වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
මව්පිය සෙනෙහසට නව අරුතක්

සිහ රජෙක් විලස සැදූ මගේ පුතුට
රැජිනියක් වන්න දුවනි
බෝධියක් ලෙසින් රැකි මගේ දුවට
රන් වැටක් වන්න පුතුනි
මහ මෙරක් විලස සැදූ මගේ පුතුට
කිරි සයුරවන්න දුවනි
පිනි මලක් ලෙසින් රැකි මගේ දුවට
මල් පැලක් වන්න පුතුනි....
පසුගියදාක යූ ටියුබය ඔස්සේ අසන්නට ලැබුණු මේ ගීතය එක්වරම මගේ හිත පැහැර ගත්තා. මවක් පියෙක් දරුවෙක් හදන්නේ මොන තරම් ආදරයකින් ද යන්න යළි යළිත් සිහිපත් කරවන මේ ගීතය මව්පිය පදවි දරන බොහෝ පිරිසකගේ සිත් දරු සෙනෙහසින් සංවේදී කරාවි. මේ ගීතය රචනා කර ගායනය කරනුයේ නවක ගී පද රචකයෙකු මෙන්ම ගායකයෙකු ලෙසින් ද දොරට වඩින අරුණ ගොඩකුඹුර විසින්. යුග ගායනය සඳහා එක් වෙන්නේ ස්වර්ණ තිලකා ද සිල්වා යි.
කොත්මලේ ප්‍රදේශයේ උපන් ඔහු කොත්මලේ හාල්පොල විද්‍යාලයේ හා හැදුණු වැව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන ඔහු සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන්නේය. ආර්ථික විද්‍යාව සහ අධ්‍යාපනපති පශ්චාත් උපාධිධරයකු වන ඔහු වත්මනේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස සේවය කරයි.
‘මම පුංචි කාලේ ඉඳන්ම සින්දු කියන්න හරි ආසයි. ඒ නිසාම මම ගිටාර් ගයන්න ඕගන් ගහන්න ඉගෙන ගත්තා. සංගීත කණ්ඩායම් කීපයකම ගිටාර් හා ඕගන් වාදකයෙකු ලෙසත් කටයුතු කළා. ඔය අතරේ මම පාසල් ගණනාවක සංගීත ගුරුවරයකු වශයෙනුත් කටයුතු කළා. ඒ ආසාවන් එක්ක තමයි ගීත ගායනයට යොමු වෙන්නේ. ගීත ගායනයට මෙන්ම ගීත රචනයටත් ඉස්සර ඉඳලම මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඉස්කෝලේ යන කාලෙත් විවිධ පද්‍ය රචනා තරගවලට එහෙමත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබපු අවස්ථාත් තිබුණා.
ගෙවුණු කාල වකවානුව තුළ කොවිඩ් නිසා ඇතිවුණ විවේකය ඔහු යොදා ගත්තේ සිය නිර්මාණ කටයුතු උදෙසාය.
ජිවිතයේ මහ කන්ද නැගලා
දැන් ඉතින් හරි මහන්සියි
ගෙනා කදමලු බිමින් තියලා
ඉසිඹුවක් ලබන හිතයි...
කුඩා කල පටන්ම සෙනෙහසින් බැඳි ඔහු මෙකී නිර්මාණ කාර්යයන්හි යෙදෙනුයේ කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ඉන් පෙරළා බලාපොරොත්තුව නොවේ.
ඔහුගේ කලා ජිවිතයට බිරිඳ දූ දරුවන්ගෙන් ලැබෙන්නේ ද නොමඳ සහායකි. ඔහුගේ බිරිඳ විදුහල්පතිනියක් වන අතර පුතා මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටින අතර දියණිය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.