වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අර්බුද මැද සිට හෝ සම්මාන උලෙළ පැවැත්වීම සතුටක්

ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිනමා සම්මාන උළෙලක් වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ පසුගිය 14 වැනි දින සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණ. ලාංකේය සිනමා ඉතිහාසයේ හැත්තෑව දශකයේ මුල භාගයේ බිහිවූ ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ ආරම්භය සිදු වී ඇත්තේ 1979 වර්ෂයේදීය. එයට පුරෝගාමී වූයේ එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය හෙබ වූ ඇන්ටන් වික්‍රමසිංහයන්ය. එතුමන්ගේ සංකල්පයට අනුව ආරම්භ වුණු මෙම සිනමා උලෙළ අඛණ්ඩව වර්ෂයක් පාසා පැවැත්වීමට නොහැකි වූ නමුදු මෙරට විවිධ අවස්ථාවන්හි මුහුණ දුන් සමාජ ආර්ථික, දේශපාලනික හේතුන් මත යම් යම් අවස්ථාවන්හිදි පැවැත්වීමට නොහැකි විද ඇත. කෙසේ වෙතත් මෙවර ජනාධිපති සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණ. මේ පිළිබඳ කතා බහකට එක් වුණු, වර්තමාන චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න සමඟ කළ කතා බහකි මේ.
මෙවර ජනාධිපති සම්මාන උළෙල පැවැත්වුයේ වසර 5ට පසුයි. මෙවර සම්මාන උළෙලේ නව අංගයන් මොනවාද?
අපි අවසන් වරට ජනාධිපති සිනමා සම්මාන උලෙළ පවත්වා තිබෙන්නේ 2019 වර්ෂයේ. එවර අපි සම්මාන ප්‍රධානය සඳහා සලකා බැලුවේ 2016, 2017 සහ 2018 යන වර්ෂයන්හි තිරගත වූ චිත්‍රපට, ඉන්පසු වසර 4ක් යනතුරු අපට සිනමා උලෙළ පවත්වන්න නොහැකි වුණා. ඒකට මේ රටේ පැවතුණු කොරෝනා වාතාවරණය වගේම, ආර්ථික අර්බුදයන් නොයෙක් ආකාරයට බලපෑවා. කොහොම නමුත් නිහැඬියවකින් පසු නැවතත් සම්මාන උලෙළ පැවැත්වීම තමයි මෙතනදි වඩා වැදගත් වන්නේ.
සුපුරුදු පරිදි අපි ප්රදානය කරනු ලබන සම්මාන මෙවරත් ප්රදානය කරනු ලැබුවා. ඒ අනුව හොඳම චිත්‍රපටය, හොඳම අධ්යක්ෂ, හොඳම තිර රචක, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම සහය නිළිය, හොඳම කැමරා අධ්යක්ෂ, හොඳම සංගීත අධ්යක්ෂ, හොඳම ගීත රචක, හොඳම ගී තනුව, හොඳම පසුබිම් ගායකයා, හොඳම පසුබිම් ගායිකාව, හොඳම ශබ්ද සැලසුම් ශිල්පී, හොඳම සංස්කරණ ශිල්පී, හොඳම කලා අධ්යක්ෂ, හොඳම වේශ නිරූපණ ශිල්පී, හොඳම නැඟී එන නළුවා, හොඳම නැඟී එන නිළිය උපරිම පේ්රක්ෂක ප්‍රතිචාර ලද චිත්‍රපටය ජූරියේ විශේෂ සම්මානය, ජූරියේ කුසලතා සම්මානය යන ප්‍රධාන සම්මාන පිරිනමනු ලැබුවා. ඊට අමතරව අපේ ප්රවීණතම සිනමා ශිල්පීන් වෙනුවෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මෙරටට සම්මාන ගෙන දුන් සිනමා ශිල්පීන් වෙනුවෙන් පුරෝගාමී සම්මානය, ස්වර්ණසිංහ සම්මානය සහ විශ්ව කීර්ති සම්මානය පිරිනමනු ලැබුවා. ඒ වගේම ආරම්භක යුගයේ සිටම මේ සම්මානත් සමඟ අපි අති විශාල මුදල් ත්යගයන් ද පිරිනැමුවා. ඒ අනුව මෙවරත් අපි ලක්ෂ 70ට වැඩි මුදලක් මේ මුදල් ත්‍යාග වශයෙන් පිරිනැමුවා.
රජයේ මැදිහත්වීමෙන් පවත්වන ලංකාවේ පවතින එකම සිනමා සම්මාන උලෙළ මෙයයි. ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා ලෙසට මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
1972 වර්ෂයේ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කරන විටම එහි පරමාර්ථ අතර තිබූ දෙයක් තමයි කලාකරුවන් නිසි අගය කිරිමකට ලක් කිරීම මෙයින් සිදුකිරීම. ඒ නිසා මේ සිදුකරන ක්‍රියාදමය අත්‍යාවශ්‍යයෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිදුකළ යුතුය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මමත්, චිත්‍රපට සංස්ථාවේ සෙසු නිලධාරිනුත් මෙය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. අපේ සිනමා ක්ෂේත්රයේ සිටින දක්ෂයින් ඇගයීම මෙන්ම ප්‍රවීණත්වයෙන් ඉහළ දක්ෂයින් නිසි ගෞරව බහුමානයට ලක්කරන්න අපි අනිවාර්යයෙන් බැඳී සිටිනවා. ඒක සංස්ථාවට පැවරී තිබෙන කාර්ය භාරයක්. ඒ නිසා වසර 4ට පසුව මේ පවත්වනු ලබන 20 වැනි ජනාධිපති සම්මාන උලෙළ අපි පැවැත්වුයේ අපට පැවරී තිබෙන කාර්ය භාරයක් ඉෂ්ට සිද්ධ කිරීමට.
ඔබ මේ පැවැත්වුයේ 20 වැනි ජනාධිපති සම්මාන උලෙළ මෙය පවත්වන්නට හැකිවීම පිළිබඳ ඔබට දැනෙන දේ?
සත්‍ය වශයෙන්ම මට ලොකු සතුටක් දැනෙනවා. අපේ සිනමාවේ දක්ෂයින් ප්‍රවීණයින් මෙසේ ඇගයීමට ලක්කරන්න ලැබීම පිළිබඳ ජනාධිපති සම්මානයක් කියන්නේ කලාකරුවෙකුගේ ජීවිතයේ ලැබිය හැකි සුවිශේෂී සම්මානයක්. මෙම උළෙල පැවැත්වීමේදී චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මට සුවිශේෂී මඟ පෙන්වීමක් වත්මන් ජනමාධ්‍ය ඇමැතිතුමා වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙන් ලැබුණා. එතුමන්ගේ මඟපෙන්වීම, සහයෝගය නිසා තමයි මේ ආකාරයට මේ සම්මාන උළෙල පවත්වන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මැතිතුමාගේ. මැදිහත්වීම, අධීක්ෂණය නිරන්තරයෙන් මේ වෙනුවෙන් ලැබුණා. ඒ වගේම සංස්ථාවේ නිලධාරී මණ්ඩලයෙන් මේ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු කළා. ඒ නිසා මම විශ්වාස කරනවා මෙවර සම්මාන උළෙල සාර්ථකව අපට සංවිධානය කර ගන්න ලැබුණා කියලා.
මීට ප්‍රථම මම චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරය හෙබ වූ කාලයේත් සම්මාන උළෙලක් පැවැත්වූවා. ඒ 2014 වසරේ පැවැත්වූ 18 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල ඉතින් වරින් වර අපට දීර්ඝ කාලීනව අඛණ්ඩව මෙම සම්මාන උළෙල පවත්වාගෙන ඒමට විවිධ බාධා ඇති වී තිබෙනවා. ඒකට විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික හේතු බලපාලා තිබෙනවා. ඒක අපට විතරක් නෙමෙයි. බොහෝ දෙනකුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න. නමුත් මේ සියල්ලට මුහුණ දීගෙන අපි කොහොමහරි මෙවර සම්මාන උළෙල සංවිධානය කළා.
විනිශ්චයන් ලබාදීම සඳහා විනිශ්චය මණ්ඩලය තෝරා ගැනීමේදී සැලකිලිමත් වූ නිර්ණායකයන් කවරේද?
ප්‍රධාන වශයෙන් අපි බලාපොරොතු වුණේ සිනමාව පිළිබඳ මනා දැනුමක්, අවබෝධයක්, අත්දැකීමක් ඇති පිරිසක් මේ වෙනුවෙන් සම්බන්ධකර ගැනීමයි. අපට සම්බන්ධ වු සියලු දෙනාම මේ විෂය පිළිබඳ ප්‍රාමාණික උගතුන්. අත්දැකීම් ඇත්තන් විනිශ්චය මණ්ඩලය වශයෙන් 7කු ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් කටයුතු කළා. මේ සඳහා සම්බන්ධ වූ බොහෝ දෙනා තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් සිනමාව වෙනුවෙන්ම කටයුතු කරපු අය. සමහරුන් ඒ පිළිබඳව ශාස්ත්‍රීයව හදාරමින්, පර්යේෂණ කටයුතුවල නියුතු වුණු අය. මේ නිසා මේ හැම දෙනාම ඉතාම අපක්ෂපාතීව, නිවැරැදි තීන්දු තීරණ අපට ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා.
මෙවර සම්මාන ප්රදානය කරනු ලැබුවේ 2019 වසරේ සහ 2020 වසරේ තිරගත වූ චිත්‍රපට උදෙසායි.
ඔව්. වසර දෙකට සම්මාන වෙන වෙනම ප්රදානය වෙනවා. ඒ නිසා වසර දෙකට එක සම්මාන උළෙලක් සූදානම් කළාට මේ කිසිවෙකුටත් ඉන් අසාධාරණයක් සිදුවන්නේ නෑ. ඒ අනුව 2019 වර්ෂය සඳහා අප සලකා බලනුයේ ගින්නෙන් උපන් සීතල, කතා කරන හීන, සිකුරු යෝගය, සංසාරයේ දඩයක්කාරයා, මානය, හුස්ම, ෆේස් ටු ෆේස්, තාල, වැලිපවුරු, සුභා තෙරණියෝ, විජය බා කොල්ලය, රෂ්, විෂම භාග, දැකල පුුරුදු කෙනෙක්, අසන්ධිමිත්තා, සාම කුමරු කතාව, ජය ශ්‍රී ඇමතිතුමා, ප්‍රසිඩන්ට් සුපුර් ස්ටාර්, යූ ටර්න්, නැති බැරි ටාසන්, ඉස්කෝලෙට මං ආවා, තිත්ත ඇත්ත, ගෝරි, රී ලෝඩ්, සංගිලි, සුළඟ අප රැගෙන යාවි, එක රෑනක කුරුල්ලෝ, සකී ර්ථචපබඩඥනච (ඹ්ධජචත ඊචථඪත) උළෙලේනි යන චිත්‍රපට 30යි.
2020 වසර වෙනුවෙන් සුපර්ණා, පාංශු, මිස් ජෙනිස්, සුනාමි, ද නිව්ස් පේපර්, රෑකඩ පැංචි, ද හෝන්, ඇවිලෙන සුලුයි. සූස්ති, ඊතලය, සේද මාවතේ, ෂෙලීනා යන චිත්‍රපට 12 සලකා බැලුනා. මේ වසර දෙකට අදාළව චිත්‍රපට 7ක් අපට ලබාගත නොහැකි වුණා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න