මේ අපේ වංශ කතාවයි

ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය තම නළු නිළි පරපුර ගැන කතා කරයි
ජනවාරි 20, 2022

 

සිනමාවක් බිහි වන්නට නම් රංගන ශිල්පීන් සිටිය යුතුය. නේක හැඩ රටා ප්‍රේක්ෂක හද සන්තානය තුළ සිත්තම් කරන්නට රංගන ශිල්පීන් අවැසිමය. විටෙක කුරුලු කොබෙයියන් සේ පෙම් කරමින්ද, විටෙක නයි මුගටින් සේ සටන් කරමින්ද විටෙක වී කුරුල්ලන් සේ අසාධාරණයට එරෙහිව නැඟී සිටිමින්ද ඔවුන් රිදී තිරය මත ගෙනහැර දැක්වූ සිනමාත්මක හැඩයන් අපරිමිතය. මෙරට කථානාද සිනමාවට වසර 75ක් සපිරෙන මේ මොහොතේ මෙරට සිනමාව එකලු කළ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳව කතා කළ යුතුමය. ඒ සඳහා අප සම්මුඛ වූයේ පනස් වසරකට අධික කාලයක් මෙරට සිනමාවේ විශිෂ්ට චරිත රැසක් මැවූ රංගවේදී රවින්ද්‍ර රන්දෙණියටය. ‍ප්‍රධාන ප්‍රවාහයේ මෙන්ම අනු ප්‍රවාහයේ රංගන ශිල්පීන් පිළිබඳව ඔහුගේ මතකයට අනුව ඔහු බොහෝ දෑ අප සමඟ පැවසුවේය. මෙසේ දිගහැරෙන්නේ ඒ කතාබහයි.

 

 

සිනමාවේ රංගන ශිල්පීන් ගැන කතාබහ කඩවුණු පොරොන්දුවෙන්ම පටන්ගමු?

මෙරට සිනමාවේ මුල් කාලයේ රංගන ශිල්පීන්ගෙන් අපිට පැහැදිලිවම පෙනුණේ දකුණු ඉන්දියානු රංගන සම්ප්‍රදාය. මෙරට කථානාද සිනමාවේ පළමු චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේත් එකී දකුණු ඉන්දියානු රංගන ශෛලිය පෙනෙන්නට තිබුණා. අපේ අසහාය රංගන ශිල්පිනිය රුක්මණී දේවි අපේ සිනමා ලෝකයට බිහි වන්නේ කඩවුණු පොරොන්දුවෙන්. ඇය අසහාය වෙන්නේ ඇගේ රූපසොබාව, රංගන හැකියාව සහ උපරිම තලයක තිබුණි ඇගේ නිසා. ඇය ලැබූ ජනකාන්ත බව, පිළිගැනීම සහ ආදරය මම හිතන්නේ නැහැ මෙරට සිනමාවේ කිසිම රංගන ශිල්පියෙක් ලබාගෙන තියෙනවාද කියලා. රුක්මණී දේවියව දකින්න ඇගේ නිවෙස ඉදිරිපිට මිනිස්සු විශාල සංඛ්‍යාවක් රැස් වෙලා ඉන්න මට්ටමට ජනකාන්ත බවක් ඇයට තිබුණා. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් ගත්තොත් එඩී. ජයමාන්න, බී.ඒ.ඩබ්ලිව්. ජනමාන්න, ජෙමිනි කාන්තා යන රංගන ශිල්පීන් නරඹන්නන්ගේ ප්‍රසාදයට ලක්වන හොඳ රංගන ශිල්පීන් බවට පත් වුණා. මගේ නිරීක්ෂණය අනුව හියුගෝ ප්‍රනාන්දු ඒ කාලයේ ශෛලීගත සම්ප්‍රදායෙන් මිදිලා එහි යම් මට්ටමක තාත්වික රංගනයක යෙදෙනවා.

 

ඉන්පසුව මෙරට සිනමාවේ මුල් යුගය ගැන කතා කළොත්?

මුල් යුගයේ බිහි වුණු රංගන ශිල්පීන් අතර මාක් සමරනායක, ලැඩී රණසිංහ වගේ කීපදෙනෙක් හිටියා භාවාතිශය නොවූ කැපී පෙනෙන රංගන ශෛලියක් තිබුණු. අරුණ ශාන්ති, ස්ටැන්ලි පෙරේරා, ප්‍රේම්ජයන්ත් ආදී රංගන ශිල්පීන් ඒ යුගයේ විශාල ජනප්‍රසාදයක් දිනාගත් ජනප්‍රිය නළුවෝ. ඒ යුගයට ගැලපෙන රංගන කාර්යය ඔවුන් සාර්ථකව ඉටු කළා. ඔවුන්ට ලොකු ප්‍රේක්ෂක ආදරයක් තිබුණා. එදිනෙදා සමාජ ජීවිතයේදී ඒ වෘත්තියට ආඩම්බරයක් එන ආකාරයට ඔවුන් තමන්ගේ වටිනාකම රැකගත්තා.

ඒ කාලේ රංගන ශිල්පීන් උත්සවයකට පවා පැමිණෙන්නේ ඉතාම ක්‍රමවත් ලෙස හැඳපැලඳ ගෙන. රුක්මණී දේවි ප්‍රසිද්ධියේ සාප්පු සවාරියක්වත් යනවා දැකපු කෙනෙක් ඉන්නවා ඇති කියලා මම හිතන්නේ නැහැ. ඒ කාලේ රංගන ශිල්පීන් සුලභ වුණේ නැහැ. සිනමා නළුවෙක් කියන සමාජයේ ලැබෙන ඉහළ තැන සහ පිළිගැනීම තමන් රැකගත යුතුයි කියලා ඔවුන් නිතරම හිතුවා.

ඉන්පසුව සිනමාව මත සිත්තම් වන රංගන ප්‍රතිරූ පිළිබඳ අවධානය යොමු කළොත්?

රේඛාව චිත්‍රපටය බිහිවෙන්නේ 1956දී. අධිතාත්වික රංගනයෙන් බැහැර වෙලා වර්තමානයේ පිළිගැනෙන තාත්වික රංගනය මුල්වරට අන්තර්ගත වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ. ඩී.ආර්. නානායක්කාර, ශේෂා පළිහක්කාර, ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය වැනි රංගන ශිල්පීන් මතක් කරන්න ඕනේ. රේඛාව චිත්‍රපටයෙන් අද වන තෙක් කතා කළ හැකි අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියක් බිහි වනවා. ඒ අයිරාංගනී සේරසිංහ. එතුමිය අපේ සිනමාවේ මහේෂිකාව ලෙස හඳුන්වන්න මම කැමැතියි. එදා සිට අද දක්වා අපේ රංගන ක්ෂේත්‍රයට කළ දීර්ඝකාලීන දායකත්වය සහ ජාතික මට්ටමෙන් පිළිගැනෙන මහා කලාකාරිනියක් ලෙස සිනමාවේ කළ රංගනයන් අගය කළ යුතුමයි. හැට දශකය වන විට හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොවෙයි, සිනමාව කියන මාධ්‍යයට සමීප වෙලා එය හදාරන, විචාර විවේචන කරන මට්ටමට පැමිණි ප්‍රේක්ෂකයන් පිරිසක් බිහිවුණා. එයට හේතුව වුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු විශිෂ්ට අධ්‍යක්ෂවරු රැසක් මෙරට සිනමාවට බිහි වීම. ඔවුන් හොඳ රංගන ශිල්පීන් රැසක් සිනමාවට හඳුන්වා දුන්නා. හැටේ දශකය කියන්නේ ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි වැනි අග්‍රගණ්‍ය රංගන ශිල්පීන් රැසක් සිනමාවට බිහි වුණු යුගයක්. අදටත් සිනමාවේ විශිෂ්ටයන් ලෙස සැලකිය හැකි බොහෝ අයගේ ආගමනය සිදුවුණේ හැටේ දශකයේදී. ඔවුන්ගේ ආගමනයට ඊට පෙර යුගයේ සිටි රංගන ශිල්පීන් තමන්ගේ ජනකාන්ත මට්ටම පවත්වාගැනීම සහ ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ පිළිගැනීම හේතුවක් වුණා.

 

හැටේ දශකයේ බිහි වුණු විශිෂ්ට රංගන ශිල්පීන් ගැන කතා කරමු?

ගාමිණී, ජෝ ප්‍රමුඛ විශිෂ්ට රංගන ශිල්පීන් රැසක් මේ සමයේ බිහිවුණා. එතැනින් ජෝ අබේවික්‍රම ප්‍රධාන තැනක් ගන්නවා. මගේ පළමු චිත්‍රපට පහේම එතුමා සමඟ රඟපාන්න මම වාසනාවන්ත වුණා. ඔහු සමඟ වැඩ කරද්දි රංගන පිළිබඳ විශ්වවිද්‍යාලයකට ගියා වගේ හැඟෙනවා. ඔහුගේ විශිෂ්ට රංගනය මෙන්ම ඔහුගේ සැහැල්ලු බව, නිහතමානීකම ඉතාම සුවිශේෂයි. දර්ශන තලයේදී විහිළු තහළු කරගෙන ඉන්න ජෝ මොහොතකින් කැමරාව පැත්තට හැරිලා අවමඟුලකට දින ගණනක් වැළපුණු කෙනෙකුගේ චරිතය රඟපානවා. ඔහුට එවැනි අසමාන දක්ෂතාවක් තිබුණා. ඔහු චරිත ගොඩනැඟුවේ සැබෑ ජීවිතයේ අධ්‍යයනයන් සහ නිරීක්ෂණයන් තුළින්. වැලිකතරේ "ගෝරිං", බඹරු ඇවිත් "ඇන්ටනී", දෑස නිසා "නිරුධක", බැද්දේගම "සිළිඳු" පුරහඳ කළුවර "වන්නිහාමි" ආදී ඔහු රඟපෑ එකම එක චරිතයකවත් අපි ජෝ අබේවික්‍රමව දුටුවේ නැහැ. ඒ තමයි රංගනය. ඒ හා සමානවම ගෞරවයකින් කතා කරන්න ඕනේ අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගැන. ඔහුගේ රංගනය පිළිබඳ අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. එය අදත් ඉන්න කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා හැමෝම දන්නවා. ගාමිණී ෆොන්සේකාට තිබුණා අසාමාන්‍යය ප්‍රතාපවත් බවක්. ඔහු හැම චරිතයකටම ඇතුළු වෙන්නේ මහා ශක්තියක් සමඟ. ඒ ප්‍රභාව නිසා ඔහුගේ චරිතය වටා ප්‍රේක්ෂකයන් සියලුදෙනා එක් වෙනවා. අන් කවරෙක් සිටියත් ඔහුගේ ආලෝකයෙන් මැකිලා යනවා. ගාමිණී ෆොන්සේකා තුළ කැපී පෙනෙන විශාල ශක්තියක් තිබුණා සාමාන්‍ය කෙනෙක්ට වඩා. ඉබේම සියලුදෙනා ඔහු වටා එක්වන මට්ටමට පෞරුෂයක් තිබුණා. ඔහු දැන හෝ දැන ඒ ශක්තිය සහ පෞරුෂය උපරිමයෙන් ඔහුගේ රංගනයට භාවිත කළා. මේ ලෝකෙ කිසිම නළුවෙක් සමඟ සන්සන්දනය කරන්න තබා එසේ සිතියවත් නොහැකි මට්ටමේ ලෝක පූජිත චරිත රැසකට ඔහු පණ පෙව්වා. නිධානය "විලී", පරසතුමල් "බොනී මහත්තයා", කස්තුරි සුවඳ "කමල්", යුගාන්තය "සයිමන් කබලාන" ආදි ඔහු රඟපෑ හැම චරිතයකදීම අපි කවදාවත් ගාමිණී ෆොන්සේකාව දුටුවේ නැහැ. පරසතු මල් චිත්‍රපටයේ බොනී මහත්තයා නම් මැදිවියේ පුද්ගලයා ඔහුගේ අයහපත් හැසිරීම නිසා අකාලයේ මියෑම දක්වා ඒ බරපතළ චරිතය ඔහුම අධ්‍යක්ෂණය කරමින් ඔහුම රඟපාන විට ගාමිණී ෆොන්සේකාට අවුරුදු තිහක්වත් නැහැ. ඔහුගේ ප්‍රතිභාව සහ පරිකල්පන ශක්තිය පිළිබඳ අවිවාදිතයි. නළුකම කියන්නේ අන්න එයට. ඔහු චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක රඟපෑවා. ඒ හැම චිත්‍රපටයකම ඔහුගේ චරිත ගත්තොත් ඒවා වෙන් වෙන් වශයෙන් ගෙන දීර්ඝ ලෙස සාකච්ඡා කළ හැකි මට්ටමේ ගැඹුරු චරිත. සිනමාවේ දැවැන්තම චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කරමින් ඔහු අධ්‍යක්ෂණයට දැක්වූ දක්ෂතාවය පිළිබඳවත් අගය කළ යුතුයි. නිධානය චිත්‍රපටයේ ඔහුගේ රංගනය ලෝකයේ කිසිම රංගන ශිල්පියෙකු හා සසඳන්නට නොහැකි මට්ටමේ සුවිශිෂ්ට රංගනයක්. ඒ වගේම අපේ ආදරණීය නළුවා ටෝනි රණසිංහව මතක් කරන්න ඕනේ. ඔහුට සිනමාව ජයගන්න වෙන කිසිදු දෙයක් අවශ්‍ය නැහැ, ඔහුගේ ප්‍රසන්න බවම සෑහුණා. දීර්ඝ කාලීනව වේදිකාවෙන් අත්දැකීම් ලබාගෙන ඒ දක්ෂතා ඔහු සිනමාවට එක් කළා. එකල සිටි ජනප්‍රියම කඩවසම්ම නළුවා ටෝනි. විශාල රංගන හැකියාවක් තියෙන කෙනෙකුට කඩවසම් බව සහ ප්‍රියමනාප බව එකතු වුණාම තවත් වෙන මොනවද අවශ්‍ය? දොලොවක් අතර, රන්සළු, දහසක් සිතුවිලි, දුහුළු මලක්, ගම්පෙරළිය ඇතුළු රංගනයෙන් දායක වුණු හැම චිත්‍රපටයකම ඔහු පෙන්වූ හැකියාව අගය කළ යුතුයි. මේ යුගයේ රංගන ශිල්පීන් ගැන කතා කරන විට විජය කුමාරතුංග ගැන කතා නොකර කොහොමද? ඔහු අපේ සිනමාවේ සදා කුමාරයා. මම "ඊඩඥ ර්‍ථපඪදජඥ ධට ඉඪදඩචතච ඛ්ඪදඥථච" කියලා ඔහුව හඳුන්වන්න කැමැතියි. ඔහු ලබාගත් ජනප්‍රියත්වය ඒ සමයේ පමණක් නොවෙයි, අද ඉන්න නළුවෙක්ටවත් හිතාගන්න නොහැකියි. ඔහුට පවතින නිසඟ ආකර්ෂණය ඔහු උපතින්ම ගෙන ආ එකක්. ඔහුගේ හිනාව, කතාබහ ආදී හැම ඉරියව්වක්ම බොහොම ප්‍රියමනාපයි, ආකර්ෂණීයයි. ඔහුට තිබුණේ හරි සංග්‍රහශීලී පෞරුෂයක්. ඒ වගේම ඔහුට ඉතාම ජනප්‍රිය තලයේ චිත්‍රපට ගණනාවක් ලැබුණා. ඔහු රංගනයෙන් මොන තරම් ලස්සන සිතුවම් රිදී තිරයේ මැව්වාද කියලා ඔහුගේ ඒ චරිතවලින් පෙනෙනවා. විජය ගැන කතා කළ පසු අපේ නිළි රැජණ මාලිනී ෆොන්සේකා ගැන කතා නොකර කොහොමද? මගේ හොඳම රංගනය සහිත චිත්‍රපට ගණනාවක් ඇය සමඟ රඟපෑවේ. මාලිනීගේ රංගන හැකියාව විස්තර කරන්න පොත් ගණනාවක් වුණත් ලියන්න පුළුවන්. ඇගේ රංගනය තුළ තිබුණු පුදුමාකාර දෙය වන්නේ දර්ශන තලයේදී මාලිනී ෆොන්සේකා නොසිටීම. එතැන තියෙන්නේ ඇයගේ චරිතයම පමණයි. ඇයගේ සුන්දර බව අසීමිතයි. එවැනි සුන්දර මුහුණක් අපේ සිනමාවේ වෙන නැහැ. ඒ සුන්දර මුහුණෙන් ඉතාම සියුම් හැඟීම් සමුදායක් නිරූපණය කළ හැකි දක්ෂතාවක් ඇය තුළ තිබුණා. අග්‍රගණ්‍ය කලාශිල්පිනියකට තිබිය යුතු සියලුම දෑ ඈ සතුව තියෙනවා. ඒ වගේම මට ස්වර්ණා මල්ලවආරච්චි ගැන කතා නොකර සිටිය නොහැකියි. ඇය අපේ සිනමාවට බිහිවුණු විශිෂ්ටතම රංගන ශිල්පිනියක්. පොළොවේ පය ගහලා ජීවත් වන, පීඩිත වින්දිත පංතියේ ගැහැනිය ඇය සැමදා චරිත තුළින් මනාව පිළිබිඹු කළා. ස්වර්ණා දඩයම චිත්‍රපටයේ මා සමඟ රඟපෑ හැටි ගැන මට පොතක් ලියන්න පුළුවන්. ඒ තරමට ඇයගේ දක්ෂතාව විස්තර කරන්න පුළුවන්. පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක, සන්ධ්‍යා කුමාරි, ජීවරාණි කුරුකුලසූරිය, විජිත මල්ලිකා, ස්වර්ණා කහවිට, ශ්‍රියානි අමරසේන, සුවිනීතා වීරකෝන් ආදී මේ සියලුදෙනාම සිනමාවේ දෙවැනි දශකයේ ආරම්භ වන විට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය රංගන ශිල්පිනියන්. නම් සඳහන් කළ නොකළ මේ හැම රංගන ශිල්පියෙක් ශිල්පිනියකගේම දායකත්වයෙන් සිනමාව කියන මහා කර්මාන්තයේ බිහිවෙන්නේ.

70, 80 දශකය කියන්නේ සිනමාවේ ස්වර්ණම යුගය. මේ සමයේ බිහි වුණු රංගන ශිල්පීන් රාශියක් ඉන්නවා.

70 දශකය මට කවදාවත් අමතක කළ නොහැකියි. මොකද මමත් සිනමාවට පයගහන්නේ 70 දශකයේදී. 70, 80 දශකය ගැන කතා කළොත් ඉතා දීර්ඝ රංගන ශිල්පීන් පෙළක් පෙළගස්වන්න පුළුවන්. ඔවුන් සියලුදෙනා නම් පෙළගස්වන්න අපහසු නිසා ප්‍රධාන ප්‍රවාහයේ රංගන ශිල්පීන් සිහිපත් කරන්නම්. තිස්ස විජේසුරේන්ද්‍ර, ජීවන් කුමාරතුංග, ජයලත් මනෝරත්න, විජය නන්දසිරි, නීටා ප්‍රනාන්දු, වීණා ජයකොඩි, අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා, වසන්ති චතුරාණි යන රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් ඉන්නවා.

 

චරිතාංග රංගන ශිල්පීන් ගැන වෙනම කතා කළ යුතුයි.

අපි හැමදාම ප්‍රධාන ප්‍රවාහයේ රංගන ශිල්පීන් ගැන පමණයි කතා කරන්නේ. නමුත් ප්‍රධාන චරිත රඟ නොපෑමුත් සිනමා නිර්මාණවලට සමහර අවස්ථාවල ප්‍රධාන චරිතයටත් වඩා එහා ගිය රංගන ප්‍රතිභාවක් දැක්වූ චරිතාංග රංගන ශිල්පීන් රාශියක් අපේ රටේ ඉන්නවා. සිරිල් වික්‍රමගේ, අමරසිරි කලංසූරිය, විමල් කුමාරද කොස්තා ඇතුළු අතිදක්ෂ රංගන ශිල්පීන් රාශියක් ඉන්නවා. සිරිල් වික්‍රමගේ කියන්නේ වෙනම දක්ෂතාවක් තියෙන රංගන ශිල්පියෙක්. ඔහුගේ චරිත එකිනෙක විශ්ලේෂණය කළ විට ඒ චරිත කොයිතරම් බරයිද ගැඹුරුයිද ප්‍රශස්තයිද කියලා පෙනෙනවා. ඒ වගේම අමරසිරි කලංසූරිය සිහිපත් කරන්නම ඕනේ. තාරුණ්‍යයේ පවතින කෙළිලොල් දාංගලය, දඩබ්බරකම ඔහුට තරම් වෙන කාටවත් කළ නොහැකියි. ඔහුගේ දඟකාරකම හුරුබුහුටිකම හරිම ආකර්ෂණීයයි. විමල් කුමාර ද කොස්තාගේ තිබුණු රංගන ශෛලිය වෙන කිසිවෙකුට තිබුණෙ නැහැ. ඔහුගේ ඒ අමුතු රංග ශෛලිය එනතෙක් ප්‍රේක්ෂකාගාරයේ සියලුදෙනා බලාගෙන ඉන්නේ. ඉතා දීර්ඝ නම් පෙළක් පෙළගස්වන්න වෙනවා චරිතාංග රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවට. එය අපහසු නිසා මම සමස්තයක් ලෙස ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ කතා කරන්නම්. එදා සිනමාව තුළ සිටි චරිතාංග රංගන ශිල්පීන් නිසා තමයි චිත්‍රපටය මායාවක් නොවෙයි යථාර්ථයක් බවට ප්‍රේක්ෂකයෝ තේරුම් ගත්තේ. ඔවුන්ගේ රංගනය ඒ තරම් ගැඹුරුයි. ඒ වගේම ඔවුන් චරිත පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකින් පසුවයි රංගනයේ යෙදෙන්නේ. සමහර රංගන ශිල්පීන් චරිත පිළිබඳව කතා කරන විට අපට එය විශ්වවිද්‍යාල දේශනයක් මට්ටමට ගැඹුරුයි. අපේ සමහර රංගන ශිල්පීන්ගේ දක්ෂතා ලෝක සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පීන් සමඟ සැසඳීය හැකි මට්ටමට තිබුණා. 70, 80 දශකය වනවිට ආසියානු කලාපයේ වඩා හොඳ සිනමාත්මක චිත්‍රපට හැදුණේ අපේ සිංහල සිනමාවේ. ඒ තත්ත්වයට අපේ සිනමාව රැගෙන එන්න මේ රංගන ශිල්පීන් කොයිතරම් දායක වුණාද කියලා ඔබට සිතාගත හැකිද? ඔවුන් නිසා අපේ සිනමාවට ගෞරවණීය බවක් ලැබුණා. අදටත් මම රංගන වෘත්තියට මේ තරම් ගරු කරන්නේ ඒ නිසාමයි.

 

90 දශකය කියන්නෙ දක්ෂ රංගන ශිල්පීන් බිහිවුණු අවධියක්.

අනූව දශකය කියන්නේ කමල් අද්දරාරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ජක්සන් ඇන්තනී, සංගීතා වීරරත්න, දිල්හානි අශෝකමාලා, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් මෙරට සිනමාවේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ යුගයක්. ඔවුන් සියලුදෙනාට උපතින් ලද හොඳ රංග ප්‍රතිභාවක් තිබුණා. ඔවුන් සියලුදෙනාම ආවාට ගියාට චරිත රඟපෑවේ නැහැ. හැම චරිතයකම ඔවුන්ගේ ලොකු වෙනස්කමක් පෙනෙනවා. චරිතයකට සූදානම් වීමේ සිට ඔවුන්ගේ කැපවීම, දක්ෂතාව සහ රංගන වෘත්තියට එක් කළ අභිමානයත් අගය කළ යුතුයි. ටිකෙන් ටික වර්තමානයට එන විට එවැනි අගය කළ යුතු රංගන ශිල්පීන් අඩු වෙමින් පවතින එක කනගාටුවට කාරණාවක්.

 

දුෂ්ටයන්, එසේත් නැති නම් ප්‍රතිවීරයන් නැතිව සිනමාවක් බිහි වන්නේ නැහැ.

අපේ සිනමාවේ ප්‍රතිවීර චරිත ගැන කතා කරන විට ඩොමී ජයවර්ධන මහත්මයාව අමතක කරන්න බැහැ. ඔහු තමයි අපේ හිටපු කඩවසම්ම දුෂ්ටයා. මාක් සමරනායකත් සිහිපත් කරන්න ඕනේ. ඉන් පසු පරම්පරාවේ විශිෂ්ටයා රොබින් ප්‍රනාන්දු. සටන් කලාවට ඔහුට තිබුණු නිපුණත්වය නිසා ප්‍රතිවීර චරිත මැනවින් නිරූපණය කරන්න හැකි වුණා. ඒ වගේම පියදාස ගුණසේකර ඉතා බරපතළ දුෂ්ට චරිත කරපු කෙනෙක්. ඒ වගේම විල්සන් කරූ, රෙක්ස් කොඩිප්පිලි, රවීන්ද්‍ර රන්දෙණිය (සිනහා වෙමින්), ටෙඩී විද්‍යාලංකාර යන රංගන ශිල්පීන් තමන්ගේ ප්‍රතිවීර කාර්ය කැමරාව ඉදිරිපිට හරියටම කළා කියලා මම හිතනවා. අපේ සිනමාවේ සියලුම වීරයන් වීරයන් බවට පත් වුණේ ප්‍රතිවීරයන් නිසා. කැමරාව ඉදිරිපිට වීරයාගෙන් ගුටි කාලා, ප්‍රේක්ෂක අප්‍රසාදය මැද, චිත්‍රපටයෙන් පසුව ඔවුන්ගෙ බැණුම් ටිකත් අහගෙනයි ප්‍රතිවීර චරිත කළ රංගන ශිල්පීන් සිටිය යුත්තේ. එය ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ වගේම අපේ ගාමිණී ෆොන්සේකා වගේ වීරයන්ගෙන් ලැබෙන ගුටිත් එසේ මෙසේ ඒවා නෙමෙයි. ඒ වගේම රූපගත කිරීම්වලදී ගුටි කාගෙන, මාරාන්තික තුවාල ලබාගෙන, වෙඩි කාගෙන ජීවිත පවා පරදුවට තැබූ ප්‍රතිවීර රංගන ශිල්පීන් අපේ සිනමාවේ ඉන්නවා. දියුණු සිනමාවේ නළු නිළියන්ගේ රංගන කාර්යය පහසු කරන්න, අවදානම අඩු කරන්න මොනතරම් උපක්‍රම යොදනවාද? තාක්ෂණිකව වගේම මානව සම්පත්වලින්. දියුණු රටවල රංගන ශිල්පීන් බහුතරයකට තමන්ගේ ස්වරූපයට සමාන තවත් කෙනෙක් ඉන්නවා අවදානම් ජවනිකා රූගත කරන්න. ඒත් අපේ රටේ ඒවා භාවිතා කළේ ඉතාම අවම වශයෙන්. සටන් ජවනිකාවලදී පවා ඔවුන් ඒ අවදානම ගත්තා. මගේ ජීවිතයේදී මම දුවන කෝච්චියේ වහල උඩට නැඟලා තියෙනවා, කළු ගඟේ පාලමේ ඉඳලා කිසිම ආරක්ෂාවක් නැතිව ගඟ මැද්දට පැනලා තියෙනවා, සරදියෙල් රූගත කරද්දි පිට විනිවිද යන්න මාරාන්තික වෙඩි පහරක් කාලා තියෙනවා. නමුත් කිසිදු වෙනත් රංගන ශිල්පියෙක් ඒ සඳහා භාවිත කරලා නැහැ. මම වගේම අනිත් හැම රංගන ශිල්පියෙක්ම එහෙමයි. මේ සටන් නළුවන් කිසිවෙකුත් මේ වෘත්තිය අවදානම් කියලා පසුබෑවේ නැහැ.

හාස්‍ය රංගන ශිල්පීන් පිළිබඳ කතා නොකළොත් එය මේ කතාබහට අඩුවක්.

විකට රජවරු හිටපු සිනමාවක් අපිට තිබුණා. එඩී ජයමාන්න මහත්තයාගෙන් පටන් අරගෙන දොන් සිරිසේන, බී.එස්. පෙරේරා, බර්ටි ගුණතිලක මේ හැමෝම සිහිපත් කරන්න් ඕනේ. ඒ වගේම දීර්ඝ කාලයක් හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස රටක් පිනවූ කෙනෙක් ප්‍රෙඩී සිල්වා කියන්නේ. ප්‍රෙඩී සිල්වා හිටපු නැති චිත්‍රපටයක් නැති තරම්. ඒ කාලේ මණ්ඩල පහේ තිරගතවුණු චිත්‍රපටි පහේම ප්‍රෙඩී සිල්වා ඉන්නවා. ඒ වගේම ජෙමිනි කාන්තා, ලැටීෂියා පීරිස් ආදී අතිදක්ෂ හාස්‍ය රංගන ශිල්පිනියන් පිරිසකුත් අපිට හිටියා. ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහවත් අපට අමතක කළ නොහැකියි. බන්දු කියන්නේ වෙනම තමන්ට අනන්‍ය හාස්‍ය ඉරියවු තිබුණු රංගන ශිල්පියෙක්. ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට ප්‍රේක්ෂකාගාරය හිනස්සන රංගන ශිල්පියෙක් ටෙනිසන් කුරේ. ප්‍රේක්ෂකාගාරය සිනා සාගරයේ ගිල්වන එක ලේසි පහසු නැහැ. සාමාන්‍ය පිළිගැනීමට අනුවත් අමාරුම රංගනය තමයි හාස්‍ය රංගනය. ඉතාම දක්ෂ ලෙස විනාඩි දෙකක ජවනිකාවකින් වුණත් මිනිස්සු හිනස්සන්න පුළුවන් රංගන ශිල්පීන් හිටියා වගේම ඔවුන්ගෙන් අපේ සිනමාවට ලොකු දායකත්වයක් ලැබුණා.

 

අනූව දශකයෙන් පසුව බිහි වුණු රංගන ශිල්පීන් ගැන ඔබේ අදහස?

දෙදාහා දශකයේදී සිනමාව අර්බුදයකට ගමන් කළා. මේ කාලයේ සිනමා කෘති බිහිවීම අඩු වුණා. ඒ වගේම රූපවාහිනිය, පරිගණක, දුරකතන ආදී වශයෙන් වෙනත් මාර්ගවලින් විනෝදාස්වාදය සඳහා සිනමා ප්‍රේක්ෂකයන් යොමු වුණා. ඒ වගේම සුනාමිය, යුද්ධය වගේ විවිධ ව්‍යසනවලට අපි මුහුණ දුන්නා. මේ සියලු දේ මධ්‍යයේ ඉතා අපහසුවෙන් මෙරට සිනමාව පවත්වාගෙන ගිය රංගන ශිල්පීන් පිරිසක් අපිට ඉන්නවා. පසුගිය දශක දෙක තුළ ඉතා විශිෂ්ට අධ්‍යක්ෂවරු, දක්ෂ රංගන ශිල්පීන් රැසක් බිහි වුණා. ප්‍රධාන වශයෙන් හොඳ නිර්මාණ බිහි නොවීම රංගන ශිල්පීන්ට අවාසිදායක වුණා. ඔවුන්ට හොඳ නිර්මාණයක් නැතිව රංගන දක්ෂතා පෙන්විය නොහැකි වුණා. එය නව පරපුරේ රංගන ශිල්පීන්ට වුණු අසාධාරණයක් ලෙස මම දකිනවා. නව පරපුරේ ඉතාම දක්ෂ රංගන ශිල්පීන් රැසක් ඉන්නවා. හොඳ චිත්‍රපට හැදුණා නම් ඔවුන්ට දක්ෂ රංගන ශිල්පීන් වන්නට හැකියාව තියෙනවා.

 

සිනමා රංගන ශිල්පියෙකු ලෙස ඔබට අවසාන වශයෙන් යමක් කියන්න ඇති?

කැමරාව ඉදිරිපිට ආකර්ෂණීයව පෙනී ඉඳලා දෙබස් කීමට එහා ගිය බොහොම ගැඹුරු හැදෑරීමක් සහිත කාර්යයක් රංගනය කියන්නේ. හැම රංගන ශිල්පියෙක්ටම තමන් සතු අනන්‍යතාවක් තිබුය යුතුයි. හොඳම රංගන ශිල්පීන් හැමකෙනෙක්ටම පාහේ එකිනෙකාට වෙනස් වුණු සුවිශේෂත්වයක් සහ ප්‍රතිභාවක් තියෙනවා. ඒ තැනට එන්න නම් අනිවාර්යයෙන්ම හැදෑරීමක් තිබිය යුතුයි. සිනමා රංගන ශිල්පියෙක් වන්න පහසු නැහැ. දීර්ඝ කාලයක් චරිතයට පුහුණුවීම් කරලා තමන්ව අමතක කරලා තමන්ගෙ පෞද්ගලික වටපිටාවේ සියලුම දේවල් අමතක කරලා චරිතයකට කැප වෙන එක, අවදානම් ගන්න එක ලේසි පහසු නැහැ. සිනමා චරිත විශිෂ්ට ලෙස නිරූපණය කරන එක ලේසි පහසු නැහැ. කොයිතරම් චරිතයකට මහන්සි වුණත් චිත්‍රපටය තිරගත වූ පසුව එන විචාර විවේචන දරාගෙන ඉන්න එක පහසු නැහැ. මේ වගේ රටක ඉතාම අඩු පහසුකම් යටතේ, ඉතාම අවම ගෙවීම් යටතේ රංගන ශිල්පියකු ලෙස ජීවත් වීම ලේසි පහසු නැහැ. එදා සිට අද දක්වා මේ ආකාරයෙන් අපේ සිනමාව පවත්වාගෙන එන්න වෙහෙසුණු, කැප වුණු සියලු රංගන ශිල්පීන්ට මගේ ආචාරය, ගෞරවය සහ ආදරය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

 

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න