අපි නන්නත්තාර වුණේ නැහැ

ප්‍රවීණ නිවේදක-වසන්ත රෝහණ
මාර්තු 9, 2023

සමාජ මාධ්‍යජාල කියන්නේ හොඳ ප්‍රවණතාවක්
 
 අපි ක්ෂේත්‍රය‌ට එන සමයේ අපට අද අයට වගේ අවස්ථා තිබුණේ නෑ

හොඳ නිවේදකයා දක්ෂ කථිකයෙක් විය යුතුයි

ඒ ගැඹුරු හඬ, නිවුණු හඬ අපේ සවන්පත් අතරට ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය වන විටම ඇතිවන පහන් සංවේගය අපමණය. ඒ සමඟම නිවේදකයා කවුරුන්ද යන්න හඳුන්වා දිය යුතු නොවන තරමට ඔහු අපට සමීපය. ප්‍රසංග වේදිකාවේද උසින් වැඩි පාංශුදේහධාරී සිරුරකින් යුතු ඔහු දුටුවනම නිවේදන කටයුතුවලට පෙර පවා කවුරුන්දැයි හඳුනාගැනීම අපහසු නොවේ. අඩසියවසකට ආසන්න කාලයක් අඛණ්ඩව පවත්වාගෙන එන සිය නම සේම ඉහත කී අනන්‍යතාවලින් යුතු ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණයන් සමඟ සරසවිය වෙනුවෙන් කතාබහක නිරත වන්නට සිතුවෙමි.

ඔහු කතාව ආරම්භ කළේ මෑත අතීතය සිහිගන්වමිනි.

"අවුරුදු තුනක් විතර ප්‍රසංගවල වැඩ නතර වෙලා තිබුණා. සන්දර්ශනත් නැවතුණා කොරෝනා උවදුර ආදිය නිසා. දැන් ක්‍රමයෙන් ප්‍රසංග ආරම්භ වෙලා තිබෙනවා. මම කොහොමත් කැමැති ප්‍රාසංගික කටයුතුවලටනෙ. ඒ කියන්නෙ ගෘහස්ත ප්‍රසංගවලට. ඒ නිසා අපි ප්‍රසංග කීපයක් ප්‍රධාන රඟහල්වල කළා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධව. පේරාදෙණිය, වයඹ, කැලණිය, මොරටුව ආදි විශ්වවිද්‍යාලවල ගී ප්‍රසංග පැවැත්වුවා, ලංකාවේ සුභාවිත ගායන ශිල්පීන් සහභාගී කරගෙන. ආචාර්ය වික්ටර් රත්නායක සමඟ සංගීත විශාරදවරුන් වන සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, ටී. එම්. ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, බණ්ඩාර ආතාවුද, දීපිකා ප්‍රියදර්ශනී, නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, උමාරියා සිංහවංශ වැනි මෙකී නොකී පිරිස සමඟ තමයි මම මේ දවස්වල කටයුතු කරන්නේ.

දන්නවානේ මම බෑන්ඩ් ෂෝ කරන්නෙ නෑනෙ. අලුත්ම අය සමහරු මම අඳුරන්නෙත් නැති තරම්. ඒ නිසා ඔවුන් ගැන නොදැන කතා කරන්නත් බැරි නිසා ආරාධනාවක් ලැබුණත් මම ඒවාට යන්නෙත් නෑ. අනෙක විවෘත වේදිකාවේ ඝෝෂාකාරීබවට සහ නිමක් නැති කමට මම කැමැතිත් නැති නිසා ඒවාට මැළිකමක් දක්වනවා. මම කටයුතු කරන්නේ වාද්‍ය වෘන්දයන් සමඟ. ඒවා ගෘහස්ථයි. සවස හයහමාර හත වෙද්දි ආරම්භ කරලා නවය දහය වෙද්දි අවසන් වෙනවා. හොඳ පිරිසක් සහභාගී වෙනවා. රසඥතාව දියුණු වෙනවා. හොඳම උදාහරණය අපි වයඹ විශ්වවිද්‍යාලයේ කළ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ 'හන්තානට පායන සඳ' ප්‍රසංගය. පුදුම රසඥතාවක් තිබෙන පිරිසක් සහභාගී වුණේ. ඒ වගේමයි අනුරාධපුරයේ කළ විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ප්‍රසංගය සහ ඇඹිලිපිටියේ කළ විශාරද සුනිල් එදිරිසිංහගේ ප්‍රසංගයත්. ඒවාට එන පිරිස් අප කියන දේ හොඳීන් අහගෙන ඉඳලා, රස විඳලා අප සමඟ කතාබහ කරලා, සිනාවෙලා සතුටින් පිටත් වෙනවා. එය අපටත් ඔවුන්ටත් ප්‍රියමනාප කටයුත්තක් බවට පත්වෙනවා."

 

ඔහු නිවේදන කටයුතු පමණක් කරන්නෙක් නොවේ. ඒ බව ඔහුගේම වචනයෙන් මෙසේය.

"දැන් අවුරුදු 35ක් ගුවන්විදුලියේ ස්ථිර සේවයේ. අවුරුදු 40ත් පැනලා නිවේදක ක්ෂේත්‍රයේ. ඊට අමතරව අරුණි දන්නවා ඇතිනේ මම ගුරුවරයෙක් කියලා. ගණිතයයි. ජනමාධ්‍යයයි ඉගැන්වීමත් කරගෙන යනවා. ජනමාධ්‍ය උගන්වනවා මාධ්‍ය ආයතන කීපයකම. ගණිතය නම් උගන්වන්නේ ඔන්ලයින් ක්‍රමයට."

ඔහුගෙන් දශක හතරකට පෙර යුගය ගැන අසා දැනගන්නට රිසි වීමි.

 

"එදා සහ අද හරි වෙනස්. එදා වේදිකාවට ආවාහම පිරිස රැස් කකා හිටියත් හොඳ විනයක්, තැන්පත් කමක් තිබුණා. පාලනය කරන්න පුළුවන් තත්ත්වයක හිටියා. දැන් එවැන්නක් නෑ විවෘත වේදිකාවේ. ප්‍රසංගවල තවමත් එය තිබුණත් මේ වෙද්දි ප්‍රසංග කලාවත් නිදහස් වේදිකාවට යමින් පවතිනවා. එය එතරම් හොඳ ප්‍රවණතාවක් ලෙස මම දකින්නේ නෑ. රිද්මය වැඩි, ප්‍රවේගකාරී, ඝෝෂාකාරී දේවල් සංගීතය තුළට ඇවිත් තිබෙනවා. සැබෑ සංගීතය එහෙම වෙන්න බෑ.

මට මතකයි ඉස්සර අර්නස්ට් සොයිසා මහත්තයාලාගේ සුපර්ස්ටාර්ස් කණ්ඩායම වෙලාවට ආවා පටන්ගත්තා දොළහ එක වෙද්දි ප්‍රසංගය අවසන්. ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාලාත් එහෙමයි. ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා, ෆෝර්චූන්ස්, සිහ ශක්තිත් එහෙමයි. නලීන් පෙරේරලා මේ දේවල් දන්න නිසා වෙන්න ඇති මේරියන්ස්ලා සන්දර්ශන වේදිකාවෙන් ඉවත්වෙලා කොන්සර්ට් ටිකක් කරගෙන යන්නේ. ඒ ගත්ත තීරණය හරි. වායෝ වුණත් එහෙමයි. නාද කණ්ඩායමත් ඒ ප්‍රවේගකාරී රැල්ලෙන් මිදුණු අය හැටියටයි මම දකින්නේ. වේගවත් ගමන හරි භයානකයි. වේගයෙන් ගියොත් අතරමඟනේ. (සිනාසී)

 

වසන්ත රෝහණ නම් වූ නිවේදකයාගේ බිහිවීම සිදු වූයේ අපූර්ව අන්දමකටය. ඒ අතීතය ආවර්ජනයට මම ඔහුට ආරාධනා කළෙමි.

"මම ක්ෂේත්‍රයට ආවේ 1980 පමණ කාලයේ. වේදිකාවෙන්. හැබැයි මාධ්‍යයට සම්බන්ධ වන්නේ 1989 වසරේ. අවුරුදු නවයක්ම විවෘත වේදිකාවේ. සන්දර්ශනවල, පෞද්ගලික වැඩසටහන්වල නිවේදන කටයුතු කළා. මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හමාර කරලා උසස්පෙළ කරන අතර කාලේ දිනක් අසනීපයකට බෙහෙත් ගන්න ගියා දන්න අඳුනන වෛද්‍යවරයකු ළඟට. ඔහු තරමක් ආන්දෝලනයට තුඩු දුන් නමක් ඇත්තෙක්. වෛද්‍ය චන්ද්‍රා ප්‍රනාන්දු. මම ගණිත විෂයයට කැමැතියි කියා කලින් කීවානේ. ඒත් මේ වෛද්‍යවරයා මට කීවා 'ඔයාට මාර කටහඬක්නෙ තියෙන්නේ. ඔයා නිවේදකයකු තමයි වෙන්න සුදුසු' කියලා. මම කීවා මම තාම පාසලේ ඉගෙන ගන්නවානේ කියලා. ඒ වුණාට නිවේදන කටයුතුවල යෙදෙන එක ඉතාම හොඳයි කියලා ඔහු කළ යෝජනාව මගේ හිතේ තදින් කා වැදුණා. පසුව මම ගම්පහ උපකාරක පන්ති පවත්වමින් ඉන්න අතර ඔය සංගීත වැඩසටහන් ආදියට සම්බන්ධ වුණා. තරුණසේවා සභාව, මහපොළ ආදිය සමඟ තමයි නිවේදන කටයුතුවලින් ඉදිරියට ආවේ. හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතාත් මට බොහොම උපකාර කළා. ඉන්පසුව තමයි ගුවන්විදුලියට සම්බන්ධ වුණේ. ඒ යුගයේත් සභාපති ලෙස සිටියේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහත්මයාමයි.

මම ආ ගමන හරි හෙමින් වුණත් ඒ පිළිබඳ මට සතුටුයි. ම‌ට පොඩි පසුතැවීමක් තිබෙන්නේ නම් ගණිත විෂයය මගෙන් තරමක් ගිලිහී යෑම ගැන තමයි. මොකද විශාල පිරිසක් මා සමඟ ඒ වනවිට හිටියා. එයම කළා නම් මට විශාල ආයතනයක හිමියෙකු වන්නත් තිබුණා. ඒත් දැන් ඊටත් වඩා පිරිසක් මාව අඳුනනවා. අපි පරෙස්සමින් කල්පනාවෙන්, ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරමින්, නොදන්නා දේ ඉගෙනගනිමින්, හදාරමින් අපටම ස්වාධීන වූ නිදහස් රටාවක් ගොඩනඟා ගනිමින් තමයි අපේ ගමන මෙතෙක් ආවෙ.

මම මැදිරියක වුණත්, සජීවී වැඩසටහනක වුණත් බොහොම නිදහස් ආරකින් නිවේදන කටයුතු කරන කෙනෙක්. ප්‍රසංගයක් කරන්න ගියත් මට පිටපතකින් එය කරන්න අපහසුවක් දැනෙනවා. මම කොටු වෙන්න කැමැති නැහැ. ඒ මගේ නිදහස් ආර බොහොම අගය කළ අපේ ජ්‍යෙෂ්ඨයන් වන ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග වැනි මහත්වරුන්ගෙන් පසු මගේ ඒ නිදහස් ආර අගය කළ කෙනෙක් තමයි සුමනා නෙල්ලම්පිටිය මහත්මිය."

 

ඒ යුගයත් මේ යුගයත් ඔහු සැසඳුවේ මෙසේය.

"අපි ක්ෂේත්‍රය‌ට එන සමයේ අපට අද අයට වගේ අවස්ථා තිබුණේ නෑ. එකම ගුවන්විදුලි නාළිකාවයි. එකම රූපවාහිනී නාළිකාවයි තිබුණේ. අපි හිටියේ පහළම මට්ටමේ. එතැන සිට තමයි අද යම් තැනකට ඇවිත් සිටිනවා නම්, කවුරුන් හෝ මාව දන්නා අඳුනන තැනකට ඇවිත් ඉන්නවා නම් එය ගොඩනඟා ගත්තේ. ඒ සඳහා අපි සෑහෙන කැපවීම් කළා. වැඩසටහනක් කරනවා නම් අපි ඒ ගැන තොරතුරු හෙව්වා, නොදන්නා දේ විමසුවා, නිහතමානීව ඒ දේ කරන්න අපි පෙර සූදානම් වුණා. අලුත් පරම්පරාවට ඒ නිහතමානීකම නැහැ. ඔවුන් සියල්ල දන්නවා කියා සිතාගෙන ඉන්නේ. අනෙක ඔවුන් මුල් තැන දෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයට වඩා රූප මාධ්‍යයට. හැමෝම කැමැති කැමරාව ඉදිරියේ ඉඳගන්න. අපි අවුරුදු තිස්පහක් ගුවන්විදුලියේ ඉද්දි අපටත් ආරාධනා ලැබුණා අරකට එන්න මේකට එන්න, අච්චර ගෙවන්නම්, මෙච්චර ගෙවන්නම් කියලා. ඒත් අපි ගියේ නෑ. එහෙම ගිය අය අද ඒ තැන්වල ඇත්තෙත් නෑ. ඒකට කියන්නේ නන්නත්තාර වෙනවා කියලා. අපි එහෙම නන්නත්තාර වුණේ නෑ.

අපේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. ප්‍රේමකීර්ති මහත්තයා ඇසුරු කරන්න ලැබුණේ බොහොම ටික කාලයයි. බණ්ඩාර කේ. විජේතුංග මහත්මයා ඇසුරු කරන්න ලැබුණේ නැහැ ඔහු කළ කී දෑ පිළිබඳ අහල, කියවලා තමයි අපි ඉගෙන ගත්තේ. කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් හොඳීන් ඇසුරු කරන්න ලැබුණා. විශේෂයෙන් සිටි එෆ්. එම්. නාළිකාව ආරම්භ කරලා සෑහෙන පිරිසකට හැදෙන්න අවස්ථාව දුන්නා. එතුමා මැදිරියට එන්නෙත් පොත් කීපයක් අතදරාගෙන. හැම තිස්සේම පොත් කියෙව්වා. ඕනෑම දෙයක් කියලා දෙනවා. තිලකා රණසිංහ, කුසුම් පීරිස් වැනි අයත් එහෙම අපට ඉගැන් වූ ප්‍රතාපවත් චරිත ගණනාව අතර ගුවන්විදුලියේ හිටියා. සියලු දෙනා නම් වශයෙන් සඳහන් කළේ නැතත් අදටත් අප ඔවුන්ට ගරු කරනවා. ඔවුන් අපට කෑ ගහලා බැනලා අපව මානසිකව වැට්ටුවේ නෑ. එහෙම කළ අයත් නොහිටියා නොවෙයි. මම කොන්ත්‍රාත් පදනමේ සිට ස්ථිර වෙන්න සම්මුඛ සාකච්ඡාවට ගියාම මේ මනුස්සයා ගණිතය විතරයි දන්නේ නිවේදනය දන්නේ නෑ ඒ නිසා පත්වීම දෙන්න එපා කියූ අයත් හිටියා. ඔවුන් දැන් ආයතනයෙත් නෑ. සමහරු ජීවතුන් අතරත් නෑ. අපි ඔවුන් සමඟ තරහකුත් නෑ. මොකද ගණිතය, භෞතික විද්‍යාව කියන්නේ ලෝකයේ සැම දෙයක්ම අවබෝධ කරගන්න පුළුවන් විෂයයන් බව ඔවුන් දන්නේ නෑ. අනෙක ගණිතය අසමත් නම් විභාගය අසමත් ලෙස සලකන බවත් ඔවුන්ට අමතකව ගිහින් තිබුණා. ගණිතය කොතරම් කලාවට සම්බන්ධ ද කියන්න හොඳම උදාහරණය තමයි ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවියාණන්. ඔහු විද්‍යා ගුරුවරයෙක්. ඔහුගේ කවි ගී නිර්මාණ කෙතරම් විශිෂ්ටද?

(සිනාසී) කොහොම වුණත් මම ඒ ප්‍රකාශයෙන් පස්සේ බන්දුල ගුණවර්ධන ගුරුතුමාගෙන් ආර්ථික විද්‍යාවයි, චන්ද්‍රසිරි කරුණාරත්න ගුරුතුමාගෙන් තර්ක ශාස්ත්‍රයයි ඉගෙන ගත්තා. ස්වාමීන්වහන්සේ නමකගෙන් සිංහල ඉගෙනගත්තා. මගේ ඒ පසුබිම හදාගත්තේ ඒ විදිහට.

ඒ කාලේ හරි නිදහස්. මේ කාලේ හරි සංකීර්ණයි. වැඩසටහන් පෙළ ගැස්ම හරි ක්‍රමවත්. උදේ අරුණ කිරණ. දවල් මධුරසාංග, හවස භාරත ගී. රාත්‍රියට අසන්නන්ගේ ඉල්ලීම්. කොයිතරම් ලස්සනද ඒ රිද්මය. අදත් අරුණ කිරණ වැඩසටහන නම් මම කරගෙන යනවා."

 

නිවේදකයකු සතු විය යුතු ගුණාංග පිළිබඳ මේ ජ්‍යෙෂ්ඨ නිවේදකයාගේ අදහස් මෙසේය.

"නිවේදකයකු වුණාම ඇසූ පිරූ තැන් හොඳීන් තිබිය යුතුයි. තමන් නිවේදන කටයුත්තකට යන්න පෙර ඒ විෂයය පිළිබඳ හැදෑරීමක් කළ යුතුයි. මෙය හරියට ශල්‍යකර්මයක් වගේ. පොඩ්ඩ එහා මෙහා වුණොත් ලෙඩා මැරෙනවා. පටිගත කරන එකක නම් පුහුණුවක් කරන්න හරි පුළුවන්. ඒත් සජීවී නිවේදනයක් කියන්නේ ඔපරේෂන් එකක් වගේම තමයි. වැරදුණොත් වැරදුණාමයි. එක වචනයෙන් මුළු වෘත්තීය ජීවිතයම විනාශ වූ අය ගැන අප අහලා තිබෙනවා නේ. ඒ නිසා හරි පරෙස්සමින් කළ යුතු කටයුත්තක් මෙය.

ඒත් අද නිවේදකයන් ශ්‍රාවකයා අමතන්නේ මගේ පැටියෝ, සුදු පැටියෝ කියලා. වැඩසටහන අරඹන්නේ හායි කියලා. මෙහිදී මම නිවේදක නිවේදිකාවන්ට චෝදනා කරන්නේ නෑ. එය අලෙවි අංශයෙන් කරන වැඩක්. සමහර ආයතනවල නිවේදක නිවේදිකාවන් පාලනය කරන්නේ අලෙවි අංශයේ ප්‍රධානියා. ඔහු කියනවා ළමයිනේ ඔය විදිහට කතා කරලා හරි යන්නේ නෑ. ඔය සින්දු ප්‍රචාරය කරලා වෙළෙඳ දැන්වීම් ගන්න බෑ. මෙන් මේ විදිහට කතා කරලා මේ සින්දු දාන්න එතකොට තමයි අපේ රේටිංස් ඉහළ යන්නේ කියලා. හැබැයි මම නම් ඔය රේටිංස් ගැන විශ්වාස කරන්නේ නෑ. මගේ රේටිංස් තිබෙන්නේ මඟ තොට හමුවන ජනතාව කියන දේවලින්. ත්‍රිරෝද රථය පදවන මල්ලි කෙනෙක් වෙන්න පුළුවන්, ඈත ගමක ගොවි මහතෙක් වෙන්න පුළුවන් ඔවුන් අපේ වැඩසටහන් අහලා අපට කියන දේවල් හරි වටිනවා. ඔවුන් ඒ වැඩසටහන්වලට උවමනාවෙන් සවන් දෙනවා. මේ කොළඹ ඉන්න අපි ඇතුළු බහුතරයක් දෙනා කරන්නේ බොරුවනේ. (සිනාසී) අපි කොළඹ තමයි සියල්ල කියා හිතුවට කොළඹින් පිට තමයි නියම රසිකයන් ඉන්නේ. මෙහෙ අය දැක්කත් අඳුනන බව පෙන්වන්නේවත් නෑනේ.

නිවේදකයකුගේ අනන්‍යතාව තමයි කටහඬ. ඒ වගේම නිර්මාණශීලීත්වය සහ හොඳ කථන හැකියාව අත්‍යවශ්‍යයි. මගේ විශ්වාසය නම් හොඳ නිවේදකයා දක්ෂ කථිකයෙක් විය යුතුයි. ලේඛකයකුට පෑන, චිත්‍රශිල්පියකුට පින්සල, ඡායාරූප ශිල්පියාට කැමරාව වගේ තමයි අපට කථිකත්වය. හැබැයි නිවේදකයාගේ චතුර කථිකත්වය සමඟම ඔහු නිහඬව සිටිය යුතු තැනත් හඳුනාගත යුතුයි. අඩුවෙන් කතා කළ යුතු තැන්, වැඩියෙන් කතා කළ යුතු තැන් වගේම නිහඬව සිටීමත් නිවේදනයේ කොටසක්. අපට පැටලෙන දෙයක් තමයි සම්මුඛ සාකච්ඡාවකදී ටික වෙලාවකින් ආරාධිතයා සහ නිවේදකයා මාරු වීම. සමහර නිවේදකයන් කතා කරලා කරලා ආරාධිතයාගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ආරාධිතයාට කියන්න තියෙන්නේ 'ඔවු' හරි 'ඔබ කියූ ටික ඇත්ත' කියලා හරි විතරයි. එයට හේතුව නිවේදකයන් හිතනවා අපි වැඩියෙන් කතා කරන එක තමයි සුදුසු කියලා. ගුවන් කාලයෙන් වැඩි කොටසක මගේ හඬ ඇසිය යුතුයි, මගේ රූපය දකින්නට සැලැස්විය යුතුයි කියලා හිතන එක තමයි මෙවැනි වැරදීම්වලට හේතුව. ඔය තත්ත්වය එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීයක තිබෙනවා. අරුත් සුන් වදන් තෙපළන ගිරවු දොඩමළු- අදත් නගපු දෙන් ඔය කිචිබිචිය නිරතුරු කියලා. එය ලියූ කරුණාරත්න අබේසේකරයන් මේ එෆ්.එම් චැනල් බිහිවෙයි කියලා ඒ කාලෙම දැනගෙන ඉඳලා තිබෙනවා මේ වගේ ගීයක් ලියන්න. "

 

ජනමාධ්‍ය සමඟ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම අද තාක්ෂණික දියුණුවක් සිදු වී ඇත. ඒ සමඟ මාධ්‍යවේදියාගේ හැසිරීම ඔහු මෙසේ විග්‍රහ කළේය.

 

“අද තාක්ෂණය දියුණුයි ඒත් ශිල්පීන් පිරිහිලා. මම එහෙම කියන්නේ ඇයි දන්නවාද? අදටත් ශ්‍රාවකයන් ඉල්ලන්නේ ' අපට ඒ ගීතයේ මුල් ගීතය නැත්නම් ඔරිජිනල් එක දෙන්න, රීමික්ස් එපා, කවර් වර්ෂන් එපා' කියලනේ. එයට හේතුව ඒ ගී නැවත ගැයූ පිරිස අදක්ෂයි කියන එක නෙවෙයි. ඒ ගීත ඇසූවන් කියනවා මේ අලුත් ගීතයේ ඩ්‍රම්ස් හඬ වැඩියෙන් එනවා, ඒකේ මියුසික් වැඩියි, වේගය වැඩියි වගේ දේවල්. උදාහරණයකට මඟුල් ගෙයක් ගන්නකො. තරු පහේ හෝටලයක හරි කන් බිහිරි වෙන තරමට බෑන්ඩ් එකක් ගැහුවොත් මිනිස්සු ඇතුළෙ රැඳෙන්නේ නැතිව එළියට එනවානෙ. ඒත් පෙරදිග ක්‍රමයට වාදක මණ්ඩලයක් එක්ක ගී ගයනවා නම් සියලු දෙනා එය රසවිඳීනවානේ. මොනවා වුණත් කලාල සාදය නැත්නම් පැදුරු සාජ්ජේ ඉඳන් ප්‍රසංගය දක්වා අගය කරන පිරිසක් ඉන්නවා. අපේ ජනතාවට ආවේණික රිද්මයක් තිබෙනවා. එය තවමත් නොකැඩී තිබෙනවා. එය බිඳීනවාට මිනිස්සු කැමැති නැහැ.

මම නම් කියන්නේ රූප මාධ්‍ය මඟින් අපේ රිද්මයයි පරිකල්පනයයි කඩාබිඳ දැම්මා. ගීතයක රූපරචනය කියලා මම නම් කියන්නේ අපේ හිතේ මැවෙන රූපරාමුවලට. එය අපේ අත්දැකීම් සමඟ අපට මැවෙන චිත්තරූපයයි අපට වැඩියෙන්ම රසවිඳීන්නේ. අද රූපරචනා කලාව කොච්චරද කීවොත් ගීතය කියන ගායක ගායිකාවවත් පෙන්වන්නේ නෑ. හින්දි චිත්‍රපටවල රූපරාමු අනුකරණයට තමයි උත්සාහ කරන්නේ.

අනෙක නිවේදකයන් විවිධ කටහඬ මවලා කතා කරන්න‌ යන්න හොඳ නෑ. ඒවා හොඳයි විනෝද සමය වැඩසටහන්වලට. අපි නිතර යොවුන් කටහඬකින් පිරිසුදු පැහැදිලි උච්චාරණයක් සහිතව කතා කළ යුතුයි. කටහඬ වෙනස් කළාට කමක් නෑ යෞවනත්වය මතුවෙන ආකාරයට. අපට හොඳට තිබෙන කටහඬ මහලු කරගෙන කතා කරන්නේ ඇයි. ඒ හැම දේකටම වුණත් රුචිකත්වයක් රසිකත්වයක් තිබෙන අවස්ථා යෙදෙනවා. වාහනයක් පදවගෙන ගෙදර යන මොහොතක පොඩි රසකතාවක් අලුතෙන් නිර්මාණය කර කීවාට කමක් නෑ. බලෙන් හිනස්සන විදිහට නෙවෙයි ඉබේ හිනායන්නයි ඒ වැඩසටහන් කළ යුත්තේ. පොඩි මල්ලියි, චූටි මල්ලියි ඒ දේ හොඳට හඳුනගෙන වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකයන් දෙදෙනෙක්.

සමාජ මාධ්‍යජාල කියන්නේ හොඳ ප්‍රවණතාවක්. එය තොරතුරු හුවමාරු කරන්න, උගන්වන්න, අලෙවිකරණ කටයුතුවලට එය ඉතාම ප්‍රයෝජනවත්. ඒ සඳහා අපි නිර්මාණශීලී වෙන්න ඕනෙ. සමාජ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන පිරිස ඉන්නවා ඒ නිසා ඔවුන්ගෙන් මම ඉල්ලන්ගේ ජනතාවගේ සුන්දරත්වය නම් බිඳීන්න එපා යහපත් දෙයක්ම කරන්න කියලයි. එනිසා ඒ කිසිදු දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි ඊ පුවත්පත් කියවනවා එවැනි ප්‍රවණතාවලට අපි හුරුවිය යුතුයි ඒවා සමාජ යහපතට යොදාගත යුතුයි.

අපේ වගකීම අලුත් පරපුරට මාධ්‍ය හරි විදිහට හැදෑරීමට කටයුතු සම්පාදනය කිරීම. විශ්වවිද්‍යාල පද්ධති වුණත් ඒ සඳහා මාධ්‍යවේදීන් පුහුණු කරන්න අලුත් විදිහට කටයුතු කරන්න ඕනෙ.”

 

පවුලේ තොරතුරු නොවිමසා කෙසේද? මම එයට අවස්ථාව ලබාගත්තෙමි.

 

“මගේ දුව කාව්‍යා රෝහණ ජයසිංහ භාෂා ඉගෙන ගන්නවා මොකද ඇය වැඩි කැමැත්තක් දක්වන්නේ හෝටල් සහ සංචාරක කර්මාන්තය සම්බන්ධ විෂයයට. වෛද්‍යවරියක් වන මගේ බිරිය රූබි ජයසිංහ සමඟ දුව මගේ කටයුතුවලට සහයෝගය දෙනවා. ”

 

ඔහු විශේෂයෙන් සම්බන්ධව සිටින අලුත්ම වැඩපිළිවෙළ ගැන විමසමින් අපේ කතාවට සමු දුන්නෙමු.

“අපි සම්බන්ධ වෙලා ඉන්න අලුත්ම කටයුත්ත තමයි කාලයක් නිහඬව සිටි වික්ටර් රත්නායකයන් සමඟ ආත්මා ලියනගේ සහ සශිකා නිසංසලා සම්බන්ධ කරගෙන මනෝජ් පීරිස්ගේ සංගීතය සමඟින් ප්‍රසංගයක් සංවිධානය කිරීම. එය කැමැති කෙනෙකුට ඉල්ලීමක් කරලා සංවිධානය කරන්න පුළුවන් විදිහටයි අප කරගෙන යන්නේ. මේ සියල්ලෙන් අප බලාපොරොත්තු වන්නේ අපේ හිතවත් රසික ජනතාවගේ රසඥතාව දියුණු කරන වැඩසටහන්වලට ජනමාධ්‍ය මෙන්ම සමාජය යොමු කිරීමටයි.”

 

 

[email protected]

සේයාරූ - නිශ්ශංක විජේරත්න