අපි කරන කලාව ”බහු ජන හිතාය, බහු ජන සුඛාය” වෙන්න ඕනෑ

ගේය කාව්‍ය රචක - සුගත් සෝමවීර
ජූලි 7, 2022

 දරුවෙක් ජීවත් කළ සම්මානය මදිද ?

 මං හිතනවා මගේ නිර්මාණවල කාටවත් අවැඩක්  වෙන දෙයක් නෑ කියලා

අවුකන පිළිමෙ හැදුව විදිහෙ කලාකරුවන්ට අද ඉඩක් නෑ.

 

”හිතක් පපුවක් නැති අසංවේදී මිනිස්සු ටිකක් බිහි කරන සිස්ටම් එකක් මීට වඩා චේන්ජ් වෙන එකක් නෑ. රසයක් වගේම හරයක් තියෙන මිනිස්සු ටිකක් හදන්නත් ලොකු අරගලයක් ඕනි. ඒ හැම දෙයක්ම පටන්ගන්න ඕනි ඉස්කෝලෙන්.”

 

පුරා දෙවිසි වසරක් මුළුල්ලේ සුවහක් සහෘද සිත් නිවීමට සිය පන්හිඳ මෙහෙයවන සුගත් සෝමවීර කාටත් අපහසු මේ වගේ කාලයක සිය ”ගීතාත්ම” නමැති රසවින්දන වැඩසටහන දුෂ්කර පාසල් කිහිපයක නොමිලේ පැවැත්වීමට කටයුතු කරගෙන යන්නේ මේ වගේ උසස් අරමුණකින්. ඒ නිසා එක අතකින් ඔහු කලාකරුවෙක් වගේම තවත් අතකින් සොඳුරු අරගලකරුවෙක්. අපේ මේ කතාබහ ඔහුත් සමඟයි.

 

x ඉතින්, කොහොම ද?

 

(සිනාසී) ලංකාවේ ජීවත් වෙන ඉතාම සාමාන්‍ය පුරවැසියෙක්ට වගේමයි. ඔවුන්ට කොහොම ද? මටත් ඒ විදිහමයි. කලාව කර්මාන්තයක් නොකරගෙන, මුදල ගැන නොහිතා වැඩ කරපු කලාකරුවෙක් විදිහට යම් කලකිරීමකුත් තියෙනවා. මාකටින් අරමුණු කරගත් පිරිසට නම් හොඳයි. අවුකන පිළිමෙ හැදුව විදිහෙ කලාකරුවන්ට අද ඉඩක් නෑ. එහෙම වුණත්, ආදර්ශවත් කලාකරුවෙකුගේ භූමිකාව නම් අත්හරින්න බලාපොරොත්තුවක් නෑ. කොයි තරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් සල්ලි හම්බ කරන එක මූලික අරමුණ කරගෙන කලාව කරන්න මට බෑ. මේ සමාජ ප‍්‍රවාහය ඇතුළෙ ඒක මගේ දුර්වලතාවක් වෙන්නත් ඇති.

 

x අලූ‍ත් නිර්මාණ වැඩකටයුතු ගැන නොඅසා ඉන්න ද?

ඒක හොඳයි (සිනාසෙයි). මොකද, ඉඳලා හිටලා ගීතයක් දෙකක් පටිගත වෙනවා ඇරුණම, කිසිම විශේෂ කලා කටයුත්තක් ළඟකදි සිදු වුණේ නෑ. නුදුරු අනාගතයේදී සිදු වෙන එකකුත් නෑ.

 

x එහෙම වුණත් ඔබ ”ගීතාත්ම” රසවින්දන වැඩසටහන නවත්වලා නෑ?

 

ඔව්. රසයක් වගේම හරයක් තියෙන මිනිස්සු ටිකක් හදන්න ඕන. යහපත් චින්තනයක් ගොඩනඟන එකයි කලාවෙන් කරන්නෙ. සිස්ටම් වුණත් චේන්ජ් වෙන්නෙ එතකොටයි. ”ගීතාත්ම” රසවින්දන වැඩසටහනකින්, මං වගේ පුංචි එකෙකුට ඒ වෙනුවෙන් මහ ලොකු දෙයක් කරන්න බැරි වෙයි. ඒත් මීට කලිනුත් පුළුවන් විදිහට ඉස්කෝල ගානෙ ඇවිදල වෙනස් කරපු යහපත් දරුවො ටිකක් ඉන්නවා. ඒක මට ලොකු සතුටක්. තව දුරටත් හැකි උපරිමෙන් ඒ උත්සාහය දරන්නයි මගේ කල්පනාව. පිරිවැය ගැටලූ‍වක් වුණත් මට නොමිලේ කරන්න පුළුවන් පමණකුත් තියෙනවා. ආරම්භයක් විදිහට දුෂ්කර පාසල් කිහිපයක මම ඒ ටික කරනවා. ඒ ගැන මම මගේ මුහුණුපොතේ කෙටි දැනුවත් කිරීමකුත් පළ කළා.

 

x මේ ඔබ විශ්වාස කරන පරමාදර්ශී කලාකරුවාගේ භූමිකාව ද?

 

පැහැදිලිවම. අපි කරන කලාව ”බහු ජන හිතාය, බහු ජන සුඛාය” වෙන්න ඕන. ගල් කැටේක රළු බව දැනෙන්නෙ ගල් පයට පෑගෙන මනුස්සයෙක්ට. මම එහෙමයි. ඉතින් මට සෙරෙප්පු දාගෙන නිර්මාණ කරන්න බෑ. මට ගල් ඇනෙන මිනිස්සුන්ගේ වේදනාව තේරෙනවා. මොකද මම නවගත්තේගම පිටිසර වන්නියේ මනුස්සයෙක්.

 

x ඔබ නවගත්තේගම ගැන මතක් කරන කොට මට හිතෙනවා ඔබේ ගීත නිර්මාණ සියල්ලකින්ම වගේ වෑහෙන්නේ ඒ වන්නිකරයේ සුවඳ කියලා; ඒ ගැමියන්ගේ හුස්ම කියලා. වෙනත් විදිහකට කිව්වොත්, ඔබගේ නිර්මාණවලින් සයිමන් නවගත්තේගම අපට කියපු රොමියෙල්ලාගේ, සුද්දිලාගේ පරම්පරාවෙන් පසු පරම්පරාවේ ජීවන සුවඳ සහෘදයා වෙත රැගෙන එනවා?

 

ඇත්තටම මගේ හැම නිර්මාණයකටම වාගේ මූලික නිමිත්ත උදුරගත්තෙ මං උපන්න බිමෙන්. වන්නියෙන්. නවගත්තේගම පොළොවෙන්. මට තාත්තත් එක්ක ලොකු කාලයක ඇසුරක් නෑ. ඔහු මිය යනව. අම්ම තමා කුලී වැඩ කරමින් මහ පොළොව එක්ක ඔට්ටු වෙමින් අපිව උස් මහත් කළේ. ඇගේ එකම අරමුණ උණේ උගත් උසස් ලොකු මිනිහෙක් කරන එක නෙවෙයි. කාටවත් කරදරයක් නැති කාගෙන්වත් බැනුම් නොඅහන හොඳ මිනිහෙක් කරන එක. ඒ වෙනුවෙන් ඇය අප‍්‍රමාණ මහන්සියක් ගත්තා. මං යශෝධරාව දකින්නෙ අපේ අම්මා ඇතුළෙන්. මගෙ අම්මට හොඳට රටාවට වියන්න පුළුවන්. අපිත් එක්කම කැලේ ගිහින් පලත් කඩන්, දරත් අරන්, පනුත් කපන් අම්ම එන්නෙ. තැල් කොළ ඇඹුලයි, බතුයි කඳුළු එක්ක අනල රසට කැව්වා. ඇගේ අප‍්‍රමාණ මහන්සියත්, අරමුණත් තමා මගේ ගීතය නැමැති ප‍්‍රකාශනයේ අඩිතාලම. මේ සමාජය දකින්න හොඳ ඇහැකුයි මේ සමාජය දැනෙන හොඳ හිතකුයි අම්ම මහන්සියෙන් හැදුවා. මේ සොබා දහම අහන ඇහෙන කන් දෙකක්, දැනෙන ශරීරයක් හැදුවා. ඉතින් ඒ නිසා මට පේන දැනෙන ඇහෙන හැම දේම වෙනුවෙන් ඇයට ණය ගැතියි. ඒ නිසා මගේ ගීතයේ ආත්මය විදියට මං උපන්න වන්නියෙ නවගත්තේගම පොළොවයි, අපෙ අම්මවයි තමයි සලකන්නෙ. ඒ ගීවලින් මට ජීවිතේ හොඳ-නරක, ප‍්‍රසන්න-අප‍්‍රසන්න අත්දැකීම් දුන්න ඒ පොළොවෙ මිනිස්සුන්ගෙ සුවඳ එනව නම් කැමතියි. මොකද ඒ මිනිස්සු නියෝජනය කරන්නෙ මේ සමස්ත මහ පොළොවමයි.

 

x ගී පද රචකයෙක් - කලාකරුවෙක් - විදිහට පැහැදිලිවම ඔබ නියෝජනය කරන ධාරාවක් තියෙනවා. අපි එය ”සුභාවිත ගීතය” කියල හඳුන්වමුකො. එයට පදනම සැකසෙන්නේ කොහොම ද?

 

නිර්මාණකරුවෙක් විදිහට මගේ චින්තනය හැඩ ගැසෙන්න තදින්ම බලපෑවේ සිඞ්නි මාකස් ඩයස්ගේ ඇසුර. හොඳ-නරක ගැන වැඩි අවබෝධයක් නැති, මල් සින්දුවලට වහ වැටුණු, තාරුණ්‍යයේ මුල් කාලෙ, සංක‍්‍රාන්ති අවධියක් ඒ. ”කියවීම මිනිසා සම්පූර්ණය කරයි” කියන පාඨය සිඞ්නි මාකස් ඩයස් වෙනස් කරල අපිට කියල දුන්නේ ”හොඳ පොත් කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලා. හැම පොතක්ම කියෙව්වට මිනිසෙක් සම්පූර්ණ වෙන්නෑ කියල ඔහු නිතර අපට කියනවා. ගීතයකුත් හොඳ ගීතයක් වෙන්න ඕන, මිනිසුන්ට එයින් හොඳ දෙයක් ලැබෙන්න ඕන, ඔවුන් ඉන්න තැනින් පියවරක් හරි ඉහළට ඔසවන නිර්මාණයක් වෙන්න ඕන කියන හැඟීම ආවෙ ඒ විදිහට. මං හිතනවා මගේ නිර්මාණවල කාටවත් අවැඩක් වෙන දෙයක් නෑ කියලා. ගී පද රචකයෙක් විදිහට මාව ක්ෂේත‍්‍රයට ගෙනාපු සුනිල් දයානන්ද කෝනාර වෙත මාව යොමු කළෙත් සිඞ්නි මාකස් ඩයස්. ඇත්තටම සුනිල් සර් මගේ නිර්මාණ ජීවිතයෙන් හරියටම බාගයක්.

 

x ඔබේ ගායනා වුණු ගේය පද රචනා 140ක් පමණ ”වසන්තය මගෙ නොවෙයි” සහ ”දැන් ඉතින් සමුගන්න” ගේය පද සංග‍්‍රහ දෙකේත් පළ වෙනවා. ඒ වගේ ම ”කඳුළු දියවර” සහ ”ජීවිත උයන” නමින් සංයුක්ත තැටි දෙකකුත් ඔබ නිෂ්පාදනය කරල තියෙනවා. ඒ ඔබේ අවුරුදු විසි දෙකක පමණ නිර්මාණ අස්වැන්න. ඒ අතර විවිධ සම්මානවලට පාත‍්‍ර වුණු නිර්මාණත් ඇති?

 

නිර්මාණකරුවෙක් විදියට සම්මානයක් කියන්නෙ ලොකු දිරියක්. ඒ නිසා මම සම්මානය කියන කාරණය අවතක්සේරු කරන්නෙ නෑ. මටත් අවස්ථා කීපෙක එහෙම සම්මාන කිහිපයක් ලැබිල තියෙනව. හැබැයි ලංකාවේ සම්මාන ක‍්‍රමවේද ගැන ලොකු පැහැදීමක් නෑ. ගීතය පාර්ශවයෙන් ඒවා කළ යුතු හා කළ හැකි ක‍්‍රමවේද ගැන වගකිව යුතු තැන්වලට මගේ යෝජනා ඉදිරිපත් කරල තියෙනව ලද අවස්ථාවල.

 

මම ”කලාව කලාව සඳහා ය” කියන ප‍්‍රවේශයට වඩා ”කලාව මිනිසා සඳහා ය” කියන ප‍්‍රවේශයට කැමතියි සහ වැඩ කරන්නෙත් එතන ඉඳන්. ඒ නිසා මට මගේ නිර්මණවල කලාත්මක අගයට සම්මාන ලැබෙන තැනකට වඩා එහි ප‍්‍රයෝජනය වෙනුවෙන් ලැබෙන ඇගයුමකට වඩා කැමතියි. ඒ විදියට ගත්තම මට ඉතා වටිනා සම්මාන කිහිපයක් ලැබිල තියෙනව.

 

එයින් එකක් මම ලිව්ව ”දැන් ඉතින් සමුගන්න....” කියන ගීයට ලැබුණ ප‍්‍රතිචාරයක්. ඒ ගීය ගැයුවෙ හර්ෂණ දිසානායක. සංගීතය මහේෂ් විතාන. මම පාසල් දරුවන් සඳහා කරන රසවින්දන වැඩසටහන්වලදි මගේ ඔය ගීතය සමඟ එහි කියැවෙන පේ‍්‍රමයේ පරාර්ථකාමී අර්ථය ගැන ඉතා දැනෙන සුලූ විදියට කතා කරනවා. මීට අවුරුදු ගාණකට කලින් ගල්ගමුව ප‍්‍රදේශයේ එක්තරා පාසලක ඒ වැඩසටහන කළා. ඊට මාස හයකට විතර පස්සෙ දවසක හවසක මට ගැහැනු දරුවෙක් ෆෝන් කෝල් එකක් ගත්තා. ඇය තමන්ව හඳුන්වා දීමෙන් පස්සෙ කිව්ව ”මං සර්ට පිං දෙන්නයි ගත්තෙ” කියල. ඇයි ඒ කියල මං ඇහුවම ඈ ලොකු විස්තරයක් කළා.

 

”සර් එදා ස්කෝලෙ රසවින්දන වැඩසටහන කරපු දා මම ගෙදර මගෙ කාමරේ ගෙලවැල දාගන්න හැම දේම ලෑස්ති කරල යාළුවන්ට සමුදෙන්නයි ස්කෝලෙ ආවෙ. මං යාළු වෙලා හිටිය පිරිමි ළමයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා. මාව අත් ඇරල. මට දරාගන්න බැරුවයි මං මැරෙන්න හැදුවෙ. ඉතින් එදා මගෙ යළුවො ඔය කිසිවක් නොදැන මාවත් එක්ක ගියා සර්ගෙ වැඩසටහනට. එතනදි සර් ආදරේ ගැන ගොඩක් දේ කිව්ව. දැන් ඉතින් සමුගන්න ගීතය ගැන කිව්ව දේවල් මටත් අදාළයි. ඇත්තටම මට ආදරයක් නෙවෙයි ලෝබ කමක් තිබිල තියෙන්නෙ. සර් ඒ ගීතයත් එක්ක ආදරේ කියන්නෙ මොකක්ද කියල කියල දුන්න. ඒක ගොඩක් දැනුණ. ඉතින් මගෙ වේදනව අඩු වුණා. හිත හදාගන්න ඒ ගීතය උදව් වුණා. මං ඒ ගීතය මගේ ජීවිතේ ගීතය කරගත්තා. ගෙදර ඇවිත් ලණු ලෙහල පාඩම් කරන්න ගත්තා. සර් මං විභාගෙ හොඳට පාස්. ඒ සර්ගෙ සින්දුව නිසා. මට මොන දුකක් ආවත් ඒ සින්දුව මගෙ ළඟින් ඉන්නවා.”

 

ඇගේ මේ පාපෝච්චාරණය තමා මගෙ ජීවිතේ නිර්මාණකරුවෙකු විදියට ලබපු ලොකුම සම්මානය. දරුවෙක් ජීවත් කළ ගීයක් ඒක. ඉතින් මට වෙන සම්මාන මොකටද? ඔයිට වඩා වටිනා සම්මාන තියෙනවද?

 

 

ඡායාරූප - ලෂාන් සංජීව

 

ඡායාරූප - ලෂාන් සංජීව