තිරරචකයාගේ ඔළුවේ තමයි මුලින්ම රූප මැවෙන්නේ

ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ
නොවැම්බර් 30, 2023

සුමිත්‍රා රාහුබද්ධයන්ගේ ‘කන්දක් සේමා’ නවකතාව ආශ්‍රයෙන් අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ ‘කන්දක් සේමා’ චිත්‍රපටය මේ දිනවල EAP මණ්ඩලයේ සිනමාශාලාවල සාර්ථක ලෙස තිරගත කිරීම් ආරම්භ කරතිබේ. චිත්‍රපටයේ තිරරචනය ද නවකතාකාරිනිය වන ඇය විසින්ම රචනා කර ඇති අතර නිෂ්පාදන අර්ථපතීත්වයෙන් ද ඇය දායකත්වය දක්වා තිබීම විශේෂත්වයකි. සිනමා කෘතිය පිළිබඳවත් ඇයගේ සාහිත්‍යකරණය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් සුමිත්‍රා රාහුබද්ධයන් මෙසේ සරසවිය හා එක්වූවාය.

"කන්දක් සේමා" නවකතාව ලියන්න ඔබ පෙලැඹුණු ආකාරය පැහැදිලි කළොත් ...?

මම මේ කතාව ලියන්න පෙලැඹුණේ මේ කතාවේ ඉන්න නූපාගේ චරිතයට සමාන චරිතයක් ඇති තරුණියක් මට කතාකරලා ඇගේ කතාව කිව්වාට පසුවයි. ජපානයට 1980 ගණන්වල තරුණ කාන්තාවන් යවනවා මහලු පුරුෂයන්ට සරණපාවා දෙන්නට. එහෙම ගිය තරුණියකගේ කතාවක් තමයි "කන්දක් සේමා" කියන්නේ . මට කතාව කියූ තරුණිය කතාව කියන්න හරිම දක්ෂයි. ඇගේ කතාව මම කුතුහලයෙන් අසා සිටියා. මෙහි මුළු කතාවම ඇගේ නෙවෙයි.ඇය මෙහි සෙවණැල්ලක් වගේ ඉන්නවා. කතාවේ දේශපාලන පසුබිම වගේ දේවල් මම නිර්මාණය කළ දේවල්. එහෙත් කතාවේ හරය, අරටුව ඇගේ කතාවයි.

"කන්දක් සේමා"'සිනමාවට නැඟීම සිදුවූ ආකාරය කිව්වොත් ...?

"කන්දක් සේමා" සිනමාවට නැඟීමේ කිසිම අදහසක් මට තිබුණේ නැහැ. එහෙත් "කන්දක් සේමා" කියවපු බොහෝ ශ්‍රීලාංකිකයන් ජපානයේ හිටියා. ඒ අතර හිටිය අද දේශපාලනයේ හිටියත් ආශු මාරසිංහ ඒ කාලයේ හිටියේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් විදිහට. ඔහු මේ පොත කියවා තිබුණා . ඔහුට ඕනවුණා මේකෙන් චිත්‍රපටයක් කරන්න. ඒවගේම උමාලි තිලකරත්නත් ඒ කාලයේ හිටියේ ජපානයේ. ඇයටත් මේ පොත ගැන ආසාවක් තිබුණා . ඇය තමයි ආශුගේ යෝජනාව අරගෙන මා ළඟට ආවේ. ඊටපෙරත් දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයෙක් මේ යෝජනාව ගෙනාවා. ඒත් ඒක කෙරුණේ නැහැ. ඊටපසුව තමයි අලුත් යෝජනාවකුත් එක්ක "කන්දක් සේමා" චිත්‍රපටයකට කරන්න තීරණය කළේ.

ඔබේම නවකතාව ඔබ විසින්ම සිනමා තිරරචනයකට පෙරළනවා. සිනමානුරූපීව මෙය තිරරචනය කිරීමේදී මූලිකව කළ වෙනස්කම් මොනවාද......?

ඔව්. මා විසින්ම මෙය සිනමා තිරරචනයකට හරවනවා. මෙහි පරිසරය , සිදුවීම්, එම කාලපරාසය සහ එහි ඉතිහාසය ගැන මට අත්දැකීම් තිබුණා. පෞද්ගලිකව එම තැන්වලට ගිහින් එම තරුණිය මුණගැසී ජපානයේ ඇගේ පවුලේ අය මුණගැසී ඇය මොනතරම් වෙනස් තැනකට ගිහින් ජීවිතය හදාගන්න වෑයම් කළාද කියන දේ දෑසින්ම දැකලයි කතාව ලිව්වේ . ඇය මට කතාව කියද්දීත් නූපාව මට මැවී පෙනුණා. මම තිරරචනයට අලුත් කෙනෙක් නෙවෙයි. ඊට පෙර "ඉටිපහන්, අග පිපිමල්, බුමුතුරුණු , කෙළිමඬල,සෙදෝනා, රඟසොබා" වගේ ටෙලිනාට්‍ය තිරරචනා ලියලා තියෙනවානේ. "කන්දක් සේමා" තිරරචනය ලියනවානම් මමම ලිවිය යුතුයි කියන අදහසේ මම හිටියා. තිරරචනයේදී ලොකු වෙනස්කම් වුණේ නැහැ. සිනමාපටයටත් පොත කියවූ අයටත් සාධාරණයක් කළයුතු වුණා. සිනමාපටයකට එද්දී පොතේ තියෙන සියලුම දේ දෙන්න බැහැ . මම හැම අකුරක්ම, ඡේදයක්ම, පරිච්ඡේදයක්ම, දෙබසක්ම මට මගේ කියා දැනෙනවා. නිර්මාණයේදී තිරරචනයේ තිබූ යම් යම් කොටස් හැලී ඇති බවක් පේනවා. මේක මම බොහෝම සීරුවෙන් ලියූ තිරරචනයක්. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියට ඉගෙනගත්තේත් තිරරචනය. මගේ න්‍යායාත්මක, ප්‍රායෝගික දැනීම සහ මට තිබූ පුහුණුවයි එකතුකරලා මේ තිරරචනය ලිව්වා. තමන්ගේම පොතකින් තිරරචනය ලිවීම අසීරුවුවත් මම ඉගෙනගත් දේවලින් ඒවගේම මම දැකපු චිත්‍රපටවලින් ගත්ත දේවල් උපකාරී වුණා. පොතකින් අරගෙන ලිව්ව චිත්‍රපට තිරරචනා ගත්තොත් " ච්ධජබධප ඛඩඪමචඨධ, ඕඥපඥඥඤච" වගේ එකක "ගම්පෙරළිය" වගේ නවකතාවක් කොහොමද ආවේ යනුවෙන් ඒ සියල්ල ගැන අවබෝධයෙන් තමයි මෙහි තිරරචනය ලිව්වේ. තිරරචකයාගේ ඔළුවේ තමයි මුලින්ම රූප මැවෙන්නේ. මගේම පොතක් නිසා මට මෙයට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියා මට හිතෙනවා. සිනමානුරූපීව මෙහි කළ වෙනස්කම් හැටියට කියනවනම් නවකතාව කියවපු අය බලාපොරොත්තු වෙන විදිහට පෘථුල ලෙස දක්වන්න බැහැ තිරරචනයකදී. අපට එහිදී තෝරාබේරාගන්න වෙනවා. නවකතාවේ තරම් අවකාශයක් මෙහි දක්නට නැහැ .සීමාසහිත අවකාශයක් තියෙන්නේ . වෙනස්කම් කියා ලොකුවටම නොකළාට මම නවකතාවක් ලියද්දී එය ලියන්නේම සිනමානුරූපීව . "කන්දක් සේමා" වුණත් කියවද්දී තේරේවි එම නවකතාව සිනමානුරූපියි කියා. මගේ අනෙක් නවකතාත් එහෙමයි. මේක මම අතැඹුලක් සේ දන්න නිසා මේ ලිවීම මට ලෙහෙසි වුණා.

මෙහි ප්‍රධාන චරිතය "නූපා" ඔබට දැනෙන්නේ කෙසේද...?

නූපා කියන්නේ පුදුම විදිහේ කාන්තාවක්. එකපැත්තකින් ඇය ගිනි ගොඩකට මැදිවෙලා ඉන්නවා. අනෙක් පැත්තෙන් ඒවාට විසඳුම් හොයාගෙන යනවා . ඒ විසඳුම් හොයද්දී ඇය පඹගාලක පැටලෙනවා. ඒකෙන් මිදෙන්න උත්සහ කරනවා. නූපා මට දැනෙන්නේ මට හමුවුණු නූපා වගේම තමයි . මම පරිකල්පනය මඟින් ගොඩනැඟූ නූපාත් මට හමුවුණු නූපාත් සංකලනය වුණාට පසුව හැදුණු නූපාත් එක්කෙනෙක්. මට දැනෙන්නේ එහෙමයි.

ආසියාතික කාන්තාව සමඟ සැසැඳීමේදී "නූපා" කවර තැනක ස්ථානගත වේද..?

ඕක තමයි ආසියාවම. ලංකාවේ බැලුවත් , ඉන්දියාවේ බැලුවත්, ආසියාවෙන් එහාට ගිහින් බැලුවත් ආසියාතික රටවල බැලුවත් ඔවුන්ගේ මූලික කාර්යය අවසන් වී නැහැ .එය තව ශතවර්ෂයකටත් එහා පැත්තේ තියෙන්නේ . අනික ඔවුන්ට එකතුවෙලා තියෙනවා අලුත් තාක්ෂණික දියුණුවත් එක්ක තියෙන දේවල් .ඔවුන් මේ වෙනසත් එක්ක ජීවත්වෙන්න දන්නවා. ඔවුන් අලුත් තැන්වල ස්ථානගත වෙනවා. දැන් නූපාත් එහෙම තැනක ස්ථානගත වෙනවා. කෙසේනමුත් නූපා ස්ථානගත වෙන්නේ පරණ ස්ථානයේම තමයි. නූපා වෙනස්වෙන්නේ ඒ ස්ථානයෙන් පය ඇදලාගන්න දරන උත්සහය තුළින් .ඇය ඒ උත්සහය ජයගන්නවා.

නූපා චරිතය සංවර්ධනයට සිනමාකෘතියේ සෙසු චරිතවලින් ලැබුණු බලපෑම ඔබ තිරරචනයට ගොණුකළේ කොහොමද ...?

මෙහි මූලික චරිතය වන නූපා වටා තමයි අනෙක් චරිත කේන්ද්‍රගත වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් ජයනාථ, මසායා,සුමාල්, සොරාසාන් වගේ චරිත. තිරරචනයක් ලියද්දී චරිතවල ස්වභාවය, චරිතය සංවර්ධනය කරගන්නා හැටි, චරිත අළුපැහැ ගැන්වීම (සුදුත් නැති කළුත් නැති) කරන්නේ කොහොමද කියන දේ ආදීය තිරරචනයට ගොණුවෙන්න ඕන.

සාහිත්‍යවේදිනියක, ලේඛිකාවක ලෙස ඔබ දකින අන්දමට නවකතාවක් සිනමාවට පරිවර්තනය කිරීමේදී ජයගත යුතු අභියෝග මොනවාද ..?

එම අභියෝගය තමයි නිර්ලෝභී වීම. අපි දන්න හොඳම නවකතාවකින් තිරරචනයක් ලියද්දී සමහරවිට කතාවේ භාගයකට වඩා ඉවත්කරන්න වෙනවා. එහි සාරය විතරයි ගන්න වෙන්නේ. ඒ සාරය ඇසුරින් අපි වෙනම තිරරචනයක් ලියන්න ඕන. එය විශාල අභියෝගයක් . මේක ටෙලිනාට්‍යයක් කරද්දී වෙනස්. "ඉටිපහන්" වගේ ටෙලිනාට්‍ය තිරපිටපතක් ලියද්දී මට හිතෙනවාට වඩා දේවල් පෙන්වන්න පුළුවන් . ඊවා රණවීරගේ නවකතාවෙන් "සෙදෝනා"තිරරචනය ලිවීම අසීරු කාර්යයක් වුණා. ඊවා රණවීරගේ අවසරය ඇතිව ඒ චරිතය සංවර්ධනය කරන්න මට ලොකු ඉඩක් ලැබෙනවා . ටෙලිනාට්‍යයේ ඔබ දකින්නේ ඒ සංවර්ධනය කළ සෙදෝනා. නවකතාවේ සෙදෝනාට වඩා එහා ගිහින් තියෙනවා . ඒකට මිනිස්සු අකැමැති නැහැ . එතැනදී සෙදෝනාව වැඩියෙන් නිරාවරණයට මට අවකාශය තියෙනවා. ටෙලිපිටපතකදී වෙන්නේ එහෙමයි.නමුත් සිනමාවට නවකතාව ගනිද්දී විශාල අභියෝග එනවා. නවකතාව කියවූ පාඨකයා ගැනත් හිතන්න වෙනවා. "ඩොක්ටර් ෂිවාගෝ" මේ ලෝකයේ බොහෝඅය කියවලා තියෙනවා .එය සිනමාවට නඟද්දී ලොකුම අභියෝගය එන්නේ තිරරචකයාට. එහිදී තිරරචකයා දැනගත යුතුම දේ තමයි නවකතාව නෙවෙයි තිරරචනය කියන්නේ කියලා. නවකතාවක් ලියද්දී රූප රචනයකුත් තියෙනවා . ඒ රූප රචනය විශාල පරාසයක යනවා. ඒත් සිනමා තිරරචනය සීමිත පරාසයක දිවයන නිසා අවශ්‍යම දේ තෝරාගැනීමේ නුවණ, ඉව තිබිය යුතුයි. ඒවයි අභියෝග. බොහෝ පාඨකයන් කියවූ නවකතාව තිරරචනයකට ලිවීමම අභියෝගයක්. පාඨකයාගේ ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉහළින්ම තියෙනවා . ලේඛකයා විශාල අභියෝගයකට මුහුණදෙනවා කෘතියෙන් තිරරචනයක් ලිවීමේදී.

ඔබේ අනෙක් නවකතා හා සැසැඳීමේදී "කන්දක් සේමා"තිබෙන්නේ කවර ස්ථානයක ද.....?

මම "කන්දක් සේමා" එක්ක නවකතා සසඳන්නේ නැහැ .ඒ හැම නවකතාවක්ම ලියා තිබෙන්නේ හේතුවක් ඇතිවයි. විශේෂ සොයාබැලීමක් කරලයි ලියන්නේ. "සිය සියපත් සිය" ගත්තොත් පරම්පරා 05ක මෙරට විවාහයයි විවාහ මංගල්‍යයයි වෙනස්වුණේ කොහොමද කියන එක කතා කළේ. ඒකයි මට එතැනදී කියන්න ඕන වුණේ. එතැනදී මට ඒ ගැන ලොකුවට හොයාබලන්න වෙනවා. "කන්දක් සේමා"නවකතාවට වෙනම හේතුවූ කාරණා තියෙනවා . එතැනදී එකකට එකක් සසඳන්න බැහැ . සසඳන්නේ එකම ජාතියේ ඒවානේ. මම එකම ජාතියේ නවකතා ලියලා නැහැ. මගේ අනෙක් ඒවා එක්ක බලලා මේක මම උඩින් තියන්නේ නැහැ.

චිත්‍රපටය සඳහා නළුනිළියන් තෝරාගැනීමේ කාර්යයේදී ඔබත් සම්බන්ධ වුණාද...?

ඔව්. මම ඒකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වුණා. මම ජපානයට ගිහින් ඒ සංස්කෘතිය , පරිසරය, ඔවුන්ගේ කතාබහ, හැසිරීම්, සිතුවිලි සමඟ ඔවුන්ව ඇසුරුකරලා තමයි නවකතාව ලිව්වේ. ජපානය පැත්තෙන් තෝරාගත්ත අය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා මසායා සාන් වගේ කෙනෙක් තෝරාගැනීමේදී . එතැනදී මම, අධ්‍යක්ෂ අශෝක අතාවුදහෙට්ටි සහ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා එකතුවෙලා තමයි අවසන් තීරණයකට එන්නේ.

මෙහි නිෂ්පාදන අර්ථපතීත්වයෙන් ද ඔබ දායකවුණා නේද,..?

ඔව්. මෙහි නිෂ්පාදනයේදී විශාල පිරිවැයක් දැරූ නිසා තනි පුද්ගලයකුට ඒක දරාගන්න බැරිවුණා .හතරදෙනෙක්වත් එකතුවෙන්න ඕනවුණා.මේ යෝජනාව මුලින්ම ගෙනා මහාචාර්ය ආශු මාරසිංහත්, සමන්මලී පද්මකුමාරත්, ජයන්ත හෙට්ටිආරච්චිත් මමත් මේ චිත්‍රපටය කරන්න මුදල් යෙදවූයේ ඒ විදිහටයි

මෙහි අධ්‍යක්ෂණ කාර්යය සිදුකළ අධ්‍යක්ෂවරයා ගැනත් ඔබට යමක් කියන්න ඇති....?

මෙය අධ්‍යක්ෂණය කළේ අශෝක අතාවුදහෙට්ටි . මෙය සම අධ්‍යක්ෂණයක් තියෙන චිත්‍රපටයක්. මෙහි රූගතකිරීම් හතරෙන් තුනකට වඩා කෙරුණේ ජපානයේ. මෙහි ඒ සංස්කෘතිය නිර්මාණය කිරීම කලා අධ්‍යක්ෂගේ පමණක් කාර්යයක් නෙවෙයි . ජපානය පැත්තෙන් කලා අධ්‍යක්ෂ වරයෙකුත් හිටියා. එතැනදී අධ්‍යක්ෂවරයාටත් විශාල කාර්යයක් පැවරී තිබුණා. අශෝක අතාවුදහෙට්ටි හොඳ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනාගත් කෙනෙක්. ඔහුව අපට මුණගැසුණේ මෙහි සහය අධ්‍යක්ෂවරයා විදිහට එන්නයි. ඉන්පසු සිදුවූ සාකච්ඡා අතරේ යෝජනාවීමෙන් තමයි ඔහුට මෙය අධ්‍යක්ෂණය කරන්න භාරදුන්නේ.

චිත්‍රපටය රූගත කරව් තිරගත කරන්න යම් කාලයක් ගතවුණා නේද....?

ඔව්. චිත්‍රපටයේ රූගතකිරීම් අවසන් වුණේ 2015දී. අපි සම්පූර්ණයෙන් වැඩ අවසන් කර තිබුණේ .එහෙත් 2023 වෙනතෙක් අපට අවස්ථාවක් ලැබුණේ නැහැ චිත්‍රපටය තිරගත කරන්න. ඒක ඉතින් මේ රටේ හැටි තමයි. සිස්ටම් චේන්ජ් එක තැනක විතරක් වෙලා මදි..මේවගේ තැන්වලත් සිදුවෙන්න ඕන. හරි සිස්ටම් එකක් තිබ්බානම් අවුරුදු 08ක් මේක තිරගත නොවී තියෙන්නේ නැහැ. මෙයට පසු රූගත කළ චිත්‍රපට මෙයට ප්‍රථම පෙන්වන්න පුළුවන් නම් එතැන තියෙන්නේ සිස්ටම් එකක් නැතිකමයි.

ජපානයේ රූගතකිරීම් කිරීමේදී ඒ රටෙන් ලැබුණු අනුග්‍රහය, සහයෝගය ගැන සිහිකළොත් ...?

මෙහි හතරෙන් තුනකට වඩා රූගත කළේ ජපානයේ . 15දෙනෙකුගේ පමණ පිරිසක් රූගතකිරීම්වලට ගියා. ප්‍රධාන රංගන ශිල්පිනිය වූ නිරෝෂා පෙරේරා. ඒවගේම ජයනි සේනානායක, බිමල් ජයකොඩි , කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා, මම, අධ්‍යක්ෂවරයා, කුමාර කරව්දෙණිය වගේ අපි කට්ටියක් ගියා. ජපානයෙන් අපට හොඳ සහයක් ලැබුණා. දෙගොල්ලෝ දෙගොල්ලන්ගේ භාෂාව දන්නේ නැතිවීමෙන් කණ්ඩායම් දෙකක් එකතුවීම හරිම අමාරුයි. ඒ බාධා බිඳගෙන මිත්‍රශීලීව මෙය අවසන් කරන්න පුළුවන් වුණා. යම් යම් පසුබෑම්, නොගැළපීම් නොතිබුණාම නෙවෙයි. නිර්මාණයට ඒවා බලපෑවේ නැහැ. නිර්මාණය හොඳීන් කරගැනීමයි දෙපාර්ශ්වයේම අවශ්‍යතාව වුණෙ. හැමදේටම ජපන් රටේ අනුග්‍රහය , සහයෝගය ලැබුණා. රූගතකිරීම් කරන ස්ථාන සොයාදීම වගේම ඔවුන් කෑමබීම පවා හදලා දුන්නා .

2010 වසරේ පැවැති සියලු සාහිත්‍ය සම්මාන උලෙළවලදී "කන්දක් සේමා" නවකතාව ඉහළම ඇගයීමට ලක්වුණා . ඒ පිළිබඳ පැහැදිලි කළොත්...?

2010 වසරේ "ස්වර්ණ පුස්තක, රාජ්‍ය සාහිත්‍ය සම්මානය, විද්‍යෙදය සම්මානය , ගොඩගේ සම්මානය , රන් පියාපත් සම්මානය යන සම්මාන 05ම මේ නවකතාවට හිමිවුණා. එහි විශේෂත්වය ඊටපෙර එම සියලු සම්මාන එකම පොතකට ලැබිලත් නැහැ. අද වනතුරු එසේ ලැබිලත් නැහැ . ඒවගේ වාර්තාවක් මේ නවකතාව තියලා තියෙනවා. ඒ ගැන අවකංකවම සතුටුයි

ඔබේ නවකතා කලාව තුළ ආසියාතික ගැහැනියගේ පීඩනය, දරිද්‍රතාව, ලිංගික සූරාකෑම ආදිය කලාත්මක දෘෂ්ටියෙන් කතා කෙරෙනවා. ඔබ කාන්තාව කේන්ද්‍ර කරගෙන නවකතාකරණයට යොමුව තිබෙන බව පේනවා. එයට විශේෂ හේතුවක් තියේද....?

මගේ නවකතාවල කාන්තාව ඉන්නවා. ඒ තුළ පිරිමියාත් සිටිනවා. "අරගලය" නවකතාවේ පිරිමියකුගේ චරිතය ප්‍රධාන වී තිබෙන්නේ."බුමුතුරුණු"වල "ලොක්කි" ප්‍රධාන වුණත් ලොක්කි හරහා කියවෙන්නේ ඇගේ පියා වන චන්ද්‍රසේනගේ කතාවයි. කාන්තාව ගැන ලිව්වත් ඒක වරදක් නැහැ. මොකද කාන්තාව ගැන ලියවෙන්නේ නැහැ බොහෝ වේලාවට. ඒ අඩුවත් මගෙන් පිරවෙනවා ඇති. කාන්තාව කේන්ද්‍ර කරගෙන ලියන්නේ නැහැ. කාන්තාව ඉබේම කේන්ද්‍රීය චරිතයක් බවට පත්වෙනවා ඇති...

"ඉටිපහන්, දළරළපෙළ, අග පිපි මල්, බුමුතුරුණු , උදානය (කුලවමිය), කෙළිමඬල" ආදි නවකතා ටෙලි නිර්මාණ බවට පත්වුණා. ඒවා ප්‍රේක්ෂක, විචාරක ඇගයීමට ද ලක්වුණා. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් සහ ඉහත නිර්මාණවලින් ඔබ සුවිශේෂී කැමැත්තක් දක්වන නිර්මාණයක් වේද....?

ඔව්. ඔබ සඳහන් කළ නවකතා ටෙලිනාට්‍ය බවට පත්වුණා. ඒවගේ තිරපිටපත් ලිව්වේත් මමයි. ප්‍රේක්ෂක, විචාරක ඇගයීමට ද ලක්වුණා. මම ඒවායින් බොහෝම කැමැතියි "ඉටිපහන්" සහ "අග පිපි මල්" නවකතා දෙකෙන් ලියවුණු ටෙලිනාට්‍ය දෙකට. එහෙම කිව්වට අනෙක් ඒවා පහළට දානවා නෙවෙයි. විෂයයන් අනුව වෙනස්වෙද්දී ඒ අයට ඒගොල්ලන්ගේ ස්ථානය එහෙමම තියෙනවා අඩුවැඩි නැතිව.

ඔබ ළමා අවධියේ සාහිත්‍යකරණයට යොමුවූයේ පාසල් කාලයේමද...? පාසල් අවධියේ සාහිත්‍යයට තිබූ නැඹුරුව කෙසේද...?

පාසල් අවධියේ තිබූ සාහිත්‍ය නැඹුරුව තමයි ඇතිතරම් පොතපත කියවීම, අකුරක් නෑර කියවීම, පත්තර කෑල්ලක් දැක්කත් කියවීම. අතනෑර කියවීමක් සිදුවුණා. ඒවයෙන් ලද දැනීම සහ ආස්වාදනීය හැඟීම තමයි මට හිතෙන්නේ මාව් සාහිත්‍යකරණයට පෙලඹවූයේ. මටත් එසේ ලියන්න පුළුවන් කියා සිතුණා. මම ලියන්න පටන්ගත්තේ විශ්වවිද්‍යාලයෙන් පිටවුණාටත් පස්සේයි...

මුල්ම සාහිත්‍ය නිර්මාණයේ මතකය සිහිකළොත් ...? සාහිත්‍යකරණයට යොමුවෙන්න බලපෑ හේතු පැහැදිලි කළොත් ...?

මගේ පළමුවෙනි පොත "බුමුතුරුණු" ඒගැන හොඳ මතකයක් තියෙනවා. ඒකෙන්ම මාව නවකතාකාරිනියක් ලෙස පිළිගත්තා. මම සාහිත්‍යකරණයට යොමුවූයේ කියවීමෙන් ලද ආභාසය නිසා. මට ලියන්න ආසා හිතුණා

ඔබේ සාහිත්‍ය දිවියට ආලෝකයක් වූ දෙස්, විදෙස් ලේඛකයන් සහ ඔවුන්ගේ ආභාසය ඔබ ලද අයුරු පැහැදිලි කළොත් ...?

කියවන සෑම පොතක්ම මට ආභාසයක් වුණා. විශ්වවිද්‍යාලයේ ඉද්දී ඇමරිකානු සාහිත්‍යයට අපිට විශාල ආභාසයක් ලැබුණා. රුසියානු සාහිත්‍යය අපි සරසවියට යන කාලයේ අපට විශාල බලපෑම් කළා. රුසියානු සාහිත්‍යයේ විප්ලවය කියන්නේ මොකද්ද , මනුෂ්‍යත්වය කියන්නේ මොකද්ද කියලා ඉගෙනගත්තා. මහා දැවැන්ත සාහිත්‍යයක් ඔවුන්ට තිබ්බේ. "අපරාධය සහ දඬුවම, ඇනා කැරලිනා" වගේම රුසියානු සාහිත්‍යයේ ඇන්ටන් චෙකෝෆ්ගේ කෙටිකතා විශාල බලපෑමක් කළා. ඉන්දියානු සාහිත්‍යයේදී නාරායන්ගේ සාහිත්‍යයත් විශාල බලපෑම් කළා. ගැමිබස, පරිසරය යොදාගෙන සාහිත්‍ය නිර්මාණ කරන හැටි එහි තිබුණා. ඉන්දියානු සාහිත්‍යය මුළුමනින්ම බලපෑම් කළා. විදෙස් සාහිත්‍යයේදී ඇල්බෙයා කැමූගේ පවුලෝ කොයියෝගේ වගේ අයගේ කෘති කියවීමෙන් ලියන්න දිරිගැන්වීමක් ඇතිවුණා. ඔවුන්ගේ ලිවීම තුළ අපට නිදහසේ ලියන්න පුළුවන් කොහොමද කියා හඳුන්වා දුන්නා. අපේ පෙර පරපුරේ මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක වගේ ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ ආභාසයත් ලැබුණා.

ඔබ අතින් ලියවුණු සිනමා, ටෙලිනාට්‍ය තිරපිටපත් සහ ඒවා සම්මානයට ලක්වූ අවස්ථා සඳහන් කළොත්...?

මම මුලින්ම තිරරචනයක් ලිව්වේ මගේ "බුමුතුරුණු" නවකතාවෙන් "බුමුතුරුණු" ටෙලිනාට්‍ය පිටපතයි. ඒක බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළා. ඒ රූපවාහිනිය ආව කාලයේදීමයි. ඉන්පසු ධම්ම ජාගොඩ එක්ක කෙටිනාට්‍යයක් කරන්න හිටියේ "දිරිය දුව" කියලා. ඔහු අධ්‍යක්ෂණය කරන්න හිටියට ඔහුගේ මියයෑමත් එක්ක එය බන්දුල විතානගේම අධ්‍යක්ෂණය කළා. ඒක මමයි ලිව්වේ. "උදානය" නවකතාව "කුලවමිය" නමින් ටෙලිනාට්‍යයකට ලිව්වා. මගේ සෑම කෘතියකම මමම වගේ තමයි ටෙලිනාට්‍ය පිටපත ලිව්වේ. "කෙළිමඬල"ත් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් චිත්‍රපටයකට නැඟුවා ඒ නමින්ම. ඊවා රණවීරගේ "සෙදෝනා" නවකතාව ඒනමින්ම ටෙලිනාට්‍ය තිරරචනය ලිව්වා. ඒක මම කැමැතිම නවකතාවක්. වසන්ති චතුරාණි නිෂ්පාදනය කළා. එහි තිරරචනයටත් සම්මාන ලැබුණා. මට තිරරචනා සඳහා සම්මාන රැසක්ම ලැබුණා. මේ නිර්මාණ ජනතාව අතරට යෑමෙන් ජනතාවගේ සම්මානයත් අනේකවාරයක් ලැබුණා. ටෙලිනාට්‍ය සම්මාන උළෙල රැසකම හොඳම තිරරචනය වෙනුවෙන් මට සම්මාන හිමිවුණා .

වත්මන් තරුණ පරපුර ස්මාර්ට් වුණු ලෝකයක තනිවී සිටිනවා. ඔවුන් සාහිත්‍යයෙන් ඈත්වෙලා. මෙය ඔබ දකින්නේ කෙසේද...?

මේ ජෙනරේෂන් එකේ වෙනස..ඒකට හේතුව තාක්ෂණික වෙනස්වීම්. අද පරපුර සුන්දර මිනිස්කම අතර තාක්ෂණික ලොවට පිවිස තියෙනවා. ඔවුන් ස්මාර්ට් ලෝකයේ ඉන්නේ..මේක නවත්වන්න බැහැ .ලෝකයේ පරිණාමය කියන්නේ ඒකයි.

සාහිත්‍ය , ටෙලි-සිනමා උළෙලවල විනිශ්චය මණ්ඩලයේ ඔබේ භූමිකාව සිහිකළොත්...? සහ එහිදී නොයෙක් අදහස් සහ මතගැටුම් ඇතිවූ අවස්ථාත් ඇති....?

ඔව්..මම සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලවල ඉඳලා නෑ. ආරාධනා ලැබුණට මම ඒවා ප්‍රතික්ෂේප කර තියෙනවා . ටෙලි-සිනමා සම්මාන උලෙළවල ඉඳලා තිබෙනවා. මම ටෙලිනාට්‍ය කළ අවධිවල නම්. ඉඳලා නැහැ. මම පොත ලියන්න ආව මුල් කාලයේ ර්‍ණ.ඛ්.ධ්.ඛ්., ජනාධිපති , සරසවිය සම්මාන උළෙලවල ක්‍රියාකාරීව ඉඳලා තිබෙනවා. මේ හැම එකකම මම හිටියේ මගේ නිර්මාණ අහලකවත් නැති වේලාවක. ඒක ඕනම කෙනෙක් පිළිපැදිය යුතු දෙයක්. ඔව්, අනෙක් විනිශ්චයන් මතගැටුම් ඇතිවී තිබෙනවා. අදහස් හා දෘෂ්ටීන් සමඟ ගැටුණු අවස්ථා තිබෙනවා. නිවැරදි අදහස් වෙනුවෙන් ගැටුණේ මගේ මතය වෙනුවෙන්. මගේ මතය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න වේලාව තිබෙනවා.

සුමිත්‍රා රාහුබද්ධ නමැති ගේයපද රචිකාවක් සාහිත්‍ය ලෝකයෙන් ඉස්මතු නොවේවිද...?

ගේයපද රචිකාවක් ලෙස මාව නතුවුණේ "අග පිපි මල්" ටෙලිනාට්‍යයේ "අහස ගුගුරා" නමැති ගීතයෙන්.මෙහිදී නදීක ගුරුගේ මුලින්ම ක්ෂේත්‍රයට ආවේ "අග පිපි මල්" ටෙලිනාට්‍යයෙන්. එහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඔහු තෝරාගත්තේ මමත් වසන්තිත් අධ්‍යක්ෂ ප්‍රේමකුමාර ජයවර්ධනත්. ඒ තෝරාගැනීම කළේ ඔහු වෙනත් සංගීත අධ්‍යක්ෂණයන් කර නැති පසුබිමක... "අහස ගුගුරා" ගායනය කළේ ජ්‍යෙෂ්ඨතම ගායනවේදීනී නන්දා මාලිනී. ගේයපද රචිකාවක ලෙස පසුවත් ටෙලිනාට්‍ය ගීත කිහිපයක්ම ලිව්වා... ඒවා ජනප්‍රියත් වුණා.. "කන්දක් සේමා" ටෙලිනාට්‍යයේ තියෙනවා සමුගැනීමේ ගීතය කියා ගීතයක්...... ඒකත් මම ලිව්වා.. "හනික දොර අරින්න රත්තරන් ' කියලා ගීතයක් ලිව්වා. සංගීතඥවරියක් විදිහට ගයාත්‍රි කේමදාසයන් සංගීතවත් කළා.. අභිෂේකා විමලවීර අධ්‍යක්ෂණය කළේ...

 

[email protected]