මෙන්න තවත් ලාංකේය දෙමළ නළුවෙක් දර්ශන් තවරාජා

මාර්තු 24, 2022

 

තවත් දර්ශන් කෙනෙක් රංගනයට පිවිස ඇති වග අපට දැනගන්නට ලැබුණා. මීට පෙර අප කලා ක්ෂේත්‍රයේ සිටි දර්ශන් වන්නේ දර්ශන් ධර්මරාජ්. දෙමළ රංගන ශිල්පියෙකු ලෙසට කරළියට පිවිසි ඔහු මේ වන විට සිංහල නිර්මාණකරුවන්ට නැතිවම බැරි නළුවෙකු වී අහවරයි. ඔහුගෙන් පසුව පැමිණි මේ දර්ශන්ද නළුවකු ලෙස ඉදිරිය දකින්නට සූදානමින් සිටිනවා. මේ දර්ශනගේ නම දර්ශන තවරාජා. දෙරණ නාලිකාවේ විකාශය වූ හිතුවක්කාර මාලා නාටකයේ කෙවින්ගේ චරිතය ඔබට මතක ඇති. එය නිරූපණය කරනු ලැබුවේ මේ දර්ශන්. කෙවින් කියලා කියන්නේ ඒ නාට්‍යයේ ප්‍රතිවීරයාගේ චරිතය. සිඳු දෙවැන්නේ ප්‍රධාන ප්‍රතිවීරයා වන්නේද දර්ශන් තවරාජා. එහි චරිතයේ නම වර්ණවීර. තවත් නිර්මාණ ගණනාවකින් දර්ශන්ව ඔබට දැකගැනීමට හැකියාව ලැබෙනවා. යොවුන් රංගන ශිල්පියෙකු වන දර්ශන් තවරාජා පිළිබඳ වඩාත් හඳුන්වදීමට අප අපේක්ෂා කළා. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවක්.

 

දර්ශන් කොහොමද කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

මම මුලින්ම ප්‍රසන්ටර් කෙනෙක් විදියට තමයි වැඩ කළේ ශක්ති ටී.වී. ආයතනයේ. එහේ ඉන්න ගමන් ටීවී සීරිස් කිහිපයකට සම්බන්ධ වුණා. මොඩලින් කළා අවුරුදු හතක් අටක්. ඊට පස්සේ මට හිතුණා රඟපෑමෙන් තමයි මට දෙයක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම 2021 විතර ශක්ති එකෙන් අයින් වෙනවා එතකොට මට හිතුවක්කාර නාට්‍යයට ආරාධනා ලැබිලයි තිබුණේ.

 

ඒ තීරණය ගන්න බය වුණේ නැද්ද?

ඇත්තටම ගොඩක් අය කිව්වා ස්ථිර රැකියාවක් කරන ස්ථානයකින් අයින් වෙලා රඟපෑමට එන්න එපා කියලා. නමුත් මට හිතුණේම රඟපෑමෙන් තමයි මට දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය තිබුණා.

අද වනවිට ඔබට මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මේ වනවිට නිර්මාණ ගණනාවකට සම්බන්ධ වුණත් මට හිතෙනවා ජනප්‍රිය නළුවෙක් විදියට ඉස්සරහට යන්න ඕනේ නම් අනිවාර්යනේම සිංහල ඕඩියන්ස් එකට ෆේස් කරන්න ඕනේ කියලා. සිංහල ප්‍රේක්ෂකයෝ වැඩිපුර බලන නාලිකාවල අපි රඟපාන්න ඕන. සිංහල අධ්‍යක්ෂවරු ඒ සඳහා මට විශාල වශයෙන් සහයෝගය ලබා දුන්නා.

 

ඔබ දායකත්වය දැක්වු නිර්මාණ කීපය ගැන මතක් කළොත්?

ප්‍රධාන වශයෙන් මතක් කරන්න ඕන සිඳු නාට්‍යය සහ හිතුවක්කාර නාට්‍යය. රයිනි චාරුකා ගයන කළුවරට හිත බය හින්දා ගීතයට සම්බන්ධ වුණා. මට සිනමාපටයකට ආරාධනා ලැබුණා. ඒකෙ නම මායම් කිරිල්ලී. හේමන්ත ප්‍රසාද් තමයි එක් අධ්‍යක්ෂණය කළේ. විශාල් කියන චරිතය තමයි මම ඒකේ නිරූපණය කරන්නේ. විශේෂයෙන්ම ඒ ගැන මතක් කරන්න ඕනේ. මට දිගින් දිගටම ආරාධනා ලැබුණේ විලන් චරිතයට. ඒ නිසා මං හිතනවා විලන් චරිතය මගෙ ස්වරූපයට වඩාත් ගැළපෙනවා කියලා. නමුත් එතැනින් මාව වෙනස් කළේ හේමන්ත ප්‍රසාද් කියන අධ්‍යක්ෂවරයා. මායම් කිරිල්ලී චිත්‍රපටය විශාල් කියන චරිතයත් මට දුන්නා. ඒක දුෂ්ට වගේම හොඳ පැත්තකුත් තියෙන චරිතයක්.

 

සිංහල භාෂාව හැසිරවීමේදී ඔබට ප්‍රශ්න තිබුණේ නැද්ද?

ඇත්තටම තිබුණා. මට මුලදි පිටපත කියවන්න බෑ. මට අධ්‍යක්ෂවරයා ඩයලොග් කියලා දෙනවා. මම ඒක පාඩම් කරලා රඟපානවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ තිළිණ බොරලැස්ස මහත්මයාව. ඔහු මට ගොඩක් උදව් කළා සිංහල ඩයලොග් හදාගන්න. මම ටාගට් එකක් හදාගත්තා මම සිංහල කියවන්න හුරුවෙනවා කියලා. මේ වනවිට මට දැන් සිංහල කියවන්න පුළුවන්.

 

ඔබට දර්ශන් ධර්මරාජ්ව මුණගැසිලා තියෙනවද?

ඔව්. එක්තරා ඉවෙන්ට් එකකදි අපි හමුවුණා. ඔහු මාව හැමෝටම හදුන්වාදුන්නේ මෙන්න අපේ අනෙක් දර්ශන් කියලා.

 

 

සේයාරූ -නිශ්ශංක විජේරත්න