මට ඕනෑ හොඳම සහාය නළුවා වෙන්නයි

යොවුන් රංග ශිල්පී ප්‍රදීප් සේනාරත්න
සැප්තැම්බර් 29, 2022

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පත්තිනි චිත්‍රපටයෙන් හා පුරා කියා නිෂ්පාදන කළමනාකරණ සහයක ලෙස පිවිසි ප්‍රදීප් සේනාරත්න රංග ශිල්පියකු ලෙසින් ද සිය කලා දිවියේ තවත් කඩඉමක් පසුකරනුයේ තමන් විසින්ම සහය කලා අධ්‍යක්ෂණය කළ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයෙන් රංගනයට දායකවීමත් සමඟමය.

හාරකෝටිය, සුදුඇදගෙන කළු ඇවිදින්, එකගෙයි මිනිස්සු, මාණික්කාවත ආදී ටෙලි නාට්‍ය රැසක මේ වන විට විවිධ චරිත නිරූපණය කර ඇති ප්‍රදීප් හා පුරා කියා සරසවිය පිළිසඳරට එක්වුයේ මෙසේය.

මේ දවස් වල කලා තොරතුරු කෙසේද?

සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයෙහි වෘත්තිය සමිති නායකයකු ලෙසත්, ඇස් ටෙලි නාට්‍යයෙහි දාමරියකු ලෙසත්, ‘ ද ගේම්’ චිත්‍රපටයේ පොලිස් නිලධාරියකු ලෙසත් කලා නිර්මාණවලට දායක වුණා.

මෙතෙක් රංගනයේ යෙදුණු චරිතවලින් වඩාත්ම කැමැති චරිතය?

‘ද ගේම්’ චිත්‍රපටයේ පොලිස් නිලධාරියකු ලෙස රඟපෑ චරිතටයි.

 

පේ‍්‍රක්ෂක සිත් වඩාත් ග්‍රහණයට ලක් කොට ගන්නා ලද්දේ ඔබ රඟපෑ චරිත වලින් කුමන චරිතයට ද?

විවිධ චරිත රඟ දැක්වුවත් මා සිතනවා පේ‍්‍රක්ෂක සිත් වඩාත් බැඳගත්තෙත් “නෙළුම් කුලුන” ටෙලි නාට්‍යයේ රඟ පෑ පොඩි ස්වාමීන් වහන්සේ’ ලෙස රඟ පෑ චරිතය.

 

කලා ක්ෂේත්‍රයට ඔබ පා තබන්නේ කෙසේද?

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘පත්තිනි’ චිත්‍රපටයේ නිෂ්පාදන කළමණාකාර සහයක ලෙසයි මා කලාවට පිවිසෙන්නේ. එම චිත්‍රපටයේම සිටු කුමාරයකු ලෙස ද රංගනයේ යෙදෙන්නට මට අවස්ථාව උදාවෙනවා.

 

කලාකරුවකු වශයෙන් ඔබ වඩාත් කැමැති සහය කලා අධ්‍යක්ෂණයටද? රංගනයට ද?

මා සහය කලා අධ්‍යක්ෂවරයකු ලෙස කලාවට සම්බන්ධ වුවත් ඉදිරියේදී රංගනයෙන් පමණක් කලාවට සම්බන්ධ වී කටයුතු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.

 

ඔබ රංගනයෙන් යෙදුණු ඉදිරියේ දී පේ‍්‍රක්ෂකයන්ට අතරට එන්න තියෙන නිර්මාණ මොනවාද?

උදයකාන්ත වර්ණසුරියගේ ‘ආදර සීනුව‘ චිත්‍රපටයෙන් හා දැනට විකාශය වන සුදත් රෝහණගේ ‘මාණික්කාවත’ ටෙලි නාට්‍යයෙන් මා පේ‍්‍රක්ෂකයන් අතරට එනවා.

 

ඔබ රංගනය පිළිබඳ හැදෑරීමක් සිදුකර තිබෙනවාද?

ඔව්. අශේන් මංජුල මහතා මෙහෙය වූ ‘නවනළු’ කලා කෙතේ වැඩමුළුවට මා සහභාගී වුණා. එහිදී දේශකයන් වශයෙන් සහභාගී වූ ආචාර්ය ජයලත් මනෝරත්න, පරාක්‍රම නිරිැල්ල, කරුණාරත්න අමරසිංහ වැනි ප්‍රවීණයන්ගෙන් රංගනය පිළිබඳ දැනුම් සම්භාරයක් ලබාගැනීමට මට හැකිවුණා.

 

ප්‍රවීණයන් හා ලද ඇසුර ඔබගේ ගමනට රුකුලක් වන්නේ කෙසේ ද?

විශ්වවිද්‍යාලයක් බඳු වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා වැඩ කිරීම තුළ නියමිත වේලාවට වැඩ කිරීම, හරි දේ නිවැරදිව කිරීම පිළිබඳ මා සුවිශේෂී දැනුම් සම්භාරයක් මගේ ජීවිතයට එක්කර ගත්තා. මුලින්ම මහාචාර්යතුමන් සමඟ වැඩ කිරීමට ලැබීම මා ලැබු භාග්‍යයක් කොට සලකනවා. එතුමන්ගෙන් ලැබු ගුරුහරුකම් මගේ ජීවිතයට අත්පොතක් වුණා.

 

වැඩමුළුවෙන් ලබාගත් දැනුම් සම්භාරයත් සමඟ ඔබ දායක වූ නිර්මාණ ?

සිඳු, ඉඩෝර වැස්ස, සඳදිය මංකඩ, ජීවිතේ ඇතිතුරා, එකගෙයි මිනිස්සු, රන් බැඳි මිනිස්සු, සිහින සමාගම යන ටෙලි නිර්මාණවලට සෙසු චරිතවලින් දායක වන්න මට හැකි වුණා.

 

රංගන ශිල්පියකු වශයෙන් වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද?

බොහෝ කලක සිට අදහසක් තිබුණා. ළඟදීම චාලක රණසුරියගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණයකට දායකවීමට මට අවස්ථාව උදාවෙලා තියෙනවා.

 

ඔබ පිටපත් රචනයටත් යොමු වෙලා බව ආරංචියි?

ඔව්. රන්ජන් රාමනායක මහතාගේ අධ්‍යක්ෂණයක් වෙනුවෙන් පිටපත් රචනයක යෙදිලයි මේ දිනවල මා සිටින්නේ.

 

අධ්‍යක්ෂණයට යොමු වීමටත් ඔබට බලාපොරොත්තුවක් ඇති නේද?

තවම නැහැ. අධ්‍යක්ෂවරයකු වීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා දීර්ඝ පළපුරුද්දක් තිබිය යුතුයි කියා මා විශ්වාස කරනවා.

 

ඉදිරියේදී ඔබ රංගනයෙන් දායක වීමට නියමිත නිර්මාණ මොනවාද?

ඉන්දික ධර්මතිලකගේ ‘මැස්සා’, ඩිල්ෂාන් අමරසිංහගේ ‘ළංවී’, හසුන් සමීරගේ ‘ඇස්’ යන ටෙලි නිර්මාණ වලට ඉදිිරියේ දී දායක වෙනවා.

 

ඔබගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

වයස් භේදයකින් තොරව කුඩා දරුවාගේ සිට වැඩිහිටි අය දක්වාම හොඳ ප්‍රතිචාර මඟ තොටේ දී පවා ලැබෙනවා.

 

ඔබ පාසල් අවධියේදීත් කලා කටයුතු සම්බන්ධයෙන් ඇල්මක් දැක්වුවාද?

කිව්වාට විශ්වාස කරන එකක් නැහැ. මම පාසල් යන කාලේ වීරකෝන් සංගීත ගුරුවරිය පන්තියට එන විට සැඟව සිටි පුද්ගලයෙක්. ඒ දවස්වල නැටුම් විෂය වගේම සංගීත විෂයත් මට අපි‍්‍රයයි.

 

කලා ශිල්පියෙක් ලෙස සම්මානයෙන් පිදුම් ලබන්න ඔබගේ හිතෙත් බලාපොරොත්තුවක් ඇති?

ඔව්. රංගන ශිල්පියෙක් ලෙස ඕනෑම කෙනෙකුගේ සිහිනය හොඳම නළුවා වීමයි. නමුත් මාගේ සිහිනය ‘හොඳම සහය නළුවා’ ලෙස සම්මානයට පාත්‍රවීමයි.

 

ඔබගේ පවුලේ විස්තර?

මම දියණියන් දෙදෙනෙකු පියෙක්. දියණියන් දෙදෙනාත් ආදරණීය බිරිඳත් සහ මගේ දෙමාපියන් හා සහෝදරියත් කලා ගමනට ලොකු සහායක් දෙනවා. අද කලා ක්ෂේත්‍රය තුළ මා ඉන්නා තැන ගැන ඔවුන් සතුටු වෙනවා.