වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
75 වසරක අපේ සිනමා විචාරය

මෙරට කථානාද සිනමාවට හැත්තෑපස් වසරක් පිරෙන විට අපේ සිනමා විචාරය ඊට සමගාමීව ගමන් කළේ කෙසේද? මේ පිළිබඳ විමසීමට වඩාත්ම ප්‍රාමාණිකයකු වන්නේ මෙරට කථානාද සිනමාවේ වයසින් අඩකට වැඩි කාලයක් පුරා අඛණ්ඩව සිය විචාරයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයට විය යුතු සේවය ඉටු කළ ප්‍රවීණ විචාරක ගාමිණී වේරගම මහතාය. අපි ඔහුගේ දැක්ම මෙසේ සටහන් කරමු.
මෙරට සිනමා විචාරයේ ආරම්භය ඇති වූයේ කෙසේද?
නිහඬ චිත්‍රපට, කථානාද ඉන්දියානු සහ බටහිර චිත්‍රපට එන කාලෙත් ඇතැමුන් විවිධ අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඒවා ප්‍රේක්ෂක මත ලෙසයි ගත හැක්කේ. සිංහල චිත්‍රපට ආරම්භයේ ඩී.වී. සෙනෙවිරත්න වැනි මහත්වරු චිත්‍රපට තොරතුරු ගෙන ආවා. චිත්‍රපට සාහිත්‍යය ආරම්භ වන්නේ ඒවායින්. ඒත් චිත්‍රපට විචාරය පළමුව හමුවන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කාලයේ නිසා එතුමා ආරම්භකයෙක් ලෙස සලකන්න පුළුවන්. ඊට අමතරව ඉංග්‍රිසි පුවත්පත්වල මේ අලුත් මාධ්‍යය පිළිබඳ අදහස් දැක්වීම ඉක්මවා ගිය ගැඹුරකින් සාකච්ඡා කළා. එයට හේතු වුණේ 1945 කොළඹ චිත්‍රපට සංගමය පිහිටුවන විට එයට සිනමා රසිකයන් කණ්ඩායමක් එකතු වීම. කොහොම වුණත් 1947 කථානාද සිනමාව අරම්භ වන විටම ඊට සමගාමීව චිත්‍රපට විචාරය යැයි හැඳීන්විය හැකි ආකාරයේ ලේඛන බිහිවෙන්න පටන්ගත්තා යන්නයි මගේ අදහස.
හරි විචාරයක් ඇති වන්නේ කොයි වකවානුවේද?
හරි කියන එකේ ප්‍රශ්නයක් තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාත් විචාර ලියුවා. හැබැයි සෑම කලා මාධ්‍යයකම වඩා බලවත්ව පවතින්නේ සදාචාරාත්මක විචාර ධාරාවනේ. දෙපැත්ත කැපෙන ආයුධයක් වැනි රූපය මිනිසුන්ට, මිනිස් විඥානයට බලපාන ආකාරය බොහොම නිවැරැදිව ඔවුන් දැක්කා. සදාචාරාත්මක විචාර ක්‍රමයෙන් වැඩි අවධානය යොමු කළේ මේ රූපය මඟින් කියන දේවල් ජනතාවගේ සිතුම්පැතුම්වලට, ජීවිතයට, ඔවුන්ගේ යහපත් චේෂ්ටාවන්ට වඩා ඔවුන් අයහපතට යොමු කරන හැඩයක් තිබේද? සදාචාරාත්මක හැදියාවට කෙතරම් බලපෑවද යන්නටයි. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ මුල් කාලීන විචාර කියවන විට ඉතා හොඳ සාධනීය කරුණු මෙන්ම ඒ ලක්ෂණයත් තිබුණා. එතුමා අශෝකමාලා චිත්‍රපටය පිළිබඳ නිර්දය විචාරයක් කරන විට ඒ චිත්‍රපටයේ තිබුණු අඩුපාඩු, අපේ රාජවංශයේ වැඩිම ගෞරවයක් හිමි රජුගේ සමය නිරූපණය වී තිබූ ආකාරය බොහොම විචක්ෂණව දුටුවා. ඒත් එතුමාට ඒ චිත්‍රපටයේ සාධනීය ලක්ෂණ හසුවන්නේ නෑ. විචාරය යන්න ඊට වඩා වෙනස් විය යුතුයි. එහෙත් එයට අපට කාටවත් දොස් කිව නොහැක්කේ එය මුල් යුගයේ ලොව පුරා තිබුණු ලක්ෂණයක් නිසා. ඉංග්‍රීසියෙන් ලියූ අය ඊට තරමක් ඉදිරියෙන් හිටියා. විචාරය සරු වන්න නම් විචාරකයන් චිත්‍රපට දැක තිබිය යුතුයි. ලෝක සිනමාව පිළිබඳ , මේ මාධ්‍යය පිළිබඳ පුළුල් දැනීමක් තිබිය යුතුයි. සාහිත්‍යය ඔස්සේ පැමිණි මේ අය නොදැන සිටි තවත් දෙයක් වුණේ සිනමාවට වෙනම භාෂාවක්, එය හසුරුවන ව්‍යාකරණයක් සහ ඊට ඔබ්බෙන් වූ අලංකාර සම්ප්‍රදායක් තිබෙන බව සහ එය චිත්‍රපට අනුසාරයෙන් හැදෑරිය යුත්තක් බවයි. ඉංග්‍රීසි බසින් ලියූ අයට විවිධ ක්‍රමවලින් බටහිර සහ ඉන්දියානු චිත්‍රපට ගෙන්වාගැනීමේ පහසුකම තිබුණා.
උදාහරණයක් ලෙස සාරගර්භ සිනමා විචාරකයකු වූ රෙජී සිරිවර්ධන උපදින්නේ ඉංග්‍රීසි විචාරයෙන්. ඔහු එය සිංහලට ගෙන එන පුරෝගාමියකු බවට පත් වෙනවා. මෙහිදී අපි විචාරය යනු කුමක්ද කියා කීවොත් බොහොම පෞද්ගලික රසවිඳීමක් පොදු බවට පත් කිරීමයි. විචාරකයා තමන් විඳීන දේට හේතු සාධක සෙවූ පසු ඔහු ඒවා ප්‍රේක්ෂකයාට අනාවරණය කරනවා. හේතුව චිත්‍රපටයේ ඇති යම් යම් අර්ථ රසිකයාට අවබෝධ කරගැනීමට දුෂ්කර වේ යැයි සිතා ඒ පිළිබඳ අත්විඳීන්න පිටිවහලක් සැපයීමේ පාලමක් තැනීමේ අරමුණින් . ඒ පාලම ශක්ති සම්පන්න වන්න නම් මේ කලාව, මාධ්‍යය, අලංකාර සම්ප්‍රදාය හඳුනාගෙන සිටිය යුතුයි. පොදුවෙ කලාව පිළිබඳ ප්‍රමිතීන් අනුගමනය කරන විට ඒවා අප ඇහැට දකින දේවල් නිසා, අන්තර්ගතය පිළිබඳ කියන කතා ඇත්ත. හැබැයි මෙහි බස සහ අලංකරණ නොදැන, සිනමාකරුවකු භාවිත කරන්නා වූ නිර්මාණාත්මක උපක්‍රම පිළිබඳ තියුණු අවබෝධයකින් චිත්‍රපටයක් නිසි ලෙස ග්‍රහණය කරගන්න බෑ.
ඩී. වී. සෙනෙවිරත්නගෙන් පසු සිංහල විචාරය ගතහොත් ජයවිලාල් විලේගොඩ, කරුණාසේන ජයලත්, සෝමපාල රණවීර වැනි අය විචාරකයන් ලෙස හඳුන්වන්න පුළුවන්. රණවීර නායගම්ගේ සඟරාවේ ලියන තාක් නායගම්ගේ චිත්‍රපට අගය කළත්, ඉන් ඉවත් වූ පසු ඒ චිත්‍රපට සියල්ල නිර්දය ලෙස හෙළා දැක්කා. කරුණාසේන ජයලත්ට තිබුණේ සදාචාරාත්මක දැක්මක්. මාර්ටින් වික්‍රමසිංහගේ දෘෂ්ටිය පැහැදිලි වෙනවා නළඟන ගැන 'සංකර වූ කොළඹ වැනි ප්‍රදේශවල හැර ගම්වල පෙන්වීම සුදුසු නැති' බව කීමෙන්ම. ජයවිලාල් විලේගොඩ මේ අතරින් තරමක් වෙනස්. චිත්‍රපටකරුවාගේ අරමුණුවලට අනුව මේ මාධ්‍යයේ භාවිතය පිළිබඳ තියුණු දැක්මක් මෙන්ම මිනිසුන් අතරට යා හැකි හොඳ බසක් ඔහුට තිබුණා. හැබැයි අප චිත්‍රපට විචාරය කියන පිරිපුන් ප්‍රමිතීන්ට අනුව ශුද්ධ විචාරය ගතහොත් ජයවිලාල් විලේගොඩ කරන්නේ ඒ යුගයේ කාර්යභාරයයි. සාමාන්‍යයෙන් විචාරයක පූර්වාදර්ශය ලෙස ජයවිලාල් විලේගොඩ සැලකුවත් ලෝකයේ විශිෂ්ටම සිනමා කෘති නරඹන්න නොලැබුණු නිසා පසුගාමී වූ ඔහුට හසු නොවුණු කොටස් තිබූ බවයි මගේ විශ්වාසය.
චිත්‍රපටයක් නිසිලෙස විග්‍රහ කරන්න නම්, අධ්‍යක්ෂවරයෙක් තරම් තාක්ෂණය නොදැන සිටියත් විචාරකයාට චිත්‍රපටයේ බස, ව්‍යාකරණය සහ අලංකාරය පිළිබඳ දැනුම අවශ්‍යයි. එදා ලෝකෙ සෑම සිනමාකරුවකු මෙන්ම විචාරකයන් ද බිහි වුණේ චිත්‍රපට නැරඹීමෙන් හා චිත්‍රපට ගැන කියවීමෙන්. වර්තමාන පරපුරට තරම් එදා පහසුකම් තිබුණේ නෑ. ජයවිලාල්ලා මේ ගැටලුවට මුහුණ දුන්නත් මිනිසුන්ගේ විඥානයට විශාල බලපෑමක් කරමින් ඔහුගේ කාර්යය සාර්ථකව කළා. ඔහු සමහර චිත්‍රපට නිර්දය ලෙස බැහැර කළාම මිනිසුනුත් ඒවා අතහැරියා. අපෙ අවාසනාවනකට ගම්පෙරළිය, අහස්ගව්ව, වල්මත් වූවෝ, බඹරු ඇවිත්, නිධානය වැනි චිත්‍රපට නිර්මාණය වන විට ඔහු ජීවතුන් අතර සිටියේ නෑ. කරුණාසේන ජයලත් විචාරයෙන් ඉක්මනින් බැහැරව ගියා. ඉන්පසු වෙන පරපුරක් එනවා.
ශුද්ධ විචාරයක් ගැන ඔබ සඳහන් කළා?
විචාරය පිළිබඳ මිනුම්දඬු තිබෙන්නේ කලාවට. අපි කලා මිනුම්දඬු තමයි චිත්‍රපටයටත් භාවිත කරන්නේ. හැබැයි විශේෂිත කලාමාධ්‍යවලට එන විට ඒවායේ භාෂා විශේෂිතයි. අපට සිදු වෙනවා බසත් වියරණයත් සමඟ ඒ මිනුම්දඬු සකස් කරගන්න. එහෙම නැති වුණාමයි අපි සමහර සිනමා විචාරවලට සාහිත්‍ය විචාර යැයි කියන්නේ. අධ්‍යක්ෂවරයකු භාවිත කළ රූප කෝණ, රූප චලන, ඒ රූප සංවිධානය, නළුවන් ගෙනා රංග ක්‍රමවේදය, අනෙකුත් අංගෝපාංවල හැඩතල ආදි සියල්ල සමඟයි රූපයට අර්ථයක් ලැබෙන්නේ. මේ අර්ථ තේරුම්ගන්න නම් ඒ බස තේරුම්ගන්න ඕනෙ. ඒ නිසා අනෙක් සියලු කලා විචාරයන්ගෙන් බැහැරව සිනමාව වෙනුවෙන්ම සකස් වුණු විචාරයක් තමයි පිරිසුදු විචාරයක් නැතහොත් ශුද්ධ විචාරයක් කියන්නේ. එහි මූලික ලක්ෂණ පහළ වෙනවා අපට 1960 ගණන්වලදි. එල්. ඕ. ද සිල්වාලා, රෙජී සිරිවර්ධනලා වැනි අයගේ ඉංග්‍රීසි විචාරය සමඟම ප්‍රායෝගික විචාරය (ප්‍රැක්ටිකල් ක්‍රිටිසිස්ම්) නමින් සාහිත්‍ය විචාර ක්‍රමයක් තිබුණානේ. ඒ ආකෘතික විචාරය සිනමාවට බෙහෙවින් ගැළපුණා. මොකද සාහිත්‍යයෙන් මෙය බැහැරට ගියාට සිනමා විෂයයෙහි මෙය යොදා ගැනීමට උත්සාහ කළ විචාරකයන් සෑහෙන හිටියා. සිරිල් බී. පෙරේරා, ලෙස්ලි බොතේජු, ගණනාථ ඔබේසේකර වැනි අය 1960 ගණන්වල බිහි වූ යම් ආකාරයක ද්විභාෂික උගතුන්. ඔවුන් චිත්‍රපට නැරඹූවන්ද ලෙස මෙහි යම් සංකලනයක් කරන්න උත්සාහ කරනවා. විසිතුර පුවත්පත මෙහිදී ඉතාම යහපත් මෙහෙයක් කරනවා. තිස්ස අබේසේකර, නීල් අයි. පෙරේරා, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාල ද සිල්වා වැනි අය එකම කුලකයක්. චිත්‍රපටයක ඇතුළාන්තය තේරුම් ගැනීමට උත්සාහ කිරීම මීට පෙර තිබූ සාහිත්‍යික හෝ සදාචාර විචාර විධික්‍රමයට වඩා හරිම වෙනසක්. මෙහිදී සිරිල් බී. පෙරේරා වැනි විචාරකයෙක් ඉතා වැදගත් වනවා.
වර්තමාන තරුණ විචාරකයන් වැඩි දෙනකු ඉන්නේ මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත මූලික කරගත් විචාර ක්‍රමයකනෙ. ලැකාන්, ඩෙරීඩා, ෆ්‍රොයිඩ්, ඇඩෝල්ෆ් ඇඩ්‍රෙල් වැනි අය ගැන කතා කළත් එන්නේ මනෝවිද්‍යාත්මක විචාර විධික්‍රමවල ධාරාවන්. එහෙත් මා දකින විධියට මේ මනෝවිද්‍යාත්මක විචාරයේ ආරම්භකයා සිරිල් බී. පෙරේරා.
ජයවිලාල් විලේගොඩ නිසා අප සිනමා විචාරයට යොමු වුණත් තරුණයන් ලෙස අපේ පරපුර අධ්‍යාපනය ලබන විට, අවධානයට යොමු වන්නේ, ආදර්ශයට ගන්නෙත් මේ බස සමඟ තමන්ගේ ප්‍රමිතීන් ගොඩනඟාගත් සිරිල් බී. පෙරේරලාවයි.
1960 දශකයේම මෙය තවත් පුළුල් වෙනවා. මොකද එතැනටම කිසියම් භෞතිකවාදී නැතහොත් වාමවාදී දෘෂ්ටියකින් චිත්‍රපටය විග්‍රහ කරන්න උත්සාහ කරන පියල් සෝමරත්න, චාර්ල්ස් අබේසේකර වැනි අය එනවා. මේ පිරිසත් අන්තර්ගතය, ඇතුළාන්තය සහ අධ්‍යක්ෂවරයාගේ දැක්ම ඉතාම ගැඹුරින් අවබෝධ කරගන්න සමත් වූ කණ්ඩායමක්. හැබැයි ආපසු හැරී බලන විට අපට අවබෝධ වෙනවා ඒ අයත් බස පිළිබඳ එතරම් අවධානයක් යොමු නොකළ බව සහ විචාරයක සමතුලනය අතින් යම් ප්‍රතිවිරෝධයක් වුණාද කියා.
හැටේදශකය වන විට විචාරයේ සදාචාරාත්මක, මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක යන ධාරා තුනම අප රට තුළ දකින්න පුළුවන්. මේ විචාර ධාරා තුනම චිත්‍රපට ගැඹුරින් අවබෝධ කරගන්න රසිකයන්ට බලපෑවා යන්නයි මගේ අදහස
70 දශකය සැම අතින්ම වෙනස් වූ යුගයක්?
ඔවු. එහිදී සිදුවන්නේ ඔය ධාරාවන්ම පුළුල් වීම. හැත්තෑවේ දශකයේ අලුත් තරුණ පරම්පරාවක් සිනමාවට පැමිණීමත් සමඟ අලුත් සිනමාවක් ගොඩනැඟෙනවා. ඔවුන්ගේ ජීවන දැක්ම, සිනමා දැක්ම, ආකල්ප ආදිය පෙර පරම්පරාවට වඩා තියුණුයි. මොකද හැත්තෑව ආරම්භ වන්නේම බරපතළ ආයුධ සන්නද්ධ අරගලයකින්නේ. ඔවුන් අරගලකාරී පරම්පරාවක්. හැත්තෑවේ සිනමාවට බොහෝ දුරට එන්නේ විශ්වවිද්‍යාලවලින් බිහිවුණු උගත් කණ්ඩායම්. ප්‍රංශ නවරැල්ල, නැගෙනහිර යුරෝපයේ මතු වූ නව සිනමාව, ලතින් ඇමෙරිකානු සිනමාව, ඉන්දියානු සිනමාවේ සිදු වුණු දේවල්වල ආභාසය අපට ලැබෙනවා. මේ වැනි සිනමාකරුවන්ගේ චිත්‍රපට විග්‍රහ කරන්න විචාරකයන්ටත් ඒ අවබෝධය අවශ්‍යයි. ඒ නිසාමයි චිත්‍රපටය මෙන්ම විචාරයත් සැමවිටම අභියෝගයට ලක් වන්නේ.
මේ අලුත් පිරිස බිඳෙන්නේ මනෝවිද්‍යාත්මක විචාරක්‍රමයටත් වඩා සමාජ විද්‍යාත්මක හෙවත් වාම වාදී දෘෂ්ටියකින් දේශපාලන දැක්මකින් යුතුව කෙරෙන විචාර විධික්‍රමයෙන්. උදාහරණයක් ලෙස ගුණසිරි සිල්වා, අජිත් සමරනායක, ගාමිණි සුමනසේකර, චතුර ජයතිලක, මහාචාර්ය සුචරිත ගම්ලත්, ගාමිණී විජේතුංග වැනි අය තරුණ පරපුරේ සිනමාව සියුම් විදිහට හඳුනාගන්න හැකි වූ විචාරකයන්. එයින් අදහස් වන්නේ නෑ අනෙක් විචාර ධාරාවන් අකර්මණ්‍ය වුණා කියා. විශේෂයෙන් එවක සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයෙන් බොහෝ දෙනකු සිනමාව පිළිබඳ ලියනවා. ඒ ශාස්ත්‍රීය අතිරේකය නැතිවනවාත් සමඟම ඒ පිරිසත් නැතිව යනවා. හැබැයි එය නොවේ විචාරය කියන්නේ. ක්ෂේත්‍රය තුළම රැඳෙමින්, අධ්‍යයනය කරමින් එයටම කැපවීමෙන් ගොඩනැඟීමයි විචාරය යන්නෙන් අදහස් කරන්නේ. හැබැයි හැමවිටම කිසියම් දර්ශනයක, මතයක එල්බ සිටිමින් විචාරයට යෑමේදී සිදුවන්නේ යම් සීමාවකට ගොටු වීමයි. පෝල් රෝතා නම් විචාරකයා අපූරු කතාවක් කියා තිබෙනවා. 'අප චිත්‍රපටය විග්‍රහ කළ යුත්තේ චිත්‍රපටයෙන් කියූ දේ අනුව මිස චිත්‍රපටයෙන් කිව යුතුව තිබූ දේ අනුව නොවේ'. මගේ විචාරවලදී මම එය ආදර්ශයක් කොට ගන්නවා. හැබැයි දර්ශනවල මතවාදවල එල්බ සිටින විචාරකයන්ගේ අතින් එදා සිදු වුණෙත් අද සිදුවෙමින් පවතින්නේත් ඒ වරදයි.
මේ කලාවේදී වැදගත් වන්නේ නිර්මාණයයි. විචාරය නෙවෙයි. විචාරය කරන්නේ නිර්මාණය විඳීම සහ එය ජනතාව අතරට ගෙන යෑමයි. මූලික වන්නේ නිර්මාණය සහ නිර්මාණකරුවා නම් අප යා යුතුයි ඔහුගේ දැක්මට.
අසූව අනූව දශක වනවිට තවත් අලුත්ම විචාරක පරපුරක් බිහිවෙනවා?
අජිත් ගලප්පත්තිලා, තුසිත ජයසුන්දරලා, අරුණ ගුණරත්නලා, නුවන් නයනජිත් කුමාරලා වැනි තරුණ පිරිසක් බිහිවෙනවා. හැබැයි මොවුන් වැඩිදෙනෙක් සිනමා විචාරකයන්ද යන ගැටලුව එන්නේ ඔවුන් දිගුකාලීනව රැඳී නොසිටි නිසා. වෘත්තීය විචාරකයන් ලංකාවේ හරිම අඩුයි. වෘත්තීය විචාරකයකු ලෙස හඳුන්වන්නේ රැකියාව විචාරය කරගන්නෙකු නොවේ. විචාරය වෙනුවෙන් කැපවීම, ඒ මාධ්‍යය තුළම රැඳීම, සියලුම චිත්‍රපට පිළිබඳ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම නොකඩවා සිදු කරන්නෙකුටයි. ජයවිලාල් විලේගොඩ එවන් වෘත්තීය විචාරකයෙක්. සමහර වෙනස් චිත්‍රපට ආ විට අප නොසිතන ආකාරයේ උගතුන් පැනනැඟී චිත්‍රපටය ගැන කතා කරනවා. එය හොඳයි. හැබැයි එතැනින් එහාට ඒ පිරිස නෑ. මෙය ලංකාවේ නිරන්තර සිදුවන්න හේතුව චිත්‍රපටය බැලූ බැල්මට ලේසියෙන් තේරුම්ගත හැකි නිසා විචාරයත් හරි ලේසීයි කියා බොහෝ දෙනකු සිතීම නිසයි. ඒත් ඒක එහෙම නෑ.
ඔබේ ඔය කතාවත් සමඟම ඇතැම් විචාරවල පක්ෂපාතීබව ගැන අපට සිහිවෙනවා?
මමත් විචාරකයකු නිසා ඒ ගැන මතයක් පළ කිරීම හොඳද දන්නෙත් නෑ. මමත් පක්ෂග්‍රාහී යැයි අදහසක් තිබුණනේ කාලයක්. එය එසේ නොවන බව අවබෝධ වන්න කලක් ගත වුණා. කෙටි කාලයක් විචාරයේ නියැළෙන අයට ඔය චෝදනාව එන්නේ ඔවුන්ගේ අපක්ෂපාතීබව දැනෙන්න තරම් කාලයක් නැති නිසා. කෙසේ වෙතත් පීටර් හාකොට් කියන ලේඛකයා කියන්නේ 'විචාරයක තිබිය යුත්තේ අංශ තුනයි. පළමුවැන්න විචාරකයා නිර්මාණකරුවාට නොව නිර්මාණයට අවංක විය යුතුය. දෙවැන්න ඔහු තම පාඨකයාට අවංක විය යුතුය. තෙවැනුව තම අභ්‍යන්තර සිතිවිලිවලට අවංක විය යුතුය.' යනුවෙනුයි. ඒ වගේම රිචර්ඩ් විනිංටන් නම් එංගලන්තයේ බිහි වූ ශ්‍රේෂ්ඨ විචාරකයා කියනවා, විචාරකයකු කිසිම දිනෙක සිනමාවේ වාණිජ පක්ෂයේ නොසිටිය යුතුයි කියා.' පිළිගත් මාධ්‍යයකින් රටේ මිනිසුන් අතර පිළිගත් පෞරුෂයක් සහිත කලාකරුවන් චිත්‍රපටයක් ගැන නුවුමනා වටිනාකමක් දුන්නොත් එය විශාල ගැටලුවක් බවට පත්වෙනවා මිනිසුන් එය පිළිගන්න නිසා. ජයවිලාල් විලේගොඩ, පියල් සෝමරත්න, අජිත් සමරනායක, ජේ. උයංගොඩ වැනි අය එහෙම කළේ නෑ පාරිශුද්ධ විචාරය ආරක්ෂා කරගත යුතු නිසා. විචාරකයා කිසිම කුලකයක ගැත්තෙක් නොවිය යුතුයි. තමන්ගේ පෞද්ගලික මතවාදයක් තිබුණත් විචාරයේදී එහි සිරකරුවකු නොවිය යුතුයි. තමන් ගොඩනඟාගත යුතු ප්‍රතිපත්ති සමුදායක් විචාරකයකුට තිබිය යුතුයි.
තර්ජන, අභියෝගවලටත් විචාරකයන්ට මුහුණ දෙන්න වනවා?
අන්න එය තමයි අරුණි, විචාරකයකුගේ වෘත්තීයභාවය රඳාපවතින තැන. අපි කතාකරන්නේ කෙනෙකුගේ නිර්මාණයක් ගැන. එය ඒ කෙනාගේ දරුවකු හා සමානයි. අපි කවුද කැමැති දරුවන්ගේ ගුණ නුගුණ කියනවාට. අපි ඒ පිළිබඳ විවෘතව දකින්න ඕනෙ. අපට වෘත්තීය විචාරකයන් සුලභව නොපෙනෙන්න එක කාරණයක් වන්නේත් මෙයයි. මෙය එතරම් සුන්දර, පහසු, එක රැයෙන් ජනප්‍රිය විය හැකි, මුදල් ඉපයිය හැකි කරුණකුත් නොවේ. හැබැයි ඕනෑම විචාරකයකුට පුළුවන් කාලය සමඟ තමන් කරන කාර්යය කොතෙක් දුරට නිවැරැදිද, එය කලාවට, කර්මාන්තයට කෙතරම් බලපාන්නේද යන මතවාදයක් හදාගන්න. එවිට කිසියම් ගෞරවයකුත් චිත්‍රපට කර්මාන්තයෙන්, නිර්මාණකරුවන්ගෙන් ලබාගන්න පුළුවන්. එය අන්‍යෝන්‍ය ගෞරවයක් විය යුතුයි. විචාරය නිර්දය විය යුතුයි. අප දකින දේ කිව යුතුයි. එහෙත් එය විනාශකාරී හෙවත් දෙඤ්ඤං බැටේ විචාරයක් නොවිය යුතුයි. අපි කිසිම නිර්මාණකරුවෙක් විනාශ කරන්න උත්සාහ නොකරන්නේ සෑම නිර්මාණකරුවකුටම අපේ ගෞරවයක් තිබිය යුතු නිසා. විචාරකයකුට ස්ථාවරයක් ගොඩනඟා ගන්න යම් කාලයක් ගතවනවා. ඒ කාලය තුළ මුහුණ දීමට සිදුවන දේවල් සඳහා බොහොම ඝනකම සිරුරක් සහ ඝනකම සිතක් අවශ්‍යයි.
ඔබේ කියන්නේ අත්දැකීමෙන්?
එක් නිර්මාණයක් පිළිබඳ මා විනාශකාරී නොවන නිර්දය විචාරයක් කළා. ඔහු දක්ෂ කලාකරුවෙකු ලෙස මේ චිත්‍රපටයේ ඔහුගේ ලකුණ නොතැබූ බව මා බරපතළ ලෙස විචාරයේදී සාකච්ඡා කළා. ඔහු ඉන්පසු චිත්‍රපට හැදුවේ නෑ. ලංකාවේ සිටියෙත් නෑ. අවුරුදු විස්සකට පමණ පසු ඔහු චිත්‍රපටයක් හැදුවා. එය මට හොඳීන් දැනුණු නිසා විශාල අගය කිරීමක් කළා. මේ නිර්මාණකරුවා එක් අවස්ථාවක ප්‍රසිද්ධියේ කීවා 'මගේ පළමු නිර්මාණය පිළිබඳ කළ විචාරයෙන් මම කලකිරුණා, මගේ නිෂ්පාදකයා සූදානම් වුණා මේ විචාරකයාට ශාරීරිකව පාඩමක් උගන්වන්න. එහෙත් මම හිතුවා මෙසේ විචාරය කරන්න මොකක්හරි හේතුවක් තිබිය යුතුයි කියලා. පසුව මම සිනමාව හැදෑරුවා. ඉන්පසු මා කළ චිත්‍රපටය මුලින්ම ඇගැයුවෙත් ඒ විචාරකයාමයි.' යනුවෙන්. ඒ නිසායි මම කියන්නේ කාලය තමයි මෙයට හොඳම විසඳුම කියා. එයට ඉවසීම දැඩිව තිබිය යුතුයි.
සිනමාවට විචාරයක් අත්‍යවශ්‍යද?
එය සිද්ධාන්තමය ප්‍රශ්නයක්. විශ්වාසයක් තිබෙනවා චිත්‍රපටකරුවෙක් තමන්ගේ නිර්මාණයෙන් ජීවිතය සමාජය පිළිබඳ බොහෝම සංකීර්ණ අර්ථ දෘශ්‍යමානයෙන් සහ යටිපෙළ ඇසුරින් ගොඩනඟන බවට. එසේම ඔහු ගොඩනඟන මේ සංකීර්ණ අර්ථ බොහෝ රසිකයන්ට අවබෝධ කරගැනීමට දුෂ්කර විය හැකියි කියාත් විශ්වාසයක් තිබෙනවා. ඒ නිසායි විචාරකයකු අවශ්‍ය වන්නේ. විචාරකයා තමයි මේ චිත්‍රපටයේ සැඟවුණු අර්ථ, අධ්‍යක්ෂවරයාගේ දැක්ම, එය ප්‍රකාශ කිරීමට අලංකාර භාවිත කරන ආකාරය පිළිබඳ රසිකයා දැනුම්වත් කරන්නේ. රසිකයාට මෙය වඩා හොඳීන් විඳීන්නට සැලැස්වීම තමයි විචාරකයාගේ කාර්යය.
ඒ කියන්නේ විචාරයක් නැතත් සිනමාව පවතීද?
විචාරය දැන් බොහොම බරපතළ අර්බුදයකට ගිහින් තිබෙනවා. චිත්‍රපට නැරැඹීමේ මාධ්‍ය වැඩිදියුණු වන විට විචාරයේ හැඩතලත් වෙනස් විය හැකියි. අද සමාජ මාධ්‍යජාලවල තරුණයන් කෙතරම් අදහස් ප්‍රකාශ කරනවාද? එහෙත් මම ඒවා තවම විචාර මට්ටමට එනවා දැක නැහැ. මෙහෙම දෙයකුත් තිබෙනවා. හොඳ චිත්‍රපට තිබිය යුතුයි හොඳ විචාරයක් බිහිවන්න. ඒ වගේම හොඳ විචාර තිබිය යුතුයි හොඳ චිත්‍රපට කලාවක් බිහිවන්න. ඒ අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවතිනවා. මේ සියල්ල කරන්නේ රසිකයාට.
ඒ වගේම හොඳ විචාරයක් නිර්මාණකරුවාටත් ඔහුගේ ගමන්මඟ පිළිබඳව හෝ දැක්ම පිළිබඳ නැවත සිතා බලන්නට ඉදිරි කාර්යයන් සාර්ථක වන්නට අත්වැලක් විය හැකියි.
අපේ සිනමා විචාරයේ අද සහ හෙට ඔබ දකින්නේ කෙසේද?
අපට ඉන්නවා සිනමාව පිළිබඳ දැනුම තිබෙන, අධ්‍යයනය කරන, බහුලව චිත්‍රපට නරඹන තරුණ පිරිසක්. නලීන් භූපති, විදර්ශන කන්නන්ගර වැනි කණ්ඩායම් ලියනවා. ඒත් මම අරුණිට කීවානේ විචාරය ප්‍රේක්ෂකයාට, පොදු ජනතාවට බව? එවිට ඒ ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරන විචාරයක් මෙතැන තිබෙනවාද යන්නයි ගැටලුව. මොකද අපේ තරුණ පරපුරේ බොහෝ විචාරකයන් තෝරාගත් කුලකයන්ට පමණක් ආමන්ත්‍රණය කරන බව පේනවා. ඔවුන් චිත්‍රපට වර්ග කරගෙන කතා කරන්නෙ. ඉලක්ක කරන ප්‍රේක්ෂක කුලක බැලූ විට ඒවා ශාස්ත්‍රීය නිබන්ධ ලෙසයි පෙනෙන්නෙ. එයත් අත්‍යවශ්‍යයි. හැබැයි ඔවුන්ට පොදු ප්‍රේක්ෂක කුලකයක් ගොඩනැඟීම අසීරු විය හැකියි මේ නිසා. මම හිතනවා විචාරය ඊට වඩා පුළුල් පිරිසකට ආමන්ත්‍රණය කළ යුතුයි කියා. අපේ චිත්‍රපට කලාවත් යම් නිශ්චල වීමක් ඇති නිසාත් මෙය සිදු විය හැකියි. චිත්‍රපටය ආත්ම ප්‍රකාශනයකු වුණත් එය ඉස්සර පොදු ජනතාවට දෙනවානේ. අද චිත්‍රපට හදන්නේ ප්‍රේක්ෂකයන්ට නෙවෙයි තමන්ටමනේ. බහු වින්දන මාධ්‍යයක් මෙය ක්‍රියාත්මක වනවාද යන්න නිසාත් පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් අර්බුදයට යනවා විචාරය. එය තමයි අපි මඟහරවා ගතයුතු. විචාරකයා ප්‍රචාරකයෙක් නෙවෙයිනේ. අද යළි විචාරකයා යටපත් වන කාලයක් ඇවිත්. හේතුව ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට නොපැමිණීම. හොඳ චිත්‍රපට තැනිය යුතුයි ප්‍රේක්ෂාගාරයට ආමන්ත්‍රණය කරන. එවිට තමයි විචාරකයකුටත් එතැනට සම්බන්ධ වන්න පුළුවන් වන්නේ. අපි ඉන්නේ බොහොම අර්බුදකාරී තත්ත්වයක.
නව තාක්ෂණය සහ අලුත් අන්තර්ජාල ධාරා නිසාත් සිනමා විචාරයට ගැටලු මතුවනවාද?
ඔවු ගැටලුවක් එනවා. හැබැයි මගේ අදහස සිනමාව කිසිදාකවත් සිනමා ශාලාවෙන් එළියට දාන්න බෑ. මොකද අපි කුමන මාධ්‍යවලින් සිනමාව බැලුවත් සිනමාව විඳීන්න හැක්කේ සිනමා ශාලාවේ. තරුණ පරපුර ජංගම දුරකථනයෙනුත් චිත්‍රපට බැලුවාට රොද බැඳගෙන බැට්මෑන්, ස්පයිඩර්මෑන් බලනවා. ඇයි ඔවුන් සිනමා ශාලාවට යන්නේ? අර උපකරණ මඟින් බලන චිත්‍රපටය චිත්‍රපටයක් නොවේ. ඔවුන් ආස්වාදය ලබන්නේ සිනමා ශාලාවෙදි. මෙන්න මෙයයි අපි වාසියට ගන්න ඕනෙ. දැන් ගැටලුව තිබෙන තැන පේනවානේ. තවමත් රසිකයා විශ්වාස කරනවා සිනමාව තිබෙන්නේ සිනමා ශාලාවේ බවට. අපේ සිනමාවේ අර්බුදයක් තිබෙනවා ප්‍රේක්ෂකයන් ගෙන්වා ගන්න චිත්‍රපට අපට තිබෙනවාද කියලා. විචාරකයා අර්බුදයට යන්නෙත් එතැනයි. හැබැයි මම සර්ව සුබවාදීව බලන්නෙකු ලෙස විශ්වාස කරන්නේ ආයෙමත් සිනමා ශාලා රසිකයන්ගෙන් ඉතිරී යන කාලයක් එයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න