වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
වෘකයා ඇතුළට දමා හාවා එළියට ගන්න

වැඩමුළුවකට සහභාගී වූ තරුණියක හා තරුණයෙකි. උපදේශකවරයාගේ උපදෙස් අනුව ඔවුන් දෙදෙනා අදාළ ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ මහත් උනන්දුවෙනි. ඔවුන්ගේ ජයග්‍රහණයට හේතුව ද ඒ කැපවීමයි. එහෙත් එක් මොහොතක ඒ තරුණියගේ කෑ ගැසීමෙන් තරුණයා තිගැස්සෙයි. තරුණිය පවසන්නේ තරුණයාට ආදරය කිරීමට නොහැකි බවයි. එය තරුණයාගේ හදවතට වෙඩි තැබීමකට වඩා වේදනාත්මක වූ මොළයට වෙඩි තැබීමක් ලෙස තරුණයාගෛ් සිතෙහි රැඳෙයි. ඇය දෙමළ තරුණියකි. ඔහු සිංහල තරුණයෙකි. පසුගිය සෙනසුරදා පැවැති බෙංගාල අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ සුදත් අබේසිරිවර්ධන අධ්‍යක්ෂණය කළ බ්‍රීදිං මෙමරීස් මඟින් මතු කෙරෙන්නේ මෙතෙක් දෙමළ ප්‍රජාව සහ සිංහල ප්‍රජාව අතර ඇති වී ඇති යම් අනවබෝධයකට හේතු වුයේ එක් පාර්ශවයකින් හෝ මතු කෙරෙන තිගැස්ම සහ ඒ පිළිබඳ අනෙක් පාර්ශවයේ ඇති අමිහිරි මතක නිසා සංහිඳියාවට බැඳෙන වැට කඩුලු පිළිබඳවයි.
සුදත් ඔබට මේ උලෙළට සහභාගි වෙන්න හැකි වුණා ද?
නැහැ. ඒත් අදාළ සම්මානය බාරගෙන තිබෙනවා, අපේ හිතවත් ශ්‍රී ලාංකික පිරිසක්. එය මට ළඟදීම ලබා දෙන්න ඔවුන් කටයුතු කරයි.
අපි ඔබේ කුඩා අවධියෙන්ම කතාව අරඹුම ද?
මම මාතර දෙවිනුවර. පාසල් ගියේ මාතර ශාන්ත සෙල්වේෂස් විද්‍යාලයට, පාසල් යන කාලේ මම මේ කිසිවකට යොමු වුණේ නැහැ. උසස් පෙළින් පසු මාතර නුපේ නාට්‍ය පාඨමාලාවක් කරන්න ලැබෙනවා. එයින් පසුව තමයි කලාව පිළිබඳ මුලික අදහසක් ආශාවක් ඇති වුණේ. මම රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වෙනවා. ඉන් පස්සේ එහිදී වීදි නාට්‍ය සහ චිත්‍රපට සම්බන්ධව හොඳින්ම ක්‍රියාකාරීව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම වේදිකාවෙන් මහපොළවට. යෞවන සම්මාන, රාජ්‍ය සම්මාන ආදිය මට ලැබුණා, පිටපත් රචනයට සහ නාට්‍ය අධ්‍යක්ෂණයට. ඒ නිසයි මට කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ආශාව ඇති වුණේ.
මොකක්ද ඔබේ පළමු කෙටි චිත්‍රපටය?
ඩයිං ඩ්‍රීම්ස්. (මියෙන සිහින) එය අන්තර්ජාතික චිත්‍රපට උලෙළ දහයක පමණ ප්‍රදර්ශනය කිරීමට වගේම සම්මාන ලැබීමටත් අවස්ථාව ලැබෙනවා. ඉන්දියාවේ පැට්නාවල BIFF සම්මාන උලෙළේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමි වුණා.
ඉන්පසු යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ දී වගේම ඇජෙන්ඩා 14 උලෙළෙදීත් හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වෙනවා. රූපවාහිනි රාජ්‍ය සම්මාන හිමිවෙනවා.
එයින් උත්තේජනයක් ලබන ඔබ තවත් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා?
ඔව්. 2015 දී ඒ සම්මාන ආදී ඇගැයීම් ලැබීමත් සමඟ තවත් කෙටි චිත්‍රපටයකට මම සුදානම් වෙනවා. 2017 වසරේ ‘වෙයාර් ඉස් මයි රූට්’ නමින් කෙටි චිත්‍රපටයක් කළා. එය ඔස්ට්‍රේලියාවට නීති විරෝධි ලෙස පැන යන අපේ සහෝදර ජනතාව පිළිබඳ තැනුණු කතාවක් එයත් අනෝමා රාජකරුණා මහත්මියගේ ඇජෙන්ඩා 14 මඟින් කළ නිෂ්පාදනයක්. මේ චිත්‍රපටයටත් අන්තර්ජාතික සිනමා උලෙළ කීපයක් නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. 2018 වසරේ දී ඒවාට මට සහභාගී වන්නත් අවස්ථාව ලැබුණා.
බ්‍රීදිං මෙමරීස් නිර්මාණයට එළැඹුණ හැටි කියමු?
2021 දෙසැම්බර් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. එයට මුලික වුණේ වඩමලේ රාජ් සහ ආනන්ද රාවණන් කියන අපේ දෙමළ සහෝදරවරු දෙදෙනෙකුගේ ආරාධනයක්. ඔවුන් ත්‍රිකුණමාලයේ පදිංචිකරුවන් ඔවුන්ගේ ටි‍්‍රන්කෝ ක්‍රියේෂන්ස් මගින් තමයි මෙය නිෂ්පාදනය කළේ. ඔවුන්ට බ්‍රිතාන්‍ය කවුන්සලයේ ව්‍යාපෘතියක් ලෙස සිංහල, දෙමළ නිෂ්පාදන පහක් සඳහා මට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. මුස්ලිම් නිර්මාණකරුවකුටයි. දෙමළ තිදෙනෙකුටයි ඉතිරි අවස්ථා ලැබුණා. දෙමළ බහුතරයකට තමයි එහි අවස්ථාව ලැබෙන්නේ. දකුණේ නියෝජනය ලෙසයි මට අවස්ථාව ලැබුණේ. ඔවුන්ගේ තේමාව වුණේ සහජීවනයයි.
මෙය නිර්මාණයේ දී ඔබ යොදාගත් උපක්‍රම ගැනත් කතා කරමු ද?
පෞද්ගලිකව මට ආරාධනාවක් ලැබුණා. යුද්ධයෙන් පසු පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වෙන්න කියලා. එය සාක්කුවටත් වාසිදායක එකක් වෙයි කියලා. එය තමයි මට නිමිත්ත වුණේ. මේ චිත්‍රපටයේ අනෙක් සියලු සාමාජිකයන්ගේ කටහඬවල් ඇසුණත් ඔවුන් පෙන්වන්නේ නැහැ. දෙමළ තරුණිය සහ සිංහල තරුණයාගේ රූප පමණයි පෙන්වන්නේ. මෙහි මුලික අදහස සහජීවනය ගොඩනඟන්න අපට උගන්වන විදිහ කිය පෑමයි. මුලින්ම හොඳම හුස්ම ගන්න කියනවා. පසුව හාවෙකු වගේ සිතන්න, වෘකයකු වගේ සිතන්න කියනවා. වෘකයා එළියට දමා හාවා සිත ඇතුළට ගන්න කියනවා. මේ තරුණිය යුද්ධයට මුහුණ දුන් කෙනෙක්. ඇය වැඩමුළුවට එන්නේ කොළඹ බලන්න විනෝද චාරිකාවක් යනවා කියන මුවාවෙන් තරුණයා එන්නේ කන්න බොන්න සහ අතට කීයක් හරි ලැබෙන බව කියූ නිසා. වැඩමුළුව ගලා යන්නේ ඉන් පසුවයි. ඔවුන් දෙදෙනාගේ සංයෝගය හොඳින් ගැළපෙනවා. ඒ නිසාම වැඩමුළුවේ තරඟවලිනුත් ඔවුන් දෙදෙනා ජය ගන්නවා. ඒත් එකවරම ආදරය කරන්න බෑ. කියා කෑ ගැසීමත් සමඟයි. වැඩමුළුව වෙනත් මගක් ගන්නේ.
මේ සිදුවීම් පිළිබඳ තරුණයාගේ මතකය තමයි චිත්‍රපටයේ කියැවෙන්නේ. අපේ රටෙන් සිදුවෙන්නේ එකඟ වූ සියලු දේ අමතක වෙලා එකඟ නොවුණු සිදුවීමක් මතකයේ රැදුණු එකයි. අපට එකඟ වන අපේ අච්චුවට ගැළපෙන කෙනාම පමණ ද අපි පිළි ගන්නේ? ඊට වෙනස් අය සමඟ අපි කොහොමද ගනුදෙනු කළ යුත්තේ කියන දෙයයි. මම ප්‍රශ්න කරන්න උත්සාහ කළේ.
ඔබේ කෙටි චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර කෙසේද?
සිංහල දෙමළ හැමෝම බොහොම කැමැතියි. මෙය, මුලින්ම මඩකලපුවේ පෙන් වූ අවස්ථාවෙන් හොඳ ප්‍රතිචාර තිබුණු බව මට සංවිධායකයන් කීවා. ඉන් පසු යූටියුබයේ නරඹන අයටත් මේ චිත්‍රපටය පිළිබඳ කියවීම් බහුලයි. චිත්‍රපටයේ අවසානය විවෘතව තැබීම නිසා ඔවුනොවුන්ට කැමැති ආකාරයකට හිතා ගන්න අවස්ථාව තිබෙන නිසා විවිධ කියැවීම් එයට තිබෙනවා.
මොනවද ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු?
මම චිත්‍රපට කතා කීපයක තිර කතා සඳහා කටු සටහන් ලියමින් ඒවා සමඟ පොර බදිමින් ඉන්න කාලයක් මෙය. අනෙක් නිර්මාණය කවදා කරන්න ලැබේ ද යන්න පවතින වාතාවරණය යටතේ හිතන්න බැහැ. මගේ බලාපොරොත්තුව ඉදිරියේ වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි.
එහි දී ඔබ වඩාත් පි‍්‍රය කරන ප්‍රවර්ගයක් තිබෙනවා ද?
ජනාකර්ෂණීය සිනමාවට වඩා මම ආ ගමන සමඟ කලාත්මක නිර්මාණයකට ඇති බර තැබීම වැඩි බවයි මට හැඟෙන්නේ. වාණිජ සිනමාව කියන දේ ඉතාම සාධනීය දෙයක් බව මම පිළිගන්නවා. ඒත් මගේ අදහස ඉදිරිපත් කිරීමට වඩාත් සුදුසු වන්නේ කලාත්මක පැත්තට වැඩි බරක් ඇති නිර්මාණයකින් කියලයි මම විශ්වාස කරන්නේ.
සේයාරූ - නිශ්ශංක විජේරත්න