වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
රංගනයට වඩා මම දැන් කැමති අධ්‍යක්ෂණයට

අශේන් මංජුල කිව්ව ගමන් අදටත් මතකයට නැෙඟන්නේ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ නිමල්ගේ චරිතය. අඹ යහළුවෝ හරහා අශේන්ට ලැබුණු ජනප‍්‍රියත්වය අදටත් අඩුවක් නැහැ. වර්තමානය වෙද්දි අශේන් කලාවේ විවිධ ඉසව් හඹා යන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. කලාවේ ගුණාත්මකබව රැකගන්න වෙහෙසෙන සොඳුරු නිර්මාණකරුවෙක්. තමන්ගේ වර්තමාන කලා කටයුතු සම්බන්ධයෙන් අශේන් අපිත් එක්ක කතාබහකට එකතු වුණේ මෙහෙමයි.
මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු ගැන මතක් කරලම අපි කතාබහ ආරම්භ කරමු?
පසුගිය කාලයේ රටේ සිදුවෙච්ච දේවල් එක්ක මම පොඩි කාලයක් නිහඬව හිටියා. නමුත් ඒ අතරතුර මම පිටපතක් දෙකක් ලිව්වා. ඉතිං මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒ වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම මාස 6ක පමණ කාලයක සිට නයින්හාට්ස් ආයතනයට සම්බන්ධ වෙලා රැකියාවක් කරගෙන යනවා.
රැකියාවක් එක්ක කලාව මඟහැරෙයි ද?
කලාව කියන දෙ මගේ ලේවල තියෙන දෙයක්. ඉතිං රැකියාවෙන් කිසිම බාධාවක් වෙන්නෙ නැහැ කලාකටයුතුවලට. මම පූර්ණ කාලීනව නයින්හාට්ස් ආයතනයේ සේවය කරනවා. ඡුායාරූප කියන්නේ මම කැමති විෂයයක්. අවුරුදු 35ක් පමණ රංගනයට සම්බන්ධ වෙලා හිටියේ. කවදාවත් රැකියාවක් කර තිබුණේ නැහැ. රංගනය වෘත්තීය කරගෙන ජීවත්වෙන්න අපහසුයි දැන්.
මොකද මේ අශේන් රංගනයෙන් ඈත්වෙලා අධ්‍යක්ෂණයට යොමු වෙලා කියන්නේ...
අධ්‍යක්ෂවරයෙක් විදිහට මට රංගනයෙන් ඈත්වෙන්න බෑනේ. මං අධ්‍යක්ෂණය කරන නාට්‍යවල මම රඟපෑවෙ නැතත් අධ්‍යක්ෂණය කරද්දි රඟපෑවනේ. මම සමාජයේ වෙනස් මත දරන කෙනෙක්. ආවාට ගියාට දෙයක් බාර ගන්නේ නැහැ. ගොඩක් නිහඬව තමයි වැඩ කරගෙන යන්නෙ. ඉතිං හිතට දැනෙන හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයෙන් සම්බන්ධ වෙනවා. නමුත් පෞද්ගලිකව මගේ වැඩි කැමැත්ත තියෙන්නේ රංගනයට වඩා අධ්‍යක්ෂණයට.
අධ්‍යක්ෂණයට යොමු වෙන්න හිතුණේ ඇයි?
මම අඹ යහළුවෝ නාට්‍යයේ රඟපාපු කාලයේ ඉඳලම අධ්‍යක්ෂණයට ලොතු ආසාවක් තිබුණා. ලංකාවේ ගත්තොත් ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ වගේ අයගේ නිර්මාණවල තිබුණ දේවල් එක්ක මට ලොකු ආසාවක් ඇතිවුණා. එතකොට ඉන්දියාවේ මනිරත්නම් සහ සත්‍යජිත් රේ මම ආසම කරපු අධ්‍යක්ෂවරු දෙන්නෙක්. ඒ නිර්මාණ දිහා බැලූවම මගේ හිතේ තිබුණ සමහර දේවල් ඒ අයගේ නිර්මාණවලින් කියවුණා. ඒ දේවල් එක්ක තමයි අධ්‍යක්ෂණයට ආවේ.
අධ්‍යක්ෂණයට යොමුවීම ඔබට අභියෝගයක් වුණාද?
2016 අවුරුද්දේ තමයි මම අධ්‍යක්ෂණයට යොමු වුණේ. මොකද මට හිතුණා ඒ සඳහා සන්නද්ධ වෙලාම වැඬේට බහින එක හොඳයි කියලා. මම අධ්‍යක්ෂණයට එද්දිම ප‍්‍රවීණ කිහිප දෙනෙක් එක්කම කතාබහ කරලා උපදෙස් ගත්තා. දයාරත්න රටගෙදර අයියත් එක්ක කතා කරපු වෙලාවේ මට එක කාරණයක් කිව්වා. ”අශේන්, ඔයා අඹ යහළුවෝ වැනි අගනා නිර්මාණයකින් එළියට ආපු කෙනෙක්. ඉතිං ඔයා දෙයක් අධ්‍යක්ෂණය කළොත්, අඹ යහළුවෝ නිර්මාණයට ඔයා ඒ ලබා දීපු හැකියාව, දක්ෂකම, විශිෂ්ඨත්වය පේ‍්‍රක්ෂකයා මේ නිර්මාණයෙනුත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එතැන වැරදුණොත් ඔයා අසාර්ථකයි.” ඒ කතාව මගේ හිතට තදින්ම වැදුණා. ඉතිං හිතේ බරක් තියාගෙන තමයි මම පළමු නිර්මාණය අධ්‍යක්ෂණය කළේ. එය හොඳම අධ්‍යක්ෂණය සඳහා රයිගම් සම්මාන උලෙළටත් නිර්දේශ වුණා.
ඔබේ තවත් නිර්මාණ කිහිපයක්ම සම්මාන සඳහා හොඳම අධ්‍යක්ෂණයට නිර්දේශ වුණා නේද?
මම මුලින්ම අධ්‍යක්ෂණය කරපු ‘දුරගමනක්’ ටෙලිය රයිගම් සම්මාන සඳහා නිර්දේශ වුණා. ඉන්පසු කළ ‘මිතුරුතුමෝ‘ නාට්‍යයත් රයිගම් සම්මාන සඳහා නිර්දේශ වුණා. ඒ පිටපත් දෙකම රචනා කළේ කපිල කුමාර කාලිංග. ඉන්පසුව ‘සුසුම‘ ටෙලි නාට්‍යය මේ අවුරුද්දේ රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේදීත් හොඳ අධ්‍යක්ෂණයට නිර්දේශ වුණා.
මෙතෙක් ඔබ අධ්‍යක්ෂණය කළ නිර්මාණ
මම ටෙලිනාට්‍ය 10ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ නාට්‍ය 10ම විශේෂ දිනයක් තේමා කරගනිමින් නිර්මාණය කළ ඒකාංගික ටෙලි නාට්‍ය.
දුරගමනක් -ලෝක ළමා හා වැඩිහිටි දිනය
ගිහින් එන්නම් - ජාතික නිදහස් දිනය
සමනල දඩයම - ලෝක පරිසර දිනය
මිතුරුතුමෝ - නත්තල් දිනය
සත්‍ය කතාවක් - වෙසක් පොහොය
ඇදුරිඳු - ලෝක ගුරු දිනය
විනිවිද - ලෝක කාන්තා දිනය
සුසුම - පොසොන් පොහොය
සෙනෙහස - ලෝක මවුවරුන්ගේ දිනය
අපි අප අතර- කෝවිඞ් වසංගතය තේමාව කරගනිමින්
ඒකාංගික ටෙලි නාට්‍ය පමණක් අධ්‍යක්ෂණය කරන්න හිතුණේ ඇයි?
ඒකාංගික ටෙලි නාට්‍ය කියලා පොහොයට පමණක් නාට්‍යයක් කරන්න පුළුවන්. නමුත් මම ඊට වඩා දෙයක් කරන්න හිතුවා. ලෝක පරිසර දිනය, ලෝක ගුරු දිනය, එතකොට ලෝක කාන්තා දිනය වගේ විශේෂ දවස් තියෙනවා. මට හිතුණා මේවා පෙරදැරි කරගෙන එදා දිනයට ගැළපෙන නිර්මාණ කළොත් විශේෂත්වයක් තියෙයි කියලා. මොකද එවැනි දින ගැන නිර්මාණ හැදෙන්නේ බොහොම අතළොස්සයි. මේ නාට්‍ය 10ම විකාශය වුණේ රූපවාහිනී නාලිකාවේ. මම කලාවට පිවිසෙන්නේ මේ නාලිකාව හරහා.
මෙගා නාට්‍යයක් කරන්න අදහසක් නැද්ද?
මම ගොඩක් රඟපෑවෙ නව කතා, කෙටි කතා සහ කාව්‍යමය ඇසුරෙන් තිබුණි නිර්මාණවල. අඹ යහළුවෝ, මඩොල්¥ව, සුදෝ සුදු, පිටගම්කාරයෝ, නිරානන්දය, පුංචි කුමාරිහාමි ඒ සියල්ලක්ම වගේ එවැනි නිර්මාණ. ඉතිං ඒ කෘති කියවලා ඒ චරිත සමඟ ජීවත් වෙලා තමයි චරිතයට පණ දුන්නේ. උදාහරණයක් විදිහට සාහිත්‍ය කෘතියකින් යමක් කරනවට වඩා ස්වතන්ත‍්‍ර නිර්මාණයකින් යමක් කරද්දි එහි සාර්ථකත්වය ප‍්‍රමාණවත් මදි. ඕනෑම නවකතාවක එන චරිත විකාශනය වන විදිහට සමාන්තරවයි පිටපත ලියැවෙන්නේ. ලියන්නා තමන්ට දැනෙන ආකාරයට ලියනවා. නමුත් රූප මාධ්‍යයෙන් යනකොට වෙනස් වෙනස් දේවල් එයට එකතු කරනවා. නවකතාව පාඨකයා කියවපු විදිහක් තියෙනවා. ඒක රූප මාධ්‍යයෙන් හරි විදිහට දෙන්න බැරි වුණොත් අපි අසාර්ථකයි. ඒ වගේ නිර්මාණ තමයි මට වැඩිපුර ලැබුණේ. ඉතිං මම ඒ හුරුවත් එක්ක හිටපු නිසා මගේ වැඩි කැමැත්ත එවැනි නිර්මාණ අධ්‍යක්ෂණය කරන්න.
ඔබ සිතන්නේ මෙගා නාට්‍ය අසාර්ථකයි කියල ද?
මම එහෙම කියන්නේ නැහැ. ඒක එක එක්කෙනා බලන විදිහ. කට්ටිය බලන නිසානේ මෙගා හැදෙන්නේ. උදාහරණයක් විදිහට ‘ඔෂීන්‘ ගත්තොත් ඒ නාට්‍ය පැය භාගයෙන් ඉවර කරන්නත් බැහැ. කොටස් 12න් ඉවර කරන්නත් බැහැ. කොටස් 20න් ඉවර කරන්නත් බැහැ. එතකොට අනිවර්යයෙන්ම ඔෂීන්ගේ ජීවිත කතාව විශාල පරාසයකට යනවා. ඒක සාධාරණ හේතුවක් මත සිද්ධ වෙන දෙයක්. ඒ වගේ තමයි සමහර චිත‍්‍රපටිත් පැය 3 - 4ක් දිවෙනවා. සමහර ඒවා පැය එකහමාරෙන් ඉවරයි. නමුත් ලංකාවේ මොනව හරි හේතුවක් මත මෙගාව නිර්මාණය වුණේ වෙනස්ම විදිහකට. සමහරවිට සාධාරණ හේතුවක් නොමැතිව කතාව දිග්ගස්සනවා. ඇතැම්විට ආසාවෙන් බලපු පේ‍්‍රක්ෂක පිරිස මේ හේතුව නිසා හැලී යන්න පුළුවන්.
ඔබ අධ්‍යක්ෂණය කරන නිර්මාණවලට ඔබේ රංගන දායකත්වය ලබා නොදෙන්නේ ඇයි?
ඇත්තටම සමහර නිෂ්පාදකවරු පවා මාත් එක්ක තරහා වුණා. ”ගෙදරම සම්පත තියාගෙන ඇයි අපි මේ චරිතයට වෙන කෙනෙක් ගත්තේ... ඔයාටම මේ චරිතය රඟපාන්න පුළුවන්නේ...” කියලා. වෙන කෙනෙක් නාට්‍යයක් අධ්‍යක්ෂණය කළාම වෙන්නේ ඒකේ අනෙක් පැත්තනේ. බලන්න මේ අධ්‍යක්ෂවරයා රඟපෑම බදාගෙනනේ කියලා චෝදනා කරනවා. සමහර චරිත මටම ගැළපෙන ඒවා තිබුණා. නමුත් මම කවදාවත් මම අධ්‍යක්ෂණය කරන නිර්මාණවල රඟපාන්නේ නැහැ. ඒක මගේ ප‍්‍රතිපත්තිය.
ඒකට හේතුව කුමක්ද?
මම කැමැති නැහැ තව කෙනෙක් මගේ පුටුවේ ඉඳගෙන මාව මෙහෙයවනවට. අනික අධ්‍යක්ෂවරයා නළුවෙක් වෙන්න ගියොත් පුංචි පුංචි දේවල් ගිලිහී යන්න පුළුවන්. මම ඒකට පෞද්ගලිකව අකැමැතියි. මම කැමතියි අධ්‍යක්ෂවරයාගේ භූමිකාව කරමින්, රංගන ශිල්පීන් අවශ්‍ය විදිහට මෙහෙයවලා මගේ නිර්මාණවලට උපරිම සාධාරණයක් කරන්න. එතකොට මටත් සතුටුයි. එයාලටත් සතුටුයි. සාර්ථකව එය කරන්න ලැබුණට. ඒ වගේම ඒ චරිතයට ගැළපෙන කෙනා හොයාගෙන යෑමේ පිපාසයක් මට තිබුණා. ඉතිං අධ්‍යක්ෂවරයාගේ භූමිකාව පැත්තකින් තියලා නළුකම කරන්න ගියොත් හැමදේම අවුල් වෙන්න පුළුවන්.
ඔබ අධ්‍යක්ෂණය කළ සෑම ටෙලි නාට්‍යකම විශේෂ වූ තේමා ගීතයක් ද නිර්මාණය කර තිබුණා...
ගොඩක් අය කරන්නේ තමන්ගේ නිර්මාණවලට සංගීතය උපුටා ගන්න එක. නමුත් මගේ සෑම නිර්මාණයකටම අලූතෙන් සංගීතය නිර්මාණය කළා. නවරත්න ගමගේ, මහින්ද බණ්ඩාර වගේ ප‍්‍රවීණයන් සංගීතය නිර්මාණය කළා. මගේ නාට්‍යවල තේමා ගීත ගායනා කිරිමට නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, අමල් පෙරේරා, නලීන් දිනේන්ද්‍ර, නවරත්න ගමගේ වැනි පිරිසක් එකතු කරගත්තා. ඒ වගේම මගේ දුව හිරුණිත් ගීත ගායනයට එක්වුණා.
රංගනයෙන්, හඬ කැවීමෙන්, අධ්‍යක්ෂණයෙන්, පිටපත් රචනයෙන් නොනැවතී ඔබ ගී පද රචනයටත් පිවිසිලා ඉන්නවා.
මම පාසැල් වේදිකාවෙන් කලාවට පිවිසි කෙනෙක්. 1988 අවුරුද්දෙදී තමයි අඹ යහළුවෝ නාට්‍යයට සම්බන්ධ වුණේ. මම කලා ක්ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 35කට ආසන්නයි. දැනට නිර්මාණ 120කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ගුවන් විදුලියටත් සම්බන්ධ වුණා. ටයිටස් තොටවත්ත මහත්මයාගේ ‘මල්ගුඩි දවස්‘ වගේම නෙත් එෆ්. එම් හි විකාශය වූ ‘ගොළු හදවත‘ සුගත්ට හඬ කැවුවා.
ඊට පස්සේ ගීත රචනයට, පිටපත් ලිවීමටත්, අධ්‍යක්ෂණයටත් සම්බන්ධ වුණා. ඉතිං මම හැම ක්ෂේත‍්‍රයක්ම නියෝජනය කරගෙන ආපු කෙනෙක්. මගේ හැම නිර්මාණයකටම මම ගීත ලිව්වා. පසු කාලයේදී ”ගිමන් හරින තොටුපළක්ම විය” යනුවෙන් ගීත ඇල්බමයක් කළා. ලාල් ජයසිංහ මහත්මයා තමයි එය නිෂ්පාදනය කළේ. මව්පියන් ගැන, කලාව, පරිසරය, සහෝදරත්වය, මිත‍්‍රත්වය, ආගම දහම වැනි තේමා රැසකින් යුතු ගීත 16ක ඇල්බමයක් එය. එහි ගීත 9යක්ම ලිව්වෙ මම. ටී.එම්.ජයරත්න, වික්ටර් රත්නායක, දීපිකා ප‍්‍රියදර්ශනී, නීලා වික‍්‍රමසිංහ, ලක්ෂ්මන් විජේසේකර, නෙලූ අධිකාරි, අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, එඞ්වඞ් ජයකොඩි, චරිතා ප‍්‍රියදර්ශනී වැනි ප‍්‍රවීණයන් රැසක් ඊට ගීත ගායනයෙන් සම්බන්ධ වුණා.
පවුලේ තොරතුරුත් කතා බහ කරමු.
බිරිය ප‍්‍රශානි ගුරුසිංහ. දුව හිරුණි හංසනි, පුතා හරිඳු පේෂල. දුව මගේ නිර්මාණවලට ගී ගායනයෙන් සම්බන්ධ වුණා. ඒ වගේම එහි ප‍්‍රධාන චරිතයකුත් කළා. හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවා මගේ දුවෙක් හරි පුතෙක් හරි කලාවට සම්බන්ධ වෙයි කියලා. නමුත් මා එයට ඔවුන්ට බල කරන්නේ නැහැ. මගේ පියා ගැන සඳහන් කළ යුතුමයි. ඔහු තමයි අඹ යහළුවෝ සම්මුඛ පරීක්ෂණයට මාව එක්කන් ගියේ එයා තමයි මගෙ ළඟින්ම හිටියේ. මං අධ්‍යක්ෂණය කළ පළමු නාට්‍යය විතරයි, එයාට බලන්න ලැබුණේ. එදා එයා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ඒක බැලූවා.
ඉදිරි වැඩ කටයුතු කොහොමද?
දිගටම නයින්හාට්ස් ආයතනය සමඟ වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නයින්හාට්ස් ආයතනයේ ප‍්‍රධානියා තිලක් ගොඩමාන්න සහ ආයතන කළමනාකරු ඉන්දික රත්නායක මහත්තයාව මේ වෙලාවේ මතක් කළ යුතුයි. නිදහසේ කලා කටයුතුවල නියැළෙන්න ඔවුන් ඉඩ ප‍්‍රස්තාව හදලා තියෙනවා. තිලක් ගොඩමාන්න කියන්නේ කලාවට බොහොම කැමති කෙනෙක්. බඹරු ඇවිත්, පාර දිගේ වැනි සිනමාපට ඔහුගේ නිෂ්පාදනයන්.
මගේ ලොකුම හීනය තමයි චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක. නිවෙසට වෙලා ඉන්න සිදුවූ කොවිඞ් සමයේදී චිත‍්‍රපට පිටපතක් ලිව්වා. ඒක මගේ ස්වතන්ත‍්‍ර නිර්මාණයක්. මේ දිනවල නිෂ්පාදකවරු කිහිප දෙනෙක් සමඟ ඒ ගැන සාකච්ඡුා කරනවා. මේ චිත‍්‍රපටය තමයි දැන් මගේ ලොකුම හීනය.
ඒ වගේම අඹ යහළුවෝ ප‍්‍රති නිර්මාණය කරමු කියලා ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒක සම්පූර්ණ අසාර්ථක නිර්මාණයක් බවට පත් වෙනවා, නැවත කරන්න ගියොත්. නමුත් ටී.බී.ඉලංගරත්න විසින් අඹ යහළුවෝ නමින් ලියූ ‘ශිෂ්‍යත්වය‘ නවකතාව ගැන නම් මට යම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වැඩ කටයුතුවලට අවධානය යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඇඳුම් සැපයීම - Lady center පිළියන්දල
ඡායාරූප- නිශ්ශංක විජේරත්න