ජනතා ආදරයට මට පිටුපාන්න බෑ

රංගන ශිල්පිනී අංජලී ලියනගේ
අගෝස්තු 17, 2023

 

බොඳ මීදුම් නව කතාවේ පිටකවරයේ සිටි ලස්සන රුවක් දැකීමත්, සඳරේණු බිරිඳ වැනි පුවත්පත්වල මුල් කවරය හැඩ කළ රුවැත්තිය කවුද කියා එකල සියලු දෙනාම සොයන්න ගත්තාතවු ඇය ඒ වෙන කවුරුවත් නොව ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ නර්තනයට බෙහෙවින් ප්‍රිය කළ සිසුවියයි. පසුව සියලු දෙනාටම දැනගන්නට ලැබුණේ. තම මිතුරු මිතුරියන් අතරේ පාසල නිමවී යන විටත් වෙනත් කටයුතුවල දී දකින විටත් දෙමව්පියන් සහ ප්‍රේක්ෂකයන් ඇය බොඳ මීදුම් මතකයේ සිටින සංසලා නේද කියල අහන්න නොපැකිලිවුණ.ඉන්පසු බන්දුල විතානගේ ටෙලි නාට්‍යයකටත්, පුංචි තිරයේ කටකාර නීති සිසු යුවතියක ලෙස මාලිනී ෆොන්සේකා නිෂ්පාදනය කළ ‘දෝනි’ ටෙලි නාට්‍යයෙනුත් ප්‍රේක්ෂකයා වැළඳ ගත් පසු වර්තමානයේ දෙ⁣වෙනි ඉනිමේ අනූෂා ලෙස ද හිතළඟ හිනැහෙන හා තනියායක ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වන ඇය නමින් අංජලී ලියනගේයි. මේ ඇගේ ආගමනය ගැන පසුගිය දින සරසවිය සමඟ කළ කතාබහයි.

කුඩා කාලයේ ගෙවුණේ කොහොමද?

ඇත්තටම මගේ ජීවිතේ වැඩි හරියක් ගත කළේ නර්තනය සමඟයි. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න විට පාසලේ නර්තනාචාර්ය දෙපළගේ මඟපෙන්වීම යටතේ මම නර්තනය හොඳීන් හැදෑරුවා. පාසලේ තිබුණ බාහිර දේවල්වලට වැඩිය මම ඇලුම් කළේ නැටුම් කාමරයටයි. මගේ පවුලේ අම්මයි, තාත්තයි ආච්චියි අම්මයි, සීයයි සමඟ මගේ නංගිලා දෙන්නත් එක්ක මම කුඩා කාලයේ වැඩි හරියක් ගත කළේ. හරිම සැහැල්ලුවෙන් සහ විනෝදයෙන්. වැඩි හරියක් ප්‍රිය කළේ කාටුන් වැඩසටහන් හා කාටුන් චිත්‍රපට බැලීමටයි. වැඩිහරියක්ම අපි ගලිවර්ගේ සුවිසැරිය, දොස්තර හොඳ හිත, පිස්සු පූසා වැනි වැඩසටහන් හා ප්‍රවෘත්ති බලන්න පුරුදු වෙලා හිටියේ. අපිට පොඩි තහනමක් වැටිල තිබුණා වෙනත් වැඩසටහන් බලන්න. හැබැයි ඒ කාලේ අපි ඒ විදියට යොමු නොවුණ නිසා අපේ අධ්‍යාපන කටයුතු අපිට හරියාකාරව කරගන්න ලැබුණා. මේ කාලයේ තමා මට සුජීව ප්‍රසන්න ආරච්ච් මහත්තයාගේ ‘බොඳ මීදුම්’ නවකතාව මුල් කවරෙ සරසන්න ලැබෙන්නේ. ඉන්දික මල්ලවආරච්චි හරහා ඒ ආරම්භ කරපු ගමන තමයි මම අද ඇවිත් ඉන්නේ.

 

ඔබේ ගමනේ ආරම්භය හරිම වෙනස් නේද?

ඇත්තටම ඔව් මගේ ගමනේ ආරම්භය හරිම වෙනස් අනිත් අයට වඩා. නව කතාවක මුල් කවරේ සරසලා සහ පුවත්පත්වල මුල් කවර සරසලා තමයි මට අවස්ථාව හිමි වෙන්නේ ක්ෂේත්‍රයට පිවිසෙන්න. වෙනත් අයට මේ වගේ අවස්ථා හිමි වෙලා තියෙන්න. ක්ෂේත්‍රයේ සිටින අයකුගේ හැඳුනුම්කම මත හෝ ඔහුගේ හෝ ඇයගේ කලා ක්ෂෙත්‍රයේ තිබෙන සම්බන්ධතාවය මත. බොඳ මීදුම් කවරය සහ පත්තර කවරවලින් තමයි ප්‍රේක්ෂකයන් මාව වැළඳ ගත්තේ එයින්. ඒ කාලයේ පාසල් ඉවර වෙලා යන විට අම්මලා තාත්තලා නිතර නිතර මං ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ මතක මගේ ජීවිතය ගොඩක් දේවල් වෙනස් කලා. පාසල් නැටුම් ගුරුවරියක වෙන්න හිටපු මට අවසානයේ කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව හිමි වුණා. මගේ පලවුණ ජායාරූප කවරයක් දැකලා බන්දුල විතානගේ මහත්තයාගේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.එය රූපගත කිරීම් කළත් එය විකාශනය නොවුණු නාට්‍යයක් බවට පත්වුණා. ඒ හරහා ඇතිවුණු සම්බන්ධතාවයක් මත තමයි නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය නිෂ්පාදනය කළ දෝණි ටෙලි නාට්‍යයේ නීති සිසුයක ගේ චරිතය රඟපාන්න අවස්ථාවක් හිමි වෙන්නේ. දෝණි තමයි මගේ පළමු ටෙලි නාට්‍ය වෙන්නේ. මගේ ජීවිතේ වෙනස්ම අත්දැකීම් සම්භාරයකට මුහුණ දුන් මුල්ම නාට්‍යයත් වෙන්නෙ දෝණි.

 

ක්ෂේත්‍රයට මුලින්ම පිවිසෙන විට ලබපු අත්දැකීම් මොනවාද?

ඇත්තටම පාසල් කාලයේ ආ නිසා ලොකු අත්දැකීම් සම්භාරයක් ක්ෂේත්‍රය තුළ මට නැහැ. කන්දක් තරම් උස ළඟින් මට හිට ගන්න වත් බැරි චරිත ළඟ කූඹියෙක් වගේ කියලා මට දැනුණ අවස්ථා තිබුණා. මගේ අම්මට හා සමානවම ගරු කරන චරිතයක් වන නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ නාට්‍යයකට මාව තෝරා ගත්තා කියනකොටත් මට දැනුණේ හිතාගන්න බැරි සතුටක්.

පාසල් වේදිකාවේ අත්දැකීමි අරගෙන ආවට මට ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මට ප්‍රවීණයන්ගෙන් ගොඩක් සහයෝගය ලැබුණා. දෝණි නාට්‍යයට සම්බන්ධ වුණ හැම මොහොතකම මම චරිත නිරූපණය කළේ නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය සමඟයි. ඇය මට දුන්නු උපදෙස් ඩයලොග් කියවන විදිහ ඇඳුම පැලඳුම අඳීන විදිහ, බයනොවි චරිතයක් කැමරාව ඉදිරියේ රංගනයේ යෙදෙන ආකාරය මට මනාව කියා දුන්නා. ඇය සමඟ ඒ මුල්ම රංගනයේ යෙදීම දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් ලෙස තමයි මම හැමදාම දකින්නේ. මුල්ම රංගනයට පිවිසිලා අද වන විට මම වසර විසි දෙකක් ගත කරලා ඉවරයි.

 

මේ ආපු ගමනේ දුක සතුට දැනුණේ කොහොමද?

මේ ආපු අවුරුදු 22 ඇතුළත මට දැනුණේ දුක සතුට දෙකම පොදු කාරණයක් විදිහටයි. ඕනෑම කෙනකුට සතුටින්ම ඉන්නේ කියලා කියන්නත් බැහැ. දුකින්ම ඉන්නවා කියලා කියන්නත් බැහැ. සමහරවිට ක්ෂේත්‍රය පැත්තෙන් කලකිරීම් තිබුණ අවස්ථා නොතිබුණා නොවේ. විවිධ ප්‍රශ්න ගැටලු පැන නැඟුණ ඒ අවස්ථාවල රංගනය අවශ්‍ය නැහැ කියලා හිතුණා. ඒත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ආදරය කරුණාව දයාව මට ජීවිතයේ අමතක කරන්න බැරි තැනට පත් වුණා.නිර්මාණ අතින් ගත්තම පොඩි ප්‍රමාණයකට දායක වුණ මට ආදරය ඒ තරම් ජනතාවගෙන් ලැබෙනවා නම් ඔවුන් දාලා යන එක ක්ෂේත්‍රයට මම කරන ලොකු වරදක් කියලා මට හිතුණා.නිර්මාණ පොඩි ප්‍රමාණයකට දායක වුණත් මට ලැබුණු චරිත සාධාරණයක් කරන්න පුළුවන් වුණ චරිතයි.

 

පාසල් වේදිකාවෙන් ලබපු පන්නරය නිසාද මේ ගමන සාර්ථක කර ගන්න ලැබුණේ?

පාසල් වේදිකාවේ ආභාසය සහ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම තමයි මට තිබුණේ. පසුව අනෝජා වීරසිංහ මහත්මිය ගේ රංගනය පිළිබඳ කෙටි පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා. ඒ පාඨමාලාවන් හැදෑරීමෙන් පසු රංගනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික හොඳ අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව ලැබුණා. මීට අමතරව ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් ගොඩක් අත්දැකීම් මගේ ජීවිතයට එකතු කර ගත්තා. සිනමාවේ සහ ටෙලි නාට්‍ය රංගනයේ යෙදෙන ශිල්පින්ගේ චරිත හොඳට අධ්‍යයනය කළා. මම රංගනයේ යෙදුණ චරිත යූටියුබ් නාලිකාවලින් මම ඒ දෙස දෙතුන් සැරේ ඒවා බලලා මගේ වැරදි අඩුපාඩු හොයලා හදාගත්තා. මේ ආකාරයට මම ක්ෂේත්‍රයේ ඉගෙන ගැනීම පොතපත ද ඇසුරු කරගෙන දිගටම කරගෙන ගියා. තවමත් මම රංගනය පිළිබඳ ඉගෙන ගන්නවා. රංගනය කියන්නේ අහසට පොළොව වගේ ඒක ඉගෙන ගත්තා කියලා, ඉවර කරා කියන්න කවදාවත් බැහැ.

 

දැනට නිර්මාණ කීයකට විතර දායක වෙලා තියෙනවද? ඒ අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ මොන නිර්මාණ තුළින් ද?

මේ වන විට සිනමා හා ටෙලි නිර්මාණ තිස් පහකට වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.තාමත් මගේ මතක ආවර්ජනය තියෙන්නෙ ප්‍රේක්ෂකයන් අතර බොඳ මීදුම් කවර සහ පත්තරවල මුල් කවරවලයි. මෑතකදීම ප්‍රේක්ෂකයා අතරට යන්නේ දෙවෙනි ඉනිමෙ අනුෂාගේ චරිතය නිසයි. මට මගේ චරිත ගොඩ නැඟීමට ධර්මප්‍රිය ඩයස් සහ හිමාලි සයුරංගි හොඳ සහයෝගයක් දෙනවා. අනුෂා වර්තමානය වන විට කා අතරත් ජනප්‍රිය වෙලා ඉවරයි. එයට හේතුව ලෙස මම නම් හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විකාශය වන ටෙලි නාට්‍ය අතර දෙවෙනි ඉනිම ඉස්සරහින්ම ඉන්න නිසයි. මේ ටෙලි නාට්‍යය පටන් ගත් මුල් කාලයේ ප්‍රේක්ෂකයන් ගෙදර යන්නේ කොයි වෙලේද කියලා බලාගෙන හිටපු කාලෙකුත් තිබුණා. ඒ බලාගෙන හිටපු කාලය ගොඩනැඟුණ චරිත අද ජනප්‍රිය චරිත බවට පත් වුණා. ඒ අතර එක චරිතයක් බවට අනුෂා පත් වුණා කියලා හිතනවා.

 

අලුතින්ම දායක වන නිර්මාණ ගැන කියන්න කැමතිද?

මේ වන විට හිත ළඟ හිනහෙනවා ලාලනි නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඒ අතර බනින අයත් ඉන්නවා. ඒ කියන්නේ ඒ චරිතය සියලු දෙනා වැලඳගෙන කියන එකයි. ඒ වගේම තනියායක රූපගත කිරීම් සිදුවෙනවා. මීට අමතරව සුපුරුදු ලෙස දෙවෙනි ඉනිම වැඩකටයුතු සිදුකරගෙන යනවා. ඒ වගේම මගේ පෞද්ගලික ව්‍යාපාර කටයුතුත් මේ වැඩකටයුතු මැද කරගෙන යනවා. තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමාපටයේ සියලු වැඩකටයුතු ඉවරවෙලා මේ වන විට තිරගත වීම ආරම්භ වෙලා තියෙනවා. මීට අමතරව අලුත් නිර්මාණ කිහිපයකටම කතා කරලත් තියෙනවා. රූපගත කිරිම්ද කරගෙන යමින් සිටින්නේ.

 

මෙගා නාට්‍යවල කොටු වෙච්ච චරිතයක් බවට පත්වෙලා නේද?

දීර්ඝ කාලයක් විකාශය වන ටෙලි නාට්‍යයක් නිසා දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට සමහරක් අය මට කියනවා කොටු වෙච්ච චරිතයක් වෙලා නේද කියලා. දැනට වසර හයක් පමණ එක දිගටම ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදෙනවා. කොටු වෙච්ච චරිතයක් වුණාට ඒ නාට්‍ය ජනප්‍රියත්වයෙන් ඉහළ තැනක තියෙන්නේ. ඒත් මේ වනවිට මේ ටෙලි නාට්‍යය විතරක් නෙමේ මම වැඩ කටයුතු කරන්නේ. තවත් නාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක වෙනවා. ඒ නිසා මම කොටු වෙච්ච චරිතයක් නෙවෙයි. ඒ වගේම මම මෙගා නාට්‍ය කියලා විශේෂ තෝරා ගැනීමක් සිදු කරන්නේද නෑ. නමුත් කෙටිකාලීන නිර්මාණවලටත් දායක වෙන්න කැමැතියි. තිරපිටපත් රචකයා තිර රචනය කරන ආකාරයට තමයි මෙගාද කෙටි ද කියලා කියන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට පීරියඩ් එකක් කියලා ටෙලි නාට්‍ය පටන් ගත්තාම විකාශය වන අතරතුරේ දීර්ඝ නාට්‍යයක් බවටත් පත් වෙන අවස්ථා තියෙනවා. එහෙම කීපයකටම මම මුහුණ දීලා තියෙනවා.

 

වේදිකාව සහ සිනමාව බැහැර කරල ද?

මගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ පාසල් වේදිකාවෙන්. එතැනින් ආරම්භ කරපු ගමන මම අද වන විට සිනමාපට කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියනවා. ඒත් ක්ෂේත්‍රයට ආවට පස්සෙ මට වේදිකාව මගහැරුණ වාර අනන්තයි. පාසල් වේදිකාව තුළ රංගනයේ යෙදුණාට විවෘත වේදිකාව තුළ ඕනවට එපාවට රංගනයේ යෙදෙන්න බැහැ. හරිම පරිස්සමින් සකසුරුවම් කරලා පරිහරණය කරන්න ඕන භාණ්ඩයක් වගේ තමයි වේදිකාවේ රංගනයට එනවා කියන්නේ. වේදිකාව තුළ හොඳ කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට. සිනමා පට කිහිපයකටම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ජනතාව අතරට ගිය සිනමා පටයක් තමයි ජැක්සන් ඇන්තනි මහත්තයා අධ්‍යක්ෂණය කළ ඇඩ්ඩ්‍රස් නෑ සිනමාපටය ඉන්පස්සෙ ප්‍රියන්ත කොළඹගේ ආදරණීය කතාවක් සිනමාපටය ද මෑතකදී ලලිත් රෝහණගේගේ තට්ටු දෙකේ ඉස්කෝලේ. සිනමාවට සහ වේදිකාවට සැලකිය යුතු මට්ටමෙන් ලොකු ආරාධනාවක් මට ලැබුණේ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් විවිධ අදහස් පළ කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්.

 

දෙරණ නිළියක් කියලා හඳුන්වනවා කියන්නේ මොකක්ද?

එහෙම මම දෙරණ නාලිකාවට ම ලියා දුන්න නිළියක් නෙවෙයි. අනිත් නාලිකාවලටත් මම ලියලා දීලා තියෙන්නේ. සියත නාලිකාවේ මගේ නිර්මාණ බලලා නැති කට්ටිය එහෙම කියනවා වෙන්න පුළුවන්. හිරු නාලිකාවේ එහෙමත් නැත්නම් සිරස නොබලපු අය තමයි ඔය කතාව කියන්නේ කියලා මම හිතන්නේ.

පසුගිය කාලයේ හොඳට ජනප්‍රිය වුණ නාට්‍යයක් තමයි රැල්ල වෙරළට නාට්‍යය හිරු නාලිකාවේ. ඒක විතරක් බලන කට්ටිය හිතයි ඒකට ලියලා දීලා තියනවා කියලා.එහෙම සංසන්දනය කරලා මනින්න හොඳ නෑ කවුරුවත්.මම රංගන ශිල්පිනියක් ලෙස මට ලැබෙන ඕනෑම නිර්මාණයකට මම රංගනයෙන් දායක වෙනවා මොන නාලිකාවේ විකාශය වුණත්. ඒ නිර්මාණය දීර්ඝ ද කෙටි ද කියලා තීරණය කරනු ලබන්නේ නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා එහෙමත් නැත්නම් විකාශය කරන නාලිකාවයි. මම රංගන ශිල්පිනියක් විතරයි.

 

රූමත් රංගන ශිල්පිනියකට අම්මාගේ චරිතය පමණක් හිමි වන්නේ ඇයි?

මම ක්ෂේත්‍රයට ආපු කාලේ පෙම්වතියන්ගේ චරිතයත් වෙනත් චරිතද රංගනයේ යෙදිලා තියෙනවා. ඒත් මගේ ලෝකයේ අම්මා තරම් තවත් චරිතයක් මට නැහැ. චරිතාංග රංගන ශිල්පිනියකට ලැබෙන ඕනෑම චරිතයක් රංගනයෙන් දායක වීම තමයි ඇයගේ දක්ෂතාවය කියන්නේ. මම රූමත්ද වයස ද කියන එක නෙවෙයි එතැනදී තිරපිටපත් රචකයා හෝ අධ්‍යක්ෂවරයා තෝරන්නෙ. ඔවුන් තුළ නිර්මාණය වූ චරිතය පමණයි. ඒ චරිතයට සාධාරණයක් කිරීම තමයි රංගන ශිල්පිනියක් හැටියට මම කරන්නේ. මගේ ආසාව තමයි චරිත නිරූපණය කිරීමේ ආසාව. චරිතය කළුද සුදු ද කියනවට වැඩිය චරිතයට රංගනයෙන් දායක වෙලා චරිතාංග ශිල්පිනියක් වීම තමයි වැදගත් වන්නේ.

 

ලැබෙන ඕනෑම නිර්මාණයක් බාර ගන්නවද?

මට පමණක් හදා ගත්ත පොඩි නීතිරීති මාලාවක් මම හදාගෙන තියෙනවා. එයින් පිට යන්න මම කැමැති නැහැ. ඒ නිසා ලැබෙන පිටපත් කියවලා බලලා තෝරා බේරාගෙන තමයි රංගනයට සුදුසුද නැද්ද කියලා චරිත තීරණය කරන්නේ. අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු තිරපිටපත් දුන්නටවත්, චරිතවලට ආසාවටවත් මම කවදාක්වත් නිර්මාණවලට දායක වෙන්නේ නෑ. ඒ නිසා තමා බොහෝම අතලොස්සක් නිර්මාණවලට දායක වෙලා තියෙන්නේ. මම කාගෙවත් හිත් රිදවන්න කැමැති නැති නිසා හරිම පරිස්සමට ඒ වැඩේ කරනවා. එනිසා සිය දහස් වාරයක් හිතලා රංගනයෙන් දායක වුණ හොඳම නිර්මාණ තමයි තෝරා බේරාගෙන අදටත් තියෙන්නේ. ඒ ගැන මගේ ආත්ම තෘප්තිය හැමදාම තියෙනවා.

 

අනාගතය ගැන මොකද කියන්න තියෙන්නේ?

ලැබෙන හොඳ තිර පිටපත්වලට දායක වෙලා හොඳ රංගනයක් ඉදිරිපත් කිරීම තමා බලාපොරත්තුව. ඒ වගේම මගේ දුවගේ අනාගතය වෙනුවෙන් තමයි කැපවෙලා ඉන්නේ.එයා තමයි මගේ ජීවිතේ.