බටහිර නර්තනයේ හැම අංශයක්ම මා හැදෑරුවා

ඩිල්ශාන් විනෝෂ්‍ය ආබෲ
පෙබරවාරි 2, 2023

 

හේ කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. පාසල් සමයේ රාජකීයන්ගේ කලා පරිෂදයේ ඕනෑම කටයුත්තකට නිරතුරුම අවශ්‍ය ශිෂ්‍යයකු විය. ගායනය, වාදනය, නර්තනය හා රංගනයට එක ලෙස දස්කම් දැක්වූ ඔහු පාසලට ඉන් අත්කර දුන්නේ අපරිමිත කීර්ති නාමයෙකි. ඉන් පසු වැඩිදුරටත් දමින්ද ධම්මලගේ යටතේ බටහිර නර්තන කලාව හා රංගනය හැදැරිම ප්‍රගුණ කළේය. හැදෑරීම් සියල්ල අවසන් කිරීමෙන් පසු බටහිර නර්තන ශිල්පියෙක් ලෙස ඔහු ජනප්‍රියත්වයට පත්විය. කලා ක්ෂේත්‍රයේ ඕනෑම අවස්ථාවක බටහිර ශෛලියේ නර්තන ශිල්පියෙකුගේ අවශ්‍යතාවය දැනුණු විට ඔහුගේ නම ඉහළින්ම සටහන් වේ. වේදිකාව, ටෙලිනාට්‍ය,සිනමාව හා නර්තනයට දක්ෂතාවයත් හා ඇල්මක් දක්වන ඔහු ඩ්ල්ශාන් විනෝෂ්‍ය ද ආබෲයි.

 

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

මම කලා ක්ෂේත්‍රයට පිවිසීම ආරම්භ කරන්නේ රාජකීය විද්‍යාලයෙන්. එදා පාසලේ කලා කටයුතුවලට හිටපු ශිෂ්‍යයන් අතර මම එක් ශිෂ්‍යයෙක්. නර්තනය, ගායනය, වාදනය මෙන්ම රංගනයටත් එක ලෙස පාසලේ දක්ෂතා දක්වපු ශිෂ්‍යයෙක්. මගේ ජීවිතේ පාසලෙන් සිදු කරපු මේ වෙනස මගේ අනාගතයට ලොකු තෝතැන්නක් වුණා. ජීවිතේ ජයගන්න මඟක් කියා දුන්නා මට මේ කලාව. ඒ නිසා මම අද සතුටින් ජීවත් වෙනවා. ජිවිතේ සතුට තරම් තවත් දෙයක් නෑ. එය ඕනෑම සත්ත්වයෙකුට උරුම දෙයක්.

 

පාසලෙන් සමුගත් ඔබ බටහිර නර්තන කලාවට යොමු වෙන්නේ කොහොමද ?

රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ දීම මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා බටහිර නර්තන කලාව හදාරන්න. මේ ඉන්න අතරතුරේ දී තමයි මට දමින්ද ධම්මලගේ ගුරුතුමා හමුවන්නේ. ඉන් පසු මම ඔහුගෙන් බටහිර නර්තන කලාව ඉගෙන ගන්නවා. අද වන විට මම බලාපොරොත්තු වුණ යම් තැනකට එන්න ලැබිලා තියෙනවා. ඉන් පසු මම ලිවින් නුගාරා සහ බටහිර නර්තන ආචාර්යවරු කිහිප දෙනෙක්ගෙන්ම විවිධ ශෛලීන් ඉගෙන ගත්තා.

 

මේ වන විට ඔබ ඉගෙනගෙන තියෙන බටහිර නර්තන ශෛලීන් මොනවාද ?

ලැටින් ඇමරිකන්, බෝල්රූම්, කියූ බන්, බොලිවුඩ්, ෆී‍්‍රස්ටයිල්, බයිලා යන සියල්ලම ඉගෙනගෙන තියෙනවා. මේ ප්‍රධාන නර්තනයන් අනු කොටස් ලෙස ගොඩක් කැඩිලා යනවා. ඒවා එකිනෙක ඉගෙන ගත යුතුයි. එක කොටසක් වත් මගහැර ගන්න බැහැ. එහෙම නොවුණොත් බටහිර ශෛලීන් ඉගෙන ගෙන වැඩක් නැහැ. විශේෂයෙන් සඳහන් කළොත් ජයිව, චචා, රැම්බා, සබ්බා, ලැටින් ඇමරිකන් යටතේ ඉගනගන්න ඕනෑ. බෝල් රූම්වල වෝල්ඩ්ස්, වියනිස්, සෝරිදම්, ක්විස්ටෙප්ස්පොක්ස්ටස්, ටැංගෝ ද වශයෙන් අනු කොටස් ගොඩක් එනවා. ඉතුරු ප්‍රධාන ඒවගෙත් මේ විදිහටම ගොඩක් කැඩිලා යනවා. මේ ඔක්කොම ඉගෙන ගැනීම තමයි අපි කළ යුතු හොඳම දේ. මේ සියල්ලම අද වන විට හදාරා හමාරයි. ගොඩක් තැන්වල බටහිර නර්තන කලා උගන්වනවා. ඒත්, රිදම් එකට උගන්වන තැන් බොහොම අඩුයි. මට ඒ සියල්ල ඉගෙන ගන්නට ලැබුණා.

 

ඔබ බටහිර නර්තනය උගන්වන ගුරුවරයෙක්ද ?

ඔව්. මම දැනට බටහිර නර්තන කලා උගන්වන ගුරුවරයෙක්. ඊට අමතරව තමයි මම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. මේ වන විට මම චිත්‍රපටවලට සහ ටෙලි නාට්‍යයට මෙන්ම වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. කොරෝනාවලට ඉස්සෙල්ලා ළමයි හාරසියයක් පන්සීයක් විතර ඉගෙන ගත්තා.

 

කොරෝනා සමයේ ඔබට මෙවැනි නර්තන ශෛලීන් උගන්වන්න අපහසු වුණේ නැද්ද ?

ඒ ගැන කිව යුතු ගොඩක් දේවල් තියනවා. බටහිර නර්තන කලාවේ ගොඩක් වෙලාවට ළං වෙලා තමයි නටන්නේ. ඒ නිසා මේ නර්තනවලට සහභාගි වුණ ළමයින්ට නර්තන කලාව හදාරන්නට බැරි වුණා. නර්තනයට විතරක් නෙමේ සියලුම කලා කටයුතු ඒ කාලය තුළ නැවතුණා. මම කවදාවත් හිතුවේ නෑ ආයේ මේ නර්තන කලාව ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. නර්තනය පැත්තකට දැම්මත්, අනිත් රංගන කටයුතු පවා කර ගන්නට නොහැකි වුණා. ඒක, ජීවිතයත් එක්ක කොහොමද ගණුදෙනු කරන්නේ කියන එක ලොකුවටම දැනුණ කාලයක් වුණා.

 

ඔබ දේශිය වෙදකමටත් නැඹුරුවෙච්ච ශිල්පියෙක් නේද?

මේ සියලු දේ වලට අමතරව මම දේශීය වෙදකම මුල් කරගෙන සමට අවශ්‍ය පැහැපත්විමේ දේශිය ඖෂධ නිෂ්පාදනය කරනවා. රූපලාවණ්‍ය කටයුතු ද කරනවා. මේ සම්බන්ධව මම ඩිප්ලෝමාධාරියෙක්. ජීවිතයේ කලාවත් එක්ක ඕනෑම දෙයක් කරන්න පුළුවන්. නර්තනයට, රංගනයට හා ගායනයට ඕනෑම දේකට දේශීය දේවල් අවශ්‍ය වෙනවා. ඒක, පැහැපත් බව රඳවා ගැනීමටත්, හඬ පාලනය කර ගැනීමටත් මේ සියල්ල මා සතු කරගෙනයි තියෙන්නේ.

 

ඔබ මේ වන විට දායක වී ඇති නිර්මාණ මොනවාද ?

දැනට වේදිකා නාට්‍ය තුනක විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. ළඟදීම සම්බන්ධ වුණේ පී‍්‍රති විජේසිංහ නිෂ්පාදනය කළ සුරේෂ් කුමාරසිංහ අධ්‍යක්ෂණය කළ ‘සුපර් හිරෝ’ සිනමා පටයටයි. තවත් සිනමා නිර්මාණ කිහිපයකටත්, ටෙලි නාට්‍ය හා මියුසික් විඩියෝ කිහිපයකටත් කතා කරලා තියනවා. මම රංගනයට සහ නර්තනයට මෙය අවස්ථාවක් කර ගන්නවා. මට මේ ගමනට උදවි කළ කිරන් ජි. සෝයිසාට හා අනෙකුත් සියලු දෙනාටම ස්තූතියි.

 

ඔබ ලස්සන තරුණයකු ලෙස ආදරය විදින්නේ නැද්ද?

‘ආදරය සුන්දර වරදකි’ කියල තමයි ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ. ජීවිතයේ ආදරය කරන මිනිස්සු බොහොම අඩුයි. ආදරයට ආදරය කරනවා වෙනුවට වේදනා දෙන එක තමයි අද දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ජිවිතයට අවශ්‍ය තැනදි ආදරය ලැබෙයි කියලා හිතෙනවා.

 

කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?

ඒකනම් උපරිමයෙන්ම ගෙදරින් ලැබෙනවා. ඇදුම් පැලදුම් ලැස්ති කිරිමේ තැන ඉදන් අම්මාගෙන් සහ තාත්තාගෙන් උපරිම සහයෝගය ලැබෙනවා. ඒ වගේම යාළු හිතමිත්‍රාදීන් ගෙන්ද ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ. ඒක මගේ මේ ගමනට හොඳ රුකුලක් වෙලයි තියෙන්නේ. ඒ සියලු දෙනාටම පිං.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?⁣

මේ ගමන සතුටින් මම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී නර්තනය පැත්තෙන් මෙන්ම හොඳ සිනමා නිර්මාණ කිහිපයකට සහ ටෙලි නාට්‍ය කටයුතුවලට හොඳ දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

[email protected]