වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
යමුනා ටීචර් ව මාපිලෙක් කාලා

සාමාන්‍යයෙන් ඉක්මන් ගමනට වැඩිය හිමින් ගමන හොඳයි. එතකොට අපට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපට අවශ්‍ය දේවල් මග හැරෙන්නෙත් නැහැ. අන්න එහෙම හිමින් ගමනක යන රංගන ශිල්පිනියක් අපට හමුවුණා. ඇයගේ නම ප්‍රාර්ථනා සමාධි. ප්‍රාර්ථනාගේ රුව ඔබට පුංචි තිරය ඔස්සේ මීට පෙර හමුවී ඇතත් ඇය පිළිබඳ ලොකු මතකයක් ඔබට නැතුව ඇති. ඊට ප්‍රධානම හේතුව ඇය දායකවූ කිසිම නිර්මාණයක ප්‍රධාන චරිතයක් ඇය රඟපෑවේ නැති හින්දා. එහෙත් වර්තමානයේදී ඇයට ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබිලා. ඒ චරිතයෙහි නම යමුනා දිසානායක. යමුනා මිස් කියලා තමයි බොහෝ දෙනෙකු ඇයට කතා කරන්නේ. මේ යමුනා ටීචර් ඉන්නෙ චලෝ ටෙලි සිතුවමේ. මේ වෙන විට බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වී සිටින ප්‍රාර්ථනා අප මෙහෙම කතා බහකට එකතු කරගත්තා. මෙවර යොවුන් නාට්‍ය උලෙළේ හොඳම නිළිය ද ඇයයි.
ඔබට ආයුබෝවන් කියා පිළිගන්නවා?සරසවියට ආයුබෝහෝ වේවා. ඔබ ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් වෙනවා නේද?
මම 2011 වසරේදී තමයි රංගනයට ආවේ.
එතකොට මුලින්ම දායක වුණේ?
වේදිකා නාට්‍යයවලට තමයි මුලින්ම රංගන දායකත්වය ලබා දුන්නේ. පසුකාලීනව ගිරිකුල ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක පොඩි පොඩි චරිත නිරූපණය කළා. චලෝ නාට්‍යයේ තමයි මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපාන්නට අවස්ථාව ලැබෙන්නේ.
කොහොමද ඔබට චලෝ ටෙලි සිතුවමට දායක වලට අවස්ථාව ලැබෙන්නේ?
විශේෂයෙන් මතක් කරන්න ඕනේ සංජීව උපේන්ද්‍ර කියන අපේ රංගන ශිල්පියා. සංජීව අයියා තමයි මාව චලෝ අධ්‍යක්ෂණය කරන හසුන් සමීර අයියට හඳුන්වා දුන්නේ. ඒ ඔස්සේ තමයි මට මේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණෙ.
ඔබේ සමකාලීනයන් එක්ක බලද්දි ඔබ මතුවුණා මදි කියලා හිතෙන්නේ නැද්ද?
හිතෙනවා. ඒත් මම ගොඩක් හිමින් ගමනක් යන කෙනෙක්. ඒ වගේම මම ගොඩක් රංගනය පිළිබඳ ඉගෙන ගත්තා ඒ කාලයේදී ඒවා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ටවර් හෝල් රංගන පාසලෙන් මම රංගනය ඉගෙන ගත්තා. වර්තමානය වනවිට විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපධියක් හදාරනවා.
රංගනය වෘත්තීය කරගන්න අදහසක් නැහැ වගේ?
රඟපානවා. ඒත් ගුරුවරියක් වෙන්න තමයි ආස.
යමුනා ටීචර් වගේ?
යමුනා ගුරුතුමිය දුෂ්කර පාසලක ඉගෙන ගත්ත අයෙක්. ඇය ළමයින්ට ඉතාම ළෙංගතුයි. ඒ නිසා ළමයි හැමදෙයක්ම ඇයත් එක්ක කියනවා. උපරිම සාධාරණයක් චරිතය වෙනුවෙන් මම කළා. මගෙත් පළමු ප්‍රධාන චරිතය මේක නිසා මටත් යමුනා ටීචර්ගේ චරිතය විශේෂයි.
මේ චරිතය කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීමක් දෙකක් කියමු?
ෂූටිං කරන්න ගිහින් මාව මාපිලෙක් කෑවා. ඒක තමයි මට තියෙන අමතක නොවන අත්දැකීම. බොහෝ වෙලාවක් ගියාට පස්සෙ තමයි දන්නෙ මාව සර්පයෙක් කාලා කියලා. වෙලාවට ඉක්මනට බෙහෙත් කරගන්න පුළුවන් වුණා.
ඔබේ පෞද්ගලික ජීවිතේ විස්තර සඳහන් කළොත්?
මගේ ගම කිරිල්ලවල. ගම්පහ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් සහ ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විදුහලින් තමයි ඉගෙන ගත්තේ. මගේ උපන්දිනේ 1992 දෙසැම්බර් 17. මම අවිවාහකයි. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අයියයි.
නිශ්ශංක විජේරත්න