සයිබර් අවකාශය නිසා දැන් කවි නොලියූ අයත් කවි ලියනවා

ප්‍රවීණ සාහිත්‍යවේදී කපිල කුමාර කාලිංග
මාර්තු 23, 2023

 

‘මට වචන

දෙක තුනක් ඇති’

සැබෑ කවියා කීය

මහා කවියෙකුට

මෙසේ කෙටියෙන් පබැඳුවේ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී කපිල කුමාර කාලිංගයන් විසින් ඔහුගේ නවතම කවි සරණියටය. ඔහුගේ ඒ කෙටි කවි සියය අවසන් කරන්නේ මෙසේ කියමිනි.

 

කෙටි වුණත්

ඒ කවි

කියවන විට

හරි දිගයි

එය සත්‍යයකි. 'කෙටි වුණත් ඒ කවි' කාව්‍ය සංග්‍රහයේ කපිල කුමාර කාලිංග කිවිඳු විසින් ලියන ලද ඒ කෙටි කවියකින් නැඟෙන විවිධ අරුත් රසිකයා තුළ සිතිවිලි පරම්පරා අනවරතව බිහි කරමින් ඒ ඔස්සේ දිගු ගමනක යෙදෙන බැවින් යළි යළිත් කියවන්නට බොහෝ දිගු වූ හේතු සාධක පැන නැඟේ. ඔහුගේ ගීත රචනා, නාට්‍ය රචනා, කෙටි කතා, නව කතා වැනි අනෙකුත් සාහිත්‍යාංගවලින් ද මතු වන්නේ මේ සමාන ලක්ෂණ නොවේද? ඉතින් ඔහුගෙන් විමසන්නට යෙදුණෙමු මේ කෙටි කවි පොත සහ ඔහුගේ නවතම තතු පිළිබඳව.

*********************

එයට ඔහුගේ කෙටි කවියකින්ම ආරම්භයක් ලදිමි.

නිහැඬියාවටද

හඬක් ඇත

ඇසෙන්නේ එය‍

නිහඬ වූ විට

යැයි ඔබ ලියන නිසාද පොතත් නිහඬව එළිදැක් වූයේ?

කවිය මගේ ප්‍රකාශන මාධ්‍යය ලෙස මම සලකන්නේ නෑ. ඒත් මම කවි නොලියන කෙනෙක් නෙවෙයි. දුඹුරු වලාකුළු කාව්‍ය සංග්‍රහය මම කළේ මීට වසර දහයකට පහළොවකට පමණ පෙර කාලේ. කවි ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශ කරන්න කැමැත්තක් මට නැත්තේ නාට්‍ය, කෙටිකතා, ගීත වැනි මාධ්‍යවලින් මම මගේ ප්‍රකාශනය කරන නිසා. හැබැයි කවිය ගීතයට තරමක නෑකමක් තිබෙනවානෙ. කාලයක් මම දුම්රිය කවි කියලා කවි ටිකක් ලීවා. පසු කාලෙක මගේ මාධ්‍ය මිතුරන් ඒවා පුවත්පත්වල පළ කළා. හැබැයි ඒකත් කෙටි කාලීනයි. (සිනාසී) ඒ කවි නිසා සමහරු මම කෝච්චි කවිකාරයෙක් කියලත් හැඳීන්වුවා.

වෘත්තීය වශයෙන් මම පුවත්පත් කීපයක කවි පිටු සංස්කරණය කළා. ඒත් ඒ එකකවත් මගේ කවියක් පළ කළේ නැහැ. ඡායාරූපයකට කවියක් ලීවත් මම එහි නම යෙදුවේ නැහැ.

ඔහොම ඉන්න අතර අනුර හෑගොඩ කිවිඳුන් ලන්ඩන් කවි සරණිය මුද්‍රණය කරන කාලේ මට එයට කවි ලියන්න ඇරැයුම් කළා. පසු කාලේ එය අන්තර්ජාලයට මුදා හරින විටත් මට කවි ලියන්න පෙරැත්ත කළා. එහෙම ලියූ කවි රැසක් මේ කෘතියට එක් වුණා.

ලක්ෂාන්ත අතුකෝරළ කවියා ඒ කවි දැකලා මගේ අන්තර්ජාල පිටුවකට ඇගැයීමක් ලියා තිබුණා. ඔහු, මම ඉහළින්ම පිළිගන්න කවියන් අතරින් කෙනෙක් නිසා ඒ ඇගැයීමෙන් පසු මගේ කවි තව අය කියෙව්වට කමක් නෑ කියලා සිතිවිල්ලක් ඇති වුණා.

කවි පොත් ප්‍රකාශයට පත්කරලා කවි සමාජයට එකතු වෙන්න මට අවශ්‍යතාවක් තිබුණේ නැතත් මගේ කවි එකතුව සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායකට බාර දුන්නා. කඩදාසි හිඟය ආවට පස්සේ ඒ ගැන තිබුණු පුංචි බලාපොරොත්තුවත් අතහැරලා තිබුණේ. ඒත් දවසක් මට ඒ පොතේ මුද්‍රිත පිටපත් කීපයක් අහම්බෙන් එවලා තිබුණා. ඉතින් ඔවුන් තිදෙනාට මම මගේ නොවක් තුති පුද කරනවා මේ කෘතිය එළිදැක්වීමට කළ දායකත්වය වෙනුවෙන්.

 

කෙටි වුණත් ඒ කවි?

මගේ මුල්ම කාලෙත් කෙටි කවි ලියා තිබෙනවා. පොඩි පර්යේෂණාත්මක කවි ලීවා මගේ විනෝදය සඳහා. ඡන්දස් පිහිටුවමින්, සංඛ්‍යා නැත්නම් ඉලක්කම් යොදාගෙන සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කවි ලීවා. මම පෞද්ගලිකව කෙටි කවියට ප්‍රියයි. විමල් දිසානායක මහාචාර්යතුමාගේ චීන කවි පරිවර්තන වගේම ජපන් හයිකු කවිවල පරිවර්තන පරිශීලනය කළා. කෙටි කවිය කෙතරම් කෙටි වුවත් එය ලොකු වැඩ බිමක්. එය එක් වතාවකින් අවසන් කරන්න බෑ. වරින් වර කියවන්න ඕනේ.

(ඔහු එසේ පවසන විට මට සිහියට නැඟුණේ

'කන්ද මුදුනෙහි

කොඩියට

නින්ද නැත

සිවු දිගින් හමන

සුළඟින්'

යනුවෙන් ඇති ඔහුගේ කවියයි. මෙහි ව්‍යංග්‍යාර්ථ වටහා ගන්නට නම් අපේ පරිකල්පනය වැඩබිමක් බවට පත් විය යුතු නොවේද? මට සිතෙයි එහෙත් මම බාධා නොකර අසා සිටිමි)

 

කවිය භාව ප්‍රකාශනයක්නේ. කවි සිතිවිලි හැමෝටම තිබුණාට එය සැබැවින්ම කවියක් කරන්න නම් භාෂාව හොඳීන් දැනගත යුතුයි. ඒ කියන්නේ කවි බස දැනගත යුතුයි. කවිය යනු රසාත්මක වාක්‍යයක් නම් රසාත්මක භාෂාව හෙවත් කවීන්ගේ රසබස කෙටි කවි ලෙසින් ඉදිරිපත් කරන්නත් හැකියි. මම තැන තැන එලෙස ලියා තිබූ කවි දෙසීයක් පමණ අතරින් තෝරාගත් සියයක් තමයි ‘කෙටි වුණත් ඒ කවි‘ බවට පත් වුණේ.

 

මම තවත් කවියක් ගෙන හැර පාමින් විමසමි

'රාත්‍රිය තරම්

සරාගී පෙම්වතියක්

සිටීද ලොව තවත්'

මෙහෙම ලියන කෙටි කවිවලට රීති තිබෙනවාද?

මට නම් රීතියක් නෑ. මම ඒවා දන්නෙත් නෑ. කාව්‍ය සේවනයෙන් සහ බොහෝ කවීන් ඇසුරින් ලද ඥානය සහ ලැබූ අත්දැකීම් මිස පරිචයක් මට ඒ පිළිබඳ නෑ.

 

අපට ආවේණික විවිධ කවි වර්ග තිබෙනවා? ඔබේ මේ කවිය

'සුළඟින්

බිම පතිත මල්

සුළඟින්ම ඉපිළෙයි'

දක්වන්නේ හයිකු කවියක ලක්ෂණ?

 

ඔවු. කෙටි, දිගු, සඳැස්, නිදහස් ආදි වර්ග අපට ලියන්න හැකියාව තිබෙනවා. අපේ කාව්‍ය ඉතිහාසය සීගිරි යුගයටත් එහා ගමන් කරනවා. සීගිරි කැටපත් පවුර තමයි එහි කූටප්‍රාප්තිය. සිංහල සාහිත්‍යය තුළ වුවත් කවිය කියන්නෙ අලුත් දෙයක් නොවෙයි. මමත් දිගු කවි ලියූ කෙනෙක්. ඒත් මට, වඩා ප්‍රිය වුණේ කෙටි කවි. කොළඹ යුගයේ කවීන් සඳැස් ලීවා. ජී. බී. සේනානායකගේ 'ෆ්‍රී වර්ස්' හෙවත් නිදහස් කවි ක්‍රමයෙන් අග්‍රඵල නෙළා ගත්තේ ප්‍රවීණයන්. සයිබර් සන්නිවේදනය ආවාට පසු කවදාවත් කවි ලියා නැති අයත් කවි ලියන්න ගත්තා. කවිය අද ඒ තරමට ජනප්‍රිය වුණත් විචාරකයන් සුපරීක්ෂාකාරීව ඒ දෙස බැලිය යුතුයි.

තරුණ කවීන් අතර කෙටි කවිය වැඩි භාවිතයක් තිබෙනවා. මමත් මුල් යුගයේ සඳැස් කවි ලීවාට වැඩිපුර එයට නැඹුරු නැහැ. සඳැස්වල සාහිත්යික නියාම ධර්ම රැසක් පවතිනවා. උපමා, රූපක, විශේෂයෙන් කාව්‍යාලංකාර රැසක් තිබෙනවා. සඳැස් කවියකු පරිපූර්ණ වන්න නම් ඒ පිළිබඳ හැදෑරීමක් කළ යුතුයි.

ආචාර්ය ගුණදාස අමරසේකර ඡන්දස් භාවිතය හොඳීන්ම කළ කවියෙක්. ඒ වගේම මොණිකා රුවන්පතිරණ දක්ෂ ලෙස කවිබස භාවිත කළ කෙනෙක්. ඇයගේ තැන ගන්න හැකි වූ අය ඉන්නවාද කියා එක එල්ලේ කියන්න බැරි තරම්.

අනෙක් කරුණ නම් සම්භාව්‍ය සාහිත්‍යය භාවිත නොකර කවි ලියන්න බෑ. මහාචාර්ය සුචරිත ගම්ලත් පෞද්ගලිකව මා සමඟ කළ සල්ලාපයකදී මම ගීත ලියන බව දන්නා නිසා කීවේ, ‘ඔබ ගීත ලියනවා නම් ඔබේ අත පොවන මානයේ මේඝදූතය, ගීත ගෝවින්දය සහ කව් සිළුමිණ තිබිය යුතුයි‘ කියා. අදටත් මම ඒ ලෙසම නොවුණත් සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ ඒ උපදෙස අනුගමනය කරනවා.

 

පුවත්පත්වලට නවකයන් ලියන කවි පිටු ඔබට හොඳට හුරුයි?

ඔවු. මම අවුරුදු තිහක් පමණ තිස්සේ පුවත්පත්වල සේවයට එනවා යනවා. පුවත්පතක ලිපිගොනු අතරින් මහතම ගොනුව වන්නේ කවි එකතුව. හැබැයි, කවි තිබුණාට හොඳ කවියක් තෝරාගන්න එයින් අහුරක් ගෙන කියවිය යුතුයි. මොකද බොහෝ දෙනා අනුකාරකයන් වෙන්න උත්සාහ කරනවා. තමන් යම් විදිහකට කවි පබඳීනවා කීවාට තවත් කෙනෙකුට මහගම සේකර, ආරියරත්න රණබාහු හෝ රත්න ශ්‍රී විජේසිංහ වෙන්න බැහැ. ඔවුන්ගේ කවි හැදෑරීම ඉතාම හොඳයි. ඒත් ඒ ප්‍රවීණයන් අනුකරණය කරන්න ගොස් තමන්ගේ නිර්මාණයේ ස්වීයත්වය නැති කරගැනීම හොඳ නැහැ. ඒත් සමහරු ඉන්නවා ඒ තුළින්ම බිහි වී තම අනන්‍යතාව රැකගන්නට හැකි වුණ. ප්‍රකාශනයේ වැඩබිම පුවත්පත කරගත් ස්වාධීන අය සිටීම හොඳ ලකුණක්.

 

අද පුවත්පතට වඩා සයිබර් අවකාශය තමයි බොහෝ කවිවලට වැඩබිම වෙලා තිබෙන්නේ?

වර්තමානයේ සයිබර් අවකාශය අපට කිසිසේත්ම බැහැර කළ නොහැකි එකක්. ලෝකයේ හයිකු කවි තරග, හයිකු සමාජ වැනි දේ ඇති වෙලා තිබෙනවා. එය ජපානයේ තනි අයිතියක් පමණක් නොවේ තවදුරටත්. අනෙක් අංශත් ඒ වගේ. ලෝකේ කොහේ හෝ කොණක කවිකිවිඳීයන් හඳුනගන්න වෙබ් අඩවි, ඊ සඟරා තිබෙනවා. ඒ ඔස්සේ විශාල ලොවකට දොරටු විවර වෙලාත් තිබෙනවා. ඒ සියල්ලට නිර්මාණ යොමුවද්දී වඩා හොඳ කවිය හඳුනා ගැනීම අපේ දැනුම අනුව කළ යුතු දෙයක්. සමහර අයගේ කවි අංගසම්පූර්ණ නැහැ. එයට අපට කාටවත් දොස් කියන්නත් බෑ. ඉස්සර නම් පත්තරයකට කවි ලියලා ඒවා පළ නොවුණොත් බොහෝ දෙනා වැඩේ අතහැර දමනවා. අද ඒ වගේ නෙවෙයි. තමන් කාටවත් යටත් නෑ. ස්වාධීනව ලියන්න අවකාශය තිබෙනවා. එය හොඳ ලකුණක් වුවත් එයින් බිහි වී තිබෙන්නේ කවි වනාන්තරයක්. ඒවා අගය කිරීම හොඳ වුණාට ඒ නිසාම තමන් අධිතක්සේරුවකට යෑම හොඳ නෑ. මේ වනාන්තරය කැලෑමල්, සුවඳ මල්, විස මල් බිහිවන ඉඩක් වගේ. එහි විවිධ දේ සිදුවනවා. ඉන් සුවදැති මල් නෙළා ගන්න අප දැනගත යුතුයි.

 

ඔහු නිරන්තර සාහිත්‍ය කටයුතුවල යෙදෙන්නෙකි. ඒ මොනවාදැයි දැනගන්නට විමසුවෙමි.

මේ වෙද්දිත් විවිධ සාහිත්‍ය කටයුතුවල නිරත වෙමින් ඉන්නේ. මොකද ලියන අයට නොලියා ඉන්න බැහැ. ඒත් අපට තිබෙන ප්‍රශ්නය ඒවා මුද්‍රණය කර ගැනීම. ලාංකේය සාහිත්‍යය අභියෝගාත්මක තැනක තිබෙන්නේ මේ තත්ත්වය නිසා. නිර්මාණකරණය කියන්නේ අපට හුස්ම ගන්නවා වගේ වැඩක්. ඉතින් අපට හුස්ම නොගෙන ඉන්න බෑනේ. (කනගාටුවෙන් වුව සිනාසෙයි)

 

ඔහු ලියූ ගීත මගේ සවනතෙහි ඒ ඒ ගායක ගායිකාවන් විසින් මුමුණන්නා සේ හැඟේ. ආදරය, ප්‍රේමය ඔහුගේ ගීතවල පදනම බව මේ කාව්‍ය කෘතියෙහි එන බොහෝ කවි මෙන්ම මේ කවියෙන්ද තහවුරු වෙයි.

ආදරයටද ඇත

කල් ඉකුත්වන දිනක්

කල් තියා

කිව නොහැකි

 

ඒ අදහසටම ගැළපෙන ගීයක් ඔහු ලියා ඇත්තේ 'නිමා නොවන පෙම් හැඟුම් මහා සමුදුරක් ලෙසින් ගෙඋයන් සීම දොරින් නික්ම යනු දුටිම් සොරෙන්' යනුවෙනි.

'කලකින් දිටිමි

රූබර ළඳක්

නිවසෙහිම'

කවිය ලියැවුණේ ඒ ගීතය අවසානයේ ද නැත්නම් 'සුපෙම් හැඟුම් ඔබෙන් එපා' ගීතයට පදනම වැටුණ මොහොතේද යන්න දන්නේ ඔහුම පමණි. 'වසන්තයේ අග හමුවෙමු සොඳුරිය', 'නෙක උයන් වතු මැදින්' , 'මීන නුවන් යුග' ආදී තවත් රසබර අරුත්බර බොහෝ ගීත බිහි වූ ආකාරය කවිය බිහි වනවා හා සමානදැයි විමසුවෙමි.

 

මගේ සාහිත්‍ය ඉසවු අතරින් වැඩිම ආස්වාදය ලැබෙන්නේ ගීතයෙන්. පසුගිය කාලෙත් මම කළේ ගීත ලියූ එක තමයි. ඒත් මම ගීතය වුණත් ලුහුබැඳ යන්නේ නෑ. ප්‍රමුඛස්ථානයක් දෙන්නෙත් නෑ. ගීතය හරියට විදුලියක් කොටනවා වගේ. මල් වෙඩිල්ලක් වගේ දෙයක්. මම එහෙම ලියන්න පටන්ගත් අසම්පූර්ණ ගීත කවුරුන් හෝ ගීයක් ලියා ඉල්ලුවාම සම්පූර්ණ කර දෙනවා. කොරෝනා සමයේ සිට මේ දක්වා ගීත තිහ හතළිහක්වත් ලියා දෙන්න ඇති.

ගීත කලාවත් වනාන්තරයක් වගේ වෙලා. අප පටන්ගත්ත කාලේ වගේ සම්පූර්ණ ශ්‍රාවක අවධානය දැන් යොමු වන්නේ නෑ ගීතයකට.

 

ඔහු මේ වන විට ගීතවලට අමතරව තවත් නිර්මාණ කාර්යයන් රැසක නිරත වෙයි.

ගීත ඇරුණාම මම චිත්‍රපට තිරනාටක රචනා කළා. එය ශ්‍රී ලාංකික සමාජය සම්බන්ධ තරමක් දුරට නූතන දේශපාලනික වෘත්තාන්ත චිත්‍රපටයක්. දෙවැනි චිත්‍රපටය නගරය තුළ කොටු වුණ තාරුණ්‍යය සම්බන්ධ තිර නාටකයක්.

අවසාන වශයෙන් මම වේදිකා නාට්‍යයක් හැටියට කළේ බැංකු වීරයා. එය හොඳම ස්වතන්ත්‍ර නාට්‍යය බවට පත් වුණා. ඒ කෙසේ වෙතත් අද නාට්‍ය රඟ දැක්වීම හා ප්‍රදර්ශනය ඉතාම අපහසු වෙලා තිබෙනවා. කෙටි නාට්‍ය කීපයකුත් ලියා තිබෙනවා. පුළුවන් අවස්ථාවක දිගු නාට්‍යයකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ඒත් පවතින වාතාවරණය දීර්ඝ නාට්‍යයක් කරන්න තරම් උත්තේජනයක් ලබා දෙන්නේ නෑ.

 

ඒ කියන්නේ නාට්‍ය බලන ප්‍රේක්ෂක පිරිස ගැනද?

නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයන් ඕනෑ තරම් ඉන්නවා. ඒ වුණාට අපි කොහොමද ඔවුන් ළඟට නාට්‍යය ගෙනියන්නේ. අද නාට්‍යයක වැඩිම වියදම වැය වන්නේ නාට්‍යයේ පාත්‍ර වර්ගයාට වඩා ශාලාවට සහ ප්‍රවාහනය වැනි පරිබාහිර දේවලට. ඉතින් කැපවීමෙන් ඒ සඳහා යොමු වන අලුත් තරුණ පිරිසකට නාට්‍යයක් කරගන්න පුළුවන් වුණාට, වෘත්තීය මට්ටමින් නාට්‍යයක් කරන අයට බාධක වැඩියි. අනෙක ඒ වැඩි වන මිලට සරිලන්න ප්‍රවේශ පත්‍රවල මිල වැඩි කළොත් ප්‍රේක්ෂකයන් වුණත් ඒවා මිල දී ගන්නේ කොහොමද? විදුලි බිලේ ප්‍රශ්නයට සහ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් ලෙස සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් බසයක් සහ පිරිසක් දෙන්න යෝජනා වුණා. ඒවාත් දැන් නැහැ.

 

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද ඔහු අමුත්තෙක් නොවේ.

මම ලියූ ටෙලි නාට්‍ය කීපයක් දැන් නිෂ්පාදනය වෙමින් පවතිනවා. ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වූ අදිසි නදිය නව කතාවෙනුත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් බිහිවෙනවා. බොහෝ විට මගේ නවකතාවලින් තිර පිටපත් මම ලියන්නේ නෑ. තව ස්වතන්ත්‍ර පිටපතක් රූපගත කෙරෙනවා මේ වෙද්දි. නවකතාවකට නම් මුල පුරා තිබුණත් මට සාමාන්‍යයෙන් අවුරුදු දෙකතුනක් යනවා කතාව ගොඩනඟා ගන්න. දැනට ඒ නිසා තිබෙන්නේ කටු සටහන පමණයි.

 

අපේ රටේ පාඨකයන් ගැන මොකද හිතෙන්නේ? නවකතා ගැන කීයූ නිසා මම ඇසුවෙමි.

පාඨකයන් වර්ග දෙකයිනේ. සමහරුන්ට කියන්නේ එස්කේපර්ස් කියලා. ඒ කියන්‌නේ පලා යන්නන්. ඔවුන් තමන්ගේ ඒ මොහොතේ ආතතිය ආදිය නැති කරගන්න, වෙලාව ගත කරන්න, විනෝදාස්වාදයට පොතක් පතක් කියවන පිරිස. ඒ අය පුහුණු රසිකයන් නොවේ. ගැඹුරු රසාස්වාදයට හුරු පිරිස වෙනයි. ඒ නිසා ලේඛකයන්ට ඉදිරියෙන් යන පාඨක පිරිසක් ඉන්නවා. ලේඛකයන්ට අභියෝගයක් තිබෙනවා ඒ සම්බන්ධව. එනිසා පාඨක සමාජය ගැන අවතක්සේරුවෙන් හිතන්න හොඳ නෑ.

 

රටක නිර්මාණ වැඩිදියුණු වන්නේ විචාරයත් දියුණු තත්ත්වයක පැවතුණොත් නේද?

අපේ පුහුණු විචාරකයන් අඩුයි. තරුණ විචාරකයන් අතර හොඳ පරපුරක් ඇති වෙමින් පවතිනවා. එය හොඳ ලකුණක්. හැබැයි ඉතින් අපි ඒ අඩුපාඩුව ගැන වැඩිය හිතන්න හොඳ නෑ. නිවැරැදි සහ ස්වාධීන විචාර කලාවක් අපට අවශ්‍යයි. එය අපට වඩා ඉදිරියෙන් ඉන්න පාඨකයන් සඳහාත් වැදගත්. ඒ නිසා අපට පුළුවන් පාඨකයන්ගෙන් අපට මිනුම් දණ්ඩක් තනා ගන්න. එය කළ යුතු දෙයක්. නව දැනුමින් සන්නද්ධ පිරිසක් ගොඩනැඟෙන එක ඉදිරියට එක්තරා ප්‍රමාණයකට සුබදායි නිසා ඌනපූරණ යොදා සම්පූර්ණ කර ගන්නවා මිස ඒ දේවල්වලින් කඩා වැටෙන්න ඕනේ නෑ.

 

ඔහු වඩාත් වැදගත් කටයුත්ත ගැන පැවසුවේ අවසානයටය.

සිංහල සාහිත්‍යය තුළ අන්තර්ජාතික මට්ටමේ නිර්මාණ තිබෙනවා. ඒත් සිංහල භාෂාවෙන් පමණක් නිසා ඒ ගැන විදේශීය රටවල් දන්නේ නෑ. ආසන්නම රට වන ඉන්දියානුවන් ඉංග්‍රීසි බසින් ලියන නිසා හෝ වෙනත් භාෂාවලට පරිවර්තනය කරන නිසා ඒ රටවල සාහිත්‍යය ලෝකයට යනවා. අපේ ඉංග්‍රීසි උගතුන් ඒ වගකීම බැහැර කර තිබෙනවා. ඒකට හේතුවකුත් තිබෙනවා. අපි ජීවත් වෙන්න වැඩ කරන අතරේ තමයි සාහිත්‍යයට යොමු වන්නේ. ඒත් අපි උත්සාහ කළොත් ලේසියෙන් ඉන්දීය, නේපාල, බංගලාදේශ ප්‍රකාශකයන් සිටිනවා අපේ පොත් ප්‍රකාශ කරන්න කැමැත්තෙන්. මම අන්තර්ජාතික පෙන් සමාජයේ සමාජිකයකු නිසාත් ඉන්දියාව පසුබිම් කරගෙන ලියු කෙටිකතා පෙළක් ඇති නිසාත් මගේ පොත් කීපයක් තෝරාගෙන තිබෙනවා ප්‍රකාශකයකු සොයා දෙන්නට. ඒවා කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී සුබා රත්නායක විසින් පරිවර්තනය කරනවා. මගේ අදිසි නදිය නවකතාවත් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරෙමින් පවතිනවා. මෙය අපේ රටේ ලේඛකයන්ට සුබදායී ආරංචියක් වනු ඇතැයි කියා මම සිතනවා.

වේලාව ගෙවී ගොසිනි. ඔහුගේ කෙටි වුණත් ඒ කවි කෘතියේ කෙටි කවියක් සිහියට නැඟෙයි.

'අවසන් පිටුව

ළං වන විට

සිතෙයි

තව තවත් කියවන්න

ජීවන පොත'

එහෙත් අවසන් කළ යුතුමය ලියමන.

 

 

සේයා රූ- හේමන්ත අරුණසිරි

[email protected]