වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
නිෂ්පාදනය කළේ ජාතික වගකීමක් හැටියට සලකලා

භික්ෂූන් වහන්සේ නමක් නුර්තියකට නිෂ්පාදනයෙන් දායක වී ඇති බවක් මෙරට ඉතිහාසයේ අපි මෙතෙක් අසා නොමැත. වත්මනේ එම සුවිශේෂී අවස්ථාව හිමිකරගත් භික්ෂුන් වහන්සේ නමක් වේ නම් ඒ උන්වහන්සේමය. නීතිඥ ජෝන් ද සිල්වා ගේ ‘ශ්‍රී වික්‍රම නුර්තිය ප්‍රතිනිර්මාණය කරමින් ඒ සුවිශේෂි අවස්ථාව හිමකර ගනුයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේය. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරයි.
නීතිඥ ජෝන් ද සිල්වා ගේ ‘ශ්‍රී වික්‍රම’ නුර්තිය ප්‍රති නිර්මාණය කරන්න ඔබ වහන්සේට හිතුණෙ ඇයි?
කරුණු දෙකක් පාදක වුණා ශ්‍රී වික්‍රම නුර්තිය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා. මාකලන්දගේ ජෝන් ද සිල්වා ශූරීන් ගේ ‘ශ්‍රී වික්‍රම’ නුර්තිය වගේම නුර්ති සම්ප්‍රදායේ නාට්‍ය, නර්තනයන්, ගායනා වගේ සෞන්දර්යාත්මක දේ පිළිබඳ මගේ හිතේ පොඩි කාලේ ඇතිවුණ ඇල්ම මේකට හේතු භූත වුණා. ගීත වැනි කාරණා පිළිබඳ මගේ අවධානය යොමු වෙන්නේ ඒක නිසා. හැබැයි මට තථාගත දේශනාවෙන් බැහැර වෙන්න බෑ. ඒ නිසා මේ සියල්ලක්ම මම දකින්නේ සෞන්දර්යාත්මක ප්‍රකාශනයක් හැටියට මිසක් ආලවඩන, ප්‍රේමවන්ත, ක්ලේෂපූර්ණ බන්ධනයක් හැටියට නොවෙයි. කෙසේ වෙතත් මාකලන්ද ගේ ජෝන් ද සිල්වා ශූරීන්ගේ නුර්තියට පෙර මම හැදෑරුවේ ඇත්ත වශයෙන්ම කිවුවොත් ලංකා ඉතිහාසයේ සුවිශේෂී ස්ථාන. ඒ විශේෂ ස්ථාන අතරදි අපට ඉතිහාසය විසින්, ඉතිහාසයේ පිටපත් ප්‍රකාශනයන් විසින් අවතක්සේරුවට ලක්කරනු ලැබූ හෝ විකෘති කරනු ලැබූ ප්‍රකෘතිව ප්‍රකාශයට පත් කරනු නොලැබූ චරිත තිබෙනවා. ශාසන ඉතිහාසයේත් එහෙම ඒවා තිබෙනවා. ශාසන ඉතිහාසය ගැන අද අපි කතා නොකර මේ ක්ෂේත්‍රයට ඇවිත් බැලුවොත් එහෙම සත්‍ය වශයෙන්ම රාජසිංහ රජ්ජුරුවෝ ඇත්තටම කරපු දේ සහ නොකරපු දේ පිළිබඳ ප්‍රකාශනයන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීමේ කුතුහල මනසක් මට තිබුණා. ඒ කුතුහලය හේතුකොට ගෙන හදාරන්න සිද්ධ වුණා මේ රජ්ජුරුවන්ගේ ඇත්තම ඇවතුම් පිළිබඳ. අපි අහල තිබුණේ ප්‍රාථමික මූලාශ්‍රයන් නොවන, ද්විතීක, තෘතීක මූලාශ්‍රයන්ගෙන්. ඒ ද්විතීක, තෘතීක මූලාශ්‍රයන් ගෙන් කටකතා ප්‍රවාද, ජනප්‍රවාද ආදි වලින් සහ පාසල් මට්ටමේ හෝ පුස්තකාලවලට රචනා කරන ලද කුඩා කුඩා කෘතිවලින් අපිට දැනගන්නට ලැබුණේ, දරුවන් මරා දාපු, භාර්යාවන්, කාන්තාවන් මරා දාපු බේබදු රජ කෙනෙක් පිළිබඳ කතාවක්. එතකොට අපි සීතාවක රජ්ජුරුවන්ගේ කාලේ ගැන ගීත රචනා අහලා තියනවා. ගීත ගායනා කරලා තියනවා. මේ හැම තැනම ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ ගැන ඒ ගායනා වලදිත් කියන්නේ මිනිමරුවෙක් කියලා. ජනතාව උල තියාපු කෙනෙක් කියලා. හැබැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ එහෙම කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා පසුකාලීනව අපි හැදෑරීම් කටයුතු කරනකොට අපට තේරුණා. ඒ අනුව ජෝන් ඩොයිලි නම් වූ එවකට හිටිය රාජ්‍ය පාලනයට සම්බන්ධ නිලධාරියාගේ ක්‍රියා කලාපය සම්බන්ධ පුංචි පහේ සැකමුසු බැල්මකින් බලන්න සිද්ධ වුණා. ඒ අනුව හැදෑරීම් කටයුතු සිද්ධ කළා. එහෙම හැදැරීම් කටයුතු කරත්දි මට වැඩියෙන්ම උපකාරි වුණේ මගේ ජ්‍යෙෂ්ඨ හිතමිත්‍ර, ඉතිහාස ගවේශක සේනාරත්න ද සිල්වා මැතිතුමා. එතුමා සමඟ අපි නිතර කතාබහ කරනවිට, කතා කරන්නෙම ඉතිහාසය සම්බන්ධ තොරතුරු. එතුමා කිව්වා ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ එහෙම කෙනෙක් නොවෙයි කියලා. ඒ අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් ගැන හෙව්වා. එහෙම හොයලා බලනකොට එතුමා නැවේදි කියපු දේවල්, එතුමා නැවේ කැප්ටන්ට කියපු දේවල්, එතුමාගේ ඉවීමේ හැකියාව, සූප ශාස්ත්‍රය පිළිබඳ එතුමාගේ තිබුණු දැනුම, ඒ වගේම එතුමාගේ උස, එතුමා සිර කරනු ලැබූ දූපතේදී එතුමා කී කතා, ඉතිහාසයේ සමහර තැන්වල සටහන් වෙනවා. ඒ තියෙන සටහන් සමඟ අර අපි දැනගෙන හිටි කරුණු පරස්පරයි. ඒක නිසා නැවත නැවත හැදෑරීම් කටයුතු කරනකොට මට නිකම් හිතුණා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ට සාධාරණය ඉෂ්ට කරන්න ඕන දැන්වත් කියලා.
අන්න ඒ දැන්වත් සාධාරණය ඉෂ්ට කරන්න ඕනද නැත්ද කියලා උපකල්පනයකින් හිතනකොට, අපේ සාමාන්‍ය ස්වභාවය තමයි පර්යේෂණ අධ්‍යයනයක් කරනකොට ගැටලුවක් තියෙන්න ඕන, ගැටලුවට උපකල්පනයක් තියෙන්න ඕන, උපකල්පනයට සාහිත්‍ය මූලාශ්‍ර අධ්‍යයනයක් තියෙන්න ඕන. ඒ මනසින් මම බලනකොට ඉතිහාසයේ මේ රජ්ජුරුවන්ට සාධාරණය ඉෂ්ට කරපු කවුරුහරි කෙනෙක් නැත්ද කියලා. අන්න එතකොට මට දැනුණා, තේරුණා. මම බැලුවා චිත්‍රපටයක් රචනා කරලා තියෙනවා. නුර්තියක් රචනා කරලා තියෙනවා. ඒ නුර්තියට අදාළ පිටපතේ කොපියක් කියවලා බැලුවා. ඒක මාකලන්දගේ ජෝන් ද සිල්වා ශූරින්ගේ. අපි එහෙම පිටපතක් ගැන අහලා තිබුණට මම කවදාවත් දැකලා තිබුණේ නෑ. ඒ පිටපත කියවලා තිබුණෙත් නෑ. මම සේනාරත්න ද සිල්වා මැතිතුමා සමඟ කතා කරලා ඉවර වුණාට පස්සේ ඔහු කීවා මේ සම්බන්ධයෙන් කතා කරන්න කෙනෙක් ඉන්නවා කියලා. මගේ ගමේම ආසන්න කෙනෙක් වෙලා හිටිය අනුර විජේසිංහ මහත්මයා අඳුන්වලා දුන්නා. ඔහුත් මමත් සේනාරත්න මහත්මයාත් කතා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට රත්නශීලා පෙරේරා අධ්‍යක්ෂතුමිය අපට මුණ ගැහුණා. එතුමිය ළඟ තිබිලා තමයි ඔය පිටපතත් අපි ඉල්ලගෙන කියෙව්වේ. ඊට පස්සේ අපි එතුමියගෙන් ඇහුවා මේ නුර්තිය කරන්න පුළුවන්ද කියලා. එතුමිය කිව්වා මාකලන්දලාගේ ජෝන්ද සිල්වා ශූරීන්ගේ ඥාතින්ගෙන් අවසර අරගෙන අපි මේක ප්‍රතිනිර්මාණය කරමු කියලා. ඒ අනුව රත්නශීලා පෙරේරා අධ්‍යක්ෂතුමිය විසින් තමයි නූර්තිය අධ්‍යක්ෂණය කළේ. අලුත් සින්දු මේකට ඇතුළත් කළේ, රංගවේදීන් තෝරගත්තේ ඒ සියල්ල කළේ ඇගේ අධීක්ෂණය යටතේ.
ඒ වෙනුවෙන් අලුත් පිටපතක් ලියවුණාද?
අලුත් පිටපතක් සම්පූර්ණයෙන් ලියවුණා නොවෙයි. පරණ පිටපතේ ගීත ගත්තා. ඇත්තටම ඒක සංශෝධිත පිටපතක්. නළු නිළියන් කියන දෙබස් පරණ පිටපතේ නොවෙයි. අලුත් පිටපතක් හැටියට නිර්මාණය කළා. ඒක කළේ රත්නශිලා පෙරේරා අධ්‍යක්ෂතුමිය. ඒකට 100%ක්ම සහයෝගය දැක්වූයේ අනුර විජේසිංහ මහත්මයා. එතකොට සේනාරත්න ද සිල්වා මහත්මයාත් මමත් ඒකට ඊට පස්සේ දායක වුණා. සේනාරත්න ද සිල්වා මහත්මයා නිතර නිතර රංගනය පුහුණුවිම් කටයුතු වලට සම්බන්ධ වුණා. මම දවසක් දෙකක් පමණක් ඊට සහභාගි වුණා. ඒ අනුව තමයි මේ නුර්තිය මේ විදියට එළිදැක්වෙන්නේ. මගේ තව අදහසක් මේ සම්බන්ධයෙන් තිබුණා. යුක්තිය සහ සාධාරණය රාජසිංහ රජ්ජුරුවන්ට ඉටු වෙනවා වගේම ජෝන්ද සිල්වා ශූරීන්ටත් යුක්තිය සහ සාධාරණය ඉටුවිය යුතුයි. ඒක නිසා මෙය නුර්ති සම්ප්‍රදායෙන් බැහැර නොවිය යුතුයි කියලා. එහෙම නුර්ති සම්ප්‍රදායෙන් ජෝන්ද සිල්වා ශූරිනුත් , ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොත් කියන තුන් කට්ටුවම බේරා ගැනීම, එකි සම්ප්‍රදායෙන් බැහැර නොවීමේ සදාචාරාත්මක වගකීම අපට තිබුණා. ඒ අනුව තමයි මේක නිර්මාණය වුණේ. ඒක හින්දම අපට අර්බුද ගණනාවකටම මුහුණ දෙන්න සිද්ධ වුණා. එකක් තමයි 50ට අධික නළු නිළි සංඛ්‍යාවක් මේ සඳහා යොදා ගන්නට සිදුවීම. ඒක ලොකු පිරිවැයක්. දරාගන්න අපහසු පිරිවැයක්. ඒ අනුව අනාගත ප්‍රේක්ෂක ප්‍රජාවට අපි යුක්තිය සහ සාධාරණය ඔවුන්ටත් ඉටු කරන්න නම් අපට ඒවා අඩු නොකර පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අදවෙන විටත් මුල්‍යමය වශයෙන් ලාබ නොලබන ව්‍යාපෘතියක් විදියට තමයි පවත්වාගෙන යන්නේ. ඒ සඳහා සියලු දෙනාම දායක වුණා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මේ කටයුතු සඳහා 100%ක්ම මහන්සි වෙන කිසිකෙනකුටවත් මුල්‍යමය ලාභයක් ලැබිලා නෑ. ඉතින් නළු නිළියන්ට ගෙවීම්, ශාලාවලට ගෙවීම්, මුද්‍රණ වියදම්, ප්‍රචාරක වියදම්, ප්‍රවාහන වියදම් සියල්ලම ගත්තම හැමෝම පාඩු පිට තමයි කටයුතු කරන්නේ. ඒක නිසා ලාභ ලැබීමේ පරමාර්ථයට වඩා ජාතික වගකීමක් වශයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කරගෙන යන්නේ. මට මේ වෙලාවේදි සේනාරත්න මහත්මයාටත්, අනුර විජේසිංහ මහත්මයාටත්, රත්නශීලා පෙරේරා අධ්‍යක්ෂතුමියටත් නළු නිළි පිරිසටත් ස්තුති වන්ත වෙන්න ඕන.
මීළඟ දර්ශන වාර කොහොමද අපේ හාමුදුරුවනේ යෙදිලා තියෙන්නේ?
ඊළඟ ආසන්නම දර්ශන වාරය තියෙන්නේ අගෝස්තු 12 වැනි සෙනසුරාදා මීගමුව නගරශාලාවේදී. ඇත්තටම අපි මේ නුර්තිය පාසල් දරුවන් සඳහා විශේෂයෙන්ම නිර්දේශ කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක්, අනුමැතියකුත් මේ නූර්තිය සඳහා තිබෙනවා. විශේෂයෙන්ම නාට්‍ය හා රංග කලාව උසස්පෙළ විෂය හා සිංහල විෂය උසස්පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍යෙයෙන්ම නැරැඹිය යුත්තක් මේක. මේවා විෂය නිර්දේශයේ අන්තර්ගත විෂය කාරණා බවට පත්වෙලා තියෙනවා. අදට නුර්තියක් වශයෙන් නරඹන්න තිබෙන එකම නුර්තිය ශ්‍රී වික්‍රම නුර්තිය විතරයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා ආරාධනා කරනවා ඉදිරියට මේ නුර්තිය සියලු දෙනාම නරඹන්න කියලා.
භික්ෂූන් වහන්සේ නමක් නිෂ්පාදන කාර්යයට දායකවීම සුවිශේෂි කාරණාවක්. නුර්තියකට නිෂ්පාදන කාර්යයෙන් භික්ෂූන් වහන්සේ නමක් දායක වන ප්‍රථම අවස්ථාව මේකද අපේ හාමුදුරුවනේ?
ඔව් . ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේ නමක් නුර්තියකට දායක වන ප්‍රථම අවස්ථාව මේක. ඒවගේම මම යම්කිසි නිෂ්පාදනයකට දායකවුණා නම් මගෙත් පළවෙනි නිෂ්පාදනය මේක. ඒකට හේතුව ඇත්තටම මට නාට්‍ය නිෂ්පාදකයෙක් වෙන්න හෝ කිසිදු ආශාවක් හෝ උවමනාවක් තිබුණේ නෑ. ඒ තරම් ලොකු අර්ථපතිත්වයක් මා ගාව නෑ. හැබැයි මේ වැඩේ ජාතික වගකීමක් හැටියට සලකලා තමයි මම එළඹෙන්නේ.
මම නාට්‍ය ගැන දන්නවා. භරතමුනි ගේ නාට්‍ය ශාස්ත්‍රය සංස්කෘත භාෂාවෙන් කියවලා තියෙනවා. උගන්වලා තිබෙනවා. ඉගෙනගෙන තිබෙනවා. නව නාට්‍ය රස පිළිබඳ මම දන්නවා. උගන්වලා තිබෙනවා. ඉගෙනගෙන තිබෙනවා. එසේම අලංකාර ගැන කියවලා තියෙනවා. භරත මුනි කි.පූ ගණන්වල කියාපු ඔහුගේ නාට්‍ය ශාස්ත්‍ර යේ ශාස්ත්‍රීය ප්‍රකාශනයන් කියවලා තියෙනවා. හැබැයි මහපොළොවේ යමක් ප්‍රකාශයට පත්කිරිම සඳහා මම දායක වෙලා නෑ. ඒක නිසා මට මේ පිළිබඳ තියෙන්නේ ආගන්තුක අත්දැකීමක්. ඒක නිසා අපට වැරැදිම් සිද්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. අනවබෝධය නිසා ඇතිවන ගැටලු වශයෙන් නොවෙයි, ජීවිතයට ලබන අත්දැකිම් වශයෙන් ගන්න තරම් පුළුවන් නිහතමානිකමකුත් තිබෙනවා.
ඔබ වහන්සේ දැනට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ?
දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා.
කලා කටයුතු කෙරෙහි බලපෑමක් ඇතිවෙන්න භික්ෂූත්වයට පත්වීමෙන් පසු හෝ ගිහි ජීවිතය තුළ ඔබ වහන්සේට බලපෑ මූලික කරුණු කාරණා මොනවද?
මගේ හත්මුතු පරම්පරාවේ එක්කෙනක් වත් කලාවට සම්බන්ධ අය නෑ. කවුරුවත් සින්දු කියලවත්, රංගනයේ යෙදිලාවත්, නළුවෙක් නිළියෙක් වත් නෑ. ඒක නිසා මට හිතෙනවා මේක සාංසාරිකව අරන් ආපු දෙයක් වෙන්න ඇති. සංසාර පුරුද්දක් වෙන්න ඇති. පාලි, සංස්කෘත ඉගෙනීමත් සංසාර පුරුද්දක් වෙන්න ඇති. මේ සෞන්දර්යයට තිබෙන ඇලීමත් සංසාර පුරුද්දක් වෙන්න ඇති.
ඔබ වහන්සේ භික්ෂූත්වය ලබන්නේ කුඩා අවධියේමද?
මට වයස අවුරුදු 10 දි. මම ඉපදුණේ 1963 මාර්තු 11 වැනිදා. මම මහණ වෙන්නේ 1973 මැයි 16 වැනිදා. අවුරුදු 4යි ඉස්කෝලෙ ඉගෙනගෙන තියෙන්නේ. ඇත්තටම කවුරුහරි කෙනෙක් ඇහුවොත් මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්ද අවුරුදු 4ක් ඉස්කෝලෙ ගිහින් කියලා. ඇත්තටම මට තේරෙනවා දැන් මහාචාර්ය කෙනෙක් වෙන්න අවුරුදු 4ක් වත් ඉස්කෝලෙ යන්න ඕන නෑ කියලා.
ඔබ වහන්සේගේ ගම් පළාත කොහෙද?
මගේ ගම ඉඳුරාගාර. ඒක පිහිටලා තියෙන්නේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ. ගම්පහ දිස්ත්‍රික්කයේ.
ඉදිරියටත් ඔබ වහන්සේ මේ කලාව තුළ රැඳෙනවාද?
බුදුපියාණන් වහන්සේගේ දේශනයට ආරක්ෂක පියවරයන් හැටියට බොහෝ තැන්වල දේශනයන් සඟවලා තියෙනවා. ඉන් එකක් තමයි සාහිත්‍යය. චිත්‍රපට ඇතුළෙත් බුද්ධ ධර්මය තියෙනවා. අපි ඇත්තටම ටයිටැනික් චිත්‍රපටය ගත්තොත් සුවිශාල ධනස්කන්ධයක්, අධිසුඛෝපභෝගී ජිවිත මහා දැවැන්ත සාගරයක ගිලී යන අයුරු තමයි අපිට අධ්‍යක්ෂවරයා විසින් කැමරාවෙන් පෙන්නුවේ. ඒකෙන් අපට කියන්නේ මේ සමස්තයේ අනිත්‍යය. ඒක නිසා කලාව ඇතුළේ සත්‍යය තිබෙනවා. ඒ සත්‍යය මම විනිවිද දකිනවා. ඒ විනිවිද දකින්නට කලාව පිළිබඳ මට හැදෑරිමක් තියෙනවා.
මම ශී‍්‍රමත් දණ්ඩින්ගේ කාව්‍යාදර්ශය කියවලා තියෙනවා. සුබෝධාලංකාරය කියවලා තියෙනවා. සියබස්ලකර කියවලා තියෙනවා. එළු සඳැස් ලකුණ කියවලා තියෙනවා. ඊට අමතරව හේමපාල විජේවර්ධනයන්ගේ කාව්‍ය විචාර සිද්ධාන්ත මූලධර්ම කෘතිය කියවලා තියෙනවා. මේ සියල්ල හැදැරීම් කරලා තියෙනවා. සුචරිත ගම්ලත්, ඒ.වී සුරවීර කියවලා තියෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් වශයෙන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් මේවා කියවීම අපට බාරව තිබෙනවා. එහෙම හදාරපුවම යම්කිසි කලා කෘතියක සැබැව, විචාර පූර්වකව දකින්න සහ වින්දන පූර්වකව දකින්න පුළුවන්කම තිබෙනවා. මම තමයි දැනට ලංකාවේ වැඩිම ගීත පිළිබඳ කතා කරලා තිබෙන එකම භික්ෂූන් වහන්සේ. ඒ සඳහා විද්‍යුත් මාධ්‍ය රැසක විවිධ වැඩසටහන් සඳහා මම සම්බන්ධ වෙලා තිබෙනවා.
ගීත විඳීන, සෞන්දර්ය විඳීන මම දකින බුදුපියාණන් වහන්සේගේ දේශනා මර්යාදාව (සීමාව) අනුල්ලංසනීයව රකිමින් තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. ඒ නිසා මම බුදුපියාණන් වහන්සේගෙන් සමාව ගන්න ඕන කරන වැරැද්දක් කරලා නෑ.
ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ බලාපොරොත්තු තිබෙනවාද?
බොහෝ වෙලාවට බලාපොරොත්තුවක් තිබෙනවා කියන වචනය නොවෙයි කියන්න තියෙන්නේ. ඉඩ ලදොත් අතනොහැර හිදි කියලයි. මම දැනට පොත් 12ක් ලියලා තියෙනවා. ඒ අතරින් බහුතරය සංස්කෘත පොත්., සංස්කෘත නොවන පොත්, බණ පොත් වෙනත් පොත් තියෙනවා. පළ නොකළ ගීත රචනා සහ කාව්‍ය රචනා සංග්‍රහයක් මගේ අතේ තිබෙනවා. ළඟදිම ඒක එයි.
ඔබ වහන්සේට කියන්න තව විශේෂ දේවල් තියෙනවද?
කියන්න තියෙන්නේ ජීවිතේ හරි සුන්දරයි. ජීවිතය මනරම්, හරි නිදහස් හදවතට සැනසිල්ලයි, මුහුණට සිනාවයි රැකගන්න අනවරත අරගලයක නිරත වෙමින් මේ සමාජයේ ජිවත් වෙනවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න