පරිවර්තනයට‍ හිත ගියේ ඒ.පී.ගුණරත්නයන් නිසා

නිශ්චල ඡායාරූප ශිල්පී හා ලේඛක සරත් සේනාපති
ඔක්තෝබර් 12, 2023

ජිවිතය, සමාජය මෙන්ම නිර්මාණකරණය පිළිබඳ දිගුකාලීන පරිචයක් ලබමින් හා ඒ සියල්ලෙහි ම අත්දැකීම් එක්කොට ගනිමින් ද ලේඛකයකු ලෙස සිය ප්‍රථම කෘතිය ගෝහා ගෙ කතාන්දර නමින් පාඨකයන්ට පිළිගන්වන අපූරු ලේඛකයකු ලෙස, සරත් සේනාපති ලේඛකයා හඳුනාගත හැකිය.ගෝහා ගෙ කතාන්දර නමින් මේ අවස්ථාවේ පාඨකයාට පිළිගන්වන සිය පළමු කෘතිය පිළිබඳ එහිදී ඔහු දැක්වූ අදහස් අපි බලමු. 

එක්දහස් නවසිය අසූ නවයේ සිට වසර හයක් පමණ මම මැදපෙරදිග රැකියාවක නිරත වී සිටියේ. ඇත්තටම ඒ අවධියේ තමයි මට මේ ගැන වැඩි අවබෝධයක් ලබාගන්න පසුබිම හැදුණේ. එකල මා සේවය කළ ඕමානයේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සැකසීම උදෙසා ඔවුන් අනුගමනය කළ වැඩ පිළිවෙළ ගැන මම අවධානය යොමු කළා. ඒවගෙ අවස්ථාවක තමයි මට ගෝහා ගෙ කතා කියවන්න ලැබෙන්නේ.

එහිදී අරාබි සාහිත්‍යය ගැන කෙනෙක් මේ වගෙ අවස්ථාවක අවධානය යොමු කරනවා නම් ප්‍රධාන සාහිත්‍යකරුවන් දෙදෙනෙක් නෙ අපට මූලික ව මනසට නැගෙන්නෙ. ඔමාර් ඛයියාම් හා ඛලිල් ජිබ්රාන්. මේ දෙදෙනා ජීවිතය දෙවිදියකට දැක්ක දෙන්නෙක්. එහිදී ඛයියාම් ජීවිතයේ හසරැලි දුටු බවත් ජිබ්රාන් ජීවිතයේ කඳුළැලි මෙන්ම හසරැලි දකින්නත් අවධානය යොමු කළ බව අපි දකිනවා. විශේෂයෙන් ඛයියාම්ගෙ රුබය්යාතය හා ජිබ්රාන්ගෙ මුනි (නපධනඩඥබ) කෘති දෙක තමයි අරාබි කලාපයේ සාහිත්‍යය ගැන අවධානය යොමු කරද්දී අපට මූලිකව සිහිපත් වෙන්නෙ. ඊළඟට දීර්ඝ ඉතිහාසයක් ඇති අරාබි නිසොල්ලාසය. මේ ගෝහා ගෙ කතාන්දර අරාබි නිසොල්ලාසයේ කතා වගේම නූනත් නස්රුදීන්ගෙ කතා වාගෙම හාස්‍යයට බර නූනත් යම් උපදේශාත්මක බවකුත් ගෝහා ගෙ කතාවල දකින්න පුළුවන්. බොහෝ දුරට අර පංච තන්ත්‍රයේ කතා වාගෙ. ඉතින් මෙවැනි පසුබිමක් මැද තමයි මට ගෝහා ගෙ කතන්දර සිංහලට නගන්න පෙලඹවීමක් ඇති වෙන්නෙ. ඇත්තටම මේ පොත ඒ අවධියේ ඒ රටේ දරුවන් ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීමට යොදා ගෙන පවා තිබුණ පොතක්.

පොත්පත් කියැවීමේ නැඹුරුව දිගුකලෙක සිට පැවැතියක් ද ?

ඇත්තෙන්ම. කුඩා කාලෙ ඉඳන් ම. පාසල් යන අවධියේ විද්‍යා විෂයන් හැදෑරුවත් කලා විෂයන්වලට ලොකු නැඹුරුවක් තිබුණා. මොකද ගෙදර තිබුණේ සාහිත්‍ය හා කලාවට නැඹුරු පසුබිමක්. විශේෂයෙන් තාත්තා ගෙ මිතුරන්. සාමාන්‍යයෙන් ඔවුන් අපේ ගෙදර ආවහම, හවස් කාලයෙ අපේ ගෙදර රැස් වූ අවස්ථාවල අපට අහන්න ලැබුණෙ හරි බර සාර කතා. ඒවා හරිම ශාස්ත්‍රීයයි කියල මට හිතෙනවා. ඒවා තමයි මුලින්ම කනට හුරු වුණේ. අපේ තාත්තාත් චිත්‍ර ශිල්පියෙක්. කොමියුනිස්ට් මතවාදයත් එක්ක තමයි අපේ තාත්තා සමීප ව කටයුතු කළෙත්. ඒ පසුබිමේ රුසියානු පොත්පත් කියැවීමට ලොකු පසුබිමකුත් තිබුණා. එයින් රුසියානු සාහිත්‍යය පිළිබඳ ලොකු අවබෝධයක් ලැබුවා. ඉතින් ඒ වටපිටාව තමයි පොත්වලට ඇබ්බැහි වෙන්න ඉඩ පාදල දුන්නේ. ඒ මුල් එක්ක හැදී වැඩෙද්දී පසු කාලයේ මට හම්බවෙන හරිම සුවිශේෂ කෘතියක් තමයි කොන්ස්ටන්ටයින් පවුස්තොව්ස්කිගෙ ‘රන් රෝස’. මේකත් හරිම සුවිශේෂ කෘතියක් නෙ. ඒකෙ තමයි මම දකින්නේ කොමාවක නැවතීමේ ලකුණක වටිනාකම ලියන්නෙක් කොච්චර සූක්ෂ්ම ම තේරුම් ගත යුතුද කියා. ‘රන්‍ රෝස’ කියෙව්වට පස්සෙ ආපු හැඟීමක් තමයි ලියන්න ඕන කියන එක. මොකද එවැනි කෘතිවලින් දුන් පණිවිඩ පපුවට නොසෑහෙන ලෙස කිඳා බැස්සා. මනුස්සයකුට ගොඩක් වටින්නෙ කරුණාවන්ත හදවතකුයි ඥානවන්ත මනසකුයි කියන එක මේ පොත්පත්වල තිබුණා.

ගෝහා ගෙ කතන්දරවලින් කෙබඳුකාරණා ද මතුවෙන්නේ ? 

ලෙස්ලි කප්ලාන් කියන ප්‍රංශ ලේඛිකාව තමයි මේ ගෝහා ගෙ කතාන්දර එකතු කරල ලියන්නෙ.අරාබිකරයට ආසන්න ටැන්සානියානු හා සැන්සිබාර් පළාත්වල භාවිත වන ස්වාහිලි බස ඇසුරු කරගත් කතා වගේම බැග්ඩෑඩය මුල් කරගත් කතාආදි අරාබිකරයට පොදුයි. කප්ලාන් එකතු කරගන්නෙ මේ කතන්දර. ගෝහා ගෙ කතන්දර ඔස්සේ හාස්‍යයම විතරක් නෙවෙයි මානවයාට හා මානව සමාජයට යම් කිසි පණිවිඩයකුත් දෙන්න උත්සාහ කර තියෙන බවක් පෙනී යනවා. විශේෂයෙන් මානව වර්ගයාගේ චර්‍යා රටා හා හැසිරීම් තමයි මෙහි මූලික ව නිරූපණය කරන්නේ උදාහරණයක් ලෙස මෙහි එන සතුටේ රහස කියන කතාව එවැනි එකක්. මම ඊට හරි කැමැතියි. එහි කතා කරන්නේ මානව ජීවිතයේ සම්බන්ධතා පිළිබඳ යි. මුදල් මූලික කරගනිමින් දියුණු ජීවිතයක් සොයා යන මානවයන් පවා එක් මොහොතක ඉන් එහා ඇති මානව සම්බන්ධකම් බිඳ වැටීම ඔස්සේ මුහුණ දෙන අර්බුද මේ කතාවේ මතු කරනු ලබනවා. ඉතින් මේ කතා පිළිබඳ මටත් ලොකු පැහැදීමක් ඇති වුණා. විශේෂයෙන් ම අපේ දරුවන් ට මේවා කියා දීමට හැකි නම් කොච්චර වැදගත් ද කියන දේ තමයි මේ කතා කියවද්දී මට හිතුණෙ. ඉතින් ඒ හැඟීම් සියල්ලත් සමඟ යි ගෝහා ගෙ කතාන්දර සිංහල ට නඟන්න කල්පනා කළේ.

භාෂා භාවිතය කෘතියක වටිනාකමට විශාල බලපෑමක් ඇති කරන සාධකයක්. ඒ පිළිබඳ පරිචයක් ලබන්න බලපෑ කාරණා මොනවාද ?

මට කියවන්න ලැබී තිබුණා ‘රන් කැකිර සහ වෙනත් කතා’ කියල හරි ම ලස්සන පොතක්. ඒක සංස්කරණය කර තිබුණේ ඒ.පී.ගුණරත්න මහත්මයා. එතුමා හරි අපූරු ලේඛකයෙක් නෙ. බැද්දෙගම කතාව පවා එතුමා ගොඩනඟල තිබුණ විදිහ හරි ම ආකර්ෂණීයයි නෙ. එතුමා ගෙ කතාවල බස්වහර හා එහි ගලාගෙන යෑම විශිෂ්ට යි. උදාහරණයක් විදියට බැද්දෙගම කතාව ආරම්භ කරද්දී ඔහු එහි පරිසරය පිළිබඳ ඇති කරන අදහස ගොඩනගන්න යොදාගන්නා වචන හරි ම ලස්සනයි. උදාහරණයක් ලෙස ඔහු එහි ආරම්භයේදී කියනවා වනය දෙහෙදු කරගෙන හමා යන සුළඟ වගෙ වැකියක්. ඒ වචන අපට බොහොම කලාතුරකින් අසන්න ලැබෙන වචන නෙ. ඒ වගෙ වචන මාව විශාල ආනන්දයකට පත් කළා. ලේඛනයේ විශාල පැතිකඩක් පෙන්වා දුන් ආලෝකයක් බඳු වුණා. එතුමා තමයි මේ ජනකතා ටික සංස්කරණය කර තිබුණේ. ඒ පොතෙත් ඔය කිව් බලපෑම අපූරුවට එලෙසම තිබුණා. ඇත්තටම ඒක තමයි මටත් භාෂා භාවිතය පිළිබඳ ඕනෑකමින් බලන්න එය හරියට ගොඩනඟා ගන්න විශාල බලපෑමක් වුණේ.

ඔබ ඡායාරූප ශිල්පියකු ලෙස කාලයක් කටයුතු කළ කෙනෙක්. ඔබේ නිර්මාණ දිවියේ ඇරැඹුම එයද ? 

ඔව්. මේ වන විට මම රැකියාවෙහි නියුතු වන්නේ ලේක් හවුස් ආයතනයේ යි. නමුත් මැද පෙරදිග රැකියාවෙන් සමුගෙන මම නැවත මවුරට ට පැමිණ සිටින අවධියේ තමයි මට අපේ ප්‍රවීණ සිනමාවේදි ජයන්ත චන්ද්‍රසිරි මහතා මුණගැසෙන්නෙ. ඒ එතුමා දිවයින පුවත්පතේ සේවය කළ කාලයේ. ඒ අවස්ථාවෙ මා විසින් අරගෙන තිබුණු ඡායාරූප සහිත ඇල්බමයක් එතුමා ට පෙන්නුවාම එතුමා ඇහුවා කැමැති ද එතුමා ගෙ ඊළඟ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න කියල. ඒක මට ඇත්තටම කියා නිම කළ නොහැකි අවස්ථාවක් වුණා. එතනදි තමයි එතුමා දෙදාහෙ සහස්‍රකය ඉලක්ක කර ගනිමින් එක්දහස් නවසිය අනූ නවයෙ වාගෙ නිර්මාණය කළ රැජන ටෙලි නාට්‍යයේ නිශ්චල ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරන්න ලැබුණේ. ඊට පසු එතුමාගෙ අග්නිදාහය චිත්‍රපටයේත් නිශ්චල ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරන්න ලැබුණා.

ඇත්තටම ඡායාරූප ශිල්පය කියන්නෙත් හරි අමුතුම කලාවක්. වර්තමානයේ කැමරාව මඟින්ම විශාල වැඩ කොටසක් කරනවා නූතන තාක්ෂණය සමඟ. අද තිබෙන්නේ හරියට රාමුගත කිරිල්ල කරන්න. හැබැයි එදා කැමරාව පිටුපස සිටි කෙනාගෙ ඇස හරිම වැදගත් වුණ. ඒ ශිල්පියාගෙ ඇසට මනසට කළ යුතු දේවල් බොහොමයක් තිබුණා. එහි ව්‍යාකරණයක් තියෙනවා. ඒක තමයි අපි මැනැවින් තේරුම් ගත යුතු.

ගෝහා ගෙ කතන්දර ගැන පාඨකයන්ට කුමක්ද කියන්න තියෙන්නේ ?

ඇත්තටම මම හරිම කැමැති යි දරුවනුත් මේ කතන්දර කියවනවා නම්.

මොකද අනාගත පරපුර ට නිසි මඟ පෙන්වීමක් අවශ්‍ය යි කියා මා දැඩිව විශ්වාස කරන නිසා.අරාබිකරයට ආවේණික කතා වුණත් මෙහි අපි හැමෝටම පොදු දේ තියෙනවා කියල යි මම දකින්නේ.එනිසා ඒ අත්දැකීම් අපේ සමාජය සමඟ බෙදාගන්න තමයි මූලික ව මට ඕන වුණේ.

සමුද්‍රිකා වර්ණකුල 

සේයාරූ - නිශ්ශංක විජේරත්න