මහා වෘක්ෂයක් ළඟට ගියාම ඉන් ලැබෙන සෙවණ කොතරම් වටිනවාද

‘සිනේමා’ චිත්‍රපටයෙන් දොරට වඩින නවතම රංග ශිල්පී මේඝ සූරියආරච්චි
සැප්තැම්බර් 8, 2022

 

මේඝගේ ගමන ආරම්භ වන්නේ කොතැනින්ද?

මම අධ්‍යාපනය හදාරන්⁣නෙ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලෙන්. පසුව උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයටත් ඇතුළත් රූපණවේදය සහ සිනමාකරණය පිළිබඳවත් හදාරමින් සිටිනවා. මගේ මවුපියන් වෛද්‍ය වෘත්තියෙ වුණත් පියා දැඩි ලෙස කලාවට නැඹුරු වෙච්ච කෙනෙක්. ඒ ආභාෂය නිසා අපි සියලු දෙනාම කලාවට නැඹුරු වෙලා ඉන්නේ. මගේ ගෙදර පසුබිම තමයි මට සිනමාකරණයට එන්න දායක වුණේ කියලයි මම හිතන්නේ. දැන් සියලු දෙනාම කියන්නේ පියාගේ අඩි පාරේ යනවා කියලයි. එහි නිවැරදිතාවයක් තියෙනවා කියලා මම හිතනවා. කුඩා කාලයේ පටන් මම සිනමාපට ගොඩක් බලනවා. ඒ වගේම සිනමා පොත්පත් කියෙවුවා. මේ නිසා මට ප්‍රායෝගිකව පුහුණුවක් ලැබුණා කියලා මම එක පැත්තකින් හිතනවා.

 

ඔබ මේ ආරම්භ කරන්නේ ඔබේ වෘත්තිමය ජීවිතයද?

මට තියෙන්නෙ මේ විෂය පිළිබඳව තිබෙන ආසාවක් හා හැදෑරීමක් පමණයි. මොකද මං සල්ලි හම්බ කරන්න මේ වෘත්තියෙ රැඳී සිටින්න බලාපොරොත්තුවක් නැහැ. සමහර විට ඉදිරියේදී මෙය වෘත්තියක් වෙන්නත් පුළුවන්. ඒක මට හරියටම නිශ්චිතවම දැන් කියන්න අමාරුයි.

 

ඔබේ ප්‍රතිරූපයත් එක්ක ඔබ රංගනයට සුදුසුයි කියලා සිතනවාද?

මගේ ආසාව තියෙන්නේ නිර්මාණවේදයටයි. රූපණවේදයට වැඩා මම ප්‍රිය කරන්නේ නිර්මාණවේදය සමඟ ගැටීමටයි. සෑම රටකම මේ වෘත්තියේ නියැළෙන බොහෝ පිරිස් ඉන්නවා. ඒත්, ඒ සියලු දෙනාම රූපණවේදයට දක්ෂයෝ කියලා මම කියන්නේ නෑ. සමහර විට මම දක්ෂ වෙන්නත් පුළුවන්, අදක්ෂ වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්නේ මම නෙමේ, ප්‍රේක්ෂකයායි. සමහර විට අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා තෝරන නළුවා හෝ නිළිය ඒ චරිත සුදුසු නැති වෙන්න පුළුවන්. එහෙත් එහි පසුබිම වෙනස් වෙන්නත් පුළුවන්. නොයෙක් කතන්දර ගොන්නක් කැටි කර ගනිමින් තමයි මේ නිර්මාණ බිහිවෙන්නේ. ඒ නිර්මාණ බිහි වෙනකොට ඒවායේ පසුබිම සොයනවට වැඩිය සම්පත් දායකත්වය ලබා ගන්නේ කොහොමද කියන එක තමයි හැමෝම හිතන්නේ.

එක්තරා ටෙලි නාට්‍යයකට ජයන්ත චන්ද්‍රසිරි ඔබව සම්බන්ධ කර ගන්නවා නේද?

ඔව්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මාව සම්බන්ධ කර ගන්නවා ඔහුගේ " නන්නත්තාර " කියන ටෙලිනාට්‍යයට.

මම එහි ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙනවා. මේ වෙන විට එහි පසු නිෂ්පාදන කටයුතු සිදු වෙමින් පවතිනවා. හරි අපූරු කතන්දරයක්. මේ තුළ ගොනු කරල තියෙන්නෙ. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා සමඟ මම හරි ආසාවෙන් වැඩ කටයුතු කළේ. ඔහු වැනි අධ්‍යක්ෂකවරයකුගේ නාට්‍යයක රංගනයේ නියැළෙනවා කියන්නේ පාසලකට යනවා හා සමානයි. මහා වෘක්ෂයක් ළඟට අපි ගියාම එයින් ලැබෙන සෙවණ කොපමණ වටිනවාද? අන්න එවැනි දෙයක් මට ලැබුණා. එයින් ලැබුණු ආභාෂය මට මගේ ගමනට ගොඩාක් රුකුලක් වුණා. ටෙලි නාට්‍යවල රංගනයට නියැළෙන්නට මට කාලය හරිම අල්පයි. ඒත්, හොඳ නිර්මාණයක් ඉදිරියට ආවොත් මම කොහොම හරි කාලය සොයාගෙන එයට දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

" සි⁣නේමා"හි ජාලිය ගැන සිතෙන්නේ මොනවාද?

ජාලිය කියන්නේ තම පාසල් කාලය අවසන් කර තරුණ අවධිය ගත කරන්නෙක්. මේ චරිතය කරන කාලෙම තමයි මමත් උසස් පෙළ අධ්‍යයන කටයුතු අවසන් කර ගෙදරට වෙලා ඉන්න කාලේ. මේ චරිතය තුළජාලියත් මාත් අතර කිසිදු වෙනසක් තිබුණෙ නෑ කියලා මම හිතනවා. මොකද ඔහු සොයන්නේ සිනමාව පිළිබඳව අධ්‍යයනයක්. මාත්‍ ඒ කාලේ සිනමාව පිළිබඳ අධ්‍යයනයක් කරමිනුයි සිටින්නේ. සිනමා නිර්මාණයකට දෙන්න පුළුවන් උපරිම දායකත්වය මම දුන්නා කියල හිතනවා. මොකද ජාලියට හරි උනන්දුවක් හා වගකීමක් තිබුණා සිනමා කර්මාන්තය වෙනුවෙන් යමක් සොයන්නට. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නිර්මාණය බිහිවෙන්නේ. ජාලිය වගේ සෙවීම් කරන්න ඕන අය මේ ගැන හොයන්නට ඒවි කියල මමත් හිතනවා.

 

" සිනේමා " සිනමාපටයේදී එහි අධ්‍යක්ෂවරයා වන ඔබේ පියා, ඔබ දකින්නේ කෙසේද?

මම " සිනේමා " සිනමාපටය තුළ මගේ පියා හැම වෙලේම දැක්කේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා ලෙසට පමණයි. මම එහි දර්ශන තලයට යන්නේ නළුවෙක් හැටියට පමණයි. දර්ශන තලයේ සිටින සෑම මොහොතකම මං අධ්‍යක්ෂකවරයාට අවනතවයි කටයුතු කරන්නේ. ඔහු මගේ පියා කියාලා නිර්මාණයට දායකත්වය දෙන්න ගියොත් එම නිර්මාණය සාර්ථක වෙන්නේ නෑ කියලා මම හිතනවා. අධ්‍යක්ෂකවරයාත් කිසිවිටකත් මම ඔහුගේ පුතා කියන තැනට එන්නේ නෑ. ඔහු හැම වෙලේම කටයුතු කරන්නේ ඔහුගේ මනසේ ඇඳුණ චිත්තරූපය මගේ චරිතය තුළින් ප්‍රතිනිර්මාණය කිරීමට පමණයි. මේ නිර්මාණයේදි මම දැක්ක එකම දේ තමයි අපි දෙන්නා අතර සන්නිවේදනයට පහසු වුණා අපි හරි සමීප නිසා. ඒක ලොකු දෙයක් වුණා නිර්මාණයට.

 

අධ්‍යක්ෂකවරයෙකු වීමේ සිහිනය කරා ඔබ ගමන් කරනවාද?

ඒ සිහිනය තිබුණා සහ තියෙනවා. මං මේ මොහොත වෙනකොටත් ඒ අවධිය කරා පියමනිමින් සිටින්නේ. සිනමා වේදය හා රූපණවේදයේ මම ආසම පැතිකඩක් තමයි අධ්‍යක්ෂණය කියන්නේ. කුඩා කාලයේ ඉඳන්ම මම ඒ දේට හරි කැමැත්තෙන් හිටියේ. හැබැයි මම හිතුවේ ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කියන ආකෘතියට ඇතුළුවීමටයි. අධ්‍යක්ෂණය විෂයයක් විදියට, භූමිකාවක් හා නිර්මාණකරුවෙකු හැටියටත් ඉදිරියටම යෑම තමයි මගේ අරමුණ වෙන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට මම සිනමා අධ්‍යක්ෂණයක් කළා. ඒ ථචපඪදඥ ඤපඪමඥප සිනමා නිර්මාණයි. මගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ මෙයයි. මෙහි පසු නිෂ්පාදන කටයුතු මේ වන විට කරමින් පවතිනවා.

 

අධ්‍යක්ෂකවරයකු ලෙස ඉදිරියට එන ඔබ, මෙරට සිනමාව කර්මාන්තයක් ලෙසට දකිනවාද?

මම ඒ ගැන නම් කොහෙත්ම කියන්න නෑ අපේ රටේ ඔය කියන විදියට සිනමා කර්මාන්තයක් තියෙනවාද කියලා. මොකද සිනමා කර්මාන්තයක් අප රට තුළ තියෙනවා කියලා කියන කොට්ඨාසයකුත් ඉන්නවා. හැබැයි මම හිතන්නේ ඔහු සිනමාව පිළිබඳ හරියාකාරව දැනගෙන නෙමෙයි කතා කරන්නෙ කියලා. දන්න කිසිවකු මේක කර්මාන්තයක් කියලා ලෙබල් ගහන්න දඟලන්නේ නැහැ . හැබැයි එක පැත්තකින් මේක ව්‍යාපාරයක් හැටියට ක්‍රියාත්මක වෙනවා කියන එක නං කියන්න පුළුවන්. සිනමාව කර්මාන්තයක් ලෙස නඟා සිටුවන්නට ගොඩක් මේ තුළ බීජ රෝපණය කළ යුතුයි. හැබැයි මම හිතන්නේ මූලික අඩිතාලම සකසන්නේ නැතුව කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්න අමාරුයි. මේ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා සියලු දෙනාම එකතුවෙලා හැම අංශයකම සිටින නිර්මාණවේදීන් මෙයට තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණය යෙදවිය යුතුයි. ප්‍රවීණයන්ගේ ආභාසය ලබාගෙන තරුණ පිරිස් හට මේ ව්‍යාපාරය කරගෙන යන්න ඉදිරියට ඔවුන්ට ශක්තියක් වුණොත් මෙය නඟාසිටුවන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

 

ඔබේ විෂය ධාරාවට අදාළව අනාගතයේ කෙසේ වෙයිද?

මට දැනෙන දේ සහ අන් අයට දැනෙන දේ නිර්මාණයක් තුළින් එළි දැක්වීම තමයි මගේ ඒකායන අරමුණ. ඕනෑම විෂය පථයක මුලින්ම කළ යුත්තේ ජන විඥානය හඳුනා ගැනීමයි. එය නිවැරැදිව හඳුනා ගත්තොත් පාර අපිට සකසන්න පුළුවන් වෙනවා. ඉදිරියේදී හම්බවෙන පාරවල් කෙසේද ඒ පාරවල්වල යන්නේ කෙසේද කියලා අපි තීරණය කළ යුතුයි. තරුණ නිර්මාණකරුවන් ඉදිරියට ආ යුතු කාලයක් කියල මම හිතනවා. සිනමා නිර්මාණ වේදියෙකු ලෙස මම දකින්නේ මහලු වුණත් තරුණ ජවයක් තිබිය යුතුයි. ඒ නිසා අපේ අනාගතය සුබවාදීව දකින්න පුළුවන් වෙන්නේ තරුණ මහලු භේදයකින් තොරව ගුණාත්මක නිර්මාණ සමාජගත කළොත් පමණයි.