වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
මේ වෘත්තියේ වෙහෙස මට දැනෙන්නේ නැහැ

රටක ජන මාධ්‍ය යනු සිව්වැනි ආණ්ඩුවයි. මාධ්‍ය එතරම්ම බලවත්ය. රටක ජන මතය වේගයෙන් වෙනස් කිරීමේ හැකියාව මාධ්‍යයට ඇත. සාමාන්‍ය ජනයා ජීවත්වන දිනයටත් වඩා තවත් එක් දිනක් ඉදිරියෙන් ජන මාධ්‍ය සිටී. එසේ නම්, මාධ්‍ය කරවන්නන් ගැන කවර කතාද? ඔහු ද පෙර ගමන් කරුවෙකි. ඔහු තම පෞද්ගලික දිවියේ නොයෙක් බාධක හා අභියෝග රැසකට මුහුණ දී අද වන විට මාධ්‍ය ක්ෂේත්‍රෙය් දිනුම් කණුවට ළඟා වී සිටින්නේය. ඔහු සංජීව කුමාරය. ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති කළමනාකරුය. ඔහු සමඟ අපි කළ කතා බහ මෙසේ දිග හරිමු.
ඔබ ප්‍රවෘත්ති කළමනාකරුවකු දක්වා ආ ගමන් මඟ ගැන යමක් කිව හැකිද?
මම ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට බැඳෙන්නේ 2001 වසරේදීයි. ඒ, විදෙස් ප්‍රවෘත්ති සංස්කාරකවරයකු ලෙසටයි. ඒ කාලයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ උපාධිය හදාරමින් හිටියේ. එවක මගේ යාළුවෙක් හිටියා සුසාර දිනාල් කියලා. ඔහු ඒ දවස්වල ස්වර්ණවාහිනී ආයතනයේ තමයි රැකියාව කළේ. එහි පුරප්පාඩු තියෙනවා කියලා ඔහු මට මඟ පෙන්වා දුන්නා. ඒ අනුව මම එහි තිබුණු සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. ඊට පහුවදාම මට රැකියාව හම්බ වුණා. 2001 අවුරුද්දේ ඔක්තෝබර් 07 මම ස්වර්ණවාහිනියේ රැකියාවට ආ මුල්ම දවසයි. මාස 06ක් මම විදෙස් ප්‍රවෘත්ති සංස්කාරක විදිහට වැඩ කළා. ඉන් පස්සේ මම දේශීය ප්‍රවෘත්ති නිෂ්පාදකයෙක් ලෙසට වෙනත් අංශයකට මාරු වුණා. ඒ 2002 අවුරුද්ද. එවකට මගේ අංශ ප්‍රධානියා රොස්මන්ඩ් සේනාරත්න මහත්මයා. ඉන් පස්සේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිෂ්පාදක, විධායක ප්‍රවෘත්ති නිෂ්පාදක විදිහට අවුරුදු 13ක් තිස්සේ වැඩ කළා. පසුව 2020 අවුරුද්දේ මට ප්‍රවෘත්ති කළමනාකරු විදිහට උසස්වීමක් ලැබෙනවා. මේ ආකාරයට ඉතාම ගෞරවනීය වෘත්තියක ඉහළම තනතුරකට මට එන්න ලැබීම ගැන මම අද සතුටු වෙනවා.
ඔබේ ළමා අවධිය ගෙවෙන්නේ කොහොමද?
අම්පාර ගලහිටියාගොඩ කියන ගමේ තමයි මම ඉපදුණේ. මම පළමුවෙන්ම පාසල් ගියෙත් අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලයටයි. ඒ කාලේ මම විද්‍යාලයේ ඉතාම දීප්තිමත් ශිෂ්‍යයෙක්. විෂය මාලාවට වගේම විෂය සමගාමී ක්‍රියාකාරකම් කළා. විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයා වුණා. උසස් පෙළට අම්පාර ඩී. එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වුණා. කලා අංශයෙන් ඉගෙන ගත්තා. 1995 අවුරුද්දේ උසස් පෙළ සිංහල අංශයෙන් දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා වුණා. ඊට පස්සේ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ කලා අංශයට ඇතුළු වුණේ. සමාජ විද්‍යා විශේෂ උපාධියත් හැදෑරුවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් මාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති විභාගය 2002 වසරේදී ලබා ගත්තා. දැන් මම ප්‍රවෘත්තිත් එක්කම ජීවිතය ගත කරනවා.
ඔබ ගෙවන ජීවිතය ආ පස්සට හැරිලා බැලුවොත් සිතෙන්නේ මොනවාද?
ඇත්තටම හරිම සතුටුයි. ක්‍රියාකාරීව ප්‍රවෘත්ති අංශයේ වැඩ කරන නිසා එය දැන් අපට පැය 8 රස්සාවක් නෙවෙයි. මේ රැකියාවට පෙර මම මහජන බැංකුවෙත් රැකියාව කළා. මගේ පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබුණේ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවට එන්නයි. මට හැම වෙලාවෙම තිබුණා මාධ්‍යවේදියෙක් වීමේ සිහිනයක්. ඒ සිහිනය කොහොමද කියනවා නම්, මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණෙත් මාධ්‍ය ක්ෂේත්‍රයට ඇතුළත් වෙන්න පුළුවන් වෙයි කියන අධිෂ්ඨානයෙනුයි. මට හොඳට ලකුණු තිබුණු නිසයි මම කොළඹ විශ්වවිද්‍යලයට ඇතුළත් වුණෙත්. කොළඹ විශ්වවිද්‍යාලයේදී මම සමාජවිද්‍යා උපාධියත් එක්ක ජනමාධ්‍ය කියන විෂය අනු විෂයක් විදිහට හැදෑරුවා. මහාචාර්ය ජේ. බී දිසානායක, මහාචාර්ය අජන්තා හපුආරච්චි, මහාචාර්ය කමල් වලේබොඩ, මහාචාර්ය සමන්ත හේරත් වගේ විද්වතුන් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අයගෙන් ලැබුණු ගුරු හරුකම් මට මේ ගමනට ලොකු ශක්තියක් වුණා. මහාචාර්ය ජේ. බී දිසානායක, මහාචාර්ය අජන්තා හපුආරච්චි මට මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. විශේෂවේදී උපාධියක් හදාරනකොට තෝරා ගන්නේ සීමිත පිරිසක්. මම හිතන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අංශයට වසරකට බඳවා ගන්නේ 20 දෙනෙක් විතරයි. මම තවත් අය 228 දෙනෙක් සමඟ ඒ සම්මුඛ පරීක්ෂණයට හිටියා. මම තේරුණා. මගේ ගම් පළාත, මම ලබා ගෙන තියෙන ජයග්‍රහණ ගැන ඒ අය සතුටු වුණා. මට මාධ්‍ය ක්ෂේත්‍රයේ යම් වැඩක් කරන්න පුළුවන් කියලා ඒ අයට එදා ඇති වුණු විශ්වාසය අද තහවුරු වෙලා තියෙනවා. හැම කෙනෙකුටම ඕනෑම ක්ෂේත්‍රයකට එන්න කලින් පදනමක් තියෙන්න ඕනෑ. ඒ දේ මම විශ්වාස කරනවා. කොළඹ විශ්වවිද්‍යාලය ඒ පදනම ලබලා දුන්නා. අපි විශාල ක්‍රියාකාරකම් රැසක් කළා ඒ කාලේ. ඒවත් එක්ක මට මාධ්‍යයේ බොහෝදෙනා හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම රැකියාවේදී කළ කැප කිරීම් අපමණයි. සමහර දවස්වල පාන්දර 2 විතර වෙනකම්ම වැඩ. ඊට පස්සේ ආපහු පාන්දර 4 ආයෙමත් අවදි වුණු අවස්ථා තියෙනවා. හැබැයි මේ වෘත්තිය හරිම තෘප්තියෙන් තමයි කළේ. කොයිම වෙලාවකවත් මහන්සියක් දැනුණේ නෑ. ඒ වගේම මට ඕනෑ වුණෙත් හැම දෙයක්ම පුංචි තැන ඉඳන්ම ඉගෙන ගන්නයි. හේම නලින් කරුණාරත්න මහතාත් අපට ගොඩක් ගුරු හරුකම් දුන්නා. මේ සියලු කාරණා මත මාධ්‍යයේ පදනම හැදුණා.
ඔබ ප්‍රවෘත්ති අංශයම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවාද?
මම කුඩා කාලේ පටන්ම හොඳ සවන් දෙන්නෙක්. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. අපි උදේ නැඟිටින්නේ 5.30ට 6.00ට විතර. එතකොටම අපට ඇහෙන්නේ ප්‍රවෘත්ති. ඒ නිසා අපි ප්‍රවෘත්තිවලට ආසා කළා. මට ඒ ප්‍රවෘත්ති කියන විදිහ මගේ හිතේ තදින්ම පැලපදියම් වුණා. මම ඉස්කෝලේ කථික තරඟවලට, නිවේදන තරඟවලට ඉදිරිපත් වුණෙත් ඒ හින්දයි. මම සමස්ත ලංකා කථික තරගයෙන් හොඳම කථිකයා වෙලා තියෙනවා. ඒ වගේම මට ලිවීමේ හැකියාවකුත් තියෙනවා. එයිනුත් මම ජය අරගෙන තියෙනවා. මේ පදනමට හේතු වුණේ මගේ දෙමාපියෝ. ඒ අය මාව නිවැරැදිව යොමු කළා. අම්පාර දිස්ත්‍රික්කයේ මුතුහර ළමා සමාජයේ අපේ ශාඛාවේ, මම සභාපති. ඒ වගේම සුචරිත ළමා සමාජයෙත් මම වැඩ කළා. තරුණසේවා සමාජයේ මම ක්‍රියාකාරී සාමාජිකයෙක්. යොවුන් සම්මාන උලෙළ රැසකට මම වැඩ කරලා තියෙනවා. ඉතින් මේවයින් ලැබුණු පන්නරයත් එක්ක මේ ගෙවුණු වසර 23 තුළ මම වැඩ කළා. ‘8ට කියන්න’ මම නිෂ්පාදනය කළ වැඩසටහනක්. එය හොඳම වැඩසටහන ලෙසට රයිගම් සම්මානයට පාත්‍ර වුණා. ඊළඟට සුමති සම්මාන ආදී බොහෝ සම්මාන රැසකට මගේ දායකත්වය ලැබුණු ඒවා. අපේ ප්‍රවෘත්ති අංශය මහජන සම්මාන පිට, පිට වසර ගණනාවක්ම ලැබුවා. ඉතින් සතුටුයි කියන්න, මෙහි මම ක්‍රියාකාරී සාමාජිකයෙක්. මිනිස්සු කැමති, මිනිස්සු මන බඳීන ප්‍රවෘත්තියක් නිෂ්පාදනය කරීමේදී අපි බොහෝ අත්දැකීම් ලැබුවා. මේ අත්දැකීම් සම්භාරයම එකතු කරලා නැවත ආපසු හැරී බලද්දී අප්‍රමාණ සතුටුයි.
මේ ආ ගමනේ කටුක හා දුක්බර අතීතයකුත් එකතු වෙලා ඇති?
ඔව් ඇත්තෙන්ම. ඒ කාලේ අම්පාර කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්වල විශාල වශයෙන් ගැටුම් තිබුණු කාලයක්. අපට පාසලේදීත් විවිධ ජීවිතාරක්ෂක පුහුණුවීම් ලැබෙනවා. වෙලාවකට අපට ගෙදර ඉන්න වෙන්නෙත් නෑ. සමහර වෙලාවට එක තැනකට අපිව හමුදාවෙන් රැස් කරනවා. කොයි වෙලාවක හෝ ප්‍රහාරයක් ඒවිද දන්නේ නෑ. අපි කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්නේ. ඒ කාලේ අපේ ගමට විදුලිය නෑ. මම සාමාන්‍ය පෙළ ලිව්වේ එවන් පසුබිමක. අපේ අම්මා තමයි, අපේ යෝධ ශක්තිය. අපේ පවුලේ සාමාජිකයෝ 10 දෙනෙක්. මට අක්කලා 4 දෙනයි, අයියලා 2යි, මල්ලිලා 3 දෙනයි, මමයි. අම්මයි, තාත්තයි ඔක්කොම 12යි.
නව පරපුර ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවාද?
නව පරපුර, මාධ්‍ය ගැඹුරින් අධ්‍යයනය කරන්න පෙළඹෙන්නේ නෑ. මගේ කණ්ඩායම ඒ අතින් ඉතා හොඳයි. ඒ අයට මම අවවාදයක් දුන්නාම ඒ අය ඒ ගැන හිතනවා. ප්‍රවෘත්ති අංශයේ ඉතාම වටිනාම දේ තමයි ඉගෙන ගැනීම. අපට හැම දවසක්ම අලුත්. හැමදාම එන්නේ අලුත් දැනුමක්. අපි දැනුමත් එක්ක කරන සටනක් මේ යන්නේ. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී බලපාන්නේ අපේ දැනුමයි. අපි කොහොමද ප්‍රවෘත්තියක් හරියට තේරුම් ගන්නේ. ප්‍රායෝගික දැනුමත් එක්ක තමයි මේ කාරිය කළ යුත්තේ. මේ සබුද්ධික භාවය අතිශය වැදගත් ප්‍රවෘත්ති අංශයේ වැඩ කරද්දී. අද දැනුම ලබා ගත හැකි මාධ්‍ය ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒවා පරිහරණය කරමින් අලුත් විදිහට හිතමින්, අලුත් වැඩ කරමින්, අලුත් දේ සොයමින් මේ ගමන යනවා.
නව පරපුරට ආදර්ශය පෙන්වන්නේ කෙසේද?
ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් තමයි ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය ප්‍රායෝගික වෙන්නේ. ඒ නිසා අපේ ජනමාධ්‍ය ජීවිතය හැමදාම අලුත් වෙන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණයෙන්. ඒ නිසා මාධ්‍යවේදියකුට කවදාවත් ප්‍රවෘත්ති අතාරින්න බෑ. ඒක හැම දවසකම අපි කරන්න ඕනෑ. අලුත් සබඳතා ඇති කර ගන්න ඕනෑ. මේ විෂය දිග පළලක් නෑ. හමුවෙන මිනිස්සු විවිධාකාරයි. මේ හැම කෙනා ළඟම ප්‍රවෘත්තියක් තියෙන්න පුළුවන්. මම දකින්නේ ඒ විදිහටයි. ඉතින් අපට මේ හැම දෙනාම ආශ්‍රය කරමින් තමයි මේ ගමන යන්න වෙන්නේ. ප්‍රවෘත්ති වාර්තාකරණය වැදගත් වෙන්නේ ඒ නිසයි. අපි සමාජයට බැස්සොත් තමයි ප්‍රවෘත්ති සොයා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එතකොට තමයි අපි මොනවද කරන්න ඕනෙ කියලා තේරෙන්නෙත්.
ඔබ වැඩි වශයෙන්ම වාර්තා කරන්න කැමැත්තක් දක්වන්නේ කුමන ප්‍රවෘත්ති විශේෂයටද?
මම වැඩිපුරම කැමැති සමාජ ගැටලු වාර්තා කරන්නයි. මගේ විශේෂවේදී උපාධියෙන් මේ සම්බන්ධව මම පුළුල් දැනුමක් ලැබුවා. මම හැම වෙලාවේම කාලීන දේවල් සොයන්න ආසයි. මට පොඩි කාලේ ඉඳන්ම ඒ හැකියාව තිබුණා. සමාජ ගැටලු හරහා සමාජ පැතිකඩක් අපට හඳුනාගන්න පුළුවන්. සමාජය හැම වෙලාවෙම විචල්‍යයක්. ගතිකයි. ගතික සමාජය හඳුනාගන්න පුළුවන් සමාජ ගැටලු හරහා. එකිනෙකාට තියෙන ගැටලු වෙනස්. ඒ ඒ ගැටලු තේරුම් ගන්නෙත් ප්‍රවෘත්ති වාර්තාකරණය හරහායි. අපි කොයිම වෙලාවකවත් පක්ෂපාති ප්‍රවෘත්ති නිෂ්පාදනය කරන්නේ නෑ. අපි හැම කෙනාටම සවන් දෙනවා. එදාට එදාට එන දේවල්වලින් අපේ දැනුම අලුත් වෙනවා. රටටත් ඵලදායි වෙනවා. කාලීන පුවත් වාර්තාකරණයෙන් මම විශාල තෘප්තියක් ලබනවා. කාගේ හරි ගැටලුවක් විසඳන්න අපට පුළුවන් කමක් ලැබෙනවා කියන්නේ, ඒක පුදුම සතුටක් ගෙන දෙන්නක්.
ඔබේ වෘත්තීය ජීවිතය තුළ අමතක නොවන සිදුවීම කුමක්ද?
එකක් නොවේ. එවැනි අවස්ථා බොහෝමයක්ම තියෙනවා. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී අපට දිවා රෑ නොබලා වැඩ කරන්න සිදු වෙනවා. 2007 දී විතර මට මහියංගණයේ සිට බදුල්ලේ ප්‍රවෘත්ති වාර්තා කරන්න තිබුණා. මට විනාඩි 45ක් තුළ ගියොත් පමණයි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. එදා මං ගිය වාහනේ රියදුරු ඒක හොඳීන් තේරුම් ගත් අයෙක්. රාත්‍රීය එක පැත්තකින්. මඟ අලි ඉන්නවා තව පැත්තකින්. කොහොම හරි පුදුම වේගයකින් ගියේ. පොඩ්ඩක් වැරදුණා නම් ජීවිතෙත් ඉවරයි. මේ වගේ ජීවිත අවදානම් ගත් අවස්ථා ඕන තරම් තියෙනවා. සජීවි ප්‍රවෘත්ති වාර්තාකරණයේදී සමහර තැන්වලදී සමහරු අපට තර්ජනය කරන අවස්ථා තියෙනවා. මම මුහුණ දුන්නු ලොකුම අභියෝගය තමයි කොවිඩ් සමය. කාර්ය මණ්ඩලය ගොඩක් ගෙන්වන්න බෑ. පුදුම විදිහට දුෂ්කරතාවලට මුහුණ දුන්න කාලයක්. කිසිවකු වසංගතයට ගොදුරක් නොවන්න, නිවැරැදි වෙලාවට රාජකාරිය හරියටම කරන්නත්, ප්‍රවෘත්ති අංශය වහන්නත් බෑ. මම ප්‍රවෘත්ති අංශයේ කළමනාකරු විදිහට පත් වූ අලුතම මෙවැනි අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. ඒ කාලේ මම මාස දෙක හමාරක් විතර එක දිගට වැඩ කළා. ගෙදර අයත් වසංගතයට ලක් වෙලා හිටියා. අද මට හිතා ගන්නත් බෑ ඒක කොහොමද කළේ කියලා.
සහෝදර මාධ්‍යවේදීන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම අති ප්‍රසංසනීයයි. මම ප්‍රධානියකුටත් වඩා වැඩ කරන්නේ යාළුවෙක් විදිහටයි. මොකද අපි හැමෝම මිනිස්සු. මගේ සහෝදර කාර්ය මණ්ඩලයට දෛනික ප්‍රශ්න තියෙනවා. ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ඒවා ගැනත් අවබෝධයක් තියෙන්න ඕනෑ. අපේ රැකියාව වගේම පෞද්ගලික ජීවිතයත් සමබර කර ගන්න ඕනෑ. හැමෝම රැකියාව සතුටින් කළොත්, තමයි උපරිම ඵලය ගන්න පුළුවන් වෙන්නේ. හරි දේ හරියට ගන්න නම් අනෙක් පැත්තත් සමබර වෙන්න ඕනෑ.
ඔබේ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වා ගන්නේ කෙහොමද?
ඇත්තටම මම හරි ආසයි සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න. රැකියා ස්ථානයෙන් එළියට ගියාම මම සාමාන්‍ය මනුස්සයෙක්. ගෙදරට ගියාම මම බිරියට සැමියෙක්. දරුවන්ට පියෙක්. දෙමාපියන්ට එයාලගේ ආදරණීය පුතා. ඒ වගේම තවත් සමාජීය වගකීම් ගොඩක් තියෙනවා. මම ඉතා හොඳට බුද්ධාගම අදහන කෙනෙක්. මම ආගමික ජීවිතය ගොඩක් දුරට ලබා ගත් අයෙක්. ඔළුව කෙළින් තියාගෙන වැඩ කරන්න ඕන විදිය ගැන මම නිතර සිතනවා. සරල වෙන තරමටම වැඩ කරන්න පුළුවන් වන හැකියාව වැඩියි. එතකොට එක තැනක හිර වෙන්නේ නෑ. මම කොයිම කෙනෙක්වත් අවතක්සේරු කරන්නේ නෑ. අපට හැම දේම අතාරින්න කාලයක් එනවා.
ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ඔබට දේශපාලනය හරස් වූ අවස්ථා තියෙනවාද?
අපේ ප්‍රවෘත්ති වාර්තාකරණය හැම වෙලේම සමබරයි. අපට සෑම දේශපාලන පක්ෂයම එකයි. අපි හැමෝටම අවස්ථාව දෙනවා. ප්‍රවෘත්ති අංශයේ තියෙන ඉතාම වටිනාම දේ තමයි අපි ළඟ තියෙන්නේ. ඒ සමබර දේශපාලනයයි. අපේ කාර්ය මණ්ඩලය වැඩ කරන්නෙත් එහෙමයි. සමබරව ප්‍රවෘත්ති වාර්තාකරන නිසා දේශපාලනය අපට වැඩි බලපෑමක් කරන්නේ නෑ.