භින්න රුචික පාඨක පිරිසකට අමතන්න මට හැකියාව ලැබුණා

ජනප්‍රිය ලේඛිකා, නිවේදිකා තාරකා වාසලමුදලිආරච්චි
මාර්තු 2, 2023

 

අකුරු දෙකේ නම් එක්ක ඇයට තියෙන්නේ සමීප සබැඳීයාවක්. අකුරු දෙක වුණත් ඒ අකුරු දෙක අස්සෙන් අපට මහා විශාල කතාවක් ඇය කිව්වා. දෙහි වලින් පටන් ගත්තම මැටි, කළු, ඇස්, පාට ගුරු සමඟ ඇය පුරා වසර ගණනාවක් මේ රටේ සුවහසක් පාඨකයාට කතන්දර ගෙතුවා. ආදරය, ප්‍රේමය, විරහව, පවුල් සබඳතා විශ්වාසය ඇතුළු මෙකී නොකී මිනිස් සබඳතා ඇය මේ අකුරු හරහා රැගෙන ආවා. අගේ නවතම කාතිය වනුයේ තවත් අකුර දෙකේ කතාවක් වන ‘කාසි‘ය. අකුරු දෙකේ කතා ලියන ඈ කවුරුන්දැයි ඔබට අමුතුවෙන් හඳන්වාදිය යුතු නැත . ඇය ජනප්‍රිය ලේඛිකාවක නිවේදිකාවක වන තාරකා වාසලමුදලිආරච්චිය. මේ ඇය පසුගිය දිනක හමුවූ මොහොතක ඇගේ නවතම කෘතීන් හා කලා ජීවිතය පිළිබඳ කළ කතාබහකි.

ඔබේ අලුත්ම නවකතා වලින්ම අපි කතා බහ ආරම්භ කරමු?

දැනට ප්‍රින්ට් එකේ තියෙන අලුත්ම පොත වෙන්නේ ‘නීල නිම්න’. මගේ කාසි කියන පොතට කලින් ‘ගුරු‘ කියන පොත එළියට ආවා. ඒක ලියවුණේ ගුරුවරුන් සම්බන්ධයෙන්. මට හැමදාම ආරාධනා තිබුණා ගුරුවරුන් ගැන පොතක් ලියන්න කියලා. මගේ රසික රසිකාවන් ගොඩක් ගුරු වෘත්තියේ නියැළිලා ඉන්නවා. මම මගේ දරුවගේ පාසලට ගියාමත් නිතර එවුන් කියනවා ‘අපි ගැන තමයි ලියලා නැත්තේ කියලා. අනිත් පැත්තෙන් මට හොඳ අත්දැකිම් ටිකකුත් තිබුණා ගුරුවරුන් ගැන. ලොකු පුතා විශ්ව විද්‍යාලයට යනතුරුම මම ගුරුවරුන් සමඟ ගනුදෙණු කළා. සමහරවිට එයා ඉගෙන ගත්ත ගුරුවරුන් ගෙන් මමත් ඉගෙන ගෙන තිබෙනවා. ඉස්කෝලෙ වෙන දේවල්, ඒගොල්ලන්ට තිබෙන ප්‍රශ්න, බොහොමයක් මම හොඳීන් අත්දැකලා තිබෙනවා. මේ හැම දෙයක් දිහාම මම පොසිටිව් පැත්තෙන් තමයි බලන්නේ. මිනිස්සුන්ට ජිවිතය කලකිරවන දේවල් මම ලියන්නෙ නෑ. මම ආසයි දෙපැත්තම බැලන්ස් කරලා කතා කරන්න.

ඒකත් එක්කම මම ලිව්වා ‘ඉන්ද්‍රචාප’ කියලා පොතක්. ඒක මම මුලින් ලිව්වේ ටෙලි නාට්‍යයක් කරන්න හිතාගෙන. නමුත් ඒක කළේ නෑ. කොටස් 100ක ටෙලිනාට්‍යයක් විදියට ලියපු තිර රචනයක් තමයි තිබුණේ. ඇත්තටම සමහරු පුදුම වුණා කොටස් 100ම එක දිගටම ලියලා තියෙනවා කිව්වම. අද කාලේ බොහෝ විට ලියවෙන්නේ ටිකෙන් ටිකනේ. මේනෙක් ටෙලිනාට්‍යයක් කරන්න සාකච්ඡා වට ගණනාවකුත් ගියා. නමුත් වැඩේ සාර්ථක වෙයි කියලා මට හිතුණේ නෑ. ඒනිසා මම හිතුවා මේකෙන් පොතක් කරන්න ඕනෑ කියලා. ඒක මගේ ෆීල්ඩ් එකනේ.

අනිත් එක ඒ කතාව හරිම රසවත්. ගොඩාක් වෙලාවට අපි නවකතාවකදි හාස්‍ය රසය ගැන ලියන්නේ නෑනේ මේ කතාවේ එවැනි හාස්‍ය චරිතත් තිබුණා. පිටපත පොතක් බවට පත්වෙලා පිරිලා එනකොට හරිම රසයක් තිබුණා.

මමත් කවදාවත් නැතුව මේක ලියද්දි හරියට රස වින්දා. මම පොත ලියාගෙන යනකොට මේ කොටස් 100ම දාලා පොත ලිව්වොත් පිටු ගණන වැඩිවෙනවා. එහෙම වුණොත් පිටු 1500ක් විතර වෙනවා. ඒ නිසා මම හිතුවා කතාව එක තැනකින් නතර කරන්න. ඒ අනුව පොත පිටු 450න් විතර මම නැවැත්තුවා. කතාවේ හැටියට ඒක නවත්තන්ත හොඳ තැනකුත් ආවා.

ඒ පොත තමයි මම ඉන්ද්‍රචාප කියලා පළ කළේ.

ඉන්ද්‍රචාප ඔබේ ආවේණික නම් වලින් නම් වෙනස් වූවක් නේද?

ඔව්. මෙච්චර කාලයක් ආවේ අකුරු දෙකේ නම් වලින්නේ. නමුත් මේක වෙනස් අත්දැකිමක්. නැත්නම් මම කීයටවත් ගුරු එකෙන් පස්සේ ‘ඉන්ද්‍රචාප’ කියලා අකුරු පහේ නමක් දාන්නේ නෑනේ.

මේ ටෙලිනාට්‍යය මම ඒ නමින් ලියලා තිබුණ නිසා තමයි ඒ නමින්ම පොත පළ කළෙත්.

හැබැයි ඒකෙන් ඔබේ රිද්මය වෙනස් වෙනවා නේද?

ඔව්. නමුත් මම හිතුවා ‘ඉන්ද්‍රචාප’ පොත කියවලා මට රසිකයෝ ප්‍රතිචාර දක්වනකොට ඒ පොතේ ඉතිරි කොටසත් ලියන්න ඕන කියලා. ‘ඉන්ද්‍රචාප’ පොත ඉවර වෙන්නේ ලියුකේමියා හැදුණ ගැහැනු ළමයා රෝහල් ගත වීමෙන්.

ඒක කියවපු බොහොමයක් දෙනා මට කියන්න ගත්තා ඉතිරි ටික දෙන්නේ කවදද කියලා. ඉතිරිය තියෙන්නේ ස්ක්‍රප්ට් එකේ නිසා මම අනෙක් වැඩ පසෙක දාලා මේ පොතේ ඉතිරි ටික ලියන්න ගත්තා.

මේ පාර පොත් ගන්න පොත් සල්පිලට ආව අයත් අහන්න ගත්තා පොතේ ඉතිරිය කෝ කියලා. මොකද මුල් කොටසේ මම දාල තියෙනවා ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න කියලා. ඒ නිසා පහුගිය දිනවල ඒ පොත මම ලියන්න ගත්තා.

මම ඒ පොතට නම දැම්මේ ‘නිල නිම්න’ කියලා. ආයෙත් මම මගේ සුපුරුදු විදියෙන් පිට පැන්නා. ඒකේ අදහස තමයි සියලුම දේ සෙට්ල් වෙලා ලැබෙන ලස්සන තැන.

ඒ කියන්නේ ජීවිතේ සැනසිම තියෙන තැනට මේ අය ආව කියන අදහසින් තමයි මම ඒ නම දැම්මේ. ප්‍රේමය කියන එක තමයි මේකෙත් තේමාව වෙන්නේ.

ප්‍රේමය එක එක වයස් සිමාවන් වලට දැනෙන විදිය වෙනස්. ප්‍රේමය කියන්නේ නව යොවුන් වියේදි විතරක් දැනෙන දෙයක් නොවෙයි. සමහරුන්ගේ වැරැදි වැටහිමත් තියෙනවානේ ප්‍රේම කරන්න ඕන තරුණ කාලේ කියලා. අපේ කාලේ දැන් ඉවරයි කියලා. නමුත් වයසක මිනිසුන්ටත් ප්‍රේමය කියන එක දැනෙනවානේ.

දැන් ඔබේ කීවෙනි පොත ද මේ ප්‍රින්ට් එකේ තියෙන්නේ?

මම හිතන්නේ 10 හෝ 11 වෙන්න ඕන. මගේ පොඩි බබා මට යෝජනාවකුත් කළා මගේ අලුත්ම පොතේ නම් ඔය පොත්වල නම් සහ අවුරුදු ටික

දාන්න කියලා. මම පොත් ලියන්න පටන් ගත්තේ 2001 දිනේ. කොහොම හරි මම ‘ඉන්ද්‍රචාප’ කියවපු අයට තමයි ‘නිල නිම්නය’ එහි ඉතිරි කොටස වශයෙන් ලිව්වේ.

මගේ අකුරු දෙකේ නම් සහිත පොත මඟ එනවා. ඒ ශෙලියෙන් මම මිදිලා නෑ.

ඉදිරියට එන අකුරු දෙකේ පොත මොකක්ද?

මම සැකිල්ලක් දැනටමත් හදලා තියෙනවා. නමකුත් යෝජනා කරගෙන ඉන්නවා.

2001 දි පටන් ගත් ලේඛන දිවිය පිළිබඳ ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?

ඒක මට හිතා ගන්නත් බෑ. ඒ කාලය කොයිතරම්ද කියලා අද මට හිතා ගන්න බෑ. මේ ළඟදි තමයි මමත් එක පාරටම එහෙම ආපස්සට හැරිලා හිතලා බැලුවේ. මගේ නිර්මාණ ජීවිතේ දිහා බැලුවම මට ලොකු සතුටක් තියෙනවා. මට ඉන්නවා විවිධ පාඨකයෝ රැසක්. මේ කාලය ඇතුළත බොහෝ පාඨකයෝ මගේ පොත් එක්ක එකතු වුණා. සමහරු තමන්ගේ අම්මා මගේ පොත් කියවන නිසා දරුවොත් මගේ පාඨකයෝ බවට පත්වුණා.

දැන් අපොස සාමාන්‍ය පෙළ, උසස්පෙළ කරන පාඨකයොත් මට ඉන්නවා. ටෙලිවිෂන් වලින් මාව දැකලා මගේ පාඨකයෝ වුණු පිරිසකුත් ඉන්නවා.

ඒ මුකුත් නැතිව සෝෂල් මීඩියා හරහා මාව හඳුනාගත්ත පාඨක පිරිසකුත් මට ඉන්නවා. ඒ නිසා මේ කාලය ඇතුළත මම විවිධ පාඨක පිරිස් අමතලා තියෙනවා කියන ලොකු සතුටක් මට තියෙනවා. මගේ මේ ලේඛන දිවිය ඇතුළත ලොකු අවකාශයනුත් තිබෙනවා. ඒ කියන්නේ මම කළු පොත ලියන්නේ 2001 දී ඒක ලියලා අවුරුදු 6ට විතර පස්සේ තමයි මම ‘ඇස්’ ලියන්නේ. එහෙම මම එකළඟ එක ළඟ ලියලත් නෑ. ඒ එක්කම

මේ කාලය ඇතුළත මම ලියපු හැම පොතක්ම මිනිස්සු අතරට ගියා. එදා වගේම අදටක් මිනිස්සු මේවට ප්‍රතිචාර දක්වනවා.

මේ දවස්වල කළු සහ ඇස් පොත් දෙකට ආයෙත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. දැන් ඉස්සර වගේ නොවෙයි පාඨකයෝ හරි ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා සෝෂල් මීඩියා හරහා.

ඔබ තෝරා ගන්නා වස්තුබීජ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඒවා වර්තමාන සමාජයට ගැළපෙනවද? නැත්ද? පිළිබඳ ඔබ සිතා බලනවාද?

අනිවාර්යයෙන්ම. මගේ ‘කළු වගේ’ නවකතාවක් ගත්තොත් ඊට පරම්පරා ප්‍රශ්නයක් බලපාන්නේ නෑ. සර්වකාලින පොත් තියෙනවා.

ඒක අපට කලින් තීරණය කරන්නත් බෑ. මගේ ‘ඇස්’ පොතේ තියෙන්නේ ලෝකයේ අවසානය අද හෝ හෙට වෙනවානම් අපට මොකද වෙන්නේ ?

එසේම අලුත් තාක්ෂණයත් එක්ක පවුලකට වෙලා තියෙන වින්නැහිය, ෆෝන් එකට ඇබ්බැහි වුණාම ඒකත් එක්ක බැඳීිම් දුර්වල වෙන හැටි, ඊළඟට කාර්ය බහුල ජීවිතය, ඒකත් එක්ක බොහෝ දේවල් අතහැරෙන හැටි, අනිත් අය ගැන හොයන්න බලන්න වෙලාවක් නැති වෙන හැටි මෙන්න මේ වගේ දේවල් තමයි මගේ ඇස් නවකතාවෙන් කතා කරන්නේ. ඉතින් මේ දේවල් අදටත් වලංගුයිනේ. තව අවුරුදු 20ක් ගියත් වලංගුවෙයි.

මට කේ. ජයතිලක මහත්මයා කිව්වා මගේ කළු නවකතාව කියවලා ඔහු විස්මයට පත්වුණා කියලා. ඔහු දවසක් මට එන්න කියලා මම ගියා ඔහුව මුණ ගැහෙන්න මගේ පොත ගැන ඔහු කොලයක ලියපු සටහනක් මට දුන්නා. මම ඒක තාමත් සුරැකිව තබාගෙන ඉන්නවා. ඒ ලියවිල්ල හරිම නිහතමානි පුදුම ලියවිල්ලක්.

ඒකේ ලියලා තියනවා ඔහු මේ පොත ලිව්වා නම් ඔහුට මේ විදියට ලියන්න බෑ කියලා. ඔහු මට වටිනා අවවාද දෙකක් දුන්නා. එකක් තමයි ඔබට වර්ණනා ගොඩාක් එන්න පුළුවන්.

ඒ වර්ණනා නිහතමානිව බාර ගන්න. ඒ වගේම ඔබට අකැමැති අයත් ඉන්න පුළුවන්. ඔබ ඒකත් බාර ගන්න. මේ දෙකම ඕනවට වඩා ඇඟට ගත්තොත් එය දෙකම ඔබට හානිකරයි කියලා. මට දුන්න අනිත් අවවාදය තමයි පුළුවන් තරම් නිහතමානි වෙන්න. මේ පොත කොච්චර ජනප්‍රිය වුණත්, මම දැන් ජනප්‍රිය කෙනෙක් කියලා කොයි වෙලාවකවත් ඔළුවට ගන්න එපා කිව්වා.

මට බටුවන්ගල හාමුදුරුවොත් කිව්වා, ඔබගේ පොත පිටකවරයත් නැතුව දුන්නොත් මේක ඔබ ලිව්වා කියලා පේන්න බෑ. ඔබ දක්ෂයෙක් නම් ඔබට පුළුවන් වෙන්න ඕන මේක ලිව්වේ තාරකා කියලා හොයා ගන්න බැරි වෙන්න ලියන්න. එහෙම උත්සාහ කරන්න කියලා උන්වහන්සේ මට කිව්වා.

 

ඔබේ ලේඛන ජීවිතය තුළ පුර්වාදර්ශි චරිත, පරමාදර්ශී චරිත තිබෙනවාද?

මට හිතෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරින් කියලා. එතුමා මට කවදාවත් මුණ ගැහැලා නැති වුණාට, මං හිතනවා ජීවිතය වහගෙන පැතිරෙන නිර්මාණ අතර එතුමාගේ නිර්මාණ තිබෙනවා. ඒ කියන්නේ මම දකුණේ කෙනෙක් විදියට මට එතුමා ලියන භාෂාව හරිම කිට්ටුයි. මම දකුණේ දේවාලගම ප්‍රදේශයේ. තව ටිකක් ඇතුළට යන්න ඕන.

අපේ භාෂාව තව ටිකක් සුළු සුළු වෙනස් කම් තිබෙනවා.

පරිසර වර්ණනා වුණත්, කතා කරන වචනවල වුණත්, පොඩි වෙනසක් තියෙනවා. හැබැයි අපේ ගම පැත්තට යනකොට අර ටෝන් එකත් වෙනස්. කතා කරන එකේ පොඩි තාලයක් තිබෙනවා.

පුදුම ලස්සනක් තියෙන්නේ. දැන්නම් ඉතින් මේ තත්ත්වයන් වෙනස් වෙලා තියෙන්නේ.

අපේ ආච්චිගේ චරිතයත් මගේ ජීවිතයට දැඩි විදියට බලපාපු චරිතයක්. ඇය නිර්මාණකරුවෙක් වත් කවුරුවත් නොවෙයි. ඒත් ඒ ආච්චි හිටපු ඒ ගමට මම අදටත් ආදරෙයි.

ඒක හරිම පිරිසුදු ඇත්ත ගමක්. අපේ ගමට එන්න තිබුණේ ගුරු පාරක් තාර ටිකක් වත් දාල තිබුණේ නෑ. අපිට දුෂ්කරතා හරියට තිබුණා. දැන් මට මේ ගැන හිතත්දි ලස්සන වුණාට ඒ කාලේ අපි ඒවට ආස වුණේ නෑ. වැස්ස වැස්සම මඩ වෙනවා. වෙලේ නියර දිගේ ඇවිදින්න බෑ මඩ චිරි චිරි ගානවා. නියරවල් කැඩිලා ගිහිල්ලා පාරට යනකොට සෙරෙප්පු අතේ අරගෙන යන්න ඕන. ඒ කාලේ අපිට ඒවා හරි කරදරයි.

අපේ ගෙදර තිබුණේ කන්දක් උඩ වගේ. අපිට වතුර උඩට ගන්න බෑ. පල්ලෙහා තියෙන ළිඳට යන්න ඕන නාන්න. හැබැයි පස්සේ මතක් වෙනකොට ඒවා කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා. ඒ වගේ ගමක ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණු කෙනෙකුට ඒ අත්දැකීම් මැරෙනකම් අමතක වෙන්නෙ නෑ.

ගම ගැන ලියන්න මම නම් හරිම ආසයි. මම එහෙම ලියන්නත් හිතාගෙන ඉන්නවා. ඒක නවකතාවක් නොවෙන්නත් පුළුවන්. මට කේ. ජයතිලක මහත්තයා ඉන්නැද්දි කිව්වා මැදි වයසට එනකොට මුල්කාලේ ටික ලියලා තියන්න කියලා. මගේ ජීවිතේ පසුගිය කාලේ ගෙවුණේ බොහොම නිස්කලංකව. වැඩ කරන්න එළියට ගියේම නෑ.

ගෙදරින් එළියට යන්නේ සමහර විට මාසෙට දවස් දෙකක් විතර. මට ඕන වුණේ එහෙම කාලයක් ගෙදර ඉන්න. අන්න ඒ කාලේ තමයි හරිනම් නියම කාලේ මට ඕක ලියා ගන්න. නමුත් මට ඒක කරගන්න බැරි වුණා.

ඔබේ නිවේදක වෘත්තියට මොකද වුණේ? ඒක ඔබ හිතා මතාම අත්හැරියාද?

මම 2006 විතර වෙනකම් එතැන හිටියානේ. ඒ කාලේ මම ගොඩාක් කාර්ය බහුල වුණා. ඊට පස්සේ මට ඕන වුණේ විවේකය. ඒ වගේම මට ලොකු ආසාවක් තිබුණා වෙන කිසිම දෙයක් කරන්නෙ නැතුව ලියන්න විතරක්. අපි පොඩි කාලේ රුසියානු සාහිත්‍යය ළඟින් ඇසුරු කළානේ. අදටත් මගේ ළඟ රුසියානු පොත් එකතුවක් තිබෙනවා.

ඒ ලේඛකයෝ තමන්ට හිතුණු හිතුණු වෙලාවට ලියපු අය. ඒ අයට වෙන රැකියාවක් නෑ. මටත් පුදුම ආසාවක් තිබුණා ඒ විදියට ලියන්න. එහෙම හිතලා තමයි මමත් ඒක හදා ගත්තේ.

නිවේදන වෘත්තිය අත්හරින්න දුක හිතුණේ නැත්ද?

නෑ. මොකද මට අරමුණක් සහ උවමනාවක් තියෙනවානේ. මම නිවේදන ක්ෂේත්‍රෙයන් අයින් වුණේ මම ඉහළින්ම ඉන්න කාලේ. ඒ කාලේ මම කරපු වැඩසටහන් අතිශයින්ම ජනප්‍රිය වුණා.

මට සම්මානත් ලැබුණා. මට තව වැඩියෙන් එතැන ඉන්න යමක් තිබුණෙ නෑ. මට හීනයක් තිබුණා රැකියාවක් නොකර සාමාන්‍ය මනුස්සයෙක් විදයට ලියන්න ඕන කියලා. ඉතින් ඒ දේ මම කළා.

පවතින ජිවන අරගලයත් එක්ක රැකියාවක් නැතිව ජිවත්වෙන්නඑහෙම පුළුවන්ද?

පොඩි මුදලකින් ජීවත් වෙන්න එහෙම පුරුදු වුණොත් පුළුවන්. මම ජුවලරි දාන්නෙ නෑ. මම රත්තරන් බඩුවලට ආස නෑ. ඒ නිසා ඒවා දාන්නෙ නෑ.

ගෘහ භාණ්ඩ එකතු කරනවා කියලා මට අරමුණක් නෑ. මට තියන කාරෙක මට ඇති. ඒක දැනට අවුරුදු අටකට විතර කලින් ගත්ත එකක්.

එන එන වාහන මාරු කිරිල්ලක් මට නෑ. මම හරිම අඩු වියදමකින් ජීවත් වෙන කෙනෙක්. උත්සවයක් තිබුණත් ගෙදර තියෙන දෙයින් පිරිමහ ගන්න කෙනෙක්.

මම අනවශ්‍ය දේවල්වලට එහෙම කවදාවත් වියදම් කරලා නෑ. හැබැයි මම ලස්සනට පිරිසිදුවට පිළිවෙළට ඉන්නවා.

ඉස්සරහටවත් ආපසු නිවේදන වෘත්තියට එන්න බලාපොරොත්තුවක් නැත්ද?

පොඩි පොඩි ආරාධනා කිහිපයක් තියෙනවා. සමහර විට එන්න ඉඩ තියෙනවා. දැන්ම ඒක සාකච්ඡා කරන්න කල් වැඩියි. අලුත් වැඩක් ගැන පොඩි සැලසුමක් තියෙනවා.

ඔබේ පොත්වල භාෂා භාවිතය ගැන ඔබ උනන්දුද?

අනිවාර්යයෙන්ම. මම උත්සාහ කරන්නේ පොතෙන් පොතට භාෂා භාවිතය වෙනස් කරන්න.

භාෂාව භාවිතා කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කරන මෙවලමක් හැටියටනේ. ව්‍යාක්තව, සංවරව, සරලව ලියන්න ඕන තමයි.

මගේ පොත් ඕනම දරුවෙකුට වුණත් කියවිය හැකියි. මොන විදියේ හැඟිම් තිබුණත් ඒවා තියෙන්නේ භාෂාව ඇතුළේ.

ප්‍රේමය, අනුරාගය වැනි හැඟීම් වුණත් මේක ඇතුළේ තියෙන්න පුළුවන්. මගේ කළු පොත කියවපු පාඨකයාට ඇස් නව කතාව කියවන කොට ඒ වෙනස අත්විඳීන්න පුළුවන් වෙන්න ඇති.

ඔබ කවුරු කියලා හඳුන්වනවාටද කැමැති?

මම හිතන්නේ මම ගොඩාක් දේවල් කරාට ලේඛිකාව කියන කෙනාට තමයි මම ආදරය කරන්නේ. මට දැනෙන්නේ ඒක.

ඔබේ නිර්මාණවලට දරුවෝ දක්වන ප්‍රතිචාර කොයි වගේද?

ඒගොල්ල ආසයි. දෙන්නම ලියන්න කැමැතියි ලොකු පුතා නම් දැන් පොත් කිහිපයක්ම රචනා කරලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. සරසවි පොත් ප්‍රකාශකයෝ තමයි එයාගේ පොතුත් කළේ.රහස් පරික්ෂක කතා ටිකක් තමයි එයා ලිව්වේ.

දැන් පොඩි පුතාත් ලියන්න උනන්දුයි. ලොකු පුතා නම් දැන් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා නීතිඥවරයෙක් විදියට කටයුතු කරනවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]