මා ළඟ තිබුණු ගම්බද සුන්දරී සංරක්ෂකයකු සොරකම් කළා

ලංකාවේ මුල්ම වර්ණ 16mm චිත්‍රපටයට වූ ඉරණම පියදාස ගොඩගෙදර හෙළි කරයි
මාර්තු 24, 2022

 

සංරක්ෂණය මුවාවෙන් අද කරන්නේ ව්‍යාපාරයක්

 

මගේ නම පියදාස ගොඩගෙදර වුණත් ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ප්‍රොජෙක්ටර් පියදාස නමිනි

 

ලංකාවේ රූපගත කළ පළමු වෛර්ණ චිත්‍රපටය වූයේ ගම්බද සුන්දරී චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ අධයක්ෂවරයා වූයේ ජෝර්ජ් එස්. විජේගුණරත්නය. ඉතා උසස් තත්ත්වයේ කොඩැක් ෆිල්ම් පටයකින් නිර්මාණය කර තිබූ මෙම චිත්‍රපටය 16ථථ චිත්‍රපටයක් විය. මෙම චිත්‍රපටය මා සතුව තිබිණි. එහෙත් එය අද මා සතුව නැත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වූයේ ශීලා පිරිස්ය. ඇය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වූයේ කිසිදු මුදලක් නොගෙනය. ඒ හේතුව නිසාම චිත්‍රපටයේ නිෂ්පාදකවරු ඇය වෙත ගම්බද සුන්දරී චිත්‍රපටයේ පිටපතක් තෑගි දෙනු ලැබීය. මෙම චිත්‍රපටය එවක කොළඹ ක්‍රවුන් සිනමාශාලාවේ තිරගත වූයේ ලංකාවේ රූගත කළ මුල්ම වෛවර්ණ කතා නාද චිත්‍රපටය ලෙසිනි.

අංක 447/1/3 ලිපිනයේ මරදානේ තිබූ මා සතු සිනේ ඉලෙක්ට්‍රොනික් සෙන්ටර් එකට අවශ්‍යතා සඳහා පැමිණි ශිලා පීරිස් මහත්මිය. ඇය සතුව තිබූ ගම්බද සුන්දරී චිත්‍රපටයේ පිටපත මා හට පරිත්‍යාග කිරීමට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ඇය ඇගේම අත් අකුරින් ලිපියක් ලියා මා වෙත එහි භාරකාරත්වය ලිඛිතව ලබාදෙනු ලැබීය. මා සතුව මෙම චිත්‍රපටය තිබෙන අතරතුර පසුකාලෙක මෙම චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළුවා වූ කිංස්ලි ජයසේකර මෙය රැගෙන ගියේ ශිලා සමඟ මෙය නැරඹීමටය. එහිදී ඇය මෙය නරඹා කදුළු සැලු බවත් මා හට පවසා සිටියේය. ශිලාගේ සැමියා වූ විල්ෆ්‍රඩ් පෙරේරා ද විටෙක මෙය රැගෙන ගොස් නරඹා යළි මා අතට පත් කරනු ලැබීය.

පැයක පමණ චිත්‍රපටයක් වූ ගම්බද සුන්දරී චිත්‍රපටයේ ඉතිරි කාලය සඳහා දළදා පෙරහැර එකතු කර තිබිණි. එයින් චිත්‍රපටයේ ධාවන කාලය නිෂ්පාදකවරුන් වැඩි කරනගෙන තිබුණේ පේ‍්‍ර්ක්ෂකයන් ගැන සිතාය. මරදානේ තිබූ මා සතු සිනේ ඉලෙක්ට්‍රොනික් සෙන්ටර්හි ගෝලයෝ ලෙස වැඩ කළ කිහිපදෙනෙකුම විය. ඔවුන් අතරින් සමහරු ස්වේච්ඡාවෙන් මා ළඟ වැඩ කරනු ලැබුවේ ඔවුන් තුළ චිත්‍රපට සඳහා තිබූ කැමැත්ත නිසාමය. මේ අය අතරින් මා කැමති මෙන්ම අකමැති පුද්ගලයෝද සිටියහ. ඔවුන්ගෙන් කෙනෙකු වූ එක්තරා පුද්ගලයෙක් මා සතුව තිබූ ගම්බද සුන්දරී චිත්‍රපටය සොරකම් කරනු ලැබීය. ඒ සමඟ ඔහු මා සතුව තිබූ රුසියන් කාටුන් වගයක්ද සොරකම් කරගෙන යනු ලැබීය. ඔහු මා ළඟ වැඩ කරනු ලැබූවේද ස්වේච්ඡාවෙන් රීල් එතීම, චිත්‍රපට නරඹා සැකසීම ආදි කටයුතු ඔහු සිදු කළ අතර මා ඔහු පිළිබඳ තබා තිබූ විශ්වාසය කඩ කරමින් මෙම සොරකම සිදු කරනු ලැබීය.

මෙම පුද්ගලයාද අද චිත්‍රපට සංරක්ෂකයකු යන ලේබලය මුවාවෙන් කටයුතු කරන පුද්ගලයෙකි. මොහු පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිට තිබුණේ ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ගම්බද සුන්දරී සිනමා පටය ඇත්තේ තමන් සතුව බවය. මෙම පුද්ගලයා අන් කවුරුවත් නොව මා ළඟ ස්වේච්ඡාවෙන් වැඩ කළ පුද්ගලයාය. මා සතුව මට අයිතිව තිබූ මෙම චිත්‍රපටය නැති වීම සම්බන්ධයෙන් මා මරදානේ පොලීසියේ පැමිණිල්ලක් දැමුවේ අර පුද්ගලයාට විරුද්ධවය. එය විභාග කිරීමට පැමිණි එම පුද්ගලයා එහිදී පවසා සිටියේ පත්තරකාරයන්ට ඕන දෙයක් ලියන්න පුළුවන්. මම එහෙම දෙයක් කිව්වෙ නෑ කියලාය. ඔන්න මා ළඟ සිටි ගෝල හොරාගෙ තරම”

මේ කතාව අපට පැවසුවේ පියදාසස ගොඩගෙදරය. ඔහු හැදින්වූයේ ප්‍රොජෙක්ටර් පියදාස කියාය. දැන් වයස අවුරුදු අනූ තුනකි. එදා මෙරට මිලි මීටර් 16 චිත්‍රපට එකතුවක් තිබුණු තැනැත්තා ඔහුය.

මාගේ ගම ගිනිගත්හේන වුවත් මාගේ පහසුව තකා නැවතී සිටියේ මරදානේ පේ‍්‍රමකීර්ති අල්විස්ගේ නිවසේය. පේ‍්‍රමකීර්ති අල්විස් කුඩා අවධියේ ඔහුගේ අතින් අල්ලාගෙන ගුවන්විදුලියට ගෙනවිත් කරුණාරත්න අබේසේකරයන්ට හඳුන්වා දුන්නේද මාය. කරුණාරත්න අබේසේකර නිතර මාගේ ෂොප් එකට ආව ගිය මා හිතවත් පුද්ගලයෙකු වූ නිසාවෙන් පේ‍්‍රමකීර්තිගේ ආශාව ඉටු කර දීමට මට පහසුවක් විය.

මම මුලින්ම රැකියාව කරනුයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ. එහි ප්‍රොජෙක්ටරයක් තිබුණි. ඒ මැලේරියා රෝගය පිළිබඳ දැනුවත් කරන්නය. එහි පීඑච්අයි කෙනෙකු වුණ ඇලෙක්ස් තෙන්නකෝන් මේ යන්ත්‍රය ගෙන යන්න මට නිතර කතා කළා. මේ ප්‍රොජෙක්ටරය අතතිව මා රට වටා යනු ලැබුවේ ජනතාව දැනුම්වත් කරන්නටය. පසුකලෙක දෙපාර්තමේන්තුවේ මේ ප්‍රොජෙක්ටරය භාරව කටයුතු කිරීම මට භාර විය. නිරන්තරයෙන් මෙය අත පත ගෑම නිසාම මා තුළ මේ පිළිබඳ ලොකු ඇල්මක් ඇති විය. මෙවැන්නක් මා සතු වුවහොත් මගේ අනාගතය සරුවන්නට පුළුවන. මේ වෙනකොට මා තුළ ප්‍රොජෙක්ටර් පිස්සුවක් දලුලා වැඩෙන්නට විය. මට හිතවත් බොහෝ දෙනෙකු එවක තානාපති කාර්යාලවල සිටියා. ඔවුන් අතර විදෙස් ජාතිකයන්ද විය. මා හිතවත් චීන ජාතිකයකු මාර්ගයෙන් මා 16ථථ ප්‍රොජෙක්ටරයක් සොයා ගත්තේ ඔහුත් මාත් අතර තිබූ සමීප සැබැදියාව නිසාමය.

ඒ යුගයේ තානාපති කාර්යාලවල හැරුණු කොට 16ථථ ප්‍රොජෙක්ටර් තිබුණු ලංකාවේ එකම පුද්ගලයා වූයේ මා පමණි. එය මට ලොකු ආඩම්බරයක් විය. ප්‍රොජෙක්ටර් පිළිබඳ මා තුල තිබූ ආශාව දැනුම නිසාම මරදානේ සිනේ ඉලෙක්ට්‍රොනික් සෙන්ටර් කියා මා විසින් ප්‍රොජෙක්ටර් අලෙවි සැලක් ආරම්භ කරනු ලැබීය. තානාපති කාර්යාලවලින් පිටරට ගොස් පැමිණෙන අයගෙන් මා ප්‍රොජෙක්ටර් මිලදී ගත් අතර ඒවා අලෙවි කරමින් හා ඒවා අලුත්වැඩියා කරමින් ද කටයුතු කළා. මරදානේ සිනේ ඉලෙක්ට්‍රොන් සෙන්ටර් කියූ පමණින් රටම දන්නා තත්ත්වයකට මගේ ආයතනය ජනපි‍්‍රය විය. ඕනෙම ප්‍රොජෙක්ටරයක් කැඩුණු අවස්ථාවක එය නැවත රෙපයාර් කිරීමේ උපන් හැකියාවක් මා සතු වුණා. මේ නිසාවෙන් අක්‍රිය වන ඕනෙම ප්‍රොජෙක්ටරයක් කවුරුන් වුවද රැගෙන ආවේ මා ළඟටය.

පසුව මා විසින් 16ථථ ප්‍රොජෙක්ටර් පිටරටින් ගෙන්වනු ලැබීය. 16ථථ ප්‍රොජෙක්ටර් සිය ගාණක් එදා මා සතු ෂොප් එකේ විය.

ප්‍රොජෙක්ටරයක් මිලදී ගැනීමට පැමිණෙන අයකුට එය සමඟ (චිත්‍රපටයක්) ලබා දීම මගේ සිරිත වුණා. රටේ තානාපති කාර්යාල හරහා මගේ හිතවතුන් මාර්ගයෙන් මට සර්කස් කාටුන් වගේම විදෙස් චිත්‍රපටද විශාල වශයෙන් ලැබුණු නිසාවෙන් මට කෙනෙකුට පින්තූරයක් ලබා දීම ගැටලුවක් වුණේ නැහැ.

චිත්‍රපට සංස්ථාව මඟින් මා හට ලිඛිතව බලය පවරා තිබුණේ නුවරඑළිය, මාතර දිස්ති‍්‍රක්කවල චිත්‍රපට පෙන්වීම සඳහාය. චිත්‍රපට පෙන්වීම සඳහා මා වෙත ලැබෙන චිත්‍රපට රීල් විවිධ ආකාරයේ ඒවා විය. ඉංගී‍්‍රසි චිත්‍රපට, චීන සර්කස්, රුසියන් සර්කස් අතර සිංහල චිත්‍රපටත් තිබිණි.

එවක සිටි අමාත්‍යවරයකු වූ පී.බී.ජී.කළුගල්ල මහතා විසින් මා වෙත ගමනක අවසානය නමින් චිත්‍රපට කොපි දෙකක් ලබා දී තිබුණි. මෙම චිත්‍රපටය හිටපු අගමැති එස් ඩබ්ලිව් ආර්ඩී බණ්ඩාරනායක මහතා පිළිබඳ නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය ද මා රට වටා ප්‍රදර්ශනය කරනු ලැබුවේ මාගේ අනෙකුත් චිත්‍රපට සමඟය. මේ ආදායමෙන් කොටසක් මගේ කාර්ය මණ්ඩලයට හා මා වෙත තබා ගනිමින් ඉතිරි මුදල් ප්‍රමාණය මා පරිත්‍යාග කරනු ලැබුවේ දැනට ඩාර්ලි පාරේ ඉදිකර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම සඳහාය. එවක එය රුපියල් ලක්ෂ ගණනාවක මුදලකි. අක්‍රිය වූ ප්‍රොජෙක්ටර් රෙපයාර් කිරීම පිළිබඳ මම ගුරුහරුකම් ලබා නොගත්තෙමි. ඒ සියලු දැනුම මා ලබා ගත්තේ ඒවා අතපත ගෑමෙන් පමණි. අමතර කොටස් ඉන්දියාවෙන්, චීනයෙන් වැඩි වශයෙන්ද අනෙකුත් රටවලින් ද ගෙන්වනු ලැබුවේ තොග වශයෙනි. පසුව 35ථථ ප්‍රොජෙක්ටර් උපකරණ දමා ලංකාවට ගෙන්වනු ලැබීය. වඩාත් මා ප්‍රසිද්ධියක් ලබා සිටියේ 16ථථ ප්‍රොජෙක්ටර් උපකරණ ගෙන්වන අයකු ලෙසිනි. 35ථථ නිර්මාණය වූ චිත්‍රපටයක් සමඟ ඒ කළ 16ථථ ප්‍රමාණයේ කොපියක් ද නිර්මාණය කෙරිණි. වැඩි වශයෙන් මෙය විදෙස් චිත්‍රපට රීල් සමඟ පැමිණීම දැකිය හැකි විය. මේ නිසාවෙන් දේශීය මෙන්ම විදේශීය චිත්‍රපටවල 16ථථ කොපියක් මා වෙත බොහෝ දෙනාගෙන් ලැබුණේ එවැන්නක් ක්‍රියාත්මක කිරීම සඳහා උපකරණ මා සතු වූ බැවිනි. සිනමාශාලාවක් හැරුණු කොට 35ථථ නිර්මාණය වූ කිසිදු චිත්‍රපටයක් කාටවත් වෙන කොහේවත් ප්‍රදර්ශනය නොකළ යුතු බව තහනමක් චිත්‍රපට සංස්ථාව මඟින් පණවා තිබිණි. ඒත් මා වෙත විශේෂ අවසරයක් මඟින් ලබාදී තිබුණේ 16ථථ ප්‍රොජෙක්ටරයකින් එවැනි චිත්‍රපටයක් පෙන්වීම සඳහාය.

බොහෝ සිනමාශාලාවල ප්‍රොජෙක්ටර් අලුත්වැඩියාව පවා මට භාර වී තිබිණි. ඒ නිසාම ඒ සිනමාශාලා වෙත ගෙන්වන චිත්‍රපටවල 16ථථ කොපිය හිතවත්කම් මත ලැබුණේ මා වෙතය. ඔලිම්පියා, ලිබර්ටි ඇතුළු සිනමාශාලා බොහොමයක ප්‍රොජෙක්ටර් අලුත්වැඩියාව සිදුවූයේ මා අතිනි. කීපවතාවකදී මගේ ප්‍රොජෙක්ටර් හයක් තිස්ස නාගොඩවිතාන ලබාගත් අතර ගෙවිය යුතු මුදල පසුව ඔහු ගෙවා දමනු ලැබීය.

චීනයත් සමඟ මගේ කිට්ටු සබඳතාවයක් ගොඩ නැගී තිබුණේ මා මෙරටදී හඳුනාගත් චීන ජාතිකයකු වූ වන්ෂෙන් යූ නිසාවෙනි. ඔහු මට චීනයේ කැන්ටන්වල තිබූ සිනමා උපකරණ සම්බන්ධව පැවති විශාල ප්‍රදර්ශනයක් බැලීමට අවස්ථාව උදා කර දුන්නේ අපූරු ආකාරයකටය. මගේ සුදු කොණ්ඩය ඔහු කළු කරනු ලැබීය. මගේ පෙනුම ධනවත් ව්‍යාපාරිකයකු සේ පෙනෙන අයුරින් සකස් කිරීමක් සිදු කරන ලදී. භාෂා පරිවර්තනය සඳහා පරිවර්තකයකු ද සූදානම් කෙරිණි. ඒ අනුව මා චීනය බලා පිටත්ව ගොස් ඔහුගේ සැලසුම අනුව දැවැන්ත ප්‍රදර්ශනයේ අත්දැකීම අත්වින්දෙමි. එහිදී මා 35ථථ ෂෙනන් බල්බය සහිත ප්‍රොජෙක්ටර් දෙකක් ඇණවුම් කළෙමි. එය කොටස් දොළහකින් යුතු විය. එය රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා එවක අමාත්‍යවරයකුව සිටි සී.බී විජේතුංග මහතා මට මහත් උපකාරයක් කරනු ලැබීය. මා ගෙන එනු ලැබූ ෂෙනන් බල්බය සහිත 35ථථ ප්‍රොජෙක්ටර් දෙක එම වර්ගයෙන් ලංකාවට ගෙනා මුල්ම ඒවා විය.

මෙයින් එක් ප්‍රොජෙක්ටරයක් මා මුල්වරට අලෙවි කරනු ලැබුවේ කඩවත නිකාඩෝ සිනමා ශාලාවේ අධිපති ගුණවර්ධන මහතාටය. මුල්වරට එම සිනමා ශාලාවේ සවි කළ මෙම ප්‍රොජෙක්ටරය එවක විවෘත කරනු ලැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසිනි.

ලංකාවේ සතර දිග්භාගයෙන්ම මාව සොයා ගෙන එන සියලු පුද්ගලයන් හට මා ආමන්ත්‍රණය කරනු ලැබුවේ සර් කියාය. කාන්තාවක් නම් මැඩම් කියාය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පටන් සිනමාකරුවන්ද නළු නිළියන්ද ඇන්තනී පේජ්ගේ පටන් මහා ව්‍යාපාරිකයන් මා සොයා ගෙන ආවේ පියදාස

 කියාගෙනය. බොහෝ විට මා දේශපාලඥයන් අතර ප්‍රසිද්ධව සිටියේ ෆිල්ම් මෑන් කියාය. ඩී.බී විජේතුංග මහතා මාව ආමන්ත්‍රණය කළේම ෆිල්ම් මෑන් කියාය. බොහෝ දෙනෙක් මාව ඇමතුවේ පියදාස ලෙසිනි. චීනයෙන් ඉන්දියාවෙන් මා බඩුගෙන් වීම නිසාම ඒ රටවල ව්‍යාපාරිකයන් අතර ද මා ප්‍රසිද්ධව සිටියේය. පිටරටවල රැකියා සඳහා ගිය ලාංකිකයින් අතර ද මා ප්‍රසිද්ධියට පත් වී තිබුණේ ඉහළ පැළැන්තියේ උදවිය. පිටරට ගොස් එන අතරේ ගෙන එනු ලබන දෑ නැරඹීමට උපකරණ මා සතුව තිබූ නිසාවෙනි.

මට අපූරු සිද්ධියක් මතකයට එන්නේ මේ අතරය. දිනක් සිලෝන් තියටර්ස් හිටපු සභාපති ඇන්තනි පේජ් මාව සොයා පැමිණියේය. ඔයාද පියදාස කියන්නේ, මම ඔව් කීමි. මේ බල්බ් එක තියනවද? ඔව්. මා ඔහුට බලබ් එකක් වෙනුවට දෙකක්ම දී ඔහු ලබා දුන් මුදල්ද ගත්තේ ද නැත. කිසිවක් නොකියා ජෙජ් යන්න ගියේය. දින කීපයකට පසු සිලෝන් තියටර්ස් හි ඉංජිනේරු මහතා වූ ජයමහ අත විශාල මුදලක් පේජ් මා වෙත එවා තිබුණි. එය බල්බවල වටිනාකම මෙන් අති විශාල මුදලකි. පසුව මට දැනගන්නට ලැබුණේ එදා පේජ් මා ළඟට ඇවිත් තිබුණේ 8ථථ ප්‍රමාණයෙන් කර තිබූ තමන්ගේ වෙඩින් එක බලන්න ප්‍රොජෙක්ටරයේ බල්බ් එක ගන්න කියාය.

මගෙන් දින ලබාගෙන ඈත ගම්දනව්වල ප්‍රොජෙක්ටර් කටවුට් ගසා දැනුවත් කර ප්‍රසිද්ධියක් ලබා දී මගෙන් චිත්‍රපට ප්‍රොජෙක්ටර් අරන් ගොස් චිත්‍රපට පෙන්වූ කණ්ඩායමක්ද මා ළඟ සිටියේය. මාද බොහෝවිට ඔවුන් සමඟ ගොස් ඒ කටයුතුවල නිරත වූයේ රැයක් දවාලක් නොතකාය. සමහර කාලවල සති දෙක තුන මා නිවෙසට නොගිය අවස්ථා ද තිබිණි. මගේ බිරිය සෝමා පතිරාජ. අද ජීවතුන් අතර නොමැත. ඇය හෙදියක් ලෙස රාජකාරි කරනු ලැබීය. මට දූවරුන් සතර දෙනෙක් හා පුතෙක් ද සිටියේය. මට තිබූ ප්‍රොජෙක්ටර් පිස්සුවත් රටේ විවිධ ප්‍රදේශවල කරක් ගසමින් සති ගණන් නිවෙසට නොපැමිණීමත් නිසාවෙන් බිරියගෙන් මා වෙත එල්ල වූ චෝදනා නම් අති විශාලය. මයිනර් කාර් රථයට ප්‍රොජෙක්ටරය, තිරය, රීල් ටික දමාගෙන සති ගණන් ඈත දුර බැහැර යාම නිසාම අවසානයේ බිරිය මාව දමා යන්නට ද උත්සාහ කළා ය. යන්තම් ඇය මා ළඟ නතර කරගත්තේ දුර ගමන් අත්හැර රෑට ගෙදර එන පොරොන්දුව පරිදිය. ෆොටෝ සිනෙක්ස් ආයතනයේ හා මා සතුව එවක විශාල චිත්‍රපට ප්‍රමාණයක් තිබිණි. අපි එම චිත්‍රපට දිනකට රුපියල් සියයක මුදලකට අවශ්‍ය අයකුට ලබාදීම සිදු කරනු ලැබීය. මටද ෆොටෝ සිනෙක්ස් ආයතනයෙන් දිනක මුදල ගෙවා චිත්‍රපට හයර් එකට ගෙන ප්‍රදර්ශනය කළ අවස්ථා ද තිබිණි. ෆොටෝ සිනෙක්ස් වසා යනකොට ඔවුන් සතුව තිබූ විශාල චිත්‍රපට ප්‍රමාණයක් මට ලබා දෙනු ලැබීය. දුප්පතාගේ දුක, රදළ පිළිරුව වගේ සිංහල චිත්‍රපට ඒ අතර වුණා. රෝයිද සිල්වාගෙන් සූකිරි කෙල්ල චිත්‍රපටය මම මිලදී ගත්තෙමි. නායගම් මාතලන් චිත්‍රපටය මට තෑගි දෙනු ලැබුවේ මේක පෙන්නා කීයක් හරි මට හොයාගන්නා ලෙස පවසමිනි. මට ලබාදුන් මාතලන් චිත්‍රපටය අද දීපාල් ජයමාන්න ළඟ තිබෙනවා.

මගේ නිවසේ කාමරයක් පුරවා විවිධ චිත්‍රපට තිබිණි. ඒවා සමහරක් නරක් වී ගඳ ගසන තත්ත්වයකට පත් වූ නිසාවෙන් ගෙදරින් ආ විරෝධතා හේතුවෙන් දැනට වැල්ලම්පිටියේ චිත්‍රපට සංරක්ෂණාගාරයක් පවත්වාගෙන යන කමල් තිලකරත්නට ලබා දෙනු ලැබීය. ඒ අතර රේඛාව, සුද්දා, චන්ඩි පැටව් ඇතුළු සිංහල චිත්‍රපට ද රෙඩ්සන් ඇතුළු ඉංගී‍්‍රසි චිත්‍රපට ද විය.

ලෙස්ටර්ගේ රේඛාව චිත්‍රපටය මට ලැබුණේත් අපූරු ආකාරයකට. ලෙස්ටර් තමන් හොඳින් දන්නා ෆාදර් කෙනෙකුට චිත්‍රපටයක් ලබා දී තිබිණි. එය රැගෙන එංගලන්තයට ගිය ෆාදර් එය නරඹන්නට යාමේදී ප්‍රොජෙක්ටරය අක්‍

රිය වීමක් සිදුව ඇත. ලංකාවට පැමිණි ෆාදර් මෙය අලුත්වැඩියා කිරීමට තැනක් සොයමින් ඉන්නා විට ලෙස්ටර් මා ගැන පවසා ඇත. ෆාදර් මා ළඟම ප්‍රොජෙක්ටරය ගෙන ආ පසු මම එය අලුත්වැඩියා කොට දී ඒ සඳහා කිසිදු මුදලක් අය නොකළෙමි. ඉන් දින කීපයකට පසු ෆාදර් මා ළඟට පැමිණ 16ථථ ප්‍රමාණයේ රේඛාව චිත්‍රපටය මට තිළිණයක් ලෙස ලබා දෙනු ලැබීය. එය ලෙස්ටර්ගේ චිත්‍රපටයක් වූ නිසාවෙන් මම එය ෆාදර්ගෙන් ලබා ගනු ලැබුවේ පැවරුම් ලියුමක් සමඟිනි.

හයර් එකට ගෙන යන චිත්‍රපටවල සීන් වගේම සිංදු කොටස් සමහරු කපාගෙන දුන් අවස්ථා ද විය. එවැනි කැපූ කොටස්වලට වෙනත් කොටස් අලවාගෙනත් දුන් අවස්ථාද තිබිණි. බොහෝවිට එකල මම රීල් හයර් කරනු ලැබුවේ චිත්‍රපට රීල් කිරා දීමෙන් හා කිරා ලබා ගැනීමෙනි.

මට දැන් වයස අවුරුදු 93කි. මගෙන් පසු මෙම කටයුත්ත කිරීමට කිසිවකුත් නොවූ නිසා මා සතුව පැවති ඉතිරි ප්‍රොජෙක්ටර් හා චිත්‍රපට ද එක් එක් අයට දී අවසන් කරනු ලැබීය. දැන් මා සතුව ඇත්තේ ද ආශාව නිසාම මා සතුව ඇති ප්‍රොජෙක්ටර් දෙකක් පමණි. පුරා දශක තුනක් හතරක් මා මේ කටයුත්තේ යෙදමින් මහත් වූ ආස්වාදයක් ලැබුවා සේම හොඳ ආදායමක්ද ලබා ගතිමි. මගේ නම පියදාස ගොඩගෙදර වුණත් එදා ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ප්‍රොජෙක්ටර් පියදාස නමිනි. 35 ථථ ප්‍රොජෙක්ටර් සඳහා ඕනෙ තරම් පින්තූර තිබිණි. 16ථථ පින්තූර සඳහා තිබූ තැන ටිකෙන් ටික අඩු විය. අද වනවිට 35ථථ අබිබවමින් මල්ටි මීඩියා පැමිණියේය. මල්ටි මීඩියා වලිනුත් මම චිත්‍රපට පෙන්වනු ලැබීය. මොන තරම් චිත්‍රපට මා සතුව තිබුණත් බඩු භාණ්ඩ තිබුණත් මම සංරක්ෂණය කරන්නට නොගියෙමි. සංරක්ෂණය මුවාවෙන් අද කරන්නේ ව්‍යාපාරයකි. සංරක්ෂකයකු කිසිදු දිනක ලෝකයේ ව්‍යාපාරයක් කරන්නේ නැත. එහෙත් ලංකාවේ සංරක්ෂකයෝ ඒ නමින් සිදු කරන්නේ ව්‍යාපාරයකි. අන්න එතනයි ප්‍රශ්නය.

ෆිල්ම් රීල් ගැන ප්‍රොජෙක්ටර් ගැන අසීමිත දැනුමක් ඇති අනූ තුන්වන වියේ පසුවන පියදාස ගොඩගෙදර සමඟ කතා කරන්න 071-8053349 අංකයට කතා කරන්න. 336/05 ගජබා මාවත ඉහළ කරගහමුණ, කඩවත ලිපිනයට ලියන්න ඔබටත් පුළුවන්.