ආසු අන්තර්ජාතික උලෙළවල් සඳහා නිර්මාණය කළේ නැහැ

අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර
නොවැම්බර් 23, 2023

‘දැවෙන විහඟුන්, ඉගිළෙන මාළුවෝ’ වැනි සිනමා චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සිනමාවේ නම රැන්ඳු තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සේම තිරරචකයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය ‘ආසු’ මේ දිනවල සිනමාශාලා රැසක තිරගත වෙයි. සිය නවතම සිනමා නිර්මාණය පිළිබඳවත් සිය සිනමාකරණය පිළිබඳවත් අදහස් දැක්වීමේ අරමුණින් ඔහු මෙසේ සරසවිය හා එක්විය.

ඔබේ නවතම චිත්‍රපටය වන "ආසු" නිර්මාණයට පෙලැඹුණු ආකාරය පැහැදිලි කළොත් ...?

"ආසු" නිර්මාණය කරන්න අඩිතාලම වැටුණේ මෙහෙමයි , මැලේසියා, සිංගප්පූරු කොම්පැනියකින් මට ආරාධනාවක් කළා මැදි වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරන්න කියලා. ඒ ඔවුන්ගේ සිනමා උළෙලක් වෙනුවෙන් පටන්ගත්ත ව්‍යාපෘතියකට. එතැනදී මම තීරණය කළා වෘත්තාන්ත චිත්‍රපටයක් කරන්න ඕන කියලා. එය තමයි "ආසු" විදිහට නිර්මාණය වුණේ.

"ආසු" තේමාව ගොඩනැඟුණු ආකාරය විස්තර කළොත්...?

මෙහි තේමාව විදිහට ආසියානු කලාපයේ පුරුෂාර්ථ, වටිනාකම් ගැනයි යෝජනා කර තිබුණේ. ඒ කාලයේදී ඉන්දිරා ජයසූරිය කතාව අපේ අවධානයට යොමුවුණා. මෙහි අන්තර්ගතය සත්‍ය කතාවක්. ඒවගේ සත්‍ය කතාවක් චිත්‍රපටයකට නිර්මාණය කරද්දී සමහර දේවල් වෙනස් කරන්නත් වෙනවා. සමහර දේවල් වෙනස් නොකර ඉන්නත් වෙනවා. මෙහි ප්‍රධාන චරිතය වූ ඉන්දිරා ජයසූරිය ජීවත්වුණේ එංගලන්තයේ . ඒවගේම අපේ එහි තිබූ දාර්ශනික හරය ඒ ආකාරයටම ආරක්ෂා කරමින් නවමු ආකාරයට ගොඩනැඟුවා. ලංකාවේ භූමියට උචිත පරිදි ඒ සියල්ල පරිවර්තනයට ලක්කළා.

විශේෂයෙන් මෙහි ප්‍රධාන චරිතය වූ "නෙළුම්" ගේ චරිතයට උදාරි වර්ණකුලසූරිය තෝරාගැනීමත් සෙසු චරිත සඳහා රංගන ශිල්පීන් තෝරාගැනීමත් ගැන කතා කළොත් ...?

මෙහි ප්‍රධාන චරිතය නෙළුම්.එතැනදී උදාරිට ඒ චරිතයේ බාහිර හා අභ්‍යන්තර වෙනස්කම් හසුකරගන්න පුළුවන් වුණා. ඇයට මේ චරිතය විශ්වසනීය ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් කියා සිතුණු නිසා උදාරිව "නෙළුම්"ගේ චරිතයට තෝරාගත්තා..අනෙක් චරිතයන් සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු , චාන්දනී සෙනෙවිරත්න , සෝමරත්න දිසානායක වගේ පිරිසක් තෝරාගත්තා.

"ආසු" චිත්‍රපටය අන්තර්ජාතික තලයේ පිළිගැනීම කොහොමද ...?

මේ චිත්‍රපටය අපි ප්‍රධාන වශයෙන් කළේ විදෙස් සමාගමක ඉල්ලීමකටනේ. එතැනදී අපි මේ චිත්‍රපටය විදේශ වෙළෙඳපොළේ සහ සිනමා උළෙලයන් නියෝජනයට තීරණය කළේ නැහැ. ටෝකියෝ අන්තර් ජාතික සිනමා උළෙලට සහ ප්‍රදර්ශනයට තීරණය කළා මිසක් අන්තර්ජාතික තලය බලාගෙන කළ නිර්මාණයක් නම් නෙවෙයි .

ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරයට "ආසු"ගේ බර දැනෙන්නේ කොහොමද ...?

සීමිත සිනමාශාලා රැසකට පමණයි චිත්‍රපටය පෙන්වන්නේ. චිත්‍රපටය සිනමාශාලාවල හොඳීන් ප්‍රදර්ශනය වෙනවා. විචාරක, ප්‍රේක්ෂක අදහසුත් හොඳයි වගේ.

ඔබේ අනෙකුත් සිනමා නිර්මාණ සමඟ සැසැඳීමේදී "ආසු" කවර තැනක ස්ථානගත කළ හැකිද....?

ඒ ගැන පිළිතුරක් දෙන්න බැහැ..ඒක විචාරකයන්, ප්‍රේක්ෂකයන් තීරණය කළයුතු දෙයක්. "ආසු" චිත්‍රපටය තුළින් කියැවෙන්නේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක පුද්ගල අභ්‍යන්තරයේ සහ පවුල අතර සිදුවන ගැටුම්කාරී තත්ත්වයක් කියන්න පුළුවන් . මේක පුද්ගල කේන්ද්‍රීය චිත්‍රපටයක් . මගේ කලින් චිත්‍රපටවල සිනමා සෞන්දර්ය වෙනස්..ඒක පැහැදිලිවම පේන දෙයක්. ඒ නිර්මාණ තුළ කියැවෙන සමාජ, දේශපාලන තත්ත්වය සහ "ආසු" චිත්‍රපටයේ සමාජ, දේශපාලන වාතාවරණය වෙනස්. කෙසේ නමුත් මගේ අනිකුත් සිනමා නිර්මාණ සමඟ "ආසු" සන්සන්දනය කර ඒ පිළිබඳ පැහැදිලි විග්‍රහයක් දීම විචාරකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට මම භාරකරනවා....

ඔබගේ නිර්මාණ භාවිතයේදී චරිතවල අභ්‍යන්තරයට කිඳාබැස අභ්‍යන්තරය ප්‍රශ්න කිරීම කලාත්මකව සිදුකරන බව පේනවා. ඒ පිළිබඳ පැහැදිලි කළොත් ..?

මගේ චිත්‍රපටවල ප්‍රේක්ෂකයා සමඟ ගනුදෙනු කරන චරිතයක් තිබෙනවා. ඒ මතයි අනෙක් චරිත දිවයන්නේ. ප්‍රේක්ෂකයා සෑමවිටම චරිතයේ ගමන් මාර්ගය දිහායි බලාගෙන ඉන්නේ. මම පෞද්ගලිකව කතන්දර කීමේ කලාවStory Telling) විශ්වාස කරනවා. ඒක තවකෙනෙක් ප්‍රශ්න කරනවා වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඒ කතන්දරය සෞන්දර්යාත්මක මූලධර්ම මූලික කරගෙන සිදුවිය යුතුයි කියලා. එසේ චරිත කේන්ද්‍රවයි මම ආඛ්‍යානය සිදුකරන්නේ .

සිනමාවට යොමුවූයේ අහම්බයෙන්ද..? නැත්නම් පාසල් අවධියේ සිට එයට කැමැත්තක් තිබුණාද....?

මම ඇත්තෙන්ම කොළඹට ආවේ කලාකාරයෙක් වෙන්න හිතාගෙන නෙවෙයි. මම චිත්‍රපට නැරඹුවා. ඒ චිත්‍රපට නැරඹීමට යොමුවීම තුළින් සිනමාකරුවෙක් වෙන්න ඕන කියලා හිතුවා.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමාව හැදෑරීමත් ඔබේ සිනමාගමනට තල්ලුවක් වුණා නේද....?

මම 2007දී තමයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමාව හැදෑරුවේ. එම ඩිප්ලෝමාව අවසානයේ හොඳම ශිෂ්‍යයා වුණේ මමයි. ඉන්පසුවයි මට ශිෂ්‍යත්වයක් ලැබුණේ. ඒ ශිෂ්‍යත්වය කොරියානු රජයෙන් ලංකාවේ එක ශිෂ්‍යයෙකුට ලැබුණේ. සිනමාකරණ ඩිප්ලෝමාවේ වැඩිම ලකුණු අරගෙන තිබුණේත් මමයි තවත් කිහිපදෙනෙකුයි විතරයි . එතැනදී කොහොමහරි ඉහළම ලකුණු ලබාගැනීමේ පදනමින් මට ඒ ශිෂ්‍යත්වය සඳහා අවස්ථාව ලැබුණා . ඒ වගේම මම කොරියාවේ සෝල්නුවර "චුන් අන්ග්" විශ්වවිද්‍යාලයේ සිනමාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තා. දැන් Ph.d උපාධිය සඳහා මම සූදානම් වෙනවා. ඒ උපාධිය හදාරන අතරතුරේ තමයි "ආසු" චිත්‍රපටය කරන්න මෙවර ලංකාවට ආවේ.

"ආසු" නිර්මාණයේදී රංගන ශිල්පීන් සහ සෙසු කාර්මික පිරිසගෙන් ලද සහය සිහි කළොත්...?

මෙහිදී හැමෝම මට නිර්මාණය සාර්ථක කරගන්න උපරිම සහයක් දුන්නා. කැමරා අධ්‍යක්ෂණය කළ විශ්වා බාලසූරිය , වර්ණ සංයෝජනයෙන් දායකවූ ආනන්ද බණ්ඩාර දක්වා ඔවුන්ගේ උපරිමය මට දුන්නා. අජිත් කුමාරසිරි, නාමිනී චංචලා සංගීත අධ්‍යක්ෂණයට දායක වුණා. අජිත් අලහකෝන් ඇඳුම් නිර්මාණයෙන්ද , නාරද ධනංජි තොටගමුව වේශ නිරූපණයෙන්ද මට හොඳ සහයක් දුන්නා. නළුනිළි පිරිස ගත්තොත් විශේෂයෙන් ප්‍රධාන චරිතය නිරූපණය කරන උදාරි ඇතුළු ශ්‍යාම් ප්‍රනාන්දු , චාන්දනී සෙනෙවිරත්න , සෝමරත්න දිසානායක වැනි රංගන ශිල්පීන් "ආසු" සාර්ථක කරගන්න ඔවුන්ගේ උපරිමයෙන් කැපවුණා කිව්වොත් හරි.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට අදහසක් නැද්ද....?

දැනට නම් එහෙම අදහසක් නැහැ. ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා කියන්නේත් ඉතින් ටිකක් කල්ගතවෙන වැඩක්නේ. අනාගතය ගැන දැන්ම කියන්න බැහැ.දැනටනම් ඒ ගැන අදහසක් නැහැ

ඔබේ නිර්මාණවලින් ඔබ වඩාත් ආසක්ත වූ නිර්මාණය කුමක්ද ...?

මගේ චිත්‍රපට සියල්ලටම මම කැමැතියි. ඒ අතර "ඉගිළෙන මාළුවෝ" චිත්‍රපටය විශේෂයි. මා ප්‍රියකරන සිනමාකරණය තිබෙන්නේ එහියි. නැතහොත් එක්තරා විදිහකින් මගේ ආත්මීය ප්‍රකාශනය "ඉගිළෙන මාළුවෝ" තුළ ගැබ්ව තියෙනවා කිව්වොත් හරි.

ඔබේ සිනමාකරණයට බලපෑ අධ්‍යක්ෂවරුන් සිහිකළොත් ..?

බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් ගත්තොත් "ඉන්ග්මාර් බර්ග්මාන්, ආන්ද්‍ර්‍රේව් තර්කොව්ස්කි, යෂුෂිරෝ ඔසු" වගේ පිරිස විශේෂයි. සත්‍යජිත් රායි මම බොහෝ සේ ගරුකරන අධ්‍යක්ෂවරයෙක් ප්‍රංශ නවරැල්ලේ ප්‍රංශුවා ටෘෆෝ ආදීන්ගේ ආභාසය මගේ සිනමා දිවියට බොහෝ සෙයින්ම බලපෑමේ

මෙරට වත්මන් සිනමා ප්‍රේක්ෂකාගාරය ගැන තෘප්තිමත් වියහැකිද...?

අද චිත්‍රපට බලන්න එන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව අඩුයි කියන්න බැහැ . එහෙම එකක් නැහැ . ඒක මටනම් පිළිගන්න බැහැ. චිත්‍රපට ගත්‍තොත් එක් එක් වර්ගයේ චිත්‍රපට නිර්මාණය වෙනවා. කලාත්මක, වාණිජ ආදී වශයෙනුත් එක් එක් ශානරවලින් යුතු චිත්‍රපටත් බිහිවෙනවා .එතැනදී ප්‍රේක්ෂක රසවින්දනය එකිනෙකාට සාපේක්ෂව වෙනස් වෙනවා. හැමෝම "ආසු" බලන්න එන්නෙත් නැහැ. හැමෝම "කතුරු මිතුරු" බලන්න එන්නේත් නැහැ..මෙතැන වෙලා තියෙන ප්‍රධානම දේ තමයි හොඳ සිනමාශාලා නොමැතිවීම. මේකට මම නම් හිතන්නේ සිනමා සංකීර්ණ ඉඳීවීමයි වැදගත් වෙන්නේ. ජ.ජ.ජ., ගම්පහ රීගල් වගේ සංකීර්ණවල සිනමාශාලා 03ක්වත් හදන්න පුළුවන් නම් හොඳයි. දෙවැන්න හොඳ චිත්‍රපට නිර්මාණය වෙන්න ඕන. අද සිනමා ප්‍රේක්ෂකයාගේ දැනුමත් හරිම ඉහළයි. විවිධ තලවල සිනමා දැනුම ඇති පිරිසක් සිටීම නිසා දැනුම දියුණු කරගැනීමට සිනමා පාසලක් අපේ රටට අවශ්‍යයි. ඉහත සඳහන් කළ දේවල් සම්පූර්ණ වුණාම සිනමා ප්‍රේක්ෂකාගාරයත් සම්පූර්ණ වෙනවා. චිත්‍රපටවල ස්වාභාවය වෙනස්වෙන්න පුළුවන්. ඒත් ඒ චිත්‍රපට බලන්න ඒ කාලයේ මිනිස්සු ආවා.

"ආත්ම බද්ධ සිනමා රූප, බ්භථන ඛ්භබ එකක්" වැනි සිනමා ග්‍රන්ථ ඔබ රචනා කළා. ඒගැන යමක් පැවැසුවොත්....? නැවත පොතක් කියන්න අදහසක් නැද්ද...?

එහෙම බලාපොරොත්තුවක් නම්නැහැ. . මොනවා හරි කළානම් හොඳයි කියලත් හිතෙනවා. මගේ "ආත්ම බද්ධ සිනමා රූප" කියන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ මගේ සිනමාකරණ ඩිප්ලෝමාවට අදාළ නිබන්ධනය කිව්වොත් හරි. 2009දී කොරියාවේ ජීවත්ව සිටියදී මා ඉගෙනගත් දේ සහ සිනමාකරණය ගැන හැඳීන්වීමක් කරමින් විශේෂයෙන් කොරියානු සිනමාව හඳුන්වා දෙමින් මා විසින් ලියන.ලද ග්‍රන්ථය තමයි "Jump Cut"  1ක් , කියන්නේ.

තිරගතවීමට නියමිත ඔබේ "විහඟ ප්‍රේමය"'සහ "අම්මා" චිත්‍රපට ගැන හැඳීන්වීමක් කළොත්....?

"විහඟ ප්‍රේමය' යනු මගේ අලුත් චිත්‍රපටයයි. එහි තිරරචනය සහ අධ්‍යක්ෂණය මගේ. ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන 09වැනි ඒෂියන් වර්ල්ඩ් අන්තර්ජාතික සිනමා උළෙලේ (Asian World International Film Festival )  නිව් හොරොයිසන් (New Horizon) තරඟකාරී අංශයට තේරී තිබෙනවා . ඒ අනුව එම අංශය Star Asian International Film Festival  සමඟ ඒකාබද්ධව පිරිනමන හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානයට තරඟ වදිනවා. මේ සිනමා උළෙල ලොස් ඇන්ජලීස් නුවර, කල්චර් සිටි නගරයේදී පැවැත්වෙනවා.නොවැම්බර් 12 Culture Theater  හිදී "විහඟ ප්‍රේමය" ප්‍රදර්ශනය වුණා. විහඟ ප්‍රේමයේ සබීතා පෙරේරාගේ රංගනයට මම වඩාත්ම කැමැතියි . මෙහි රංගනයෙන් දයක වන පිරිස ගැන කිව්වොත් සබීතා පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා , අමිත්ත වීරසිංහ, ඩිනාරා පුංචිහේවා, අකලංක ප්‍රභාෂ්වර, ඉතාලි ජාතික ප්‍රකට රංගන ශිල්පියකු වන ලොරන්ස්සෝ අක්කුච්චා ආදීන් නම් වශයෙන් මතක් කරන්න පුළුවන් . මෙහි නිෂ්පාදන අර්ථපතීත්වයෙන් මට අමතරව අමිල අබේසුන්දර එකතුවෙනවා. ඊට අමතරව ඉතාලියේ ෆිල්ග්‍රිම්ස් සමාගම වෙනුවෙන් අන්ද්‍රෙයා මැග්නාති සහ කියාරා බාබෝන් දායකවෙනවා. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ සමඟ යුගන්ති යශෝධරා දායක වෙනවා.. "අම්මා" චිත්‍රපටයේ තිරරචනය අවසන් කරමින් සිටින්නේ. එහි වැඩකටයුතු ලබන වසරේ සිදුකරන්න සැලසුම් කරගෙන ඉන්නවා.

 

[email protected]