වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
සහෝ නරඹපු සරසවි සිසුන්ගේ දෑස්වල කඳුළු දුටුවා

මෙරට සිනමා ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී හැකියාවන්ගෙන් පිරිපුන් රූමත් නිළියකගේ සම්ප්‍රාප්තිය සිදුවූයේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ප්‍රසන්න විතානගේ සිනමාකරුවාගේ ගාඩි චිත්‍රපටයේ ප්‍රදර්ශනය සමඟය. එම චිත්‍රපටයේ ටිකිරි ගේ චරිතය තුළින් සිනමාව ට සම්ප්‍රාප්ත වූ ඈ තම දෙවන සිනමා නිර්මාණය වූ මහාචාර්ය ආර්යරත්න ඇතුගලයන්ගේ සහෝ චිත්‍රපටය ඔස්සෙ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් ලෙසින් සිනමා ප්‍රේක්ෂක අභිමුවට මේ දිනවල පැමිණේ. කලාත්මක ධාරාවේ සිනමා කෘති ඔස්සේ සිය රංග වපසරිය විහිදුවාලන ඈ ඩිනාරා පුංචිහේවාය. යොවුන් රංග ශිල්පිනියක වන ඈ කොළඹ කාන්තා විද්‍යාලයෙන් සිප්සතර හදාරා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ වසර තුනක් පුරා නාට්‍ය හා රංග කලාව උපාධිය හදාරා කලා ක්ෂේත්‍රයට එක් වන්නේ කුඩාකල පටන් කලාවට තිබූ ලැදියාව නිසාමය.
පාසල් වේදිකා නාට්‍ය තරඟාවලියේදී හොඳම නිළිය සම්මානය ලබමින් ඈ හා පුරාකියා රංගනයේ අත්පොත් තබන අතර ඩිනාරා රංගනයට අමතරව චිත්‍ර කලාවටද උපන් හැකියාවන් ප්‍රකට කරන්නියක්ද වේ. ඉංග්‍රීසි, සිංහල, දෙමළ වේදිකා නාට්‍ය රංග ශිල්පිනියක්ද වන ඩිනාරා පුංචිහේවා සමඟ මේ දිනවල තිරගත වන ඇගේ දෙවන සිනමා සම්ප්‍රාප්තිය වූ සහෝ ගැනත් ඇගේ මේ දිනවල කලා තොරතුරු ගැනත් අපි කතාබස් කරමු.
ඩිනාරා මේ දවස්වල සහෝ සිනමා නිර්මාණයට මොන වගේ ප්‍රතිචාරයක්ද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ?
හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා. මේ චිත්‍රපටය තරුණ තරුණියන්ගේ කතාවක්. විශේෂයෙන් විශ්වවිද්‍යාලයක කතාවක්. මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකගේ භූමිකාවක්. මේ චිත්‍රපටය ගොඩක් විශ්වවිද්‍යාලවල ප්‍රජාව නැරැඹුවා. නරඹමින් ඉන්නවා. මොකද ඔවුන්ට මේ චිත්‍රපටය ගොඩක් සමීපයි. ‘සහෝ’ චිත්‍රපටයේ ප්‍රිමියර් එක දවසෙත් ගොඩක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසක් මේක නැරඹුවා. ඔවුන්ගේ දෑස්වල කදුළු පිරිල තිබුණා. ඒ තරමට ඔවුන්ට දැනුණු චිත්‍රපටක් බවට පත්වෙලා තිබුණ සහෝ සිනමා නිර්මාණය.
සහෝ ඔබේ දෙවන සිනමා සම්ප්‍රාප්තිය ද?
ඔව් මගේ මුල්ම චිත්‍රපට රංගනය වුණේ ගාඩි. ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් මගේ රංගනය වෙනුවෙන් ලැබුණා. මේ සහෝ චිත්‍රපටයෙන් මගේ රංගනය සඳහා බොහෝ අයගෙන් ප්‍රතිචාර ලැබුණේ හොඳ කියල. ගාඩි, සහෝ නිර්මාණ හැරුණුකොට තවත් ඔබේ සුවිශේෂී රංගනය ඵක් වූ තවත් සිනමා නිර්මාණ ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවාද?
ඔව්. සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ආශු චිත්‍රපටය වගේම ඔහුගේ විහඟ ප්‍රේමය චිත්‍රපට දෙක ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. මේ වෙනකොට විහඟ ප්‍රේමය චිත්‍රපටය ජිනීවා චිත්‍රපට සම්මාන උලෙළ නියෝජනය කළා.
සහෝ චිත්‍රපටය සඳහා විදෙස් ඇගැයීම් පවා ලැබුණා නේද?
ඒ ගැන සතුටුයි. ලංකාවේ චිත්‍රපයකට ඒ වගේ ඇගැයීමක් ලැබීම ගැන. එහි රඟපෑ නළු නිළියන් වශයෙන් අපටත් ඒක ලොකු ආඩම්බරයක් සතුටක්. අපි දායක වූ නිර්මාණයකට ඒ වගේ ඇගැයීමක් ලැබීම ගැන තව තවත් චිත්‍රපට උලෙළ නියෝජනය කරලා ජයග්‍රහණ අත් කරගන්න ලැබේවා කියලා තමයි අපි ප්‍රාර්ථනය කරන්නේ.
සහෝ චිත්‍රපටයේ නිර්මාණකරුවා වුණේ ආර්යරත්න ඇතුගලයන්. එතුමන් විශ්වවිද්‍යාලයේම ජීවත් වුණ කෙනෙක්. කොවිඩ් කාලේ කැලණිය විශ්වවිද්‍යාලයේ තමයි මෙම චිත්‍රපටය ෂූට් කළේ. ආරියරත්න ඇතුගලයන් ඇත්තෙන්ම විශ්වවිද්‍යාලයක්. මමත් සතුටු වෙනවා මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන. විශ්වවිද්‍යාල ප්‍රජාව සිතන පතන ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන හොඳ අත්දැකීමක් ඇති නිරන්තරයෙන් ඒ පරිසර අත්දැකීම දකින කෙනෙක් හැටියට මහාචාර්ය ඇතුගලයන් සහෝ නිර්මාණ කිරීම හරිම කාලෝචිතයි.
මේ දවස්වල ඩිනාරා මොනවද කරන්නෙ?
ෆිල්ම් ප්‍රොමෝෂන්වල වැඩ තමයි නිරත වෙලා ඉන්නේ. ඊට අමතරව මම අන්තර්ජාතික පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. එහිම තමයි නාට්‍ය හා රංග කාලාව ඉගැන්වීම් කරන්නෙත්. නාට්‍ය හා රංග කලාව තමයි මම විශ්වවිද්‍යාලයෙත් ඉගෙන ගත්තෙ. ඒ මම ඉගෙන ගත්ත දේ සමාජයට දීමත් ලොකු පිනක් භාග්‍යයක්. මම හදවතින්ම සතුටු වෙනවා. මම ඉගෙනගත්ත දේ තවත් පරපුරකට ඒ දැනුමත් දායාද කරන්න ලැබීම ගැන. තවත් මම කරන දෙයක් තමයි ළමා නිවාස වැඩ නාට්‍ය හා රංග කලාව පිළිබඳ වැඩමුළු කරනවා. ඒ සඳහා මම සෙනසුරාදා ඉරිදා යන දවස් දෙක වෙන් කරලා තියෙනවා. ඵ් කාර්ය මම අතින් ඉටු වෙන්නේ ප්‍රජා සත්කාරයක් විදියට.
ඩිනාරා ඉන්දීය අධ්‍යක්ෂවරයෙකු යටතේ කෙටි චිත්‍රපටයකත් රංඟනයේ නියැළෙනවා නේද?
ඔව්. මේ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබෙන්නේ ගාඩි චිත්‍රපටයේ රඟපෑවට පස්සේ. ගාඩි චිත්‍රපටයේ වැඩ කටයුතු වෙනුවෙන් ඉන්දියාවට ගොස් සිටින විට එහිදි හඳුනාගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයක වූ ෂූ ශුභ ලේඛා ගේ රක්ෂා කෙටි හින්දි චිත්‍රපටයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. මට හින්දි භාෂාවත් තරමක් පුළුවන් නිසා එය වඩාත් පහසු වුණා.
ඔබට චිත්‍රපටයකට ආරාධනා ලැබූ විගස සැලකිලිමත් වන්නේ මොන චරිත වෙනුවෙන් ද?
මට ලැබෙන චරිතය තුළ ජීවත් වෙන්න පුළුවන්නම් චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම්, මම ඒ චිත්‍රපටයේ රෝල් එක ගන්නෙ හැම චිත්‍රපටයක්ම මම භාර ගන්නේ පිටපත කියවලා. අධ්‍යක්ෂකවරයා ප්‍රවීණ වුණත් ආධුනික වුණත් මට අදාළ නෑ. ඔහුත් සමඟ කතා කිරීම තුළ අපට වැටහීමක් ලැබෙන්න පුළුවන්.මොහු සමඟ හොඳ දෙයක් කරන්න පුළුවන්ද බැරිද ඒ සඳහා ඔහු හොඳ නිර්මාණකරුවෙක් ද කියා ඒ අනුව මගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරනවා.
ඩිනාරා වඩාත් ලෙන්ගතුකම් පාන්නේ සිනමා නිළියක ගේ භූමිකාව තුළ රැඳෙන්නද?
දැනට මට ලැබිලා තියෙන වටිනාකම් මත මම ආසයි සිනමාව තුළ රැඳෙන්න. හොඳ පිටපතක් ලැබුණොත් ටෙලිනාට්‍ය ගැන හිතලා බලනවා.දැනට නං හිත පුරාම තියෙන්නේ සිනමා තුළම රැඳී සිටීමේ ඉලක්කයක්. දැනට මම කලාත්මක සිනමාවක් තුළ ගොඩනැගෙන ආධුනික ශිල්පිනියක්. වාණිජ පැත්තෙන් හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා ඇරෙන්න ලැබෙන ලැබෙන හැම දේම මගේ ගොඩට එකතු කරගන්න මම දෙපාරක් හිතන කෙනෙක්. පිටපත වගේම අධ්‍යක්ෂවරයාත් මට වැදගත් මූලික සාධකයක්.
ඉතා කෙටි කලක් තුළ ඔබට ලැබෙන සිනමා නිර්මාණ කීපය තුළ ඔබේ රංග වපසරිය එකින් එකට වෙනස් භාවයකින් යුතු වුණාද?
ඔව්. මම දැනට රඟපෑ චිත්‍රපට හතර පුරාවට මම රඟපෑවේ චරිත හතරක්. ඒ චරිත හතර පුරාම විහිදුණ මානසික ශක්තියන් එකිනෙකට වෙනස්. විහඟ ප්‍රේමය චිත්‍රපටයේ මම රඟපාන්නේ දරුවෝ විකුණන මවකගේ භූමිකාවක්. සහෝ චිත්‍රපටයේ කථිකාචාර්යවරියක්. ගාඩි චිත්‍රපටයේ 1814 අපේ රටේ ජීවත් වූ කාන්තාවක්. ආශු චිත්‍රපටයේ ලංකා දිසානායකගේ ගේ චරිතය. මේ චරිත ගත්තම එකිනෙකට වෙනස් බැරෑරුම් චරිත හතරක්.
සහෝ චිත්‍රපටයේ කථිකාචාර්යවරිය ගේ ඩිනාරා වේදිකාවෙන් බිහිවන නිළියක් ද?
ඔව්. මගේ රංගනයෙන් ඇරඹුම වේදිකාවයි. නාට්‍ය හා රංග කලාව ඉගෙන ගෙන මම මුලින්ම සම්බන්ධ වන්නේ වේදිකාවට ඊට පස්සේ තමා ගාඩි ඔඩිෂන් එකට යන්නේ. රුවන් ඩී චිකේරා, ජෙහාන් ඇලෝසස්, අනුෂ්කා සේනානායක, ටැස්මින් ඇන්තනි මම බොහෝ විට ඉංග්‍රීසි නාට්‍යවල තමා රගපෑවේ. සිංහල නාට්‍ය වල වගේම දෙමළ නාට්‍යවලත් මම රඟපෑවා.මට භාෂාව කියන දේ ප්‍රශ්නයක් නෑ. ජපන් නාට්‍යයක රඟපාන්න ආරාධනා කළත් මට ඒක පුළුවන්.
ඩිනාරා විවාහ වෙලා ඉන්නෙ මෙරට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සිදත් වෙත්තිමුනි ගේ පුතා සමඟයි?
ඒ කතාව ඇත්ත. මම විවාහ වෙලා ඉන්නේ සංජය වෙත්තිමුනි සමඟ. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයෙ ගුවන් නියමුවෙක්. අද වෙනකොට සංජය ගුවන් නියමු කපිතාන්වරයෙක්. ඔහුගේ කුඩා කළ පටන් සිහිනයක් වෙලා තිබුණේ කවදා හෝ ගුවන් නියමුවෙක් වෙන්න. මගේ කුඩා කල පටන් සිහිනයක් වෙලා තිබුණේ රංගන ශිල්පිනියක් වන්න. අපි දෙන්නගේම අදහස් හොඳට මැච් වෙනවා. මමත් සංජයත් විවාහ වෙලා දැනට අවුරුදු තුනක් වෙනවා. අපි දෙන්නා මුලින් හමුවුණේ යාළුවෙක් ගේ වෙඩින් එකකදී. මගේ රංගන කටයුතුවලටත් සංජය බොහොම ආශාවෙන් සහයෝගය ලබා දෙනවා.
සේයාරූ - තිලක් පෙරේරා