ෆේස්බුක් ඔස්සේ ගොඩනැඟුණු ආනන්දණීය සිනමාව

මාර්තු 23, 2022

 

ඔහු චිත්‍රපට පිස්සෙකි. එකම සිනමාපටය හත් අට වතාවක් බලන්නට තරම් ඔහු සිනමාවට ළෙන්ගතුය. පසුකාලීනව මේ තැනැත්තා වෙනත් වෘත්තියක රැකියාවක නියැලුණද සිංහල සිනමාව කෙරෙහි ඇති ආදරය දිනෙන් දින වැඩි වැඩිවුවා මිසක අඩුවූයේ නැත. ඔහුගේ නම ආනන්ද ගමගේය. ආනන්දගේ මුහුණු පොතෙහි අති විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් එක්රොක්ව සිටින්නේ සිංහල සිනමාව පිළිබඳ තතු විත්ති හුවමාරු කරගැනීමටය. මෙසේ කාලය ගත වූ තැන ආනන්දට යමක් සිතුණේ සරසවිය පුවත්පත කියවමින් සිටින අවස්ථාවකය. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් ප්‍රවීණ කලාකරුවා නිවෙසට වී හුදෙකලාව කාලය ගත කරන බවට සටහනක් පුවත්පතෙහි තිබිණ. ඔහුට එක්වරම සිතුණේ මේ කලාකරුවාට උපහාරයක් කරන්නට ඇත්නම් කියාය. එතැනින් පටන්ගත් මේ ගමන ආනන්ද නතර කළේ තවත් කලාකරුවන් රැසකට උපහාර තිළිණ මෙන්ම මූල්‍ය ප්‍රදානයන්ද ලබා දෙමිනි. මෙතැන් පටන් මම මේ කතාව කියන්නට ආනන්දට බාර දුන්නෙමි.

ඇත්තටම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහත්මයාගේ ඒ පුවත දැකලා මම බොහෝසෙයින් කම්පාවට පත්වුණා. ඊට

පස්සේ මම අපේ රසික රසිකාවන් ටිකක් එක්කාසු කරගෙන ඔහුව බලන්න නිවෙසට ගියා. එතකොට මම ආනන්දනීය සිනමාව කියන සංගමය පිහිටුවා තිබුණේ නැහැ. පසුව මම එනමින් ඒ සංගමය පටන් ගත්තා. ඊට පස්සේ මට හිතුණා දිගින් දිගටම කලාකරුවන්ට උපහාරයක් කරන්න. ඒ ඔස්සේ මම කටයුතු කරමින් කලාකරුවන් රැසකට උපහාර තිළිණ පුදකළා. නම් වශයෙන් කියනවා නම් විල්සන් කරු, සුමින්ද සිරිසේන, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, කපිල සිගේරා, සුනිල් සෝම පීරිස්, සමන්ති ලැනරෝල් යන අයට උපහාර තිළිණ මෙන්ම මූල්‍ය ප්‍රදානයන්ද අප සංගමය මගින් ලබා දුන්නා. ඊට පසුව ටෙනිසන් කුරේ, සුමිත් මුදන්නායක, සහ ජයසේකර අපොන්සුට, උපහාර තිළිණ පුද කළා. විල්සන් කරු, කුමාර රණපුර සහ අනුෂා දිල්හානි කියන තිදෙනා රෝගාතුරව සිටින මොහොතේදී අපි බලන්නට ගියා. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕනේ අපි උපහාර තිළිණයක් වගේම මූල්‍ය ප්‍රදානයක් මේ අයට ලබා දුන්නා. ඒ වගේම ජීවමාන සිතුවමක්ද අපි ලබා දෙනවා. මම හිතනවා ආනන්දනීය සිනමාව කියන මේ සංගමය මගින් කරන්නාවූ ඒ උපහාර නිසා ඒ කලාකරුවන් අතිශය සතුටට පත්වුණා. විශේෂයෙන්ම අපි ඔවුන්ගේ නිවෙසට යන්නේ කණ්ඩායමක් පිරිවරා. එහෙම ගිහිල්ලා ඔහු හෝ ඇය සමඟ සතුටු සාමීචියේ යෙදෙනවා.

 

ඔබ කිව්වා මූල්‍ය ප්‍රදානයන්ද කලාකරුවන්ට ලබා දෙනවා කියලා. කොහෙන්ද මේ සල්ලි හොයා ගන්නේ?

ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවෙ. අපිට එහෙම ලොකු සල්ලියක් සංගමයට නැහැ. නමුත් මම යම්කිසි කලාකරුවකුට උපහාරයක් කරන්නට අවශ්‍යයි කියලා දැනුනම මගේ මුහුණු පොත හරහා ප්‍රචාරයක් ලබාදෙනවා. ඒ ඔස්සේ මට බොහෝ පිරිසක් ඒ සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙන්නට කටයුතු කරනවා. ඇතැම් අවස්ථාවලදී අපි බොහෝවිට කෙලින්ම ඒ කලාකරුවා හෝ කලාකාරිණියට පරිත්‍යාග කරන්නට දෙන මුදල් ඔහුගේ හෝ ඇයගේම බැංකු ගිණුමට දාන්න කටයුතු සම්පාදනය කරනවා. උපහාරයට යන දවසට අපි ඒ මූල්‍ය ප්‍රදානයන් ලබාදෙන පිරිසට එන්න කියලත් කියනවා.අන්න ඒ මොහොතේදීත් ඒ කලාකරුවන්ට හෝ කලාකාරයන්ට මූල්‍ය ප්‍රදානයන් ලබාදෙනවා. අපේ සංගමයේ සියලු කාර්යයන් කරන්නේ විනිවිදභාවයකින් යුක්තවයි.

 

මේ වගේ සමාජ මෙහෙවර කරද්දි අපහාස උපහාස අනිවාර්යයෙන්ම සිදුවෙනවා?

ඒ ගැන නම් කතාකරල වැඩක් නැහැ. සමහරු හිතනවා මම මේවා කරන්නේ ජනප්‍රියත්වයට කියලා. ඇත්තටම මට ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. සිනමාවට ආදරේ නිසයි මම මෙහෙම කරන්නේ. 1976 නිල්ලසොයා සිනමාපටය නැරැඹුවායින් පසුව මට සිංහල සිනමාව කෙරෙහි දැඩි ඇල්මක් ඇති වුණා. ඊට පස්සේ දිගින් දිගටම චිත්‍රපට බැලුවා. ඒ වගේම ඒ චිත්‍රපට තිරගත වුණු දින වකවානු සහ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණු කාලය නළු නිළියෝ වගේ දත්ත මගේ මතක ගබඩාවට ඇතුළත් කරගන්නට මම කටයුතු කළා. පෙරළිකාරයෝ වගේ චිත්‍රපට 7 වතාවක් බැලුවා. ඉතින් ඒ වගේ සිංහල සිනමාවට අතිශය ළෙන්ගතු හින්ද තමයි මම මේවා මේ වගේ කටයුතු කරන්නේ.

 

සිනමාවට කලාවට ළැදි වුණත් ඔබේ වෘත්තීය වෙනත් අංශයක එකක්?

ඔව්. මේ වන විට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වොර්ඩ් මාස්ටර් හැටියට මම රාජකාරි කරනවා. ඉතින් මේ රාජකාරි කරන ගමන් තමයි මේ කලාවට යම්කිසි සේවයක් කරන්නේ.

 

ආනන්දනීය සිනමාවේ ඉදිරිය කොහොමද?

මේ වනවිට අපි ග්‍රන්ථයක් එළි දක්වන්න කටයුතු කරගෙන යනවා ඒක අනිල් වීරසිංහගේ රචනයක්. විජය කුමාරතුංගයන් පිළිබඳ ලියැවුණු ලිපි පෙළකින් ඒ ග්‍රන්ථය සමන්විතයි. මේ වෙලාවේ මට මතක් කරන්න ඕනේ. ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු, අනුර විතානගේ, මොහොමඩ් මින්හාන්, රජිව් රණසිංහ, මොහොමඩ් රියාස්, ධම්මිකා වික්‍රමතුංග, සමන් රාජපක්ෂ කියන පිරිසව. ඒ වගේම ආනන්දනීය සිනමාවට උදවු කරන හැමෝමවත් මේ වෙලාවේ මතක් කරනවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න