වාදනය බැරිවුණාට තනු නිර්මාණය මට පුළුවන්

ප්‍රවීණ ගායනවේදී , ජායාරූප ශිල්පී දයාන් විතාරණ
නොවැම්බර් 23, 2023

පියවී ඇසින් ඔබ දකින සුන්දරත්වය තෙවැනි ඇසින් ඔහු දුටුවේ කිසිවකුත් නොදකින අපුර්වතම දෘෂ්ටි කෝණයකිනි. ඒ නිසාම ඔහු මෙරට ඡායාරූප කලාවේ එක් සලකුණක් විය. අසූව දශකයෙන් පසු හෙළ සිනමාවේ බිහි වූ බොහෝ කලාකරුවන්ගේ කලාකාරිණියන්ගේ ආදරණීය ඡායාරූප ශිල්පියා වුයේ ඔහුය. කලා ලෝකයේ බොහෝ අයගේ රුව තෙවැනි ඇසින් ජීවමාන කළ මෙම පුද්ගලයා අනූව දශකයේ අගභාගයේ මෙරට සංගීත ලෝලීන් අතරට එක් වූයේ වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ.... මැයෙන් ගී පද වැලක් මුමුනමිනි. එතැන් පටන් ඔහුගේ ඡායාරූප කලාවට නොදැවෙනි ගීත ගායනය මෙරට සුභාවිත ගීත රසය පි‍්‍රය කරන සුවහසක් රසික දෙසවන් අතරට එක් වුයේ වැඩි කලක් යන්නට මත්තෙන්. ඔහුටම අනන්‍ය වූ ගී හඬකින් මෙරට ජනපි‍්‍රය ගායක ගොන්නට එක් වූ ඔහු නමින් දයාන් විතාරණයි. ඡායාරූප කලාවේ නම් දැරූවකු සේම ගායනයෙන් මෙරට සුවහසක් රසිකයන්ගේ ගී මනදොළ සුවපත් කළ දයාන් විතාරණ සමඟ අපි කතාබස් කරමු.

දයාන් මේ වනවිට ඔබ ගීත ගායනයෙන් සුවිශේෂී කඩඉමක් පසුකර අවසානයි?

මම මේ වෙනකොට ගීත 549 ගායනා කරල ඉවරයි. මගේ ගායන හැකියාව මෙරට රසිකයන්ට මුලින්ම අත්විඳින්න හම්බ වෙන්නේ අනුව දශකයේ අග භාගයේ 2000 වසරේ ආරම්භයත් සමඟ. දැන් මගේ ගායන දිවියට අවුරුදු විසිතුනක් ඉක්මයමින් අවුරුදු විසිහතරට පා තබමින් ඉන්නේ.

ගීත ගායනයට වසර විසිහතරක් සපිරෙමින් පවතින වකවානුවක ගීත නිර්මාණ 549ක් ගායනා කරන ඔබ නිරන්තර උත්සාහය ගීත ගායනා ගොඩ වැඩිකර ගන්නද?

කොහෙත්ම නෑ. මේ කාලය පුරාවට මම ගායනා කළ ගීත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මම ප්‍රතික්ෂේප කරපු ගීත ගොන්නේ තියනවා. මට හොඳ පද රචනයක් ලැබුණොත් මට අවශ්‍ය විධියට මම සංස්කරණය කරනවා. නැත්තම් ඒ පද රචකයාට කියල සංස්කරණය කරව ගන්නවා. මට ඕනේ ගීතයක් ගායනයට තෝරගත්තම ඒ සඳහා භාවිත කරන ඉන්ටෘමන්ට් ගැන මම සැලකිලිමත්. මට ඕනේ ලයිව් ඉන්ස්ටෘමන්ට් ඕගන් එකෙන් ට්‍රැක් එක ගහල දුන්නට මම සින්ග් කරන්නේ නෑ.

ඇත්ත ද මේ දයාන් විතාරණ කියන සුවහසක් රසිකයින් ආදරය කරන ගායකයාට ඔයා රත්තරනේ කියන වචනවලට විරුද්ධයි කියන්නේ?

ඔය වචන යොදල ගීත රැල්ලක් ආවා. මම ඒවට කැමැති නෑ. ඔබ කියන වචනය ඔයා වුණාම රත්තරං කියන වචනය රත්තරනේ වුණාම ඒක හෑල්ලු වුණා. ඒ වගේ වචන වලින් ලියැවුණු ගී පද රචනා වලට මම කැමැති නෑ. නිර්මාණාත්මක පද රචනයකින් ගායනයකින් මුදලක් ලැබෙන එකට මිසක් මම කරන දේ හෑල්ලුවට ලක් කරල මුදලක් අපේක්ෂා කරන්න මම කොහෙත්ම කැමැති නෑ. තෝරාබේරා ගැනීම තුළ ආ ගමනින් වුණත් මටත් නොදැන වසර විසි හතරක කාලයක් පුරාවට ගීත 549 මම ගායනා කරන්නත් අවස්ථාව උදාවුණා.

දයාන් ගීත ජනගත කරන්න. මුදල් විසිකරන්නෙක් ද?

මම මුලදී සල්ලි වියදම් කරල සින්දු කළා. මගේ මුල්ම ඔබේ සුසුම් පවන් සංයුක්ත තැටිය 2002 වසරේ නිකුත් කරන කොට මම ගීත 70ක් විතර කරල තමයි ඒ සඳහා ගීත විස්සක් තෝරගත්තේ ඒ නිර්මාණය අදටත් ජනපි‍්‍රයයි. මම ඒ තෝරගත්ත ගීත වල ජනපි‍්‍රයත්වය අඩුවුණේ නෑනේ. අදටත් ඒ ජනපි‍්‍රයත්වය රැදිල තියනවා. එතිනන් මම වටහා ගත් දෙයක් තමයි මම කරන නිර්මාණ කලක් පවතිනවා කියලා. මේ වෙනකොට රෝහණ වීරසිංහ මට සින්දු 79 කරල තියනවා. දර්ශන වික්‍රමතුංග සින්දු 52ක් කරල තියනවා. නවරත්න ගමගේ සින්දු 32 කරල තියනවා. කරුණාරත්න විජේවර්ධන ගීත 30 විතර කරල තියනවා. ඔය හතර දෙනා තමයි මට වැඩියෙන්ම ගීත කරල තියෙන්නේ.

ගායනය තුළින් ජනපි‍්‍රය වන දයාන් ආශා කළේ නැද්ද වාදනයෙනුත් ගමනක් යන්න?

මට තියන හැකියාවෙන් මම ප්‍රයෝජනය ගන්නවා මගේ හැකියාව මොකක්ද කියල හඳුනාගෙන. ගායනයට අමතරව මම තනු නිර්මාණය කරනවා. හැබැයි මට වාදනය බෑ.

ඔබ තනු නිර්මාණය කළ ජනපි‍්‍රය ගීත තියනවද?

ඔබෙ නීල නෙතු නිම්නයේ මගේ ආදරේ සඳ නැගේ... මල් රේණු අතු බිම වැටෙනවද.... අපි ආයේ දවසක හමුවෙමු ද මේ අද වාගේ... ඔය වගේ ගීත තිහක් මම නිර්මාණය කරල තියනවා. ඔය ගීත තිහ මම සීමියුසික් හරහා මගේ අනන්‍යතාවය තහවුරු කරල තියනවා. නීතිඥයන් ඉදිරියේ. ඒ ගීතවල තනුනිර්මාණය කිරීමෙ අයිතිය තියෙන්නේ මට. හැබැයි අවාසනාවකට මට කිසිම සංගීත භාණ්ඩයක් ප්ලේ කරන්න බෑ.

ගායනය වගේම තනු නිර්මාණයත් එක සේ කළ හැකි ඔබ ඇයි වාදනයට හිත යොමු නොකළේ?

වාහනය තිබුණට ඩ්‍රයිව් කරන්න බෑ වගේ තමයි. මගේ වයස වැඩි හින්ද ද මම දන්නෑ මට වාදනය බෑ. හැබැයි මේ දැන් මට වචන ටිකක් දුන්නොත් මම තනුවක් දානවා. ඒ දේ මට ක්ෂණිකව කරන්න පුළුවන්. වාද්‍ය භාණ්ඩයක් නැතුව තතුව මට එක පාරට එනවා. සමහර අවස්ථා තියනවා මට මෙහෙන් වචන එනකොට අනික් පැත්තෙන් තනුව හදල යවන අවස්ථාත්. ඒ වගේ නිර්මාණය වූ ගීත බොහොමයක් තියනවා.

දයාන්ට මුල්ම ගීත ගායනය වගේම මුල්ම තනු නිර්මණය ගැන මතකය කොහොමද?

1978 මාතලේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මගේ හොඳම යාළුවා වූලාබේ ශාන්ත කුමාර හේරත් අද ඔහු හොඳ නවකතාකරුවෙක්, තිර නාටක රචකයෙක් ඔහු මට මගේ ළඟට ඔබ ආවොත් දෙව්දුවක් ලෙසින්... රූ කුමාරි මල් සුවඳක් වීලා තනිය මකන්නට ආවොත්... කියල මට සිංදුවක් ලියල දීල ඔයා දක්ෂයෙක් නම් මේකට තනුව දාල කියන්න කියල මට කිව්වා. මේ ගීතය තමයි මගේ මුල්ම ගායනය වගේම මුල්ම තනු නිර්මාණය කරපු ගීතයත්. මේ ගීතය මම 2021 වසරේ මහින්ද බණ්ඩාරගේ සංගීත සංයෝජනයෙන් ගීතයක් හැටියට නිර්මාණය කළා. මේක මට ගීතයක් හැටියට සුවිශේෂිවන්නේ තනු නිර්මාණය හා ගායනය මගේවීම. මේ ගීතය එවක පාසලේ ජනපි‍්‍රයයි. ළමයි ඒක ඉල්ලනවා. මම ඒක ගායනා කරනවා. ඔය ගීතය මම පටිගත කළාට පස්සේ මගේ යාළුවෝ ගොඩක් සංතෝස වුණා. එදා පාසල් කාලය සිහිපත් කරලා.

ඇයි ඔබ ඒ ඔබේ මුල්ම ගීතය වෙලත් පසුකලෙක ඔබ විසින් එළිදැක්වූ මුල්ම ගීත ඇල්බමයට ඇතුළත් නොකළේ?

මම පසුකලෙක ජනපි‍්‍රය වෙලා බොහෝ කලක් ගිියහම. මට චුල දවසක් එවනවා. ඒ ගීතයේ මුල් පිටපත දයාන් උඹට මේ ගීතය මතකද කියලා අහලා. මම ඒ පාර අනික් පැත්තට චුලට කිව්වා මට මේ ගීතයේ තනුවත් මතකයි ගීතයේ වචනත් මතකයි. අනේ මට මේ ගීතය අමතක වෙලා මම මේක කරනවා කියලා තමයි නැවත පටිගත කළේ. තවම මට මේ ගීතයට රූපරචනයක් කරගන්න බැරිවුණා. ඒ දේත් කරල මගේ මුල්ම ගීත ගායනය මුල්ම තනු නිර්මාණය විධියට එය එළිදක්වන්න මට ඕනේ.

දයාන් විතාරණ හැත්තෑව දශකයේ බිහි වූ ගායකයෙක්? ඒත් බොහෝ දෙනා ඔබව දන්නේ අනුව දශකයේ අගභාගයේ බිහි වූ ගායකයෙක් ලෙස?

මම ඉපදුනේ 1962 දී ඒත් මම ගීත ගායනයට යොමු වුණේ. අවුරුදු පහේදී ඉඳලා. මුල් කාලයේ ඉංගී‍්‍රසි සින්දු සිංහල සින්දු ගායනා කළා. 1973 ඉඳලා ඉන්ද්‍රානි පෙරේරාගේ ගීත ගායනා කළා. ඊට පස්සේ මිනෝයි ප්‍රනාන්දුගේ ගීත ගායනා කළා. 1977 වන විට මගේ හඬ වෙනස් වුණා. ඊට පස්සේ අමරදේවයන්ගේ ගීත කියන්න පටන් ගත්තා. සුදු අසුපිට කියන්න බැරි වෙන කොට අමරදේව මාස්ටර්ගේ සඳ හොරෙන් හොරෙන්..., මීදුම් වලා ..., සිනිදු සුදු මුදු තලාවේ... ආදී ගීත හොඳින් කියන්න පුළුවන්කම ලැබුණා. පාසලේ ළමයි මට කෝරස් කිව්වා.

ගායන හැකියාවේ පරතෙර සොයාගන්න ඔබ පෙලඹුණේ?

1981 මම කොළඹට රැකියාව සඳහා ඒමත් සමඟ 1982 දී නන්දා මාලිනී සිළුමිණ පත්තරයේ ඇඩ් එකක් දානවා. ඒ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ නන්දා මාලිනි ආශ්‍රමයට සිසුන් බඳවා ගන්නවා කියලා. ඒ තමයි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ ආරම්භය. මමත් ඇගේ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක්. මේ සංගීත ආශ්‍රමයට සිසුන් තෝරාගැනීමේ පරීක්ෂණයට ගොඩක් ළමයි ඇවිත් හිටියා. අපි හැමෝගෙම ගීත ගායන හැකියාව බලන්න ගීත ගායනා කරන්න දුන්නා. මට ඉස්සරහ ගෑනු ළමයෙක් හිටියා කොන්ඩෙ කොටට කපාලා. කණ්ණාඩි දෙකක් දාලා මහත ළමයෙක්. එයා ලස්සන ගීතයක් ගායනා කළා. මට ගීතය මතක නෑ. හරිම ලස්සනට ළයාන්විතව ඇය ගීතය ගායනා කළා. මම නිකමට හිතුවා අම්මේ මෙයා නම් කවද හරි දවසක ලංකාවේ හොඳම ගායිකාවක් වෙයි කියලා. ඊට පස්සේ ආවේ මගේ චාන්ස් එක. මම ගායනා කළා මල්ලී නරක මිතුරන් පිළිගන්න එපා... ගීතය. එදා මට ඉදිරියෙන් ගායනා කළ ගෑනු ළමයා තමයි දීපිකා පි‍්‍රයදර්ශනී. දවසක් දීපිකා මට කියනවා එයා එදා මුල්ම දවසේ මම ගීතය කියනකොට හිතුවාලු මෙයාට මාර වොයිස් එකක්නේ තියෙන්නේ සුනිල් එදිරිසිංහ වගේ සින්දු කියන්න. මෙයා නම් කවදා හරි ජනපි‍්‍රය ගායකයෙක් වෙයි කියලා. අපි දෙන්නට දෙන්නා බලපුවහාම දෙන්න ගැනම හිතින් හිතල තියෙන දේ එකම විධියක්. ඒ කාළේ හරිම සුන්දර කාලයක්. මට මතකයි නන්දා මාලිනි මිස් ඒ කාලේ ඇන්දේ නිල් පාට සාරියේ සුදු බෝල තියන සාරියක්. ඊට පස්සේ තමයි සුදු සාරියට මාරු වුණෙත්. 1983 නොවැම්බර් 20 වැනිදා අපේ කළ එළි දැක්ම තිබුණා කොළඹ ලුමිබිණි රඟහලේ. ඒක නම් කරල තිබුණේ නන්දාමාලනී ආශ්‍රමයේ කල එළි දැක්ම ලෙස ආශ්‍රමයේ සියලුම ළමයි සාමුහිකව ගීත කියන්නත්, ජවනිකා නමින් නාට්‍ය ගීත කියමින් රංගනයේ නියැළෙන්නත් තිබුණා. මට තිබුණේ මනමේ නාට්‍යයේ මනමේ මේ කුමාරයා හැටියට රංගනයේ නියැළෙමින් දුලානෙතු පුරා දිසි වර්ණ ලතා සේ.... ගීතය ගායනා කරමින් රංගනයේ නියැළෙන්න.

මීට වසර හතළිහකට පෙරාතුව සමරු පොතක අත්සනක් යොදා සිද්ධිය මතකද?

මේ කලඑළි දැක්ම අවසානයේදී පොඩි ගෑනු ළමයෙක් මම ළඟට ඇවිත් සමරු පොතක් දුන්නා. මට හරිම ලැජ්ජයි. පළවෙනි වතාවට තමයි කලාකාරයෙක් හැටියට මෙවැන්නකට අත්සන් කරන්නේ. එදා ඒ විධියට සමරු පොතක් මුලින්ම දීල මගේ අත්සන ගත්තේ වෙන කවුරුවත් නොවෙයි. තමාලි පීරිස්.

මේ වනවිට ඔබේ ගීත පන්සීයකට වැඩි ප්‍රමාණයක් අතුරින් රසිකයෝ වඩාත් ඇල්මක් දක්වන්නේ මොන ගීත සඳහා ද?

මගේ ගීත දහයක් ඉතාම ජනපි‍්‍රයයි. එයින් ගීත හතරක් කවර් වෙන විධියකට සිත්තම් කරමින්..., ඔබේ සුසුම්පවන්..., පුද සුනක..., ඩැෆඩිල් මල ඉතාම ජනපි‍්‍රයයි. ඔයිට අමතරව සෝමහිමියන්ගේ ගීතය..., මගේ ජීවිතේ..., ජීවිතය ඔබෙන්..., වසත් කාලය මනරම්..., මවුනි සදා..., රෑ සඳ එළි..., ඔබේ නීල නෙත් ගීත රසිකයන් ආසාවක් දක්වන ගීත හැටියට හඳුන්වන්න පුළුවන්. සිත්තම් කරමින්... ගීතයෙන් පස්සේ මගේ හිට් වුණ ගීතයක්. වසර 19ක් පුරාවට නැති තරම්. ඒත් මගේ ගීත ටික අදටත් පුදුම විදියට මිනිස්සු විඳිනවා. ඒවා අලුත් අය ගායනා කරනවා. ඒ ගැන මට ලොකු සතුටක් තියනවා. මට හිතෙනවා ඒවා නොමියෙන ගීත කියලා.

දයාන් විතාරණ කියන ආදරණීය ගායකයා මිනිස්සු හඳුනා ගන්නේ?

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කළ ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මම ගායනා කරන වැටෙන් එහා මල් පඳුරේ... ගීතය තුළින්.

ඒක පුද්ගල ප්‍රසංග පවත්වන්න අදහසක් නැද්ද?

ඔබේ සුසුම්පවන් 2002 වසරේ හා සිත්තම් කරමින් 2004 වසරේ මගේ සංයුක්ත තැටි නිකුත් කරනකොට මම ඒක පුද්ගල ප්‍රසංග පැවැත්වුවා ලුම්බිණි රඟහලේ. මම ගොඩක් දුරට ත්‍රිපුද්ගල ප්‍රසංග වලට තමයි ගායනා කළේ. අදටත් එවැනි ප්‍රසංග තමයි ලැබෙන්නේ. මගේ තිබුණු මන්දෝත්සාහීකම නිසාම එවැන්නක සංවිධාන කටයුතු කතාබහට සීමා වූ අවස්ථාත් තිබුණා. නමුත් ලබන වසරේ මගේ සංගීත දිවියේ කඩඉමක් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විසිපහක් ඡායාරූප ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිහක් වෙනවා. මේ සුවිශේෂීකම එවැනි ප්‍රසංගයකින් මල්ඵල ගැන්වෙයි කියලා මම හිතනවා.

වැඩිම කලාකරුවන් පිරිසක් කැමරාවට හසුකරගෙන ඇති ඔබ මුලින්ම කැමරාවේ සටහන් කරගත් කලාශිල්පීන් වුණේ කවුද?

නන්දා මාලනී මහත්මියගේ සංගීත ආශ්‍රමයේ කලඑළි දැක්මෙන් පස්සේ මම එතුමියගේ සත්‍යයේ ගීතය ප්‍රසංගය අවසන් වෙනකන්. එහි අත්වැල් ගායනයට එක්වුණා. නලින් ජීනේද්‍ර අල්විස් කීර්ති පැස්කුවෙල් ගාමිණි පෙරේරා මම අපි හතරදෙනා නන්දා මාලිනිගේ සත්‍යයේ ගීතය තුළ රටවටා කෝරස් කිව්වා. 1984 අගෝස්තු 28,29,30 දින තුනක් මෙහි අවසන් ප්‍රසංගය තිබුණා. ලුම්බිණි රඟහලේ මේ ප්‍රසංගය තුළින් මම ඒ වෙනකොට ගොඩක් කලාකරුවන් හඳුනාගෙන තිබුණා. මේ වෙනකොට මම කැමරාව අතට අරන් මේ ප්‍රසංගය බලන්න එනවා. විජය කුමාරතුංග, ශි‍්‍රයානි අමරසේන, ශි‍්‍රයාණි අමරසේනගේ දුව ඉනෝකා අපේ පන්තියේම හිටිය ළමයෙක්. මම ඉනෝකාට කිව්වා අම්මාගේ පින්තුරයක් ගන්න ඕනෙ කියලා. ඉනෝකා ශි‍්‍රයානි අක්කාට මාව හඳුන්වල දුන්නා. මේ දයාන් පින්තූර ගන්න ආසයි අම්මගේ පින්තූරයක් ගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. ඉතිං ශ්‍රියානි අක්කා ඒකට මට ෆෝකස් කළා. විජය කුමාරතුංගත් ඒ වෙලාවේ මගේ ඉල්ලීමට ෆෝටෝ එකකට පෙනී හිටියා. මේ තමයි මගේ මුල්ම කලාක්ෂේත්‍රයේ අයගේ මුල්ම ඡායාරූපකරණය.

එළිමහන් ප්‍රසංග සඳහාත් දයාන් සහභාගි වෙනවද?

ඔව්. මතයක් හැදිල තියනවා මම එළිමහන් ප්‍රසංග වෙනුවෙන්. සහභාගි වෙන් නෑ කියලා. එහෙම දෙයක් නෑ. ඉන්ඩෝ ෂෝ වල පමණක් ගීත කියන ගායකයෙක් නෙමේ මම. ආරාධනා ලැබුණොත් සතුටින් භාර ගන්නවා එළිමහන් ප්‍රසංගත්.

දයාන් ලංකාවේ ප්‍රවීණතම ඡායාරූප ශිල්පියෙක් බවට පත්වන්නේ?

මට චිත්‍ර අඳින්න පුළුවන්. මට චිත්‍ර අඳින්න වෙලාවක් නැති නිසා ඒ අඩුව පුරවගන්න තමයි මම ඡායාරූප කලාවට එන්නේ. චිත්‍රයක් අඳින්න යන කාලය වැඩි නිසා. අඩු කාලයකින් කලාත්මක ඡායාරූපයක් ගන්න මට ඕනෙ වුණා. ඒ සඳහා මම වෙහෙසුණා. මම මේ දේ කරන්නේ ස්වයංව. මට කවුරුවත් ගුරුවරු හිටියේ නෑ. මගේම උත්සාහයෙන් මම හොයාගත්ත ක්‍රම තමයි මම මගේ ගමනට යොදාගත්තේ.

දයාන් විතාරණ නම් සුවිශේෂී ගායකයා අද කාලකරුවන්ගේ ඡායාරූප සංරක්ෂකයෙක් වෙලාද?

එහෙම කිව්වත් වරදක් නෑ. අද කලාකාරයෙක් මියගියත් මගෙන් තමයි ඔහුගේ හෝ ඇයගේ පින්තූරයක් ඉල්ලන්නේ. කොළඹ කනත්තට ගියත් සොහොන් කොත්වල වැඩි හරියක් තියෙන්නේ මගේ පින්තූර. මම දැන් වෙඩින් පොටෝ ග්‍රැෆර් කෙනෙක් නොවන තරමට අවමංගල ඡායාරූප ශිල්පියෙක් වෙලා කලාකරුවන්ගේ වගේම මෙරට ප්‍රධාන පෙළේ හාමුදුරුවන්ගේ විශාල ඡායාරූප එකතුවකුත් මම සතුයි. මේ සියලු ඡායාරූප මම සංරක්ෂණය කරනවා. ඉදිරි අනාගතය ගැන හිතලා මේ කටයුත්ත මම කරන්නේ බොහොම කැමැත්තෙන්.

සරසවිය පුවත්පතත් දයාන් විතාරණ නමත් නිබඳව දීර්ඝකාලයක පටන් සැබෑදියාවක් පත්වනවා නේද?

සරසවිය පුවත්පතට මම ආදරය කරන්න පටන් ගත්තේ පාසල් ශිෂ්‍යයකුව ඉන්න කාලයේ පටන්. එතරම් ආදරය කළ පත්තරය හැඩ කරන්න මම ගත්ත කලාකරුවන්ගේ පින්තූර ලබාදෙන්නට හැකිවීම මම ලැබුව තවත් වාසනාවක්. මට මේ භාග්‍ය උදාකරල දුන්නේ සබීතා පෙරේරා. මම ඇයගේ ෆෝටෝ ෂූට් එකක් කළා. කොහොම හරි එවක සරසවිය කර්තෘවරයාව සිටියේ ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයා. සරසවිය මුල් කවරය සකසන්න සබීතාගේ පින්තූරයක් ගන්න ඕනෙ වෙලා තියනකොට සබීත තමයි කියල තියෙන්නේ මම පින්තූර වගයක් කළා හැබැයි පත්තරයට දෙයි ද දන්නෑ මම කියල බලන්නම් කියලා. සබීතා මට මේ ගැන කිව්වහම. මම රංජිත් කුමාර මහත්තයාට කතා කළා. මගේ පින්තුර එවන්න කිව්වා. මටත් රටක් රාජ්‍යයක් දිනුව වගේ. මම ආදරය කරන සරසවිය පත්තරයට පින්තූර දෙන්න ලැබීම ගැන එතැන් පටන් දිගින් දිගටම. පසුකාලීනව ආ සියලු කර්තෘවරුන් මගේ ඡායාරූප වලින් සරසවිය හැඩ කළා.

අද වෙනකොට ඔබ ගායකයෙක්. තනු නිර්මාණකරුවෙක්. හිතෙන්නේ නැද්ද ගීත රචනයට යොමු වෙන්න?

ඒ හැකියාවත් නැතුව නොවෙයි. මේ වනවිට මම ගීත හතරක් විතර රචනා කරල තියනවා. පද රචනය ගායනය තනු නිර්මාණය එක් වූ තුන් ඈදුතු නිර්මාණ මා සතු වෙලා තියෙනවා. ඒවා ජනපි‍්‍රය කරගන්න මම උත්සාහ කරන්න ඕනේ. ඉදිරියේදී ඒ ගීත කීපයක් මම රූප රචනය කරල ෆේස්බුක් දානවා.

දයාන් විතාරණ රංගශිල්පියෙක් බවටත් පත්වෙනවා නොවේද?

මුලින්ම මම රංගශිල්පියෙක් වන්නේ මනමේ කුමාරයට රඟපෑමත් සමඟ. නන්දා මාලිනී කලා ආශ්‍රමයේ කළඑළි දැක්මේ. ඊට පස්සේ උදයකාන්ත වර්ණසුරියගේ සාගරය පරදා ටෙලි නාට්‍යයේ රඟපෑවා. වසන්ත ඔබේසේකරගේ සෙව්වන්දි චිත්‍රපටයේ රඟපෑවා. සුමිත්‍රා පීරිස් මහත්මියගේ දුවට මවක මිස චිත්‍රපටයේ රංගනයේ නියැළුණා. මේ මෑත කාලයේ මොනරවිලක් චිත්‍රපටයේ රඟපෑවා. ඉදිරියේදී චිත්‍රපටය තිරගත වෙන්නත් තියනවා.

මතකයෙන් ගීත ගායනා කිරීමේ ගැටලුවක් ඔබට තියෙනවා ද?

මම අදත් ගීත ගායනා කරන්නේ බලාගෙන. මට මගේ සින්දු කියනකොට වුණත් අමතක වෙයි කියලා හිතේ බයක් තියනවා. එහෙම වුණොත් දෙයියන්ගෙම පිහිටයි. ඉතිං මගේ ඒ මතකයේ ෂූවර් නැතිකම මඟ හරවා ගන්න කොච්චර සින්දුව කිව්වත් බලාගෙන තමයි මම කියන්නේ. ඒක මට දහස් වාරයක් ෂුවර්.

බැදීම්වලින් තොරව සිටීම පිළිබඳ ඔබව අද කනගාටුවක් නැද්ද?

කොහෙත්ම නෑ. මම නිදහස් බැදීම් වලින් තොරව ගත කිරීම තුළ මට හැර යන්න තියන නිදහස වැඩියි. මට ඕනේ හොඳ ගීත ටිකක් ගායනා කරල අසන්නන්ගේ මනසට වින්දනයක් දෙන්න. මම එයින් ලබන සතුට අප්‍රමාණයි. ඈතින් ඉඳලා දෙයක් විදින එක ඒවාට ලංවෙනවාට වඩා හොඳයි.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]