වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
ගසක මුල ශක්තිමත් නැත්නම් වැටෙන බව දැනගන්න ඕනෑ

සම්මානයෙන් පිදුම් ලැබීම මගේ රාජකාරි ජීවිතේට පිටිවහලක් වුණා
දෙරණේ අම්මා කියන ලේබලය ගැන මට තියෙන්නේ පුදුම ආඩම්බරයක්
හිරු කිරණ නැගෙනහිර වෙරළ සිප ගනිමින් දවස උදා කර දෙන්නේය. මේ රුවැත්තිය පෙරදා ළදැරියකි. අදට වඩා හෙට ප්‍රීතිමත් දවසක් උදා වේ යැයි මොහොතක් පාසා ඕ සිතුවාය. හිරු උදාවත් සමඟම ඇගේ දිනපතා පැතුම ද ජීවිතයට අලුතින් පාඩම් එකතු කර ගන්නේ කෙසේද යන්නය. අව්‍යාජ සිතුවිලි සම්භාරයක් සිත්හි ගොනු කර ගත් ඈ කන්තලේ වැව් තාවුල්ලේ හමා ආ සිසිල් සුළං ගත දවටාගෙනම රැළි තියා මැද ගත් සුදු ගවුම් පිරුවටයෙන්ම ජීවිතේ ඉරණම වෙනස් කර ගන්න වෙනස්ම දිසාවකට ගමන් ගත්තාය. නඩරාජාලා, ෆාතිමාලා, අක්‍රම්, ෆරීනා එක්ව ධර්මසිරි හා දම්මි ද ඇගේ ජීවිතයේ හැමදාම හිටියේ එකම දේශයක මිතුදම ගොඩනඟා ගෙනමයි. ඇය නැගෙනහිර සුවඳ පසෙකින් තබා කර්කෂ ගෙන්දගම් පොළොවට පා තැබුවාය. අනාගත පරපුර සහ වර්තමාන පරපුරේ යුතුකම ඉටු කරනු වස් දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ සාමාන්‍යාධිකාරිනිය වූවාය. ඕ කාගෙත් අව්‍යාජ කතාබහට ඇහුම්කන් දෙන නිසි මඟ කියාදෙන , නව පරම්පරාවට ජනමතය, ජනසම්මතවාදය, ජනමාධ්‍ය මේකයි කියා නිවැරදි දේ වටහා දෙමින් දරුවන් සිය ගණනක් සමාජයට දායාද කළ තැනැත්තියකි. ඇය වසන්ති නානායක්කාරය.
" මගේ ගමන ආරම්භ වන්නේ මාධ්‍ය ලෝකයේ මිහිර, විජය වැනි පුවත්පත්වලට කුඩා කල ලිපි ලියායි. ඒවා ලියා එවන මම පළ වන තෙක් මඟ බලා සිටි වාර අනන්තයි. ලිපිය තැපැල් කර මම පුවත්පත පළ වන දිනයේ වැව්තාවුල්ල කෙළවරේ තියන පුවත්පත් කඩේට උදෑසනම දුවගෙන යනවා. දහසක් බලාපොරොත්තු හිත තුළ තියාගෙන මගේ ලිපිය පළ වී ඇතැයි කියා සිතනවා. ඒ ගිය සමහර දවස්වලට මගේ ලිපි පළ වෙලා තිබුණෙ නැත්නම් මම ගොඩක් දුක් වුණ වාර අනන්තයි. ඒත්, මගේ අරමුණ මම ඉටු කර ගන්න මගේ වැඩේ අත හැරියේ නෑ . ඒ හින්දා මට ලිවීමේ හැකියාව ඇති වුණා. එදා මම නොලිව්වානම් අද වසන්ති නානායක්කාර කියලා කෙනෙක් මේ මාධ්‍ය ලෝකයේ නැති වෙන්න තිබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු මම එවකට දිවයින පුවත්පතේ මාධ්‍යවේදිනියක් ලෙස ආරම්භ කරපු ගමන හරිම සුන්දරයි. ඒත්, මම අවතීර්ණ වන කාලසීමාව තුළදී දැන් වගේ පහසුකම් තිබුණේ නෑ. පුදුම කැපකිරීමක් කරලා දිගු කාලයක් අරගෙන තමයි ජීවිතය ගොඩනඟාගෙන මේ තත්ත්වයට ආවේ. අපිට ඒ දවස්වල පිටු පසින් සිටගෙන කියාදෙන්න ගුරුවරු හිටියේ නෑ. හරි වැරැද්ද මේකයි කියල දෙන්න කවුරුවත් හිටියේ නෑ.
අපිට අවශ්‍ය අධ්‍යාපනය අපිම තමයි හොයාගෙන ගිහිල්ලා දැනුමෙන් සන්නද්ධ වුණේ. අපි ස්වයං විනයක් හදාගෙන ශික්ෂණයක් තියාගෙන, උනන්දුව හා කැප කිරීම මත හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඒ කළ කැපකිරීම නිසා තමයි අද අපිට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රඳා පැවැත්මක් ඇති වුණේ. "
මුද්‍රිත මාධ්‍යයෙන් මඳකට ඈත්වූ වසන්ති විද්‍යුත් මාධ්‍ය කරා පියවර තැබුවාය. එහි ප්‍රතිඵලයක් ලෙස 1997වර්ෂයේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අංශයෙන් තම ජීවන වෘත්තිය ආරම්භ කළාය.
" එතැන් පටන් වසර අටක් පමණ මම ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ රාජකාරි කටයුතු කළා. මේ වසර අට තුළ මම ලබපු අත්දැකීම් සම්භාරයත් එක්කම ජනමාධ්‍යවේදිනියක් සතු දේවල් ප්‍රවෘත්ති නිවේදිකාවක් තුළ තිබිය යුතු ගුණාංග, කරනු ලබන කාර්යභාරය, සමාජයට දිය යුතු පණිවිඩය මෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමේදී ජනතාව මොන ආකාරයෙන් වටහා ගන්නවාද? පසුදා එයට දක්වන ප්‍රතිචාරය මොන වගේද කියන දෑ ගැන වඩාත් සැලකිලිමත් වුණා. ඒත් මුල් කාලේ නම් මම මේ ගැන පසු වූයේ හරිම සැකයෙන්. මේ ආපු ගමනේ දී මගේ දක්ෂතාවය අනුව හා ලැබූ අත්දැකීම් අනුව මට අලුතින්ම පටන් ගත් දෙරණ නාලිකාවට එන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ මගේ හිතමිතුරකු වන සාරංග මාර්ගයෙන්. කොළඹ එක්තරා නිවසක කාමරයක් තුළ පටන් ගත් ප්‍රවෘත්ති නාලිකාව අද වන විට අන්තර්ජාතික මට්ටමෙන් පිළිගනු ලබන මැදිරියක් වෙලා. ජාතික මට්ටමෙ විශ්වසනීයම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නාලිකාව ලෙස පිට පිටම ජනතා සම්මානයෙන් පිදුම් ලැබීම මගෙ රාජකාරි ජීවිතේට පිටිවහලක් වුණා. පසුගිය වසර කිහිපය තුළ ගෝලීය වසංගතයත් එක්ක අපිට කරපු ගොඩක් දේවල් කර ගැනීමට නොහැකි වුණා. ඒ නිසා ඒ සියලු දේවල්වලටත් හරියන්න මේ වෙලාවේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා වෙනදාටත් වැඩිය වැඩ කොටසක් කරනවා. ඒ ක්‍රියාපටිපාටිය මම දකින්නේ හොඳ ප්‍රවණතාවයක් ලෙසටයි. දැන් අපි සියලු දෙනාම සාමාන්‍ය පරිදි ප්‍රවෘත්ති අංශය හා අනිකුත් අංශ නව ප්‍රවණතාවයකින් යුතුව කටයුතු කරගෙන යනවා.
අපේ ජීවිතවලට විවේකයක් නැතිකමත් අපිට සතුටක් දැනෙනවා. මොකද අපි වැඩ කරන්න ඕන කාලේ අපි වැඩ කළ යුතුයි. මම වැඩ කළොත් තමයි අපේ ඉදිරි පරම්පරාව මේ විදිහට වැඩ කරන්නේ. මේ එන නව පරම්පරාවට කියාදෙන එක දෙයක් තමයි ඔයාලා වගේ නෙවෙයි අපි ආපු ගමන හරිම දුෂ්කරයි කියලා වටහා දීම. අනික ක්ෂේත්‍රයේ ඉන්න වැඩි දෙනෙක් දුර ඈත පිටිසර පළාත්වලින් මෙතැනට ඇවිත් ඉන්නේ. ඔවුන්ගේ කාලය, ශ්‍රමය, දැනුම, ප්‍රායෝගික පුහුණු වීම කිසිදු පිළිසරණක් නැතුව ඔවුන්ම හදාගත්ත මාවතක ගොඩ නඟාගෙන කියන එකයි. විශේෂයෙන්ම කිව යුත්තේ දැන් නව පරම්පරාව මේ ක්ෂේත්‍රයට එන්න බලන්නේ ජනප්‍රියත්වය උදෙසාමයි. තමන්ගේ මූණ පෙන්නගත්තාම තිරයක් ඉදිරියේ මම ජනප්‍රියයි කියන මතය ගොඩනඟා ගැනීමටයි. එහෙමත් නැත්නම් මං අර නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයා, නිවේදිකාව කියන්න ආශාවෙන් එන අය. හැබැයි ඒ එන 100% ක් මම දැනුමෙන් කොච්චර සන්නද්ධද කොච්චර ප්‍රායෝගිකද කියලා වැටහීමක් නෑ. මේ එන සියලුදෙනාම හිතන්නේ ඉක්මනින් මේ දේවල් ලබා ගත හැකි කියලායි. ඒත්, ඔවුන් දන්නෙ නෑ ගසක මුල ශක්තිමත් නොවුණොත් වැටෙන බව. අපි ගසේ මුල ශක්තිමත්ව මුලින්ම සාදා ගත යුතුයි. ඔබ ඇතුළු අප සියලු දෙනාම ආවේ බොහෝම හිමින් ආපු ශක්තිමත් ගමනක්. එනිසා අපේ මුදුන් මුල ශක්තිමත්. අද ක්ෂේත්‍රයේ රැඳී සිටින තමන්ගේ උත්සාහය මත ආපු කිසිවකු තමන්ගේ පෞරුෂයට හානි කර ගන්නේ නැහැ. ඔහුට හෝ ඇයට තමන්ගේ අභිමානයක් තියෙනවා. සමාජ ගත වුණාම තමන්ගේ රාජකාරිය කියන්න. ඒ තැනට මේ නව පරම්පරාව හැඩගැසීමත් මගේ එක අරමුණක්. ජනමාධ්‍යවේදියෙක් වෙනවානම් උකුස්සකුට මෙන් හොඳ ඇස් දෙකක් තිබිය යුතුයි. අශ්වයකුට වගේ හොඳ කකුල් දෙකකුත් වරල් ගසා පීනන මාළුවෙකු වගේ අත් දෙකකුත්, බළලකුට වගේ හොඳ කන් දෙකකුත්, ඇතෙකුට මෙන් හොඳ ක්‍රියාකාරී මනසකුත් තිබිය යුතුයි. සරල උදාහරණවලින් කියනවා නම්, මේ වගේ විය යුතුයි. මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රායෝගික නොවන දැනුමෙන් සන්නද්ධ නොවන පිරිසක් ඉදිරියට දකින්න. ප්‍රායෝගිකව ප්‍රවෘත්ති පිළිබඳව හඹා නොයනවානම් ඒ විශ්වසනීයත්වයක් සමාජය තුළ ඇති වන්නේ නෑ. සමාජය මාව පිළිගන්නවාද නැද්ද කියන එක මට කියන්න බැහැ.
මම හැමවෙලේම වැඩක් කරන කොට දෙපාරක් හිතන්නේ රටට වැඩදායි දෙයක්ද මේක වැඩදායි නොවන දෙයක් ද කියලයි. ඒ වගේම තවත් කෙනෙකුට වැඩදායි වෙන්න, තව කෙනෙකුගේ හිතට ශක්තියක් වෙන්න, මම දන්න දෙයින් ප්‍රමාණවත් දැනුමක් දෙන්න හිතලා තමයි මම වැඩ කරන්නේ. මම දකින එක දෙයක් තමයි ලෝකයේ පුද්ගල චරිත වශයෙන් ගත්තම මට 100%ක්ම ආදරේ කරන අය ඉන්නවා. මම 100% ක් නිවැරදි පුද්ගලයෙක්, ඒ වගේම 100%ක් දිනපු පුද්ගලයෙක් හැටියට කොයිම මොහොතකවත් කියන්න බැහැ. එක පුද්ගලයෙකුට මම හොඳයි. තවත් පුද්ගලයෙකුට නරක වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් සිදු වෙන්නේ තමන්ගේ කැමත්ත මතයි. කොහොමහරි මගේ මතය නම්, මා පිළිබඳව තියෙන විශ්වාසය 50%ට 50යි කියලයි. මේ සියලු දේවල් මම සමාජයට බාර කරන එක තමයි මේ වෙලාවේ කරන්නේ. මම ප්‍රවෘත්ති සාමාන්‍යාධිකාරි තනතුරේ හිටියට බොහෝ දුරට වැඩ බලන්නේ සාමාන්‍යාධිකාරි පරිපාලන පැත්තයි. සියලු දෙනාගේම පෞද්ගලිකත්වය වෙන්න පුළුවන්, රාජකාරි දේවල් වෙන්න පුළුවන් ආයතන ප්‍රධානින් මට ඒ සියලු දෙනාගේම ප්‍රශ්න විසඳන වැඩේ පවරලා තියෙනවා. ඒ සියලු දෙනාටම මගෙන් අදාළ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන නිසයි ඒ සියලුම දෙනාට මම අම්මෙක්. එහෙම නොවුණොත් ඒ ප්‍රශ්න විසඳන්න අමාරුයි. ගෙදරක අම්මට තරම් ළෙන්ගතු වන දරුවන් තවත් ඉන්නවාද? කියලා මට නම් කියන්න බැහැ. ඒ අයුරෙන් තමයි මගේ ආයතනයේ සියලු දෙනා මට දක්වන ළෙන්ගතුකම. කිසිවිටකත් මම මගේ තනතුර පාවිච්චි කරල ඒක රැස් වළල්ලක් බවට පත් කරගෙන ඒ සියලු දෙනා තළාපෙළා රාජකාරිය කරන්නේ නෑ. ඒ සියලු දෙනාට ආදරය, දයාව, අනුකම්පාව හා සෙනෙහස ලබා දුන්නොත් අපිටත් ඒ දෙය ආ පිටම ලැබෙනවා. මේ හේතූන් නිසා මට පුළුවන් තව කෙනෙකු ආකර්ෂණය කර ගන්න. අපි කතා කරන විලාසය අපේ ජනප්‍රියත්වය මේ හේතු නෙවෙයි කාරණා. ඒ සියලු දෙනාගේම ප්‍රශ්න විසඳන්න නම් අපි මුලින්ම කළ යුත්තේ ඔවුන්ගේ හදවතට කතා කරන එකයි. තව කෙනෙකුගේ දුක, සතුට දෙක අහන්න පුළුවන් නම්, ඒකට මගේ පැත්තෙන් දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒ සියලු දේවල් අපට අයින් කරන්න පුළුවන් වෙනවා. මම සාමාන්‍යාධිකාරී තනතුරේ ඉන්න විට මම කටයුතු කරන්නේ මවකගේ විලාසෙන්. එවිට ලෝකයේ සිටින හැම දරුවෙකුටම මතුවන ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් දෙන්න පුළුවන්. මට දෙරණ නාලිකාවේ ලේබලයකුත් වැදිලා හමාරයි මේ වෙන විට. ඒ දෙරණේ අම්මා කියන ලේබලයයි. ඒ ගැන මට තියෙන්නේ පුදුම ආඩම්බරයක්. මොකද මටත් දරුවෙක් ඉන්නවා. එතකොට විශාල දරුවන් ප්‍රමාණයකගේ අම්මා කෙනෙකුත් වෙනවා. මම හැමදාමත් අනුන් වෙනුවෙන් උදව් කරන්න කැමති චරිතයක්. ඒ ආභාසය මගේ තාත්තාගේන් ආපු දෙයක්. ගහකොළ සතා සිවුපාවාටත් ආදරය කරන මට මේ සියලු දෙනාටම ආදරය කරන්න ලැබෙන එක කොච්චර උතුම් දෙයක්ද? එහෙම අවස්ථාවක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද?
විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ දරුවාට ලෝකය පෙන්නන්න උත්සහ කළාට ඇයට එය දකින්නට බැහැ. ඇයට හුඟක් දේවල් තේරෙනවා. ඇයට ඒ දේවල් විඳීන්න පුළුවන්. යම් යම් කාරණා තේරෙනවා. මට අවශ්‍ය වුණේ මගේ දියණියට අහිමිවන ලෝකය අනිත් දරුවන්ට පෙන්වලා දෙන්න විතරයි. මම කවදාවත් හිතුවේ නෑ මගේ දරුවාට ඒ දේ නොලැබෙන හින්දා අනෙක් දරුවන්ට මේ දේ ඕන් නෑ කියලා. මම හැමවෙලේම හිතුවෙ ඒ දරුවන්ට මේ ලෝකේ ඕනයි කියලා. ඒ නිසා ඒ ඇතුළාන්තයෙ ඉඳගෙන ඒ දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වා දෙනවා. මම හැමවෙලේම හිතන්නේ අපි එනකොට කිසිවක් ගෙනඑන්නෙත් නෑ යනකොට කිසිවක් ගෙනියන්නෙත් නෑ කියලයි. ඉතිරි කරලා යන දේ පමණයි ඉතිරි වෙන්නේ කියන එක විතරයි. බෞද්ධ දර්ශනයට අනුව මට එයින් ලැබෙන ආනිසංස මගේ දරුවා වෙනුවෙන් කවදාහරි දිනෙක සතුටු වෙන්න පුළුවන් වෙයි. අද සමාජයේ ජීවත්වන හා මගේ ළඟට එන දරුවන් දක්ෂතාවලින් ඉහළ තැනකයි ඉන්නේ. ඔවුන් සියලු දෙනාටම හරි මාර්ගය පෙන්වන්න කෙනෙක් නැතිකම තමයි මෙතන තියෙන අඩු පාඩු ලෙස මම දකින්නේ. මං පාසල්වල සහ විශ්ව විද්‍යාලවල ආරාධිත දේශන වලට යනවා. ඒ පාසල පාසල් සහ විශ්ව විද්‍යාලවල ඉන්න දරුවන් හරි දක්ෂතාවලින් පරිපූර්ණ දරුවන්. ඒ අතර ඉන්න කිහිප දෙනෙකුට පමණයි එය නොතේරෙන වැටහෙන්නේ නැති තැනක ඉන්නේ. ඒ නොතේරෙන වැටහෙන්න නැති දරුවන් කොටස ගොඩ දමා ගැනීම මගේ අරමුණයි. මම එදා රූපවාහිනි මුතුහර ළමා සමාජයෙන් බිහි වෙච්ච දරුවෙක්. ඒ නිසා මගේ ගමන් මාර්ගය හදාගන්න මට ලොකු පිටිවහලක් වුණා.
මගේ නාලිකාව ඇතුළුව අද විවිධ නාලිකාවලින් ඒ දේ ඉෂ්ට සිද්ධ කරනවා කියලා අපිට පෙනෙන්නට තියෙනවා. විවිධ දක්ෂතා තියෙන දරුවන් වෙනුවෙන් කරන හොඳ වැඩක් අපට කරන්න පුළුවන්. එදා අපිට නොතිබිච්ච ලෝකය අද දරුවන්ට දෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියල හිතෙනකොට පුදුම සතුටක් දැනෙන්නෙ. මට මගේ නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකරුවාගේ සිට පූර්ව නිදහස දීලා තියෙනවා. හැබැයි අපිට ඕන ඕන විදිහට වැඩ කරන්න නෙවෙයි, සමාජයට හිතකර වැඩදායි දේවල් කරන්න අපට නිදහස දීලා තියෙනවා. අපි ගොඩක් දෙනෙක් එහෙම දුන්න අවකාශයෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැති එක තමයි මෙතන සිදුවෙන වැරැද්ද කියලයි මම දකින්නේ. මම තවත් නාලිකාවක අවුරුදු අටක් වැඩ කළා. ඒ නාලිකාවේයි මේ නාලිකාවේ අතර වෙනස මට හොඳට වැටහෙනවා. ඒ නිසා අපි හැමවෙලාවෙම උත්සාහ ගන්න ඕනේ සමාජයට හොඳ දේවල් දෙන්න. ඒ නිසා අපේ දක්ෂතාවයන් උපයෝගී කරගෙන සමාජ මාධ්‍යයෙන් වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයකින් වෙන්න පුළුවන් සමාජයට යහපත් දේවල් කරන එක තමයි කළ යුත්තේ. අද දක්නට ලැබෙන සමාජ මාධ්‍ය ජාලාවලින් කරන අයහපත් ක්‍රියාකාරකම් නිසා ජනමාධ්‍ය ලෝකයම විනාශ මුඛයට යන වග නම් පෙනී යනවා. ඒ හරි අවබෝධයකින් තොරව ජීවත්වන කොට්ඨාසයක්, ඒ ඇතුළාන්තය ක්‍රියාකාරී සාමාජිකයන් නොවන නිසයි. තරුණ ප්‍රජාව ද එයට නතු වීම හරිම කනගාටුදායක සිදුවීමක්. ජනමාධ්‍යයේ මහගෙදරවල්වලින් එදා එළියට ආපු පිරිස පමණයි අද යහපත් දේවල් කරන්නේ. තව ඒ තරමටම සමාජ මාධ්‍ය ජාල තුළින් සමාජයේ විකෘති භාවයට ගෙන ගොස් හමාරයි.
මට සමහර තැන්වලදී හරිම දුකක් ඇති වෙනවා. තරුණ පිරිස් මාධ්‍ය ලෝකයේ හැසිරෙන ආකාරය ගැන. මගේ පුරුද්දක් තමයි කුඩා කාලේ සිටම ලේඛන කලාව ප්‍රගුණ කිරීම. මගේ ලේඛන හැකියාව තුළින් මම පසුගිය දිනක මගේ ප්‍රකාශනයක් එළිදැක්වූවා. මම මගේම පොතක් එළි දක්වන්නේ පාසල් අවධියේ සිට ලේඛන කලාවට තිබුණ ආශාවක ප්‍රතිඵලයක් ලෙසයි. සිය දහස් ගණන් මගේ පෑනෙන් ලියැවුණු ලිපි, නිසදැස් කවි සංකල්පනා සීයකින් එකක් පමණයි පළ වුණේ. ඒ පළ වූ මුල්ම කෙටි කතාව වුණේ " කෙස් කළඹ " නම් කෙටි කතාවයි. එතැනින් පස්සේ මගේ සිත සතුටින්, සොම්නසින් උතුරා ගියා. මම නියම ලේඛිකාවක් වුණේ එදායින් පස්සෙ තමයි. මම ගුවන් විදුලි පිටපත් රචනා කරනවා. මේ හරහා මම වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙස එදා කටයුතු කළා. තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ මගේ ලේඛන කලාව දියුණු කර ගන්න පත්තර දෙකකට එකම දවසේ එකම වෙලාවේ ලියන්නට කතා කරනවා. ඒ අරුණ පත්‍රයට හා රැජින පුවත්පතටයි. මේ කාල කාලසීමාව තුළදී මට ලැබුණු සුවිශේෂීම දෙයක් වන්නේ ආයතනය විසින් මට ලෙබනන් යන්න අවස්ථාවක් සලසා දෙනවා. ඒ ගිය ගමනේ සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් මම ලිපි පෙළක් හැටියට සටහන් කරනවා. එතැනින් ඔබ්බට ගොසින් ගේ පද රචනා ද කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගේය පද රචනා ද කීපයක්ම අලුතෙන් කරනවා. ජීවිතය නොයෙක් දේවල් අපට ලැබෙනවා. මම ඒවා යම් ප්‍රගුණ කිරීමක් කරලයි මේ විදියට ලියන්න පටන් ගත්තේ. ආදරේ, සතුට, වේදනාව. විරහව, මෙන්ම සමාජයේ ක්‍රියාකාරී දේවල් ඇතුළු විවිධ වස්තු විෂයයන් මගේ ගේය පද රචනාවල ඇතළත් වෙනවා. ඒ ආපු ගමන් මඟ හරිම නිහඬයි. මේ මාධ්‍ය ලෝකයේ ඉගෙන ගන්න තියෙන දේවල් අච්චරයි, මෙච්චරයි කියලා කියන්න අමාරුයි. මම ස්පර්ශ නොකරපු දේවල් ගොඩයි. ඒවා මම තාම ඉගෙන ගන්නවා. ඒ නිසා හැම වෙලේම අපි දැනුමෙන් සන්නද්ධ වී නවීන ලෝකයත් සමඟ ගනුදෙනු කිරීමයි කළ යුත්තේ.