සොහාන් වගේම මාත් ක්‍රිකට් පිස්සෙක්

සුප්‍රකට ගායන ශිල්පී රජීව් සෙබස්ටියන්
ඔක්තෝබර් 20, 2022

 

සීමිත ඕවර කුසලානයේ ඇරඹුම

සුන්දර හැත්තෑවේ

අධර ඩුලිප්, වර්ණපුර වැඩ පෙන්නුවේ

මම පාසල් යන කාලේ

ඈපල, පාලිල ගුවන් විදුලියේ

විස්තර කළ කාලේ

ලූෂන් ඩි සොයිසා බර්ටි විජේසිංහලා

මතකයි මගෙ බාලේ

වෙත්තමුණිලා, ඕපාතල හෙමිහිට

වැඩ අල්ලපු කාලේ

ඉන්දියාව පැරැද්දුවේ පළමු වරට

හැත්තෑව අග භාගයේ

සනත් කලූ අරවින්දල වාස් මුරලිලා

බැබළුනු කාලේ

අනූභාගයේ අර්ජුන ප්‍රමුඛව

ගෙන ආවා අභිමානේ

හැරුණා තරගය පනහෙන් ඕවර විස්සට

හයේ හතරේ ගිනිකෙළි මැද පිටිය පුරාවට

නායක බලතල හිටිහැටියේ වැටිල මාලි පිට

දෙදහස් දාහතරේ කිරුළ පැළඳුවේ අපේ රට

දසුන් කුසල් පැතුම් භානු වනල හතර වටේ

චනිඳු චාමි තීක්ෂණලා හිරකෙරුවා ගැටේ

පුහු මානය කීතු කරල නයි පෙන්නපු රටේ

ආසියානු කුසලානය ගත්තේ මෙදා පොටේ

ප්‍රවීණයන් හැර යනකොට එන්නේ තරුණ ළමයි

පරිණත වෙන්නට ටික කාලයක් යනව තමයි

හිමින් ගමන කලබලේට වඩා ඇඟට ගුණයි

මෙදා සැරේ ක්‍රිකට් කිරුළ අපේ පැතුම එයයි

ආසියානු කුසලානයක් එක්ක ආපසු සැරයක් අපේ රටේ ක්‍රිකට් ලෝලීන්ගේ උනන්දුව ආදරය, බැඳීම යළිත් උපරීම මට්ටමකට පත්වුණා. අපේ රටේ ක්‍රිකට් වලට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතර කලාකාරයොත් බොහොමයි. ඔවුන් තමන්ගේ හිතේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ළබැඳියාව විවිධ අයුරින් ප්‍රකාශ කරනවා. මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්. ක්‍රිකට් ඉතිහාසයේ බොහෝ තැන් සිහිපත් කරමින් ලියවුණු ක්‍රිකට් ගීතයක් ගැන කතා බහකටයි. මෙවර අපි එක්වුණේ මේ ගීතය පසුගිය 16 වැනිදා සිට සියලු මාධ්‍යයන් වෙත නිකුත් කරනු ලැබුවා. ක්‍රිකට් ඉතිහාසයේ බොහෝ තැන් සේම බොහෝ පුද්ගලයන් ද අපේ මතකයට ගෙන එමින් හරි අපුරු වීඩියෝවක් ද ඒ වෙනුවෙන් නිකුත් කර තිබුණා.

මේ ගීතය අපේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනකුගේ සුසංයෝගයකින් නිර්මාණය වූවක්. ගීත රචනය, සංගීත නිර්මාණය සහ ගායනයට එක්වෙන්නේ රජීව් සෙබැස්ටියන් ඔහුත් සමඟ යුග ගායනයට මෙන්ම සංගීත කණ්ඩායම් නායකයකු වන සොහාන් වීරසිංහ

‘ඇත්තටම මම මීට කලින් ක්‍රිකට් ගීත තුනක් ගායනා කරල තිබෙනවා. මේක මගේ හතරවැනි සින්දුව. මේ පාර මට මෙහෙම ගීතයක් කරන්න ඕන කියල කිසිම අදහසක් තිබුණේ නෑ. නමුත් මගේ ගමේ මොරටුවේ ඉන්න මංජු කියන මගේ යාළුවා මට කතා කරල මෙහෙම දෙයක් කරමුද ඇහුවා. ඔහුත් එක්ක කළ කතා බහෙන් පස්සේ පැය 24ක් ඇතුළත ගීතය නිර්මාණය වුණා. ගී පද රචනය කලොත් මම. මම දන්නේ නෑ මොන හේතුවක් ද කියල සාමාන්‍යයෙන් මම ගීතය ලියනකොටම මෙලඩි එක ඉබේම එනවා. ඒ වගේ මේ ගීතයටත් මට මෙලඩි එක ආවා.

මම ලිව්වේ ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය ගැන. මොකක්දෝ වාසනාවකට මම ඒ ඉතිහාසය දැනගෙන හිටියා. අපි පොඩි කාලේ අපේ ගෙවල්වල රූපවාහිනී තිබුණේ නෑ. අපි ක්‍රිකට් විස්තර අහගෙන ඉන්නේ රේඩියෝ එකෙන්. ආරම්භයේ සිට, ඊට පස්සේ ඕවර් 50 ඕවර 20ට වැටෙන හැටි, ඔය වගේ මඟක් දුරට එනකම්ම මම ගීතය ලිව්වා. ඊට පස්සේ මගේ යාළුවා මට යෝජනාවක් ගෙනවා අලුත් අයවත් අපි ටිකක් හයිලයිට් කරමු කියලා. ඊට පස්සේ මම තව වර්ස් එකක් ලිව්වා. එතෙන්දි මම වෙනස් විදියේ දෙයක් කළා. එදා මෙදා තුර අපේ ක්‍රිකට් වීරයෝ වගේම මේ ක්‍රිකට් ක්‍රීඩාව ගමට අරන් ගිය කී‍්‍රඩා විස්තර විචාරකයන් වන ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා වගේ අයත් ඉංගි‍්‍රසියෙන් විස්තර විචාරය කළ ලූෂන් ද සොයිසා, බර්ටි විජේසිංහ වැනි අය ගැනත් සඳහන් කළා. ඒ වගේම තමයි අපේ පරණ ක්‍රිකට් වීරයෝ යනකොට අලුත් අය එනවා. ඒ අය පරිණත වෙන්න කාලයක් යනවා. ඒකට අපි කාලයක් දෙන්න ඕන. මේ වගේ දේවල් ටිකක් එකතු කරලා තමයි මේ ගීතය ලිව්වේ’

රජීව් යනු යම් වැඩක් පටන් ගත් පසු එහි අවසාන ප්‍රතිඵලය දකිනතුරු ඉස්පාසුවක් නොමැතිව ඒ වැඩය වෙනුවෙන් කැපවෙන්නකි. එය අප දුටුවේ මේ ඊයේ පෙරේදා පමණක් නොවේ. ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ සිටමය. මෙම ක්‍රිකට් ගීතය නිමවනතුරු ද ඔහුට ඉස්පාසුවක් නොවීය. ඔහුගේම ගීත රචනයට, ඔහු ගේම ගායනයට, තනු නිර්මාණයට යුග ගී ගයන්නට ඔහු තෝරාගත්තේ මේ රටේ ප්‍රමුඛතම ගායකයෙකි. එසේම ප්‍රමුඛතම සංගීත කණ්ඩායම් නායකයෙකි. ඔහු සොහාන් වීරසිංහය.

‘සොහාන් වීරසිංහ කියන්නේ මේ ක්ෂේත්‍රයේ මට වඩා ප්‍රවීණයෙක්. මං ඔහුගෙන් ඉගෙන ගත්තු දේවල් බොහොමයි. ඔහුත් සමඟ කතා බස් කළත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. වයස විතරක් නොවෙයි ප්‍රවීණත්වය කියන්නේ ඡ්යනඥපඪඥදජඥ එක. මම ක්ලැරන්ස් විජේවර්ධන කියන චරිතය ඇසුරු කරලා තියනවා අවුරුදු 15ක්. ඩෙස්මන් ද සිල්වා අවුරුදු විසි ගණනක් ආශ්‍රය කරලා තිබෙනවා. හැරල්ඩ් සෙනෙවිරත්න. සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන ඔය සියලු දෙනා එක්ක වැඩකරල ආශ්‍රය කරල තියෙනවා. ඒ වගේම සොහාන් වීරසිංහ කියන්නෙත් සින්දුවක් කියලා මෙලඩියක් දාලා ලෝකේ වටේ කැරකිච්ච බෑන්ඩ් එකක ලීඩර් කෙනෙක්. සොහාන්වත් මේකට සම්බන්ධ කරගෙන අලුත් විදියකට මේ ගීතය කළා.

මගේ යාළුවට මේ ගැන අදහසක් තිබුණා. ඔහුට ඕන වුණේ ගායකයෝ හතරදෙනෙක් දාලා මේක කියවන්න. නමුත් මම ඒකට වෙනම විදියක් දුන්නා. මම කල්පනා කරත්දි ඩෙස්මන් ද සිල්වාත් නෑ. ඊට වඩා උඩින් ඉන්නවා නම් ඉන්නේ සුනිල් පෙරේරා. ඔහුත් ජීවතුන් අතර නෑ. ලංකාවේ සීනියර්ම වෙස්ටන් බෑන්ඩ් වෙන්නේ ජීප්සීස්, සොහාන් ඇන්ඩ් ද එක්ස්පරිමන්ට් සහ රජීව් ඇන්ඩ් ද ක්ලෑන්. ජීප්සීස්ලගේ දැන් පියල් ඉන්නේ. බෑන්ඩ් එක තිබුණට සුනිල් නෑ. ඇනස්ලි අයියා ලංකාවේ නෑ. ඊළඟට ඉන්න සීනියර්ම කෙනා තමයි සොහාන්.

ඒ සීනියර් කමටත් වඩා සොහාන් කියන්නේ නිදිමරාගෙන ක්‍රිකට් මැච් බලන ක්‍රිකට් උණක් තියන කෙනෙක්. තව පැත්තකින් විශේෂත්වයක් තියනව එයාගේ පුතා ක්‍රිකට් බෝඩ් එකේ’

රජීව්ගේ තෝරා ගැනීම් කිසි දවසක වැරදුණේ නැත. ඔහු මින් පෙර කළ ‘නානා’ ගීතය මෙන්ම ‘සරම’ ගීතය ද අතිශයින්ම ජනප්‍රිය වූ අතර ඒ සඳහා සුසංයෝගී කරගත් ගායකයන් ද ගහට පොත්ත සේ ගැලපුණා. ‘නානා’ ගීතය සඳහා ඔහු එවර ඉෂාක් බෙග් එක්කර ගත්තා සේම ‘සරම’ සඳහා රොනිලීච්, සුනිල් පෙරේරා, ඇන්ස්ලි මාලේවන සහ ඩෙස්මන් යොදා ගත්තා. එදා එම ගීත ජනපි‍්‍රය වූවා සේම මෙදා සොහාන් සමඟ ගායන ක්‍රිකට් ගීතය ද ජනපි‍්‍රය වීමට ඔහුට අමුතුවෙන් යමක් කළ යුතු වන්නේ නැති බවයි මගේ හැඟීම.

‘මේ ගීතය යම් දවසක ජනපි‍්‍රයත්වයේ හිණි පෙත්තට ගියොත් ඒ ගෞරවය මට පමණක් නොවෙයි මේ ගීතයට දායක වෙච්ච සියලුම දෙනාට සම සමව බෙදෙන්න ඕන.’ රජීව් කිව්වේ තම කණ්ඩායම පිළිබඳ වන අසීමිත ආදරයකින්.

සොහාන් වීරසිංහ ද සංගීතයට සේම ක්‍රිකට් ක්‍රීඩාවට ද එක සේ ආදරය කරන්නෙක්. වත්මන් සංගීත ක්ෂේත්‍රයේ අපට සිටින ජ්‍යෙෂ්ඨතම බටහිර සංගීත කණ්ඩායම් නායකයා වන ඔහු ගායනයෙන් මෙන්ම ගී තනු නිර්මාණයෙන් ද මෙරට ගීත සාහිත්‍යයට නිර්මාණ තිළිණ කළ ඊටත් එහා ගියහොත් ලෝකයේ විවිධ රටවල සංචාරය කරමින් සංගීත කණ්ඩායමක් ලෙස ලබාගත හැකි සුවිසල් අත්දැකීම් සමුදායක් ලබාගත්තෙකි. මේ ප්‍රවීණත්වය, මේ ජ්‍යෙෂ්ඨත්වය, මේ පරිණත භාවය සේම වත්මනේ ඔහුගේ පුත්‍ර රත්නයද ක්‍රිකට් හා බැඳී පැවතීම මෙම ගීතයේ දායකත්වයට ඔහු ඉහළින්ම සුදුසුකම් ලබනවා. වර්තමානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් ෆිට්නස් කෝචර් ලෙසින් කටයුතු කරන්නේ සොහාන් ගේ පුතුය.

කෙසේ වෙතත් රජිව් මේ ගීතයට ඉතාම අලංකාර රූප රචනයක් ද නිර්මාණය කළා. ක්‍රිකට් යන්නෙහි අනන්‍යතාවය තහවුරු වන බොහෝ ස්ථාන ප්‍රදේශ පුද්ගල චරිත ඔහු මෙහි රූප රචනය වෙනුවෙන් ළංකර ගත්තා.

මෙරට බටහිර සංගීත ශෛලිය වෙනම ආකාරයකින් ඉදිරියට පවත්වාගෙන යෑමට රජීව් ඇතුළු කණ්ඩායමෙන් ඉටු වනුයේ මහඟු මෙහෙවරක්. පුරා වසර ගණනාවක් ක්ලැරන්ස් වැනි අතිශය රමණීය ගී තනු සහ සංගීතය නිර්මාණය කළ සංගීතඥයකු සමීපයේ හැදෙමින් වැඩෙමින් ගත කළ ඔහුගේ දිවිය වත්මනේ මෙවන් නිර්මාණයන්හි නිරත වන්නට පන්නරයක්ම වන්නට ඇති. ප්‍රවීණත්වයට ගරු කරමින් ඔවුන් සමඟ නිර්මාණකරණයේ යෙදෙන්නට සේම බටහිර ශෛලියේ නවක ගායක ගායිකාවන් වෙත සිය සහෝදරත්වයේ දෑත දිගු කරන්නට ද රජීව් කිසිවිටෙකත් පසුබට නොවන තැනැත්තෙක් බව මේ වනවිටත් ඔප්පු කර හමාරය.

 

 

සේයාරූ - තිලක් පෙරේරා