අදට වඩා හෙට හොඳ වන්නට නම්

විශ්වනාත් බුද්ධික කීර්තිසේන
ජනවාරි 20, 2022

 

සිනමාව යනු මොහොතෙන් මොහොත යාවත්කාලීන වන නව්‍යතා එක්වන කලා මාධ්‍යයකි. වසර 75ක පැමිණි සිනමා ගමන් මග දෙස බලන විට, එහි විකාශය අධ්‍යයනය කරන විට එය වටහා ගත හැකිය. කතානාද සිනමාවට වසර 75ක් සපිරෙන මේ මොහොතේ මින් ඉදිරියට සිනමාව රැගෙන යා යුත්තේ කොතැනටදැයි සාකච්ඡා කළ යුතුය. සිනමාව මුහුණ දෙන අභියෝග ජයගෙන නව්‍යතා එක් කරගනිමින් යන ගමන්මඟ ගැන කතාබහ කළ යුතුය. ඒ සඳහා අප ආරාධනා කළේ මෙරට සිනමාවට නව්‍යතා එකල තරුණ සිනමාකරුවෙකුටය. ඔහු නමින් විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන නම් වේ. ඩිජිටල් තාක්ෂණය සහ ජංගම දුරකතන තාක්ෂණය සිනමාවට හඳුන්වාදුන් බූඩි කීර්තිසේන සමඟ සිනමාවේ අනාගතය ගැන අපි මෙසේ කතා කළෙමු.

 

 

මෙරට සිනමාවේ පසුගාමීත්වය ඇරැඹුණේ කොතැනින්ද?

70, 80 දශකයෙන් පසුව අපේ සිනමාව නැති වුණා කියලා මම හිතනවා. අපි සිනමාවට පැමිණියේත් 90 දශකයේදී. නමුත් නිර්මාණකරුවන් එක්කෙනෙක් දෙන්නෙක් එන එකට නෙමෙයි සිනමාවක් කියන්නේ. වසරකට සිනමා නිර්මාණ එළිදකින්නේ තිහක් නම් එතැනින් පහළොවක් විස්සක්වත් "ශා මේක මරුනේ" කියන මට්ටමේ නිර්මාණ වෙන්න ඕනේ. නමුත් 80 දශකයෙන් පසුව එහෙම කියන්න අපහසුයි. නිර්මාණ ඉතා අල්පයයි හොඳයි කියන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. තවත් එක හේතුවක් වුණා තරගකාරීත්වයක් සිනමාවට එකතු වුණු නිසා. උසස් මට්ටමේ සිනමා නිර්මාණවලට ජාතික සහ අන්තර් ජාතික සම්මාන ලැබෙන විට ඊළඟ පරපුර ඒක අවබෝධ කරගත්තේ වැරදියට. ඔවුන් සම්මාන ගන්න චිත්‍රපට හදන්න පටන්ගත්තා. සම්මාන ගන්න නෙමෙයි සිනමාව හදන්නේ. මිනිස්සුන්ට සන්නිවේදනය කරන්නයි සිනමාව තියෙන්නේ. අපි සිනමාව ගැන ඉගෙනගනිද්දි "එඩචබ ඪඵ ටඪතථ චඡධභබ?" කියලා අහනකොට අපි කියන්නේ "ධ්බඵ චඡධභබ තඪටඥ" කියලා. සිනමාව කියන්නේ ජීවිතයට. ජීවිතේ තියෙන දේවල් තමයි අපි සිනමාවට ගන්නේ. සම්මාන උලෙළකට චිත්‍රපටයක් යන්නේ ඒ චිත්‍රපටය තුළ ජීවිතය පිළිබඳව කරන විග්‍රහය සුවිශේෂී වුණාම. නමුත් අපේ අය දේශපාලනය, සමාජ අසාධාරණය වගේ දේවල්වලින් චිත්‍රපට නිර්මාණය කරන්න ගත්තේ වැරදි අවබෝධය නිසා. ඒ වගේ චිත්‍රපට ඉස්සරත් හැදුණා. උදාහරණයක් විදිහට ධර්මසේන පතිරාජගේ "බඹරු ඇවිත්" ගත්තොත් ඒක "පට්ට පොලිටිකල්" ෆිල්ම් එකක්. නමුත් ඒකේ කොයිතරම් හාස්‍ය ජවනිකා තියෙනවාද? තරග කරන්න චිත්‍රපට හදනවා කියන්නේ එකෙක්. හොඳ චිත්‍රපට හදනවා කියන්නේ තව දෙයක්. ෆිල්ම් එකක් හදනවා කියන්නේ රේස් එකක් දුවන එකට නෙවෙයි. එහෙම සම්මාන ගන්න චිත්‍රපට හදනවා කියන එක මම හඳුන්වන්නේ බාල වැඩක් කියලා. හොඳ චිත්‍රපටයකදි වාණිජද විකල්ප ධාරාවේද කියලා බෙදීමක් කරන්න බැහැ. අලුතෙන් සිනමාවක් ගැන හිතන්න නම් සම්මාන උලෙළ ගැන නොහිතා චිත්‍රපට හැදෙන්න ඕනේ.

 

වර්තමාන සිනමාවේ නව්‍යතා ගැන කතා කරමු?

සිනමාවට වසර 75ක් වන මේ මොහොතේ චිත්‍රපට ක්ෂේත්‍රයේ අය නෙමෙයි ඉදිරියෙන්ම ඉන්නේ සමාජ මාධ්‍යවල නිර්මාණකරුවන්. විනී ප්‍රඩක්ෂන්ස්, රැට්ටා වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ යූටියුබ් එකේ මිලියන ගාණක් බලනවා. චිත්‍රපටිකරුවන් දැන් හිතන්න ඕනේ සමාජ මාධ්‍යවලට අලුතෙන් එන නිර්මාණකරුවන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයන් බලන්නත් සිනමා නිර්මාණ නොබලන්නත් හේතුව මොකක්ද කියලා. මම කියන්නේ නැහැ යූටියුබ් වීඩියෝ වගේ චිත්‍රපට හදන්න කියලා. නමුත් ඔවුන්ගේ නිර්මාණවල රසවින්දනය තියෙනවා. ලංකාවේ වාණිජ චිත්‍රපට කියලා හැදෙන්නේ දියුණු නැති නිර්මාණ. වර්තමානයේ හැදෙන සාමාන්‍යයෙන් හොඳයි කියන චිත්‍රපට ගත්තොත් ඒවායේ සහ ටෙලිනාට්‍යවල ඉතාම සුළු වෙනසයි තියෙන්නේ. නමුත් ලෝකයේ හොඳ සිනමා නිර්මාණ එහෙම නෙමෙයි හැදෙන්නේ.

සමාජ මාධ්‍යවල නිර්මාණකරුවන් ගැන ඔබේ අදහස මොකක්ද?

ඔවුන් දක්ෂයි. ඔවුන්ගේ නිර්මාණවල රසවින්දනය තියෙනවා. නමුත් ඔවුන් තව පුහුණු වෙන්න ඕනේ. එයාලා රසාස්වාදය කියන දෙය හරියට අල්ලගෙන ඉන්නවා කියලා පේනවා. ඔවුන්ට පුහුණුවෙන ලංකාවේ සිනමා පාසල් තිබිලා වැඩක් නැහැ. ඉගෙන ගන්නවා වගේම හොඳ සිනමාකරුවන් සමඟ වැඩ කරන්න ඕනේ. යූටියුබ්ර්ස්ලා කාගෙන්වත් අහන්නෙවත් ඉගෙන ගන්නෙවත් නැතිව බැට්න් එක අතට ගත්තා. එතකොට සමහර වැරදි මාර්ගවල යන අවස්ථා තියෙනවා. ඒත් වැරදුණාට ඔවුන් වැරදි හදාගෙන නැවත නැවතත් නිර්මාණ කරනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ඔවුන්ගේ වැරදි හදාගෙන හොඳ නිර්මාණකරුවන් සමග වැඩ කළොත් හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන් කියලා මම හිතනවා. තවත් දෙයක් තියෙනවා. ලංකාවේ සමාජ මාධ්‍යවල සීයට අනූවක්ම මුදල් අය කිරීමකින් තොරව නිර්මාණ රසවිඳීන්න පුළුවන්. නොමිලේ දුන්නොත් මිනිස්සු ඕනේ දෙයක් බලනවා. කලාත්මක කෘතියක් කරන විට යම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ඒක යූටියුබර්ස්ලාද කරන්නේ සිනමාකරුවන්ද කරන්නේ කියන එක අදාළ නැහැ. දෙයක් වෙනවා නම් එය සිස්ටම් එකකට වෙන්න ඕනේ. සිස්ටම් එකෙන් පිට ගියාම වෙන්නේ හානියක්. සිස්ටම් එක කඩාගෙන යනවා කියන්නේ වෙනම කතාවක්. සිස්ටම් එක කඩාගෙන යන්නේ සිස්ටම් එක හරියට හඳුනාගෙන අවසන් අය.

 

"ව්ඥයබ ඹ්ඥමඥත" සිනමාව ගැන කතා කරමු?

ව්ඥයබ තඥමඥත සිනමාව ගැන කතා කරන්න කලින් ඉන්න ලෙවල් එකෙන් උඩට එන්න ඕනේ. දැන් අලුත් වේදිකාවක් හැදිලා තියෙනවා නෙට්ෆ්ලික්ස් කියලා. අපේ සිනමාවත් එතැනට රැගෙන යන්න ඕනේ. අපිට සමීපම රට ඉන්දියාව පවා නෙට්ෆ්ලික්ස් ගිහින්. අපිට ඉන්දියාව හරහාවත් නෙට්ෆ්ලික්ස් යන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතනවා. අපේ සිනමාකරුවො සෑහෙන්න උත්සාහ කරනවා නෙට්ෆ්ලික්ස් එකට චිත්‍රපට හදන්න. නමුත් භාෂාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. "මින්නාල් මුරලි" කියන මලයාලම් සුපර්හීරෝ චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් එකේ යන්නේ ඉංග්‍රීසියෙන්. අපිට දෙමළ භාෂාවෙන් හෝ චිත්‍රපටයක් හදන්න පුළුවන් නම් ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් හරි බලන නිසා නෙට්ෆ්ලික්ස් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නෙට්ෆ්ලික්ස් කියන්නේ සල්ලි හම්බ කරන්න වේදිකාවක්. ඒ නිසා එතැනට යන්න නම් අපි ලොකු ප්‍රේක්ෂකයන් පිරිසක් හදාගන්න ඕනේ.

ප්‍රේක්ෂකයින්ට නැවතත් සිනමාව සමීප කරන්න නම්?

ප්‍රේක්ෂකයින්ට සිනමාව සමීප කරන්න නම් සිනමාව ප්‍රවර්ධනය කරන්න ඕනේ. ලංකාවේ සිනමා සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. මගේ මිල්ලෙ සොයා චිත්‍රපටය හදනකොට එහි කාර්ය මණ්ඩලයේ වැඩ කරපු ඉතාලි ජාතිකයන් සතියකට එක දවසක් චිත්‍රපට බලන්න යනවා. එදාට ඔවුන් වැඩ කරන්නේ නැහැ. මාසයකට දින හතරක් බලන්න බැරි නම් දින තුනක්වත් චිත්‍රපට බලනවා. ඒ වගේ සිනමා සංස්කෘතියක් තියෙන්න ඕනේ. එහෙම සංස්කෘතියක් නැතිනම් ඒක නැවත අපි ගොඩනඟාගන්න ඕනේ. කොරියානු සිනමාව අද ලෝකේ ඉහළ මට්ටමකට ඇවිත් තියෙන්නේ කාලයක් තිස්සේ විවිධ අත්හදා බැලීම් කරලා උත්සාහ කරලා. අසූව දශකයේදි අපේ ජනගහනයට වැඩිය චිත්‍රපට බලපු කාලයක් තිබුණා. ඒ කියන්නේ ඔවුන් එකම චිත්‍රපටය දෙතුන් වතාව බලලා. ඒ සිනමා උන්මාදය නැති වෙන්න හේතු කීපයක් බලපෑවා. ටෙලිවිෂනයත් එක හේතුවක්. ඒත් ප්‍රබල හේතුව වුණේ නිසි ප්‍රමිතියක් නැති චිත්‍රපට නිර්මාණය වීම. ඒ නිසා මිනිස්සුන්ට චිත්‍රපට ගැන විශ්වාසයක් නැතිව ගියා. මෑතකදි මම මගේ ළඟම මිත්‍රයෙක් එක්ක "තෝර්" සුපර්හීරෝ චිත්‍රපටය බලන්න ගියා. විවේක කාලයේදී පෙන්නුවා ළඟදි පෙන්වන්න නියමිත දෘශ්‍ය ප්‍රයෝග සහිත අපේ චිත්‍රපටයක දැන්වීමක්. ඒ දෘශ්‍ය ප්‍රයෝග බලලා අපේ ප්‍රේක්ෂකාගාරය "අපෝ", "අයියෝ" කියනවා ඇහුණා. අධ්‍යයනයෙන් තොරව නිර්මාණකරණයට පෙලඹුණාම ඒ නිර්මාණ ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කරනවා. අපේ හොඳ චිත්‍රපට හැදෙන්නේ නැහැ කියලා මම කවදාවත් කියන්නේ නැහැ. නමුත් හොඳ චිත්‍රපට හැදෙන ප්‍රමාණය වැඩි වෙන්න ඕන.

 

ආර්ථික වශයෙන් පීඩාවට පත් වුණු මිනිස්සු ඉදිරි කාලයේදි මුදල් වැය කරලා චිත්‍රපට බලයි කියලා ඔබ හිතනවාද?

චිත්‍රපට බලන්න එන්නේ කිසිම ප්‍රශ්නයක් නැති සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සු නෙමෙයි. ආර්ථික ප්‍රශ්න තියෙන අය චිත්‍රපට බලන්නේ. ඒ අයට මාසෙකට කීපවතාවක් චිත්‍රපට බලන්න බැරි වෙයි. නමුත් මාසෙකට එක සැරයක් හරි ඔවුන් චිත්‍රපට බලනවා. කවුරුහරි කිව්වොත් හොඳ ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා කියලා මිනිස්සු කොහොමහරි ගිහින් බලනවා. ණයට සල්ලි ඉල්ලන් හරි ඒ හොඳ චිත්‍රපටය බලන්න යනවා. ඒ සමඟම හොඳ සිනමාශාලා නිර්මාණය වෙන්නත් ඕනේ. තියෙන ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ගඳ ගහන්නේ නැති, මකුණො නැති වායුසමීකරණය කරපු සිනමාශාලා හැදෙන්න ඕනේ. සිනමාශාලාවල තාක්ෂණයත් දියුණු වෙන්න ඕනේ.

 

අනාගතයේදී මෙරට චිත්‍රපටවල ප්‍රචාරණය දියුණු විය යුතු ආකාරය?

හොලිවුඩ් බොලිවුඩ් වගේ ප්‍රධාන පෙළේ සිනමාවේ අපිට දකින්න ලැබෙනවා දියුණු ප්‍රචාරණයක්. ඒ ප්‍රචාරණය සිනමා සංස්කෘතියෙන් එන දෙයක්. අපේ රටේ එහෙම සිනමා සංස්කෘතියක් නැහැ. එහෙම ප්‍රචාරණයකට ආකර්ෂණය වෙන්න නම් මිනිස්සු සිනමාව එක්ක මීට වඩා සහසම්බන්ධතාවක් තියාගන්න ඕනේ. අපේ රටේ සිනමාශාලාවලට යන්නේ ඉස්කෝලේ යන කපල්. ඒකත් චිත්‍රපටය බලන්න නෙමෙයි වෙන වැඩවලට. ඒකද සිනමාව කියන්නේ? එහෙම රටක මිනිස්සුන්ටද ලක්ෂ ගණන් වැය කරලා සිනමාව ප්‍රචාරණය කරන්න ඕනේ? ඔක්කොටම කලින් සිනමාව ඇතුළෙ ටෙම්පරි ගේම් ගහන එන නතර කරන්න ඕනේ.

 

මොනවාද ඒ සිනමාවේ ටෙම්පරි ගේම්?

වැඩක් කරද්දි "මොකක්හරි කරනවා, කොහොමහරි කරගන්නවා" ඕවා තමයි කියන්නේ. ඒකට අපි කියන්නේ වංගු ගහනවා කියලා. වංගු ගහලා චිත්‍රපට හදන්න බැහැ. අපේ ෆිල්ම් හදනකොට කියන්නේ කොටේෂන් එක දෙන්න කියලා. ඒත් ඇමරිකාවේ අහන්නේ බජට් එක කීයද කියලා. මට කොටේෂන් දෙන්න පුළුවන් ඕනේ තරම්, ලෝකේ ඉහළම පෙළේ නළුවන්වත් දාලා. නමුත් සල්ලි තියෙන්නේ මහේන්ද්‍ර පෙරේරාව දාලා චිත්‍රපටයක් හදන්න. ඒ නිසා කොටේෂන් එක නෙමෙයි බජට් එකනෙ අහන්න ඕනේ. හැමෝම බලාගෙන ඉන්නේ මේක ඇතුළේ ගේමක් ගහන්න.

 

සිනමාවට අලුතෙන් එක් වියයුතු දේවල් කතා කළොත්?

මම තමයි ලංකාවේ පළමු වැනි ඩිජිටල් චිත්‍රපටය නිර්මාණය කළේ. 2008 දී නිම්නයක හුදෙකලාව චිත්‍රපටය රූගත කළේ ඩිජිටල් තාක්ෂණයෙන්. එය ඉතාම අඩු පිරිවැයකින් නිර්මාණය කළේ. නමුත් චිත්‍රපටය තිරගත වෙන්න කල් ගියා. මිල්ලේ සොයා පළමු වැනි ච්ඊඉ චිත්‍රපටය. ඉන්පසුව අයිෆෝන් 5 එකෙනුත් චිත්‍රපටයක් කළා "ඒඤමඥදබභපඥඵ ධට අධජඬර ච්ඥඥද" කියලා. සිනමාවට අලුත් දේවල් එකතු කරන්න ඕනේ ඒ වාතාවරණයට සහ චිත්‍රපටයේ තේමාවට ගැළපෙන්න. අඩු පිරිවැයකින් චිත්‍රපට කරන්න අවශ්‍ය නිසයි මම ඩිජිටල් තාක්ෂණය සහ පසුව ජංගම දුරකථනය පාවිච්චි කළේ. ලෝකය එක්ක බලද්දි ලංකාවේ කැමරාකරණයේ සිට සියලු තාක්ෂණික අංග උපාංග දුර්වල බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සිනමාවේ තාක්ෂණය අලුත් වෙන්න ඕනේ. නමුත් තාක්ෂණය මත්තෙම යැපෙන්න හොඳ නෑ. මූලික තාක්ෂණික අංග ටික තියෙන්නම ඕනේ. චිත්‍රපටයක් රූගත කරන්න හොඳ කැමරා තියෙන්න ඕනේ. අවම ජ්භතත ඩ්ච් කැමරාවක්වත් තියෙන්න ඕනේ. චිත්‍රපටයක් සංස්කරණය කරන්න හොඳ සංස්කරණ උපාංග ටිකක් තියෙන්න ඕනේ. චිත්‍රපටවලට තාක්ෂණය එකතු කරන්න පුළුවන්. ඊට කලින් සිනමාවට හොඳ නිර්මාණකරුවන් අවශ්‍යයි.

 

එවැනි බලාපොරොත්තු සහගත නිර්මාණකරුවන් ඉන්නවාද?

කීපදෙනෙක්ම ඉන්නවා. ජගත් මනුවර්ණ ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඔහුගේ "රහස් කියන කඳු" චිත්‍රපටය මම මෑතකදී බලපු විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්. "ඕධ ඵඥඤඬඪඤ" නිර්මාණය කරපු මුවිඳු බිනෝයි හොඳයි. චීනයට ගිහින් සිනමාව හදාරලා හොඳ නිර්මාණ කරන තරුණයෙක් ඉන්නවා තරිඳු ලොකුආරච්චි. ඔහු නිර්මාණය කරපු "ර්ර ටචබඩඥප ඪඵ ච ඤධඨ", "ඡ්ථනබර ඛ්චඨඥ" වගේ කෙටි චිත්‍රපට ඉතා හොඳ මට්ටමක පවතිනවා. තිසර මංගල බණ්ඩාර හැදුවා "ගණන් ගන්නැති කතාවක්" කියලා කෙටි චිත්‍රපයටක්. ඒකත් හොඳයි. "ඇවිලෙන සුලුයි" නිර්මාණය කළ චින්තන ධර්මදාසත් මතක් කරන්න ඕනේ. ආරියරත්න ඇතුගල නිර්මාණය කරපු "සහෝ" චිත්‍රපටයත් හොඳයි. ඉල්හාම් හොසේන් ගැනත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

ප්‍රශස්ත සිනමාවක් කරා යන ගමනට හොඳ තිරපිටපත් අවශ්‍යයි?

සිනමා නිර්මාණයක පළමු පියවර යම් වස්තු බීජයකින් නිර්මාණය වන තිරපිටපත. හොඳ සිනමාවක් බිහි වෙන්න නම් හොඳ තිරපිටපත් තියෙන්නම ඕනේ. තිරපිටපත්වල අඩංගු දෙබස් මීට වඩා වෙනස් වෙන්න ඕනේ. රසවත් දෙබස් අන්තර්ගත වෙන්න ඕනේ. කුතුහලය සහිතව පිටපත ලියවෙන්න ඕනේ. වස්තු විෂයන් වෙනස් වෙන්න ඕනේ.

 

හොඳ රංගන ශිල්පීන් නැතිව හොඳ සිනමාවක් බිහිවන්නේ නැහැ?

වර්තමාන රංගන ශිල්පීන්ට වඩා අතීතයේ රංගන ශිල්පීන් සිනමාව වෙනුවෙන් ගොඩක් කැප වුණා. මගේ අත්දැකීම් කිව්වොත් මහේන්ද්‍ර පෙරේරා "සිහින දේශයෙන්" චිත්‍රපටයේ රූගත කිරීම්වලදි රූගත කිරීම් ඉවර වෙලා හේතු දෙකක් නිසා අපිත් එක්ක දර්ශන තලයේ රැඳී ඉන්නවා. ඒ අපි හිනාවෙලා විහිළු තහළු කරන නිසා. ඊට අමතරව අපි විවිධ දේවල් සාකච්ඡා කරලා අපේ අඩුලුහුඬුකම් හදාගන්නවා. ඒත් දැන් රංගන ශිල්පීන් රූගත කිරීම්වලට එන්නේ ඉවර වෙලා වෙනත් වැඩකට දුවන්න බලාගෙන. හරි වෙලාවට රූගත කිරීම් අවසන් කළේ නැත්නම් අධ්‍යක්ෂවරයාට පවා දොස් කියන මට්ටමට ඔවුන් අද ඇවිත් ඉන්නවා. එහෙම චිත්‍රපට කරන්න බැහැ. චිත්‍රපටයක් කරනවා නම් ඒ කාලසීමාවම චිත්‍රපටය සමඟ රංගන ශිල්පීන් ඉන්න ඕනේ. දැන් දක්ෂ රංගන ශිල්පීන් ගොඩක් ඉන්නවා. සමනලී ෆොන්සේකා කියන්නේ වර්තමානයේ මම දකින දක්ෂතම රංගන ශිල්පිනිය. මාලිනී ෆොන්සේකාගේ ඇති දක්ෂතා සියල්ලම ඇයටත් ඇවිත් කියලා මට හිතෙනවා. සමනලී වචනෙන් දෙකෙන් මුළු ප්‍රේක්ෂකාගාරයම මෙහෙයවන හැටි විශිෂ්ටයි. ඒක උපතින් ආ දක්ෂතාවක්. ඉගෙනගෙන, පුරුදු පුහුණු වෙලා ඒක කරන්න බැහැ. ආනන්ද කුමාරඋන්නැහේ ගැන කියන්නම ඕනේ. හරිම වචනයෙන් කියනවා නම් "පට්ටම ඇක්ටර් කෙනෙක්". කාලෙකින් ඒ වගේ පරාසයක් තියෙන රංගන ශිල්පියෙක් බිහිවුණේ. ඊට අමතරව ප්‍රදීප් රාමවික්‍රම කියලා අලුත් රංගන ශිල්පියෙක් ඉන්නවා. ඔහුත් ඉතාම දක්ෂයි. ශලනි තාරකා ගැන සඳහන් කළ යුතුයි. නමුත් ඇයට සිනමාවේ ඒ තරම් ඉඩක් ලැබුණේ නැති එක ගැන කනගාටුයි. සාරංග දිසාසේකර සමඟ මම වැඩ කරලා නැහැ. නමුත් සාරංගත් රංගනයේ යම් යම් තැන් ටිකක් ස්පර්ශ කරන බවක් පේනවා. දසුන් පතිරණ ගැන කියන්න අවශ්‍ය නැහැ. ඔහුගේ දක්ෂතා හැමෝම දැකලා, ඔහු ගොඩනැඟිලා ඉවරයි දැන්.

 

වර්තමානයේ සිනමා ප්‍රතිරූප බිහි නොවෙන්න හේතුව මොකක්ද?

එතැනදි තමයි ප්‍රචාරණය කියන කාරණාව අදාළ වෙන්නේ. ඉන්දියාවේ සිනමාතරු මිනිස්සු දේවත්වයෙන් අදහනවා. පෝස්ටර් කටවුට් කිරිවලින් නාවනව වගේ දේවල් පවා කරනවා. ඒ තරම් ගරු බුහුමන් කරනවා. ඉස්සර ලංකාවේ ගාමිණීගේ මාලිනීගේ ඡායාරූප බිත්තිවල ගහගෙන හිටපු, ඔවුන්ට වැඳුම් පිඳුම් කරපු අයත් ඉන්න ඇති. දැන් එහෙම ප්‍රතිරූප නැතිම තරම්. යම් මට්ටමකට හේමාල් රණසිංහ ඉන්නවා. හේමාල්ගෙන් පසුව වෙනත් එවැනි ප්‍රතිරූප නැහැ. තරුවක් කියන්න පුළුවන් කාන්තා චරිතයක් සංගීතා වීරරත්නගෙන් පසුව ආවේ නැහැ. එයට හේතු කීපයක් තියෙනවා. අපේ නළු නිළියන් සල්ලි නැති නිසා ටෙලිවිෂන් එකට ගිහින් හැම වෙලාවෙම දකින්න ඉන්නවා. සමහර අපේ යාළුවෝ රූපවාහිනියෙ කුරුල්ලා වගේ නිතරම දකින්න ඉන්නවා. සමහර නළු නිළියෝ ඕනේ එකෙයි එපා එකෙයි හැම එකකම ඉන්නවා. සමහර අය කසි කබල් නිර්මාණවලට ගිහින් කවුරුවත් ගණන් ගන්නේ නැති තත්ත්වයට ආවා. ඒ වගේම එහෙම තරු බිහි වෙන්න නම් ග්ලැමර් සිනමාවක් තියෙන්න ඕනේ. ඒත් දැන් මොකක්හරි එකක් කපලා යන, ලෙන්ස් එකට කෙළ ගහලා යන වගේ දර්ශන තියෙන තුප්පහි තැනකට සිනමාව ඇවිත් තියෙන්නේ. එහෙම සිනමා නිර්මාණ හැදෙනකොට තරු බිහිවෙන්නෙත් නැහැ.

 

ප්‍රේක්ෂකාගාරය කෙසේ වෙනස් වියයුතුද?

අපිට ප්‍රේක්ෂකයන්ට දේවල් කියන්න හරිම අමාරුයි. මොකද රටෙන් රටට පළාතෙන් පළාතට ප්‍රේක්ෂකාගාර වෙනස් වෙනවා. ඔවුන් සිනමාව රසවිඳීන හැටි වෙනස්. උදාහරණයක් විදිහට සමහර කොමඩිවලට අපිට හිනා යන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ මිනිස්සුන්ට හිනා යනවා. ලෝක පූජිත වුණු "පැරසයිට්" චිත්‍රපටය ගමකට ගිහින් පෙන්නුවට මම හිතන්නේ නැහැ ඔවුන් එය ගණන් ගනීවි කියලා. සමහරවිට නිධානය ඊට වඩා හොඳට රසවිඳීවි. ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අපිට හරියටම කියන්න අමාරුයි. ඒත් ප්‍රේක්ෂකාගාරය මීට වඩා සිනමාව ගැන අධ්‍යයනය කළ යුතුයි කියලා මට හිතෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය නෙට්ෆ්ලික්ස් බලන සුළුතරයක් සහ පරසතුමල්, උතුමාණෙනි වගේ චිත්‍රපට බලපු බහුතරයකින් හැදිලා ඉන්නේ. ඒ නිසා හොඳ චිත්‍රපට ආවොත් අනිවාර්යයෙන්ම ඔවුන් බලනවා.

 

අනාගතයේදි අපි යන්න ඕනේ කොතැනටද?

අපි නිතරම උත්සාහ කරන්නේ පරණ වැඩක් අරගෙන "අන්න ඒ වගේ එකක්" කරන්න. නිධානය වගේ වැඩක්, පරසතුමල් වගේ වැඩක්, මිල්ලෙ සොයා වගේ වැඩක් කරන්නේ නැද්ද කියලා හැමෝම අහන්නේ. ඒත් අපි බලන්න ඕනේ මෙතනින් එහාට යන්න. අපි මුළු ලෝකෙටම යන්න ඕනේ. ඒ යන්න ඕනේ අපේ රටත් එක්කමයි. ලංකාවේ සිනමාව මුළු ලෝකෙට නිරාවරණය වෙන එක තමයි අපේ සිනමා සිහිනය වෙන්න ඕනේ.

 

 

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න