ඔබේ රට මගේ හදවත හොරාගත්තා

ඉන්දියානු නිළි අක්ෂතා සොනාවනේ
ජූලි 21, 2022


 
 මේ දිනවල තිරගතවන සෙකන්ඞ් ෂෝ චිත‍්‍රපටයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා එහි ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ඉන්දීය නිළි අක්ෂතා සොනාවනේ ලංකාවට පැමිණියේ පසුගිය 6 වැනිදා. පවතින වාතාවරණය හමුවේ තම චිත‍්‍රපටය වෙනුවෙන් ලංකාවට ආ ඇය සමඟ කතා කරන්න සරසවිය අප අමතක කළේ නෑ. අක්ෂතා චිත‍්‍රපටය ගැන වගේම ඇය ගැනත් අප සමඟ කළ කතාබහකි මේ.
 
 
 
 අක්ෂතා ඔබේ චිත‍්‍රපටය තිරගත වෙනවා. මොකද හිතෙන්නේ?
 
 ඔව්. චිත‍්‍රපටය තිරගත වුණා. ඒ ගැන සතුටුයි. ඒත් එක්කම පොඩි දුකක් තියෙනවා ලංකාවේ පවතින තත්ත්වය ගැන.
 
 ඔබ ඉන්දියාවේ කොහේද ජීවත් වෙන්නේ?
 
 මම ඉපදුණේ, පාසල් ගියේ මුම්බායේ. දැන් මගේ වැඩවල පහසුවට මම හයිඩ‍්‍රාබාද්වල ඉන්නේ.
 
 අක්ෂතා රංගනයෙන් දායකවෙලා තියෙන චිත‍්‍රපට ගැනත් කියමු?
 
 මම ක්ෂීර සාගර මධනාම් (2021* සහා පෝස්‍ටර් (2021* වගේම මේ වසරේදී ගෝල්මාල් යන තෙළිඟු‍ චිත‍්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. සෙකන්ඞ් ෂෝ මගේ පළමුවැනි සිංහල හා දෙමළ චිත‍්‍රපටය. මෙය මට විශේෂයි.
 
 සෙකන්ඞ් ෂෝ කණ්ඩායම කොහොමද? විශේෂයෙන්ම ඔබේ නිෂ්පාදිකා කෞශල්‍යා?
 
 මට මුලින්ම කෞශි මැඩම් මුණ ගැසෙන්නේ ලන්ඩන්වලදි. ඇය ඉතාම උණුසුම් අයුරින් මාව පිළිගත්තා. ඇය හැමෝටම උදව් කරන ඉතාම හොඳ කෙනෙක්. ඇය අපූරුයි. ඒ වගේමයි සෙකන්ඞ් ෂෝ කණ්ඩායම. ඔවුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. කෞශි මැඩම් මට උදව් කළා සිංහල දෙබස් නිවැරදිව උච්චාරණය කරන්න. ඇය විශේෂ අවධානයක් ලබා දුන්නා මට.
 
 ඔබ කැමැතිද සිංහල භාෂාවට?
 
 මම හරිම ආසයි මේ භාෂාවට. එය හරිම මිහිරි භාෂාවක්. ඇත්තෙන්ම එය ඇහෙනවිට කනට කිසිම අපහසුවක් නැහැ. ඒ තරම්ම මිහිරියි. මට මතකයි මට මුලින්ම සිංහල අහන්න ලැබුණේ ලන්ඩන්වලදි. සිංහල වගේම දෙමළ භාෂාවත් උච්චාරණය කිරීම නම් බොහොම අපහසු වුණා.
 
 ඒත් ඔබ හැඟීමෙන් සිංහල උච්චාරණය කරනවා කියලයි පෙනුණේ?
 
 ඔබ දන්නවද? මම සම්පූර්ණ පිටපතම මගේ මව් භාෂාවෙන් ලියාගත්තා. ඒ වගේම දෙබස්වල තේරුම වචනෙන් වචනෙට අහගත්තා. එවිට මට හැකි වුණා මගේ හැඟීම් එක්ක දෙබස් උච්චාරණය කරන්න. ඔබ දන්නවාද එය මට හෝම් වර්ක් එකක් වගේ. මේ දෙකම මට අලූ‍ත් භාෂාවන් නිසා මම ගොඩක් බය වෙලා හිටියේ. ගොඩක් මහන්සි වෙන්නත් වුණා.
 
 ඔබත් සමඟ රංගනයේ යෙදුණ අපේ නළු හේමාල් රණසිංහ කොහොමද?
 
 ඔහු හරිම හොඳයි. මම ඔහුවත් මුලින්ම දුටුවේ ලන්ඩන්වලදි. ඔහුගේ පෙනුමට වඩා ගතිගුණ හරිම වෙනස්. ඔහු හරිම විනෝදකාමියි. නමුත් වැඩ කරන වෙලාවට හරිම සීරියස්. සෙට් එකේදී හරිම ප්‍රොෆෙෂනල්. චිත‍්‍රපටයේදී නම් ඔහු මා සමඟ නොවෙයි පල්ලවි (පල්ලවි සුභාෂ්* සමඟයි වැඩිපුර රංගනයේ යෙදෙන්නේ. අපි දෙන්නට ගොඩක් දර්ශනවල එකට රඟපාන්න තිබුණේ නැහැ. නමුත් ඔහු මගේ හොඳ යාළුවෙක් වුණා. දර්ශන තලයේදී අන් කාටත් වඩා හේමාල් එක්කයි මම එකතු.
 
 සෙකන්ඞ් ෂෝ රූගත කිරීම් අතරවාරයේ දී ඔබට සිදු වූ මිහිරිම සිදුවීම් මතක් කරන්න කිව්වොත්?
 
 මට මතකයි අපි ලන්ඩන්වල රූ ගත කිරීම් කරද්දි අපේ රූගත කිරීම් එදා ඉක්මනටම ඉවර කළා. පසුව අපට හෝටලයට යන්න කාර් එක ආවත් මට ලන්ඩනයේ ඇවිදින්න ඕන වුණා. මම හේමාල්ගෙන් ඇහුවා ඔයාට ආපහු හෝටලයට දැන්ම යන්න ඕනද කියලා. එය මම ඔහු සමඟ සාකච්ඡුා කළ පළමු අවස්ථාව. ඔහු ඔව් කිව්වත් අප සමඟ එන්න කැමැති වුණා. මමයි මගේ වේශ නිරූපණ ශිල්පියා සහ හේමාල් අපි තුන්දෙනා මුළු‍ දවසම ? වෙනකම්ම එළියේ ගතකළා. එය නම් මට අමතක කරන්න බැරි සුන්දර දිනයක්.
 
 ඔබ ඔබේ රටේ විවිධ කලා නිර්මාණවලට දායක වෙලා තියෙනවා. ඔබේ රටේ නිර්මාණකරුවන් සහ මගේ රටේ නිර්මාණකරුවන් සමඟ වැඩ කරද්දි ඔබට දැනුණ සමානකම් හා අසමානකම් මොනවද?
 
 මම තෙළිඟු‍ චිත‍්‍රපටවල වැඩ කරද්දිත් මට ඒ භාෂාවත් මේ වගේම අපහසු වුණා උච්චාරණය කරන්න. ඒ ප‍්‍රශ්නයට මම මෙහෙදිත් මුහුණ දුන්නා. ඒ වගේම එහේ වැඩ කරද්දි ඔවුන්ගේ අරමුණ වැඩ පමණමයි. නමුත් කෞශි මැඩම් ඇතුළු පිරිස ඉතාම සුහඳශීලීව නම්‍යශීලීත්වයෙන් යුතුව හෘදයාංගමව නිර්මාණයට එහා ගිය දයාබරත්වයකින් සැලකුවා. සොයා බැලූ‍වා. කතා කළා. මේ මගේ ගෙදර නොවුණත් මේ අය එක්ක ඉද්දි ගෙදර ඉන්නවා වගේ හැඟීමක් මට දැනෙනවා. එය හරිම සතුටින් මම කියන්නේ.
 
 අක්ෂතා පෙම්වතියක්ද?
 
 දැනට මම තනිකඩයි. මට අවුරුදු 26 යි. (ඇය සිනාසෙමින් පැවසීය*
 
 එය නම් හොඳ පණිවුඩයක් වෙයි ඔබට ආදරේ කරන අයට විශේෂයෙන්ම පිරිමි ළමයින්ට?
 
 ඔව්.ඔව්. (ඇය නැවත සිනාසෙයි*
 
 ඔබේ පවුලේ විස්තර?
 
 අම්මා තාත්තා සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. මගේ තාත්තා පොලිිස් නිලධාරියෙක්.
 
 ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවද ලංකාවේ තවත් නිර්මාණවලට දායක වෙන්න?
 
 අනිවාර්යයෙන්ම. කිහිප දෙනෙක්ම මා සමඟ කතා කළා අලූ‍ත් නිර්මාණ කරන්න. බලමු.
 
 ඔබේ ප‍්‍රියතම නළුවා හා නිළිය කවුද?
 
 මගේ ප‍්‍රියතම නළුවා රන්වීර් සිං. ඔහු චරිතාංග නළුවෙක්. නිළියෝ නම් බොහොමයක් ඉන්නවා. ඒ අය අතරින් දීපිකා පදුකෝන් විශේෂයි. ඇය ගොඩක් දක්ෂයි.
 
 රංගනයට අමතරව ඔබ සතු දක්ෂතා ගැනත් කියමු?
 
 මම ඉතාම හොඳ නර්තන ශිල්පිනියක්. මම භරත නාට්‍යම් ඉගෙනගෙන තියෙනවා. ඉන්දියන් ක්ලැසිකල් විශේෂයෙන්ම ලතින් ඩාන්ස් ප‍්‍රගුණ කරලා තියෙනවා.
 
 අක්ෂතා මගේ රට කොහොමද? ලංකාවේ කෑමබීමවලට ඔබ කැමැතිද?
 
 ඔබේ රට මගේ හදවත සොරාගත්තා. විශේෂයෙන්ම කෑම. මම මෙහෙ ආවට පස්සේ මුලින්ම ඇහුවේ කෝ ඉස්සො කරිය කියලා. සී ෆුඞ්වලට මම හරිම කැමැතියි. ඉ`දියාප්ප, කිරිහොදි, පොල්සම්බල්. මම ආසම කෑම. පොල්සම්බල් හරිම සැරයි. ශ‍්‍රී ලාංකික කෑමවල රසනම් පුදුමසහගතයි. මතකයට එද්දිත් බඩගිනියි (ඇය සිනාසෙයි*.
 
 ඔබ මගේ අසල්වැසි රටේ කෙනෙක්. ලංකාව අද මුහුණ දෙන තත්ත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?
 
 මම මුලින්ම ලංකාවට ආවේ අවුරුදු හතරකට කලින්. මට හිතුණා මේ රට හොඳ සැලසුමකට අනුව යන රටක් කියලා. ඉතා සාමකාමී ලෙස දියුණුවන රටක් කියලා. මේ මගේ දෙවෙනි ගමන. ඇත්තටම මම මේ නිවාඩුවකට ආවා නොවෙයි. මගේ චිත‍්‍රපටයේ ප‍්‍රචාරණ වැඩවලටයි ආවේ. අද බලනවිට මගේ හදවතට ලොකු වේදනාවක් දැනුණා. ඔබ දන්නවාද මම ඉන්දියාවේ දී පහසුවෙන් පුටුවක වාඩිවෙලා ප‍්‍රවෘත්ති කියවද්දි මට මේ තරම් ලංකාවේ මිනිස්සු අපහසුවෙන් ජීවත්වෙනවා කියලා දැනුණේ නෑ. නමුත් මම ලංකාවට ආවට පස්සේ මගේ ඇස් දෙකෙන් දකිනවිට මගේ හදවත කඩාවැටුණා. ඇත්තටම මාධ්‍ය පෙන්වන දෙයට වඩා ලොකු දුකක් ලංකාවේ මිනිස්සු විඳිනවා. මම මෙහෙට ආවට පස්සේ ඒ සැබෑ තත්ත්වය මට තේරුණා. මම කැමැතියි මුළු ලෝකෙටම කියන්න ඔබට හැකි අයුරින් ලංකාවට මේ වෙලාවේ උදව් කරන්න කියලා.
 
 අවසාන වශයෙන් අක්ෂතාට මොනවද කියන්න තියෙන්නේ?
 
 මේ චිත‍්‍රපටය කිරීමට මාව සම්බන්ධ කරගත්තාට මම කෘතඥවනවා. අලූ‍ත් භාෂා, (සිංහල, දෙමළ ඇතුළුව* අලූ‍ත් සංස්කෘතියක්, හොඳ මිනිස්සු හඳුනාගැනීමට මට ලැබුණා. එය වාසනාවක්. මම ප‍්‍රාර්ථනා කරනවා ලංකාව මුහුණ දෙන මේ අපහසු කාලය ඉක්මනටම පහව ගිහින් හැමදේම යහපත් අතට හැරෙන්න කියලා.
 
 
 සේයාරුව - නිශ්ශංක විජේරත්න