කලාවේ මා යා යුතු ගමන පැහැදිලියි

රංගන ශිල්පිනී අමා විජේසේකර
ඔක්තෝබර් 6, 2022

 

ඒ හොඳම කාලය ආදරය වෙනුවෙන් මම කැප කළා

මගේ තිබුණු මුරණ්ඩුකම නිසා මට හි‍ෙතන දේ මම කළා

ඇගේ නිවසම කලාවට කැපවුණු තැනක් විය. ඇය මෙන්ම මවත් පියාත් කලාකරුවෝ වූහ. අද අප අතරින් සමුගෙන ගොස් ඇති ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු ගායකයෙකු මෙන්ම රංග ශිල්පියෙකු වූ ලක්ෂමන් විජේසේකර නම් වූ ප්‍රතිභාපුර්ණ කලාශිල්පියාත් කාගෙත් ආදරයට පාත්‍රවෙමින් රංගන ක්ෂේත්‍රයේ තම ප්‍රතිභාපුර්ණ රංගනයෙන් වේදිකාව, පුංචි තිරය, සිනමාව එකලුකරමින් පේ‍්‍රක්ෂක ආදරයේ ගරුබුහුමන් ලැබු ප්‍රවීණ නිළියක් වූ චන්ද්‍ර කළුආරචිච්ත් ඇගේ මවුපියෝ වූහ. මව්පිය උරුමයෙන් කලාදිවිය ඇරඹු ඇය කුඩා අවධියේ පටන් කලා ක්ෂේත්‍රයේ ගමනක් පැමිණියේ සෙමින් ගමනකි. කලකට ඉහත දී පුංචි තිරය, රිදී තිරය හැඩ කළ ඈ පුංචි සංධියේදීම ඇගේ ප්‍රතිභාව උදෙසා සම්මානීය ඇගැයුම් පැසසුම් ලැබුවේ කලා ක්ෂේත්‍රයේ දුරගමනක පෙර නිමිති පහළ කරමිනි. දුවට මවක මිස, ලොකුදුව, ඉරුස්මා චිත්‍රපට සේම පස්සේ ගෙනා මනමාලි, ගැහැනු ළමයි, නිසලවිල, වස්සානයේ හිරු ඇවිදින් ඉමදිය මංකඩ, විලම්භීත ආදී ටෙලි නාට්‍ය ඔස්සේ ද සිය රංග ප්‍රතිභාව මනාව පෙන්නුම් කළ ඈ අමා ශාක්‍යා විජේසේකරය. නවපරපුරේ දක්ෂතා පිරිපුන් කලා ශිල්පිනියක් වන අමා ප්‍රේක්ෂක ජනාදරය දිනුවේ අමා විජේසේකර නමිනි. කලකට පසු අමා ඇගේ අලුත් තොරතුරු සමඟින් සරසවිය හා කතාබහට එක් වන්නේ කලකට පසුවය.

අමා කාලෙකට පස්සේ?

ඔව්. මම කොහොමත් කලානිර්මාණ වල ඉඳහිට පේන්න සිටි චරිතයක්නේ. කාලෙන් කාලෙට එනව යනව වගේ සංක්‍රාන්ති සමයක් පසු කළ ගමනක්නේ මට තියෙන්නේ.

මේ දවස්වල ඔබේ කලාකටයුතු එහෙම කොහොමද?

අසංක සායක්කාරගේ වැඩිහිටියන්ට පමණයි. කෙටි නාට්‍ය එකතුවේ දුලා කියන කෙටි නාට්‍යයේ දුලාගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. අසංක කියන්නේ වෙනස්ම ආකාරයකට හිතන පතන නාට්‍යකාරයෙක්.ඔහුගේ නිර්මාණ දෙස බැලීමේදීත් ඒ දේ පේන්න තියනවා. මේ වැඩිහිටියන්ට පමණයි නාට්‍ය තුළ නයන ලලන, වික්ටර්, ශ්‍රීමත් සුමන, දුලා කියල කෙටි නාට්‍ය හතරක් තියනවා. මේ එකතුව වැඩිහිටියන්ට පමණයි තුළ අන්තර්ගත වෙලා තියෙනවා

කොහොමද රටේ වාතාවරණය තුළ වේදිකා නාට්‍යවලට තියෙන ප්‍රේක්ෂක ඉල්ලුම

අපි මේ නාට්‍ය පෙන්නන්න පටන් අරන් මාස හයක් විතර වෙනවා. බොරැල්ල පුංචි තියටර් එකේ තමයි මංගල දර්ශනය තිබුණේ.තුනයි තිහ දර්ශනය විතරයි අපිට තියාගන්න පුළුවන් වුණෙත් හයයි තිහ දර්ශනය කැන්සල් කරන්නත් සිද්ධ වුණා. රටේ ඒ දවසේ තිබු අරගලකාරී වාතාවරණය තුළ නැවතත් අපි හෙමින් මේ නාට්‍ය ජනගත කරන්න තමයි උත්සාහ ගනිමින් මේ දවස්වල ඉන්නේ. ගිය මාසේ වැඩිහිටියන්ට පමණයි. ෂෝ දෙකක් කළා. එල්ෆින්ස්ටන්හිත්, පුංචි තියටර්වලත් සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් මේ අවස්ථා දෙකේදීම නාට්‍ය රසවින්දා. මේකෙ විශේෂත්වය වැඩිහිටියන්ට පමණයි නරඹන්න එන පේ‍්‍රක්ෂකයෙක් එකවර නාට්‍ය හතරක් නරඹා රසවිඳිනවා.

අමා තම රංගන ජිවිතය පටන් ගන්නේ පුංචි දැරියක්ව සිටින අවධියේ පුංචි තිරය ඔස්සේද?

ටයිටස් තොටවත්තගේ මනෝ පුබ්බංගමා ධම්මා කියන වෙසක් උත්සවය වෙනුවෙන් නිෂ්පාදනය කළ ඒකාංගික ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපාන්නේ. ඒ වෙනකොට මට වයස අවුරුදු පහයි.

ඔබ කලා ජීවිතයේ ඇරඹුම පටන් ගත්තේම ඔබගේ පියාගේ මවගේ තිබු කලා ක්ෂේත්‍රයේ සබඳතාත් සමඟ?

රංගනය කියන දේ හදාරලවත් නැති මම රංගනයට එන්නේම මගේ තාත්තා ලක්ෂ්මන් විජේසේකර මගේ අම්මා චන්ද්‍රා කළුආරච්චි මේ දෙපළම අපේ කලා ක්ෂේත්‍රය තුළ ගොඩනගා තිබු ශක්තිමත් අඩිතාලම නිසා කිව්වොත් හරි. ඒක මම දකින්නේ මා ලබා තිබු වාසනා ගුණයක් විදිහට මොකද මට එන්න කිව්වා මම ගියා. මට කිව්ව දේ මම කළා ඒ ඇරෙන්න වෙන රඟපෑම ගැන කැමරාව ගැන මට කොහෙත්ම දැනුමක් තිබුණේ නෑ.

ටයිටස් තොටවත්තයන්ගේ ඒකාංගික ටෙලි නාට්‍ය රංගනයත් සමඟ ඔබ වෙත ටෙලි නාට්‍ය රංගනයන් සොයා එනවා නොවේද?

ඊට පස්සේ මම රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදන රාශියකට සම්බන්ධවෙනවා. පාට පාට බැලුම් බෝල ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ අවුරුදු හතේදී. ඒ දවස්වල මගේ තාත්තා රූපවාහිනියේ කළ ළමා සංගීත වැඩසටහන්වලට මම සම්බන්ධ වුණා. හැබැයි තාත්තා කළ වැඩ සටහන් කීපයකට පමණයි. රූපවාහිනියේ තිබු උදාර වැඩසටහනට මම බොහෝ වාර ගණනක් සහභාගි වෙලා තියෙනවා. ඒ වැඩසටහනේ තිබු සෑහෙන කෙටි නාට්‍ය ප්‍රමාණයක මම රඟපාල තියනවා. රූපවාහිනී වැඩසටහන් රාශියකට මම ඩබින් කළා. ගුවන් විදුලිය රූපවාහිනිය අපට අමුතු දෙයක් නොවෙයි. ගුවන් විදුලියේ ළමා පිටියේ සෑහෙන වැඩසටහන් ප්‍රමාණයකට මම දායක වෙලා තියෙනවා.

අමා කියන පුංචි නිළිය එවක ප්‍රේ්ක්ෂකයෝ වැලඳ ගන්නේ ටෙලි නාට්‍ය රංගනය තුළින් නොවේද?

නාලන් මෙන්දිස්ගේ පස්සේ ගෙනා මනමාලි ටෙලි නාට්‍යයේ මම කළ රංගනයෙන් තමයි පේ‍්‍රක්ෂකයෝ මාව ඔවුන්ගේ හදවතට සමීප කරගන්නේ. මට මතක හැටියට ඒ නාට්‍යයේ නිල්මිණි තෙත්නකෝන් රඟපෑ චරිතයේ ළමා අවධිය තමයි මම රඟපෑවේ. දමිතා අබේරත්නගේ පළමු ටෙලි නාට්‍යය වුණෙත් මේ පස්සේ ගෙනා මනමාලි කියලයි මට හිතෙන්නේ. මේ නාට්‍යය එදා මිනිස්සු අතර ජනපි‍්‍රය වෙන්න එක් හේතුවක් වුණේ ඒ නාට්‍යය පිටපතේ තිබුණු සාර්ථකත්වය අනික එවක කෙරුණු නාට්‍යවල තිබු ප්‍රමිතිය නළු නිළියන් ගේ රංගනයේ තිබු ගුණාත්මකභාවය ඒ ප්‍රමිතිය ඉහළ තැනක තිබුණු නාට්‍යයක් නිසාවෙන් මම කළ රංගනයන් බොහෝ දෙනා අතර මතකයේ රැදිලා හිටියා.

පස්සේ ගෙනා මනමාලි පේ‍්‍රක්ෂකයන් අතර ඔබව රඳවා තබාගන්නා අතරේ ඔබට ටෙලි නාට්‍ය නිර්මාණ බොහොමයක් රංගනය සඳහා ලැබෙනවා නොවේද?

සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි. ටෙලි නාට්‍යයේ කුසුම්ගේ ළමා විය. මේ ටෙලි නාට්‍යයේ රඟපෑමත් සමඟ තමයි මට සිනමාවේ දොරටු විවර වන්නේ ටෙලි නාට්‍ය රංගනයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ නිසල විල. කඳුලින් ඇදි සිතුවම්, විලම්භීත, වස්සානේ හිරු ඇවිදින්, චෙස්, තාරා, රඟසොබා, සාරා, ඉමදිය මංකඩ, කුලවමිය ආදී ටෙලි නිර්මාණ වෙනුවෙන් මගේ දායකත්වය එක්වුණා.

සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය රංගනයෙන් ඔබ කුඩා අවධියේම මෙරට ප්‍රධාන පෙළේ සම්මාන උලෙළවලදී ඇගැයිම් ලබනවා නොවේද?

සුමිත්‍රා පීරිස්ගේ ලොකු දුව චිත්‍රපටය වෙනුවෙන් සරසවිය ඕ.සී.අයි.සී, ස්වර්ණසංඛ සම්මාන උලෙළවලදී කුසලතා සම්මානය මට හිමිවෙනවා. දුවට මවක මිස චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම නැගී එන නිළිය වෙනුවෙන් සරසවිය සම්මානය හිමිවෙනවා. ඉරැස්මා චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම නැගී එන නිළිය සඳහා ජනාධිපති සම්මානය හිමි වෙනවා. චෙස් ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා රයිගම් සම්මානය හිමිවෙනවා.

අමාගේ සිනමා ගමනයේ ආරම්භය සුවිශේෂී?

මගේ චිත්‍රපට රංගනය ආරම්භ කෙරෙන්නේ ලොකු දුව චිත්‍රපටයෙන් විශාල චිත්‍රපට ප්‍රමාණයක් මම රඟනොපෑවත් මම රඟ පෑ හැම චිත්‍රපටයකම කළ රඟපෑම ලොකු චරිතයක් නොවුණත් පේ‍්‍රක්ෂකයා අතර මතකයේ රැදුණු චරිත වුණා. දුවට මවක මිස, ඉරුස්මා, හෝ ගාණා පොකුණ, පත්තිනි, මා රඟපෑ අනෙක් චිත්‍රපට නිර්මාණ වුණා. මගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ලොකු දුව. මේ චිත්‍රපටයේ මම රඟපෑවේ අවුරුදු දහතුනේදී.

කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙපළක් වූ ඔබගේ දෙමාපියන්ගේ දැන හඳුනාගැනීම් මත ඔබට කලා ක්ෂේත්‍රයේ ඉක්මන් දුර ගමනක් යන්න තිබුණා නොවේද?

මම කුඩා අවධියේ කලා ක්ෂේත්‍රයේ ඇසුරේ හිටපු නිසා ද මම දන්නේ නෑ ඒ කාලේ මට ලොකු උනන්දුවක් බරක් පතළක් දැනුණේ නෑ. හැබැයි දැන් තමයි ඒක තේරෙන්නේ. ඒ කාලේ මේක සාමාන්‍ය දෙයක්. එදා ඒ ඇසුර මට නිරන්තරයෙන් තිබුණා. අද දෙමාපියන් දෙපළම මට නෑ. මට අවුරුදු හතළිය පනින කොට තමයි හිතුණේ මගේ ජීවිතයේ මම ආශාම දේ රඟපෑම කියලා. මම ආශා දේ මොනවාද මට ඕන දේ මොනවද කියල හරියට මට හඳුනා ගන්න පුළුවන් වුණේ මට අවුරුදු හතළිහ වුණාට පස්සේ. එතකන් මම එක එක දේවල් කළා. හැබැයි ඒ එක එක දේ මම කරපු එක දැන් මට ඉතාම ප්‍රයෝජනවත් කාලයක්. මම වෙළෙඳ දැන්වීම් කළා. මම හරියට තෝරාගත්ත දෙයක් තියෙනවා. අද ඒ රඟපෑම හා ඇඳුම් නිර්මාණය. තමන් ආශා කරන දේ කරන්න ලැබීමත් ජීවිතයේ ලොකු භාග්‍යයක්. රඟපෑම හා ඇඳුම් නිර්මාණය තුළ මින් ඉදිරියට මම රැඳිල ඉන්න උත්සාහ කරනවා. මම ඕනෙ තැනක කියනවා මට හරි ට්‍රැක් එකට වැටෙන්න අවුරුදු හතළිහක් ගියා කියන එක. මගේ දෙවන විවාහයෙන් පස්සේ තමයි මට ඕනෙ මොනවාද කියලා හඳුනාගෙන ගමනක් යන්න මට මොළේ පෑදුණේ.

අද ඔබේ කලා දිවියට මොනවගේ සහයක් ද ස්වාමි සැමියාගෙන් ලැබෙන්නේ?

සැමියා මට පුදුම සහයක් ලබාදෙනවා. මාව දිරිගන්වනවා. මම කැමති දේ කරන්න. මගේ සැමියා විමල් කැටෙපෙආරච්චි. ඔහුත් හොඳට කලාව කියන දේ හඳුනන කෙනෙක්. අපි අතර නිතර සංවාද ගොඩනැගෙනවා. කලා නිර්මාණ පිළිබඳ. එයා මට කරන්න ඕනෙ මොනවද කියල මට කියනවා. ඒ වගේම කලා නිර්මාණවල නියැළෙන මට උපරීම නිදහසක් දීල තියෙනවා. මම කැමති දේ කරන්න.

ඔබ ඕස්ට්‍රේලියාවට ගොස් අධ්‍යාපනය හැදෑරුවෙත් බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් නේද?

මට ඒ කාලේ ලොකු ඉලක්කයක් තිබුණෙත් නෑ. ඒ අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කරගන්නත් මට බැරි වුණා. ලංකාවට ඇවිත් සම්පුර්ණ කරගන්නවා කියලා හිතුවත් ඒකත් හරි ගියේ නෑ. ඒ කාලේ මම විවාහ වුණා. එකෙනුත් මගේ අධ්‍යාපන කටයුතු අඩාල වුණා. යම් තාක්දුරකට.

තාත්තා අම්මා කලාකාරයෝ නිසාවෙන් ඔවුන් ඔබට බල කළේ නැද්ද කලාවේ නියැළෙන්න කියා?

මගේ තාත්තා මට කිව්වේ කලාව පැත්තෙන් ගමනක් යන්න කියලා. ඒත් මම පොඩි කාලේ හරි මුරණ්ඩුයි. මුරණ්ඩුයි කිව්වට දෙමාපියන්ට අකීකරුකම් පෑව කියන එක නොවෙයි. තාත්තා මට කිව්වේ ආට් හරි ලැන්වේජ් හරි කරන්න කියලා. එදා මට තාත්තා කිව්ව දේ ඇහුවා නම් ඇත්තටම මට ආට් වලින් දුරගමනක් යන්න තිබුණා කියලා මට හිතෙනවා. ජීවිතයේ හැලහැප්පීම් එන්නේ කියා කිය නොවෙයි. මගේ තිබුණු මුරණ්ඩුකම නිසා මම හිතන දේ මම කළා. තාත්තා කිව්ව වෙලේ මම ආට් කලා නම් අද මම මෙහෙම ඉන්න නොවෙන්න තිබුණා. ජීවිතවල තීරණගැනීමේදී අපි හිතන පතන දේ වෙනස්. මේ මුරණ්ඩුකම අපේ පවුල් පරිසරය තුළින්ම ආපු දෙයක් වෙන්න පුළුවන්. මොකද මගේ අම්මා තාත්තාගේ වුණත් තමන්ගේ ජීවිතයේ ඒ වගේ මුරණ්ඩු තීරණ ගත්ත පුද්ගලයෝ දෙපළක්. දැන් වුණත් මම ගත්ත මුරණ්ඩු තීරණ දිහා ආපහු හැරිල බලනකොට වුණත් ඒ වාගේ සුන්දරකමක් දකින්නත් තියනවා.

රංග ශිල්පිනියක් වගේම ඔබ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් නේද අද?

ඔව් මේ හැකියාව මගේ පොඩි කාලේ ඉඳන් මා තුළ තියන දෙයක්. මගේ පළමු විවාහයෙන් පසුව එන කාල වකවානුව ඒ කියන්නේ සංක්‍රාන්ති සමයක් තිබුණා. ඒ කාලේ මට ආයෙත් ආට් වලට එන්න ඕනෙකම තිබුණා. පුංචි කාලේ තාත්තා සමඟ මට සමීපව කටයුතු කරන්න ලැබුණා. තාත්තා කරපු හැම වැඩකටම මමත් පුංචි කාලේ ගියා. ඒ ගිය අවස්ථාවලදී මට ඒ වැඩ පිළිබඳ ඉගෙන ගන්න ලැබුණා. තාත්තාගේ හැම නිර්මාණයකම ඇඳුම් වැඩ කළේ අපිමයි. ඇඳුම් නිර්මාණ ගැන මම හැදැරීමක් කරන්නේ නෑ. කුඩා කාලේ ඉඳල මා තුළ තිබු සහජ හැකියාවක් තමයි ඒකත්. මගේ ඇඳුම් නිර්මාණය කළෙත් කුඩා කාලේ මමයි. කොස්ටියුම් ඩිසයින් පිළිබඳ මාතුළ සහජ හැකියාවක් තියනවා. ඒක වැඩිිදියුණු කරගන්නත් මට අද අවස්ථාව උදාවෙලා තියෙනවා. කලා නිර්මාණයක වුණත් කොස්ටියුම් පිළිබඳ මට හොඳ ඇහැක් තියනවා.

සිනමාවටත්, පුංචි තිරයටත් ඔබගේ රංගනය සීමා වී තිබු මොහොතක දැන් ඔබ වේදිකාවේත් රංගනයේ නියැළෙනවා.

මගේ පළමු විවාහයෙන් පස්සේ මා ගෙවා දැමු සංක්‍රාන්ති කාල පරිච්ඡේදය තුළ තමයි මම වේදිකාවට එන්නේ. පුංචි කාලේ විජිත ගුණරත්නගේ සුබසාධක වේදිකා නාට්‍යයේ රඟපෑවා. හැබැයි මට දෙබස් නෑ. මගේ අම්මාත් එකේ රඟපෑවා. මට තිබුණේ පුංචි දැරියක් ලෙස සෙල්ලම් කරන්න. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වෙස්සන්තර නාට්‍යයේ රූපවාහිනී නිෂ්පාදනයේ ක්‍රිෂ්ණ ජිනාගේ චරිතය රඟපෑවා. මට කුඩා සන්ධියේ එදිරිවීර සරච්චන්ද්‍රයන් වගේ දැවැන්තයන්ගේ සෙවණේ වැඩ කරන්නත් මම වාසනාවන්ත වුණා.

අංගාරා ගඟ ගලා බසී. වේදිකා නාට්‍යයෙන් තමයි මම ප්‍රසිද්ධ වේදිකාව රංගනයට එක්වන්නේ. මේ නාට්‍යයේ ඇඳුම් නිර්මාණ කාර්යට සුවිනීතා සුබසිංහ මහත්මියත් සමඟ තමයි මම යන්නේ. ඇය වේදිකාවේ ඇඳුම් නිර්මාණකරණයේ සම්මානලාභී ශිල්පිනියක් ඇය තමයි මගේ දෙවැනි අම්මා. මගේ අම්මාගෙත් සමීප හිතවතියක්. මගේ ජීවිතයේ හැම සන්ධිස්ථානයකම ඇය හිටියා. මගේ පළමු විවාහයේ අවසානයේ ගෙවා දැමු සංක්‍රාන්ති සමය තුළ මම ඇයත් සමඟ ඇඳුම් නිර්මාණය සඳහා වැඩි නැඹුරුවක් දැක්වුවා. අංගාරා ගඟ ගලා බසී. පළමු නිෂ්පාදනයේ සුවිනීතා සුබසිංහ රඟපෑ ලරීසා කියන චරිතය තමයි මට එහි දෙවන නිෂ්පාදනය ලෙස 2013 දී වේදිකා ගත වූ අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ රඟපාන්න ලැබුණේ. මේ නාට්‍යයේ දර්ශන වාර කීපයක් රටපුරා වේදිකා ගත වුණා. ඊ.එම්.ඩී. උපාලිගේ ඉඩමේදී විකිණේ. නාලක ස්වර්ණ තිලකගේ පොත්ගුල්ලී, අංසක සායක්කාරගේ වැඩිහිටියන්ට පමණයි. මා රඟ පෑ අනෙකුත් නාට්‍ය අසංග ගේ කොටු කියල නාට්‍යයක පුහුණුවීම් කරමින් හිටියා. රටේ ඇති වූ වාතාවරණය නිසාවෙන් පුහුණුවීම් අතරමඟ නතර කළා. තව ටික කාලෙකින් යළිත් ඒ පුහුණුවීම් පටන් ගනියි.

දැන් ඔබේ වැඩි නැඹුරුව වේදිකාවේ රැදෙන්නද?

වේදිකාව ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට සඳහාත් ආරාධනා ලැබුණොත් රඟපෑම් නිරත වෙනවා භේදයකින් තොරව හොඳ පිටපතක් සමඟ හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ කෙරෙන ටෙලි නාට්‍ය චිත්‍රපට සඳහා මම කැමැත්තෙන් ඉන්නවා රඟපාන්න. ටෙලි නාට්‍ය නම් කීපයක් ලැබිලත් ප්‍රතික්ෂේප කළා. මම පිටපත ගැන සැලකිලිමත් වන නිසා චිත්‍රපටත් දෙක තුනක් ආරාධනා ලෙස ලැබුණා. ඒත් රටේ වාතාවරණය තුළ කවද කෙරෙයිද දන්නේ නෑ. චිත්‍රපට කීපයක ඇඳුම් නිර්මාණ සඳහාත් මේ වන විට කීප දෙනෙක් ආරාධනා කරල තියෙනවා. ඒ කටයුතුත් ඉස්සරහට කෙරේවි.

ඔබ විසින්ම වාරණයක් ඇති කරගෙන හිටියා නැවත රඟපාන්නේ නෑ කියලා.?

ඔව් මම එහෙම කිව්ව අවස්ථා තිබුණා. පළමු විවාහය සිදුවුණාට පස්සේ මම රඟපෑමෙන් සම්පුර්ණයෙන් ඇත්වුණා. මට අවුරුදු දහයක් රඟපාන්නේ නැතුව හිටියා. ඒ වැරදි තීරණය ගැන මට අද තියෙන්නේ ලොකු පසුතැවීමක් මට මතක හැටියට 2015 දී ආනන්ද අබේනායකගේ චෙස්, තාරා ටෙලි නාට්‍ය දෙකේ රඟපෑවට පස්සේ. තවම මම ටෙලි නාට්‍යයක රඟපෑවේ නෑ කියලා.

ඔබ විසින් ඇති කරගත් වාරණය නොවන්නට පෙර සේ රංගනයේ නියැළියා නම් ඔබ අද රංගනයේ දුර ගමනක් ගිය කලා ශිල්පිනියක් නොවේද?

වෙන්න පුුළුවන්. එදා මම ආදරය වෙනුවෙන් එහෙම කැපකිරීමක් කළා. අද මම ඒ ගැන දුක්වෙලා වැඩක් නෑ. ඒ කාලේ මගේ හොඳම කාළේ. එක්තරා විධියට ඒ ගැන හිතනකොට ඒක අනුවන තීරණයක් කියලත් හිතනවා. ඒ මොහොතේ මා තුළ ඇති වූ සිතුවිලි තුළ මම නතර වුණා. දැන් ඒ දෙස පුළුල්ව බලන්න පුළුවන් වෙලා තියනවා පටු අදහසකින් බලන්නේ නැතිව මට චිත්‍රපට ටෙලි නාට්‍ය පෝලිමේ ආපු කාලයක් තිබුණා. මගේ රූපය එක්ක වාණිජ චිත්‍රපට පවා මට රඟපාන්න ආරාධනා ලැබුණ. ඒ හොඳම කාලය ආදරය වෙනුවෙන් මම කැප කළා.

ඔබ කලාවේ ඉදිරිගමනක් නොයන්නට සිතනකොට තාත්තා අම්මා ඒ තීරණයට විරුද්ධ වන්නේ නැද්ද?

දරුණු ලෙස විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒකනේ මම මුරණ්ඩුයි කියන්නේ. මට ලැබෙන වාසනාවට මම පයින් ගහන්නේ ආයේ දෙපාරක් නොසිතා.

ඔබේ මල්ලිත් සමඟත් ඔබ රංගනයේ නියැළෙනවා. අයියා නංගී ලෙස?

මගේ මල්ලී විහඟ විජේසේකර දැන් බිස්නස් කරනවා. ටික කාලයක් ඕස්ට්‍රේලියාවේ මාත් සමඟ ඉගෙන ගත්තා. මල්ලියි මායි එකට රඟපෑවේ කුලවමිය ටෙලි නාට්‍යයේ. එකේ විශේෂත්වය වුණේ මගේ මල්ලී ටෙලි නාට්‍යයේ රඟපෑවේ මගේ අයියා විදියට මම ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවේ ඔහුගේ නංගී විදියට. මගේ සහෝදරයත් එක්ක රඟ පෑ එකම නිර්මාණය කුලවමිය. මල්ලීගේ හැකියාව වැඩි වශයෙන් තිබුණේ සංගීතය පැත්තට ඉදිරියේදී එයා ඒ පැත්තෙන් ගමනක් යයි. ඒ ගැන මම උනන්දුත් කරනවා.

අමා, ඇයි සංගීත පැත්තෙන් ගමනක් යන්නට අදහස් නොකළේ පියා ගායකයෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් සංගීත ගුරුවරයෙක් වෙලත්?

මට හිතෙන්නේ මගේ හැකියාව තිබුණේ රංගනයට කියල මට සාමාන්‍යයෙන් සින්දු කියන්න පුළුවන් පාසලේ දී විෂයක් විධියට හැදෑරුවා. ඒත් ගායිකාවක් වීමේ ආශාවට වඩා රංග ශිල්පිනියක් වීමේ වැඩි කැමැත්තක් මා තුළ තිබුණා හැබැයි දැන් මට හිතෙනවා ගායනයත් මට ඉගෙන ගත්ත නම් කොච්චර හොඳ ද කියලා.

සංගීතය පැත්තේ දැවැන්තයෙක්ගේ දියණියක් වී ගායනය වාදනය ඉගෙන නොගැනීම ගැන අද පසුතැවීමක් නැද්ද?

අපේ අම්මට තාත්තාට ලොකු ඕනෙ කමක් තිබුණේ නෑ අපිට බලකරමින් මේකම කරන්න කියල. ඒ දෙන්නගේ එකම පරමාර්ථය වුණේ අපි දෙන්නව හොඳ මිනිස්සු කරන එකයි. අපිට ඕනෙ දේ අපිට කරන්න නිදහස දුන්නා. තාත්තාගේ නිර්මාණවල වුණත් අපි ප්‍රධාන චරිත කරලා නෑ.

ඔබ විදෙස් ගත වෙලා ඉන්න කාලයේත් ටෙලි නාට්‍යයක රඟපෑවා.

සුදත් දේවපි‍්‍රය අධ්‍යක්ෂණය කළ සුමිත්‍රා රාහුබද්ධගේ සාරා ටෙලි නාට්‍යය මා මෙහි ද්විත්ව චරිතයක් රඟපෑවා. සාරා ලෙසත් චායා ලෙසත්

මවගේ පියාගේ අභාවය අද ඔබට කොයි ආකාරයෙන් ද දැනිලා තියෙන්නේ?

මගේ කලා දිවියට නොවේ මගේ ජීවිතයට මහා හිස් බවක් ඇති කරලා තියනවා. මහා දුකක් නොමැතිව මගේ දෙමාපියන් දෙපළ ජීවිත කාලයෙන් සමුගැනීම ගැන මට දුකක් නෑ. අවශ්‍ය මොහොතේ අපි ප්‍රතිකාර ලබාදුන්නා. ඒත් තව කාලයක් හිටිය නම් අපිට තව ජීවිතය බෙදාගන්න තිබුණනේ කියල මතක්වෙන කොට නම් ඇත්තෙන්ම හිතට දුකක් දැනෙනවා. තව ජීවිතය බෙදාගන්න තිබුණා නම් හොඳයි. අම්මෙක් තාත්තෙක් කාට වුණාත් නැති වෙනකොට ඇතිවෙන මහා පාළුව මට අදත් ජිවිතයේ තියෙනවා. අපේ දෙමාපියන් සමාජගතව සිටි චරිත වුණ නිසා ඒ දුක පාළුව අපිට තවත් දැඩිව දැනුණා.

140/31 එස්. කලාපුර, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස අමාගේ ලිපිනයයි.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න



https://www.youtube.com/watch?v=ZsqBkX4cpcE