සම්භාව්‍ය චිත්‍රපටයක් හැදීම ඊළඟ බලාපොරොත්තුවයි

ප්‍රවීණ අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්
මාර්තු 23, 2023

‘උතුරු සුළඟ චාමර ජනරාජ් පීරිස්ගේ පළමුවැනි සිනමා අධ්‍යක්ෂණයයි. ඔහු චිත්‍රපට කලාවට පිවිසෙන්නේ ටෙලි නාට්‍ය කලාවේ බොහෝ අත්දැකීම් සපිරූ පසුවය. මීට වසර ගණනාවකට ප්‍රථම ඔහු සිය ප්‍රථම ටෙලි නාට්‍යය ‘අයාල්’ අධ්‍යක්ෂණය කර සම්මානයට ද පාත්‍ර වූවා අපට මතකය. ඉන් පසු විවිධ තේමාවන් යටතේ ඔහු නිර්මාණය කළ ටෙලි නාට්‍ය මෙරට ප්‍රේක්ෂක ජනතාව නොසිතූ විරූ අන්දමින් වැලඳ ගත්තා. ඊට ආසන්නම උදාහරණය වනුයේ පසුගිය කාලයේ විකාශය වූ ‘වීදුරු මල්’ ටෙලි නාට්‍යයය. මින් කලකට ඉහත ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘උතුරු සුළඟ’ චිත්‍රපටය හෙට සිට තිරගත වේ. මෙම කතා බහ උතුරු සුළඟ චිත්‍රපටයත්, චාමරගේ කලා ජීවිතය පිළිබඳත් ඔහු සමඟ කරන ලද්දකි.

ඔබේ පළමුවැනි සිනමා අධ්‍යක්ෂණය හෙට සිට දිවයිනපුරා ප්‍රදර්ශනය වෙනවා. අපි ‘උතුරු සුළඟ’ ගැන කතා කරමු?

චිත්‍රපටයක් හදනවට වඩා අමාරුයි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන එක කියල මට හිතෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ චිත්‍රපටයක් හදන එක අමාරුයි කියලනේ. විශේෂයෙන් අපි බොලිවුඩ් ගැන හිතුවොත් චිත්‍රපටය හදන එක තමයි අමාරුම කාර්යය. හරියට කළමනාකරණය කරන්න ඕන. විශාල මිනිස් සමූහයක් එක්ක වැඩ කරන්න ඕන. පෙර නිෂ්පාදන කටයුතු රාශියක් ඒ වෙනුවෙන් තියෙනවා. නමුත් ලංකාවේ සිද්ධ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ලංකාවේ චිත්‍රපටයක් හදාගත්තට පස්සේ පෙන්නගන්න එක තියෙන්නේ දෙයියෝ අතේ.

මගේ චිත්‍රපටය නිදහස් කරන්න තිබුණේ කොවිඩ් එන්න ඔන්න මෙන්න කියලයි. පි‍්‍රමියර් එක විතරයි තියන්න පුළුවන් වුණේ. දවස් දෙකකින් සිනමා ශාලා වැහුවා. ඊට පස්සේ අවුරුදු දෙකකින් විතර තමයි නැවත ඒ අවස්ථාව උදා වුණේ.

ඔබේ චිත්‍රපටය නම් කොරෝනා විපත නිසා තිරගත වීම කල්ගියා. නමුත් එහෙම නොවන අවස්ථා වලත් තිරගත වීම් කල්යන අවස්ථා තිබෙනවා. අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ ඒක දකින්නේ කොහොමද?

මෙහෙමයි. චිත්‍රපට කියන මාතෘකාව ගත්තම විවිධ ශානරයන්ගෙන් යුත් චිත්‍රපට තිබෙනවානේ. ඉන්දියාවේ වගේ චිත්‍රපට කර්මාන්තය විශාලව පවතින රටක ඒ ඒ ශානරයන්ගේ චිත්‍රපට නරඹන පේ‍්‍රක්ෂක පිරිස් ඉන්නවා. ඒ නිසා ඒ ඒ අය වෙනුවෙන් ඒ චිත්‍රපට තිරගත කරනවා. නමුත් පොදුවේ ගත්තම එහෙම දැවැන්ත සිනමා කර්මාන්තයක් ලංකාවේ නෑ. ඒ නිසා විවිධ ශානර නරඹන සිනමා ලෝලීන් අඩුවෙනවා. ඒ වගේ වෙලාවට මෙවැනි චිත්‍රපට තිරගත කරන්න චිත්‍රපට ශාලාවල අය අකමැති වෙනවා. මට හිතෙන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා හැම තිස්සෙම මෙහි අවස්ථාව ලැබෙන්නේ ජනපි‍්‍රය ගණයට අයිති චිත්‍රපටවලටයි.

ඔබ සිනමා කලාවට එන්නේ ටෙලි නාට්‍ය කලාව තුළ ඇත්දැකීම් සපුරාගෙනයි. ඇත්තටම ඒක ඔබට සිනමාවේ නියැළීමට හේතුවක් වුණා ද?

මේ ක්ෂේත්‍රයට කිසිම අදාළත්වයක් නොමැති පුවත්පත් මාධ්‍ය කලාවේ හිටපු කෙනෙක් . එහෙම ඉඳල තමයි බොහොම අමාරුවෙන් ටෙලි නාට්‍ය කලාවට ආවේ. එතැනින් පස්සේ සිනමාවට එත්දි අනිවාර්යෙන්ම වැදගත් වුණා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂයෙදි මම ලබා ගත්ත අත්දැකීම්. මගේ ප්‍රථම චිත්‍රපටය වන ‘උතුරු සුළඟ’ කතාව ගොඩනැඟෙන්නේ ඒ කාලේ අපේ රටේ පැවතුණු දරුණු යුද්ධයක් පදනම් කරගෙන. අපි ඉස්කෝලේ යන කාලේ තමයි මේ රටේ යුද්ධය දරුණුවටම පැවතුණේ. අපේ පන්තිවල හිටපු සමහර මිතුරන් ගුවන් හමුදාවට බැඳුණා. මගේ සමීප මිත්‍රයෙකුත් හිටියා ගුවන් හමුදාවට බැඳිලා යුද්දෙදි වෙඩි වැදිලා මිය ගියා. මට හිතුණා ඒ වගේ එක්කෙනෙක් ගැන කතාවක් හදන්න ඕන කියලා. යුද්දෙ ඉවරවෙලා ගොඩක් කල් ගිහින් නිසා යුද්දෙ ගැන කතා කරල වැඩක් නැති නිසා එයට පේ‍්‍රම කතාවක් එකතු කරල කතාවක් ලියන්න මට හිතුණා. මට ඕන වුණේ මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න. එහෙම ගොඩනඟා ගත්ත කතාවක් තමයි උතුරු සුළඟ කියන්නේ, මේක සත්‍ය සිද්ධියක් පාදක කර ගෙන කරපු දෙයක් නොවෙයි. මෙහෙම වුණා නම් කොහොමද? කියල හිතල ලියපු කතාවක්.

ඔබ ඔබේ පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම සම්මානයට පාත්‍ර වුණු අධ්‍යක්ෂවරයෙක්. චිත්‍රපටය ගැන මොනවගේ බලාපොරොත්තු ද තියන්නේ?

මගේ ටෙලි නාට්‍ය ගොඩක් වෙලාවට ගියේ එක්තරා සීමිත පිරිසකට තමයි ජනපි‍්‍රය රැල්ලට නෙමෙයි මම නිර්මාණ ඉදිරිපත් කළේ. නමුත් චිත්‍රපටයක් කියන එක මට එහෙම කරන්න බෑ. මම ආසයි එහෙම වැඩක් කරන්න. නමුත් ඊට කලින් මම චිත්‍රපට ලෝකය තුළ නම හදාගන්න ඕන. ඒ නිසා මේ චිත්‍රපටය ජනපි‍්‍රය රැල්ලට වැඩිය බරයි. ඒ වුණාට මේක ‘හොඳ’ ජනපි‍්‍රය රැල්ලට හදාගත් කතාවක්. ඉතින් මම මේ චිත්‍රපටයෙන් ලබන පන්නරයත් එක්ක, මේ චිත්‍රපටයෙන් ලැබෙන ප්‍රතිචාරයත් එක්ක මගේ බලාපොරොත්තුවක් තිබෙනවා, ඊළඟට මම ආස කරන සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් කරන්න. මේක සාර්ථක වෙනවානම්. මේකෙන් මට නමක් හැදෙනවා නම් චිත්‍රපට කලාව තුළ අනිවාර්යයෙන් මම ඒකට එනවා.

ඔබ උතුරු සුළඟ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි චරිත සඳහා තෝරාගෙන තිබෙන්නේ ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය චරිත නොවෙයි. ඔබට අවශ්‍ය වුණේ අලුත් නළු නිළි යුවළක් හඳුන්වා දෙන්නද?

මම හිතන්නේ මම හෙව්වේ මේ චරිත වලට ගැළපෙන නළු නිළියෝ කියලයි. මට ඕන වුණා නළුවාගේ. චරිතය පුළුල් පරාසයක යොදවන්න. ඉතාමත්ම දුෂ්කර ගමක ඉන්න අම්මෙක් තාත්තෙක් නැති අනාථයකුගේ ඉඳලා කොළඹ හතේ, වැදගත් අම්මෙක්, තාත්තෙක් ඉන්න පොහොසත් පවුලක දරුවෙක් දක්වා මේ චරිතය විකාශය කරන්න පුළුවන් නළුවෙක් මට ඕන වුණා. ඒක ලබාගන්න පුළුවන් නළුවෙකුයි මම හෙව්වේ. සමහර නළුවන් දුප්පත්, චරිතයට සුදුසු වුණාට පෝසත් චරිතයට සුදුසු නෑ. තව සමහරු පෝසත් චරිතයට සුදුසු වුණාට දුප්පත් චරිතයට සුදුසු නෑ. සමහරු එකම ගණයකට සීමා වෙලා තිබෙනවා. ඉතින් මේ දෙකම එක විදියට කරන්න පුළුවන් නළුවෙක් තමයි මම හෙව්වේ. ඒ සඳහා මම තෝරාගත්තේ එරංග ජීවන්තව. ඔහු ඒ කාලයේ ටෙලි නාට්‍යවල හිටපු නළුවෙක්. ඒ වගේම ගැහැනු ළමයි අතර ලොකු ජනපි‍්‍රයතාවයක් දිනාගත් නළුවෙක්. දැන් ඔහු විවාහ වෙලා. ඔහු විවාහ වෙලා ඉන්නේ දීපා මෙහෙතා ගේ ‘වෝටර්’ චිත්‍රපටයේ කුඩා දැරිය ගේ චරිතය නිරූපණය කළ සරලාව. ගෑනු ළමයව මට ඕන වුණේ වැඩිය ටෙලි නාට්‍ය වලින් දැකපු නැති කෙනෙක් ගන්න. ඒකට මම ගැහැනු ළමයි ගොඩාක් ඉන්ටර්විව් කළා. මම හිතන්නේ 14 - 15 ක් විතර ඒ සම්මුඛ පරීක්ෂණයට ආවා. එයින් තෝර ගත්ත ළමයා තමයි ඔය ඉන්නේ. ඒ වෙනකොට එයා ‘සිදු’ ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් කරල තිබුණා. මම ඇයව හඳුන්වලා දුන්නේ ප්‍රදීප් මානවඩු විසිනුයි. මට මතකයි මුලින්ම ඇයට අපි ගෙන්නුවේ රාජගිරියේ මැක්ඩොනල්ඩ් එකට. අම්මත් එක්ක ආවේ. මම ඇගෙන් ඇහුවා දැන් මේ චරිතය කරගන්න පුළුවන් වේවිද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් පෙන්නපු එක්ස්ප්‍රෙෂන්ස් වලින් මම තීරණය කළා මෙයාට මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි එයාව ගෙනත් පුහුණු කළා. වැඩමුළු කිහිපයක් පැවැත්වූවා. ඇත්ත වශයෙන් කියනවා නම් අතිසාර්ථක විදියට ඇය මේ චරිතය නිරූපණය කළා. ඇයගේ විශේෂ ලක්ෂණයක් විදියට මම දැක්කේ කියන දේ අහගෙන ඉඳලා ඒකට අනුව රංගනයේ යෙදෙන එක. සමහරු කරන්නේ කියන දේ අහගෙන ඉඳලා ඔවුන්ට ඕන දේ කරන එකනේ.

ඔබ බොහෝ දෙනෙක් හඳුනන්නේ සහ ඔබේ මුල්ම රැකියාව වුණේ පුවත්පත් කලාව. ඔබ හිතන්නේ සිනමා කලාවට ඔබ ළංවුණේ කුමක් නිසා කියලද?

අපි ඔක්කොම ඉන්නේ එක ගහක. එක ගහේ එක එක අතු තමයි සිනමාව, කලාව, ටෙලි නාට්‍ය පුවත්පත් කලාව, ගීත රචනය ආදිය. මේ සේරම මහා ගහක අතු. ඉතින් මේ එක අත්තකින් තව අත්තකට පනින එක මහ වැඩක්ද?

නමුත් ඔබට ගෙදර පරිසරය වැඩිපුර සැකසිලා තිබුණේ දේශපාලනයට නේද?

දේශපාලනයට එන්න කලින් තාත්තා හොඳ ලේඛකයෙක්. තාත්තාගේ තිබුණ සුවිශේෂීත්වය තමයි එයා හොඳ විදෙස් විත්ති විචාරකයෙක් වීම. විදෙස් විත්ති විචාරයට ලංකාවේ ලොකු හිස්තැනක් තිබුණා. ඒ කාලේ. මට මතකයි. එඩ්වින් ආරියදාස අපේ තාත්තා. බ්‍රයන් ගෝමස් වැනි කීප දෙනයි හිටියේ. අනිත් ඒක ඒ අයට කඳවුරු තිබුණා. එඩ්වින් ආරියදාස මහත්තයාට ඇමරිකානු කඳවුර තිබුණා. අපේ තාත්තට තිබුණේ සෝවියට් කඳවුර. ඉතින් මේ දෙක හැප්පෙනවා. ඒ ගොල්ල එහේ හැප්පෙන කෙට මේ ගොල්ල මෙහෙ හැප්පෙනවා. ඒ තත්ත්වයත් එක්ක තමයි තාත්තා දේශපාලනයට ඇදිලා ගියේ. විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාලයේ. ඊට පස්සේ එයාට දේශපාලනය නිසා හොඳ වගේම මඩත් ගාගෙන, තනතුරුත් අරගෙන, පාර්ලිමේන්තුත් ගිහින් එයා ලොකු වුණා. ඒක ඇත්ත. නමුත් එයාගේ කලාව තමයි ලේඛනය. එයාට පුළුවන් මිනිස්සුන්ට කාවදින්න ලියන්න. ඒ තාත්තාගේ ලිවීමේ හැකියාව මට ආවේ හදන්න. ලියන්නත් ටිකක් පුළුවන්.

තාත්තගේ දේශපාලනය ඇයි පුතාට ආවේ නැත්තේ?

ඒ දේශපාලනය 100%ක් මම අනුමත කරන්නේ නෑ. මට තියෙනවා වෙනම දේශපාලන දැක්මක්. අපි වගේ කෙනෙකුට මේ වගේ රටක සමාජගත කරන්න බෑ. සමාජවාදය කියන එක යන්නේ කොමියුනිස්ට් ක්‍රමයටනේ. මම ඉගෙන ගත්තේ රුසියාවේ. කොමියුනිස්ට් කියන එක සම්පූර්ණයෙන්ම ෆේල් වෙච්ච රටක්. හැබැයි එහෙම ෆේල් වුණේ කාල්මාක්ස් එංගල්ස් කියපු කතාවේ අවුල නිසා නොවෙයි. ඒ ගොල්ල කිව්වේ ලස්සන කතාවක්. නමුත් අපි ඉන්නේ විවිධ මට්ටම්වල. එහෙම තැනකට මාක්ස්වාදය ඇප්ලයි කරගන්න බෑ.

එතකොට වෙන්නේ මෙහෙම දෙයක්. අපි දෙන්නම සෝවාන් නම් ඒක නියමෙට මැච් වෙනවා. බුදුහාමුදුරුවෝ කියපු ධර්මයෙයි, මාක්ස්වාදයයි අතරෙ සමීප සම්බන්ධකමක් තිබෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ නිර්වාණයට තනි තනිව එන්න කියලනේ. මාක්ස් කියන්නේ සමාජයත් ඒ විදියට එන්න කියලනේ. නමුත් ඒක කරන්න බෑ. එහෙම එන තැනකට ගොඩනගන්න නම් නීති දාන්න වෙනවා. ඒ නීති දාලා හදන එක ඒකාධිපති ස්වභාවය ගන්නවා. අපි යන්න ඕන ධනවාදී ආර්ථික රටාවෙන්ම තමයි. නමුත් දේශපාලනයට යන විට තියෙන්න ඕන මම දේශපාලනයට යන්නේ සමාජ සුබ සිද්ධිය උදෙසා මිසක් මම මේකෙන් හම්බ කරගෙන කන්නේ නෑ කියන එක. දැන් උදාහරණයක් විදියට මම දැක්කා දවස් 6කට පාර්ලිමේන්තුවට ගියපු අයෙකුත් කෝටි 4ක ජීප් එකක් අරන් තියනවා. ඉතින් එතැන තියෙන්නේ මොකක්ද කියල තේරෙනවනේ. දැන් ප්‍රාදේශීය සභාවට එන්න උත්සාහ කරන්නේ වැලිගොඩ දාන්න ගන්න. පෞද්ගලික උවමනාවක් වෙනුවෙන්. මේක හම්බ කර ගැනීමේ මාර්ගයක් වෙලා. මම මේ දේශපාලනයට කැමැති නෑ. ඒ හින්දයි මම කල්පනා කරන්නේ මේක වෙනස් වෙන්න ඕන කියලා. මම මාක්ස්වාදී නෑ. මට තියෙන්නේ ධනවාදී අදහස්, අපට ජීවත් වෙන්න ඕන කෑම ටික තියෙනවා නම්, පෙට්‍රල් ටික ගහගන්න තියෙනවා නම්, අපේ නිදහසේ අපිට වැඩක් කර ගන්න පුළුවන් හැකියාව තියනවා නම් වෙන මොනවාද ඕන. අපි ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ එච්චරනේ. ඒක තමයි මගෙ දේශපාලනය.

ඔබ ඉගෙන ගන්නේ රැසියාවේ. රුසියානු සංස්කෘතිය ඔබේ ජීවිතේට බලපෑවේ කොහොමද?

මම මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ කළේ බයෝ සයන්ස් වලින්. මට හම්බවුණා. ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ බයෝ සයන්ස් පාඨමාලාව කරන්න. නමුත් මට වුවමනා වුණා ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගන්න. ඒ කාලේ රට දේශපාලන වශයෙන් හරිම අස්ථාවරයි. කැම්පස් නිතර නිතර වහනවා. මේ වෙනකොට කටුබැද්ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නත් සුදුසුකම් ලබල හිටියේ. නමුත් මම එතකොට රුසියාවට ගිහින් ඉවරයි. එහේ ගිහින් මම ඉගෙන ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පය. ඒ මම ආස දේ. පොඩි කාලේ ඉඳලම මම ආසයි චිත්‍ර අඳින්න. වරක් රාජකීය විද්‍යාලයේ හොඳම චිත්‍ර ශිල්පියාත් වෙලා තියෙනවා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බිරිය අතින් තෑගිත් දිනාගෙන තිබෙනවා.

රුසියාව කියන්නේ වෙනම සංස්කෘතියක් වෙනම රටාවක්. ඒක වෙනම ලෝකයක්.උදාහරණයක් විදියට නැගෙනහිර යුරෝපයයි, බටහිර යුරෝපයයි ගත්තොත් නැගෙනහිර යුරෝපය සම්පූර්ණයෙන්ම වෙනස් බටහිර යුරෝපයට වඩා. රේඩියෝ එක හැදුවේ කවුද කියලා අපි මෙහේ ඇහුවොත් මාර්කෝනි කියලනේ කියන්නේ. රුසියාවේදී ඇහුවොත් ඒ වෙන කෙනෙක්. ඒකට ඔවුන්ට වෙනම පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම තමයි කලාව. ඔවුන් කලාවෙන් කරන්නේ සමාජය බෙදල වෙන් කරන එක නොවෙයි. හැම වෙලේම නිර්මාණ කළේ සමාජය එකතු කරන්න. සමානාත්මතාවය පෙන්වන කතන්දර තමයි ගොඩක් ආවේ. පොදුවේ ගත්තම ඒ රටේ මිනිස්සු හරිම මානුෂීයයි. ඒ රටේ කෙනෙකුට කන්න නෑ කියල කවුරුහරි කිවුවොත් කන්න දෙනවා. හැබැයි පෙනුම දැක්කම හරි සවුත්තුයි. නමුත් එංගලන්තයට ගිහින් කන්න නෑ කිවුවොත් ඔවුන් කම්පා වෙනවා විතරයි. කන්න යමක් දෙන්නේ නෑ. ඒක තමයි ඒ ගොල්ලන්ගේ වෙනස.

මම මේ අත්දැකීමත් එක්ක අවුරුදු ගාණක් ජීවත් වුණාම, රුසියානු බල කඳවුර කොහොමද හැසිරෙන්නේ අමෙරිකානු බල කඳවුර කොහොමද හැසිරෙන්නේ කියලා මට හොඳට තේරෙනවා. ඒ නිසා අදටත් මම රුසියානු මාධ්‍යයත් බලනවා. බටහිර මාධ්‍යයත් බලනවා. නමුත් ලංකාවේ හිටියා නම් ඛ්ව්ව් එකට, ඕඕඛ් එකට අල්ජසීරා එකට ඕන විදියට තමයි අපේ මනස හැඩ ගැහෙන්නේ. අපි වෙනම භාෂාවකට ආවර්ජනය වූ නිසා අපිට පුළුවන් වුණා වෙනස් වෙන්න. ඔහොම ඒවා නොවෙයි. මෙහෙම ඒවත් තියනවා කියලා. ලෝකේ කාට හරි පෙන්නන්න පුළුවන් වුණා. ඒ නිසා රුසියාවට ගිය එක මට ලොකු වාසනාවක් වුණා. පළවැනි එක ලෝක භාෂාවකට අනාවරණය වුණා. එකෙන් ලොකු සංස්කෘතියක් හැදෑරුවා. රුසියන් මිනිස්සු සමඟ විවෘත වුණා. කලාව සහ දේශපාලන දැක්ම වෙනස් විදියට හැදෙන්න රුසියාව දැඩි විදියට බලපෑවා.

අපේ ගෙදර කොහොමත් තියෙන්නේ මාක්ස්වාදයට බර ගතියක්. තාත්තා මාක්ස්වාදියෙක් අපේ සීයා හෙන්රි පීරිස් ලංකාවේ සම සමාජ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රී කෙනෙක්. අපේ ගෙදරම මාක්ස්වාදයට බරයි. නමුත් මාක්ස්වාදයේ තිබෙන අවුල දැක්කේ හැබැයි මම. මගේ හදවත මාක්ස්වාදියි. මම මාක්ස්වාදයට හරිම ආදරෙයි. කැමැතියි. නමුත් මාක්ස්වාදය ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒක හරියට වටින මැණිකක් වගේ නමුත් ගන්න අමාරුයි.

ඔබගේ පළමුවැනි ටෙලි නාට්‍යයට සම්මාන ලැබෙන්නේ ඔබ ඉතාම ආධුනිකයකුට සිටියදීයි?

ඔව්. ‘අයාල්’ මගේ පළවෙනි ටෙලි නාට්‍යය මම කළේ ලේක්හවුස් ඉන්න කාලේ. පළවැනි එකෙන්ම රාජ්‍ය සම්මානය ලැබුණා. හොඳම අධ්‍යක්ෂණයට සුමති සම්මානයත් ලැබුණා. ‘අයාල්’ ඇත්තටම ඒ කාලේ ටෙලි නාට්‍යයටම අලුත් අත්දැකීමත් වුණා. මම මගේ පශ්චාත් උපාධිය කළේ කටුබැද්ද විශ්වවිද්‍යාලයේ. මම එකේ පර්යේෂණ නිබන්ධයට කළේ අනුරාධපුර නගර නිර්මාණය සඳහා පිටසක්වළ ජීවන්ගේ දායකත්වය ලැබුණා ද? කියන එකයි. මම මේකෙදි වැඩියෙන්ම හෙව්වේ අනුරාධපුර නගරයේ අවුරුදු 10,000ක ඉතිහාසය. ඒකෙදි අපට විස්තර කරන්න බැරි තරම් සංසිද්ධි හමුවුණා. ඉතිං මම මේක ඉවර කරාට පස්සේ මට මේකට ලකුණු උපරීම ලැබුණා. මම කල්පනා කළා මේ පොත, ඊට පස්සේ හමස් පෙට්ටියට යනවානේ. ඒ නිසා ඒක මිනිස්සු අතරට ගෙනියන්න ඕන නිසා ඒකෙන් ටෙලි නාට්‍යයේ ලිව්වා. පේ‍්‍රම කතාවකුත් සම්බන්ධ කරලා. අයාල් හදන්න මට කිසිම අත්දැකීමක් තිබුණෙ නෑ. මම එංගලන්තයෙන් පොතක් ගෙන්න ගත්තා. ඒකේ තිබුණ කොහොම ද අධ්‍යක්ෂණය කරන්නේ කියලා. ඒ විදියට ස්වයං අධ්‍යයනය කරලා තමයි ‘අයාල්’ කළේ. ඒ නිසා මට ගුරුවරයෙක් නෑ. මම තමයි ගුරා මම තමයි ගෝලයාත්. මගේ අයාල් බලල තාත්තා කිව්වා උඹ පිටසක්වළ ජීවන් ගැන හැදුවා නම් මේ පොළොවේ පය ගහල ඉන්න සාමාන්‍ය මිනිස්සු ගැනත් එකක් හදපන් කියලා.

ඒකට තමයි ‘පියවි’ හැදුවේ. ඒක ඊට වඩා ජනපි‍්‍රය වුණා. ඊට පස්සේ ඇසිඩ්, ඍඍධ්ර්‍ථ, බටහිර අහස, රාහු ඇතුළු ටෙලි නාට්‍ය 12ක් විතර කළා. අන්තිමට කලේ ‘වීදුරු මල්’

සිනමාවේ ඉස්සහරට මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මමයි බිමල් ජයකොඩි කතා කරගෙන ඉන්න කතාවක් තියනවා. ඉස්සරහට ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හරියට කළාත් බොලිවුඩ් යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

ඔබ කවුරු වෙන්නද කැමැති?

මට කිසිම අදහසක්් නෑ, මට ඕන මනුස්සයෙක් වගේ ජීවත්වෙන්න. මම චාමර ජනරාජ් පීරිස් කියලා හඳුනා ගන්නවට තමයි මම කැමැති.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

[email protected]