මේ ආරම්භයක් විතරයි

-The Voice කිරුළ දිනූ හරිත් විජේරත්න
දෙසැම්බර් 16, 2021

 

ජයග්‍රහණයේ සතුට කොහොමද?

වචනවලට පෙරලන්න බැරි තරම් ලොකු සතුටක් තියෙන්නේ. The Voice ඉපඪ ඹ්චදඬච තරගයට අයැදුම් කරනකොට මට තිබුණු ලොකුම බලාපොරොත්තුව මේ තරගයෙන් ජයග්‍රහණය කරන එක. එය ඒ ආකාරයෙන්ම ඉෂ්ට වුණා. ඉතින් ඔයාට මගේ සතුට කොච්චරද කියලා හිතාගන්න පුළුවන්නේ?

 

ජයග්‍රහණයත් සමඟ ඔබේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ රසිකයන්ගෙන් මට පුදුම ආදරයක් ලැබෙන්නේ. එයාලා මට තමන්ගෙම සහෝදරයෙක්ට, තමන්ගේ පුතෙක්ට වගේ ආදරේ දක්වනවා. ඒ ආදරය සහ ආශීර්වාදය නිසා මට පසුගියදා The Voice ඉපඪ ඹ්චදඬච වෙන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් සමාජ මාධ්‍යවල මට පාලනය කරගන්න බැරි තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම නිතරම උත්සාහ කරනවා ඒ සියලුදෙනාටම ප්‍රතිචාර දක්වන්න.

හරිත්ට බ්ලයින්ඩ් ඕඩිෂන් එකේදි හැම කෝච් කෙනෙක්ම හැරෙනවා. එතැනින් ඔබ තෝරගන්නේ ක්ෂේත්‍රයේ අත්දැකීම අවම කෝච්ව. ඒ වගේ අවදානමක් ගන්න බය හිතුණේ නැද්ද?

කොහෙත්ම නැහැ. ඒක ඇත්තටම මට අවදානමක් කියලා හිතුණේ නැහැ. බ්ලයින්ඩ් ඕඩිෂන් එකට යන්න කලින් ඉඳලාම මම තීරණය කරලා තිබුණා කෝච්ලා හතරදෙනාම හැරුණොත් තෝරාගන්නේ කෝච් උමාරියා කියලා. මගේ ශෛලියට සහ මම ආස කරන සංගීත ශානරයට හොඳටම ගැළපෙන කෝච් තමයි කෝච් උමාරියා. කෝච් උමාරියා කියන්නේ ඉතාම දක්ෂ, තරුණ ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇයගේ ඉදිරිපත් කිරීම් අන්තර් ජාතික මට්ටමේ තියෙනවා. ඒ හැමදෙයක්ම බැලුවාම මට කවදාහරි වෙන්න ඕනේ ඇය වගේම අන්තර් ජාතික තලයේ තරුවක් වෙන්න. ඒ නිසා ඇයව තෝරාගැනීම අවදානමක් කියලා මට හිතුණේම නැහැ.

 

කොහොමද උමාරියා සිංහවංශගෙන් Voice Teens  චාරිකාවට ලැබුණු සහයෝගය?

කෝච් උමාරියා කියන්නේ තමන්ගේ කණ්ඩායමේ දරුවන්ට අම්මා කෙනෙක් වගේ සලකන කෙනෙක්. බොහොම ආදරයෙන් අපි හැමකෙනාගෙම දක්ෂතා හරියටම හඳුනාගෙන අපිව කෝච් කළා ඇය. හරිම ආදරෙන් අපිට චුට්ටක්වත් සැර කරන්නේ නැතුව කෝච් කළා ඇය. අපි හැම කෙනාටම කොයි විදිහටද හඬ පුහුණුව දෙන්න ඕනේ කියලා ඇය දන්නවා. කෝචින්ග් කියන්නේ කලාවක් නම් උමාරියා ඒකේ පිකාසෝ කියලා බය නැතුව කියන්න පුළුවන්. කෝච් හැම මොහොතකම උත්සාහ කළේ අපි ඉන්න තැනට වඩා අපේ දක්ෂතා උසස් මට්ටමකට රැගෙන යන්න. ඇයට කොරෝනා වැලඳීලා නීරෝධායනය වුණු කාල සීමාවේදී ඇරුණුකොට අනිත් හැම අවස්ථාවකම කෝච් අපිව පුහුණු කරන්න ආවා. අපේ හඬ පරාසය වැඩි කරගන්න මොනවගේ විධික්‍රමද පාවිච්චි කරන්න ඕනේ, වේදිකාවක් උඩ ගීතයක් ගයන්න අවශ්‍ය අපේ පෞරුෂත්වය ගොඩනඟාගන්නේ කොහොමද මේ හැමදෙයක්ම එකක් නෑර කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කෝච් උමාරියා අපිට කියලා දුන්නා. ඇය හරිම උද්‍යෝගිමත්ව වැඩ කරන හෘදයංගම කෙනෙක්.

 

ඔබට හොඳ Coach  කෙනෙක් වගේම යහළු යෙහෙළියන් ඉන්න ලොකු කණ්ඩායමක් ලැබුණා. ඒ කණ්ඩායම ගැනත් කියමු?

ටීම් උමාරියා තමයි හොඳම කණ්ඩායම. හරිම අව්‍යාජ, ඉතාම හොඳ චරිත ඉන්න කණ්ඩායමක් මට ලැබුණා. අදටත් ඒ යාළුකම් එලෙසම තියෙනවා. The Voice ඉපඪ ඹ්චදඬච තරගයේ වසරකට අධික කාලය ගත වුණේ ඔවුන් එක්ක හරිම සුන්දර, විනෝදජනක මතක ගොඩක් එකතු කරගනිමින්. මගෙ බැට්ල් පාර්ට්නර් ගංගා අබේනායක අක්කා දිගටම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඇය අපරදිග සංගීතය උගන්වන ගුරුවරියක්. තරගයෙ ටිකෙන් ටික ඉදිරිටට යද්දි කණ්ඩායමේ එකිනෙකා ඉවත් වෙනවා. එතකොට නම් ඇත්තටම දුකයි. ඔවුන් එක්ක ඉදිරියට කාලය ගත කරන්න නොලැබෙන එක ලොකු දුකක්. නමුත් ඔවුන් එකිනෙකා ඉවත් වෙද්දි මම නිතරම හිතුවේ ඉදිරි කාලයේදී සංගීත ක්ෂේත්‍රය ඇතුළේ මේ හැමෝම මට නැවත හමුවෙයි කියලා.

 

ඉදිරියට හරිත්ගේ සංගීත චාරිකාව හදාගන්නෙ කොහොමද?

The Voice ඉපඪ ඹ්චදඬච වීම මගේ ආරම්භයක් විතරයි. මම සංගීත ක්ෂේත්‍රයට පා තැබුවා පමණයි. මගෙ අවසාන ඉලක්කය අන්තර් ජාතික මට්ටමේ සංගීතඥයෙක් වෙන එක. ඒ සඳහා ටිකෙන් ටික වැඩ කරමින්, නව අත්හදා බැලීම් කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නවා ඒ සඳහා මගේ කෝච් උමාරියා සිංහවංශත් සහයෝගය දක්වයි කියලා.

 

ඔබ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඉදිරියේදී හරිත් කියන වෛද්‍යවරයාට වඩා ගායකයා ඉදිරියට එයිද?

එහෙම වෙන එකක් නැහැ. කවදාවත් මම මගේ වෛද්‍ය වෘත්තිය අතහරින්නේ නැහැ. වෛද්‍ය වෘත්තිය මම තෝර ගත්තෙත් මගෙම කැමැත්තෙන්. ඒ වගේ වෘත්තියක නියැළෙන්නේ ලැබීමත් මට ලොකු භාග්‍යයක්. ඒ අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ලබා ගන්නවා. වෛද්‍ය ක්ෂේත්‍රයෙන් වගේම සංගීත ක්ෂේත්‍රයෙනුත් වෘත්තිමය තලයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මීට පෙර සිරස සුපර්ස්ටාර් තරගාවලියේ ජයග්‍රහකයා වෙන ප්‍රදීප් රංගන අයියාත් වෛද්‍යවරයෙක්. ඔහු අපි හැමෝටම ලොකු අභිප්‍රේරණයක්. ඔහු ක්ෂේත්‍ර දෙකේම ඉතාම සාර්ථකව නියැළෙමින් ඉන්න කෙනෙක්. වෛද්‍ය වෘත්තියේ පැතිකඩ කිහිපයක් තියෙනවා. සමහර පැතිකඩ තියෙනවා ලොකු වෙලාවක් කැප කරන්න සිද්ධ වෙන සමහර පැති තියෙනවා ඒ තරම් වෙලාව කැප කරන්න අවශ්‍ය නැති. මම තවම වෛද්‍ය ශිෂ්‍යයෙක් නිසා ක්ෂේත්‍රය ගැන හරියටම නිර්ණායක දෙන්න අමාරුයි. නමුත් මම බලාපොරොත්තු වෙනවා මගේ සංගීත ගමනත් යන්න පුළුවන් විදිහට මගේ වෘත්තිය සකසා ගන්න.

 

ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ළඟඳීම ඉටුවේවි. මගේ පළමු ගීත නිර්මාණයේ වැඩකටයුතු මේ වන විට කරමින් පවතිනවා. මට ඕනේ පෙරදිග අපරදිග සංගීත ශෛලීන් දෙකම එකට එකතු කරලා වෙනස් වැඩක් කරන්න. ඒ පන්නරය මට එන්නෙ කේමදාස මාස්ටර්ගෙන්. පොඩි කාලේ ඉඳන්ම ඔහුගේ සංගීතය මම රසවිඳීනවා. කේමදාස මාස්ටර්ගේ සංගීතයට මම ගොඩක් කැමතියි. මම තැනකට ආවා නම් ආවේ ඔහුගේ සංගීතය නිසා. මම සංගීතයට ආස වුණා නම් වුණේ ඔහුගේ සංගීතය නිසා. The Voice ඉපඪ ඹ්චදඬච බ්ලයින්ඩ් ඕඩිෂන් එකේදිත් මම ගායනා කළේ මාස්ටර් සංගීත අධ්‍යක්ෂණය කරපු "හෙමින් සැරේ පියා විදා" ගීතය. මගේ අලුත් ගීතයත් ඔහුගේ සංගීතයට සමීප නිර්මාණයක් වේවි.

 

ගායන රියැලිටි වැඩසටහන්වලින් ජයග්‍රාහකයන්ගෙන් අතළොස්සයි මේ වෙද්දි ගායන ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්නේ. රියැලිටි තරග ජයග්‍රාහකයෝ ඉක්මනින් අප්‍රසිද්ධ වෙනවා. හරිත්ටත් එහෙම වේවිද?

මට ලොකු විශ්වාසයක් තියෙනවා මම කැප වෙලා වැඩ කරන නිසා එහෙම වෙන එකක් නැහැ කියලා. මම නිතරම රසිකයින් පිනවන්න, සනසන්න උත්සාහ කරන කෙනෙක්. ප්‍රේක්ෂකයන් එක්ක නිතරම ප්‍රේක්ෂකාගාරයේ රැඳිලා ඉන්න කැමති ගායකයෙක් මම. ඒ නිසා මම හිතනවා මාව එහෙම අප්‍රසිද්ධ වෙන එකක් නැහැ කියලා. මට අවශ්‍ය කරන්නේ මම මැරුණාට පසුවත් මිනිසුන්ගේ හිතේ සදා මතකයේ රැඳෙන ගීත ගායනා කරන්නයි.

 

හරිත් සංගීතයට නැඹුරු වුණේ කොහොමද?

පොඩි කාලේ ඉඳන්ම මම සංගීතයට කැමතියි. මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. අපේ පාසලේ "Saga"  කියලා ප්‍රසංගයක් තිබුණා. එතැනින් තමයි මට සංගීතයට පන්නරය ලැබුණේ.

 

රාජකීය විද්‍යාලයේ "Saga" ප්‍රසංගය නිවේදන කටයුතු කළේ සුමිරාන් ගුණසේකර. අද ඔබ කිරුළු පැලැඳී අන්තර් ජාතික වේදිකාවේ නිවේදන කටයුතු කළෙත් ඔහුමයි නේද?

ඒක මට හරි අහම්බයක් සහ පුදුම අත්දැකීමක්. සුමිරාන් අයියා කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්. ඔහු ඉස්සර ඉඳන්ම අපි ආදරේ කරන චරිතයක්. හරිම උද්‍යෝගිමත්, සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කෙනෙක් සුමිරාන් අයියා. ඔහුගේ ඒ උද්‍යෝගය The Voice Sri Lanka  වේදිකාවටත් රැගෙන ආවා. එකම පාසලේ කෙනෙක් විදිහට ඒක මට හරි ආඩම්බරයක්. ඔහුව මගේ ජීවිතේ වැදගත්ම තැන් දෙකකදීම එකම භූමිකාවෙන් මුණගැහෙනවා කියන එක ඇත්තටම අරුමයක්. දෛවය කියන්නේ හරි පුදුම දෙයක් කියලා හිතෙනවා. සුමිරාන් අයියා මට වගේම අනිත් සියලු තරගකරුවන්ටත් එක වගේ ලොකු සහයෝගයක් ලබාදුන්නා.

 

ස්තූතියි කරන්න ගොඩක් අය ඇති?

මගේ මවුපියන්ට ස්තූතිවන්ත වෙනවා. හැමදාම මගේ හැම දෙයකටම ලොකු සහයෝගයක් මගේ අම්මා තාත්තා මට ලබාදෙනවා. ඒ වගේම කෝච් උමාරියා සිංහවංශ මට ලොකු සහයෝගයක් දුන්නා. මම මේ තරගාවලියට ගිය පසු උමාරා සිංහවංශගෙන් හඬ පුහුණුව ලබාගත්තා. ඇයවත් මතක් කරන්න ඕනේ. මගේ සංගීත ගුරුවරු සංචිත වික්‍රමසූරිය මහත්මයාටත් සහ රශ්මි සංගීතා මහත්මියටත් ස්තූතිවන්ත වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආලෝක පතිරණ මහත්මයා, ඊෂා ප්‍රේමතිලක මහත්මිය ඇතුළු සියලුම ආචාර්ය මහාචාර්යවරුත්, වෛද්‍ය පීඨයේ 26 වැනි කණ්ඩායමේ මගේ යහළු යෙහෙළියන් සහ දැනට වෛද්‍ය පීඨයේ ඉන්න සියලුම කණ්ඩායම්වලට මම ස්තූතිවන්ත වෙනවා. මගේ පාසල කොළඹ රාජකීය විද්‍යාලයේ 2015 කණ්ඩායමේ සියලුදෙනාටත්, ආදි ශිෂ්‍ය සංගමේ සියලුදෙනාටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සිරස නාලිකාවට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටිනා අවස්ථාවක් අපිට ලබාදුන්නාට. සිරස නාලිකාවේ, The Voice කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් අසේල බණ්ඩාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ හැමෝමත් ආදරයෙන් මතක් කරනවා. මේ තරගාවලිය පුරාම කෝච් උමාරියා වගේම අපිට ගුරුහරුකම් ලබාදුන්නේ අනිත් කෝචර්ස්ලාව මතක් කරන්න ඕනේ. භාතිය සන්තුෂ්, කසුන් කල්හාර, සශිකා නිසංසලා යන කෝච්ලා හැමෝම අපිට ලොකු හයියක් වුණා. ඔවුන්ගේ ගුරුහරුකම් නිසා මම මගේ අඩුපාඩු ගොඩක් හදාගත්තා. ඔවුන්ටත් ස්තූතිවන්ත වෙනවා මම.