් නොවෙයි නර්ථන පවා වේදිකාවේ ඉදිරිපත් කළා.

 

ඔබ නර්තන ශිල්පිනියක් ද?

ඔව්. මම නර්තනය හදාරා තිබෙනවා. නර්තනයට මුලික අඩිතාලම වැටුණේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ අධ්‍යාපනය හදාරණ සමයේ අපේ නර්තන ගුරුවරිය වුණේ වජීරා චිත්‍රසේන. මගේ හැකියාව දැකලා තාත්තා වජිරා චිත්‍රසේනගේ පෞද්ගලික නර්තන පන්තියට මාව යවලා නර්තනය ඉගැන්වුවා මම නර්තන විභාග සමත්. මගේ බලාපොරෝත්තුව වුණේ කවදාහරි නර්තන ගුරුවරියක් වන්නට නමුත් තාත්තාට අවශ්‍ය වුණේ මාව නිළියක් කරන්න.

ජීවරාණි කුරුකුලසුරියට ප්‍රථම වර්ණ චිත්‍රපටය වන ‘රන්මුතු දුව‘ චිත්‍රපටයේ රඟපෑමට වරම් ලැබුණි. ඇගේ සහජ දක්ෂතාවය හේතුවෙන් ඇයට දිගින් දිගටම චිත්‍රපට ගලා එන්නට විය. ඇයව තෝරාගනු ලැබුවේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වීමටය. සන්දේශය, වීර විජය, රන්මුතු දූව, අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, සැනසුම කොතැනද? ඔබ දුටු දා?, සසරක හැටි, සෙනෙහස, බයිසිකල් හොරා, යටගිය දවස, සැනසිලි සුවය, දොලොවක් අතර, හොරුන්ගෙත් හොරු, ඔක්කෝම හරි, දීපශිකා, බඩුත් එක්ක හොරු, ඉඳුනිල, සිඟිති සුරතල්, ශිලා කළ කළ දේ පළ පළ දේ, සාරවිට, කපටිකම, සුජාගේ රහස, හතර කේන්දරේ ආදි චිත්‍රපට 60කට ආසන්න සංඛ්‍යාවක් ඇය රඟ දක්වා ඇත.

හතර කේන්දරේ චිත්‍රපටයේ ජීවරාණි ස්ටැනීලි පෙරේරා සමඟ රඟ පෑ ගීතමය ජවනිකාවේ ‘ලස්සන සැමදේ මොහොතක සුවදේ යුග ගීතය ඇය නාරද දිසාසේකර සමඟ ගායනා කරමින් රඟපෑම විශේෂත්වයකි.

 

“ආදරයේ රන් විමනේ

මැණික් හඳක් පායලා//

ජීවිතයේ එළිය නැඟේ

සිහින ලොවේ පාවෙලා //

 

ඔබේ ආදර රන් විමනේ පෑයු මැණික් හද ඔබේ දයාබර සැමියා, වෛද්‍ය ලංකා විජේසේන. ඒ හමුවීම ගැන කතා කරමු.

මගේ ජීවිතයට පැයූ සඳ මගේ සැමියා ලංකා. අපේ නිවෙසට කිට්ටුව පදිංචි වී සිටියේ. ඔහු රත්නම් රෝහලේ වෛද්‍යවරයෙක්. අප දෙදෙනා අතරේ ආදර සබඳතාවයක් පටන් ගත්තා. ලංකා කඩවසම් තරුණයෙක්. මගේ හිත එයා කෙරෙහි බැදුණා. දෙමව්පියන් ආශිර්වාදය මැද අපි 1968 කොළඹ තැප්‍රොබේන් හෝටලයේ විවාහ වුණා. ඒ කාලේ නීතියක් තිබුණා. විවාහ මංගල්‍යයකට ආරාධිතයන් 150ක් පමණයි සහභාගි විය යුත්තේ කියා. රුක්මණී දේවි එඩී ජයමාන්න ඇතුළු කලා කරුවන් වෛද්‍යවරුන් බොහෝම දෙනෙක් අපේ විවාහ මංගල්‍යයට සහභාගි වුණා.

ඔබේ දරුවන්?

මට දියණියන් තිදෙනෙක් ඉන්නවා. සජීවනී, වෛද්‍යවරියක්, දෙවැනි දුව සේනානි පෝෂණවේදිනියක් තුන්වැනි දුව ලංකාංගනී වෛද්‍යවරියක්. සජීවනී සහ සේනානි අවිවාහකයි. ලංකාංගනී විවාහ වී පුතෙක් සහ දියණියක් සිටිනවා.

 

ජනපි‍්‍රය නිළියක වූ ඔබ තවදුරටත් රඟපෑමේ නිතර නොවී ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමට තීරණය කළේ ඇයි?

ලංකාට අවශ්‍ය වුණා ඕස්ට්‍රේලියාවේ යාමට මමත් තීරණය කළා රංගනයට සමු දී ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්නට. අපේ දරුවන් ලැබුණේ ලංකාවේ දී අපි 1973 වසරේදී ඕස්ට්‍රේලියාවේ පදිංචිය ගියේ දරුවන් තිදෙනා ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබුවේ. දරුවන් තිදෙනාම හොඳින් ඉගෙන ගත්තා. මම ඒ ගැන අතිශයින්ම සතුටු වෙනවා.

 

ඔබ ‘රතු මකරා’ වේදිකා නාට්‍යයේ රඟපෑවා නේද?

ඔව්. ‘රතුමකරා’ අධ්‍යක්ෂණය කළේ ඩික් ඩයස්. අපි ඕස්ට්‍රේලියාට ගියාට පසු නැවත ලංකාවට ආපු අවස්ථාවකයි ‘රතු මකරා’ රඟපැවේ. මෙම නාට්‍ය නිෂ්පාදනය කළේ මගේ සැමියා ලංකා ගේ සොහොයුරා වන අජන්තා විජේසේනයි. ‘රතු මකරා’ බෙහෙවින් ජනපි‍්‍රය වුණා. ලංකාවේ දස දෙසින් නාට්‍යයට ඉල්ලුම ලැබුණා. ඒ නිසා රට වටේට රතු මකරා වේදකා ගත වුණා. මම රඟපැවේ නාට්‍ය දෙකක පමණයි. දෙකම ජනපි‍්‍රය වුණා. දෙකේම අධ්‍යක්ෂක ඩික් ඩයස් වීම විශේෂත්වයක්.

මම ලංකාවට නිවාඩුවකට පැමිණි අවස්ථා කිහිපයකදීම මට නැවත රඟපාන්නට ආරාධනා කළත් නැවත රඟපාන්නට මගේ ඇල්මක් තිබුණේ නැහැ. මම අවසන් වරට රඟපෑවේ සෝමා එදිරිසිංහ නිෂ්පාදනය කළ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයේ එම චිත්‍රපටයේ මා රඟපෑවේ ආරාධිත රංගනයක් ‘එතෙර බැඳි සෙනෙහස’ නමින් එකම එක ටෙලි නාට්‍යයක පමණක් රඟපෑවා.

 

තිරයේ වැඩි වාර ගණනක් ඔබේ පෙම්වතා වුයේ කවුද?

ගාමිණි ෆොන්සේකා

 

මගේ නාමලී බැඳි

ආදරේ - මනමාලියයි

මැණිකේ ඔයා -

ඔරුවේ නැඟී එහි පාවෙවී

අමනාපයෙන් පිට වී ගියා.

 

ගොපලු හඬ චිත්‍රපටයේ හරූන්ලන්ත්‍රා ගයන ගීතය ඔබට මතකද?

මේ ගීතය මතක් වෙද්දී මගේ ඇඟ සීතල වෙලා යනවා. මේ ගීතය ඇතුළත් දර්ශනයේ මම ඔරුවක නැඟී තනිවම හබල් ගසමින් යනවා. කැමරා ආම්පන්න රැගත් කණ්ඩායම රූගත කරමින් මගේ ඉදිරියෙන් එනවා. මම තනියෙන් ගඟට වැටෙවී කියා බයෙන් හිටියේ. ජිවිතයට ඔරු පැදලා නැහැ. මේ ගඟ මැද ගැඹුරුයි කියා වටපිට උදවිය අපට කිව්වා. දර්ශනය තවත් අලංකාර කරගන්නට අවශ්‍ය නිසා කැමරා ශිල්පියා මට කිව්වා ගඟ මැදට යන්න කියලා. මගේ ඔරුව පෙරළෙයි කියා මම බයෙන් ගියේ. නමුත් බලාපොරොත්තු නොවූ ලෙස කැමරාශිල්පීන් පැමිණි ඔරුව ගඟ මැද පෙරළුණා. සරසවිය පුවත්පතට පින්තුර ගැනීම සඳහා පැමිණි කැමරා ශිල්පී රෙජී බුලත්සිංහලත් ඒ ඔරුවේ හිටියා. දැන් හැමෝම ගඟට වැටිලා බේරෙන්න පීනනවා සමහරු මගේ ඔරුවේ එල්ලෙනවා. මගේ ඔරුවත් පෙරළෙයි කියා මමත් බයෙන් හිටියේ. අන්තිමට ගඟ මැද මම ඔරුවේ තනිවෙලා හබල ගිලිහෙන්න ඔන්න මෙන්න. පසුව ගමේ මිනිසුන් ඇවිත් අපිව බේරා ගත්තා. එසේ නොවන්නට අපි හැමෝම ගඟේ ගිලෙන්නට තිබුණා. මේ ගීතය ඇසෙන හැම මොහොතේදීම මගේ මතකයට එන්නේ මේ සිද්ධියයි.

ලංකාවට ළඟදී එන්නට බලාපොරොත්තුවක් නැද්ද?

ලංකාවට එන්නේ කොයි වෙලේ ද කියලා බලන් ඉන්නේ. කොරෝනා ගැටලුව නිසා මඳක් පමා වුණා. මගේ රසික රසිකාවන් මම එනතුරු බලා සිටිනවා. ඔවුන් නිතරම මට දුරකථනයෙන් අමතනවා. උපන් දින සුබ පැතුම් එක් කරනවා. ඔස්ට්‍රේලියාවේ හිටියත් ඔවුන් දිනපතා මට දුරකථයෙන් අමතනවා. කලා ශිල්පිනියකගේ පැවැත්ම රඳා පවතින්නේ ඒ අය වටා රොද බැඳ සිටින රසික රසිකාවන් මත ඔවුන්ගේ ආදරය කරුණාව දයාව මට නොඅඩුව ලැබෙනවා. මට ඒ ආදරය සතුටින් විඳිනවා. එය චමත්කාරජනක හැඟීමක්. 60 දශකයේ සිට මම ආදරය කරන පිරිසක් මා වටා සිටින එක කෙතරම් වාසනාවක්ද? සැතපුම් දහස් ගණන් දුර ඈත රටකින් එහා විසූවත් මගේ හදවත හැමදාමත් රසිකයන්ගේ ආදරයෙන් පිරිලා.

ඒ ආදරයට මම හැමදාමත් ආදරෙයි.

 

 

සේයාරූ - දයාන් විතාරණ

 

සේයාරූ - මාලන් කරුණාරත්න, සරත් පීරීස්