විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණා

-රංගන ශිල්පිනී ගයනා සුදර්ශනී
නොවැම්බර් 23, 2023

 

මේ දිනවල තිරගත වන සුනිල් පේ‍්‍රමරත්න ගේ ‘ලොක් ඩවුන්’ සිනමා පටයෙන් ඇය රිදී තිරයට එක් වෙන්නේ ආදරණීය මිත්තණියකගේ චරිතය නිරූපණය කරමින්. මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ ස්වකීය අනන්‍යතාවය සුවිශේෂී අන්දමින් සනිටුහන් කොට ගත් නිළියක් වූ ඇය පුංචි තිරයේ විවිධ චරිත නිරූපණයන් ගෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තියක්. සිනමා මාධ්‍යය තුළ ඇගේ දක්ෂතාවයන් හැකියාවන් මේ ආකාරයෙන්ම ප්‍රකට කිරීමට ඇයට හිමි වූ අවස්ථාවන් සීමාසහිත වූවද, සීමිත චරිත තුළ ඇය සිය හැකියාවන් උපරීමයෙන් විදහා දැක් වූ තැනැත්තියක්. ඇය ගයනා සුදර්ශනී. ලොක් ඩවුන් චිත්‍රපටය පිළිබඳවත් ඇගේ කලා දිවියේ ඉදිරි තොරතුරු පිළිබඳත් මේ ඈ සමඟ කළ පිළිසඳරකි.

මේ දිනවල තිරගත වන ‘ලොක්ඩවුන්’ චිත්‍රපටයෙන් ඔබ නැවතත් අපේ පේ‍්‍රක්ෂකයන් හමුවෙනවා. මට හිතෙන්නේ ඔබ සිනමාවෙන් පේ‍්‍රක්ෂකයන් හමුවට එන්නේ ටික කාලයකින් නේද?

ඔව්. මම ටික කලකට කලින් කරපු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තිබෙනවා. ලොක් ඩවුන් චිත්‍රපටය නම් ඇත්තටම කොරෝනා කාලය අතරතුරදි කරපු චිත්‍රපටයක්. ලොක් ඩවුන් සිනමා පටය ඇතුළෙ තිබෙන්නේ පොඩි ලස්සන කතන්දරයක්. මට හිතෙනවා මේ චිත්‍රපටය පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා. මේ චිත්‍රපටයට මමයි, සහනුයි දෙන්නම රංගනයෙන් දායක වුණා. චිත්‍රපටය රිලීස් වුණ දවසේ මම ලංකාවේ හිටියෙ නෑ. ඇත්තටම ඒ ගැන මට කනගාටුයි. ඊට පස්සේ ලංකාවට ආ ගමන්ම මම චිත්‍රපටය බලන්න ගියා. එදත් සෑහෙන සෙනඟක් චිත්‍රපටය නරඹන්න පැමිණිලා හිටියා. ඇත්තටම හොඳ ප්‍රතිචාර මේ චිත්‍රපටයට ලැබෙමින් පවතිනවා.

මේ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ මිත්තණියකගේ චරිතයක් නේද?

චිත්‍රපටයේ ඉන්න ආදරණීය පවුලේ පුංචි දරුවාගේ ආච්චි අම්මා විදිහට තමයි මම රඟපාන්නේ. කතාවේ හැටියට කොවිඩ් කාලයේ මේ දරුවා අතුරුදන් වෙනවා. ආච්චි අම්මයි දරුවාගේ අම්මයි, තාත්තයි තමයි මේ ගෙදර ඉන්නේ. ආච්චි අම්මාගේ චරිතය මගේ රංගන ජීවිතයට වෙනසක්. සිනමාවේ, ටෙලි නාට්‍යවල මම විවිධාකාරයේ චරිත රඟපාලා තියෙනවා. මේ චරිතය මට එක්තරා අන්දමක වෙනසක් ගෙන දුන්න චරිතයක්. මම ඕන තරම් පෙම්වතියට රඟපාලා තියෙනවා. ඊට පස්සේ මිතුරියගේ චරිතය කරල තියෙනවා. අම්මාගේ චරිතය ඕන තරම් කරල තියෙනවා. ඒ වගේම ආච්චි අම්මාගේ චරිතයත් මම සතුටින් රඟපෑවා.

මේ චිත්‍රපටයේ ඉන්නේ සුපුරුදු විිදිහට අපි දකින සාම්ප්‍රදායික ආච්චි අම්මා කෙනෙක් නොවෙයි. ගෙදරට සාරිය ඇඳලා, හොඳට ගෙදර වැඩපළ කරන තරුණ ආච්චි අම්මගේ චරිතයක් තමයි මෙතන තිබෙන්නේ මේ චරිතයට මාව යෝජනා කළෙත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ සුනිල් ප්‍රේමරත්න මහත්මයාමයි.

චිත්‍රපට ජීවිතේ ඔබ මහා දුරක් ආපු කෙනෙක් නොවෙයි. මම හිතන්නේ ඔබට හොඳ චරිත ලැබුණා මදි කියලා?

ඇත්තටම ඔව්. ඉදිරියටත් මම කරපු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තිබෙනවා. චන්ද්‍රරත්න මාපිටිගමගේ චිත්‍රපට දෙකක්ම තිබෙනවා තිරගත වෙන්න. අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපටයකුත් තිබෙනවා තිරගත වීමට නියමිත. මගේ සිනමා ජීවිතේ ගැන මට සෑහීමකට පත්වෙන්න බෑ. සිනමාවේ මගේ චරිත ගැන මම පොඩ්ඩක් වත් සැටිස් නෑ. මොකද මම ක්ෂේත්‍රයට ආපු කාලයේම තමයි සිනමාවට පය තිබ්බේ. ඒ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘ඉන්ද්‍රකීලය’ චිත්‍රපටයෙන්. ඒ කාලේ ආව හොඳ චිත්‍රපටයත් ඒක. මම සහ ඩිලානි අබේවර්ධන තමයි චිත්‍රපටයේ හිිටියේ. ඒ වගේම මම වසන්ත ඔබේසේකරගේ ‘දොරකඩ මාරාව‘ චිත්‍රපටයේ රඟපෑවා. ඒ වගේ මම චිත්‍රපට 10 - 15ක් විතර කරල තියෙනවා. හැබැයි මම සිනමාවේ ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. මගේ දක්ෂතාවයත් එක්ක, සිනමාවේ මම ආස කරන අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඒ අයත් එක්ක වැඩ කරන්න මම ආසයි. ප්‍රසන්න විතානගේ, අසෝක හඳගම වගේ මම ප්‍රිය කරන කීප දෙනෙක් ඉන්නවා. මම ටෙලි නාට්‍යවලදී මේ තත්ත්වය ජයග්‍රහණය කරල තියෙන්නේ නමුත් මට සිනමාවේදි එතැන්ට යන්න බැරි වුණා. සමහරවිට මට වාසනාවක් නැතුව ඇති ඒ තැනට එන්න. ඒ නිසා මට හිතෙනවා සිනමාවේ මගේ ස්ථාවරය හදාගන්න මට ලැබුණේ නෑ කියලා.

නමුත් ඔබට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබට අනන්‍ය වූ දෙයක් තියනවා නේද?

මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්නේ 90 දශකයේ මුල භාගයේ. මට මතක විදියට 1993 දී. මම කලාවට එන්නේ ඇත්තටම වේදිකා නාට්‍යවලින්. ඒ කාලේ මම තරුණසේවා සභාවේ නැටුම් කණ්ඩායමේ හිටියේ. ඒ ගමන්ම මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. හොඳ වේදිකා නාට්‍ය 6 - 7 මම ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ අතර තමයි මට ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මගේ පළවැනි ටෙලි නාට්‍යය කඳපොල කුමාරතුංගයන්ගේ ටෙලි නාට්‍යයක්. ඒ කාලේ එක දිගටම පෙම්වතියගේ චරිතය තමයි රඟපෑවේ. මගේ ටෙලි නාට්‍ය ගමනේ වෙනසක් ඇතිවෙන්නේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘මඟුල් සක්වළ’ ටෙලි නාට්‍යයෙන් පස්සෙ. ඒ නාට්‍යයෙන් සම්මානයටත් පාත්‍ර වුණා.

ඔබේ ටෙලි නාට්‍ය ජීවිතේ සුවිශේෂී කඩඉම් විදියට ඔබ සලකන්නේ මොනවද?

මගේ ටෙලි නාට්‍ය ජීවිතේ මුල් කාලේ මමත් එක තැනකටම කොටු වෙලා හිටියා. ඊට පස්සේ අපි කිසියම් සන්ධිස්ථානයට ආවට පස්සේ අපි ආසයි මහන්සිවෙලා, දුක් විඳලා, පොළොවේ පය ගහලා කටුක ජීවිතේ විඳින චරිත කරන්න. සුකොමළ පේ‍්‍රමවන්තියම නොවන චරිත කරන්න කැමැතියි. දැන් මගේ ජීවිතේ සුදත් රෝහණගේ ටෙලි නාට්‍ය 6- 7 ක මම වැඩ කරලා තියෙනවා. ඒක නිළියකගේ ජීවිතේට ලැබෙන මාර අත්දැකීමක්. ඒ ජීවිතේ හරි කටුක ජීවිතයක්. ඒ දවස් ගාණම අපි ගෙවන්නේ දුෂ්කර අවධියක්. සමහර වෙලාවට අපිට ඇඟපත හෝදගන්න ඒ පළාත් වල නෑ. එච්චරම දුෂ්කර පළාත්වල තමයි ඒ ටෙලි නාට්‍ය කළේ. සමහර ඒ කාලවල මහ කැලෑවල්වල කොච්චර දුෂ්කර අත්දැකීමකට මුහුණ දුන්නත් ඒක පස්සේ අපට ලොකු සතුටක්. අපි විනාස වෙලා අපි කළුවෙලා ගන්න දෙයක් නැතුව තමයි අපි කොළඹට එන්නේ. නමුත් ඒ රඟපෑම අපේ මුළු ජීවිත කාලයටම වටිනවා. ආයෙ කවදාවත් ඒක අපිට ලබාගන්න බෑ. ඒ වගේ චරිත තමයි අපට අවශ්‍ය. මේ වගේ චරිත මම කීපයක්ම කරලා තියෙනවා. ‘ඔරු බැඳි සියඹලාව, සුදු හාමිනේ, මාද ඔබම විය, වෙස් ගත්තෝ, සුදත් රෝහණයන්ගේ ටෙලි නාට්‍ය 5ක් විතර මේ අතර තිබෙනවා.

ඒ වගේම මගේ මහත්තයා සහන් විජේසිංහත් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා. මට හම්බ වුණේ නැති චරිත එයා සමහර තිර රචකයන්ට ලියන්න කිව්වා. මට කළ හැකි චරිත ඔහු සමහර විට මට නිර්මාණය කරලා දුන්නා. අදටත් මිනිස්සුන්ගේ මතකයේ තියෙන්නේ ඒ චරිත.ඒක මම හිතනවා මං ලබාගත්ත ලොකු ජයග්‍රහණයක් කියලා.

ඕනම නළුවෙකුට හෝ නිළියකට සිනමාව කියන්නේ හීනයක්. ඉදිරි සිනමා ජීවිතය තුළ ඔබට අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්නවද?

අනිවාර්යෙන්ම මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අපේ වයස බලපාන්නේ නෑ චරිතයට කියන එක. බටහිර චිත්‍රපට ගත්තොත් වයසට ගිහින් නළු නිළියන්ට ඉතාම හොඳ චරිත තිබෙනවා. ගොඩක් වෙලාවට බටහිර රටවල මේ නළුවන්ට, නිළියන්ට තිබෙන ඉල්ලුම වැඩියි. අපේ ඇඟේ තිබෙන දේ තාමත් අපට ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ මුහුණින් ප්‍රකාශ කරන හැඟීම් සඳහා වයස බලපාන්නේ නෑ. ඉදිරියට වුණත් එහෙම චිත්‍රපට හැදෙනවා නම් දායක වෙන්න කැමැතියි. ලංකාවේ ටිකක් අඩුයි එහෙම චිත්‍රපට හැදෙනවා. බොහෝ විට අපේ වෙන්නේ තරුණ පරම්පරාව මූලික කර ගත්ත නිර්මාණ. අපේ කට්ටිය එක ලේබලයකට කොටු වෙලා ද කියලත් හිතෙනවා. සමහර වෙලාවට ප්‍රධාන චරිතයට ගන්න නිළියට ඇක්ට් කරන්න බෑ. ඉස්සර එහෙම නොවෙයිනේ අපි උදාහරණයකට විජය කුමාරතුංග ගත්තොත් ඔහුගේ මුහුණින් ඇඟෙත් මුළු ආත්මයෙන්ම ඒ චරිතය ඇතුළත් වෙනවා. ආදරය ගත්තත් එහෙමයි. විජය - මාලනී ආදරේ කරනකොට අපි හැමෝටම ඒ ආදරය දැනෙනවා. එදා ඒ ගොල්ලන්ගේ ඇඟවල් වලින්ම ඒ ආදරය ප්‍රකාශ කළා. අද ආදරය ප්‍රකාශ කරන්නේ ශරීරයෙනුත් යම්තාක් දුරට ඈත් වෙලානේ. මම ආසයි එදා සිනමාව වගේ එවැනි දේවල් අදටත් කරන්න. එහෙම සිනමාවක් ලංකාවෙන් ඉදිරියට බිහිවෙයි කියලා මට හිතෙනවා.

ඔබ සිනමාවට, ටෙලි නාට්‍යයට පිවිසෙන්නට ප්‍රථම වේිදිකාව ඇසුරු කරපු තැනැත්තියක්. වේදිකාව කියන්නේ හරියට රංගන පාසලක් වගේ දෙයක්.ඔබේ රංගන දිවියට ඒක වැදගත් වුණේ කොහොමද?

මම ඊයේ පෙරේදා ටෙලි නාට්‍යයට දායක වීමේදී අපේ ප්‍රවීණ රංගන ශිල්පියෝ සමඟ කතා බහ කර කර හිටියා. මේ ටෙලි නාට්‍යයේ ඉන්න ප්‍රධාන චරිත සින්දු කියලා නටලා ජනපි‍්‍රය වුණු චරිත. ඒ අයට ප්‍රවීණ චරිත දෙක තුනකුත් තිබෙනවා. මේ ළමයින්ට චරිතය අවබෝධ කරගන්න, චරිතය ගැන හිතන්න. ප්‍රවීණ නළුවෙකු සමඟ මේ සම්බන්ධ කතා කරන්න කිසිම හැඟීමක් ඔවුන්ට නෑ. අපි නම් ඉස්සර ප්‍රවීණ නළු නිළියෝ රඟපාන දිහා ඇස් නොපියා බලාගෙන ඉන්නවා. නමුත් දැන් ඉන්න මේ නළු නිළියන්ට එහෙම හැඟීමක් නෑ. ඒ අය ගිරව් වගේ ඩයලොග් ටික කිව්වා. ඒ අයගේ ෆෝන් එක ගත්තා. ඒ අය ඒ ජීවිත වල. ඉතින් අද මේ රංගනය කියන එක ඒ තත්ත්වයට පත්වෙලා. බොහෝ වෙලාවට ඔවුන් කරන්නේ. චැනල්වල නටන අයයි සින්දු කියන අයයි ප්‍රධාන චරිතවලට දාගන්න එක.

නමුත් අපේ කාලයේ තිබෙන වටිනාකම තමයි අපි මෙතනට ආවේ දෙයක් හදාරලා. වේදිකාවට පය තියලා එතනින් ගුරු හරුකම් ගන්නව කියන්නේ ඒක නළුවෙකුට නිළියකට රංගන පාසලකට ගියා වගේ දෙයක්. අපි අද මෙතනට ආවේ එහෙම. මම සෝමලතා සුබසිංහ වැනි ප්‍රවීණ නාට්‍යවේදිනියගේ ඇසුරේ මේ දේවල් ප්‍රගුණ කළා. ජයන්ත රණවක කියන්නේ මගේ ගුරුවරයා. මම වේදිකාවෙන් දෙයක් ඉගෙන ගත්තා නම් මම ඒ තැනට ගෙනාවේ ජයන්ත රණවක. මේ හරහා මම ඉගෙන ගෙන තමයි අද මෙතනට ඇවිත් තියෙන්නේ. එතකොට මම තවත් ඉගෙන ගන්නවා. මට වඩා ප්‍රවීණ කෙනෙක් රඟපානවා නම් මම ගිහින් බලා ඉන්නවා. ඒකෙන් අපි තවත් ඉගෙන ගන්නවා. ජෝ මහත්මයා ගාමිණි ෆොන්සේකා මැතිතුමා, ස්වර්ණා මල්ලවාරච්චි මැතිනිය වැන්නන්ගේ රංගනයන් කියන්නේ අපේ රටේ රංගන පාසල් තමයි. මම අහල තියනවා අද ඉන්න බොහෝ තරුණ ළමයි මැසිවිලි නගනවා රංගනය ඉගෙන ගන්න තැනක් නෑ කියලා. නමුත් ඔය තියෙන්නේ අපේ රටේ රංගන පාසල්. ඔය රංගනයත් ඇසුරු කරනවා කියන්නේ රංගන පාසල් තමයි.

පසුගිය කාලවල මම දැක්කා මහේන්ද්‍ර පෙරේරා, අනෝජා වීරසිංහ වැනි අයගේ රංගන ආයතන වලින් නළු නිළියන් අරගෙන නිර්මාණ කරලා තිබෙනවා. ඇත්තටම ඒවා කොයි තරම් සාර්ථකද? ඒ නිසා ටෙලි නාට්‍ය කලාව විනාස නොවී තියෙයි. මේ වගේ දෙයක්, යමක් කමක් දැනුම්වත් තරුණ තරුණියෝ මේ ක්ෂේත්‍රයට ආවොත්. අද ඉන්න සමහර දරුවෝ තමන් සමඟ එකට රඟපාන ප්‍රවීණ නළුවගේ නිළියගේ නම දන්නේ නෑ. මේ ළඟදී මම කළා සිවගුරුනාදන් මහත්මයාගේ ටෙලි නාට්‍යයක් ඒකෙ ඉන්න ප්‍රධාන නිළිය මගෙන් අහනවා මගේ නම මොකක්ද කියලා. මම ඉතින් ඒ වෙලාවට ලොකු අපහසුතාවයකට පත් වෙනවා. එයා හොඳටම දන්නවා මේ නාට්‍යයේ අම්මගේ චරිතය කරන්නේ අහවලා කියලා. එයා දන්නෙ නැත්තම් හොයලා බලලා අහලා දැනගෙන එන්න ඕනනේ. සෙට් එකේදි මගේ නම මොකක්ද කියල අහන එක නෙමේනේ වැඩේ. නමුත් අපි ආධුනිකයින් විදිහට මේ ක්ෂේත්‍රයට එනකොට ඔහොම කළේ නෑ. අපි සියල්ල දැනගෙන අධ්‍යයන කරලා තමයි සෙට් එකට ආවේ. ඉතින් අද එහෙම තත්ත්වයකට තමයි මේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පත්වෙලා තියෙන්නේ.

ඔබේ කලා ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙන්න ඔබේ සැමියා සහන් බලපෑවද?

අනිවාර්යෙන්ම ඔව්. ඇත්තටම මට සහන් හම්බ වුණේ ගොඩක් පරක්කුවෙලා. සහන්ටත් ඒ වගේ. අපේ ජීවිතේ යම් යම් ගැටලු, ප්‍රශ්න හැම දෙයක්ම එක්ක අපි දෙන්නා පරක්කු වෙලා මුණ ගැහුණේ. අපි දෙන්නා එතෙක් තනි තනිව ගිය ගමන අපේ හමුවීමෙන් පස්සේ එකතු වෙලා ගියා. අපි විවාහ වුණෙත් පහුවෙලා. ගොඩක් දේවල් හඳුනාගත්තට පස්සේ තමයි අපි විවාහ වුණේ. ඒක නිසාම අපි දෙන්නට ජීවත්වීම හරි පහසු වුණා. අවුරුදු 7ක් ආදරය කරලා අපි විවාහ වුණේ. සහන් එතකොටත් නිෂ්පාදකවරයෙක්, නළුවෙක්, මම ප්‍රසිද්ධ නිළියක්. මේ සියල්ල එකතු වෙලා මම එයාගේ නිෂ්පාදන කටයුතු වලට සහයෝගය දීගෙන, එයා මගේ රංගන කටයුතු වලට සහයෝගය දීගෙන අපි දිගු ගමනක් ආවා.

අපි අද වනතුරු හරිම සොඳුරු දිවියක් ගෙවනවා. මේ කාලය ඇතුළත අපිට ප්‍රශ්න බාධක ආවෙ නැතුව නෙමෙයි. අපි ඒවා විසඳගෙන අවුරුදු 20ක් විතර සහයෝගයෙන් ජීවත් වෙනවා.

මේ දවස්වල සහන් ඉන්නේ ඔබෙන් දුරස්වෙලා නේද?

අනේ ඔව්. සහන් මේ දවස්වල ඉන්නේ ඇමරිකාවේ. හරිම අමාරුවෙන් අපි දෙන්නා දෙපැත්තේ ඉන්නේ. සහන්ට එහේ ට්පඥඥද ජචපඤ තියනවා. එහෙම තිබුණට ගොඩක් වෙලාවට එයා එහේ මාසයක් වත් හිටියේ නෑ. පසුගිය කලේ. මාව දාලා එයා ඉන්න කැමැති නෑ. නමුත් මේ පාර එයා ගියා. පසුගිය කොවිඩ් කාලය නිසා අවුරුදු 3 -4 ක් යන්න බැරි වුණා. එයාට එහේ මේ පාර අවුරුදු 1 1/2ක් රැඳෙන්න වුණා. මොකද අපි දන්නෙ නෑ ඉදිරිය මොනව වෙයි ද කියලා. ලංකාවේ ඉන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද දන්නෙ නෑනේ. එහෙම වුණත් පිටරටකට ගිහින් තමයි අපිට ඉන්න වෙන්නේ. ඒ නිසා ඒ ගැනත් අපි බලන්න ඕනනේ. සහන් අමාරුවෙන් හරි එහේ රැඳිලා ඉන්නේ ඒ නිසයි. මමත් ඉතින් කොහොමහරි ඉවසා දරාගෙන සිටිනවා. අපි විවාහ වුණාට පස්සේ මේ තරම් දීර්ඝ කාලයක් අපි මේ විදිහට දෙපැත්තක හිටියමයි මේ,

ඉදිරි නිර්මාණ කටයුතු සැලසුම් කරලා තියෙනවද?

සහන් ආවට පස්සේ කරන්න දේවල් ටිකක් ලෑස්ති කරගෙන යනවා.

පසුගිය කාලයේ ඔබ දීර්ඝ සංචාරයක නියුතු වුණා ඔස්ට්‍රේලියාවේ නේද?

ඔව්. ඒකටත් ප්‍රධානම හේතුව වුණේ සහන් නොමැතිව මම මෙහේ තනියම සිටීම. මගේ මල්ලී ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. පසුගිය කාලෙත් මල්ලි මට එන්න එන්න කියලා කිව්වා. නමුත් මගේ අම්මයි, තාත්තයි හිටපු නිසා ඒ දෙන්නා දාලා යන්න බැරි නිසා මම ගියේ නෑ. දැන් මගේ අම්ම තාත්තත් නැති නිසා සහනුත් ලංකාවේ හිටියෙ නැති නිසා මම මල්ලි ළඟට ගිහින් ටික දවසක් ඉඳලා ආවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]