වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
එදා සුදර්ශියට පා තැබූ අය දක්ෂ ශිල්පීන් වුණා

රංගන ශිල්පියකුට ඕනෑම චරිතයක් රඟපෑමට හැකියාව තිබිය යුතුයි
කොළඹ ඉසිපතන විදුහලේ විද්‍යා ගුරුවරයා වුුයේ එවකට වේදිකාවේ සහ සිනමාවේ දස්කම් පෑ රන්කඳ, සුභ සහ යස ආදී ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවල රඟපෑ ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පියකු වූ උපාලි අත්තනායකය. මේ ගුරුවරයා විද්‍යා ගුරුවරයකු වූ වුවද ඔහු වඩාත් ඇලුම් කළේ කලාවටය. ඒ අරභයා ඔහුගේ සිසුන් ද කලාවට සමීප වනවා දැකීමට ඔහුගේ අභිප්‍රාය විය. පාසැල් වේලාව අවසන් වූ සිසුන්ට විද්‍යාගාරයට පැමිණෙන්නට ඔහු ආරාධනා කළේ කලාව පිළිබද දස්කම් හැකියාවන් සහ ආශාව ඇති යමෙක් වේ නම් කලාවට සම්බන්ධ වීමට ඔහු අතහිත දෙන බව පොරොන්දු වෙමිනි.
ඔහුගේ ගෝලයකු වූ අපේ කතා නායකයා කලාවට දැක්වුයේ අසීමිත ඇල්මකි. ජන්මයෙන්ම ඔහු තුළ තිබූ කලා කෞශල්‍යයන් ඔපමට්ටම් කරගැනීමට ගුරුතුමා ගෙන් ලද්දේ උපරීම සහයෝගයකි. ගුරුතුමා ගෝලයාට දැක් වූ ඇල්ම කෙතරම් ද යන්න ප්‍රත්‍යක්ෂ වුයේ ගුරුතුමා ප්‍රධාන චරිත රඟ දැක් වූ නාට්‍යවල පෙර පුහුණුව නැරඹීමට ගෝලයා එක් කරගෙන යාමත් සමඟමය. ඔහුගේ මඟපෙන්වීම යටතේ ගෝලයාට සුදර්ශීයට ගොඩ වදින්නට අවස්ථාව හිමිවුණි. සුදර්ශිය යනු ලංකාවේ සිටින ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පීන්ගේ තිඹිරි ගෙයයි.
ඒ දවස සුදර්ශියේ ප්‍රවීණයන් වූයේ නීල් අලස්, මියුරි සමරසිංහ, චන්ද්‍රා කළුආරච්චි ආදීන්ය. පුංචි කොලුවාට ද ඔවුන් සමඟ ඇසුරේ ගත කිරීමට අවස්ථාව හිමිවිය. හා පුරා කියා ඔහුට රංගන වරම් හිමි වන විට ඔහුගේ වයස අවුරුදු දහනමයක් පමණ විය. ටී.බී. ඉලංගරත්නයන්ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ උපාලි වනසිංහගේ ශෛලාසනය වේදිකා නාට්‍යයේ විශ්වමිත්‍ර නැමති, විනාඩි හතරකට පමණක් සීමා වූ සුළු චරිතය රඟපාමින් රංගන දිවිය ඇරඹු ඔහු චරිතාංග නළුවකු පමණක් නොව ප්‍රහසන කලාව තුළින් හාස්‍යෝත්පාදක චරිත රංගනයේ යෙදුණු රංගන ශිල්පියකු වූ ආනන්ද වික්‍රමගේ ය.
ආනන්ද වික්‍රමගේ පවුල කලා පවුලකි. ඔහුගේ බිරිඳ ප්‍රකට නිළි මානෙල් වානගුරුය. මානෙල් වානගුරු යනු ඩඩ්ලි වානගුරු ගේ දියණිය යි. ආනන්ද මානෙල්ට දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් පුතු ජනිත් වික්‍රමගේ ඔහු තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකි. දෙවැනි පුතු සංකේත් වික්‍රමගේය. ඔහු ද පුංචි තිරය වේදිකාවට ජයගත් නළුවෙකි.
ආනන්ද වික්‍රමගේ සිය අතීතය අප සමඟ බෙදා ගත්තේ මේ අයුරිනි.
මම උපන්නේ කොළඹ කොල්ලුපිටියේ. ඉගෙන ගත්තේ ඉසිපතන විද්‍යාලයේ. පවුලේ හත් දෙනයි. මම හය වැනියා. ගැහැනු ළමයි දෙන්නයි පිරිමි ළමයි පස්දෙනයි. තාත්තා විජයසිරි වික්‍රමගේ රැකියාව කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අම්මා ගෘහණියක් පූජාවනි.
මම නළුවෙක් වුණත් පාසලේ දස්කම් දැක්වුයේ රගර් ක්‍රීඩාවට. මම රගර් කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස ක්‍රීඩා කළා.
ඔබ සුදර්ශියෙන් බිහි වූ කලාකරුවෙක්, චරිතාංග නළුවකු ලෙස ක්ෂේත්‍රය තුළ සුවිශේෂිත දස්කම් දැක්වීමට සුදර්ශීය හොඳ තෝතැන්කක් නේද?
මම එය සියයට සීයක්ම විශ්වාස කරනවා. සුදර්ශීය කියන්නේ වේදිකා නළුවන්ගේ මහගෙදර. සුදර්ශියට පයගහපු හැමෝම දක්ෂ රංගන ශිල්පීන් බවට පත්වුණා. ඒ ගැන කතා දෙකක් නැහැ. සුදර්ශි මගේ සමකාලීනයන් වූයේ ජයසේකර අපෝන්සු, පේ‍්‍රමසිරි කල්පගේ, රංජීත් සුරංග, සොමී රත්නායක යන අය.
වේදිකාවෙන් සිනමාවට සහ ටෙලි නාට්‍ය කෂේත්‍රයට පිවිසි ඔබ වේදිකාවෙන් ලැබුණු පන්නරය පිළිබඳ කතා කළොත්?
මම අදත් වේදිකාවට ආදරෙයි. වේදිකා රංගනය තුළ මම ලැබූ පන්නරයෙන් සිනමාවේ පුංචි තිරයේ දස්කම් දැක්වීමට මට හැකියාවක් ලැබුණා. වැනිසියේ වෙළෙන්දා, සාජන්ට් නල්ල තම්බි, උතුරේ රාහුල, නෙයිනාගේ සූදුව වැනි අතිශය ජනප්‍රසාදය දිනාගත් වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑමේ වරම් මට හිමිවුණා. ඒ සියල්ලක්ම එකිනෙකට වෙනස් වූ විවිධ වූ චරිත.
මගේ මතකය අනුව ඔබ හා පුරා කියා රඟපෑවේ විජය ධර්ම ශ්‍රී ගේ චූඩා මාණික්‍ය චිත්‍රපටයයි. එහි රඟපෑවේ උප ප්‍රධාන චරිතයක්. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
වූඩාමාණික්‍යයට පෙර සුදු පරෙවියෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටියා. පෙනී සිටිමක් පමණයි රංගනයක් නොවෙයි. ෙවිශ නිරූපණ ශිල්පී කොස්තා මට කිව්වා විජය ධර්ම ශ්‍රී අලුත් නළුවෙක් සොයනවා හමුවන්න කියා. විජය ධර්ම ශ්‍රී එවකට රැකියාව කළේ කාල ගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ. සුදර්ශීයට අල්ලපු බිල්ඩිම තමයි කාලගුණ දෙපාර්තමේන්තුව. මම විජය ධර්ම ශ්‍රී මුණ ගැසුණා. තිරපිටපතේ ආකාරයට එහි තිබූ චරිතයට මාව හොඳට ගැළපුණා කියා ඔහු පැවසුවා. හා පුරා කියා සිනමාවට පිවිසියේ විජය ධර්ම ශ්‍රී ගේ චූඩා මාණික්‍ය චිත්‍රපටයෙන්. එය සැලකිය යුතු චරිතයක්.
ඔබ රංගනයෙන් දායක වූ චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ කතා කළොත්?
මම චිත්‍රපට හතළිහකට ආසන්න සංඛ්‍යාවක් රඟපාලා තියෙනවා. සමාවෙන්න, ආයාචනා, බට්ටි, ක්‍රිස්තු චරිතය, ධනය, සුරනිමල, චායා මායා, යසෝමා, එක දා වැහි ආදී චිත්‍රපට ගණනාවක මම රඟපෑවා.
පසුකාලීනව පේ‍්‍රක්ෂකයා ඔබ දුටුවේ හාස්‍යෝත්පාදක චරිත තුළින් ඒ වෙනසට හේතුව?
යසපාලිත නානායක්කාර ඔහු අධ්‍යක්ෂණය කළ ප්‍රථම සහ එකම ටෙලි නාට්‍යය වන පටලැවිල්ල ටෙලි නාට්‍ය මාලාවේ රඟපාන්නට මට ආරාධනා කළා. මම රඟපෑවේ මුදලාලි සහ සිරිපාල යන ද්විත්ව චරිත. ලැබුණ චරිත අනුව මගේ රංගනය පිළිබඳ මට විශාල පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඉන්පසුව මාව තෝරා ගනු ලැබුවේ හාස්‍යෝපාදක චරිත සඳහාය. හා පුරා කියා හාස්‍යෝත්පාදක චරිතයක් රඟ පෑ චිත්‍රපටය වූයේ ලාල් පි‍්‍රයදේව අධ්‍යක්ෂණය කළ ජොලි හලෝ චිත්‍රපටයයි. රන්ජන් රාමනායක ගේ පාර්ලිමන්ට් ජෝක්ස්, රෝයි ද සිල්වාගේ රෑ දනියෙල් දවල් මිගෙල්, ක්ලීන් අවුට්, වැඩ බැරි ටාසන්. ලැන්ටි සිංඤාී ආදී චිත්‍රපට සංඛ්‍යාවක හාස්‍යොත්පාදක චරිත මම රඟපෑවා. විශේෂයෙන් කිව යුත්තක් තිබෙනවා. ක්‍රියාදාම චිත්‍රපට සඳහා අධ්‍යක්ෂවරු මාව තෝරා ගත්තේ නැහැ. නමුත මා රඟපෑ හාස්‍යෝත්පාදක චිත්‍රපට අතිශය ජනපි‍්‍රය වුණා.
ඔබ නිතර දෙවේලේ පුංචි තිරයේ දකින්නට ලැබෙන නළුවෙක්.
පසු කාලීනව බොහෝ අධ්‍යක්ෂවරු ටෙලි නාට්‍ය සඳහා යොදා ගත්තා. ඒ හේතුව මත මං ජනතාව අතර බොහෝ සෙයින් ජනපි‍්‍රය වුණා. ඇතැම් ටෙලි නාට්‍යවල මම රඟපෑවෙත් හාස්‍යෝත්පාදක චරිත
පසුකාලීනව ඔබ හාස්‍යෝත්පාදක චරිතවලට පමණක් කොටු වුණා නේද?
මම විශ්වාස කරන දෙයක් තමයි පේ‍්‍රක්ෂකයාව හිනස්සනට අමාරුයි. මගේ රඟපෑම තුළින් පේ‍්‍රක්ෂකයා සිනහ වෙනවානම් එයින් හැඟී යන්නේ මට පැවරූ චරිතය සාර්ථක වූ ඉටු වූ බවයි. රංගන ශිල්පියෙක් ලෙස තමාට පැවරෙන ඕනෑම චරිතයක් කිරීමට හැකියාව තිබිය යුතුයි. මට හැඟෙන පරිදි මාව මෙහෙය වූ සියලුම අධ්‍යක්ෂවරුන්ට මම සාධාරණයක් ඉටුකර තිබෙනවා. හාස්‍යෝත්පාදක චරිත රංගන ශිල්පීන් අපට සිටින්න්නේ අල්ප වශයෙන්.
කොහොමද ඔබේ බිරිඳ මානෙල් මුණ ගැසුණේ?
ටෝනි රණසිංහයන් නිෂ්පාදනය කළ වැනිසියේ වෙළෙන්දා වේදිකා නාට්‍යයේ මම රඟපෑවා. එහි පෝර්සියා ගේ චරිතය රඟ දැක්වුයේ මානෙල්. එතැනදී ඇති වූ දැන හැඳුනුම්කම් ආදරේකට පෙරළි ඇය මගේ ජීවිතේ සහකාරිය වුණා. අපි විවාහ වෙලා කොහුවල පදිංචියට ආවා. ලොකු පුතා ජනිත් සහ පොඩි පුතා සංකේත් දෙදෙනා ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. සංකේත් ටෙලිනාට්‍ය ගණනාවක රඟපෑවා. නමුත් දැන් එයා විවාහ වෙලා පදිංචිය එංගලන්තයේ. ජනිත් අපේ අඩි පාරේ යමින් කලාවේ නිරත වී සිටිනවා. මම සිතනවා ජනිත් කලාවේ ස්ථාවරත්වයක් ගොඩනගා ගනීවී කියා. ඔහු කැපවීමෙන් වැඩකටයුතු කරන පුද්ගලයෙක්.
වර්තමානයේ ඔබ රඟපෑ නිර්මාණ අප දුටුවේ නැහැ.
මම මෑත භාගයේ රඟපෑමෙන් ඈත් වී සිටිනවා. මට වකුගඩු අමාරුව හැදුණා. මගේ එක වකුගුඩුවක් අවුරුදු 3කට පෙර බද්ධ කළා. ඉන් පස්සේ මම වෛද්‍ය උපදෙස් මත රඟපෑමෙන් බොහෝවිට ඈත් වුණා. මම අවසන් වරට රඟපෑවේ හර්ෂ උඩකන්දගේ කබඩි චිත්‍රපටයේ.
කලාව වෙනුවෙන් අනගි සේවාවක් ඉටුකළ අද ජීවිතේ සැදෑ සමය ගෙවන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු දෙපළට නිදුක් නීරෝගී සුවය අපි ප්‍රාර්ථනා කරමු.
සේයාරුව - නිශ්ශංක විජේරත්න