මේ ගමනේදී නැගිට්ටවන මිනිස්සුන්ට වඩා කකුලෙන් ඇදපු අය වැඩියි

සැප්තැම්බර් 28, 2023

අව් කූටකයෙන් ඉරිතලා ගිය මිහිකතට දිය බිඳුවක් වැටුණාම තෙත මාත්තු වෙයිද? ඒ තෙත කොපමණ වෙලාවක් රුඳී තිබේද? සමහරු දිය බිඳුවෙන් පොළොවම තෙත මාත්තු කරන්න බැරි බව කිව්වත්,පොළවම තෙතමාත්තු කරපු මිනිසුන් ඇත. ඒ මිනිස්සුන්ගේ හදවතිනි.හදවතට ආමන්ත්‍රණය කළ හැකිවන්නේ, හදවත් දැනෙන තේරුම් ගත් අයට පමණි. කාව්‍යමය භාෂාවක් තුළින් ශ්‍රාවකයාට කතා කරන්න පුළුවන් පූරකයන් සිටිනුයේ කීප දෙනයි. ඒ අතර ඇය පාසල් කාලය තුළ ද විශේෂ දක්ෂතාවයන්වලින් පිරිපුන් ශිෂ්‍ය නායිකාවකි. නාරාහේන්පිට පරාක්‍රමබාහු විදුහලත් ,කොළඹ යසෝදරා බාලිකාවත් ඇගේ ජීවිතයේ සුවිශේෂී තැන් බවට සටහන තැබුවාය.අ.පො.ස -උසස් පෙළින් පසු ඇගේ ගමන මාධ්‍ය ජීවිතය කරා පිය මැන්නේය. ඒ ආපු ගමන් මගේ අද සුවිශේෂී ස්ථානයක් බවට ගුවන් විදුලියේ මහගෙදර ඇගේ දෙවැනි නිවහන විය. 2002 වසරේ රාජ්‍ය සම්මානලාභිනියක් බවට පත්වූ ඇය නමින් ඉනුෂා වී බැද්දයි. මේ ඇය පසුගිය දින සරසවිය සමඟ කළ කතා බහයි.

 

ඉනුෂා විබැද්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගමන ආරම්භ කරන්නේ කොහොමද?

මේ ගමන මගේ ජීවිතයේ අහඹු සිදුවීමක්. මම පාසල් යන කාලේ මගේ අම්මා උදැසන යන පිරිත් දේශනාව අහන්න ගුවන් විදුලිය ක්‍රියාත්මක කරනකොට සහන නිවේදකයෝ ගන්නවා කියලා ඇප්ලිකේෂන් දාන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ හරහා ඉල්ලුම්පත්‍ර යොමු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සම්මුඛ පරීක්ෂණයට පෙනී ඉදලා එයින් තේරී පත් වුණා. 2006 අවුරුද්දේ මෙතනට එන්න අවස්ථාව හිමිවෙනවා. මීට පෙර ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ගේ කටහඬ පළමු කණ්ඩායම ලෙස පාඨමාලාව හදාරමින් සිටියේ. මේ කාලයේන් පස්සේ මම පුහුණු නිවේදිකාවක් ලෙස මාස තුනක පමණ කාලයක් මැදිරි පුහුණුව ලබනවා. එදා ඒ ආපු ගමන තමයි මම මේ තාක් දුර ඇවිත් ඉන්නේ. ශ්‍රී ලංකා ගුවන් ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වන විට මාධ්‍ය ජීවිතය හදාරලා නෑ. ඒත් ජීවිතේ මාධ්‍යයේ මුලකුරු හදාරපු තැන තමා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියන්නේ.

 

මාධ්‍යවේදිනියක් වුණ එක ගැන මොකද හිතෙන්නේ?

මට දැනුණ දේ තමයි අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ සමාජයත් එක්ක. එතකොට මාධ්‍යවේදීනියක් හැටියට කුඩා තැන ඉඳන් ඉහළම තැන දක්වා ස්පර්ශ කරන්න පුළුවන්. සමාජය සමඟ ජීවත් වෙන්නේ හා මිනිසුන්ගේ සිතුම් පැතුම් තුළ. මම ඒ දේවල්වලට ගොඩක් ප්‍රියකළා. වෙනත් වෘත්තියක් නොලැබ මේ ගමන ගැන සතුටක් තියෙනවා. මුල් කාලයේ තිබ්බ සිහිනය බොඳ වෙලා ගියා කියලා දැනුණ වාර අනන්තයි. ඒත් ඊට වැඩිය සිය දහස් වාරයකින් මේ ජීවිතය වටිනවා කියලා ආපස්සට හැරිලා බලන විට තේරෙනවා. මිනිසුන් සමඟ ගනුදෙනු කරන ආකාරය මගේ පෞද්ගලික ජීවිතය ගොඩනඟාගන්න හොඳ පිටිවහලක් වුණා. මම මෙතෙන්ට ගෙනාපු සියලුම දෙනාට මම ස්තුති කරනවා. ඉඹ්ඕඛ් මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නැති දවසක් තිබුණා. ඒ තමා ගුවන් විදුලියෙන් මුළු රටටම සහ ලෝකයටම මාව ඇහෙන්න ඉඩ සලස්සවපු දවසයි. මගේ ජීවිතේ වෙනත් වෘත්තියක් ලැබුණා නම් කවදාක්වත් මට මෙවැනි දෙයක් සහ ලෝකයටම මගේ හඬ ඇහෙන්න නොලැබෙන්න තිබුණා. මගේ ජීවිතයේ වෘත්තීය මට්ටමෙන් එහාට ගොස් ලොකු සතුටක් ලැබුවා රැකියාව තුළින්. ජනතාව අතරට ගොස් ඔවුන්ගේ දුක සතුට බෙදා ගන්නා මොහොත විවිධ වැඩසටහන් නිසා ජනතාව තුළ ජීවත් වුණ චරිතයක් වෙන්න ලැබුණා. මාධ්‍යවේදිනියන්ට ජීවිතයට එවැනි වැඩසටහන් හරිම වැදගත් වෙනවා කියලා මම තේරුම් ගත්තේ මේ වැඩ සටහන් කරන විට. මුල සිට පටන් ගත්ත ගමන අද වෙනකොට ප්‍රායෝගික හා න්‍යායාත්මක අත්දැකීම් සමඟ හරිම වටින දෙයක් කියලා මට දැනෙනවා. ඒ නිසා පුහුණු නිවේදිකාවක් අද නිෂ්පාදිකාවක් බවට පත්වන්නේ නොයෙක් බාධක කම්ටුළු පසුකරගෙන ඇවිත්.

පාසල් ජීවිතේ තිබුණ සිහිනය මොකක්ද?

මගේ පාසල් ජීවිතයේ මම එහෙම සිහින පසුපස හඹාගෙන ගියේ නැහැ. ඒත් අපි බලාපොරොත්තුවෙන් යම් දෙයක් තිබෙනවා නම් ඒක මොන යම් ආකාරයකින් හරි ලැබෙනවා කියන එක මගෙ මගේ හිත තුළ දැඩි විශ්වාසයක් තිබුණා. ඇත්තටම මගේ එකම සිහිනය උණේ මීට අවුරුදු ගාණකට ඉස්සරවෙලා. ඒත් මේ ආපු ගමන ගමනේදී මට මගේ සිහිනය අමතක උණා කිව්වොත් ඔබ හරියටම හරියි. ඒත් ආපස්සට හැරිලා බලන විට මට මාර තෘප්තියක් තියෙන්නේ. ලෝකයේ පවතින රැකියාවලින් හොඳ රැකියාවක් තමයි මම අද තෝරාගෙන ඉන්නේ කියලා මට හිතුණ වාර අනන්තයි. ඒත් මාධ්‍ය ජීවිතයේ හැම දවසක්ම මට අලුත් දවසක් වුණා. හැම දවසකම අලුත් දෙයක් මම ඉගෙන ගත්තා.

 

වැඩසටහන් හා ප්‍රවෘත්ති නිවේදිකාවක් නිෂ්පාදිකාවක් ලෙස ආපු ගමන කොහොමද ?

සහන නිවේදිකාවක් ලෙස රු 125 ක සිෆ්ට් එකට මාසෙටම රුපියල් පහළොස් දාහක් අරගෙන වැඩ කළේ. ඒ කාලේ ලොකු කැප කිරීමක් කරලා ඉගෙන ගත්තේ. ඉන් පස්සේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස වැඩ කරන්න ලැබුණා.

ඇත්තටම ඒක චැලෙන්ජ් එකක්. ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ රටකට ලොකු වගකීමක් දරන තනතුරක් ලෙසයි මට දැනුණේ. රටේ එක්තරා විදිහකින් ප්‍රතිරූපයක් ගොඩනඟාගත් කෙනකු වෙනවා කියන්නේ හරිම භාග්‍යයක්. රටේ කීයෙන් කීදෙනාටද එතැනට එන්න ලැබෙන්නේ. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක් කියන්නේ හරියට දැළිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒත් හරිම භාරදූර කර්තව්‍යයක්.අනිත් වැඩසටහන් වගේ පටිගත කරපු දේවල් නෙවෙයි සජීවී ඉදිරිපත් කිරීම හරිම වගකීම් සහගත වෙනවා. ප්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දී වැරදුණොත් වැරදුණාම තමා. ගුවන් විදුලිය අහන ශ්‍රාවකයන් හරිම අවධානයෙන් අහගෙන ඉන්නේ. නිවේදිකාවක ලෙස වෘත්තිමය භාවයෙන් නියැළෙනවා නම් නිවේදන තනතුරක තියෙන ගරුත්වය නැති වෙනවා. මේ රැකියාව ජීවිතය හොඳ තෘප්තියක් ලබන්න පුළුවන් රැකියාවක්.

ජීවිතයේ ආපස්සට හැරිල බලන විට ගොඩක් සතුටින් ඉන්නේ. මගේ ජීවිතේට ළඟාකර ගන්න පුළුවන් දේවල් ගොඩක් ලබාගන්න පුළුවන් වුණේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයට ආවට පස්සෙයි.

 

2022 වසර විශේෂ මතක සටහනක් කියන්නේ මොකක්ද?

ජීවිතයේ ආපස්සට හැරිල බලන විට ගොඩක් සතුටින් මම අද ඉන්නේ. මගේ ජීවිතයේට ළඟා කරගන්නට පුළුවන් දේවල් ගොඩක් ළඟා කර ගත්තේ ගුවන් විදුලිය නිසයි. මගේ ජීවිතේ වැටුණ අවස්ථා තියෙනවා. නැතුවා නොවෙයි. මේ ගමනේ කකුලෙන් ඇදපු මිනිස්සු වැඩියි නැගිට්ට වන මිනිස්සුන්ට වැඩිය. මට 2022 රාජ්‍ය සම්මාන උත්සවය විකසිත රෑ හත රාජ්‍ය සම්මානය ලැබුණා. මොනවද මම කරලා කියල තියෙන්නේ කියලා ඒ ලැබුණ සම්මානයත් එක්ක ගොඩක් දෙනෙක්ට දැනගන්න ලැබුණා. ආපස්සට හැරිලා බලන්න හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ නිසා පුළුල් අධ්‍යයනයකින් පසු මගේ ජීවිතයේ ඉදිරි ගමන සකසා ගන්නට හොඳ පිටිවහලක් වුණා. මගේ වෘත්තීය ජීවිතයේ මට හොඳ පාඩමක් ඉගෙන ගන්න මේ අවස්ථාවක් ලැබුණා. ඒ වගේ ජීවිතේ පසුබෑම් වුණා කියලා එතැනම ඉන්නැතුව හදාගෙන ආයේමත් ගමන එතැනින් ආරම්භ කරන්න අවස්ථාව මම හදාගත්තා. ඒක මම ලබාගත් එක්තරා ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය තමයි මට ලැබුණු රාජ්‍ය සම්මානය මගේ වැඩසටහනට. එදා මෙන්ම අදත් විකසිත රෑ හත හරිම ජනප්‍රිය වැඩසටහනක්. මේ වැඩසටහන ශ්‍රවණය කරන සියලුම ශ්‍රාවකයන්ට හදවතින්ම ස්තූති කරනවා මම ඒ සම්මානය ලබා ගැනීමට උර දීමට එකතු වීම ගැන. වෙළෙඳ සේවයේ මට සහයෝගය දුන් සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මාව මෙතැනට ගෙන ගියාට.

 

රාජ්‍ය සම්මාන උත්සවයේ නිර්දේශ නාම ප්‍රදර්ශනය වනවිට මොකද හිතුණේ?

එදා ඉතින් ගුවන් විදුලි නාලිකාවල වැඩසටහන් හතරක් විතර නාමාවලිය සටහන් වුණා. ඒ අතර විකසිත රෑ හතක් තිබුණා. මට ආරාධනා පත්‍රය ඇවිල්ලා උත්සව ශාලාවට ගියාට මම හිතුවේ නෑ මට සම්මානයක් ලැබෙයි කියලා.

ප්‍රධාන පෙළේ ප්‍රවීණයන් හා විද්වතුන් රැසක් ප්‍රධාන පීඨිකාව රැඳීලා සම්මාන පිරිනමන වැඩසටහනෙන්, වැඩසටහනට, රේස් එකක් දුවන්න හදනකොට පපුවේ ඇතිවෙන කම්පනය දෙගුණ තෙගුණ කරන්න ගත්තා නිර්දේශ නාමාවලිය කියනකොට. ඒ අතර මගේ වැඩසටහනද තිබුණා. අවසාන මොහොත දක්වා කියවල ඉවර වෙනකම්ම මම පුදුම හිතේ ගැස්මකින් හිටියේ. විකසිත රෑ හත වැඩසටහනට සම්මාන ලැබෙනවා කියපුවාම

එදා ජීවිතයේ සතුට පිරිලා ඉතිරිලා ගියා. මගේ වැඩසටහනට සම්මානය ලැබුණේ මගේ අම්මගේ තාත්තගේ ආශිර්වාදය සහ ආදරය නිසා කියලයි මට දැනුණේ. ඒ දෙන්නා මට පාර කියලා දුන්නේ නැත්නම් මෙතෙන්ට එන්න අද මම මාධ්‍ය ජීවිතයේ ජීවිතය නැති වෙන්න තිබුණා. ඒත් පෙර වාසනාවකට මගේ වැඩසටහන් ශ්‍රාවකයන්ට ගුවන් කාලයක් වෙන් කර ගෙන රස විඳීන්නට අවස්ථාවක් දෙන්න නිෂ්පාදිකාවක් නිවේදිකාවක් ලෙස ඒ භාරදූර කාර්යය කරන්නට මට ලැබුණා.

ලෝක වසන්ගත කාලයේ ගුවන් විදුලි වැඩසටහන් කළේ කොහොමද?

මේ කාලය තුළ රාජකාරි කරන්න තිබුණේ පැය ගණනාවක් එකකටයි. ඒ නිසා හරිම වගකීම් සහිතව ආරක්ෂිතව ඒ හැම හෝරාවක්ම රාජකාරි ජීවිතයත් සමඟ ගත කරපු නිසා මට අම්මලත් එක්ක ගත කරන්න තිබ්බ කාල සීමාව ගොඩක් අඩු වුණා. ඒ දින ගණනාව තුළ පවුලේ සියලු දෙනා සමඟ හරිම දුරින් ගත කරන්න වුණේ. වෙළඳ සේවයේ විතරක් නෙමෙයි මුළු ගුවන් විදුලි සංස්ථාවේම අපි සියලුදෙනා වැඩ කළේ සාමූහික කණ්ඩායමක් හැටියටයි. මගේ රාජකාරි ජීවිතයේ මුහුණ මූණදුන්න පළමුවෙනි අවස්ථාව මේ වගේ ලෝක වසංගත රෝගී අවස්ථාවක් රාජකාරි කිරීමයි. එක පැත්තකින් ඒක හොඳ අත්දැකීම් ලබන්න පුළුවන් අවස්ථාවක් වුණා. මාධ්‍ය රාජකාරියන් මිදෙන්නට බැහැ කියන එක හොඳටම මේ වකවානුවේ මට වටහා ගන්නට ලැබුණා. ශ්‍රාවකයන්ට ගීතයක් අහනව තරම් යම් දෙයක් කියනවා තරම් සැනසීමක් ඒ කාලේ තිබ්බේ නැහැ. අපි පුළුවන් තරම් ඒ හැම දේකින්ම ඔවුන් විනෝදාස්වාදය කරා ගෙන ගියා. යම් දෙයක් උණාම නැගිටින හැටි කියා දුන්නා. ඒවාගේ ප්‍රාණවත් ගීත ජාතික අභිමානේ ගීත ශ්‍රාවකයන්ට අහන්න ඉඩ සැලසුවා.

 

විවාහ ජීවිතය ගැන නොසිතා ගුවන් විදුලියත් එක්ක ඉන්නමද හැමදාම හදන්නේ?

ජීවිතය කියන්නේ ප්‍රශ්නවල එකතුවක් පමණයි. ජීවත් වෙනවා කියන්නේ ඒ ප්‍රශ්නවලට උත්තර සොයනවා කියන එකයි. ඒ නිසා ඒ දෙකම හොඳට තේරුම් අරගෙන සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීම තමයි මගේ ජීවිතය. විවාහය සහ රාජකාරි ජීවිතය පටලවාගෙන මම ජීවත් වෙන්න කැමති නැහැ. හොඳ අවබෝධයෙන් දෙදෙනෙකු තේරුම් අරගෙන විවාහ ජීවිතයක් ගොඩනඟා ගන්න ලෑස්ති වුණොත් ජීවත්වෙන්න පුළුවන්. හැබැයි ගුවනින් මාව අඳුරගත්ත කෙනෙකු ඉන්නවා. එයා මාව හරියට තේරුම් ගත්තොත් යම් දවසක මගේ ජීවිතේ වෙනසක් වෙයි කියලා මම හිතනවා.

 

ගුවන් විදුලි රාජකාරී ජීවිතයේ ඔබේ පෙරගමන මොකද්ද ?

මගේ වෘත්තිමය රාජකාරි ජීවිතේ කාර්ය බහුලත්වයත් එක්ක. සමාජයට ලොකු මෙහෙවරක් කිරීමේ බලාපොරොත්තුව තමයි තියෙන්නේ. කාන්තාවන් වෙනුවෙන් යමක් හඬගා කියන්නට ඔවුන්ට හඬක් නඟන්නට හොඳ වැඩසටහන් ටිකක් නිෂ්පාදනය කිරීම මගේ එක අරමුණක් වෙනවා. මේ වන විට වැඩසටහන් කිහිපයක් කරනවා. සිකුරාදා සඳුන් අරණ, ක්‍රීඩා වැඩසටහන්, ප්‍රසංග, සුභාවිත ගීතය, සජීවී වැඩසටහන් ද මේ ආපු ගමන් මගේ මම කරලා තියෙනවා. සාරතී කියලා අලුත් වැඩසටහනක් මම කරනවා පස්වරු 02.00කට ඒ වැඩසටහනේ දැන් වැඩසටහන් විස්සක් විතර මේ වනවිට කරල ඉවරයි.

 

ගුවන්විදුලිය මහ ගෙදරට ආවට පස්සෙ පස්සේ ලැබුණ දේවල් මොනවද?

ගුවන් විදුලිය තුළ ප්‍රතිරූපයක් නිර්මාණය කරගත් නිවේදිකාවක් උණාට පස්සේ මගේ යාළුවෝ ගෙවල්වල අය සහ නෑදෑයෝ සියලු දෙනාම මාව අගය කරන්න පිළිගන්නට පටන් ගත්තා. නිවේදිකාවක් ලෙස ලෝකෙම මගේ නම හඬින් පමණක් දැනගත්තට පස්සේ මගේ ජීවිතේ ලද ලොකුම සතුට එය වුණා. රාජකාරි ජීවිතයත් එක්ක කාලය ගෙවුණා දැනුණේ නැහැ. හඬට ආදරේ කරපු මිනිස්සු කොච්චර මට කතා කරාද ගුවන් විදුලියේ දුරකථනයට. දැන් මට ඕනේ වෙන්නේ මේ ලබාගත්ත අත්දැකීම් උපයෝගී කරගෙන වෙනස් දෙයක් කිරීමටයි. හඬ විතරක් අහපු මිනිස්සුන්ට මගේ රූපයක් දකින්න දැන් අවස්ථාව තියෙනවා. මම හරිත ටීවී නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. අපේ කුඩා කාලයේ අපිට නොතිබුණු දේවල් කුඩා දරු පරපුරට දෙන්න තියෙනවා නම් කොච්චර හොඳයි ද කියලා දැන් හිතෙනවා. ඒකත් මගේ ඒකායන අරමුණක් වෙනවා. මගේ ජීවිතයට ආශිර්වාද කරන හම්බවෙච්ච ප්‍රවීණයන් අතිවිශාලයි. ඒ අතර ගේය පද රචක රත්න ශ්‍රීයන්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සර් වැනි විද්වතුන්ගෙන් ලැබුණ ආශිර්වාදය මගේ හැම රාජකාරි ජීවිතයකටම පිටිවහලක් වුණා. ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවීණයන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය මට මගේ දක්ෂතාවයන් හඳුනාගෙන මගේ ගමනට ගොඩක් උදව් කළා. ඔවුන්ගේ ඒ ආශිර්වාදය නොලැබුණා නම් අද මට මෙතනට එන්න හම්බවෙන් නෑ. ඒ නිසා ලැබුණ දේවල් වැඩියි නොලැබුණු දේවල්වලට වැඩිය. මේ හැම දෙයක් පිටුපසින් ම මගේ පවුලේ සියලු දෙනාම මට උදව් කරනවා. ජීවිතයේ අරමුණක් තිබ්බොත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එක පසු එන තරුණ පරම්පරාවට කියන්න මම කැමතියි.

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]