වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
හොඳ චිත්‍රපට හැදුවොත් පෙන්වන්න අප සූදානම්

ඔස්ට්‍රේලියාවේ අපේ සිංහල චිත්‍රපට පෙන්වනවා. වේදිකා නාට්‍ය වගේම ප්‍රසංග පවත්වනවා. මේ කාර්යය කරන්නේ කවුද?ඔහු මාලක යාපා. ලංකාව හා ඕස්ට්‍රේලියාව පමණක් නොව නවසීලන්තයද යා කරගෙන අපේ කලාව ලෝකෙට අරගෙන යන මාලක සමඟ සරසවිය අප කතා කරන්න හිතුවා.
මාලක මම කැමතියි මුලින්ම ඔබ ගැන දැනගන්න?
පාසල් අධ්‍යාපනයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මම ඔස්ට්‍රේලියාවට එන්නේ 2005 වසරෙදි. මට ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධි ද්විත්වයක් තිබෙනවා. ව්‍යාපෘති කළමනාකරුවෙක් විදිහට වසර පහළොවක් සේවය කරනවා. ඒ අතරතුර ලංකාවේ යුද්ධය ඉතා දරුණුවට යද්දි 2009 වසරෙදි මම වෙනස්ම ආකාරයට ඔස්ට්‍රේලියාවේ උද්ඝෝෂණය සංවිධානය කළා. එයින් පසුව විවිධ සමාජ ක්‍රියාකාරකම්වල නියැළුණා. මුලින්ම නාට්‍ය හා ප්‍රසංග ඔස්ට්‍රේලියාවේ පෙන්වන්න ගත්තේ 2014 වසරෙදි.
ඔස්ට්‍රේලියාවට අපේ කලාව අරගෙන එන්න ඕන කියන සිතුවිල්ල ඇති වුණේ කොහොමද?
ඔස්ට්‍රේලියාවේ සිංහල කතා කරන අය එක්ලක්ෂ දහදාහක් පමණ ඉන්නවා මීට පෙර සංගණනය අනූව. මෙයින් හැට පන්දාහක් හැත්තදාහක්ම ඉන්නේ මෙල්බර්න්වල. ඔස්ට්‍රේලියාවේ සමහර නගරවල සිංහල දෙන්නෙක් හම්බුණත් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඒත් මෙල්බර්න්වල එහෙම ප්‍රතිශතය අඩුයි. සිංහල කතා කරන ප්‍රේක්ෂකයාට සිංහල මාධ්‍යයෙන්ම විනෝදාස්වාදය ලබා දෙන්න පුළුවන් නම් කියන සිතුවිල්ලත් එක්ක පාසල් කාලයේත් මම ඉගෙනීමට වඩා බාහිර ක්‍රියාකාරකම්වලට මුල්තැන දුන් කෙනෙක්. පොඩි කාලේ ඉඳලම මම සම්බන්ධීකරණ කටයුතු කරන්න සැලසුම් සහගතව වැඩ කරන්න හරිම දක්ෂයි. ඒ බලපෑමත් හේතුවක් වෙන්න ඇති මේ කටයුතු කරන්න පෙලඹවෙන්න.
මෙගා ලයිව් ඉවෙන්ට්ස් ආරම්භය ගත්තේ?
2014 වසරෙදි සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍යයි මම මුලින්ම ඔස්ට්‍රේලියාවට ගෙනාවේ. මම හැමමොහොතකම විශ්වාස කරන දෙයක් තමයි ව්‍යාපාර වර්ධනය වෙන්න නම් අපිට අලුත් සැලසුම් වගේම තාක්ෂණය තියෙන්න ඕන. ආරම්භයේදීම මම එක දිනයක් තුළ මේ නාට්‍ය පස්වාරයක් පෙන්නලා තිබෙනවා. මට මතකයි මගේ සැලසුම භානුක මනෝරත්න (ජයලත් මනෝරත්නගේ පුතු) ට පෙන්වුවාම ඔහු පුදුම වී මාලක අපේ තාත්තාට මෙය කරන්න පුළුවන් වෙයිද කියලා මගෙන් ප්‍රශ්න කළා. මම ඔහුට කිව්වා තාත්තාව මම බලාගන්නම් කියලා. සාමාන්‍යයෙන් නාට්‍යයක් සතියකට එකයි කරන්නේ. මම ඒ තත්ත්වය වෙනස්කළා. විශේෂයෙන්ම අපි යම් සැලසුමක අනූව උපාය මාර්ගිකව යම් කාර්යයක නියැළෙනවා නම් ඉතා පහසුවෙන් ඒ කාර්යය ජය ගන්න පුළුවන්.
මතකද ඔස්ට්‍රේලියාවේ කළ පළමු ප්‍රසංගය?
ඔව් ඔව් 2015 දී රූකාන්ත - චන්ද්‍රලේඛා හා කසුන් කල්හාර එක්ක ප්‍රසංගය කළේ. 100% ටිකට්ස් ඔන්ලයින් විකිණී තිබුණා. ඒක ලොකු ජයග්‍රහනයක්. මට වෙනසක් ඇති කරන්න පුළුවන් වුණා කියන සිතුවිල්ල අදටත් තිබෙනවා ඒ ප්‍රසංගය මතක් කරද්දි. මුලින් සංගම් එක්ක එකතු වී තමයි ප්‍රසංග කළේ. තනි තනිව කළේ නෑ. නමුත් මම එය සම්පූර්ණයෙන් වෙනස් කළා. එතෙක් තිබූ ප්‍රසංග සංවිධානය කළ ක්‍රමය මම වෙනස් කළා. හිතවත්කම් මත කළ ආරාධනාව වෙනුවට තමන්ගේ සීට් එක ඔන්ලයින් වෙන්කරගෙන ඇවිත් නිදහසේ ප්‍රසංගය බලන්න පුළුවන් තැනට මම එය නිර්මාණය කළා. එතෙක් කළ ප්‍රසංගවලට සාපේක්ෂව වැඩිම පිරිසක් පැමිණි ප්‍රසංගය එය වුණා. ඒ ගැන සතුටුයි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග සැලසුම් කරන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් ආර්ටිස්ට් කෙනෙක් අපි එක්ක වැඩ කරද්දි අපි වෙනම උපාය මාර්ගයන් (ඉබපචබඥඨර) හදනවා අවුරුදු ගණනකට. එවිට අපි දන්නවා ඒ ආර්ටිස්ට් ඊළඟ අවුරුදු ගණන තුළ කොහොමද ගෙනියන්නේ කියලා. ඔබට උදාහරණයක් පැවසුවොත් සුනිල් එදිරිසිංහ හෝ අමරසිරි පීරිස් වගේ කලාකරවෝ එක්ක සනුක වික්‍රමසිංහ වගේ කෙනෙක් හඳුන්වාදෙන්නේ කොහොමද කියන එක. එය අවුරුදු පහක හයක ව්‍යාපෘතියක්.
ඔබ ඇතුළුව ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග සංවිධායකවරු කී දෙනෙක් පමණ ඉන්නවද?
අපි ප්‍රසංග සංවිධායකවරුන්ගේ කණ්ඩායමක් නිර්මාණය කළා. අවුරුද්දට එක ප්‍රසංගයක් හෝ කරන සංවිධායකවරු 108 ක් පමණ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. මේ අය අතරත් සක්‍රීයව වසරකට වැඩි ප්‍රසංග ප්‍රමාණයක් කරන 6 ක් හෝ 7 ක් ඉන්නේ. ඒ අය අතරිනුත් ප්‍රතිශතයක් ලෙස ගෙන බැලුවොත් වැඩි ප්‍රමණයක් මම කරලා තියෙන්නේ.
මෙගා ලයිව් ඉවෙන්ට්ස් ඔබේ ආයතනය චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ප්‍රසංග පෙන්වීම සැලසුම් කරන්නේ කොහොමද?
මෙගාලයින් කොන්සර්ට්ස් හා මෙගා ලයින් මූවීස් ලෙස වර්ගීකරණයක් තිබෙනවා.
අපි සාමාන්‍යයෙන් දෙයක් සැලසුම් කරද්දි අවුරුද්දකට කලින් එය සැලසුම් කරනවා. උදාහරණයක් ඔබට කිබ්වොත් ලබන අවුරුද්දේ අගෝස්තු සහන් රන්වල යක්කු බොලව් සමඟ ඕස්ට්‍රේලියාවට එනවා. අපි මේ වනවිටත් එහි 70% ක පමණ සැකිල්ල හදලා තිබෙන්නේ. චිත්‍රපටයටත් එය එසේමයි.චිත්‍රපටයක් පෙන්වීමට මේ තරම් කාලයක් නොගත්තත් අඩු තරමින් මාස හයක්වත් යනවා. චිත්‍රපට ලොකේෂන් 25 ක පමණ මම කරනවා. මේ 25 එක්කම වැඩ කරද්දි අවුරුද්දකට දෙකකට කලින්වත් හොඳ සූදානම් වීමක් අවශ්‍යයයි. ඇතැම් වෙලාවට ආර්ටිස්ට් කෙනෙකුට හොඳ ඉල්ලුමක් තියෙනවා නම් අපි මාස තුනක වගේ කාලයකින් ප්‍රසංග සංවිධානය කරනවා. කොහොම නමුත් ආර්ටිස්ට් කෙනෙක් ගෙන්වනවිට බලපාන වීසා ප්‍රශ්න වගේ දේවල් නිසා අපි සැලසුම් සකස් කිරීමේදී වැඩි කාලයක් ඒ වෙනුවෙන් ලබා දෙනවා.
ඔබ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකම එකතු කරගෙනයි මේ කාර්යයන් කරන්නේ. කොහොමද එය සිදු වෙන්නේ?
ඔව්. ඒ ආකාරයට වැඩකිරීමේදී නියෝජිතයන් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් විශ්වසනීය හවුල්කරුවන් අවශ්‍ය වෙනවා. මුල් කාලයේදී මම සියලුම ප්‍රසංග වෙනුවෙන් බර කරටගෙන වැඩ කළත් දැන් වපසරිය විශාල නිසා එය එසේ කළ නොහැකියි. ඒ වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවලට නියෝජිතයන් පත්කර ගැනීම පහසුයි. මේ නියෝජිතයන් ප්‍රමිතියකට අනූව වැඩ කළ යුතුයි. වටිනාකම් තිබිය යුතුයි. ගැටලු ප්‍රශ්න සාකච්ඡා කළ යුතුයි. එහෙම වුණොත් අවංකවම අප කරන ව්‍යාපාරය ඉදිරියට කරගෙන යා හැකියි. මගේ නිෂ්පාදන කළමනාකරු වෙන්නේ භානුක මනෝරත්න. ලංකාවේ සිට මෙහෙ ඇවිත් ඉන්න ගොඩක් වේදිකා පරිපාලක ශිල්පීන් ආලෝකකරණ ශිල්පීන් වගේ අය අපි මේ වැඩවලට එකතු කරගන්නවා. මොකද ලංකාවේ නිර්මාණ මෙහෙ පෙන්වද්දි ඒ දැනුම තිබෙන අය එක්ක වැඩ කරන එක පහසුයිනේ. නිෂ්පාදන ආයතන සමඟත් සම්බන්ධව සහයෝගය ලබා ගනිමින් අපි වැඩ කටයුතු කරනවා. චිත්‍රපට පෙන්වීමෙදී මෙහි තිබෙන සිනමා සංකීර්ණවල තිබෙන තාක්ෂණය නිසා ඉතාම පහසුයි කටයුතු කරන්න. තාක්ෂණය නිසා මට මෙහෙ ඉඳලා සෑම කාර්යයක්ම කරන්න පහසුකම් තිබෙනවා. ඒ ඒ තැන්වලට යන්න අවශ්‍ය නැහැ. සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කරගන්න පුළුවන්. මොබයිල් නම්බර්ස් ප්‍රමාණයට පමණක් ඇඩ්වර්ටයිසින් සීමා වෙද්දි මෙල්බර්න්වල ඉන්න කෙනෙකුට මෙල්බර්න්වල පමණයි ප්‍රසංගයක් කරන්න පුළුවන්. දැන් අපිට සෝෂල් මීඩීයා හරහා හොඳ ප්‍රචාරණයක් කරන්න පුළුවන්.
ලංකාවේ කලාකරුවෝ එක්කර ගනිමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රසංග සංවිධානයේදී හෝ චිත්‍රපට පෙන්වීමේදී ඔබ මොනවගේ ක්‍රමවේදයක්ද ඒ වෙනුවෙන් අනුගමනය කරන්නේ?
ප්‍රධාන වශයෙන්ම ප්‍රසංගය හෝ චිත්‍රපට හෝ වේදිකා නාට්‍ය හෝ පෙන්වීමෙදී පාඩුව අවම වෙන්න ඕන. මම ඔබට එය මෙහෙම පැහැදිලි කර දෙන්නම්. ලංකාවේ ප්‍රසංගයක් කරන්න ලක්ෂ විස්සක් වගේ වියදම් වුණාට එය ඩොලර්වලට හරවා බැලුවොත් ඩොලර් දහදාහක් වගේ. ඒත් අපිට බෑන්ඩ් එකක් ලංකාවෙන් නොගෙන්වා ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් කරන්න ඩොලර් පනස් දහසක් පමණ යනවා. සංගීත කණ්ඩායමක් ගෙන්වාගෙන ප්‍රසංගයක් කරනවා නම් ඩොලර් අසූදහසක පමණ වියදමක් දරන්න වනවා. අපි හිතන්න ඕන අපි මොන ආකාරයට ද තේරීම් කරන්න ඕන ප්‍රසංගයක් නිර්මාණයේදී කියලා. මූලික වශයෙන්ම ඒ ඒ කාලවලදි ජනතාවගේ ඉල්ලුමක් ඇති ශිල්පින් අපි සම්බන්ධ කරගන්න අවශ්‍යයි. අනෙක් අතට 2014 ආරම්භයේ සිටම අපි සියයට සියයක්ම ඔන්ලයින් පමණයි ටිකට් විකුණන්නේ. එවිට අපි කල්තියාම එන පිරිස දන්නවා. මෙයත් අපි අනුගමනය කරන ක්‍රමවේදයක්. එක ප්‍රසංගයක් පාඩු ලැබුවොත් ප්‍රසංග තුනක පමණ ලාබය නැතිවෙනවා. චිත්‍රපට ගැන කතා කළොත් මම ඇතුළුව චිත්‍රපට පෙන්වන කැනඩාවේ රවි නවසීලන්තය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල මම ඇතුළුව නියෝජිතයෝ කිහිප දෙනෙක් සෑම ඉරිදාම ලංකාවේ වෙලාවෙන් සවස 5 ට ලධධථ ඔස්සේ චිත්‍රපටයක් බලනවා. ඒ ගැන කතා කරනවා. චිත්‍රපටයේ නළු නිළියන්ට, අධ්‍යක්ෂවරයාට, කතා තේමාවට, තාක්ෂණික කරුණු මේ වගේ දේ පිළිබඳ අපි කරන සාකච්ඡාවෙන් අනතුරුවයි චිත්‍රපටය පෙන්වීම තීරණය කරන්නේ. ගැළපෙන්නේ නැත්නම් අපි එය කියනවා. සමහර චිත්‍රපටවල ඇති යම් යම් කාරණා පැහැදිලි කර දීමෙන් පසුව වෙනස්කම්වලට භාජනය කොට එම චිත්‍රපට පෙන්වන අවස්ථා ද තිබෙනවා.
මේ වන විට චිත්‍රපට කීයක් පෙන්වලා තියෙනවාද? මේ දිනවල ප්‍රදර්ශනය වන චිත්‍රපටය මොකද්ද?
ගින්දරී, කවුරුවත් දන්නේ නෑ, කතුරු මිතුරු, ඇතුළුව චිත්‍රපට දහයක් දොළහක් පමණ පෙන්වලා තිබෙනවා. අපිට අවුරුද්දකට චිත්‍රපට අටක් වගේ පෙන්වන්න පුළුවන්.
ප්‍රචාරණ කටයුතු කොහොමද සිදු කෙරෙන්නේ?
බොහෝ වෙලාවට චිත්‍රපට නිර්මාණය කළාට අපි ඉල්ලන මාකර්ටින් මැටීරියල්ස් නැහැ. ඒ වෙලාවට ඒවා අපි අලුතින් නිර්මාණය කරන්න අවශ්‍යයි.
චිත්‍රපටයක් අපි තෝරගත්තාට පසුව එය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය ඇතුළුව ප්‍රාන්ත විසිපහක පෙන්වන්න පුළුවන් ද කියලා අපි තීරණය කරනවා. නොමැතිනම් අපි තීරණය කරනවා ප්‍රධාන නගර දහයක පෙන්වන්න. ඕස්ට්‍රේලියාවේ 8 ක සහ නවසීලන්තයේ දෙකක. සැම සති අන්තයකම ප්‍රේක්ෂකාගාරය 60% ක ප්‍රතිශතය ඉක්මවන තෙක් අපි චිත්‍රපටය පෙන්වනවා. ඊට අඩු ප්‍රතිශතයක් නම් පෙන්වන්නේ නැහැ. ඔබට උදාහරණයක් පැවසුවහොත් කතුරු මිතුරු චිත්‍රපටය මාර්තු සිට මේ දක්වාම ප්‍රදර්ශනය වනවා. මේ චිත්‍රපටය මේ තාක් අපි කළ ව්‍යාපෘතිවලින් වැඩිම මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබුණු ව්‍යාපෘතිය. අපේ නිෂ්පාදකවරු චිත්‍රපටය සඳහා මුදල් වියදම් කළත් ප්‍රචාරණය සඳහා මුදල් වියදම් කරන්නේ නෑ. මගේ ඩිසයිනස්ලා කිහිපයක් ලංකාවේ ඉන්නවා. ඒ අයට කියලා ප්‍රචාරණයට අවශ්‍ය ඒ ඒ ඩිසයින්ස් නිර්මාණය කරනවා. ඇතැම් චිත්‍රපටවල ඕස්ට්‍රේලියාවේ ප්‍රචාරණයට හැදූ ඩිසයින්ස් ලංකාවේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නවා. අපි හදන පෝස්ටර් ලංකාවේ කෝටි දෙකක් විතර බලනවා කියන්නෙම ලොකු දෙයක්.
ඔබට ලංකාවේ අයගෙන් මොනවගේ සහයෝගයක්ද ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ?
බොහෝ දෙනෙක් සහාය ලබා දෙනවා. මාධ්‍යද නිෂ්පාදනය සඳහාද සහයෝගය ලැබෙනවා. මෙය වාණිජමය දෙයක්. එය එසේ කරන්නේ ඇයි කියන සිතුවිල්ල ඇතැමෙකුට තිබෙන්න පුළුවන්. මම පමණක් නොවෙයි තනිවම මෙවැනි කටයුතු කරන බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. අපි අපේ වටිනාකම් හඳුනාගනිමින් වැඩ කරනවානම් ප්‍රශ්න අඩුයි. අපි ස්ථාවර වූ පසු ප්‍රතිචාර මතම පදනම්ව වැඩ කරන්න හැකියාවක් නැහැ. අපි දැනගන්න ඕන බහුතරයකගේ කැමැත්තට ගැළපෙන්න ප්‍රමිතියට අනුව වැඩ කරන්න.
අපේ රට පසුගිය කාලයේදි මුහුණ දුන් කෝවිඩ් වසංගත තත්වය අරගලය ආර්ථික අර්බුදය වගේ කාරණා මෙගා ලයිව් ඉවෙන්ට්ස් වෙත මොනවගේ බලපෑමක්ද ඇති කළේ?
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බහුතරයක් වෘත්තීමය රැකියාවක නියැළෙනවා. කොවිඩ් කාලය තුළ මිනිස්සු ගෙදර සිටිය නිසා පොලී අනුපාත අඩු කළ නිසා නිවාස සඳහා ගෙවන්න තිබුණු පොලී මුදල් අඩු වුණා. ඒ නිසාම මිනිස්සු අතර මුදල් වැඩි වශයෙන් තිබුණා. ලංකාවේ වගේම මෙහෙත් විනෝදාස්වාදය ලබන්න පෙලඹෙන්නේ සියයට හයක හතක ප්‍රතිශතයක්. කොහොම නමුත් පසුගිය කාලයේ මිනිසුන්ට තිබුණු මානසික තත්ත්වයෙන් මිදෙන්න වැඩි වශයෙන් ඔවුන් චිත්‍රපට බලන්න ප්‍රසංග බලන්න පෙලඹිලා තිබෙනවා.
එහෙම වුණත් ලබන වසරේ දී නැවත පොලී අනුපාත ඉහළ යාම සහ මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා වැඩි මුදලක් යෙදවීමට සිදු වන නිසා මේ තත්ත්වය වෙනස් වන්නට පුළුවන්. එය අභියෝගයක් කලාවේ නියැළෙන්නන්ට.
මාලක අපි දන්න දෙයක් තමයි ලංකාවේ අපේ කලකරුවෝ ගෙන්වලා කරන ප්‍රසංග හෝ වේවා යම් යම් කලා කටයුතු ඔබ ජීවත්වන ඕස්ට්‍රේලියාව වැනි රටවල කරන්නේ පෙරළා ලංකාවට ආධාර දීමට හෝ පිනට යමක් දෙන්න වගේ හැඟීමකින්. ඔබ මේ කලා කටයුතු කරන්නේ වාණිජ පරමාර්ථයකින් වගේම මේ කටයුතුවලින් ව්‍යවසායකයෙක් බිහි කරන්න රැකියා දෙන්න මොකද්ද ඔබේ තිබුණු වැඩපිළිවෙළ?
මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ
චැරිටි සඳහා කරන ඉවෙන්ට්ස් තිබෙනවා. අපි චැරිටි වැඩ කරනවා. චැරිටි වැඩ කරනවා නම් ඩොලර් දහය දහය එකතු කරලා දෙන්න. චැරිටි වැඩ කියලා ප්‍රසංග කරන්න එපා. මොකද ප්‍රසංගයට යන මුදල අයින් කරාම එකතු කරලා දෙන මුදලටත් අඩු මුදලක් දෙන්න වෙන්නේ. ' හුස්මට හයියක්' කියලා කැලණිය විශ්වවිද්‍යාලය සමඟ එකතුව චැරිටි වැඩසටහනක් කළා. කිසිම දෙයක් විකුණන්නේ නැතිව ඩොලර් ලක්ෂ දෙකහමාරක තුනක මුදලක් හොයලා දෙන්න පුළුවන් වුණා. ඇත්තටම චැරිටි වැඩක් කරන්න ඕන නම් තමන්ගේ අරමුණ හා විනිවිදභාවය පෙන්වලා කරන්න පුළුවන් නම් මිනිස්සු විශ්වාස කරලා සල්ලි දෙනවා. ඒකට ආප්ප නයිට් දාන්න හෝ කවුරුහරි ගායකයෙක් ගෙන්වලා සින්දු කියවන්න ඕන නෑ ඒ දේ කරන්න.
ලංකාවේ ඉවෙන්ට්ස් විතරද මෙගා ලයිව් ඉවෙන්ට්ස් කරන්නේ?
නැහැ. ශ්‍රී ලන්කන් ඉවෙන්ට්ස්වලට අමතරව පීටර් බෙන්ස් සමඟ ඉවෙන්ට්ස් කරලා තිබෙනවා. ඔහු ලෝකයේ හොඳම සහ වේගයෙන්ම පියානෝව වාදනය කරන පුද්ගලයා. එයාගේ ප්‍රසංග පහක් ඕස්ට්‍රේලියාව වටා කරලා තිබෙනවා. නැවත ඔහු ලබන අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට ගෙන්වීමට බලාපොරොත්තු වනවා.
මෙගා ලයිව් ඉවෙන්ට්ස් කල්තියා සැලසුම් සකස් කරමින් යන ගමනේ ලබන අවුරුද්ද සඳහා මොනවගේ සැලසුමක්ද තිබෙන්නේ?
අවුරුද්දේ සෑම ජුනි මාසයකම ප්‍රසංග සැලසුම් කිරීම සඳහා යොදා ගන්නවා. ලබන අවුරුද්ද සඳහා කරන ප්‍රසංග මේ වන විට අපි සැලසුම් කර අවසානයි. ආර්ටිස්ට්ලා සම්බන්ධ කර ගැනීම, එයට අවශ්‍ය මූල්‍යමය කාරණා, මේ කාලයේදී කරමින් ඉන්නවා. ප්‍රසංග සඳහා අවශ්‍ය ඉඩ වෙන්කර ගැනීම ආදී කරණා ඒ වසර ආරම්භයට පෙර අපි කරනවා. ලබන වසර සඳහා ප්‍රසංග යම් ප්‍රමාණයක් තිබෙනවා. චිත්‍රපට වුවත් අපි හොඳීන් තෝරාබේරාගෙන පෙන්වන්නේ සහ ප්‍රචාරණය කරන්නේ. හොඳ ප්‍රචාරණයක් එක්ක පෙන්වද්දි වසරකට උපරිම චිත්‍රපට 8/9ක් පමණයි පෙන්විය හැක්කේ. විශේෂයෙන්ම චිත්‍රපට පෙන්වීමේදී ඒ ගැන වඩා සැලකිල්ලක් එහි ප්‍රමිතියට ලබා දිය යුතුයි. ප්‍රේක්ෂකයා බලන චිත්‍රපටය හොඳ ප්‍රමිතියට අනූව නොතිබුණොත් ඔවුන් ඒ චිත්‍රපටය පමණක් නොව සියලු සිංහල චිත්‍රපට නැරඹීමෙන් වැළකී සිටිනවා. ඒ නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය හා විනෝදාස්වාදය සැපිරිය හැකි චිත්‍රපට පෙන්වීමට අපි වගබලා ගත යුතුයි.
ඔබ ඔස්ට්‍රේලියාව පමණක් නොව රට රටවල් අතර මේ කටයුත්ත සඳහා යම් ජාලයක් නිර්මාණය කරලා තිබෙනවා. කැනඩාවේ රවි, ඇමෙරිකාව තුසිත ආදී වශයෙන්. ඊළගට මේ නෙට්වර්ක් එක යන්නේ කොයි දිශාවටද?
(සිනාසෙමින්) ඔව් ඔව්. අපි අපේ අදහස් බෙදා ගනිමින් මේ කාර්යය කිරීම ඉතාම පහසුයි. රටවල් අතර මහද්වීපය අතර අපි අපේ තොරතුරු හුවමාරු කර ගැනීම තුළින් ගෝලීය උපාය මාර්ග හදාගන්න පුළුවන්. ඊළඟට ඩුබායි සහ ඉතාලියට මේ නෙට්වර්ක් එක විහිදෙනවා නම් කැමැතියි. මේ ලිපිය දැකලා හරි අපි එක්ක සම්බන්ධ වෙන්න කැමැති කෙනෙක් ඉන්නවානම් අපිට එකතුවෙලා වැඩ කරගෙන යන්න පුළුවන්.
ලංකාවේ නිර්මාණකරුවන්ට ඔබට මොනවද කියන්න තිබෙන්නේ?
හොඳ නිර්මාණ කරන්න අපි ඒ නිර්මාණ පෙන්වන්න සූදානම්. ඒ වගේම යම් නිර්මාණයක් කරනවානම් පිටපතේ සිටම බෙදාහරින්නන් එක්කත් කතා කරන්න පුළුවන් නම් නිර්මාණයේ සාර්ථකත්වය වැඩියි. මොකද නිර්මාණ කරන්නේ මිනිස්සුන්ටනේ. නිර්මාණය හා මිනිස්සු අතර පාලම වෙන්නේ අපි නම් අපි එක්ක ප්‍රේක්ෂක ප්‍රතිචාරය හොඳටම හඳුනාගෙන ඉන්නේත් අපි. ඒ නිසා නිර්මාණයේ පිටපතේ සිටම අපි සමඟ සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි. චිත්‍රපටය සම්පූර්ණ නිර්මාණයෙන් පසුව අපිට කතා කරලා ප්‍රතික්ෂේප වනවට වඩා කරන්න කලින් කතා කරලා යම් වෙනස්වීම් හෝ එකතු කිරීම් කරන්න පුළුවන් නම් සාර්ථකව නිර්මාණ කරන්න පුළුවන්. වේදිකව ගැන කතා කළොත් වේදිකා නාට්‍ය ගැන කතා කළොත් මෙහෙ ඉන්න ගයාන් කණිෂ්ක රාජපක්ෂ වේදිකා නාට්‍යයක් කරනවා. ලංකාවේ මේ වෙලාවේ තිබෙන හොඳ වේදිකා නාට්‍ය මොනවද කියලා මම දැනුම්වත් නැහැ. දැනුම්වත් වෙන්න ක්‍රමවේදයක් නැහැ. වේදිකා නාට්‍ය පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන් නම් එය හොඳයි.
කලාකරුවෝ?
ගොඩක් ආර්ටිස්ට්ලා හිතන්නේ තමන් මුදලක් කිවුවම ඒ මුදලට කැමැති වෙන කෙනා එක්ක ප්‍රසංග කරන්න. නමුත් ඔවුන්ට බලන්න පුළුවන් නම් ඔවුන්ගේ ප්‍රතිරූපය ගොඩනඟාගන්න මඟපෙන්වන්නේ කවුරුන්ද කියලා සහ තමන් තමන්ව මාර්කට් කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව තව හිතනවානම් හොඳයි?
මේ තරම් වැඩ කරන ඔබේ පවුලේ විස්තරත් දැනගන්න කැමැතියි?
මට නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බිරිඳ මහේෂා. ඇය මනෝ විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක්. මම ව්‍යාපාර කටයුතු බලාගන්න අතරේ ඇය දරුවන් බලාගෙන ඉන්නවා. මගේ අම්මත් මං එක්ක ඉන්නවා මේ දිනවල.