මෙය දරුවන් වෙනුවෙන් නොමිලයේ පවත්වන සංගීත පාඨමාලාවක්

ප්‍රවීණ සංගීතවේදිනී දර්ශනී චන්ද්‍රසේන
ඔක්තෝබර් 12, 2023

ප්‍රවීණ සංගීතවේදියකු වූ ආර්.ඒ. චන්ද්‍රසේනයන්ගේ දියණියක වන සංගීත විශාරද, කථිකාචාරිනී, ලලිත කලාවේදිනී දර්ශනී චන්ද්‍රසේන ඉකුත්දා ගල්කිස්ස කලාපුරයේදී කුඩා ළමුන් වෙනුවෙන් නොමිලයේ ළමා ගායනා පුහුණු පාඨමාලාවක් ඇරඹීය. කලාපුරයේ ජනතාව සහ ගල්කිස්ස පොලිසිය මෙයට සහය ලබාදී තිබුණි. ගායනා පුහුණු පාඨමාලාව පිළිබඳ මෙන්ම සිය පියාගේ අතීත මතකාවර්ජනයක් ද සමඟින් ඇය මෙසේ සරසවිය හා එක්වූවාය.

ඔබ ආරම්භ කළ නවතම ළමා ගායනා පුහුණු පාඨමාලාව ගැන සඳහන් කළොත්....?

මේ පාඨමාලාව කුඩා දරුවන් වෙනුවෙන් මම ආරම්භ කළේ. ඉස්සර මගේ අම්මා, තාත්තා දෙන්නත් නොමිලයේ තමයි ඉගැන්වූවේ. අද වනවිට ප්‍රවීණයන් වී සිටින බොහෝදෙනෙක්ට නොමිලයේ ඒ දෙන්නා ඉගැන්නුවේ. සැඟවුණු දක්ෂතා තියෙන ළමයි අපි අතර ඉන්නවා. ඔවුන් අතර කන්න බොන්න පවා අගහිඟකම් තියෙන ළමයි ඉන්නවා. මම හැමවිටම ඒ ළමයින්ට අතදීමක් කරනවා. අපේ කාලයේත් අපි ගොඩාක් අමාරුවෙන් ඉගෙන ගත්තේ..මේක සමාජ මෙහෙවරක් විදිහටයි මම කරන්නේ. කිසිදු අයකිරීමකින් තොරවයි ළමයින්ට ගායනය, වාදනය, තනු නිර්මාණය ආදිය උගන්වන්නේ.

ඔබේ පියාත් විශිෂ්ට සංගීතවේදියෙක්. ඔහු ගැන මතකය අවදි කළොත්...?

තාත්තාත් මම වගේ තමයි. මුදල මූලික කරගෙන එයා ඉගැන්නුවේ නැහැ. අද ඉන්න බොහෝ ප්‍රවීණයන්ට නොමිලයේ ඉගැන්නුවේ . ඒ කාලයේ තාත්තා "චතුරංගනී - පංචාංගනී" කියලා ප්‍රසංග කිහිපයක්ම කළා. ඔහු 1936 ගුවන්විදුලි වාදක මණ්ඩලයට සම්බන්ධ වුණා. සිරි අයියාගේ ළමා තීරයට සම්බන්ධ සිටියා. පසුකාලීනව එළිමහන් ගෘහස්ථ සංගීත සන්දර්ශන කළා. තාත්තා එයාගේම වාදක මණ්ඩලය සමඟයි සංගීත කටයුතු කළේ. 1953දී එම අවස්ථාවේදී තිබුණු ප්‍රසංගයට සංගීතය සැපයුවේ තාත්තා. "දස බලධාරී" තනුව හදලා ගායනා කළේ තාත්තා . ඒවගේම තාත්තා වාද්‍ය භාණ්ඩත් ඒ මොහොතේම ර්‍ථතචර කරනවා.."ලෝනා බුදුමුණි රාජා" ගීතයත් අම්මා, තාත්තා දෙන්නම එකතුවෙන් කළේ. තාත්තා එයාගේ ස්වඋත්සහයෙන් තමයි ඉහළටම ආවේ. අමරදේව, සුනිල් සාන්ත වගේ අය විදෙස්ගත වෙලා ඉගෙනගත්තා. ඒත් තාත්තා මේ රටේ ඉඳන් උත්සහයෙන්ම ඉදිරියට ආවා. ඉන්දියාවට ගිහින් වාදක මණ්ඩලයක් මෙහෙයවූ දෙවැනි ශ්‍රීලාංකිකයා විදිහට තාත්තා වාර්තාවක් තබනවා..ඔහු සංගීත විෂයය පිළිබඳ හොඳීන් අධ්‍යයනය කරනවා. ඔහු පෙරදිග සංගීතය වගේම බටහිර සංගීතයත් දන්නවා. ඒ දේවල් අපිම ඉගෙනගත්තේ තාත්තාගෙන්..

අද සිටින සහ සිටි බොහෝ ජ්‍යෙෂ්ඨ සංගීතඥයන්ගේ ගුරුවරයා වුණේ ඔබේ තාත්තා...?

ඔව්..රුක්මණී දේවි, මොහිදින් බෙග්, හරුන් ලන්ත්‍රා, එච්.ආර්. ජෝතිපාල, ධර්මදාස වල්පොල වගේ අයට තනු හදලා දුන්නේ තාත්තා. කේමදාස මාස්ටර්, වික්ටර් රත්නායක, ධර්මදාස වල්පොල, සෝමපාල රත්නායක, තිස්සසිරි පෙරේරා ආදීන් තාත්තාගේ ගෝලයෝ. ඒවගේම තාත්තා තමන් ළඟට එන ගෝලයන්ට හොඳට සංග්‍රහ කළා..කනබොන දේවල් පවා දෙනවා. පන්ති එද්දී , ගෙදර යද්දී තාත්තා එයාලට බස් එකට කියලා සල්ලිත් දෙනවා. තාත්තා සංගීත භාණ්ඩ වාදනය කරද්දී කට්ටිය ඔහු ළඟට ඇවිත් ඔහුගේ අත්දෙක ඉඹිනවා.

පියගේ සංගීත කටයුතුවලට මවගේ සහයක් ලැබුණා නේද..?

ඇත්තෙන්ම. අපේ අම්මා තාත්තාට හොඳ සහයක් දුන්නා. ඔහුගේ සංගීත වැඩ කළේ අම්මා. ඇයගේ නම ශ්‍රියාණි චන්ද්‍රසේන. ඇයත් ශාස්ත්‍රීය සරල ගී ගායිකාවක්..තාත්තාගේ ස්වර ප්‍රස්තාර ලියන්නේ අම්මා. තාත්තා වැඩ කරද්දී ඔහුට කෑමබීම හදලා දෙනවා. අම්මයි තාත්තයි අතර ලොකු බැඳීමක් තිබ්බා. අපි කුඩා කාලයේ ඉඳන් ඒවා දැක්කා. කොහොමහරි මේක කරනවා කියලා හිතුවොත් අම්මා ඒක කොහොමත් කරනවා.ඒ වගේම අම්මා දෙයක් කිව්වොත් හරියටම හරි. මේක මේ විදිහට වෙනවා කිව්වොත් ඒ විදිහටම වෙනවා.

සිංහල චිත්‍රපට කිහිපයකටත් පියා සංගීතයෙන් දායක වුණේ නේද....?

ඔව්, චිත්‍රපට 10ක් විතර ඔහු සංගීත අධ්‍යක්ෂණය කළා. "කොළඹ හාදයෝ, මතභේදය , දෛව විපාකය , වැදිබිම, මිරිඟුව" වගේ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කළා.

ඔබටත් තාත්තාගේ ආභාසය බලපෑවා කියා මම කිව්වොත්...?

ඔව්. කුඩා කාලයේ ඉඳන්ම තාත්තා වැඩකරනවා අපි අත්දැක්කා. ඔහුට ප්‍රායෝගික දක්ෂතා රැසක්ම තිබුණා. ඒවා අපි පැය 24ම දැක්කා. ඔහු නිකං හිටියේ නැහැ. සංගීත තනු හදනවා, මොකක් හෝ සංගීතයට සම්බන්ධ වැඩක් රෑ එළිවෙනකල් කරනවා..ඔහුගේ ආභාසය මගේ සංගීත දිවියට තදින්ම බලපෑවා කිව්වොත් හරි.

පියාගේ එදා ජනප්‍රිය ගීතනු අදටත් ජනප්‍රියයි නේද..?

"මෝහෙන් මුළාවෙලා, ළිඳෙන් වතුර බීලා, පුන්සඳෙන් රැස් ගංතෙරෙන්" වගේ ගීතනු තාත්තාගේ අදහස් අනුවම නිර්මාණය වූ ඒවා. නිහාල් නෙල්සන්ගේ ගොඩාක් ගීතවලට තනු හදලා දුන්නා. "ලස්සනට පිපුණු වනමල්" වගේම ධනපාල උඩවත්ත ගයන " ඈ නීලවරල පීරලා " ගීතයේත් තනු නිර්මාණය තාත්තාගේ.

ඔහුට කැපිලි කෙටිලිත් ආවා නේද...?

තාත්තා ගුවන්විදුලියේ සංගීත අධ්‍යක්ෂ වුණා. ඒ එක්කම ඔහුට කැපිල්ලකුත් ආවා. මගේ සින්දුවකුත් කැපිලා ගියා. ඒත් එක්ක තාත්තා 1969දී ආර්.ඒ. චන්ද්‍රසේන නමින් කොම්පැනියක් පටන්ගත්තා. 1971 දී තාත්තාගේ ඒ රෙකෝඩින් කම්පැනියෙන් රෙකෝඩින් ර්‍ණභබ කළා. තාත්තා වැටෙන්න වැටෙන්න නැඟිටිනවා. තාත්තාගේ උදේ වැඩසටහන සවස් වෙද්දී අතුරුදන් වෙනවා. එහෙම තමයි කැපිලි ආවේත්. ඒත් තාත්තාගේ අරමුණ වුණේ ආධුනිකයන් ප්‍රවීණයන් බවට පත්කිරීමයි...

ඔබේ සංගීත දිවියේ ආරම්භය ගැන කිව්වොත්....?

කුඩා කාලයේ ඉඳන් සංගීතයට ආසාව තිබ්බා. ඒත් තාත්තා බලපෑම් කළේත් නැහැ. අම්මා තමයි සංගීත විභාගවලට මාව ඇදලා දාන්නේ. ඒවගේම විභාගයේ වැඩිම ලකුණු එන්නේත් මට. අම්මා හරිම නීතිගරුකයි. එයා එක්ක වැරදි වැඩ කරන්න බැහැ..කොහොමහරි මම පුංචිකාලයේ තාත්තා මාව ගුවන්විදුලි මණ්ඩපයට එක්කගෙන යනවා. ඒක කළේ කරුණාරත්න අබේසේකර මහතා..වචන ප්‍රශ්නයක් නිසා මට සිංදු කියන්න බැරිවුණා. තාත්තාට කරුණාරත්න අබේසේකර මහත්තයා කියනවා වෙනත් දවසක ඇවිත් සින්දු කියන්න කියලා. "අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා" කියන එකේ "රාජකපුරු සෙට්ටියා" කියන කොටස කියන්න බැහැ..ඒ වෙනුවට කියන්න ඕන "පිළිගමු සෙත් ගී ගයා" කියලා. ඒ විදිහට මම කුඩා කාලයේ හොඳ අත්දැකීම් ලැබුණා...ඒ ආභාසයෙන් මගේ සංගීත දිවිය ටිකටික වර්ධනය වුණා.

ඔබේ පියාගේ මරණයෙන් පසු මවට ගුවන්විදුලියේ රැකියාවක් ලැබීම එක්ක ඔබට නැවතත් කලාවට දොරගුළු විවර වුණා නේද.....?

ගුවන්විදුලියේ තේවිස් ගුරුගේ මහතා අම්මාට පුහුණු සහය නිෂ්පාදිකාවක් විදිහට රැකියාවක් ලබාදුන්නේ තාත්තාගේ මිය යාමත් එක්ක. ඇය ශාස්ත්‍රීය සරල ගී ගායිකාවක්. "මල් කියන්නෙ කාට කාට " නමින් වැඩසටහනක් කළා. ඒකට මමත් අම්මා එක්ක ගියා. ගුවන්විදුලියට එන ළමයි පුහුණු කරලා පටිගතකිරීම් කරනවා. එහිදී මාව දැක්කම එහි වාදක මණ්ඩලයේ පියානෝ ශිල්පියා වුණු ටියුලින් ජයරත්න මහත්තයා මාව එතැන වාඩිකරවලා "ඔයා සංගීත අරටුවක්නේ" කියලා එතැන අවස්ථාවක් දුන්නා.

නොමිලයේ පවත්වන මෙම ළමා ගායනා පුහුණු පාඨමාලාවේ ආරම්භය 1980 දශකයට දිවයනවා. ඒ අතීතය සිහිකළොත්...?

ඔව්. 1980 දී තාත්තා නැතිවුණා. ඊටපස්සේ මම අම්මා භාරව ඉන්න ළමයින්ට අම්මයි තාත්තයි ඉරිදා සවසට නොමිලයේ පන්ති කරනවා. 1981 සිට දිගටම කළා. 1983දී මම විවාහවුණා. ඒ එක්කම ටික කලකට වැඩේ නැවතුණා. පසුව නැවත මේ වැඩසටහන පටන්ගත්තා. වාදනය, ගායනය මූලිකවම ඉගැන්නුවා. මම හැමදාම කළේ පුංචි ළමයින්ටයි. ඒ මම ගුරුවරියක් නිසාම වෙන්නැති..ලොකු මිනිස්සු එක්ක වැඩ කරන්න කැමැති නැහැ. මම නම් කැමැති අපේ දරුවෝ අපට වඩා ඉහළට යනවටයි. අන්තිමට 2021 දක්වා මේ ළමා ගී පුහුණු පාඨමාලාව කළා. කොවිඩ් කාලයේ ර්‍ණදතඪදඥ ඛ්තචඵඵ කළා. ඒත් නොමිලයේමයි කළේ. කොවිඩ් කාලයේ ප්‍රශ්නත් ආවා.

මෙම ළමා ගායනා පුහුණු පාඨමාලාවට සහය දෙන පිරිස ගැන කිව්වොත්....?

ගල්කිස්ස කලාපුර නිවැසි පදනමත් ගල්කිස්ස පොලිසියත් මෙය සංවිධානය කළේ. තාත්තා සංගීත කලාවට කළ සේවය වෙනුවෙන් ඉඩමක් ලැබුණා කලාපුරයෙන්. කලාපුරයේ සංවිධානයක් තමයි කලාපුර නිවැසි පදනම කියන්නේ. ඒ පදනමින් කලාපුරය ඇතුළේ චිත්‍ර, නැටුම්, සංගීත අංශයේ දක්ෂතා දක්වන අයට නොමිලයේ පන්ති පැවැත්වුණා. මේ පදනමේ ලේකම් මහාචාර්ය කමල් වලේබොඩ මහතා. ඔහු විශාල සහයක් දෙනවා. ඔහුගේ බිරිඳ ප්‍රවීණ කිවිඳීයක් වන කල්‍යාණි හේරත් මැණිකේත් උපරිමයෙන් උදව් කරනවා.ගල්කිස්ස පොලිසියෙනුත් විශාල සහයක් ලැබෙනවා. අරිසෙන් අහුබුදු මහතාගේ මුළු පවුලම මට සහය දෙනවා.

මෙහි ආරම්භක දිනය සතුටුදායක මට්ටමේ තිබුණාද...?

ඇත්තෙන්ම. පළමු දිනයේම වැඩේට ළමයි 100ක් විතර ආවා. අපිට ලොකු කාලයක් තිබ්බෙත් නැහැ මේකට සූදානම් වෙන්න. දවස් 14ක් වගේ කාලයක් තිබ්බේ සූදානම් වෙන්න. ඒ දවස් 14ට තමයි ළමයි 100දෙනෙක් ආවේ. සංග්‍රහ කටයුතු කල්‍යාණි හේරත් මැණිකේ භාරගත්තා. වැඩේ බොහෝම ලස්සනට සතුටුදායක විදිහට කෙරුණා.

මෙහි ඉදිරි වැඩපිළිවෙළ ගැන කීවොත්....?

මේ පාඨමාලාව මාස 03ක පාඨමාලාවක්. පළමු දිනයේ පටන්ගත්තේ වාදනය විතරයි.ගීත ගායනය මෙහිදී පුහුණු කරනවා. එයට 60-70 දශකයේ පැරණි ගීත තෝරාගෙන තියෙන්නේ. වාදනය කරන්න කැමැති අයගෙන් වාදක මණ්ඩලයක් හදන්න හිතාගෙන ඉන්නේ. ගායනය කරන්න පුළුවන් අයට එය පුහුණු කරනවා. සෑම සිකුරාදාවකම සවස 3:30-5:30 අතර මෙම පාඨමාලාව පවත්වන්නේ. ආධුනිකයන් ප්‍රවීණයන් බවට පත්කිරීමයි මෙහි අරමුණ. තාත්තාගේ අරමුණ වුණේත් ඒකමයි. අපට මෙහි දෙවැනි පරපුරක් ඉන්නවා. වැඩිහිටි පන්තියකුත් කරන්න කියලා යෝජනා ඇවිත් තියෙනවා. එකත් සැලසුම් කරගෙන ඉන්නවා. මේ පාඨමාලාව අවසානයේ අපි වටිනා සහතිකයක් දෙනවා. වැඩිදුර ඉගෙනගන්න කැමැති අයට නැවත මාස 03කින් නැවත පාඨමාලාවක් පටන්ගන්නවා. මෙහි පාඩම් 12ක් කරන්න ඕන. ස්වර ප්‍රස්තාර දරුවන්ට ලබාදෙනවා. මාස 03න් සහතිකය දෙනවා. ආයෙත් අලුත් කණ්ඩායමක් පටන්ගන්නවා.

ආර්.ඒ. චන්ද්‍රසේන අනුස්මරණ සංගීත කලායතනයේ ආරම්භය සිහිකළොත්...?

තාත්තා මේක පටන්ගත්තේ 1951 දෙසැම්බර් 17 වැනිදා. මේ කලායතනය තිබ්බේ මරදානේ සරසවිපාය තිබුණු තැන. එතැන තමයි මුලින්ම අපේ ගෙදර තිබ්බේත්. අම්මා , තාත්තා දෙන්නගේ එකතුවෙන් එතැන කලායතනය නිර්මාණය වුණේ. එතැනට වික්ටර් රත්නායක , නිහාල් නෙල්සන් වගේ අය ආවා. ඔවුනුත් නමක් හදාගත්තේ එතැනින්. පසුව ඒ ස්ථානය ආණ්ඩුවට ගත්තා. පසුකාලයේ තාත්තා කළ සේවයට 1998දී කලාපුරයේ ඉඩමක් ලැබුණා. එතැන අපි ගෙදර හදලා ආර්.ඒ. චන්ද්‍රසේන අනුස්මරණ සංගීත කලායතනය ආරම්භ කළා. 1988දී මට සරසවිපායේ උගන්වන්න අවස්ථාව ලැබෙනවා. ඒ සරසවිපායයි මම ලියාපදිංචි කරන්නේ අ. ඒ. චන්ද්‍රසේන අනුස්මරණ සංගීත කලායතනය නමින්. මේ කලායතනය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලයි තියෙන්නේ.

ඔබේ සැමියාත් රටම දන්න ප්‍රවීණ සංගීතඥයෙක්.ඔබ දෙදෙනාගේ සංගීත දිවිය ගැන කිව්වොත්...?

ඔව්. ඔහු ප්‍රවීණ ගායන, වාදන ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ. ඔහු මීට වසර 03කට කලින් මියගියා. මේ නොවැම්බර්වලට ඔහු මියගිහින් අවුරුදු 03යි. අපේ කැම්පස් එකේමයි ඔහුත් උපාධිය ගත්තේ. අපි දෙන්නම පාසල් ගුරුවරුන්. ඒ කාලයේ අපි දෙන්නම දුෂ්කර සේවයේ හිටියේ. අපි ඒ කාලයේ දරුවන්ට උදව් කළා. සංගිත භාණ්ඩ පවා අරන් දුන්නා. මගේ මහත්තයා බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුවේ සංගීත අධ්‍යක්ෂ වෙලා හිටියා. ඔහු සෑම අධ්‍යාපන කලාපයකටම යනවා.

ඔබ සංගීත විශාරද, ලලිත කලාවේදී උපාධි ලබාගත් අයුරු සිහිකළොත්....?

මුලින්ම බටහිර සංගීතය ඉගෙනගත්තා. තාත්තා නැතිවෙන්න කලින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අයැදුම් කළා. ඒ 1987දී. ඒකත් අම්මා තමයි බලෙන්ම වගේ දැම්මේ. අම්මාගේ වදේටමයි ගියේ කොළඹ හිල්වුඩ්එකට. පළමු - දෙවැනි වාරවල මාව දැම්මේ හොරණට. පළමු වාරය අවසන් වෙද්දී තාත්තා නැතිවුණා. ඊටපස්සේ අම්මා මාව ගෙදරක නැවැත්වුණා. එතකොට සඳුදා ගිහින් සිකුරාදා එන්නේ. ඊටපස්සේ අවුරුදු 04ක් ලලිත කලාවේදී උපාධිය හැදෑරුවා. ඒ අතර සංගීත විශාරදත් කළා. ඒක තනිවම කළේ. ඒ 1983 අවසානයේ වගේ. ලලිත කලාවේදී උපාධිධාරී පත්වීම්වලට අපිට ගුරු පත්වීම් ලැබුණේ නැහැ. සහතිකය අතේ තියාගෙන දුක්වින්ඳා. 1986 ජනවාරියේ ලලිත කලාවේදී උපාධි පත්වීම් දුන්නා. එහිදී මුළු ලංකාවටම ගුරු පත්වීම් දුන්නා. විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කළත් ස්ථිර කළේ නැහැ. ඊටපස්සේ මගේ මහත්තයා ඩබ්ලිව්.ඩී. ආරියසිංහ කිව්වා අපි ඊඥචජඩඪදඨ කරමු කියලා. මහත්තයා නුවර. ඔහු හසලක උඩවෙල බණ්ඩාර විද්‍යාලයේත් මම හසලක යූගොල්ල කනිෂ්ඨයේත් ඉගැන්නුවා.

ඔබ සම්මානයටත් පාත්‍රවුණා නේද....? සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් 2022දී කලාභූෂණ සම්මානය ලැබුණා. 2021දී කොළොම්තොට සම්මානය ලැබුණා

ග්‍රන්ථකරණයටත් ඔබ යොමුවුණා...?

ඔව්. "ස්වර සිත්තම්" නමින් ග්‍රන්ථයක් කළා. අනික තාත්තාගේ ජනප්‍රිය ගීත අරගෙන බටහිර සංගීතයට අනුව ඒක ලියා පොතක් කළා.

කොවිඩ් සමයේ දරුවන්ගේ, මවුපියන්ගේ ආතතිය දුරලන්න ඔබ කීබෝඩ් - පියානෝ ර්‍ණදතඪදඥ ක්‍රමයට නොමිලයේ ඉගැන්වීමකුත් කළා. ඒ ගැන සිහිකළොත්...?

ශ්‍රීලංකාවේ පළමුවරට දිවයින පුරා කීබෝඩ් සහ පියානෝ වාදනය ර්‍ණදතඪදඥ ක්‍රමයට නොමිලයේ ඉගැන්වීම් පටන්ගත්තා. ඒ මගෙන් ඉගෙනගත්ත මංජුල බණ්ඩාර සිසුවා මා හට කළ ආරාධනාවක් අනුවයි. අවුරුදු 05 සිට ඉහළට සියලුම අයට මාස 03ක පාඨමාලාවක් ලෙස මෙය පටන්ගත්තා. පසුගිය කොවිඩ් සමයේ දරුවන්ගේ සහ මවුපියන්ගේ මානසික ආතතිය , මානසික අවපීඩනය , මානසික ගැටලු පැවැති සමයක මූල්‍යමය අතිදුෂ්කරතා ඇති යුගයක මෙවැනි අනගි කටයුත්තක් මංජුල බණ්ඩාර සමඟ ආරම්භ කිරීමම සතුටක්. ඒ වෙද්දී ඔහුගේ මෙහෙයවීම සහ උපදෙස් මත සියලුම සිසුන් ලියාපදිංචි කිරීම් සිදුකළා. කියන්න සතුටුයි ඒ වෙද්දි ඉගෙනුම ලබන දරුවන් ගණන 1100 සීමාව ඉක්මවා ගියා. මේක මගේ ගෝලයකු වුණු මංජුල සමඟ සාකච්ඡා කර ආරම්භ කරන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්...

 

[email protected]