කලාව ඇඟට කාවැදුණොත් අතහරින්න බෑ

සුප්‍රකට රංගශිල්පි කුමාර වඳුරැස්ස
සැප්තැම්බර් 29, 2022

 

මම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළේ තෘප්තිය සඳහා පමණයි

වේදිකාව තමයි රංග ශිල්පියකුට ති‍ෙයන හොඳම පාසල

ගමේ එළිමහන් රංගපීඨය ඔහුගේ කලාදිවියේ තිඹිරිගෙය විය. කුඩා අවධියේ බටනළා වාදකයකු ලෙසින් ගමේ කලඑළිදුටු සංස්කෘතිකාංග වෙනුවෙන් දායක වන මොහු වාදක මණ්ඩලය වෙනුවෙන් බටනලා වාදනයෙන් දායක වන අතරේ එළිමහන් රංගපීඨයේ දිගහැරෙන වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් අංකුර තබනුයේ නළුවකුගේ අඩුවක් පිරිමසාලන්නට දායකවන්නකු ලෙසින්ය. මේ අයුරින් කලාවට පෙම් බඳීන ඔහු පාසල් අධ්‍යාපනය නිමවීමත් සමඟ යුද හමුදා සේවයට එක්වන්නේ සැපයුම් අංශයේ නිලධාරියකු ලෙසින්ය. හමුදා සේවයට ගිය ද කලාවට තිබූ ආශාව නිසාවෙන් හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා මොහු පුර්ණ කාලීනව රංගන ශිල්පියකු බවට පත් වනුයේ වේදිකාව පුංචිතිරය රිදීතිරය තම ප්‍රතිභා රංගයෙන් හැඩකරමිනි.

මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ දිගහැරෙන වීදුරුමල් ටෙලි නාට්‍යයේ රංගනයන් තුළින් පේ‍්‍රක්ෂකයන් අතරට එක්ව සිටින ඔහු නමින් කුමාර වඳුරැස්සය.

ටෙලි නාට්‍ය, චිත්‍රපට වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු මෙන්ම රංග ශිල්පියකු වන කුමාර වඳුරැස්ස හා මෙලෙස කතා බස් කරමු.

 

මේ දවස් වල කලා තොරතුරු කොහොමද?

චාමර ජනරාජ් පීරිස්ගේ වීදුරු මල් ටෙලි නාට්‍යයේ වැඩකටයුතු වල යෙදිල තමයි ඉන්නේ. ස්වාධීන රූපවාහිනියේ මේ දවස්වල සතියේ දිනවල රාත්‍රී 8.30ට විකාශය වන වීදුරුමල් ටෙලි නාට්‍යයේ ජයරත්න මම. ටෙලි නාට්‍ය විකාශය වන අතරේ කඩුවෙල ප්‍රදේශයේ මේ දවස්වල ෂුටින් කරනවා. මීට කලින් විකාශය වූ ටෙලි නාට්‍ය දෙකක් මේ දවස්වල දැනට සියත නාළිකාවේ විකාශය වෙනවා කුරුලු පිහාටු, එළියේ කන්ද නමින්.

 

ඔබ රංගන ශිල්පියකු සේම ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් නේද?

මම මුලින්ම නිෂ්පාදනය කළේ සංජය ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ ඉහිරුණු කිරි ටෙලි නාට්‍යය ඊට පස්සේ හිස් අහසයට, මායා කැදැල්ල, සැළමුතු වෙරළ යන ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා. මෙයින් මායා කැදැල්ල ටෙලි නාට්‍ය විකාශය සඳහා මේ වනවිට පොරොත්තු ලේඛනයේ පෙළගස්වා තියෙනවා. සැළමුතු වෙරළ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් හිටිය සංජය ගුණවර්ධන මිය යාමත් සමඟ එහි වැඩ කටයුතු අතරමඟ නතර වුණා. මා මායා කැදැල්ල විකාශය වී අවසන් වූ පසු සරත් ධර්මසිරිගේ අධ්‍යක්ෂණයක් ලෙසින් නැවත සැළමුතු වෙරළ රූපගත කිරීම් අරඹන්නයි සැලසුම් කරල තියෙන්නේ.

 

චිත්‍රපට නළුවකු සේම චිත්‍රපට නිෂ්පාදනයටත් ඔබ යොමු වෙනවා නේද?

උදයකාන්ත වර්ණසුරිය අධ්‍යක්ෂණය කළ බන්ධනය චිත්‍රපටය තමයි මම මුලින්ම නිෂ්පාදනය පැත්තෙන් දායක වෙන්නේ. ඊට පස්සේ ඔහුගේම සිනමා නිර්මාණයක් වූ මධුර චාරිකා චිත්‍රපටය සඳහා ද මම නිෂ්පාදනයෙන් එක්වෙනවා. මේ චිත්‍රපට දෙක සඳහාම මම දායක වුණේ ඒ සඳහා නිෂ්පාදන හවුල්කරුවෙකු ලෙස මිස නිෂ්පාදකයෙකු ලෙසින් නොවේ.

මේ වෙන කොට මම චිත්‍රපට විස්සක විතර රඟපාල ඇති මට මතක හැටියට මම සිනමාවට ද එක්වන්නේ 2012 වසරේ දී විතර දිනේෂ් පි‍්‍රයසාද් අධ්‍යක්ෂණය කළ රහයි ජීවිතේ චිත්‍රපටයේ රංගනයත් සමඟ. නමුත් ඒ චිත්‍රපටය තවම තිරගත වුණේ නෑ. ඊට පස්සේ රඟ පෑ බොහෝ චිත්‍රපට මේ වෙනකොට තිරගත වෙලත් අවසන්.

 

පේ‍්‍රක්ෂකයන් අතර සිනමා නළුවකු බවට සලකුණක් එක් කළේ කුමන චිත්‍රපට රංගනයත් සමඟ ද?

උදයකාන්ත වර්ණසුරියගේ බන්ධනය චිත්‍රපටයේ බේකරි බාස්ගේ චරිතයෙන්.

 

ඉදිරියේ දී ඔබේ රංගනය එක් වූ චිත්‍රපට තිරගත වෙන්නත් ඇති.

ගොඩක් තියෙනවා. උදයකාන්ත වර්ණසුරියගේ රිදී සීනු, සනත් ගුණතිලකගේ දඬුවම, සුනිල් පේ‍්‍රමරත්නගේ ලොක්ඩවුන්, ප්‍රසාද් සමතුංගගේ තාත්තා, ලස්සන ජයසේකරගේ විලන්, ගාමිණී හේවා විතාරණගේ රුවන් තාරකා, දිනේෂ් පි‍්‍රයසාද්ගේ රහයි ජීවිතේ ආදී චිත්‍රපට බොහොමයක් තියෙනවා.

 

මෙතෙක් තිරගත වූ ඔබේ රංගනයෙන් ආලෝකමත් වූ චිත්‍රපට අතර අදත් මිනිසුන් අතර කතාබහට ලක් වූ චරිත මොනවද?

බන්ධනය චිත්‍රපටයේ බේකරි බාස් හැටියට මම කළ ඒ රංගනය පටීභාන චිත්‍රපටයේ ධර්මසේන ලෙස මම කළ චරිතය ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටයේ තාත්තා ගේ චරිතය. ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටය බොහෝ වාර ගණනක් රූපවාහිනී මාධ්‍යය තුළ විකාශය වුවා. ඒ නිසා එහි රඟපෑම වඩාත් කතා බහට ලක්වුණා.

 

ඔබේ ටෙලි නාට්‍ය රංගන ජීවිතය කොයි ආකාරයෙන් ද පටන් ගන්නේ?

සංජය ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ සත්රළපෙළ ටෙලි නාට්‍යයේ රංගනයත් සමඟ ටෙලි නාට්‍ය රංගනයේ බොහෝ දුරක් මම අදවෙන කොට පැමිණිලා තියෙනවා. මේ වෙන කොට ටෙලිනාට්‍ය හතළියක විතර විවිධ චරිත මම රඟපාල ඇති.

 

දිගු ටෙලි රංගනයක් තුළ ඔබ වඩාත් ජනපි‍්‍රය තලයට ඔසවා තැබුවේ මොන ටෙලි නාට්‍යයේ රංගනය ද?

නීල පබළු ටෙලි නාට්‍යයේ රංගනය මාව වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනපි‍්‍රය කළා. අදටත් කොහේ ගියත් කවුරු වුණත් මාව හඳුන්වන්නේ නමින් නොවෙයි නීල පබළු එකේ අහවලා කියලා.

 

ඔබ ටෙලි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කළා. ඒ හැම නිර්මාණයකටම ඔබ රංගනයෙනුත් එක්වෙනවා?

ඔව්. මට තියන රඟපෑමේ ආශාවන් නිසාම තමයි ඒ දේට මම යොමුවෙන්නේ කලාවට තියන ආදරය නිසා තමයි මුල්‍යම දායකත්වයක් යොදවමින් රංගනයට එක්වන්නේ. සමහරවිට ඒ යොදපු මුදල ආපසු ලැබුණේ නැති අවස්ථා තිබුණා. නමුත් හිතේ තෘප්තියක් තියෙනවා. මම නාට්‍යයක් නිෂ්පාදනය කළා කියලා. ඒ ඇරෙන්න බිස්නස් එකක් වශයෙන් මුදලක් සෙවීමට මගේ කැමැත්තක් නෑ.

 

ඔබ නළුවෙකු ලෙස කරළියට එන්නට මත්තෙන් යුද හමුදාවේ සාමාජිකයෙක්?

මම යුද හමුදාවට බැඳෙන්නේ 1984 දී බලලත් නිලධාරියකු ලෙසින්. යුධ හමුදා සැපයුම් අංශයේ සේවය කරනවා. 2006 වසරේ මම විශ්‍රාම ලබනවා. ඔය කාලය තුළ වුණත් මම යම් යම් අයුරින් කලා නිර්මාණ සඳහා දායක වෙනවා. නමුත් පූර්ණ කාලීනව නොවෙයි. කලාව තුළ පුර්ණ කාලීනව යෙදෙන්න නම් මම යුද හමුදාවෙන් අවසර ගැනීමක් කළ යුතු වෙනවා. ඒක මගේ රැකියාවත් සමඟ කිරීම අපහසු නිසා. මාගේ සේවා කාලය යුද හමුදාවට අනුව සම්පුර්ණ වී තිබු නිසාවෙන් මම එයින් ඉවත් වුණා. පුර්ණ කාලීනව කලාවේ නියැළෙන්න හිතාගෙන.

මම යුද හමුදාවේ ලබා තිබූ පන්නරය නිසාවෙන් පුද්ගලික ආයතනයක ජෙනරල් මැනේජර් කෙනෙක් ලෙස නැවත රැකියාවකට සම්බන්ධ වෙනවා. එහිදී එම ආයතනය මගේ සේවය ලබාගන්නා අතරේ මට පූර්ණ කාලීනව කලා කටයුතු වල නියැළෙන්න නිදහසක් ලබාදෙනවා.

කලාව අද ඔබේ වෘත්තීය වෙලාද?

නෑ. කොහෙත්ම නෑ. කලාව කරල අද ජීවත් වෙන්න බෑ. කලාව කියන දේ මම වැලඳ ගන්නේ ආශාවට නමුත් දැන් ඉදිරියේදී අද තියන ආර්ථික රටාවත් එක්ක ආශාව කෙසේ වෙතත් කලාවත් වෘත්තීය කරගන්න වෙලා තියෙනවා.

 

කලා ක්ෂේත්‍රයේ නිෂ්පාදකයකු වීම ගැන අද ඔබ කලකිරීමෙන්ද?

නිර්මාණයක් කරල එය මිල කරගන්න තියන ගැටලුව තමයි ගොඩක් තියෙන්නේ. හොඳ නිර්මාණයක් කළත් ඒකට සාධාරණ මුදලක් නෑ. කරපු නිර්මාණය පෙන්නගන්න බැරුව බොහෝ කාලයක් ඉන්න ඕනේ හොඳ නිර්මාණ කරන්න බෑ. අඩු මුදලට දෙන්නම් කාසිවලට නිර්මාණ කරල මුදල ලැබුණොත් හොඳයි. ඒත් නිර්මාණත් පෙන්නල මුදලුත් නැත්නම් දෙන්නම් කාසි එනකම් උඩ බලන් ඉන්න වෙනවානේ. මෙන්න මේ ගැටලුකාරී බව හිත් කලකිරවන එක අහන්නත් දෙයක් යැ.

 

අද නිර්මාණයක් කරල චැනල් එකට අරන් ගියොත් කියනවා නේද? අනුග්‍රාහකයකු හොයන් එන්න කියලා?

ඒක තමයි අද තියන ඊළඟ ගැටලුව අපි නිර්මාණ කරන්නත් ඕනේ ඒක පෙන්න ගන්න අනුග්‍රාහකයෝ හොයාගන්නත් ඕනේ. අද ස්පොන්සර් කෙනෙක් ඉන්නවා නම් විතරයි නිර්මාණයක් කරන්න වෙලා තියෙන්නේ. අද පෝලිමේ ටෙලි නාට්‍ය තියනවා විකාශය වෙන්න. ඒත් නාලිකාවලට සල්ලි නෑ ඒවට ගෙවන්න. අද නාලිකා කරන්නෙත් විකාශය වූ ටෙලි නාට්‍ය නැවත නැවත පෙන්නමින් තමන් ගේ විකාශන කාලය ගෙවා දමන එකයි.

 

වේදිකාවටත් ඔබේ රංගන දායකත්වය එක් වූ අවස්ථා තියෙනවා?

සිකුරා වේදිකා නාට්‍යයේ රංගනයත් සමඟ තමයි මම වේදිකාවට එක් වෙන්නේ. මේ නාට්‍ය මුලින් නිෂ්පාදනය කළේ මම. මම ජයලාල් රෝහණ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සරත් දික්කුඹුර, සුසිලා කෝට්ටගේ, උදයංති කුලතුංග ආදී පිරිසක් රඟපෑවා. ලංකාව තුළ දර්ශන වාර කීපයක් පැවැත්වුවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන්නුවරත් අපි මේ නාට්‍ය පෙන්නුවා. මේ දවස්වල අතුල බී සමරවීරගේ සූටි ගමරාල සහ රයිගම් බණ්ඩා නාට්‍යයේ රඟපානවා මේක ප්‍රහසනාත්මක නාට්‍යයක් මේ මෑතකදී අඟුණ කොළ පැලැස්සේ වේදිකා ගත වුණා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඉදිරියේදී කොළඹ එල්ෆින්ස්ටන් එකේ මොනරාගල වේදිකාගත වෙන්නත් දැනටමත් ඉල්ලීම් ලැබිල තියෙනවා. මේ නාට්‍යයේ ජයවීර හාමුගේ චරිතය තමයි මම කරන්නේ.

 

වේදිකාව තුළ දිගු ගමනක් යාමට ඔබේ අදහසක් නැද්ද?

වේදිකාවට ආසයි. ඒත් රියසල්වලට යොදන්න ඕන කැප කිරීම වැඩි නිසා ඒ සඳහා යොදන්න වන කාලය වැඩි නිසා වේදිකාවේ ගමනක් යාමට මා තුළ තියෙන්නේ මන්දෝත්සාහී බවක්. කොහොම වුණත් ආරාධනයක් ලැබුණොත් මඟ හරින්නෙත් නෑ. හොයාගෙන පන්නල යන්නෙත් නෑ.

රංග ශිල්පියකුට තියෙන හොඳම පාසල වේදිකාව නොවන්නේද?

වේදිකාව තමයි රංග ශිල්පියෙකුට තියන හොඳම පාසල. වේදිකාවේ කවුරුන් හෝ මුලින්ම ගමනක් ඇරඹුවා නම් ඒ පුද්ගලයා ඕනෙම චිත්‍රපටයක ටෙලි නාට්‍යයක වේදිකාවක හොඳ රංග ශිල්පියෙක් වෙනවාමයි. මුලික වශයෙන් තම රංගනයේ අත්පොත් තැබිය යුත්තේ වේදිකාව තුළින් කියල මම හිතනවා. ඒ කාලේ වේදිකාවෙන් මගේ රංගන ජීවිතය පටන් ගන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. මට තියෙන්නේ පුංචි තිරයෙන් සිනමාවට ඇවිත් වේදිකාවට ආපු ගමනක්. නමුත් යායුත්තේ වේදිකාවෙන් පුංචි තිරයට ඊට පස්සේ සිනමාවට කියලයි මම හිතන්නේ.

 

කලාවට එක්වීමේ ප්‍රවිෂ්ට කොයි ආකාරයෙන් ද ඔබ තුළ ඇතිවන්නේ?

මගේ ගම වූ වදුරැස්සේ තිබුණා රන්තිලක කියල කලා ආයතනයක්. ගමේ තිබුණු එළිමහන් රංගපීඨය හරහා තමයි මම කලාවට ආවේ. ඒ සඳහා මම එක් වුණේ බටනළා වාදකයෙක් ලෙස.

 

කලාව නිසාම ඔබ නමත් වෙනස් කළ පුද්ගලයෙක්?

මගේ ගම වාරියපොල ප්‍රදේශයේ වඳුරැස්ස මට දෙමාපියන් දමා තිබු උප්පැන්නේ නම තිබුණේ එච්.එම්. ආරියකුමාර නමින්. මම කලාවට කුමාර වදුරැස්ස වුණා. ගත්ත ගමෙන් කැල්ලක් නමෙන් ගත්ත නම් කෑල්ලක් දැම්ම නමක් කුමාර වඳුරැස්ස කියල. ආරිය කුමාර හැටියට මගේ නම දැනගෙන හිටියේ හමුදාවේ හිටිය අය විතරයි. අද මම කලා ලෝකයේ කුමාර වඳුරැස්ස මම කලාවට ආවේ ගමේ එළිමහන් රංගපීඨයෙන් ඒ නිසා ගමට උපහාරයක් ලෙස ගමේ නම මගේ නමට යොදගත්තා.

 

අද පිටපතවත් නැතුව නේද රංග ශිල්පීන් රඟපාන්න එන්නේ?

බොහෝ විට අද ඒ තත්ත්වය ඇතිවෙලා මේ වගේ චරිතයක් තියෙන්නේ කියනවා. ලොකේෂන් එකට අපි ගියාහම දෙබස් දෙනවා. සමහර විට පිටපත් රචකයා අපි ලෝකේෂන් ගියහම තමයි පිටපත ලියල කොළඹ ඉඳල ෆැක්ස් එක එවන්නේ. ඔන්න අද රඟපෑමේ කෙරුවාව.

 

මෙවැනි වටපිටාවක් රංගශිල්පියකුගේ හොඳ රංගනයකට බාධාවක් නොවන්නේද?

මොකද නැත්තේ සම්පුර්ණ පිටපත කියවල නැතුව කතාව අහලා යන විදිය ගැන වැටහීමක් නැතුව කොහොම ද තමන් කරන රංගනයට උපරීම සාධාරණයක් එක්කරන්නේ. පිටපතේ චරිත ගලායන විධිය ගැන හොඳ අවබෝධයක් තිබුණොත් නේද හොඳ රඟපෑමක් කරන්න පුළුවන්.

 

ඔබ කළ රංගනයන් අතුªරින් දකින්න තියන දෙයක් නේද චරිතවලට කොටුවෙලා වැනි හැඟීමක්?

එහෙම නෑ කියල කියනවා නම් ඒක මුසාවක් මාව බොහෝ විට පොලිස් චරිත, දොස්තර චරිත, වලට බොහෝ විට කොටු කරපු අවස්ථා තිබුණා. සමහරවිට ඩී.අයි.ජීත් මම, පොලිස් සැරයනුත් මම, පොලිස් කොස්තාපලුත් මම, එහෙම නැත්තම් මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක්, තාත්තා කෙනෙක්, බිස්නස්කාරයෙක් මේ වගේ චරිතවලට කොටු කිරීම තුළ මට වුණත් රංගනය ඒකාකාරී වුණා. මම සමහර චරිත ඒකාකාරී වීම නිසා එපා කිව්ව අවස්ථාත් තිබුණා.

මේ කොටු කිරීමෙන් එහාට ගොස් මම බොහොම ආශාවෙන් කළ චරිත දෙකක් තමයි. දඬුවම චිත්‍රපටයේ ගමේ මුදලාලි, ලොක්ඩවුන් චිත්‍රපටයේ ඩ්‍රයිවර්.

 

මීට පෙර කාල වකවානුවලදී නළු නිළියන්ට තිබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අද දක්නට නෑ නේද?

ඒ දේට හේතුව ලෙස මම දකින්නේ අපේ ක්ෂේත්‍රයේ උදවිය විසින් ඇති කරපු යම් යම් දේවල් තමයි ඒවට හේතු කාරණා වෙලා තියෙන්නේ කියලා. නළුවෝ කවුද නිළියෝ කවුද කියල අද ප්‍රේක්ෂක ජනතාව මිම් බැමි හදන් තියෙන්නේ. තමන්ගේ නළු නිළි ගෞරවය තමන් විසින්ම කෙලෙසා ගත් නිසාවෙන් අද පේ‍්‍රක්ෂක ප්‍රතිචාර අපෙන් දුරස් වෙලා.

 

අද ඔබට කලාවෙන් ඈත්වෙන්න සිදු වුණොත්?

ඒක මානුෂිකව මට ගොඩක් දැනේවි. අද වෙනකොට කලාව කියන දේ අපේ ඇඟට කාවැදිල ජීර්ණය වෙලා ඉවරයි. කලාව අපෙන් ඈත්වෙනවා කියන්නේ ඒක අපිට බොහෝ ලෙසින් දැනෙන දෙයක්. කලාව කියන දේ ඇඟට කාවැදුණ කෙනෙක්. කවදාවත් ඒක අතහරින්න කැමති නෑ.

 

පවුලේ උදවියගෙන් ඔබේ රංගන දිවියට මොන වගේ සහයක් ද ලැබෙන්නේ?

මගේ බිරිය මල්ලිකා ගුණසේකර මගේ පුතා සත්‍යජිත් සාලිය. දුව අමන්දි උපේක්ෂා මේ හැමෝම මගේ ළඟම විචාරකයෝ. මම කලාවට ආපු මුල් කාලයේ මගේ බිරියගෙන් ඒ සඳහා කැමැත්තක් තිබුණේ නෑ. ඒත් මගේ කළමනාකරණයෙන් යුතු වැඩ පිළිවෙල නිසා පසුව ඈ මුලින් දැරූ මතය සමනය කරගත්තා. අද මගේ රඟපෑම්වල මුල්ම විවේචකයා ඇයයි. ඒ සඳහා අද දරුවනුත් එකතු වෙලා ඉන්නවා.

 

වෙළෙඳ දැන්වීම්වලත් ඔබ නිරන්තරයෙන් දකින්න සිටින පුද්ගලයෙක්?

වෙළෙඳ දැන්වීම්වලත් මම රංගනයෙන් පෙනී සිටිනවා. ඒ ඇරෙන්න ලංකාවේ රූපගත කිරිම් සිදුකළ ඉන්දීයන් නිෂ්පාදන වලත් මම මේ වන විට රංගනයන් ඉදිරිපත් කොට තියෙනවා.

 

ඔබට ආදරය කරන රසිකයන්ට ලියන්න ලිපිනය මතක් කළොත් ?

178/5/1 ඒ, උතුවන්කන්ද පාර තලවතුගොඩ.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න