මානව ගනුදෙනුව අව්‍යාජ විය යුතුයි

ප්‍රවීණ රංගනවේදිනී සේමිණි ඉද්දමල්ෙගාඩ
අගෝස්තු 17, 2023

නූතන සමාජයේ මානව අවධානයෙන් බැහැර කළ නොහැකි තේමාවක් ඔස්සේ නිර්මාණය කළ චිත්‍රපටයක් වූ ‘විසංගමනය’ චිත්‍රපටය ඔස්සේ මේ දිනවල වැඩි ප්‍රේක්ෂක අවධානයකට යොමුව සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනි සේමිණි ඉද්දමල්ගොඩ සිය නිර්මාණ දිවියේ තවත් සුවිශේෂ කඩඉමක් වූ ‘විසංගමනය’ චිත්‍රපටය ඇතුළු ව, සිය රංගන දිවියේ විශේෂ ඉසව් හා එහි සමාජ බලපෑම, රංගන ශිල්පිනියක ලෙස කෙසේ හැඟෙන්නේදැයි කළ සුවිශේෂ කතාබහකි මේ.

‘විසංගමනය’ ගැන තමයි මේ දවස්වල බොහෝ දෙනෙක් මාත් එක්ක කතා කරන්නේ. රුක්ෂාණා ගැන ලොකු අවධානයක් තියෙනවා. ඒ වගේම මම පුද්ගලිකව හිතනවා මේ චිත්‍රපටය ගැන හැමෝම අවධානය යොමු කිරීම හරිම වැදගත් කියල. මොකද මේ චිත්‍රපටයේ කතා තේමා දෙකක් තියෙනවා. එකක් තමයි මානව සබඳතා බිඳ වැටීම හෝ මව්පිය දූ දරු සබඳතාව බිඳී යන විදිහ පිළිබඳ යොමු කරන අවධානය. ඒ වගේම අවයව ජාවාරම හා ඖෂධ මාෆියාව. මේ වගෙ කාරණා නිසා මම හිතනවා මේ චිත්‍රපටයට අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියා.

එක් පැත්තකින් අපි හැමෝගෙම හිත් ඇතුළෙ අපේ කතාවක් තියෙනවා. ගොඩක් වෙලාවට ඒක අපට තව කෙනෙක් එක්ක කතා කරන්න බැහැ. හැබැයි මේ චිත්‍රපටය එක්ක අපට අපි එක්කම කතා කරන්න ඉඩක් ලැබෙනවා.

මේ චිත්‍රපටයේ රුක්ෂාණා සමාජයට මොනවගේ බලපෑමක් ද කරන්නේ ?

රුක්ෂාණා හැම හැමපැත්තෙන්ම තැළෙන කාන්තාවක්. මවක්. ඒ වගේම හරිම සංවේදී චරිතයක්. ඇයට ජීවිතයේ සැබෑ සතුට සැනසුම ද ලැබෙන්නේ කියන දේ මේ නිර්මාණය ඇතුළෙ කතා කරනවා. හොඳීන් හෝ නරකින් සල්ලි හොයන්න පෙලඹුණ සැමියකු සමඟ ඇය ජීවිතය ගත කරන්නේ. උදාහරණ රාශියක් ගනිමින් කළ මේ නිර්මාණය තුළ අපි හැමෝගෙම කතාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙකුම මේ චිත්‍රපටය නැරැඹිය යුතුයි කියන එකයි මගෙ අදහස.

 

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කතා කරමු

ඔව්. ප්‍රියන්ත කොළඹගේ මහතා ගේ සූරිය සුළඟ චිත්‍රපටයේ රූගත කිරීම්වලට මේ දිනවල සම්බන්ධ වෙමින් ඉන්නේ. ඒ කතාවත් වෙනස් ම එකක් වෙයි. ටෙලි නාට්‍ය පැත්තෙන් නම් ටිකක් ඈත් වෙලා ඉඳලා එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයෙන් පස්සෙ තවත් ටෙලි නාට්‍ය තුනක විතර වැඩ කළා. අමුතු මිනිස්සු, තත්පරයක් දෙන්න, ජෝර්ජියා වගෙ ලස්සන නිර්මාණ කීපයක පහුගිය කාලෙ වැඩ කළා.

 

රංගන ශිල්පිනියක ලෙස චරිතයක් දිහා ඔබ බලන්නේ කොහොමද?

අපි නිරූපණය කරන කුමන චරිතයක් ඇතුළෙන් ඒ ඒ චරිතයට ආවේණික ගුණාංග බොහොමයක් තියෙනවා. උදාහරණයක් විදියට ‘යර්ස් බොස්’ රෝෂිණී මැඩම් ගත්තොත් රෝෂිණී කියන්නෙ තමන්ගේ පවුල් සංස්ථාව සේම සිය රැකියාවත් රැකගෙන කටයුතු කරන්න වෙහෙසක් ගන්න කෙනෙක්. එහෙම අය ඕන තරම් මේ සමාජයේ දකිනවා. ඉතින් රෝෂිණී සාධාරණයි. අපි මේ සමාජයේ ජීවත් වෙද්දී සුදු කළු කියන හැම විදිහකම චරිත මුණගැසෙනවා. එනිසා අපට චරිතයක් ඇතුළෙත් ඒ දෙවිදිහේම චරිතවලට පිවිසෙන්න වෙනවා. එතනදි ඒ ඒ චරිතයට අදාළ ව උපරිමයෙන් රංගන දායකත්වයක් දෙන්න කටයුතු කරන්න ඕනේ. දැන් ‘සූරිය සුළඟ’ චිත්‍රපටයේත් හමුවෙන්නෙ එහෙම චරිතයක්. ‘මන්දාරම්’ චිත්‍රපටයේත් ඒ විදියට ගත හැකියි. මොකද සේමිණි ඉද්දමල්ගොඩ නෙවෙයි නෙ එතන ඉන්නේ. ඉතින් මම රංගන ශිල්පිනියක් විදියට ඒ චරිතය ඇතුළෙ ජීවත් වීම අවශ්‍ය වෙනවා. අපි ඒ චරිතය ඇතුළෙ ඉඳන් නිරූපණය කරන්න උත්සාහ ගන්නේ ඒ මතුපිටින් පෙනෙන ස්වභාවයට එපිටින් ඇති ජීවිතය තුළ ඇති අරගලයයි. ඇත්තටම මම වැඩ කරපු සීමිත නිර්මාණ ඇතුළෙ මේ වෙද්දී මට ඒ වගේ සමාජ අවධානයකට ලක්වන නිරූපණයන් ගණනාවක් කරන්න පුළුවන් වුණා. තව උදාහරණයක් ගත්තොත් උදයකාන්ත වර්ණසූරියගේ යකඩ පිහාටු චිත්‍රපටයේ සුරංගි ගැන අපට කතා කරන්න පුළුවන්. සුරංගි වෙනම විදිහක කෙනෙක්. ඒ නිරූපණයට මට විශාල රසික ප්‍රතිචාරයක් ලැබුණා. හැබැයි ඒ සේමිණිට නෙවෙයි සුරංගිටයි.

 

ඔබ නිර්මාණයක් බාර ගනිද්දී පිටපත පිළිබඳ සැලකිලිමත් වෙනවාද ?

පිටපතක් ලැබුණහම මුලින්ම එහි අධ්‍යක්ෂවරයා පිළිබඳ ඔහුගේ පෙර නිර්මාණ පිළිබඳ සොයා බලන්න පෙලඹෙනවා. ඊට අමතරව මේ පිටපතේ සෙසු චරිත පිළිබඳ ඒ චරිත නිරූපණය කරන අය, සෙසු රංගන ශිල්පීන් පිළිබඳ සොයා බලනවා. ඊළඟට ඒ සෙසු චරිතත් ඔළුවෙ තියාගෙන තමයි මම පිටපත කියවන්නේ. ඊළඟට සමහර විට මම මාත් සමඟ එකට රංගනයේ යෙදෙන අනිකුත් සහෝදර ශිල්පීන් සමඟ කතා කරනවා එතකොට අපට හරි පහසුයි ඒ නිර්මාණය සමඟ සාර්ථක ව වැඩ කරන්න.

 

විසි අට චිත්‍රපටයේ සුද්දි වැනි චරිතයක් නිරූපණයේදී මොන වගේ කාරණා පිළිබඳ ද සැලකිලිමත් වීමට සිදු වුණේ ?

ඔව්. හොඳ ම උදාහරණයක් තමයි සුද්දි. සුද්දි මිය ගිය කෙනෙක් වෙනකොට ඒ අත්දැකීම හරි වෙනස්. අපට මියගිය කෙනකු ගෙ අත්දැකීමක් ගන්නත් බෑ අපට මිය යන්නත් බෑ. ඇත්තටම ඒක මගෙ රංගන ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් විදියට දකින්න පුළුවන්. එතනදි මම ඒ හා සම්බන්ධ වෙනත් නිර්මාණ බැලුවා. ඒ සමඟ අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණ පැහැදිලි කිරීම් හා සහය එක්ක මට ඒ චරිතය ට ඇතුළු වෙන්න පහසු වුණා. තවත් උදාහරණයක් තමයි පුංචි ආදර බලකිරීමක් කියන වේදිකා නාට්‍යයේ මම කළ සමලිංගික තරුණියගේ චරිතය. ඒ වෙලාවේ මට ඒ සම්බන්ධයෙනුත් විශේෂ අධ්‍යයනයක් කරන්න සිදු වුණා. මේ නිසා ඒ කාලය පුරා මාස හයක් පමණ ම මම එවැනි චරිත ලක්ෂණ සහිත තරුණියක් සමීප ව නිරීක්ෂණය කරමින් අධ්‍යයනය කළා. එහිදී පුංචි ආදර බලකිරීමක් නාට්‍යයේ චිත්‍රාට ඇගේ ගතිගුණ බෙහෙවින් මුසු වන්න නැතිනම් එය සාර්ථක වෙන්න ඒ අධ්‍යයනය විශාල බලපෑමක් වුණා කියල මම විශ්වාස කරනවා.

 

මිනිසකු සතු අයිතීන් පිළිබඳ පැතිකඩ ගණනාවක් මෙබඳු නිර්මාණ ඔස්සේ සාකච්ඡාවට ලක් වෙනවා ඔබේ අදහස ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

මේක බොහොම සොබාවිකයි. අපි ඕන ම කෙනෙක් අපට කැමැති විදියට ජීවත් වෙන්න ආස නම් ඇයි ඒක තව කෙනකුට නැත්තෙ? තමා කැමැති ලෙස ජීවිතය ගත කරන්න ඕන ම කෙනකු ට අයිතියක් තියෙනවා. මම මෙබඳු දෙයක් දිහා කිසිම දිනෙක වැරැදි ඇහැකින් බලන්නෙ නැහැ. මොකද ඒක ඒ ඒ අය කැමැති ස්වභාවය. ඒක වැරැදියි කියන්න බැහැ. ඒක පෞද්ගලික වගේම සෞඛ්‍යමය හා මනෝවිද්‍යාත්මක කාරණයක්. මේ කාරණය දිහා මම හිතනවා දැන් බොහෝ දෙනෙක් සමබර මනසින් බලනවා කියා. ඒක එවැනි කෙනකු ට අවශ්‍යයි අපට ඒකට විරුද්ධ වෙන්න බැහැ. ඒ වගේම බලපෑමක් කරන්න බැහැ. එතනදි හැම කෙනකුගෙම මානසික නිදහසට අපි ගරු කළ යුතුයි.

 

සමාජ මාධ්‍යවල බලපෑම පිළිබඳ ඔබේ අදහස මොනවගේ ද ?

මේක හොඳ හා නරක දෙකම තියෙන දෙයක්. ඒක ඕන ම දේක තියෙනවා නෙ. මේක නරක විදියට පාවිච්චි කරන අයට නරකයි. මම දකින නරක ම දේ තමයි මේකෙන් මානව සම්බන්ධතා නැති වෙන එක. මට ඔබව දැනෙන්න ඕන ඔබට මාව දැනෙන්න ඕන. අපි අතර ඒ මනුස්සකම් හුවමාරු වෙන්න ඕන නේ. අපි විසංගමනය චිත්‍රපටයේ කතා කරන්නේත් මේ දේවල් තමයි. මිනිස්සු අතර බැඳීම් බිඳෙන පැත්තට තමයි මේවා වැඩිපුර බලපාන්නේ. මේ දේවල් අපි තේරුම් ගන්න ඕන කියන එක තමයි මගෙ අදහස.

 

ඔබේ දියණිය ගැනත් කතා කරමු

එයාට දැන් අවුරුදු විසි දෙකක්. උසස් අධ්‍යාපන කටයුතුවල මේ දිනවල නියැළී ඉන්නේ. ඇයට හොඳට කතා කරන්න හැකියාව තියෙනවා. ඉදිරියේදී ඇය කැමති ක්ෂේත්‍රයකින් ඉදිරියට යයි.

 

ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස සමාජයට ඔබ දෙන පණිවිඩය කුමක්ද ?

මානව සම්බන්ධකම් නැති කරගන්න එපා කියන එකයි. මොකද මිනිසුන් අතර තිබෙන මානව ගනුදෙනුව අව්‍යාජ ව තබාගත යුතුයි. ඒක තමයි මගෙ අවංක පැතුම ඒ වගෙම ඔබ සියලු දෙනා සමඟ බෙදාගන්න තිබෙන අදහස.

 

 

සේයාරූ - ගයාන් පුෂ්පික

[email protected]